Sunday, June 26, 2016

ඌව පළාත් පුෂ්පය - ගුරුළුරාජ පුෂ්පය

ඌව පළාත් පුෂ්පය ලෙස නම් කර ඇත්තේ ගුරුළුරාජ පුෂ්පයයි. ගුරුළු රාජ ශාකය Rhynchostylis retusa යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වයි. Orchidaceae කුලයට හා Rhynchostylis ඝනයට අයත් වන මෙම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් 'Foxtail Orchid' හා 'Batticaloa Orchid' යන නාමයෙන්ද හඳුන්වනු ලැබේ.

වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව ආරක්ෂිත පැළෑටියක් වන මෙය Rhynchostylis ඝනයට අයත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි එකම දුර්ලබ උඩවැඩියා ශාක වර්ගයකි.

ඹෟෂධීය ගුණයෙන් යුත් මෙම ශාකය නිවෙස් අලංකාරය සඳහා වවනු දක්නට ලැබේ. නොවැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා මෙහි මල් පිපෙනු දක්නට ලැබේ.




Monday, June 13, 2016

ඔබට ජය ගැනීමට වෙන කිසි කෙනෙක් පරාජය වෙන්න වුවමනා නැහැ

අපි පුංචි කාලෙම, දුර්ලභ සම්පත් සඳහා තරඟ කරන්නය කියා වැඩිහිටියෝ අපිව ආරෝපණය කරනවා. පන්තියේ පළමු වැනියා වෙන්නය, ක්‍රීඩාවෙන් රන් පදක්කමම ගන්නය කියා අප පොලඹවනවා, අපට බල කරනවා. වඩා හොඳය, වඩා වේගවත්ය කියා හිතන අය සමඟ නිතරම අපිව සන්සන්දනය කරනවා. මේ නිසා අප තුළ දුර්ලභය හිඟය, යන මානසික රාමුවක් ඇති වෙනවා. ලෝකය නිතරම සීමිත සම්පත් ඇති තැනක්ය කියා නිතරම අපි සිතන්න පෙලඹෙනවා. අපි නැත්තම්, ක්‍රීඩා තරගයෙන් දිනුවේ නැත්තම්, අපට ‘ජයග්‍රහණය‘ කියන එක රස බලන්න බැරි වෙනවා. මේ ඔක්කොම වැරදි සිතුවිලි. ඇත්ත සමඟ ඒවායේ කිසිම සම්බන්ධයක් නැහැ. රුමී නමැති දාර්ශනිකයා කියාපු දේකින් මේක හොඳට පැහැදිලි වෙනවා. ‘දිය බිඳුව අතහැර දමන්න, මහා සාගරය බවට පත් වෙන්න!‘.


Thursday, June 9, 2016

අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම......

මහණෙනි යම් කලෙක රජවරු අධාර්මික වෙත්ද,එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝද අධාර්මික වෙති.
රජුට අනුව කටයුතු කරන්න් අධාර්මික වූ කල්හි නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු ද අධාර්මික වෙති.
නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු අධාර්මික වූ කල්හි නිගම ජනපදවාසීහූ ද අධාර්මික වෙති.
නිගම ජනපදවාසීන් අධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද විෂමාකාරයෙන් පායයි.
හිරු සඳු දෙදෙන විෂමාකාරයෙන් පායන කල්හී නැකැත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායයි.
නැකැත් තරු ආදිය විෂමාකාරයෙන් පායන කල්හී දිවා රාත්‍රී කාලය ද විෂමාකාරයෙන් ගෙවෙයි.
දිවා රාත්‍රී විෂමාකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් ගෙවෙයි.
මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් පවතින විට වසරේ ඍතු භේදය ද විෂමාකාරයට පත්වෙයි.
විෂම වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී විෂම අයුරින් සුළං හමයි. නොමගින් සුළං හමයි.
විෂම අයුරින් සුළං හමන කල්හී, නොමගට සුළං හමන කල්හී දෙවියෝ කිපෙති.
දෙවියන් කෝප වූ කල්හි නිසි අයුරින් වැසි දහර නොවසියි.
නිසිඅයුරින් වැසි දහරාව නොවසින කල්හී ගොයම් විෂම අයුරින් පැසෙයි.
මහණෙනි විෂම අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිසුන් අල්ප ආයුෂයෙන් යුතු වෙයි.
දුර්වර්ණ වෙති, දුර්වල වෙති. බොහෝ රෝගාබාධ සහිත වෙයි.



-------------------------------
(ගාථා)
* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා වක්‍රව යයි නම්,
ඒ ප්‍රධාන ගවයා වක්‍රව ගිය ගල්හී සියළු ගවයෝ වක්‍රව යති.
* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද,
ඉදින් ඒ තැනැත්තා අධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.රජු අධාර්මික වූ කල්හී මුළු රටම දුකට පත්වෙයි.
* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා ඍජුව යයි නම්,
ඒ ප්‍රධාන ගවයා ඍජුව ගිය ගල්හී සියළු ගවයෝ ඍජුව යති.
* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද,
ඉදින් ඒ තැනැත්තා ධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.
රජු ධාර්මික වූ කල්හී මුළු රටම සැපයට පත්වෙයි.
(අංගුත්තර නිකාය 2 - චතුක්ක නිපාතය - පත්තකම්ම වර්ගය)
අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම.
අධම්මික සූත්‍රය

Search This Blog