Sunday, July 14, 2013

කදු මුදුනක තනිවු වූ පුංචි වැලිමඩ ගොවියෝ

තැපැල් එන්නේ නෑ
ග්‍රාම නිලධාරි නෑ
පන්සලක් නෑ

වේලාව පෙරවරු එකොළහට පමණ ඇත. අපි බිබිලෙන් බදුලු පාරට පිටත් වනවිට ගිනිගහන රස්නේ?නයෙන් බොහෝ පීඩාවට පත්ව සිටියෙමු. බදුලු පාරේ මද දුරක් විත් තිස් දෙකේ කණුව ළඟින් හැරී අලවත්තාගොඩ පාර දිගේ කෙටිදුරක් පැමිණියෙමු. දැන් පෙර මෙන් නොව පරිසරයේ ඇත්තේ මද සිසිල් බවකි.

“හපුගහපතනට කොහෙන්ද යන්නේ” මග අයිනේ වූ කඩයකින් විමසුවෙමු.

“ඕන් ඔය පාරේ උඩහට යන්න.”

පාර කොන්ක්‍රිට් කර ඇත. වාහනයකට ද ගමන් කිරීමට පුළුවන. සිතට පිවිසියේ සතුටකි. මඳ බෑවුමේ වාහනය ඉදිරියට ඇදෙයි. දෙපස ගහකොළවලින් පිරුණු මඟ දැන් පෙරටත් වඩා සිසිල් ය.




“ඔතනින් එහාට නම් යන්න බැහැ. මේ කොහෙන් හරි වාහනය දාලා යමු.”

මඟ පෙන්වන්නට පැමිණි රුවන් අණදෙයි.

අපි ඔහුගේ අණට කීකරු වීමු. අතරමඟ නිවෙසක මිදුලේ වාහනය නතරකොට ගමන පිටත් වීමු.

බිබිලත් හපුගහපතන ගමත් අතර කොතරම් නම් වෙනසක් ඇත්දැයි සිතෙන්නේ එහි ගිය අයෙකුට පමණි. හපුගහ පතනට සහ මඟ දැන් බෙහෙවින් තෙත බරිතය ඉර මුදුන් වී තිබුණ ද මඟට හිරු එළිය වැටෙන්නේ ගස් අතරින් පතර පෙරී ඒමෙනි.

ඒ නිසා ම පරිසරය බෙහෙවින් සිසිලස ය. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික දේශගුණික ලක්ෂණවලින් හෙබි හපුගහපතන ගම්මානය මිනිසුන් හඳුන්වන්නේ පුංචි වැලිමඩ යනුවෙනි. තවෙකෙක් සපුගහපතනද කියති. ආරම්භයේදී මෙන් නොව ගම තුළට යන්නට යන්නට මාර්ගය දුෂ්කර ය.

“මේ ගමේ හැමෝම ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. මේ පාර නම් හැමෝම වගේ වගා කෙරුවේ බෝංචි. උඩරට වැවෙන හැම එළවළු වර්ගයක්ම වවනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ එළවළු නගරයට ගෙන යෑම. වාහනයක් යන්න බැහැ. පාර දුෂ්කරයි. කරේ තියාගෙන තමයි ගේන්නේ. එළවළු විතරක් නම් කමක් නැහැ. ගමේ කවුරු හරි ගෙයක් හැදුවොත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගම මුදුනට ගේන්නේ කරෙන්. එක්කෙනෙක් ගෙයක් හදන්න පටන් ගත්තම ගමේ හැමෝම වගේ ඒකට උදව් කරනවා. දරුවෝ පාසල් යන්නේ එක්කෝ බදුල්ලට එහෙම නැත්නම් ඊට මෙහා තියෙන පාසලට.”

ගමන යන අතරමගදී මඟපෙන්වීමට පැමිණි රුවන් ගමෙහි දුෂ්කර බව පැවැසුවේ එසේ ය. රුවන් සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරන්නේ ය. ඔහු ලබන වැටුපින් ගමේ ඇතැමෙකුට ගොවිතැන් කිරීම සඳහා මුදලින් ආධාර කරනු ලබයි.



“මං ටවුමේ ඉඳලා ඇට වර්ග පොහොර ආදිය ගෙනැත් දෙනවා. ඒ වගේ ම ගොවිතැන නඩත්තු කරන්න වියදම් ලබාදෙනවා. අවසානයේදී වියදම් කපා නොහැර ආදායමෙන් කොටසක් ගන්නවා. එහෙම කළා කියලා කාගෙවත් හිත් රිදෙන්නේ නැහැ. පැය දෙක තුනක දුෂ්කර ගමනින් පසුව අප ගම පෙනෙන තෙක් මානයට ආවෙමු. හපුගහ පතනට යන ගමන බෙහෙවින් දුෂ්කර ය. ඒ මඟ මතුව ඇති උස් ගල් නිසා කඳුකර මගෙහි ගමන් ගැනීමට අපහසු ය. නගරයේ සිට ගමට පළමු වර යන අපට එම ගමන බොහෝ දුෂ්කරකාරි බවක් හැඟුණ ද සපුගහ පතන ගැමියෝ දිනපතාම හෝ දින දෙක තුනකට දවසක් හෝ එහෙමත් නැත්නම් සතියකට වතාවක් හෝ නගරයට පැමිණෙති. ඔවුහු මැසිවිලි නොනගන්නාහ. ගමන දුෂ්කර වුවද තම දෛනික වැඩ කටයුතු කෙසේ හෝ සිදුකර ගන්නාහ.


බිබිලේ දී දැනුන දැඩි හිරු රස්නය කඳුමුදුනේ ගම්මානයේදී අපට නොදැනිනි. හමන සුළඟ දැඩි සීතලය. ඒත් ඇතැම් ගැමියෝ හේනට ගොස් සිටිති. තවකෙක් ටවුමට ගොස් ඇත. කොතරම් දුෂ්කර වුවද ඔවුහු සතුටින් ජීවිතගෙන යති. සෑම ගෙවත්තකට නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවළු කිහිපයක් හෝ වවා ඇත. ගම්මිරිස් ඔවුන්ගේ තවත් ආර්ථික බෝගයකි.

අපි මෙදා පාර වගා කෙරුවේ බෝංචි. බෝංචි අස්වැන්න නම් හොඳයි. ගමන දුෂ්කර නිසා අස්වැන්න ගෙනියන්න ගමට වෙළෙන්දෝ එනවා අඩුයි. එක්කෝ අපි අලවත්තාගොඩට අරගෙන යනවා. එහෙම නැත්නම් බිබිලට අරගෙන යනවා.

අප්පුහාමි හැට එක් හැවිරිදි ය. ඔහු තම දරුවන් රකින්නේ ගොවිතැන් කටයුතු කිරීමෙනි.

ගමට ජල පහසුකම් නැත. ඇත්තේ ඔයෙන් ලබාගන්නා වතුර ය. ඇතැම් තැනෙක කිතුල් කදක්, පුවක් කදන් මැදින් ඔවුහු වතුර පීලි සාදාගෙන ඇත. ගමට විදුලිය තිබුණ ද විදුලිය ගැනීමට තරම් ඇතැමෙකුට වත්කමක් නැත.

සුදුමැණිකා හේනට ඇවිත් ඇත්තේ තම මුනුපුරා සමඟ ය. “අපි ලෙඩක් දුකක් හැදුණොත් එක්කෝ ලුනුගලට යන්න ඕන. එහෙම නැත්නම් බිබිලට යන්න ඕන. මේ කොහොම ගියත් යන ගමන නම් දුෂ්කරයි. ගමට එන්න පාර හදලා දෙන්න කියලා හැමෝටම කියනවා. ඒත් මේ වනතුරු නම් වැඩක් වුණේ නැහැ. ගමට එන්න තියෙන ළඟම පාර තමයි අලවත්තාගොඩ පාර.

සුදු මැණිකේ පවසන්නේ කනස්සල්ලෙනි.




ඔවුන් කඳුමුදුනේ තනිවූ හැඩ ය. තැපැල්කරු හෝ ග්‍රාම නිලධාරීන් ගමට එන්නේ නැත. ඒ මාර්ගයේ ඇති දුෂ්කර බව නිසා ය. තැපැල්කරු අලවත්තාගොඩ හන්දියේ කඩයෙන් ගමට ඇති ලිපි තබා යයි. ඔවුහු එහි ගොස් සතියකට හෝ දින දෙකතුනකට වරක් ලිපි රැගෙන එති. ඔවුන් අයත් වන්නේ මුදියල වසමට ය. අවශ්‍ය විටෙක ගැමියෝ දුෂ්කර මඟ ගෙවා ග්‍රාම නිලධාරි මහතා සොයාගෙන යති.

සාමාන්‍යයෙන් ගමකට පන්සලක් තිබිය යුතු ය. ඒ අප දන්නා පරිදි ය. එහෙත් හපුගහපතන ගමට පන්සලක් නැත. ගමේ මරණයක් වූ විට පාංශු කූලය දීම සඳහා බොහෝ දුර සිට හාමුදුරුවෝ වඩිති. (ඒ ටැªංගොඩ රජමහා විහාරයේ සිට ය.)

“ගම දුෂ්කරයි තමයි. ඒත් මේ ගම අපේ අම්මලා තාත්තලා ජීවත් වෙච්ච ගම. අපි මේවා දාලා කොහේ කියලා යන්නද? ගමේ පවුල් විස්සක් විතර ජීවත් වෙනවා. අපිට කිසිම බාහිර කරදරයක් නැහැ. හේන් වැඩකරන අතරතුර අපත් සමඟ පිළිසඳරේ යෙදුණු ගුණපාල පැවැසීය.

කොතරම් දුෂ්කරතා තිබුණ ද ඔවුන් තමා උපන් ගමට ආදරේ ය. හැන්දෑ කළුවර අවටින් ඒමත් සමඟ අපි ගමෙන් එන්නට පිටත් වීමු.

ඈතින් ඇසෙන්නේ මාතරම්මුල්ල ඔය ගලන හඬයි. එහෙත් ඔය පැහැදිලිව දැක ගැනීමට නොහැක්කේ රූස්ස ගස් ගන තුරු වදුලු වලින් වැසී ඇති බැවිනි.

අපි යළිත් නගරයට එන්නට පිටත්වීමු. කන්ද නැග්ගට වඩා එය බැසීමට අසීරු ය. දෙපස ගස් මුල්, අල්ලා ගනිමින් හති අරිමින් අපි බොහෝ දුරක් ආවෙමු?. වංගු වෙන් වංගුව හැරුණ ද පාර නොපෙනෙයි. එහෙත් කුඩා දරු දැරියන්ගේ සිනා හඬ ඈතින් ඇසෙයි. ඒ හඬට කන්දී අපි අතර මඟ නතර වීමු. වේලාව සවස හතරහමාරත් පසු වී ඇත. දරුවෝ අමාරුවෙන් කන්ද නගිති.

“හැමදාම අපි ගෙදර එනකොට මේ වේලාව තමයි. උදේට අපි පහ මාරට විතර ගෙදරින් පිටත් වෙනවා. ඉස්කෝලෙට යනකොට වෙලාව අටට කිට්ටුයි. කොහොමත් අපේ ඉස්කෝලේ පටන් ගන්නේ උදේ අටට. අපි ඉගෙන ගන්නේ මුදියල ආදර්ශ පාසලේ. උදේට කොටගම හන්දියට පයින් ඇවිත් ඉතිරි ටික බස් එකේ යනවා. කිලෝ මීටර් තුනක් හතරක් පයින් එනවා.”

දරු දැරියෝ හති අරින ගමන් පවසති. මග දෙපස ඉලිප්පි ඇති ගල් උඩ වාඩි වී ඔවුහු ගිමන් හරිති.

“වැස්ස දවස්වලට අපිට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ඒ වගේ ම තමයි ඇඳුම් වේලගන්නත් බැහැ. අපිට මහා ගොඩක් සුදු ඇඳුම් නැහැ. අම්මලට තාත්තලට ඒවා අරන් දෙන්න වත්කමකුත් නැහැ. දරුවන් කියන්නේ කනගාටුවෙනි. ඇතැමෙකුගේ සපත්තුවල ඉදිරිපස කොටස කැඩී බිඳී ගොස් ය. මේ පාරේ යනකොට සපත්තු දාන්න බැහැ. පාරේ ගල් මුල් වැඩි නිසා ඉක්මනටම සපත්තු කැඩෙනවා. අපේ ගමට යන්න පහුගිය කාලේ අලුතෙන් පාරක් කැපුවා. ඒත් ඒ පාරේ කවුරුවත් යන්නේ නැහැ. ඒ පාර හරි දුරයි. මේක තමයි අපේ ගමට තියෙන ළඟම පාර. අම්මා කියලා තියෙන්නේ ඒ පාරේ එන්න එපා කියලා. කැලෑව වැඩියි. දැරියක හුරතල් හඬින් පවසන්නීය. ගමන දුෂ්කර වුව ද මේ පුංචි ඔවුන්ගේ ලෝකය සුන්දර ය. ඔවුන්ට ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා මෙන් ම බලාපොරොත්තු ද ඇත.

“මං කවදා හරි ගුරුවරියක් වෙනවා.”

“මං දොස්තර කෙනෙක් වෙනවා.”

“මං විද්‍යාඥයෙක් වෙනවා.”

“මමත් ගුරුවරියක් වෙනවා.”

ඈත දුෂ්කර ගමක වෙසෙන මේ දරු දැරියෝ අනාගතය ගැන අපමණ සිනහ දකිති. ඒ සිහින සැබෑකර ගන්නට ඔවුහු දිනපතා දුෂ්කර ගමනක යෙදෙති.

බිබිලේ සිට කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි හපුගහපතන ගම්මානය සුන්දරය. ඒ සුන්දර බව වඩාත් ස්මතු වන්නේ එහි වෙසෙන ගැමියන් නිසා ය. අතිශය දුෂ්කර වුව ද කිසිවෙක් ගම හැරදා යන්නට සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය එම ගමේ ම ජීවත් වෙමින් තම දරුවන්ගේ ජීවිත සොඳුරු කිරීමට ය?.

දරුවෝ රිසිසේ ගමින් ඈත කඳු මුදුනට දිවයති. ගස් කොළන් අතර වැදෙමින් ඔවුන්ගේ සිනා හඬ ඇසෙනවා මිස දැන් ඔවුහු රුව නොපෙනේ.

විශේෂ ස්තුතිය
බිබිල හෑපොළ ඒ.ඇම්. ගුණපාල මහතාට
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - විමල් කරුණාතිලක 
http://www.silumina.lk/2013/07/14/_art.asp?fn=as1307141

No comments:

Search This Blog