Saturday, June 7, 2014

දිය ඇලි දෙක මැදින් රාවණා ගුහාවත් බලාගෙන

රාම රාවණා ඓතිහාසික වීර කාව්‍යය පිළිබඳ රහස් සෙවීම ලෝකය පවතින තුරුම සිදුවෙනු ඇත. මන්ද යත් එය ඒ තරම්ම නිර්මාණශීලීයි. ඒ වගේම ගුප්තයි. රාවණා රජු පිළිබඳ ඓතිහාසික වීර කතාවට සම්බන්ධ සිදුවීම් රැසකට අදාළ සුන්දර ස්ථාන රැසක් ඇල්ල අවට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.



ඒ අතරින් ඉතා වැදගත්ම ස්ථාන දෙකක් වශයෙන් රාවණා ඇල්ල සහ රාවණා ගුහාව හඳුන්වන්න පුළුවන්. කිරිඳි ඔයේ ජල පෝෂකය ලෙස පවතින අක්කර 4,774 ක ප්‍රදේශය තුළ තියෙන රාවණා අභය භූමි ප්‍රදේශය තුළ රාවණා ඇල්ල නමින් දිය ඇලි දෙකක් තියෙනවා. එක් දිය ඇල්ලක් වන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 6කට නුදුරින් පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණය දිනූ හොඳින් හැදුණු වැඩුණු සුන්දර යුවතියකට සමාන කා අතරත් ජනප්‍රිය රාවණා ඇල්ල. මීටර් 23ක් පමණ උස මෙය ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙන සුන්දර දිය ඇල්ලක්. නමුත් එවැනිම තවත් සුන්දර දිය ඇල්ලක් රාවණා අභය භූමිය ඔස්සේ තව දුරටත් ඇතුළට ගියාම මුණගැසෙනවා. එම දිය ඇල්ල එම ප්‍රදේශයේ රාවණා ඇල්ල කියලා ප්‍රසිද්ධව තිබුණද බොහෝ දෙනෙක් රාවණා ඇල්ල කියල පිළිගන්නේ ප්‍රධාන මාර්ගය අසල පිහිටලා තියෙන දිය ඇල්ලයි. නමුත් ඇල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සැබෑ රාවණා ඇල්ල වන්නේ ප්‍රධාන මාර්ගය අසල තියෙන දිය ඇල්ල නොව රාවණා ඇල්ල අභය භූමියේ ඇතුළට ගියාම හමුවෙන අප්‍රසිද්ධ දිය ඇල්ල බවයි. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල ඩ්ඥචමඥද'ඵ ඡ්ඤඨඥ හෝටලයේ පිහිනුම් තටාකය අසල සිට නරඹද්දි මනාව දිස්වෙනවා. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල රාවණා ගුහාවට ඉතා සමීපයෙන් පිහිටලා තියෙන නිසා රාවණා රජු එම දිය ඇල්ල භාවිත කරන්න ඇති කියලා ඇල්ල ප්‍රදේශයේ ඉතිහාසය ගැන දන්න කියන පැරැන්නන් කිහිප දෙනෙක්ම අපට කිව්වා. නමුත් එම ප්‍රකට කට කතාව තහවුරු කරන ඓතිහාසික සාක්ෂි ලැබී තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම දිය ඇලි දෙකම ඇල්ල ප්‍රදේශයට එක් කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක් සහ අභිමානයක්. ඒ වගේම රාවණා රජුගේ ඓතිහාසික වීර කාව්‍යයට සම්බන්ධ නිවැරැදි දිය ඇල්ල කුමක්ද කියලා හොයලා බලන්නත් කාලය ඇවිත් තියෙන්නෙ කියල ඒ වෙලාවේ අපිට හිතුණා.

රාවණා දිය ඇලි දෙකටම මැදින් වගේ පිහිටලා තියෙන තේජවන්ත මෙන්ම ගුප්ත ස්වභාවයක් තියෙන රාවණා ගුහාව වෙත ගමන් කිරීම තවත් සුන්දර අත්දැකීමක් වුණා. හාත්පස දර්ශනය මනාව රසවිඳිමින් සුන්දර කඳු ගැටයක් තරණය කිරීමෙන් අනතුරුව රාවණා ගුහාව සංචාරකයන්ට මුණ ගැසෙනවා. රාවණා ගුහාව දක්වාම පඩිපෙළවල් සකස් කරලා තියෙන නිසා ඒ වෙත ගමන් කිරීම එතරම්ම අපහසු දෙයක් නෙවෙයි. 'ඇවිද්ද පය දහස් වටී' කියල මහන්සියක් නැතිව ඇවිදින්න කැමැති විදේශ සංචාරකයන් රැසක්ම අපේ ගමන අතරතුරදී හමුවුණා. ලාංකිකයන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ සදා මතකයේ රඳවන්න අපි ඔවුන්ට සිනාසුණා. රාවණා රජු රාමාගෙන් පළිගැනීමට සීතා දේවිය පැහැරගෙන ඇවිත් සැඟවූවේ රාවණා ගුහාවේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රාමා සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මන්, රාවණා රජුගේ නැඟණිය වන සුපර්නිකා දේවියගේ නහය කැපීම නිසා ඇති වන කෝපයට පළිගැනීමක් වශයෙන් තමයි රාමාගේ බිරිය වන සීතා දේවිය පැහැර ගෙන එන්න රාවණා රජු තීරණය කරන්නේ. රාම - රාවණා කතාව ඓතිහාසික වීර කතාවක් පමණක් නොව ඉපැරැණි ඉතිහාසය හෙළි කරන පැහැදිලි සිතුවමක්ද වෙනවා. එසේම මෙම කතාව ඉතා රසවත්ව වෙන්නේ මෙහි ප්‍රමුඛ දුෂ්ටයා සහ වීරයා කවුද කියලා හරියටම තේරුම් ගන්න නොහැකිවීම. මන්ද යත් ඉන්දියානුවන් රාම රජු වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලාංකිකයන් රාවණා රජු වීරයා ලෙස සලකනවා. සැබැවින්ම රාවණා ගුහාව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් සේම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරැඹිය යුතු ස්ථානයක් ද වෙනවා. ඇල්ල නගරයට ඉතාම නුදුරෙන් තියෙන නිසා සංචාරයේදී රාවණා ගුහාව අමතක කරන්න එපා.

කැලුම් - මව්බිම
http://mawbima.lk/40-53161-news-detail.html

No comments:

Search This Blog