Saturday, June 7, 2014

ගල් අඟුරු වාෂ්ප දුම්රිය බණ්ඩාරවෙල දක්වා යළි ධාවනයට






මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් වැඩි පිරිසක් ගල් අඟුරු වාෂ්ප දුම්රියෙන් ගමන් කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා අද(07) එම දුම්රියක් යළිත් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනයට එක් කර තිබුණි. නවීනතම දුම්රිය වල දුම්රිය රියදුරන්ට එන්ජිම තුළ පහසුකම් ගණනාවක් සලසා තිබුණත් ගල් අඟුරු වාෂ්ප දුම්රිය තුළ සිටින දුම්රිය රියදුරන් දෙදෙනාට සහ සහයකයන් දෙදෙනාට එම දුම්රිය තුළ කිසිදු පහසුකමක් නොතිබෙන අතර, ඔවුන්ට සිදුවන්නේ දුම්රිය වාෂ්ප අඩුවන සෑම අවස්ථාවකම ගල් අඟුරු පෝරණය තුළට දැමීමයි. හැටන් දුම්රිය ස්ථානයේ අද දහවල් නතර කර තිබූ මෙම ගල් අඟුරු දුම්රිය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියේය. මේ එම අවස්ථාවයි. 

ඡායා රූ - රංජිත් රාජපක්ෂ - අද දෙරණ


කිරිවෙහෙර පාමුලදී නිවී සුවපත් වීමු

කතරගම කිරි වෙහෙර ළඟ හරි අනුරාධපුරේ රුවන්මැලිසෑය ළඟ හරි මහ රෑ වෙනකම් එක දවසක් හරි ඔබ ඉඳලා තියෙනවද? ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් එක මොහොතකින් අමතක වෙලා යන තැන් දෙකක් තමයි ඒ. හැබැයි මහා සෙනඟක් නොගැවසෙන නිස්කලංක රාත්‍රියක මේ තැන් දෙකට එන්න ඕන.

මීට පෙරත් නිස්කලංක රාත්‍රීන් කිහිපයක්ම මම මේ තැන් දෙකේදි ගත කරලා තියෙනවා. මැණික් ගඟෙන් එගොඩ වෙලා කතරගම පුද බිමට යනකොට හිතට එන්නෙ වෙනස්ම හැඟීමක්. වීදි කෙළවර එක පෙළට තියෙන දේවාලවලින් එන පූජා හඬ හිතේ ඇති කරන්නෙ පහන් හැඟීමක්.

වීදි දිගේ ඇවිදගෙන ගිහින් කතරගම දේවාල භූමියත් පහුකරලා කිරි වෙහෙරට යන වැලි පාරට ආවහම ඇස් මානයට එක පාරටම එන්නෙ සුදෝ සුදු පැහැයෙන් බබළන කිරි වෙහෙරේ කොත් වහන්සේ. කිරි වෙහෙර ළං නොකොට පාර දෙපැත්තෙ ඉන්න මල් විකුණන අයගේ කෑගැහිල්ල කන්කරච්චලයක් කියලා හිතුණත් එතැන පහු කරලා කිරි වෙහෙරේ සුදු වැලි මළුවට පා තියනකොට “නිදහස” ජීවිතේට ඇතුළු වෙනවා.

වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති රාත්‍රියක් නම් එහෙම දැනෙන නිදහස වචනයෙන් විස්තර කරන්න බෑ. මල් සුවඳත් එක්ක කිරි වෙහෙර වටා ඇවිදගෙන ගිහින් පැත්තක වාඩි වුණහම හිත සමනල තටුවක් වගේ සැහැල්ලු වෙනවා. එතකොට හිත එක් තැන් කරගන්න භාවනා කරන්නම ඕන නෑ. හිත එක්තැන් වෙන්නෙ නිරායාසයෙන්.

මෙය කියවන ඔබ හැම අවුරුද්දකම වගේ කතරගම වඳින්න එනවා ඇති. එතකොට කිරි වෙහෙරටත් එනවා ඇති. ඒත් මම කියපු අත්දැකීම ඔබ එක පාරක් හරි විඳලා තියෙනවද? එහෙම නැත්නම් ජීවිතේ එක පාරක් හරි එය විඳින්න. හැමදේකින්ම නිදහස් වුණ හිත කොච්චර ලස්සනද කියලා එතකොට ඔබට වැටහේවි.

හසිත - මව්බිම 
http://mawbima.lk/40-47780-news-detail.html

බදුලු කෝච්චියෙන් හපුතලේට

ඇවිදින එකයි ඒවා ගැන ලියන එකයි ජීවිතේ හොඳම දෙකද කියලා හිතෙනවා. අනෙක් එක තමයි අතීත ස්මරණය. මේ තුනම එකතු වුණු ගමනක් මේක.


හරියටම මීට අවුරුදු 40කට විතර ඉස්සර වයස 13 - 14 පුංචි කොලුව කාලේ තාත්තත් එක්ක කෝච්චියේ බදුල්ලෙ ගියා. සාමාන්‍ය රජයේ සේවකයෙක් වුණු තාත්තගේ වුවමනාවකට යන ගමනකට මාවත් අරන් ගියා. බදුල්ලේ ඉස්කෝලෙක තමයි රෑ නිදාගත්තෙ. එදාට වඩා හැම දෙයක්ම අද හරි වෙනස්. මගේ ජීවිතය වියපත් වුණත් බදුල්ල නම් තරුණ වෙලා. ඒත් ඒ අතීතයට හිත දිව්වා.
මෙදා පාර බණ්ඩාරවෙල ගමනෙදි වාහනේ පැත්තක දාලා බදුල්ලේ ඉඳන් හපුතලේට කෝච්චියේ එන්න අපි කතා වුණා. ඇත්තටම ඒක අපූරු ගමනක්.

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාන්තය බදුල්ල. සුන්දරම දුම්රිය ගමනක්. ඒත් අපි ආවේ බදුල්ල ඉඳන් හපුතලේට විතරයි. ස්ටේෂන් 11යි.
බදුල්ල - හාලිඇළ - උඩුවර... ඊට පස්සෙ දෙමෝදර. කෝච්චි පාර කපාගෙන ආපු සුද්දා ඇන ගත්ත තැන. අපේ මිනිහෙක් තමයි ජටාව පෙන්නලා ඒ විදියට හදපන් කියලා පෙන්නලා තියෙන්නෙ. ඒක තමයි ජන කතාව.

ඊගාවට ඇල්ල - කිතලැල්ල - හීල්ඔය - කීනගම. ඇල්ලෙ ආරුක්කු 9දී හැරිලා බලන කොට තමයි පස්සෙම කෝච්චි පෙට්ටිය පේන්නෙ.
දෙපැත්ත ගිරි ශිඛරවලින් පෙරී එන දිය දහරා නොනවතින තේවතු යාය... කෝච්චි පාර දෙපැත්තෙ හෙල්මැලි වී කුඹුරු, එළවළු, අල වතු, වාස්තු විද්‍යාවේ ඓතිහාසික වටිනාකම කියන විස්මයජනක පාලම් වෙනසක් නැතිව ගලන බදුලු ඔය.
කිනිගමට පස්සෙ තව ස්ටේෂන් 3යි. බණ්ඩාර-වෙල, දියතලාව, හපුතලේ, කොළඹ දුවන කෝචිචියට අපි හපුතලේදී සමුදුන්නා. රියැදුරු චානක මල්ලි බදුල්ලේ ඉඳන් හපුතලේ ඇවිත් නින්දකුත් දාගෙන ඉන්නවා.

තිස්ස - මව්බිම

දිය ඇලි දෙක මැදින් රාවණා ගුහාවත් බලාගෙන

රාම රාවණා ඓතිහාසික වීර කාව්‍යය පිළිබඳ රහස් සෙවීම ලෝකය පවතින තුරුම සිදුවෙනු ඇත. මන්ද යත් එය ඒ තරම්ම නිර්මාණශීලීයි. ඒ වගේම ගුප්තයි. රාවණා රජු පිළිබඳ ඓතිහාසික වීර කතාවට සම්බන්ධ සිදුවීම් රැසකට අදාළ සුන්දර ස්ථාන රැසක් ඇල්ල අවට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.



ඒ අතරින් ඉතා වැදගත්ම ස්ථාන දෙකක් වශයෙන් රාවණා ඇල්ල සහ රාවණා ගුහාව හඳුන්වන්න පුළුවන්. කිරිඳි ඔයේ ජල පෝෂකය ලෙස පවතින අක්කර 4,774 ක ප්‍රදේශය තුළ තියෙන රාවණා අභය භූමි ප්‍රදේශය තුළ රාවණා ඇල්ල නමින් දිය ඇලි දෙකක් තියෙනවා. එක් දිය ඇල්ලක් වන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 6කට නුදුරින් පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණය දිනූ හොඳින් හැදුණු වැඩුණු සුන්දර යුවතියකට සමාන කා අතරත් ජනප්‍රිය රාවණා ඇල්ල. මීටර් 23ක් පමණ උස මෙය ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙන සුන්දර දිය ඇල්ලක්. නමුත් එවැනිම තවත් සුන්දර දිය ඇල්ලක් රාවණා අභය භූමිය ඔස්සේ තව දුරටත් ඇතුළට ගියාම මුණගැසෙනවා. එම දිය ඇල්ල එම ප්‍රදේශයේ රාවණා ඇල්ල කියලා ප්‍රසිද්ධව තිබුණද බොහෝ දෙනෙක් රාවණා ඇල්ල කියල පිළිගන්නේ ප්‍රධාන මාර්ගය අසල පිහිටලා තියෙන දිය ඇල්ලයි. නමුත් ඇල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සැබෑ රාවණා ඇල්ල වන්නේ ප්‍රධාන මාර්ගය අසල තියෙන දිය ඇල්ල නොව රාවණා ඇල්ල අභය භූමියේ ඇතුළට ගියාම හමුවෙන අප්‍රසිද්ධ දිය ඇල්ල බවයි. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල ඩ්ඥචමඥද'ඵ ඡ්ඤඨඥ හෝටලයේ පිහිනුම් තටාකය අසල සිට නරඹද්දි මනාව දිස්වෙනවා. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල රාවණා ගුහාවට ඉතා සමීපයෙන් පිහිටලා තියෙන නිසා රාවණා රජු එම දිය ඇල්ල භාවිත කරන්න ඇති කියලා ඇල්ල ප්‍රදේශයේ ඉතිහාසය ගැන දන්න කියන පැරැන්නන් කිහිප දෙනෙක්ම අපට කිව්වා. නමුත් එම ප්‍රකට කට කතාව තහවුරු කරන ඓතිහාසික සාක්ෂි ලැබී තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම දිය ඇලි දෙකම ඇල්ල ප්‍රදේශයට එක් කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක් සහ අභිමානයක්. ඒ වගේම රාවණා රජුගේ ඓතිහාසික වීර කාව්‍යයට සම්බන්ධ නිවැරැදි දිය ඇල්ල කුමක්ද කියලා හොයලා බලන්නත් කාලය ඇවිත් තියෙන්නෙ කියල ඒ වෙලාවේ අපිට හිතුණා.

රාවණා දිය ඇලි දෙකටම මැදින් වගේ පිහිටලා තියෙන තේජවන්ත මෙන්ම ගුප්ත ස්වභාවයක් තියෙන රාවණා ගුහාව වෙත ගමන් කිරීම තවත් සුන්දර අත්දැකීමක් වුණා. හාත්පස දර්ශනය මනාව රසවිඳිමින් සුන්දර කඳු ගැටයක් තරණය කිරීමෙන් අනතුරුව රාවණා ගුහාව සංචාරකයන්ට මුණ ගැසෙනවා. රාවණා ගුහාව දක්වාම පඩිපෙළවල් සකස් කරලා තියෙන නිසා ඒ වෙත ගමන් කිරීම එතරම්ම අපහසු දෙයක් නෙවෙයි. 'ඇවිද්ද පය දහස් වටී' කියල මහන්සියක් නැතිව ඇවිදින්න කැමැති විදේශ සංචාරකයන් රැසක්ම අපේ ගමන අතරතුරදී හමුවුණා. ලාංකිකයන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ සදා මතකයේ රඳවන්න අපි ඔවුන්ට සිනාසුණා. රාවණා රජු රාමාගෙන් පළිගැනීමට සීතා දේවිය පැහැරගෙන ඇවිත් සැඟවූවේ රාවණා ගුහාවේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රාමා සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මන්, රාවණා රජුගේ නැඟණිය වන සුපර්නිකා දේවියගේ නහය කැපීම නිසා ඇති වන කෝපයට පළිගැනීමක් වශයෙන් තමයි රාමාගේ බිරිය වන සීතා දේවිය පැහැර ගෙන එන්න රාවණා රජු තීරණය කරන්නේ. රාම - රාවණා කතාව ඓතිහාසික වීර කතාවක් පමණක් නොව ඉපැරැණි ඉතිහාසය හෙළි කරන පැහැදිලි සිතුවමක්ද වෙනවා. එසේම මෙම කතාව ඉතා රසවත්ව වෙන්නේ මෙහි ප්‍රමුඛ දුෂ්ටයා සහ වීරයා කවුද කියලා හරියටම තේරුම් ගන්න නොහැකිවීම. මන්ද යත් ඉන්දියානුවන් රාම රජු වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලාංකිකයන් රාවණා රජු වීරයා ලෙස සලකනවා. සැබැවින්ම රාවණා ගුහාව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් සේම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරැඹිය යුතු ස්ථානයක් ද වෙනවා. ඇල්ල නගරයට ඉතාම නුදුරෙන් තියෙන නිසා සංචාරයේදී රාවණා ගුහාව අමතක කරන්න එපා.

කැලුම් - මව්බිම
http://mawbima.lk/40-53161-news-detail.html

ආරුක්කු නවයේ පාලමට පයින් ගිහින්

ඇල්ල දුම්රිය ස්ථානයත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතර ඇති ආරුක්කු නවයේ පාලම මා මීට පෙර දැක තිබුණේ දුම්රියෙන් යන එන විට පමණි. එහෙත් මෙවර අපගේ අලිමංකඩ සංචාරයේදී එය නැරැඹීමට යෑමට අප තීරණය කළේ ආරුක්කු නවයේ පාලම සිංහලයකුගේ විශ්වකර්ම නිර්මාණයක් නිසාය. ඇල්ලට පැමිණෙන බොහෝ විදේශිකයන් මේ ආරුක්කු නවයේ පාලම බලන්න එන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ ඔස්සේ පා ගමනින්ය. පයින් යන්න අකැමැති අයට කාර් එකකින් හෝ වෑන් එකකින් ආරුක්කු නවය පාලම ආසන්නයටම පැමිණිය හැකිය.



මාර්ගය මඳක් අබලන් වුවත් රථය ධාවනය එතරම්ම අපහසු නැත. පාලමට මීටර් 200ක් පමණ නුදුරින් රථය නැවැත්වූ අපි පාගමනින් පාලම දෙසට ගියෙමු. පාලම සමීපයේම බිං ගෙයක් දක්නට ඇත. බිංගෙයක් තුළින් පාගමනින් මා ගිය පළමු අවස්ථාව එය විය. බිංගෙය ඇතුළතදී අප පවසන දෑ දෝංකාර දෙමින් නැවත නැවත ඇසීම අමුතුම අත්දැකීමකි. බිංගෙවල් තුළින් දුම්රිය යද්දී හූ කියන පුද්ගලයන් දෙස එතෙක් කල් අප්‍රසාදයෙන් බැලූ මා දැන් අප්‍රසාදය දුරු කරගත්තේ එහි ඇති ආස්වාදය මවිසින්ම අත්විඳිනු ලැබීමෙන් අනතුරුවය.

මේ අරුම පුදුම පාලම තනිකරම ගල්වලින් ඉදිකර ඇති අතර එහි උස අඩි 80කි. පාලමේ පළල අඩි 25කි. පාලමේ දිග අඩි 300කි. කඳු දෙකක් යා කරමින් ඉදිකර ඇති මේ ආරුක්කු නවයේ පාලම බලන්න ඔබ පැමිණිය යුත්තේ ඒ මතින් දුම්රියක් යන වේලාව හරියටම දැන ගැනීමෙන් පසුවය. ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබට ඒ වේලාව දැනගත හැකිය. අපගේ වාසනාවට අප ආරුක්කු නවයේ පාලම නරඹන්න ගිය අවස්ථාවේ දුම්රියක් ඒ මතින් ගමන් කරන සුන්දර දසුනද දැකබලා ගන්න හැකිවිය. ඔබ හෙවන්ස් එජ් හෝටලයේ නවාතැන් ගත්විට මේ සුන්දර තැන් හැම එකකටම යන ආකාරය ඔබට එහි කාර්ය මණ්ඩලයෙන් දැනගත හැකිවනු ඇත. ඒ නිසා හෙවන්ස් එජ්හි සුන්දරත්වයද අත්විඳිමින් තවත් ලස්සන තැන් රැසක සංචාරය කරන්න නොවැරැදීම ඔබත් ඇල්ලට එන්න.

සඳුන් - මව්බිම
http://mawbima.lk/40-53156-news-detail.html

Search This Blog