ඌවේ ඉතිහාසය

ඓතිහාසික ඌව දනව්ව

ලොව අභිමානවත් බලයක් ඇතිව සිටි ආදී සිංහලයකු වූ රාවණ වැනි කීර්තිමත් අධිරාජ්‍යයකු බිහිකළ, මෑත ඉතිහාසයේ ලක එක්සේසත් කල මහා පරාක්‍රමබාහු, මහා විජයබාහූ, දෙවන රාජසිංහ වැනි රණ ශූරයන් බිහිකළ, විදේශීය ආක්‍රමණ වලදී සඟවාගෙන සිට රට බේරාගන්නට අවශ්‍ය අවස්ථාවට ඉදිරිපත් කළ, වලගම්බා වැනි රාජ්‍ය පාලකයන් ආරක්ෂා කළ, සිංහළයේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට වීරෝධාර සටන් දියත් කළ දුටුගැමුණු වැනි රණවිරුවන්ට පසුකල පහසුකම් සැලසූ, අවසාන මොහොතේ පවා ඉංග්‍රීසීන්ට රට භාරදීමට අකමැතිව ඌවේ නිදහස් සටන වැනි උසස් ගණයේ සටන්වලින් අභිමානවත් බව ලොවට ප්‍රකට කළ, සිංහලයේ මුදුන් මල්කඩවන් සද්ධර්ම රත්නාවලිය ලියූ ධර්මසේන හිමියන්, පූජාවලිය ලියූ මයුරපාද පිරුවන්පති හිමියන් වැනි සාහිත්‍යධරයන් බිහිකළ, මහියංගණ, මාලිගාවිල, දෙමටමලු වැනි ලොව පිළිගත් පැරණි අධ්‍යාපන මධ්‍යස්ථාන වලින් ප්‍රසිද්ධියක් ලත්, වෙල් ලක්ෂ ගණන් අස්සද්දා, මුළු රටටම සහල් සපයා ආර්ථික වශයෙන් ජාතික ධනයට පණදුන්, මාලිගාවිල, බුදුරුවගල බුදුපිලිම හා බෝසත් පිලිම වැනි කාළාකෘතීන් බිහිකොට කලා ලොව මවිත කළ ආදිම ආර්ය ජනාවාස හැටියට සැලකෙන මහියංගණය, බදුලු, මුතියංගණය, කතරගම කිරිවෙහෙර වැනි බුදුපහස ලද ස්ථාන තුනකින් අවාරණයව, පාරිශුද්ධත්වයට පත් ඒ ඌව මතාවට අනගිභවනීය ඉතිහාසයක් ඇත.



රාම රාවණා පුවත මෙන්ම, තාරක මාරක කඳ කුමර පුවතද, ප්‍රාග්ඓතිහාසික යුගය කරා බදුලු මොණරාගල දෙදිසාව යොමුකරන පුරාවෘත්තවේ. එපමණක්ද නොව පැරණි නටබුන් හා නම් ගම් අනුව රාවණ ඌව පුත්‍රයකු හැටියට සලකන්නේ නම් අනාදිමත් ඉතිහාසයකට ඌව පුත්‍රයිනට නෑකම් කිව හැකිය. ශාක්‍ය වංශිකයන් මහවැලිය අසබඩ ජනාවාස පිහිටුවා ගන්නටත් පෙර, ආදීම ආර්්‍යයන් මෙහි පදිංචිවී සිටිය බව පැහැදිලි වන්නේ බුදුරාජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරන අවස්ථාව වන විටත් කතරගම කඳසුරිදු, මහියංගණ සුමන සමන්, නමුණුකුල ඉන්දික වැනි දෙවිවරුන්ගේ ආසිරි සිංහල සභ්‍යත්වයේ ආලෝකයට එක්ව තිබූ බවය. අනුරපුර සිංහළ බෞද්ධ සංස්කෘතියේ ආලෝකය ලබා ඇත්තේ අනුබුදු මිහිදු හිමියන් ලංකාවට බුදුසසුන ගෙන ඒමෙන් පසුවය. එහෙත් ඌව ප්‍රදේශය බුදුරදුන්ගේ ජීවමාන සමය වනවිටත් සිංහළ බෞද්ධ සංස්කෘතියේ ආලෝකය ලබාතිබූ බව කිවහැකිය.

බුද්ධ ධර්මය වැනි දහමක් අවබෝධකර ගැනීමට තරම් බුදධිමත් ජනතාවක් විසූ බව බුදුරාජාණන් වහන්සේට ඒත්තු ගිය නිසා බුද්ධ ධර්මයේ ආශිර්වාදය ලකපුරා ව්‍යාප්තවීමට ඌව ප්‍රදේශයත්, ඌවේ ජන ජීවිතයත් උපකාරී වූ සේයැ. සිංහල ජාතියත්, බෞද්ධ ශිෂ්ඨාචාරයත් දේශීය චින්තනයන් රැකගැනීමට ඌව පුත්‍රයින් සදා උරෙන්නුර ගැටී සටන් කළ බවට ඉතිහාසය දෙස් දෙයි.

එමෙන්ම නමුණුකුල, මඩොල්සිම, කොකාගල, නාරංගල,වැලිබිස්ස වැනි ගිරිසිකරයන්ගෙන් වටවූ දුංහිද, දියලුම, බෝඹුරු ඇල්ල, රාවණඇල්ල වැනි දිය දහරින් සිසිල් වූ රට මැදින් ගලා බස්නා මහා ගංඟා ඇල දොල වලින් සරුසාර ගොඩබිමකින් හෙබි ස්වාභාවික සෞන්දර්යයයෙන් ඔපවත්, ගහකොළින් අලංකාරවූ, ඌව ප්‍රදේශය ආදිම සිංහළයන්ගේ පමණක් නොව මෑත යුගයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වැනි විදේශකයන්ගෙන්ද මන නුවන් පිනවන සරුබිමක් වූයේ යැ.

එමනිසා හැමදා ඌවමාතාව රාජකීයයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයේද නොමැකෙන නමක් ඇතිව සිටියාය. මේ නිසා පාලකයින්ගේ සදා ඈ කෙරෙහි ඇල්මක් ඇතිව සිටි බව පැහැදිලිය, ඉතිහාසය දෙස බලන විට සෑම යුගයකම පාලකයාගේ මනස මේ කෙරෙහි බැඳී පැවැතියේය. මධ්‍යකාලීන ලංකාවේ ඉහළ ඌව අටදහස් රට නමිනුත් පහළ ඌව විසිදහස් රට නමිනුත් ව්‍යවහාරව තුබූ බව.

විසිදහස් නියම් ගම් ගම්පටුන ව    න
විසිදහස් රටය මෙම ඌවට කිය    න

ආදී කවි සංකල්පයන්ගෙන්ද මනාව පැහැදිලිවේ.

පසුකාලීන ඉතිහාසයේ පරිපාලන රටාව අනුව පැරණි ඌව අනුක්‍රමයෙන් ගිලිහී ගොස් ඇති බවද කිව යුතුය. ජන කවියෙකු එය මෙසේ පවසයි.

 “ඌවට මායිම් දොඩතු කපල්ලද ඉඹුල්පිටිය පසු නොනින්       යනා
  ගිණිගප්ජල කදු වැටියක් පසුකර මුත්තෙට්ටුවෙගම                 නවාතැනා
 කහටපිටිය තෙල්දෙණියන් පසුකර ඇම්බැක්කේ ගම කොනින්    යනා
 රිදීවිටද බිබිලේගම කොටුවද කොලොන්නිලේ තලමල               පිපුනා“

මේ අනුව ඌව විශාල ප්‍රදේශයකි. ආදිම සිංහලයෙකු වශයෙන් අප සලකන රාවණ යුගයේ සිටම ඓතිහාසික සිදුවීම් රාශියට මුලස්ථානයවී තිබෙන ඌව සැමදා වීරෝධාර සිංහලයන් බිහිකල, රණවිරුවනට රැකවරණ සැලසූ ජාතික සටන් සංවිධානයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් විරුදාවී ලත් ජය බිමක් වූ යුයෙන් යුගය පර්ක්ෂා කිරීමේදී අපට පැහැදිලිවේ.

රාවණ රජගේ රාජධානියවූ ලංකාපුරයේ කේන්ද්‍රස්ථානය ඌව ප්‍රදේශය සීතිමට සාධක ඇත, ආර්යවංශික විජයගේ ලංකාව තරණය සිදුවූ අවස්ථාව වන විට යක්ෂ ගෝත්‍රික ජනතාව බලවත්ව සිටි අතර, විජය කුවේණීය අතහැර දැමූ ඉක්බිති ඇය පලා ගොස් ඇත්තේ ඇගේ ඥාතීන් සිටි ප්‍රදේශය වන ඌව ප්‍රදේශයටය, කැලණියේ හා නාගදීපයේ නාග ගෝත්‍රිකයන් පදිංචිව සිටි අතර, යක්ෂ ගෝත්‍රිකයන් මහියංගණය අගනුවර කොට ඌව ප්‍රදේශයේ රාජ්‍යයක් ගොඩනගා සිටිය බව කිවහැක. කුවේණිය එහි පැමිනියේ ඇගේ ඥාතීන් එහි සිටිය බැවිනි. මේ අනුව ඓතිහාසික යුගය ආරම්භ වන තෙක්ම ඌව ස්වාධීන ප්‍රදේශය රාජ්‍යයක්ව පැවැති බව පෙනේ. රාවණ රාජ්‍ය සමය ක්‍රි. පූර්ව 1900 - 1800 ක් අතර කාලය විය හැකි බව රාමායනය වැනි සාධක වලින් පෙනේ. රාවණ ලක්දිව සිටි ආදිම වීරයා වශයෙන් සැලකීමට ජනතාව පුරුදුව සිටියේ ඔහු සතුව තිබූ වීරත්වය අනුවය. රාවණ, රාජ්‍ය පාලකයෙකු පමණක් නොව, භාෂා ශාස්ත්‍රය පිළිබඳවත් විද්‍යාත්මක හා තාක්ෂණ දැනුමකින් යුතුවත් සිටි අයෙකු බව පැහැදිලිවේ. රාවණාගෙන් පසු බලයට පත් එම පරපුරේ විභීෂණ, පුතින්ධර මධු, ලවණපුර සහ සත්‍රැඝ්න දක්ෂ පාලකයන් නොවූ හෙයින් ලක්දිව එක් සේසත් කර තබාගැනීමට ඔවුන් අපොහොසත් වූහ. ක්‍රි. පූර්ව සවන සියවස වන විට නාග ගෝත්‍රිකයන් කැලණිය සහ නාගදීපයත්, යක්ෂ ගෝත්‍රිකයින් මහියංගණ ප්‍රදේශයත් වාසභූමි කොට ජීවත් වූහ. 


වි.වා.මු. තිලකසිරි බණ්ඩාර, ඌව නිදහස් සමරු කලාපය.

No comments:

Search This Blog