ඌව ප්‍රදේශයේ වංහුං සොයා යන ගමනේ ඊළඟ නැවතුම ලෙස මා ඔබ රැගෙන යන්නේ අපූරු ඉසව්වක් වෙතටයි.ඒ බින්තැන්න ප්‍රදේශයටය.ඌවට පමණක් නොව මුලු රටටම ඓතිහාසික වටිනාකමක් ගෙනදෙන වැදී ජනයා මෙම ප්‍රදේශයේ ජිවත්වෙති.ඌව බිංතැන්න යැයි යමෙකු වැහැරුවොත් ඒ සමඟ අපගේ සිතට නිරායාශයෙන් සිහිව එන ප්‍රදේශ රැසකි .එනම් බිබිල, මහියංගණය , සොරබොර, දඹාන, පදියතලාව ,මහඔය පොලේබැද්ද, නිල්ගල හා දානිගල යන ගම්මානයන් වේ. ( අතීතයේ ඌවට අයත්ව තිබූ මෙමෙ ප්‍රදේශ කිහිපයක් වර්තමානය වන විට නැගෙනහිර පාළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයට බෙදී ගොස් ඇත.)
ප්‍රාථමික සමාජීය ලක්ෂණයන්ගෙන් පෝෂණය වී සොබාදම් මාතාවගේ නිශ්පාදන අතිරික්ත පමණක් ප්‍රයෝජනයට ගෙන ජිවත්වන ආදීවාසී වැදි ජනයා මුලු රටට මෙන්ම විශේෂයෙන් ඌව පලාතට සුවිශේෂී සංස්කෘතික මානව සම්පතකි . ලෝකයේ ආදීවාසීන් අතුරින් පැරණිතම ජන කොට්ඨාසයක් වන වැදි ජනයා ශ්‍රි ලාංකීය ඉතිහාසයට ගෙන එන ආලෝකය සුලුපටු නොවේ.
මෙම සිත්ගන්නසුලු අභීත , සොම්නස්සහගත වනවාසි දූ පුතුන් ශ්‍රි ලංකාව සතු මහගු සම්පතකි .ආදීවාසීන් පිළිබඳව මානව විද්‍යාත්මක ගවේෂණයක යෙදුනු " වෙරියර් එල්වින් " ( ඩේලී නිවුස් - 1950 .10.16 ) ගේ ඉහත ප්‍රකාශයයෙනම අපගේ වැදී ජනයාගේ ඇති වටිනාකම අපට සිතාගත හැක. දඩයම් ,ඒඩේර, ගොවි, කාර්මික ආදී යුග කිහිපයකින් පසුකර විශ්ව පුද්ගල සංකල්පිත යුගය දක්වා දිගු ගමනක. නිරත වූ වත්මන් දියුණුයැයි කියාගන්නා ජන කොට්ඨාසයන් අතර තවමත් නිරුපද්‍රිතව තමන්ගේ උරුමයන් රැකගැනීමට යම්තාක් දුරට හෝ අහිංසක ,නිහඬ අරගලයක යෙදෙන අපගේ ආදීවාසීන් මේ සමාජ පරිණාමයට අසුනොවී සීටීම පුදුම කරැණකි.මෙයට හේතුව ඔවුන් ජීවිතය දෙස හෙළන දෘශ්‍ටිකෝණයේ සරල බව විය යුතුය .කරුණු කාරණා කෙසේ වෙතත් ඔවුන් රැකබලා ගැනීම ,ඔවුන්ගේ ජීවන රටාවට බාධානොකිරීම හා පාරම්පරික සංස්කෘතික ලක්ෂණයන ආරක්ෂා කර ගැනීමට උදව් කිරීම මෙන්ම ගොදුරුබිම් ආරක්ෂා කරදීම ජාතියේ වගකීමක් ලෙස සිතා කටයුතු කළ යුතුය.
වැද්දා යනු කවරෙක්ද
වැද්දා යන වචනයේ සංස්කෘත භාෂාවෙන් බීදී ආවකි.සංස්කෘතික භාෂාවේ ව්‍යධ = වියද්ධ = වැද්ධ = වැද්දා = වැදි යන වශයෙන් බිදී ආ බව ආචාර්ය නන්දදේව විජයසේකර වියතාණෝ පවසති.
වැදිජන සම්භවය
අපගේ වැදි ජනයාගේ සම්භවය පිළිබඳ තවමත් නිවැරදි ස්ථිර නිගමනයකට පැමිණ නැතිමුත් ඒ පිළිබඳ විවිධ මත රාශියක් තිබේ. ඒ මත අතර පුරාවිද්‍යාත්මක මෙන්ම ජීව විද්‍යාත්මක මත මෙන්මද ජනප්‍රවාද ඇත. " වන්නියලැත්තන්ගේ පරම්පරා පොජ්ජ බුද්‍දිලා ඇත්තන්නේ කාල මැච්චටත් ඉච්චරෙං මන්දෝ විචිචි එකමක්. ඒකාල මැච්චේ මේ තැනට කථා දැම්මේ යම්ක් පොජ්ජලා ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ කියලා රට පොජ්ජෙං මංගජ්ජු විජේ කුමාරයා කියන රාජකාරි හූරා ඇත්තන්නේ මිනිග්ගජ්ජු මියඹට දම්මවා කලුබණ්ඩාරල දෙයියල ඇත්තො කීන මුත්තිලා ඇත්තොයි තව ඉදිතිබාපු වන්නියැලැ ඇත්තොයි කැලා පොජ්ජ හොරා තැනොං රදව්වා.ඒ ඇත්තන්නොං තමයි වන්නියලැත්තන්නේ පරම්පරා පොජ්ජ මංද වුනේ ". ( වැදි පරපුර බුදුන්ගේ කාලයටත් පෙර තිබුණු එකක්. ඒ කාලේ මේ පරපුරට කිව්වේ යක්ෂ ග්‍රෝත්‍රය කියලයි..විදේශයෙන් ආව විජය කුමරා කියන රජතුමා අපේ මිනිසුන් මැරුවා. කලුබණ්ඩාර දෙයියෝ කියන අපේ මුත්තයි ඉතුරිවුනු පරපුරේ අයයි කැලේ හැංගිලා හිටියා . ඒ අයගෙන් තමයි අපේ පරම්පරාව පැවතුනේ ) මේ වැදි ජනයා ඔවුන්ගේ සම්භවය පිළිබඳ දරණ අදහසයි. ඔවුන්ගේ එම පිළිගැනීමට සත්‍යයක් නැතැයි අපට පැවසිය නොහැකිය. මන්ද වංශකථා තොරතුරු අනුව බුදුන්වහන්සේ ලක්දිවට මුල්ම වැඩම කිරීමට හේතූවූයේ යක්ෂ සංග්‍රාමයක් සංසිදුවන සදහාය. බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කර ඇති අතර, ඒ සමයේ යක්ෂ , නාග හා දේව නමින් ගෝත තුනක් මෙරට විසූ බවට ශාසන ඉතිහාසයේ සදහන්වේ.ඒසේනම බුදුන්වහන්සේ මුල් වරට වැඩම කළේ මහියංගණයට බවත එදින යක්ෂයන්ගේ මහා සංග්‍රාමයක් සංසිදවු බවත වංශකථා සාහිත්‍යයේ සදහනවන බැවින් මෙරට වැදි ජනයා යක්ෂ ගෝත්‍රියෙන් පැවැත ඒම යැයි පැවසීම තුළ යම් සත්‍යයක් තිබිය හැක.
ලංකාවේ වැදි පරපුර විජය - කුවේණීගේ දරු දෙදෙනාගෙන් පැවත එන බවටද ජනප්‍රවාදයේ ඇත. ඒ පුවත අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ කුවේණීය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් කපු කටිමින් සිටි බවත,ඇය විසින් විජය කුමරුගේ හත් සියයක් වූ පිරිස ගල් ලෙනක සිරකර වැබූ බවත්,පසුව විජය කුවේණීය බියගන්වා ඔවුන් නිදහස් කර ගෙන ඇයගේ උදව් ඇතුව යක්ෂයින් ඝාතනයකර ලංකාවේ රජවූ බවත් , පසුව විජය කුමරුට දාව කුවේණීය ජීවහත්ත - දිසාලා නමින් දරුවන් දෙදෙනකු බිහිකළ බවත් , පැවසේ.කාලයාගේ ඇවෑමෙන් විජය රජු භාරතයේ පඩි රජු වෙත දූතයන් යවා කුමරියක් ගෙන්වා ගෙන ඇය ඇග මෙහෙසියකොට දරුවන් තමා වෙත තබා පලායන ලෙස කුවේණීයට දැන්වූ බවත්,කුවේණීය විජය රජු ඉදිරියේ බැගෑපත්වී දරුවන් දෙදෙනා රැගෙන තම ඥාතීන් සොයාගෙන ලංකා පුරයට ගිය බවත් , තමන්ගේ සනුහරය පාවාදුන් කුවේණීය දුටු එම යක්ෂයින් ඇයට ගල් ගසා මරා දැමූ බවත් ,ඉන් දිවි ගලවා ගත් ජීවහත්ත දිසාලා සමනල අඩවියට පැනගිය බවත්,ඔවුන් දෙදෙනාගේ ව්‍යභිචාරි සම්බන්ධයෙන් බිහිවූ දරුවන්ගෙන් ලංකාවේ වැදි පරපුර ආරම්භ වූ බවත් පැවසේ..මහාවංශයේද මෙම පුවත සදහන් ඇත් නමුත් ඔවුන්ගෙන් පැවත එන්නන් පූලින්දයන් වශයෙන් හදුන්වා ඇත.පූලින්දයන් යනු වැදි ජනයාට භාවිතා කරන පර්යාය නාමයක් බව සමහරුන්ගේ අදහසයි.
ලාංකේය වැදි ජනයා විජය - කුවේණී දරුවන්ගෙන් පැවත එන ජන කොට්ඨාසයක් නම් ඔවුන් ආදීවාසීන් හෝ යක්ෂ ගෝත්‍රිකයන් වන්නේ තම මව් පරම්පරාවෙන් පමණි.මන්ද විජය කුමරු ඉන්දියාවේ සිට ආ සංක්‍රමණිකු බැවිනි.මේ පුවත මේ අයුරින්ම වර්තමාන වැදි ජනයා අතරද ප්‍රචලිතව පවතී.නමුත් භා.ව 1911 වර්ෂයේදී වැදි ජනයා පිළිබඳ පර්යේෂණයක නිරත වූ " සී.පි සොල්ග්මන්" මහතා පවස්නුයේ වැදි ජනයාට උප්පත්තිය පුරාණයක් නොවන බවයි. එහෙත් " මහාචාර්ය සුගටහ්පාල ද සිල්වා වියතාණන් සමඟ හිටපු වැදි නායක ඌරූවරිගේ තිසාහාමි ඔවුන් " කුවේණීය " ගෙන් පැවත එන්නන් බව කට කථාවක් වශයෙන් පවසා තිබේ. " විජේහුරා ලංකා පොජ්ජට මංගච්ච්ලා කුයිනිලැත්තො මන්දෝකරගත්තා.මේ ඇත්තන්නේ කිරිඅම්මිලැත්තො කුයිනිලැත්තො . මේ ඇත්තන්නේ කිරිඅම්මිලැත්තො .ඒ ඇත්තො මන්දොකරගෙන ඉදින කාලපොජ්ජෙදිං කැකුලො දෙකමක් මන්දෝඋනා කියලා කතාදමාලා තිබෙනවා .කුයිනිලැත්තො මියඹට දැමුවාලා ඒ කැකුලො දෙකමට කැලෑපොජ්ජට මංගච්චන්න කුයිනිලැත්තනේ මල්ලිලැත්තො කතාදමාලා තිබෙනවා.කුයිනිලැත්තො තොපමුන් මියඹට දම්මුවය .තොපං කැලෑපොජ්ජට මංගච්ච කියලා කතාදමාලා තිබෙනවා.ඒ කැකුලෝ දෙකම කැලෑපොජ්ජේ මංගච්චලා රදලා ඉදින කාලපොජ්ජෙදි ඒ දෙකමගෙන් මන්දෝ උනු මිනිගජ්ජු වන්නියලැත්තො කියලා මේ ඇත්තන්ට කතාදමාලා තිබෙනවා .
මේ ඇත්තන්ට පොත්පොජ්ජක කොලපොජ්ජක කුරුකුරු ගච්චලා කොදුස්. ( විජය රජ්ජුරුවෝ ලංකාවට ඇවිල්ලා කුවේණී බැදගත්තා.අපේ කිරි අම්මා. කුවේණීය අපේ කිරි අම්මා .එයැයි බැදගෙන ඉන්නකොට දරුවන් දෙන්නෙක් උපන්නැයි කියලා තියෙනවා . කුවේණීය මරලා ඒ දරුවන් දෙන්නාට කැලයට යන්න කුවේණීය කියලා තියෙනවා. උඹලාත මරයි. උඹලා කැලේට පලයල්ලායි කියලා තියෙනවා. ඒ දරුවන්ගෙන් උපන් මිනිසුන් වැද්දෝයි කියලා අපට කියලා තියෙනවා. අපට පොතක පතක ලියලා නැහැ ) (ද.වැ.බ. - පිටු 44) විජය කුවේණී පුරාණෝක්‍තික සිංහලයා විසින් වැදි ජනයා පිළිබඳ ගොඩනගා ගත්තක් විය හැකිය.මෑතක් වනතුරු වැද්දන් එවැන්නක් පිළිබඳ දැන නොසිටි බව " ඌවේ වංශ කථාවට " ' ඌවේ වැදි ජන පුරාණය ' ලියූ ජි.බි. මීගස්කුඹුර මහතා පවසයි.මහා වංශයේ වැදි ජනයා පූලින්දයන් ගැන ලියූ පුවත කාලාන්තරයක් තිස්සේ වර්ධනයවී පූලින්දයන් හා වැද්දන් පිළිබඳ එකට ගොතා පවසන ලද්දක් බවද ඔහු පවසයි. ( ඌ.වං.ක - කා පිටු අංක 06 ) පූලින්දයන් යන වචනය ඉන්දියාවේ ඝෘග්වේදය, ඓතරෙය, බ්‍රාහ්මණ , මහා භාරතය වැනි කෘතිවලද සදහන් කර ඇති අතර , ඔවුන් ඉන්දියාවේ කදුකරවාසින් සදහා භාවිතා කළ නාමය ලංකාවේ වන්චාරීන් සදහා යෙදුවා වන්නට පුළුවන.මහාවංශ කථා පුවත අනුව ලංකාවේ වනචාරින්ගේ ආරම්භය කුවේණීයයගේ දරුවන්ගෙන් සිදුවූවක් නොව කුවේණීයගේ දරුවන් වන්චාරීන් වූ බවයි.
වැද්දන් අයත්වන්නෙ කුමන ජනවර්ගයටද
වැද්දන්ගේ මුල් මුතුන්මිත්තන් විජය නිසා කුවේණියට දාව ලැබුණ දුව හා පුතා යයි සලකනු ලැබුවත් ඔවුන් නියම වශයෙන් අවුස්ත්‍රේලිය මධ්‍යදරණීය හා නිග්‍රිටෝ වාර්ගිකයන්ගේද ,යක්ෂයන් හා නාගයන්ගේද සම්මිශ්‍රණය ලැබූවන් බව ආචාර්ය නන්දදේව විජේසේකරයන්ගේ අදහස වේ .
ජනප්‍රවාද
වැද්දන්ගේ සම්භවය පිළිබඳ තවත් අපූරු පුවතක් ජනප්‍රවාදයේ ඇත .එනම් විජය රජුගේ බෑණනුවන් වු පඩුවස්දෙවුගේ දිවි දොස් නැසීමට මල රජුගේ පාරම්පරිකයන් විසින් රාහු එවන ලදී .මලය දේශයේ මලය රජු ලංකාවට ගෙන ඒමට කැමති වු රජු ඌරෙකුගේ වෙස් ගෙන රජුගේ උයන පාළු කළේය .ඌරා දුනුහී වලින් විද මැරීමට ඌරා රජ මාළිගයට රැගෙන එන ලෙස රජු මිනිසුන්ට නියම කළ බවත් ,මිනිසුන් එසේ කළ බවත් ,රජුගේ විදමනට හසු නොවු ඌරා පැනගිය බවත් ,රජුද පිරිවර ගෙන ඌරා පසුපස ලුහුබැඳ ගොස් හන්තානයේදි කඩුවෙන් කෙටූ බවත් ,තුවාල වු ඌරා කන්දක් බවට පත් වු බවත් ,එ මොහොතේ සක්දෙව් රජු ඔහු ලංකාවට එවීමට හේතු දැක්වූ බවත් ,ඉන්පසු කොහොඹ යක් නැටුමක් නටා පඬුවස්දෙව් රජුගේ රෝගය සුව කොට බොහෝ පිරිසක් මෙහි රදවා රාහු මලයදේශයට ගිය බවත් ,එදා රාහු විසින් මෙහි නවතන ලද පිරිසට දඩයම් පිණිස රජු විසින් කැලයක් දුන් බවත් ,ඔවුන්ගෙන් වැදි ජනයා පැවත එන බවත් ,ජනප්‍රවදයේ සදහන් වේ.
එක්තරා කාලවකවානුවකදි කූර රජකු මිනිසුන් කා දැමීම නිසා ජීවිත ආශාවෙන් කැලයට පැනගිය පිරිසකගෙන් වැදි ජනයා පැවත එන බවත් ජනප්‍රවාදයේ සදහන් වේ.
ලාංකේය වැදි ජනයා ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වු බවට සලකන්නෝද වෙතී.දුරාතීතයේ සිටම ලංකාව හා ඉන්දියව අතර පෝක්සමූද්‍ර සන්දිය නොතිබු බව භූ විද්‍ය...යෝ සදහන් කරතී.ඉන්දියාවේ කදුකරවාසීල්ල්(පූලින්දයන්)ජනයා ගොඩබිම ඔස්සේ ලංකාවට සංක්‍රමණය වන්නට ඇති බවත් ඔවුන්ගෙන් වැදි ජනයා පැවත එන බවටත් මත පල කරන අය සිටිතී .
පර්යාය නාමයන්
ලාංකේය වැදි ජනයාට භාවිතා කරන තවත් නම් බොහෝමයකී ."සබර,පුළිදු ,වනදර ආදි වශයෙන් නාමාවලියේද සබර ,පුළිදු ,වනසර,වනදරු ,මිළිදු ලැව් යන නමින් නව නාමාවලියේද සදහන් කර තිබේ .රුවන් මලෙහී වැදි ,සබර ,පුළිදු වනසරණ ,දානී ,මලදරු ,ලැව් සැරටි , මිළිදු මල්පස ආදි වශයෙන් ද වැද්දන් හදුන්වා තිබේ . නාමාවලියෙ සහ රුවන්මල ආදියෙහි මෙසේ වැද්දන් සදහා නම් දී තිබීමෙන් පෙනෙන්නේ " වැද්දා "යනු සංගෘහික නාමයක් බවයි.(ඌ.ව.ක-02.කා-02 පිටුව )විවිධ නාමයන්ගෙන් හැදින්වු වෙනත් ජන කොටස් ද වැදි යන පොදු අභිධානයට ග්‍රහණය වූ බව පෙනේ .(ඌ.ව.ක -02.කා.-07 පිටුව )
මෙම නම් අතුරින් " සබර " යන නාමය මදක් විමසා බලමු. " සබර" යන වචනයට අර්ථ දෙකක් ඇති බව ආචාර්ය නන්දදේව විජේසේකර පවසයි. එනම් වැද්දා නොහොත් දඩයක්කාරයා යන්නය.අනික නම් " සබර" නම් ගස් විශේෂයකි. රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකට අයත් ප්‍රදේශ මේ වන විට සබරගමු පළාත වශයෙන් හදුන්වනු ලැබේ .මහාවංශ කථා පුවත අනුව පුලින්දයන්ගේ හෝ ලංකාවේ වැදි ජනයාගේ මුල්ම නිජභූමිය විය යුත්තේ සමනල අඩවිය පිහිටි සබරගමුව විය යුතුය. වැද්දන් සබර යනුවෙන් මෙම ප්‍රදේශය සබරගමුව යනුවෙන් හැදින්වීමෙන් මේ නම් දෙක අතර යම් බැඳීමක් ඇතැයි සිතිය හැකි කැරුණු කාරණා ඇත .කලවානට සැතපුම් අටක් පමණ දුරින් වැද්දාගල නමින් ගම්මානයක් ඇති අතර ,මෙහි ජීවත් වන ජනයා දියුණුවෙන් අඩුය .මිටි බව හා ලාමක පෙනුම,විවෘත අයත් ඇස් ඇති මෙම ජනයා හා වර්තමාන වැදි ජනයා අතර ,සමාන දේහලක්ෂණ දක්නට ඇත .වැද්දාගල අසල කුඩා දියපහරක් දක්නට ලැබෙන අතර ,ඊට නුදුරින් ගල්ගුහාවක්ද තිබේ.මෙම ගල්ගුහාවේ අතීතයෙදී වැද්දන් ජීවත් වූ බව අදද ගම් වැසියෝ විශ්වාස කරති .රඹුක්කනට නුදුරු පදවිගම්පොළ නැමති ගම්මානයේ පිහිටි ගල්ගෙය අදීකාලීන වැද්දන්ගේ වාසස්ථානයක් ලෙස ඉතිහාස...යෝ සංක්‍රමණය සලකති.මේ අවටින් සොයගත් සිප්පිකටු හා ගල් අයුධ පුරණ වැද්දන් භාවිතා කල ඒවා බවට විශ්වාස කරතී ."කාව්‍යශේකරයේ" හතරවන සර්ගයේ විසිහතර වෙනි කවියේ "සබර" හදුන්වා ඇත්තේ වැද්දෙකි.(එහි කාලය යන අර්ථයද ගැබ්ව ඇතැයි සිතිය හැකිය .) "පරෙවි සංදේශයේ" පනස් හයවෙනි කවියේ "සබර" සෙන් යනුවෙන් හදුන්වා ඇත්තේ වැදි සෙනඟ වීමටද පුලුවන.වැද්දා පංගුව , වැද්දා කුඹුර , වැද්දාගල, වැදි කන්ද යන නම් වලින්ද වැදි ජනයා හා සබරගමුව අතර තිබූ සම්බන්ධය මනාවට පසක් වේ.
ඌවේ වැදි ජනයා හා බලංගොඩ මානවයා
ශ්‍රි ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණය ආරම්භ වී සියවසකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. මේ කාලය තුළදි අනාවරණය කරගත් තොරතුරු අනුව බලංගොඩ මානවයාගේන් වර්තමාන වැදි ජනයා පැවත එන බවට මත පලකරන අයද බොහෝය. ( බලංගොඩ කවරෙක්ද යන්න පිළිබඳ " ඌවේ ප්‍රාග් ඓතිහාසික යුගය" නම් පරිච්ඡේදයේ සදහන් කර ඇත.) ප්‍රාග් මානවයාගේ සිට මෑතකාලීන වැද්දන් දක්වා විවිධාකාර ස්වරූපයෙන් පර්යේෂණ කළ දේශීය මෙන්ම විදේශීය විද්වතුන් රැසකි. .ඒ අතර, සැරසින් යුවල , ජේ.පි.හාර්ට්ලී ,ඊ.ඊ.ග්‍රින් ,ජේ.පෝල් ,අචාර්ය සි.පි.සොලිග්මන්, බී.ඉසෙඩ් , එමර්සනස් මෙනනට් ,හෙන්රි පාකර් ,වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් , ඊ.ජේ වෙලානඩ්, කේ.ජි.ඔක්ලී , ඒ.කේ සින්ක්නී , පොලෝ.ජේ,ස්ටිස් හොක්කාට් ,ඊ.ඩ්.වොර්මන් ,එච්.වි නොත් කොනන් ,ඒ.ආර්.කෙනඩ් , හොංකින්ද බී ඔල්ඩින් ,රොබට් නොක්ස් ,සි.එච්.කොලින්ස් ,ජේ.අර්.ද ලාහෝ මැරට් , මාතා පිංගම්,ජෝන්කාසවල .නැමති විදේශිකයින්ද ,මහාචාර්ය .පි.ඉ.සි.දෑරණියගල ., ආචාර්ය ශිරාන් දැරණියගල , ආචාර්ය ඩ්ලිව්.එච්.විජේපාල , අචාර්ය අනන්ද කුමාරස්වාමී , අචාර්ය නන්දදේව විජේසේකර , අචාර්ය ඊ.එම්.රත්නපාල ,මහචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ,මහචාර්ය සේනක බන්ඩාරනායක .වි.ඩි.නන්දදේව ,ඩි සේන ගුප්ත,සදරුවන් ලොකුහේවා.වැනි දේශීය විද්වත්හු ද ප්‍රමුඛ ස්ථානයක් ගනි.
මොවුන් බොහෝ දෙනෙකුගෙ අදහස වන්නේ,ඓතිහාසික බලංගොඩ මානවයා වර්තමාන වැදි පරපුරේ අදීතමයන් බවයි.බලංගොඩ සංස්කෘතියට අයත් මානව අවශේෂ අදින් වසර 14,515ක තරම් ඉපැරණි අතීතයක සිට 2.013ක් දක්වා නොනැවතී වර්ධනය වී ඇති බවත් ,වසර 7,000ට පමණ ඉහත දී නූතන වැදි පරපුරේ මීමුත්තා වූ" ඔස්ට්‍රොලෙයිඩ්" වර්ගයට අයත්,මධ්‍යම ගල් යුගයෙ බලංගොඩ මානවයා අනුරාධපුර ජනාවාසකරණය කර ඇති බවත් මානව පුරාවිද්‍ය.. හා හිටපු පුරාවිද්‍යත්මක ජෙනරාල් ශිරාන් උපේන්ද්‍ර දැරණියගල ශූරීහු සදහන් කරති .(දි.ම.අ.පිටුව 02-2007.11.22)බලංගොඩ මානවයා බාහිර ස්වරුපයෙන් වර්තමාන වැදි ජනයාගේ ස්වරුපයට සමාන බවත් ,දිගු පටු හිස,ඉදිරියට නෙරා ඇති නලල් තලය,හිස් කබල් ඇට,පුලුල් ශක්තිමත් කම්මුල් ඇට,පසුපසට නැඹුරුව නිකට ,ගෙවී ගිය විශාල දත් ,මුක්කන් නාසය බලංගොඩ මානවයා විසින් නිරුපණය වන බවත්,ආදි වාසී වැදි ජනතාවගේ අභිචාරවිධ් බලංගොඩ මානවයාගෙන් පැවත එන බව අචාර්ය දැරණියගල මහතා පෙන්වාදෙයි .
ශ්‍රි ලංකා වංශ කථා සාහිත්‍යයේ සදහන් යක්ෂ ගොත්‍රිකයන් බලංගොඩ මානවයාට නෑකම් කියන ජනකොට්ඨාසයක් බව ඔප්පු වී ඇති බවත් ,එම වංශ කථා හා සොයාගෙන ඇති සාක්ෂි අනුව අදින් වසර 2515ක හෝ ඉන්පසු අවධ්වල සිංහල වැනි දියුණු කොට්ඨාසවලට අමතරව ගෙන ගල් ලෙන් වැනි සුරක්ෂිත ස්ථාන වල බලංගොඩ මානව පරපුර ට අයත් වැද්දන් වාසය කර ඇති බවත් ආචාර්ය දැරණියගල මහතා පෙන්වා දෙයි .
සමස්තයක් වශයෙන් ගත් කල බලංගොඩ මානවයාගේ දේහ ලක්ෂණ ඔස්ට්‍රොලෙයිඩ්" ජනයාට සමාන බවත් බෙල්ලන්බැඳි පැලස්සෙන් හමුවූ හමුවූ බලංගොඩ මානවයාගේ දේහලක්ෂණ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනතාවගේ විවිධ ප්‍රමාණයක් පවතින බවත් ,අදීකාලීන වැදි ජනතාව තුළින් වඩාත් පැහැදිලිව පිළිඹුවන බවත්,ඔවුන් නිසකයෙන්ම ජීවවිද්‍යත්මක පරම්පරවක් නියෝජනය කරන බලංගොඩ මානවයාගෙන් පැවත එන බවට කිසිදු සැකයක් නොමැති බවත් බෙල්ලන්බැඳි පැලස්සෙන් කැණීම් කළ මානව විද්‍ය... "කෙනෙත්.ආර් කෙනෙත්" ප්‍රකාශ කරයි. (දි..බ.අ.පිටු 02-2007.11.22)
සබර යන නම වැද්දන් හැදින්වු තවත් පර්යාය නාමයක් බව ඉහතද සදහන් කළෙමී.එම බලංගොඩ මානව පරපුරේ හෙවත් ශ්‍රීලංකාවේ ආදිවාසින්ගේ අන්තිම පුරුක ලෙස දයානන්ද බිනරගම මහතා සදහන් කරන්නේ ,වේලිඔය මාළු අල්ලමින් ජීවත් වූ "ඕ" වැද්දාය.බුදුගල ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් මාළු බාමින් සිටින මිනිස් රූප දෙක මෙ අදහස තහවුරු කරන බව ඔහුගෙ අදහසයි." කොරතල වැද්දා " නමින් ප්‍රසිද්ධව සිටි කෘෂිකාර්මාන්තය .සත්ව පාලනය,හා දඩයම ජීවිකාව කරගත් සබරගමුවේ වැද්දා බලංගොඩ මානව පරපුරේ අවසානය විය හැකිය .වර්තමාන වැදි නායක ඌරුවරිගෙ වන්නියලැත්තන් හා සපරගමු බින්තැන්නේ කොරතල වැද්දාගේ රූපකාය සමාන බවත් ,ඔහු තෙපලන භාෂාව තේරුම් ගැනීමට නොහැකි බවත් ,දයානන්ද බිනරගම මහතා දිව ඉන බදාද අතිරේකයට ලියා තිබු ලිපියක සදහන් කර තිබේ. (2007.11.22-දි.බ.අ. පිටු 02)
ඌවේ වැදි බිම්
බලංගොඩ මානව පරපුරට නෑකම් කියන ශ්‍රි ලාංකීය වැදි ජනයා වත්මනේ සපරගමු ප්‍රදේශයේ දක්නට නැත ඔවුන් මේ වන විට වැඩි වශයෙන් ජීවත් වන්නේ ඌව පළාතට අයත් බිංතැන්න ප්‍රදේශයේය.මීට අවුරුදු 30000 කට පමණ ඉහත ජීවත් වූ අප වැදි ජනයාගේ ආදීතමයා වන බලංගොඩ මානවයා සපරගමුව අතහැර ඌව පළාතට සංක්‍රමණය වූයේ මන්ද ? මේ පිළිබඳ අනුමාන අදහසක් ඉදිරිපත් කරන දයානන්ද බිනරගම මහතා විජයාගමනයත් සමඟ ගංගා නිම්න ප්‍රදේශවලට සංක්‍රමණය වූ ආර්ය ජනයාට මුහුණුදීමට බියෙන් හා ඔවුන්ගේ බලපෑම්වලට ලක්වීමෙන් බිංතැන්න ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇති බවත්, තෙත් කලාපීය තද වැසි වනාන්තරවල ජීවත් වීමේදී ආහාර රැස්කිරීමට ඇති දැඩි අපහසුව නිසාත් , මැසි මදුරු රෝග පීඩා( මැලේරියාව) නිසා රෝග වාහකයින්ට මුහුණුදීමට තරම් ප්‍රතිශක්තිකරණ නොමැති වීමත් හේතුකොටගෙන බලංගොඩ මානව පරපුර වදවීයෑමත් සමඟ ඉතිරිවූ ටික දෙනා වර්ෂාව අඩු වියළි කාලගුණයක් සහිත ඌව බිංතැන්න ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇති බවත් බලංගොඩ මානවයා හා වැද්දන් අතර පදිංචිය දුරස්වීම මේ කරුණු කාරණා හේතුවන්නට ඇති බවත් දයානන්ද බිනරගම මහතා පවසයි.
1900 වනවිට ඌව තමන්කඩුව ,අම්පාර වැනි ප්‍රදේශයන් තුළ තිබී ඇත්තේ වැදි ගම්මාන කිහිපයක් පමණි. ආසන්න මධ්‍යකාලීන සමයේ මුලු ශ්‍රි ලංකාවේ වැදි ගම්මාන තුන්සියයක් පමණ තිබූ බව පැවසේ. එකළ රුහුණු ,මායා ,පිහිටි යන මුලු ත්‍රි සිංහලේම ගම් 1540000ක් තිබී ඇති අතර , එම ගම් වෙදගම් , රන්ගම් වෙළෙඳ ගම්, බමුණු ගම්, පැණි සකුරුගම් , බුලත් ගම්, ගබඩා ගම්, පසල් ගම්, ආදි වශයෙන් කොටස්වලට බෙදා තිබී ඇත.
දෙදහස් දෙසිය දෙ සටකි පුද වෙහෙර ගමා
නවසිය සැට පඩු පඩුරු ලු පුද දෙවුල් ගමා
සසිසකි කොවුල් ගම් තුන්සිය නෙවැදි ගමා
කුඹුරු නැකති ආ වැසි ගම් දහස හැමා ( මන්දාරම් පුවත )
මන්දාරම් පුවතේ සදහන් ඉහත කවියෙන් පවස්නුයේද වෘත්තීන් අනුව බෙදා තිබූ ගම් අතර, වැදි ගම්මාන තුන්සියයක් තිබූ බවයි. මෙම වැදි ගම් තුන්සියය කවරක්ද යන්න තවම නිශ්චය කරගෙන නොමැත. වැද්දන් නිතරම සංක්‍රමණයේ යෙදී සිටින්නන් බව පවසන ...වෙද්‍ය ස්පිට්ලි මහතා ඔවුන් සොයාගිය බොහෝ අවස්ථාවල පෙර සිටි ස්ථානයේ නොසිටි බව පවසයි.
ඌවේ වැදි ගම් ලෙස දඹාන, නිල්ගල, පොලේබැද්ද ,ආදිය පෙන්වාදිය හැකි අතර , වත්මන් වැදි නායක ඌරූවරිගේ වන්නියලැත්තන් සමග සම්මුඛ වූ දයානන්ද බිනරගම මහතාට ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ මාවරගල් පොජ්ජ ,ලුණුකිරිගල ,හෙන්නාලිහෙල, කදිරගොඩ , කන්දේ ගල් ලෙන ,කුට්ටිරියාගොඩ, මහගල්ගොඩ, එළුවා කන්ද හා කළුවා කන්ද යනුවෙන් ගල් ලෙන් රාශියක් ඇති බවත් එම ලෙන් තුළ ග්ලේ " කුරුකුරු ගෑ " වැදි අකුරු හා වැදි චිත්‍ර රාශියක් ඇති බවත්ය . ඉහත සදහන් තොරතුරු අනුව පැහැදිලි වන්නේ නූතන ඌවේ වැසියන්ට වඩා දිගු ඉතිහාසයක් හා උරුමයක් ඌව බිම තුළ වැදි ජනයාට ඇති බවයි.
ඉතිහාසයේ සඳහන් වැද්දෝ
වැද්දන් පිළිබඳ මුල්ම පුරාවෘත්තය අපට හමුවන්නේ විජය - කුවේණි කතා පුවත තුළින් බව වංශකතා සාහිත්‍ය පරිශිලනයේදි පෙනීයයි. පොළොන්නරු සමයේදි වැදි ජනයා පරාක්‍රමබාහු රජුගේ යුද්ධ සේනාවේ සේවය කළ බව චූලවංශයේ සඳහන් වේ. පරාක්‍රමබාහු රජතුමන් දහස් ගණන් වැදි ජනයා යුධ සරබයේ යොදවා ඔවුන් රුචි අයුරින් සම් රෙදි ආදිය ලබාදුන් බවත් එකල වැද්දන් සතුරන් හා සටන් වැදුනේ ඔවුන්ටම ආවේනික ආයුධවලින් බවත් පැවසේ.
පරාක්‍රමබාහු රජු සමයටත් පෙර ජීවත්වු වැද්ද්න් පිරිසක් මහවැලි ගඟ හරහා බැම්මක් බැඳිමට ඉදිරිපත් වු අයුරු ආර්.එල්. බ්‍රෝහියර් මහතා ඔහුගේ පුරාතන වාරිමාරග කෘතියේ සඳහන්කර තිබේ.මහවැලි ගඟ හරහා බැම්මක් බැඳිමට ධාතුසේන රජු වැද්දන්ට කළ ආරාධනයක් පිළිබඳවද පොතපතේ තොරතුරු ඇත.
2වන රාජසිංහ රජ සමයේ මෙරට සිරකරුවකු වූ " රොබට් නොක්ස් " වැදි ජනයා පිළිබඳ තොරතුරු ඔහුගේ " ඒදා හෙළ දිව" ග්‍රන්ථයේ සදහන් කර ඇත.ලංදේසීන් හට විරුද්ධව රාජසිංහ රජු සංග්‍රාමයක් මෙහෙයවු අවස්ථාවේදී එක් දිසාපතිවරයකු ගෙන ආ සේනාපයිංඩයක් වැදි සෙනගකින් සමන්විත වූයේය . ඔව්හු දුනූ හී සරඹයෙහි පුහුණු වු සෙබළුන් මෙන්ම ඉතා දක්ෂ ලෙස සටන් කළෝය. භා.ව.1818 ඉංග්‍රීසින්ට විරුද්ධව සිංහලයින් සිදුකළ ජාතික අරගලයේදී පවා වැදි ජනයාගේ සහයෝගය ලැබුණු බව එම කැරැල්ල පිළිබඳ ඉංග්‍රීසින් ලියූ ලිපිලේඛන ආදියේ සදහන් වේ.ඉංග්‍රීසින් ඔවුන්ව හදුන්වා ඇත්තේ " බැද්දන්" වශයෙනි.
එවන සබරසෙන් දැකැමිරිකි මුවග න
ලෙවන ප්ලුරොසින් කනවැනිලවනව න
ගමන පැරැදැහසගන පිවිසි විල්ව න
කෙවින හඩන වැනිසෙමෙලන් වරල න
එවන , ඒ අරණ්‍යෙයහි සබරසෙන , ව්‍යාධ ( වැදි ) සෙනාව , දැක දර්ශනයකොට , මිරිකි ( බියෙන්) මිරිකුණාවූ, මුවගන, මෘගාඪගනාවෝ. ලෙවනපලු, රක්තවර්ණ පලලවලයන්, ලවනවන, ( ඒ වැද්දන්ගේ ) තොල්වැනි යයි.රොසින් , කෝපයෙන්, කනවැනි, අනුභව කරන්නාක්මෙනි , හසගන , හංසාඪගණතෙමො ,ගමන ( වැදි ගෑණුන්ගේ) ගමනට , පැරැද, පරාජිතව, වනවිල්, වනනඩාගයන්ට, පිවිසි , ප්‍රවිෂ්ටවූවාක්මෙනි, කොවින, මයුරධෙනුහූ තුමු, සෙමෙලෙන් ශතමවර්ණවූ, වරලවන , ( ඔවුන්ගේ ) ධමමි ලලය වැනියයි.හඩනවැනි රෝදනය කරන්නාක්හූමෙනී.( පරෙවි සංදේශය 56 කවිය)
වැදි වර්ග
සාමාන්‍ය ව්‍යහාරයේදී වැදි ජනයා " ගම් වැද්දන් , ගල් වැද්දන් ,හා දඩ වැද්දන් වශයෙන් කොටස් 3කට බෙදා ඇත. ප්‍රකට මානව විද්‍යා...... ආචාර්ය සි.පි. සොලිග්මන් මහතා ගල් වැද්දන් හැර අනෙකුත් වැද්දන් පිළිබඳ සදහන්කර තිබේ.වැද්දන් , ගම් වැද්දන් හා මුහුදුකර වැද්දන් යනුවෙන් තව බෙදිමක් ඇත.
ගල් වැද්දන්
බොහෝ අය විශ්වාස කරන අයුරු ගල් වැද්දන් යනු ඉතා සැඩපරුෂ කොටස්කි. යමකු මූණ ගැසුනහොත් විද මැරීමට තරම් ඔවුන් සාහසික යැයි සැළකේ. ඔවුහු බොහෝවිට නිර්වස්ත්‍රව සිටිති. නැතහොත් රිටි සුඹුලු අදිති. භා.ව 1990 වන විට ගල් වැද්දන් ගුහා තුළ ජිවත් වෙමින් රිටි සුඹුළු අදිමින් ඉරිගු හා කුරක්කන් කමින් ජිවත්වූ බවට පොත්පත සදහන් වේ.වර්තමානය වන විට මොවුන් දක්නට නැත.
දඩ වැද්දන්
සතුන් දඩයමින් තම ජීවීකාව සරිකර ගන්නා මොවුන් අතු සෙවන කරන ලද කුඩා නිවාසවල ජිවත්වෙති.දිවා කාලයේ එළි පහලියට ඒමට මැලිකමක් දක්වන මොවුන් දඩයම් කිරීම සදහ ආයුධ සකස්කර ගන්නා අපූරු ක්‍රමය රොබට් නොක්ස් විස්තරකර ඇත්තේ , මෙලෙසය. " වැද්දන් හට හී තල අවශ්‍ය වූ විට ඔවුහු දඩමස් මූලික් රැගෙන රාත්‍රි කාලයෙහි ගම්මානයක් කරා ගොස් තමන්ට අවශ්‍ය වූ හී තලයේ රූපකාරය සටහන් කළ, කොළපතක් සමග දඩමස් මුල කම්මලේ එල්ලා තබති.මෙම ලකුණින් වැද්දන් හට හී තල අවශ්‍ය වී ඇත්තේය." කම්මල්කරුවා දැනගන්නේය. ඉදින් කම්මල භාර ආචාර්යා වැද්දන්ගේ සෑහීමකට හේතුවන අයුරින් හී තල සදා කම්මලේ එල්ලා තැබුවහොත් ඊට පසුදා රාත්‍රියේ හී තල තිබුණු තැන තවත් දඩමස් මුලක් දක්නට ලැබෙන්නේය.
ගම් වැද්දන්
මොවුහූ බොහොමයක් ගම්මාන ආශ්‍රිතව ජිවත්වන්නො වෙති.ආහාර සදහා ධාන්‍ය වගා කරමින් ජිවත්වන මොහුවු වර්තමානයේ දක්නට ලැබෙන අතර, සිංහල ජනයා සමග මිශ්‍රව ජිවත් වෙති.
වැදි ජනයාගේ පරම්පරා නොහොත් වරිග
පවතින සමාජ සම්මතය අනුව පරම්පරා නාමය පිය පාර්ශ්වයෙන් පැවත ආවත් වැදි ජනයාගේ පරම්පරා නාමය පැවත එන්නේ මව් පාර්ශ්වයෙනි. විජය-කුවේණි දරුවන් වූ ජීවහත්ත-දිසාලාගෙන් තමන් පැවැත එනබව විශ්වාස කරන වැදි ජනයා ඔවුන් විජයගෙන් පැවත එන්නන් බව කිසිවිටක පවසන්නේ නැත.ඔවුහූ කුවේණිය හඳුන්වනු ලබන්නේ කිරිඅම්මිලා ඇත්ති වශයෙනි. ඒ ඔවුන් විජය රජු කෙරෙහි ඇතිවු සාධාරණ කේන්තිය නිසා සිදුවුවාදැයි සැක සහිතය.
වැදි ජන සමාජයේ වරිග කිහිපයකි. ඌරු, තලා , උනාපාන , මොනරපාන , නබුඩුන් ඉන් වර්ග කිහිපයකි. එම පරම්පරා නාම ඇතිවිම පිළිබඳ ඔවුන් අතර , මුඛ වහරෙන් පැවත එන අපූරු කතන්දර රාශියක්ද තිබේ.
ඌරු වරිගේ
ගැබ්බර වැදි කතක් වනය මැදින් ගමන් කරන විටදි ප්‍රසව වේදවාව ඇතිවී දරුවා බිහිකිරිමට සුදුසු ගල් ගෙයක් හෝ ගස් බෙනයක් නොතිබු බැවින් ඌරකු හෑර වළක දරුවා ප්‍රසූත කරන ලදි. එම දරුවාගෙන් පැවත එන්නන් “ඌරු” වරිගේ වූ බවට වැදි ජනප්‍රවාදයේ ඇත.
තාල වරිගේ
මෙම වැදි ජන මුඛ පරම්පරාගත කථාවද ඉහත කථාවට සමාන කමක් දන්වයි. වැදි ජනයාගේ මුල්ම මිත්තණිය වු කිරිඅම්මිලැත්තෝ ගමනක් යනවිට විළිරුදාව හැදී දරුවා බිහිකිරිමට සුදුසු ස්ථානයක් නොතිබු බැවින් තෘණ තලාවක දරුවා බිහිකල බවත් එම දරුවාගෙන් බිහිවු පරම්පරා “තලා” වරිගය වූ බවත් දඹාන වැදි ජනයා අතර ප්‍රකට කථාවකි.
උනාපාන වරිගේ
රාජසිංහ රජ දවස රජු පිරිසක් සමග ගමනක් යනවිට දී වැදි නිවසකට ගොඩවිී කෑම පිසගැනිම සඳහා ජලය ඉල්ලූ බවත් ජලය නොතිබු බැවින් ගෙහිමි වැදිකත පිරිසිදු රෙදිකඩක් එලා අහසින් වැටෙන වතුර උරාගැනිමට සලස්වා එම රෙදිකඩ මිරිකා බඳුන් පුරවා දුන් බවත් ඉන් සතුටට පත් රජු විසින් “ තොපි මින්පසු උනාපාන වරිගේ එවුන් ’’ බව පවසා ගිය බවත් ඉන්පසු ඔවුන් එම වරිග නාමය භාවිතයට ගත් බවත් වැදි ජනයා පවසති.
වැදි දිවි වරුණ
වැදි ජනයාගේ ජීවිතය ඉතා සරල වූ ප්‍රීතිමත් එකකී.කොතරම් කටුක ජීවිතයකට උරුමකම් කියුවත් වැදි ජනයා ජනයා ජිවිතය විදින්නෝ මිස විදවන්නෝ නොවෙති.ඒ ඔවුන් දියුණ යැයි පවසන අනෙකුත් ජනකොට්ඨාශයන් මෙන් අසීමිත ආශාවෙන් වියුක්තව දිවි ගෙවන නිසාවෙනි.ඔවුන්ගේ අපේක්ෂාවන් සීමිතය ,අරමුණු ඉතා සරලය.එකී ඔවුන්ගේ අපේක්ෂාවන් හා අරමුණු මත ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ,සිරිත් විරිත් නිර්මාණය වී ඇත .ඔවුහු තමන් ජීවත් වන පරිසරයෙන් ලැබෙන තෘප්තිමත් වන්නාහූය.ඔවුන්ගෙන් ජීවිත හා බැදුණු ගහකොළ ,සතාසීපාවට මෙන්ම බැස යන දියකදුර,එකතන රුදුන දියකඩිත්තටද බෙහෙවින් ආදරය කරතී.වැදි ජන ජීවිතයේ ඇති සරල බව නිසා උපතේ සිට මරණය දක්වා යන ගමන බෙහෙවින් ම ඔවුනට තෘප්තිමත් එකකි.
ලෝකයේ ජීවත් වන අනෙකුත් ආදිවාසින්ට සාපේක්ෂව ලාංකේය වැදි ජනයා ස්වභාවයෙන්ම නිහඬය. ඔවුහු අමුත්තන් පිළිබඳව සැක කරති .අමුත්තන් ඉදිරියේ නොසැලකිලිමත්ව හැසිරෙන ඔවුහු තමන්ට හිමි නොමැති කිසිදු දෙයක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වති .ඒත් ඔවුනට අයිති දේ පිළිබඳව මනා සැලකිල්ලෙන් සිටිම ඔවුන්ගේ සිරිත වේ.දුන්න,ඊතලය,කෙටේරිය වැනි ආයුධයක් මතින් කවුරුන් හෝ වැද්දන් වියරු වැටෙන බව වෛද්‍ය ස්පිට්ල් මහතා සදහන් කරයි .ආයුධ උඩින් පැනීම තමාට කරන මදි පුංචි කමක් හා අභියෝගයක් යැයි වැද්දෝ සිතති .
ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ප්‍රධානම අරමුණ වූයේ ආහාරයි.එසේම ,ලාංකේය වැදි ජනයාගේ ප්‍රධාන අපේක්ෂාව වනුයේ ආහාර සොයා ගැනීමයි .වැද්දන් ආහාර සදහා මුදල් වැය නොකරන තරම්ය.ඔවුනට අවැසි ආහාර වනපෙත තුළින් ම සොයා ගැනීමට ඔවුන් උක්සුක වෙතී .ජීවත් වන පරිසරයේ ආහාර හිඟපාඩු වු විට ,වාසස්ථානයක් සදහා වෙනත් ඔවුහු වෙනත් භූමියක් සොයා ඇදෙති .(වර්තමානයේ පවතින සමාජ,ආර්ථික,දේශපාලනය යන සාධක ත්‍රිත්වය උඩ මේ තත්වය බොහෝ වෙනසකට පත්ව ඇති බව පෙනේ .)
වැදි ජනයාගේ ප්‍රධාන ආහාරය දඩමස් ය.කෙතරම් අහේනි කාලෙක වුවත් ගෙරිමස් (ගව), ඉත්තෑ,ඉබි,වලිකුකුළ්,මොනර වැනි මස් ආහාරයට ගන්නේ නැත .පාරම්පරික තහංචියක් වන මෙම ප්‍රතිපත්තිය අදටද වලංගු වන්නේය .එයට හේතු සාධක මොනවාදැයි පැහැදිලි නැති නමුත් ,ඔවුන් ප්‍රතිපත්ති රකිනුයේ තම පණ දෙවෙනිකොටය.ආහාර සොයා වන වදින වැද්දදෙක් සතෙකු මරා ගතහොත් එවෙලෙම ගින්නෙන් පලහා කන්නේය.ඉතිරි කොටස තම රැහේ එවුන්ට රැගෙන යයි.බඹර වදයක්,මී වදයක් හෝ දඬුවල් බෑයක් කඩාගතහොත් එවෙලේම එවෙලේම කුසපොත්ත පිරෙන්නම පැණි හා පිළාවද කොටාබාන වැද්දා ඉතිරි වන කොටස තම අඹුදරුවන් සදහා රැගෙන යයි .බොහෝ විට වැදි ලෙනෙහි ජීවත් වන සියලු දෙනාම කාණ්ඩය වශයෙන් බෙදී ආහාර සොයා වන වදී.සමහර විට වැදි බිරිද හා සැමියා පමණක් වන වදින අවස්ථාද නැතුවාම නොවේ .
මරාගත් සතුන්ගේ කිසිවක් ඉතිරි නොකර ආහාරයට ගන්නා වැදි ජනයා අං කුර,හම ඉවත් කල නමුත් දඩයම් නොමැති විටදී සම්පොතු පවා වතුරේ බහා තම්බා ආහාරයට ගනී.නැතහොත් ගෝන හම්,මුව හම් සියුම්ව කෑලිවලට කපා පුලුස්සා ආහාරයට ගනී. (දි.ඉ.ස.-2008 පෙබරවාරි මස 10 දින)
තම මව්පියන් ගොදුරු සොයා වන වැදුණු විට,වැදි ලෙනේ තනිවන වැදි පැටවු ගල් දුනු,පොරෝ රුගෙන අසල වනයට වදීයි.එසේ වන වැදුණු වැදි පැටවුන්ගේ නෙත තලගොයෙකු,කුරුල්ලකු වැනි කුඩා සත්වයින් දිවි ගලවාගනුයේ අහඹු ලෙසය.තලගොයි බීජු, කුරුළු බීජු වැදි පැටවුන්ගේ ප්‍රියතම ආහාරය වේ.කුඩා දිය වලවල්වල සැඟවුණු මත්ස්‍යයන් ට වැදි පැටවුන් බොහෝ රුචියක් දක්වති .දියවලක සැඟවුණු කුඩා මත්ස්‍යයන් අල්ලා ගැනීම වැදි පැටවුන් අපූරු ක්‍රමයක් භාවිතා කරයි.එය, "වන" තැලීම නම් වේ.මුලින්ම ගලා යන දිය පහරක්නම් දියපහර හරස්කොට වැටියක් සාදා එහි ඉන්න මසුන් කුඩාඋන්ද ,ලොකුඋන්ද යන්න තීරණය කරති.කුඩා මත්ස්‍යයින් නම් කලාවැවල්,කුකුරුමානං ගෙඩි,පුසුවඇල් ආදිය තලා දියට මුසු කෙරේ.එම ගෙඩි විෂ සහිත බැවින් මාළු මත් වී දිය මත පාවෙන්නට ගනිති .ඉන්පසු එම මසුන් අල්ලාගෙන ගින්නෙන් පුළුස්සා ආහාරයට ගනී.මසුන් ලොකුනම් " දළුක් කිරි"ජලයට මුසු කරති.දළුක් කිරි විසෙන් දෙනෙත් අදවන මාළුන් අල්ලා ගින්නෙන් සලභා කෑමට කුඩා වැදි පැටවුන් ප්‍රිය කරති.මෙම කෑම රසවත් කිරීමට ඔවුහු වනයේ ඇති හීන් මිරිස් ,හීන් කොච්චි ආදිය යොදා ගනිති .ලුණු වෙනුවට "කූඩු සකලයින්" ගේ "ගෝමය" (වැහිළිභිණි කූඩු) භාවිත කරති.වටු බිත්තර ,තලගොයි බිත්තර අලු යට තබා තම්බා කෑමට ගනිති .
වැද්දන්ගේ ආහාර අතර කුරක්කන් තලප ,ඉරිඟු තලප මෙන්ම ගින්නෙන් පලහා ගන්නා අල වර්ගද වේ.වනයෙන් සොයාගත හැකි කටු අල,ගෝණඅල ,ඌලල වැනි අල වර්ග ඒ අතර ප්‍රධාන තැනක් ගනි.ඉදහිට කාගෙන් හෝ ලැබෙන "දෙමටුල්ලන්ද" (බත්) ද වැද්දන් ආහාරයට ගනිති.කිසිම දිනක වැදි ජනයන් තම ආහාර පිණිස සතුන් ඇති නොකරන අතර ,සිංහලයින්ගේ ගවපට්ටි බලාගත් බවත් අහන්නට ලැබේ .කේඩෑරිවී ගිය බල්ලකු නොමැති වැදි නිවසක් නොමැති තරම්ය
වැදි ජනයා පුද්ගලික පිරිසිදුකම පිළිබඳව දක්වන්නේ උදසීන භාවයකි.අසල වළකින් නැතිනම් දිය පහරකින් මුහුණ කට යාන්තමට සෝදා ගන්නා වැද්දන් ඉන්පසුව කොතරම් ජලය ලැබුණත් නාන්නේ නැත .එහෙත් වැද්දන් වැස්සට දක්වන්නේ ප්‍රියමනාප බවකි.වැස්සට තෙමී සීතල වූ පසු වැද්දෝ ගිනි තැපීමට තද කැමැත්තක් දක්වති .
වැදි පුරුෂයන් මෙන්ම වැදි ස්ත්‍රීන්ද ශරීරයේ බාහිර අලංකරනයට වෙහෙසෙන්නේ නැති තරම් ය.නිරුවත වසා ගැනීමට පමණක් ඇදුම් අදින වැදි පුරුෂයන් ඒ සදහා කෙටියට සරම් කඩමාල්ලක් අදිති .වැදි ගැහැණු ද ඉගසිට දණහිස දක්වා රෙදි අදින අතර උඩුකය ද ආවරණය කර ගෙන සිටිති .ශරීරය වසා ගැනීමට පමණක් රෙදි අදින වැදි ස්ත්‍රී හූ ආභරණ පැළදීමට රුචියක් දක්වති .වත්මන් වැදි කතුන් පාට වීදුරු ,පබළු ,ඇත් දතින් හෝ හක්බෙල්ලන්ගෙන් සෑදූ වළලු දමා ගෙන සිටීම දක්නට පුළුවන .අතීත වැදි ගැහැණුන් මල් පැළදීමක් නොකලමුත් වර්තමාන වැදි කාන්තාවන් මල් පළදනු ලැබේ .ඒත් වැදි ස්ත්‍රින්ට පිච්ච මල් පැළදීමට වරිගය තහංචියකී.ඒ පිච්ච මල් සුවදට යකුන් පෙම් බදින බවට වැදි ජනයා තුළ මතයක් පවතින බැවිනි .
වැද්දන්ගේ විවාහ ජීවිතය අතිශයින්ම ප්‍රීතිමත් එකකි.බොහෝ වැද්දන් කාමුක වූවත් කිසිම දින පර ස්ත්‍රි සේවනයේ යෙදෙන්නේ නැත .වැදි කතද දයාබර බිරිදකී.ඇයද කිසිවිටෙක පරපුරුෂ සේවනයේ නොයෙදෙති.තමන්ගෙ බිරිඳගෙන් හෝ පුරුෂයාගෙන් ඔවුනොවුන් තෘප්තිමත් ය.තමන්ගේ බිරිඳ හෝ පුරුෂයා මිය ගිය කල දෙවනි විවාහයක් කර ගැනීමට තම වැඩිහිටි ...තින්ගේ අනුදැනුම මත තහනමක් නොමැත .වැදි පුරුෂයා ඉතා දයාබර ස්වාමිපුරුෂයකුගේ මෙන්ම දයාබර පියෙකුගේ භූමිකාව යථාර්ථවාදී ලෙස රග දක්වනු ලබයි.පවුල වෙනුවෙන් ඕනෑම බැරෑරුම් අවස්ථාවකට මුහුණ දීමට ඔහු සූදානම්ය .වැදි ජනයා තම බිරිද ට ආදරය දක්වන්නේ ක්‍රියාව තුලින් පුළිදු පමණක් වීම සුවිශේෂය.තමාට ලැබෙන ආහාරයේ හොදම කොටස තම බිරිද වෙත,රැගෙන යයි .වැදි ගැහැණිය නිතර නිහඬ චරිතයකි .හැකිතාක් දුරට වෙනත් පිරිමින්ගෙන් ඈත්ව ජීවත් වීමට ඈ උත්සාහ කරති .
වැදි ජන දිවියේ විශේෂ අවස්ථා
උත්පත්තියේ සිට මරණය දක්වා යන ගමනේ දී අපට ජීවිතයේ විශේෂ අවස්ථාවන් රැසක් මුහුණදීමට සිදුවේ. සිංහල ජන සමාජයේදී උපන්දින, නම්තැබීම්, ඉඳුල් කටගෑම්, අකුරු කියවීම්, වැඩිවියට පත්වීම්, විවහය හා මරණය ආදි වශයෙන් විවිධ අවස්ථාවන්ට, අනූකූලව උත්සව පවත්වනු ලැබේ. සිංහල සමාජයේ දී එ සෑම කාරණයකටම උත්සව පැවැත්විමේ සිරිතක් නොමැත. ඉතා නිරහංකාර අව්‍යාජ දිවි පෙවතකට උරුමකම් කියන වැදි ජන ජනයාගේ ජිවිතය ආටෝප සාටෝපවලින් පිරී නොමැත . ඉතා නිරහංකාර අව්‍යාජ දිවි පෙවතකට උරුම කම් කියන වැදි ජනයාගේ ජිවන ආටෝප සාටෝප වලින් පීරි නොමැත ජීවිතයේ අවස්ථා කිහිපයකදි පමණක් ඉතා චාම් අයුරින් උත්සව පැවැත් වීම වැද්දන්ගේ සිරිතයි. විවහය, වැඩිවියට පැමිනීම හා මරණය වැනි අවස්ථා කිහිපයකදි පමණක් ඔවුහු සුළුවෙන් උත්සව පවත්වති. සිංහල අලුත් අවුරුදු දිනයද වැදි ජනයාට ප්‍රීතිමත් දිනයකි.
විවාහය
සිංහල ජන සාමාජයේ දක්නට ලැබෙන විශාල ප්‍රිය සම්භාෂණ සමග විවාහ උත්සව පැවැත්වීමේ සිරිතක් වැද්දන් තුළ නොමැත . විවාහය වැනි ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයකදි මුලින්ම ක්‍රියාකිරිමේ වගකීම පැවරෙන්නේ විවාහවීමට බලාපොරොත්තුවන වැදි තරුණයාගේ පියා හටය . තමා සරණ ගැනීමට කැමති තරුණිය පිළිබඳ තම පියාට දැන්වීමෙන් පසු එම පියා තරුණියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් හා සාකච්ඡාකොට විවාහය සිදුකරනු ලබයි. සරණ පාවා ගැනීමට නියමිත තරුණිය තම නෑනා විය යුතු බවත්, ඇය සිය පියාගේ මස්සිනාගේ දුව විය යුතු බවටත් වැදි ජන සම්මතයක් ඇත.
මරණය
වැදි ජන සමාජයේ මළවුන් පිදීම ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් අවමංගල උත්සවයකදි සුවිශේෂි චාරිත්‍ර වාරිත්‍ර රාශියක් සිදුකරනු ලබයි. ( මළවුන් පිදීම පිළිබද විස්තර වැදි ජන සමාජයේ ඇදහිලි යන උප ශිර්ෂය යටතේ දැක්වේ) වැද්දකු මියගිය පසු ඔහු භූමදානය කරන සොහොන්වල අඩි 3-4 ක් ගැඔුරට කණිනු ලබයි . මෘත ශරිරය විශේෂ බෙහෙත් රෙදි යොදා ආවරණය කරන අතර, පබළු මාලයකින් සරසනු ලැබේ. වැදි පිරිමියකු මියගියේ නම් මෘත ශරීරය සමඟ දුනු , ඊතල, පොරව, බුලත් මල්ල, ජලය , ගිනිගල් ද සමහර අවසථාවන් හිදී වෙඩි බෙහෙත්, උණ්ඩ ආදීයද තැන්පත් කරනු ලබයි. සොහොන මතුපිට ආදිකල්පිත මැස්සක් සාදා එය කොළවලින් සෙවන කරනු ලබයි. මෘත ශරිරය වළදැමු පසු ශීර්ෂය පැත්තට බිඳින ලද පොල් ගෙඩි 03ක්ද, දර මිටියක්ද තබන අතර, දෙපා පැත්තට නොබිඳෙන ලද පොල් ගෙඩි කිහිපයක්ද තබනු ලැබේ . සොහොන මතුපිට පතොක් ගස් තුනක් සිටුවා , මියගිය පුද්ගලයා භාවිත කළ බුලත් මල්ල හා වතුර භාජනයද එහි තබනු ලැබේ.
මළවුන්ගේ සිත් සැනසීම සඳහා වැදි ජනයා සොහොන අසලදි විශේෂ රැස්වීමක් පවත්වා දොල පිදේනි දීමේ සිරිතක් ඇත. මෙම දොල පිදේනි දීමේන් බලාපොරොත්තු වන්නේ මළගිය ප්‍රාණකාරයාගේ සිත් ප්‍රබෝධවත් කිරීම වේ. එමගින් දඩයම් සපලකල ගෑනිමටත් ගොවිතැන් දියුණුකර ගැනීමටත් මළගිය ඥාතියා ගේ සහයෝගය ලැබෙන බව වැදි ජනයාගේ විශ්වාසයක ඇත. මෙසේ දොළ පිදේනි පුද නොකළහොත් මළගිය ඥාතියා ජීවත්වන්නවුන්ට කරදර හිරිහැර කරන බවට වැදි ජනයා අතර ප්‍රබල විශ්වාසයක් පවති.
සිංහල අළුත් අවුරුදු උත්සවය
සිංහල අළුත් අවුරුදු දිනය වැද්දනටද සුවිශේෂි දිනයක් වේ.අළුත් අවුරුදු දිනට පෙරදා වැදි ජනයා දානයක් උයාගෙන මහියංගන විහාරයට ගොස් පූජා කරති. අවුරුදු දිනය දා සියලු වැඩකටයුතු නවතා විවේකීව ගතකරනු ලබයි. ඔවුන් සිංහල ජනයා මෙන් ක්‍රීඩා කරන්නේ නැත. මත්පැන් පානය කරන්නේද නැත. දෙමව්පියන්ගෙන් ඈත්ව සිටින දුවාදරුවෝ තම මව්පියන් බැලීමට යති. දෙමව්පියෝ තම දුවාදරුවන් බලන්නට යති. අවුරුදු තැගි බෝග වශයෙන් දඩමස්, මී පැණි ආදිය හුවමාරු වේ.
වැදි ජන ඇදහිලි හා විශ්වාස
ලෝකයේ ජිවත්වන බෝහෝ මිනිසුන්ට කිසියම් ආගමික විශ්වාසයක් වේ.විවිධාකාර ඇදහිලිවලට මෙන්ම විශ්වාසයන්ට නැඹුරුව ඔවුහු තමන් අදහන ආගම හෝ විශ්වාසයන් නිරවද්‍ය දර්ශනයක් ලෙස සලකා කටයුතු කරති. ආදිවාසි වැදි ජනයාටද ඔවුන්ටම ආවේනික ඇදහිලි හා විශ්වාසයන් වේ. වැද්දන් පුනර්ජන්මය පිළිබඳ දැඩි විශ්වාසයෙන් කටයුතු කරන පිරිසකි. වැද්දකු මියගිය පසු යක්ෂයකු වි නැවත ජන්මය ලබන බවත් , එම යක්ෂ ආත්මය සදාකාලික බවත්, ජීවත්වන්නන් සඳහා මහත් බලපෑමක් කරන බවත් වැද්දන් අතර , දැඩි විශ්වාසයක් පවති. තවද, ඔවුන්ගේ ජිවිත සුඛිත , මුදිත කිරීමේ හැකියාව මෙම මියගිය තම සාමාජිකයින් සතු බව ඔවුන් දැඩි විශ්වාසයට ගත් කරුණකි.වන සතුන්ගෙන් සිදුවන අපල උපද්‍රවවලින් ආරක්ෂා කරගනු ලබන්නේත් ඔවුන් දඩයමේ යනවිට ගොදුරු සොයාදීම සිදුකරන්නෙත් මෙම මියගිය ඥාති යක්ෂයින් බව ඔවුහු විශ්වාස කරති.
වැදි ජනයා අදහන නෑ යකුන් අතරින් ඉතා වැදගත් යක්ෂයින් සේ කන්දේ යකා හා ඔහුගේ සහෝදර බිළිදු යකා ගෞරවයට පාත්‍රව ඇති අතර , කන්දේ වන්නියා නැමති යක්ෂයා සංස්කෘතික වීරයකු සේ පෙනේ. මොහු කන්දේ යකාට හා බඹරු යකාට සමාන බවත් ඹවුන් විශ්වාස කරති.මෙම යකුන් උදෙසා පවත්වන ආගමික උත්සව වැදි යාදීන වශයෙන් හඳුන්වනු ලැබේ.
ඊතලේ නැටුම් , කිරි කොරහා යාගය , නෑයකු උත්සවය , පත යකා උත්සවය, රාහූ යකා උත්සවය , වනගත යකා උත්සවය , රුවල උත්සවය හා ආවන උත්සවය මේ නෑ යකුන් පුදන උත්සව අතර ප්‍රධාන තැනක් ගනී. මේ නෑ යකුන් සඳහා විවිධ පූජා උත්සව පවත්වා දොළපිදේනි පිරිනැමීම වැදි ජනයාගේ සිරිත වේ. මෙම පිදේනි යක්ෂයින් වෙත භාර කිරීම සිදුකරනු ලබන්නේ ආවේෂ වීමට අපේක්ෂාවෙන් සිටින සාමාජිකයකු විසිනි. ඔහු දුක්ගන්නාරාළ නොහොත් දුක්ගන්නා උතුමා ලෙසින් හදුන්වයි. රෝග පීඩා ආදියෙන් ආරක්ෂාවීට භූත දේවතාවුන් පිදීමද ඔවුහු සිදුකරති. ඒ අතුරින් කිරිඅම්මා දේවතාවියට හිමිවන්නේ වැදගත් තැනකි. ඇය කනදේ යකාගේ බිරිය ලෙස ඔවුන් සළකනු ලැබේ.කළුබණ්ඩාර දෙයියලැත්තන්ද වැදි ජනයාගේ පුද පූජා ලබන තවත් දේවතාවකු වේ.
කිරි කොරහා යාගය
ලෙඩදුක් වැළදෙන කල වැදි ජනයා විවිධ පුදපූජා පවත්වා දෙවියන්,නෑ යකුන් පිදීමෙන් යම් සුවයක් බලාපොරොත්තු වන බව ඉහත පෙන්වා දුනිමි.මෙම පුදපූජා අතර,කිරිකොරහා යාගයඉතා උසස් ශාන්තිකර්මයක් බව විද්වතුන්ගේ අදහසයි.මහියංගන පෙරහර සමයට මසකට පමණ පෙර සෑම වසරකම පාහේ සිදු කරන මෙම ශාන්තිකර්මය වැදි ගම්මානය පුරා වසංගත පැතිර යන අවස්ථාවලදීද සිදු කරනු ලබයි.
කිරිකොරහා නැටීමට පෙර යකුන් උදෙසා පඬුරක් බැද බාරයක් වන මොවුන් බාරය ඔප්පු කරනු ලබන්නේ,තොවිලය නැටීමෙන් පසුවය .මෙම කිරි කොරහ නැටීමේ ශාන්තිකර්මය තුල වැදි ජනයාගේ අපුර්ව සංස්කෘතික ලක්ෂණ විද්‍යමාන වේ.කන්දේ යකා හා බිළිඳු යකා මෙහිදි විශේෂයෙන් සිහිපත් කරන නෑ යකුන් වේ.රැයක් පුරා පැවැත්වෙන මෙම ශාන්තිකර්මයේදී නෑ යකුන් සදහා පිදේනි වශයෙන් පොල් කෑම වර්ග ,පුළුටු මෙන්ම මල් වර්ග පූජා කරනු ලැබේ .පන්දම් ,හුලු අතු ආදිය අල්ලාගෙන මෙම පිදේනි නෑ යකුන්ට පුද දෙන අතර පොල් ගෙඩි කිහිපයක් බිද ලබා ගන්නා කිරි කොරහකට දමා ඊට සුවද දුම් අල්ලා කොරහා වටා මන්තර ජප කරමින් නටන මේ නැටුම් මෙම යාගයේ සුවිශේෂී අංගයකී.මෙම ජප කරන මන්තර ඔවුන් පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඒවා වේ.ඉර උදා වී පැය දෙක තුනක් යන තුරු සිදුකරන මෙම යාගය අවසන් වන්නේ කොරහේ කිරි ටික වල දැමීමෙන් පසුවය .සතුන් ඉඳුල් කිරීම වලකනු වස් මෙම කිරි වළදැමීම සිදු කරනු ලබයි.තම පුරාණ නෑ යකුන් සදහා පිදූ ශුද්ධ වස්තුව කුමන අයුරකින්වත් ඉදුල් නොවීමට වග බලාගන්නා වැදි ජනයා මෙම යාගය සිදු කිරීමට ඔවුන් ගැයූ මන්තර හා පිදේනි නිසා සතුටට පත් නෑ යකුන් ඔවුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන බවට ඔවුන් තුළ ඇත්තේ නොබිඳිය හැකි විශ්වාසයකි.
නෑ යකුන් ඇදහීම මෙන්ම දෙවියන් ඇදහීමද සිදු කරනු ලබන වැදි ජනයා පාරම්පරිකව රැගෙන එනු ලබන මන්තර පිළිබඳවද දැඩි විශ්වසයකින් කටයුතු කරනු ලැබේ .වන සතුන්ගෙන් වෙන ගැහැට වලින් මිදීම සදහා මෙම මන්තර ආදියෙහි පිහිට පිහිට පැතීම වැදි ජනයාගේ සිරිත වේ.
මහියංගන දෙවුලට එන වැදි පෙරහැර
“ බුද්දල ඇත්තන් සාසන පොජ්ජට මංගච්චපු වෙලා පොජ්ජේ මේ ඇත්තෝ සටන් පොජ්ජට මංගච්චපු ඒ තැනින් තමයි එතන මන්දෝ වෙලා තිබුන්නේ . බුද්දල ඇත්තෝ මංගච්චපු වෙලා පොජ්ජ එතන ඉඳ තිබව්වේ යක් පොජ්ජ. යක් පොජ්ජෙ කොදුස්. එ ඇත්තේ මිනිග් ගජ්ජු ගෝස්තර පොජ්ජෙන් යක් පොජ්ජ. ඒ ඇත්තේ ඉඳ තිබිච්ච කාල පොජ්ජේ බුද්දල ඇත්තෝ මංගැච්චුවා සාසන පොජ්ජට එතන ඉඩ පොජ්ජ මන්දෝ කොරගන්ඩ.ඒ ඉඩ පොජ්ජ ඈන උකාලන්න කොදුස් කියලා තමයි ඒ ඇත්තෝ සැර පොජ්ජ මන්ද කෙර කෙර මංගච්චපු ඒ පෙරෑර පොජ්ජ තමයි පොජ්ජ තමයි අද දවස් පොජ්ජෙක් මංගච්චන්නෙ. ඒ රුකං පොජ්ජ ඒ වැඩ පොජ්ජ තමයි අද දවස් පොජ්ජේ මන්දො කරන්නේ. හූ තුනක් මන්දෝ කරනවා. කෝටූ පොජ්ජ ඇන්න මජගච්චනවා. කදාර්නිගේ දියතන ඇන්න මංච්චලා ඇඟ පොජ්ජෙලා බච්වලා හොඳවගේ පුළුවන් පොජ්ජ මන්දෝ කරගෙන මජගච්චනවා. හූතන මන්දො කරගෙන.තැනෙකින් කොදුයි. ඒ කාල පොජ්ජේ මාමකැච්චක් මිනිග්ගජ්ජුන්ටත් කරදර පොජ්ජේ මං පොජ්ජේ ඉඳින්නේ කොදුයි මං පොජ්ජ රඳන්න කොදුයි.මං පොජ්ජේ කඩපොජ්ජක් තබාගෙන ඉඳින්නෙ කොදුයි . ඒම තමා පෙරෑර පොජ්ජ මන්දෝ කළේ. කොදුයි නං ගුටි පොජ්ජ මන්දෝ කරනවා.”
බුදුහාමුදුරුවෝ මහියංගනයට පැමිණි වේලාවේ යක්ෂ ගෝත්‍රිකයන් එතුමන් සමග සටනට ගිය ගමනෙන් තමා වැදි පෙරහැර ආරම්භ වුණේ .බුදුහාමුදුරුවෝ එන කාලේ මහියංගන පන්සල තියෙන තැන හිටියේ යක්කු ,යක්කු කිව්වට ඒ අයත් මිනිස්සුමයි .ගෝත්‍රයෙන් යක්ෂයෝ, ඒ යක්ෂයින් ඉද්දි බුදුහාමුදුරුවෝ මහියංගනයට ආවේ එතනින් ඉඩ ටිකක් ලබා ගන්ඩ.එතනින් ඉඩ ටිකක් දෙන්න බැ කියලා බුදුහාමුදුරුවන්‍ට සැර දම දමා යක්කු පෙරහැරින් ම ගියා.අද පවත්වන්නේ ඒ පෙරහැර තමා.ඒ විදියටම ලී කෑලි අරගෙන හෙම ඒ වැඩ ටිකමයි අදත් ඔය කොරන්නේ.හූ කියනවා, කෝටු කෑලි අරගෙන යනවා.මී පැණි අරන් ඇගේ ගාලා හොද පුලුන් ඇගේ අලවගෙන පෙරහැරේ යනවා.දැන් මෑතකදී නම් නෑ.ඉස්සර මිනිස්සුන්ට හරි කරදර ,අපේ පෙරහැර යනකොට පාරේ නැවතිලා ඉන්න තහනම්.පාරේ කඩයක් දාගෙන ඉන්න බැ මිනිස්සුන්ට ,එහා මෙහා ගමන් කරන්න දෙන්නේ නෑ .එහෙම තමයි පෙරහැර කලේ.එහෙම නොකලොත් ඒ අයට ගුට් දෙනවා".
දඹාන හා සොරබොර වැදි ගම්මානයන්හි ජිවත් වන වැදි ජනයාගේ අත්‍යුත්කෘෂ්ඨ පූජා උත්සවය වන මෙම මහියංගණ දේවාලයට එන වැදි පෙරහැර ගැන හිටපු වැදි ඌරු වරිගේ වන්නියලැත්තන් විස්තර කර ඇත්තේ එලෙසිනි. වසරක් පාසා පැවැත්වෙන මෙම මහියංගණය ඇසල පෙරහැර නිමවි දිය කපනා දා පවත්වනු ලැබේ. දෙවියන් උදෙසා මෙම පෙරහැර ඔවුන් පවත්වන බැවින් මහියංගණය වෙහෙරට නොයන මොවුන් රැගෙන යන තෙල් මල් ආදිය දේවාලයට පූජා කරතී.
පෙරහැර පවත්වන දා උදයේ මහියංගණ වෙහෙරට යන වැදි මිනිසුන් දෙහි ගෙඩි කිහිපයක් හිස ගල්වා පිරිසිදු වී බාරය ඔප්පු කරතී.කුඩා කොහොඹා බණ්ඩාර , මහ කොහොඹා බණ්ඩාර , ඉරුගල් බණ්ඩාර ,සදුගල් බණ්ඩාර , ආදි දෙවියන් උදෙසා බාරය ඔප්පු කරන මොවුන් රාත්‍රි සද එළියේ පෙරහැර පවත්වන ලැබේ.මෙම පෙරහැරේ මුලින්ම බෙරකාරයා විසින් බෙරය වයමින් යන අතර, අනෙක් වැදි මිනිසුන් ඔහු සමඟ ගමන් කරති. දේවාලය වටේ " හූ" කියාගෙන තෙවරක් පැදකුණු කරන මොවුන් මහවැලි නදියට පැන තමන් රැගෙන ආ කෝටු කැබලි ගගේ පා කරති. ඉට පසු යළිත් දේවාලයට පැමිණෙන ඔවුහු දෙවියන්ට පින් දී පෙරහැරෙන් රැගෙන ආ පොල් දෙවුල් බිමේ ගලක ගසා බිද එම පොල්ද දෙවියන් උදෙසා පූජා කරති. බුදුන් පිදීමේ සිරිතක් වැදි ජනයාට නොමැති පන්සලේ වැඩ වසන භික්ෂූන් වහන්සේ වෙත පූජා කරන සිරිතක් වැදි ජනයා අතර ඇත.
- ‘‘ඌවේ වංහුං’’ සූජීව කුමාර කෝවිලතැන්න