Friday, February 10, 2017

බදුල්ල - රඹුක්පොත රජමහා විහාරය

බදුල්ල රඹුක්පොත රජමහා විහාරය ඌව පළාතේ ඓතිහාසික පින්බිමකි. ශාන්ත සුන්දර නිසල රමණීය භූමි භාගයක පිහිටි රඹුක්පොත රජමහා විහාරය බදුල්ල පස්සර පාරේ කිලෝමීටර් දෙකහමාරක් පමණ නුදුරින් පිහිටා ඇත. රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලද එම විහාරස්ථානය සියවස් හයක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.


බුද්ධ ප්‍රතිමා වහන්සේ



රඹුක්පොත රජ මහා විහාරයේ විහාර මන්දිරය නුවර යුගයට අයත් වේ. දර්ශනීය එම විහාර මන්දිරය වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කෙරේ.

රඹුක්පොත රජ මහා විහාරයේ ආදි කර්තෘන් වහන්සේගේ සිට ඌරුමීතැන්නේ සුදස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගඩහදෙහිගොල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී පූජනීය සම්භාවනීය ශාසන මාමක මහා යතීන්ද්‍රයන් වහන්සේලාගෙන් ශෝභමාන වූ රඹුක්පොත රජ මහා විහාරය සමඟ කිවුලේගෙදර මොහොට්ටාල , මඩුගස්තලාවේ මොහොට්ටාල ආදි සම්භාවනීයන්’ දැඩි සබඳතාවයක් පවත්වා ඇතැයි රඹුක්පොත රජමහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියෝ පවසති.

ඌරුමීතැන්නේ සුදස්සි මහා ස්වාමීන්ද්‍රයන් දවස මෙන්ම උන්වහන්සේගේ ගුරුදේවයන් වැඩ සිටි සමයද ස්වර්ණමය යුග ලෙස සැලකේ.

රජවරුන් විසින් විහාරස්ථානය වෙත ඉඩකඩම් පුදා ඇති බව වාර්තාවලින් සනාථ වේ. ඌවේ කුමාරසිංහ රජ දවස සිට විහාරස්ථානය පැවැති බව කියැවේ. 1867 දී පමණ කොමසාරිස් වාර්තාව නම් වූ ඉංගී‍්‍රසින් විසින් කැඳවන ලද ලේඛනය අනුව විහාරස්ථානයට ඉඩම් විශාල ප්‍රමාණයක් පිරිනමා ඇති බව මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියෝ පවසති. විහාර දේවාලගම් පනත ඉදිරිපත් කළ යුගයේදී ඒ ඒ විහාරස්ථාන සඳහා ඉංගී‍්‍රසින් විසින් භාරකාරයන් පත්කළ අතර රඹුක්පොත වළව්වේ කුඩා බණ්ඩාර රඹුක්පොත නිලමේතුමා භාරකාර ධුරයට පත්කර ඇත.



මඩුගස්තලාවේ විමල බුද්ධි හිමි

විහාරාධිපතින් වහන්සේලා අතර මකුළුගොල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගඩහදෙනිගොල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මොරහෙළ ධම්මදින්න ස්වාමින් වහන්සේ, ආදී මහා යතිවරයන් වහන්සේ විහාරස්ථ දියුණුවට කළ මෙහෙවර සදානුස්මරණීය වේ. විහාරස්ථානය සතුව අලි ඇතුන් නව දෙනෙකු පමණ අතීතයේ සිට ඇති අතර රඹුක්පොත බෝධිසීහ හිමිපාණන් වහන්සේගේ යුගයේදී අලි ඇතුන් විහාරස්ථානය සතුවු බව සඳහන් කළ යුතුය. උන්වහන්සේ 1980 දී පමණ අපවත් වී වදාළහ. විවිධ අර්බුද හේතුවෙන් බිබිලේගම ඤාණාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේ 1999 අපවත් වීමෙන් පසු ගවරවෙල සුගතසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූ අතර උන්වහන්සේ විහාරස්ථ අභිවෘද්ධිය පතා කටයුතු කර 2014 දී අපවත්වී වදාළහ. උන්වහන්සේ වැඩ සිටි සමයේදි මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියෝ විහාරාධිකාරි ධුරය හෙබවූහ. අනතුරුව මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ විහාරාධිපතිධුරයට පත්වූහ. විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ගමේ දියුණුව පැතූහ.

විහාරස්ථානය සතු පෞරාණික නිශ්චල දේපළ ආක්ෂාවට හා සංවර්ධනය උදෙසා ක්‍රියාකාරී වගකීම කරගත් උන්වහන්සේ විහාරස්ථානයේ ගරා වැටී පැවැති විහාරාංග ප්‍රතිසංස්කරණය කරවූහ. රඹුක්පොත රජ මහා විහාරස්ථ බුදුමැදුර මෙන්ම බෝධින් වහන්සේ පෞරාණිකය. විශාල වියදමක් දරා එම බෝධින් වහන්සේ වටා ප්‍රාකාරයක් තනවා අටවිසි බුදුමැදුරු ඉදිකරවා ඇත.

විහාරස්ථ රන්බෝපත් දහම් පාසල සහ පෙර පාසල මගින්ද ඉමහත් මෙහෙවරක් සිදු කෙරේ.

මෙරට අමරපුර නිකාය ආරම්භ වීමෙන් පසු ඌව පළාතේ සීමා මාලකයක් පිහිටුවන ලද පින්බිමද රඹුක්පොත රජ මහා විහාරය වේ.

රිල්පොල ගොඩේ ගෙදර රජමහා විහාරස්ථානයේ ගවරවෙල සුගතසිරි හිමියන් ආරම්භ කළ ශ්‍රී ධර්මමෝදය පිරිවෙන, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය සිවිල් ආරක්ෂක සමිතිය, ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලැබේ.

රඹුක්පොත රජ මහා විහාරයේ වැඩ සිටි ඌරුමීතැන්නේ සුදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගඩහදූවේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදි ශාසන මාමක මහා යතීන්ද්‍රයන් වහන්සේලා වැඩ සිටි හෙයින් උන්වහන්සේලාගේ සබඳතාවය මත කිවුලේගෙදර මොහොට්ටාල මඩුගස්තලාවේ මොහොට්ටාල ආදින් විහාරස්ථානය සමඟ දැඩි සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

එවකට වැඩ විසු සංඝ පීතෘන් වහන්සේ වෙතින් අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දී ඇති බව දැක්විය හැකිය.



පැරැණි සිතුවමක ගිරවකු සිටින ලියවැලක්

බුදු සරණ පත්‍රයේ පලවූ ලිපියකි


Sunday, February 5, 2017

1818 ඌව වෙල්ලස්ස කැරැල්ල

සුද්ද එවපු කැප්පෙටිපොල නිලමේ හැරුනෙ රට රකින්න...
ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදී පසු බැස්සා...
ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න...
අතීතතය ම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න...







Saturday, February 4, 2017

නිදහස් දිනයේ රටේ එසවෙන ජාතික කොඩියේ අර්ථය

සිංහයා - (එඩිතරබව)
බෝපත් හතර - (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ)
කඩුව - (ස්වාධීන බව)
රතු පාට පසුබිම - (සිංහල ජාතිය)
තැඹිලි පාට තීරුව - (දෙමළ ජාතිය)
කොළ පාට තීරුව - (මුස්ලිම් ජාතිය)
වටේ ඇති කහ පාට - (ජාතියේ එකමුතු බව)



Search This Blog