dunhinda.com

Our Heritage - අපේ උරුමය

කොණ්ඩ රාජාලියා දැක නැවතුණු මොනරාගේ පෙම් රැඟුම

සිව්පා සතුන්ට මෙන්ම කුරුල්ලන්ට ආවේනික හැසිරීම් රටාවක් තිබේ. යාල, විල්පත්තු ජාතික උද්‍යාන තුළදී දිවියන් තිත්මුවන් අල්ලා ගන්නා ආකාරය මා දැක තිබේ. උකුස්සන්ද ඒ හා සමාන මාංශ පක්ෂීන්ය.  ජනවාරි මාසයේ දිනක, උදය වරුවේ ජීප් රථයකින් යාල උද්‍යානයේ  ”ඌරණිය” පාර දිගේ යනවිට මාර්ග හරහා මොණරකු පිල් විහිදාගෙන සිටිනු දැක රථය නතර කළෙමි. මොණරා දෙපසින් ගැහැණු සතුන් (සෙබඩුන්) 05 දෙනෙකු බිමට කොටමින් සිටී. රථයේ ශබ්දය ගැන ඔවුන් තැකීමක් නැත.
මා බලාපොරොත්තු වූයේ තව මොහොතකින් මොණරා දිව ගොස් ගැහැණු සතකු පිටඋඩට පැන සංවාසයේ යෙදේය යන්නය. අවාසනාවක මහත! පිල්විහිදාගෙන සිටි මොණරා ක්‍ෂණයකින් අත්තටු අකුලාගෙන මරබියේ දිවගොස් අසලම තිබූ ලැහැබ තුළට රිංගාගති. සිදුවූයේ කුමක්දැයි නොදැන මා රථයෙන් බිමට බැස්සෙමි. එකෙනෙහිම ගුවනේ සිටි ”කොණ්ඩ රාජාලියකු” බිමට පහත්වී පැනගිය මොණරා පසුපස එළවා ගොස් ලැහැබ තුළින් එළියට පැමිණියේ මොණරාද කටින් ඩැහැගෙනය. ඌ මියගොස් ඇත. මම වහා ජිප් රිය තුළට ගියෙමි.
උකුස්සා (රාජාලියා) අප ගැන තැකීමකින් තොරවම රථය ඉදිරියේම තබාගෙන මියගිය මොණරාගේ මස්කොටය ගිලදමා අහසට ඉගිලූනි. මා ඉදිරියේ ඉතිරිවූ මොණරාගේ ලස්සන පිල් කළඹ සහ තියුණු නිය සහිත පාද 02 පමණකි.
ජීවත්ව සිටින මොණරුන්ගේ වලිගයේ පිහාටු වසරක් පාසා අප‍්‍රියල් මාසයේදී හැලෙයි. ඊළඟ අවුරුද්දේ ජනවාරි වන විට පිල් කළඹ නැවතත් මනාව වැඩෙයි. ඔවුන්ගේ සුවැඳි සමය දෙසැම්බර් සිට මැයි වේ. කුරුල්ලන් තම ප‍්‍රදේශය රැුකගැනීමට සමූහයක් කැටුව සටන් වැදීම, එදිරිවාදියාට පෙනෙන්නට හැසිරීම සංවාසයට ආරාධනය කිරීම ආධිපත්‍ය විදහා දැක්වීම සඳහා විශේෂ හැසිරීම් පෙන්වා සිටිති.
මා අම්පාර ඉඟිණියාගල සේවය කළ අවධියේ 1972 දෙසැම්බර් මසදී කුස - ඇලි රාජාලියන් ජෝඩුවක් ඉහළ ආකාසයේ සංවාසයට පෙර සිදුකළ ”පේ‍්‍රම රැගුමක්” මගේ සිහියට නැගේ. ලංකාවේ උකුස්සන්ගෙන් විශාලතම සත්වයා කුස - ඇලි රාජාලියාය.
රාජාලි (උකුස්සන්) ජෝඩුව කෑගසමින් ගුවනේ ඒ මේ අත පියාඹා යමින් සිට එක්වරම දෙදෙනාගේ පාද  හතර පටලවාගෙන පහතට වැටුණු ආකාරය මම බලා සිටියෙමි. අඩි 20-30 පමණ පහතට වැටී පාද ගලවාගෙන ඔවුන් දෙදෙනා ඉහළට පියඹා නැවත නැවතත් ඒ අයුරින් හැසුරුනි. ඊට මාසයකට පමණ පසු දෙදෙනා ආසන්නයේ තිබූ උසැති ගොඩ කිරල ගසක් මත විශාල කූඩුවක් තනා බිජුලා පැටවුන් (02) දෙදෙනෙකු බිහි කළහ. මා යටතේ සේවය කළ වනජීවි නියාමක සාමෙල් අප්පු මාගේ නියමය පරිදි ගසඋඩට නැග පැටවුන් දෙදෙනා මට පෙන්වා නැවත කූඩුවේම තැන්පත් කළ අතර පැටවුන් ඉගිලී ගිය දවස දක්වාම මගේ නිවසේ (ඉඟිණියාගල) සිට දුර දක්නයෙන් බලමින් සටහන් තබා ගත්තෙමි.  එතුල වනජීවි නිලධාරීන් විසින් එවැනි ක්ෂේත‍්‍ර නිරීක්‍ෂණය තම ක්‍ෂේත‍්‍ර පොතේ ලියා වනජීවි අධ්‍යක්‍ෂ වෙත යැවිය යුතුයැයි නියෝගයක් ක‍්‍රියාත්මක විය. වර්තමානයේ වනජීවි නිලධාරීන්ට කුරුල්ලන් ගැන හැඟීමක් උනන්දුවක් තිබේද යන්න සැක සහිතය.
කෑදැත්තන් පැටවුන් බිහි කිරීම කුරුළු ලෝකයේ ඉතා වැදගත් හා දුර්ලභ නිරීක්‍ෂණයකි. මෙහිදී කූඩුව තිබෙන බෙනය තුළ ගැහැණු සතා සිටියදී පිරිමි සතා විසින්  සිය මළ සහ මැටි මිශ‍්‍රව සැදූ බදාමයකින් ඇයව වසා හිර කරනු ලැබේ. කුඩා සිදුරක් පමණක් ඉතිරිවන පරිදි මෙසේ සිරකරනු ලබන ගැහැණු සතා බිත්තර රකින කාලයේදී පිරිමි සතා විසින් ඇයව ආහාර රැගෙනවුත් කවන්නේය. පැටවුන් බිහිවූ පසු ගැහැණු සතා බෙනයේ මැටි බදාමය කඩා ඉවතට පැමිණෙන්නීය.
1960 වර්ෂයේ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාව සිටි ජේ.ඒ. ද සිල්වා මහතා විසින් ලියන ලද වාර්ෂික පරිපාලන වාර්තාවේද මෙවැනිම නිරීක්‍ෂණයක් සඳහන්වෙයි. එකල අධ්‍යක්‍ෂ ජනරාල් වරයා මාසිකව ජාතික උද්‍යානවලට ගොස් සේවකයින්ගේ සුවදුක් විමසා ඔවුන්ගේ වැඩ අධීක්ෂණය කිරීමේ සිරිතක් පැවතින.
කුමන කුරුලූ අභය භූමියේ අනපේක්‍ෂිත මුහුණ දීමක් ශ්‍රී ලංකාවේ දේශීය පක්‍ෂින් බිජුලා පැටවුන් බිහිකරන අප විසින් ආරක්ෂා කරගත යුතු ස්ථාන ගණනාවක් ඇත. ත‍්‍රීකුණාමලයට නුදුරින් මුහුදේ පිහිටා ඇති ”පරවි දූපත” ගල් පරවියන් ඇතුළු පරවියන්ගේ පාරාදීසයකි. වර්තමානයේ එය ජාතික වනෝද්‍යානයක් වන අතර මහජනයාට එහි යාම සඳහා පෞද්ගලික බෝට්ටු සේවා කීපයක් ක‍්‍රියාත්මක වෙයි.
යාල නැගෙනහිර ජාතික උද්‍යානයේ සුප‍්‍රසිද්ධ කුමන කුරුලූ පාරාදීසය ඒ අන්දමේ විවිධ ජලජ පක්ෂීන් බිජුලා පැටව් බිහි කරන ස්ථානයකි. රුදුරු එල්ටීටීඊ ත‍්‍රස්තවාදය රජකළ සමයේදී එම උද්‍යානය වනජීවි සේවකයන්ගෙන් තොර ප‍්‍රදේශයක් විය. ශ්‍රී ලංකාවේ කාටත් කුමන කුරුලූ පාරාදීසය අමතක වී තිබූ සමයකි. එහෙත් දකුණේ යාල වනෝද්‍යානය භාරකරුව සිටි මාහට නිශ්ශබ්දව සිටිය නොහැකිවිය. ඒ අනුව දිනක් එහි ගොස් කුරුල්ලන්ගේ වගතුග සොයා බලන්නට මට සිත්විය. එහි උදය වරුවක තවත් සේවක 4 දෙනෙක් සමග 5 ශ්‍රී 830 ලෑන්ඞ් රෝවර් රථයෙන් මැණික් ගඟ හරහා ගොස් කුඹුක්කන් ඔයෙන් ගොඩවී කුමන පුරාණ ගම්මානයට ගියෙමු. යාල වනජීවි නියාමක කුමාර බණ්ඩාගේ (දැනට මියගොස්) නිවෙසට ගිය මම ඔහුත් කැටුව කුමන විල්ලූවට ගියෙමි. (ඔහු කුමන ගමේ පදිංචි කරුවෙකි)
ඒ ආසන්නයට යනවිට දුරදීම මට පෙනුනේ පාපැදි 40 පමණ විල්ලූව අයිනේ නතර කොට ඇති බවයි. කිසිවකුත් ඒ අසල නැත. පාපැදි අසලටම ගොස් රථයෙන් බිමට බැසගත් මට පෙනුනේ තරුණයින් සමූහයක් විල්ලූවේ ගස් මුදුන් මත සිටින බවයි. පාපැදි සියල්ල මොවුන්ගේ විය යුතුය. මට සිතුනි. ඔවුන් කුමක් කරන්නේද? මම දුර දක්නයෙන් පරීක්‍ෂා කළෙමි. මව් කිරිල්ලියෝ ඇවිස්සී විලාප දෙමින් ඒ මේ අත පියඹති. පැටවුන්ගේ කීචි බීචි නාදයේ නිමක් නැත. ගස් මුදුන් මත සිටි තරුණයින් සෑම අයකු අත පොලිතින් ”සිලි” බෑගය. බෑග් තුළ මොනවා හෝ ද්‍රව්‍යයක් තිබෙන බව දුටිමි. තරුණයෝ සියලූ දෙනා ඉතා විමසිල්ලෙන් අප දෙස බලන්නට වූහ.
”පාපැදි වල හුළං ඇරල මුන් ටික අල්ල ගමුද” මම කුමාර බණ්ඩාරගෙන් විමසුවෙමි. ඔහු කිසිම කතාවක් නැතිව මගේ දුර දක්නයෙන් පරීක්ෂා කර බලා ”සර්....මෙතැන තව තවත් ඉන්නෙ නැතිව ඉක්මනට යමු යන්න” යයි මට කීය. ඒ ඇයි දැයි විමසූ විට ”කරදරයක් වෙන්න කලින් යමු යන්න”  මම කුමාර බණ්ඩාට අවනත වීමි. අප ලෑන්ඞ් රෝවර් රථයට නැග කුමාර බණ්ඩාගේ නිවෙසට  යන ගමනේදී ඔහු පැවසුවේ ගස් මත සිටි පිරිස කොටි කොල්ලන් බවයි. ගස් උඩ සිටි කොල්ලන් අත තිබූ සිලි බෑග් මොනවද? මම විමසුවෙමි. ”උන් අර කූඩුවල සිටි කුරුළු පැටව් බෑග්වල දමාගෙන යනවා කෑමට” කුමාර බණ්ඩාගේ පිළිතුර විය.
ඔහු නැවතත් කතා කරමින් ”සර් අර කොටි කොල්ලො ටික සමහර විට අපේ පස්සෙන් එයි... එහෙම ආවෙත් සන්ඩු කරන්න යන්න විතරක් එපා..” යයි මට කීය. වේලාව දහවල් 1.00 පමණය. මට මේ අවස්ථාවේ සිහිපත් වූයේ කොටි ප‍්‍රහාර වලින් මියගිය වනජීවි නිලධාරින්ය.
නිවෙසට පැමිණි අපහට කුමාර බණ්ඩා පිඟන් වලට බත් බෙදා දුනි. පරිප්පු සහ කොරලි මාලූ රසවත් ආහාරයක් විය. බත්ටික කා අවසන් කිරීමටත් පෙර මුලින් කී තරුණයින්ගෙන් (12) දොළහක් පමණ පාපැදි වලින් අප සිටි නිවෙස දෙසට පැමිණ නිවෙසට ඇතුළු නොවී එය වටා වාර 3 ක්  4ක් පමණ පැද විනාඩි 05ට පමණ පසු යන්නට ගියහ.
”සර් කෑවා ඇති... ඉක්මනට වාහනයට නැගලා යන්න. එක පාරටම කුඹුක්කන් ඔය පැත්තෙන් යන්නේ නැතිව බොරුවට පානම - පොතුවිල් පැත්තට සැතපුම් 3-4 ගිහින් ආපසු හරවගෙන ඇවිත් කුඹුක්කන් ඔයෙන් ගොඩවෙලා මග නතර නොවී යාලටම යන්න” කුමාර බණ්ඩා මෙසේ පැවසූවේ දැඩි අවදානමක පෙර නිමිති දැන ඇති නිසා විය යුතුය. ”කාලයක හිටං ඔය එල්ටීටීඊ කාරයන්ගේ නවාතැන් පොළක් කැලේ ඇතුළෙ තියෙනවා. දැන් අපේ ගෙදරට ආවේ ටික දෙනයි...ගස් උඩ සිටි අනික් අය ඒ නවාතැන් පොළට යන්න ඇති. සර් ඉන්න තැන බලාගෙන යන්න තමයි අරටික දෙනා පාපැදිවලින් ඇවිත් ගියේ...” කුමාර බණ්ඩා කියාගෙන යන විට මම ”එහෙනම් අපි යන්නම්... කුමාර බණ්ඩාගෙ ගෙදර අයට බොහොම ස්තූතියි. අපිට සැලකුවාට..” මා අවදානමෙන් ගැලවී යා යුතුය. අපි ලෑන්ඞ්රෝවර් රථයට ගොඩවී කුමන විල්ලූව පසුකර යාකළ ඉටිකළ අන්දර කලපු පසුකරමින් කි.මී (04) හතරක් පමණ ඉදිරියට  ඕකන්ද දෙසට ගොස් ආපසු හැරී කුඹුක්කන් ඔය ඇද කුඹුකෙන් එගොඩවී යාල II කොටසේ පොත්්තන ආරට පැමිණ එය හරහා ”කටුපිල ආරට” පැමිණ පැය 1/2කට පමණ පසු මැණික් ගඟට පැමිණ යාල උද්‍යානයේ මගේ නිවහනට පැමිණියෙමි. මරු කටකින් මම ගැලවුනෙමි.
දින තුනක (03) නිවාඩුවෙන් පසු කුමාර බණ්ඩා පාපැදියෙන් ඔහුගේ රාජකාරි සේවාස්ථානය වූ යාල - පලටුපානට පැමිණ මා හමුවිය. ”සර්..එදා මාරයාගෙන් බේරුනේ... සර් ගියාට පස්සෙ අරුන් ටික ඇවිත් තුවක්කු අරගෙන අපේ ගෙදරට ඇවිත් ඇහැව්වා කෝ අර ඇවිත් ගිය මහත්තයා  ඕකන්ද පැත්තට යනවා දැක්කා. අපි ගියත් හම්බවුණේ නැහැ. ඔවුන් පැවසූ දෑ කුමාර බණ්ඩා මට කීය.
”ඉතින්? මම විචාළෙමි” උන් ඇවිත් තියෙන්නෙ සර්ව පැහැරගෙන යන්න... මතක ඇතිනේ සර්ට... වනජීවි සහකාර අධ්‍යක්ෂක ඇම්.ඇම්.ඞී. පෙරේරා මහතයි තව තුන් දෙනෙක්වයි පානමදී එල්ටීටීඊ ප‍්‍රහාරයෙන් මියගියා” කුමාර බණ්ඩා මාහට මතක් කොට දුනි.
මෙම සිදුවීම් වලින් අනතුරුව යාල ආරක්ෂිත කලාප සියල්ල ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලනයට  යටත්විය.
කෙසේ වෙතත් මේ වන විට වනජීවි ආරක්ෂිත කලාප සියල්ලම එල්.ටී.ටී ඊ උපද්‍රව වලින් තොර වන අතර යාල නැගෙනහිර උද්‍යානයේ කුමන කුරුලූ පාරාදීසය සහ අනෙකුත් ප‍්‍රදේශවලට තම දරු දැරියන් සමග ගොස් සොබා සිරිය අත් විඳීමට වන සතුන් නැරඹීමට අවස්ථාව උදාවී ඇත.
කුරුල්ලන්ට සිදුවන අහිතකර බලපෑම් සහ නිත්‍යානුකූල වන සත්ව දඩයම
කෘෂිකර්ම ව්‍යාප්තිය සමග ලොව රසායනික කෘමි නාශක භාවිතයද ව්‍යාප්තවීම හේතුවෙන් කුරුල්ලන්ගේ බිත්තරවල කටුව තුනීවී ඇති බව සොයා ගෙන තිබේ. වන විනාශය, වෙඩි තැබීම. ඇල්ලීම තෙත් බිම් ගොඩ කිරීම ඔවුන්ගේ පැවැත්මට බාධාවක් වී තිබේ.
කුරුල්ලන් වෙඩි තැබීමට නීතිමය අවසරයක් 1964 වර්ෂයට පෙර කාලයේ තිබුණි. වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥා පනතේ වගන්ති ප‍්‍රකාරව වසරේ ඔක්තෝබර් 01 දින සිට ඊළඟ අවුරුද්දේ අප‍්‍රියල් 30  දක්වා කාලය විවෘත සමය (Open Season) හැටියට සඳහන්කොට බලපත‍්‍ර නොමැතිව පක්ෂීන් වෙඩිතබා මැරිය හැකි බව දක්වා තිබුණි. මධ්‍යම කඳුකරයේ  තේවතු පාලනය කළ විදේශීකයන් සහ ධනවත් ශ්‍රී ලාංකිකයන් පහත රට හම්බන්තොට, බුන්දල සහ උතුරු කරයේ කලපු ආදිය ප‍්‍රදේශ වල මෙම කුරුළු දඩයම විනෝදාංශයක් හැටියට කළේය.
1964 වසරට පෙර සමය තුළත් යාල සහ විල්පත්තු වනෝද්‍යානය තුළත් සේවය කළ වනජීවි නිලධාරීන්ගේ ආහාරය සඳහා වසරකට තිත් මුවන් 06 හයක් සහ වලිකුකුළන් (12) දෙළහක් වඩි තබා මරා ගැනීමට වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා (එකළ නිළ නාමය වනසත්ව භාරකරු) බලපත‍්‍රයක් නිකුත් කරන ලදී. එම අවසරය ලබාදෙන ලද්දේ ජාතික උද්‍යාන සීමාවෙන් පිටත එමෙන්ම පෙරකී විවෘත සමය තුළ වෙඩි තැබීම සඳහා පමණක්ය. එම වන සතුන් ආරක්ෂිත ගණයට  අයත්ය.
කෙසේ වෙතත් 2009 වසරේ සංශෝධනය කරන ලද ”වන සත්ව” හා වෘක්‍ෂලතා ආරක්ෂක පණත ප‍්‍රකාරව නීති විරෝධී ලෙස කුරුල්ලන් මරණු ලබන හෝ අල්ලාගනු ලබන අයකුට අධිකරණය මගින් රුපියල් 10,000/- සිට 20,000/- දඩයක් හෝ සහ වසර 2 සිට 5 දක්වා වූ සිර දඬුවමක් නියම කළහැකි වන්නේය.
මීට ශත වර්ෂ ගණනාවකට පෙර මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජුට මිහින්තලාවේදී ”මහරජ ගුවනේ සැරිසරණ පක්ෂීන්ට වනයේ සැරිසරන සියලූ සතුනට මෙම මහපොළොවේ ජීවත්වීමට අයිතියක් ඇත. ඔබමේ රටේ අයිතිකරු නොව භාරකරු පමණකි” යනුවෙන් දේශනා කළබව අප අසා ඇත. එම දේශනාව මහරජුට  පමණක් නොව වත්මන් මිනිස් සමාජයටම කරන ලද්දක් හැටියට මම දකිමි.
මෙම වනසතුන් හා පක්ෂීන් හා බැඳී පවතින ආර්ථික විනෝදාත්මක, ස්වභාව සෞන්දර්යාත්මක  වටිනාකම් නොසලකා එම වස්තූන් විනාශවීමට ඉඩ හැරිය හොත් අපෙන් පසු බිහිවන පරපුර අපට ශාප කරනු ඇත.
 
යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ - එඞ්මන්ඞ් විල්සන්


 කුස ඇලි රාජාලියා

 අලි කොකා
අළු කොකා

2012 ජූලි මස 29 14:13:19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

No comments:

Search This Blog