Sunday, April 6, 2014

Sam's Story - සැමිගේ කතාව


2013 නිව්යෝක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද...
ප්‍රියංකර විතානාච්චි සිනමා සිත්තම... ඔබටත් රසවිදීමට දැන් දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශණය කරනු ලබයි...

රීගල් - කොළඹ | රීගල් - මීගමුව | රීගල් - නුවර | ලීඩෝ - බොරැල්ල | නයෝමී - ගම්පහ | මිලානෝ - කෑගල්ල | ප්‍රින්සස් - ගාල්ල | ඕඩියන් - ගල්කිස්ස | කන්ට්‍රාස්ට් - දළුගම | ඉම්පීරියල් - කුරුණෑගල | ඉම්පීරියල් - රත්නපුර | විජේන්ද්‍ර - අනුරාධපුර | දුල්මිණි - හොරණ | චිත්‍රා - කළුතර | නව සිනමා - මාතර | ඇමිටි ලයිට් - මහරගම | ජයලත් - කටුනායක | ඉම්පීරියල් - අවිස්සාවේල්ල

Web Site : http://www.samigekathawa.com
Facebook Fan Page: https://www.facebook.com/SamsStorythemovie
Facebook Group: https://www.facebook.com/groups/SamsStory
Google Plus Page : google.com/+SamigekathawaFilm


අතිශය සුන්දර වූ, සාමාජයේ වීශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන වැඩි වැඩියෙන් හිතන්නට යමක් ඇති කරන්නාවූ , සාර්ථක නිර්මාණයක පෙළහර අද දිනයේ මා මසැසින් දුටුවෙමි... එවැනි අය ගැන යමක් අනාගතයේදී වැඩි වැඩියෙන් කරන්නට මනසින් සිතුවෙමි... ජගත් චමිලයන්ගේ අග්‍රගනයේ ප්‍රතිභාපූර්ණ රංගනය ඉතා ප්‍රියකරුයැයි කටපුරා කිවහැකිය.. ප්‍රියංකර අයියේ ඔබ නම් ඉතා සුන්දර දක්ෂ අග්‍රගනයේ නිර්මාණකරුවෙකි... තව තවත් මෙවැනි ගුණාත්මයෙන් ඉහල නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ධෛර්්‍යය ලැබේවා!... ඔබට තෙරුවන් සරණයි!... - පුලස්ති වන්නිආරච්චි

Thursday, February 13, 2014

ලොවම මවිත කළ දෙමෝදර රේල් ගැටය සහ දෙමෝදර පාළම

සුන්දර බදුලු ඔයත් ඊට එක්‌ වන අතු ගංගාවත් ප්‍රදේශයේ ජනතාවට නෙත් පිනවන දසුනක්‌ විය. එම නිසාම ඒ ස්‌ථානය "දෙමෝදර" ලෙසින් ජනවහරට එක්‌විය.

"දෙමෝදර" දැන් ලොව පුරා ප්‍රචලිතවී අවසන්ය. නමුත් ඒ සොබා දහමේ තිළිණයක්‌ ලෙස ගංඟා දෙකක්‌ එක්‌වන ස්‌ථානයක්‌ නිසා නොවේ.

ශ්‍රී ලාංකිකයන් එදා මෙදා තුර කරනලද බොහෝ නිමවුම් ලොව මවිත කළේ ඉතිහාසයේ පමණමය. රාවණාගේ දඬු මොණරයෙන් ඇරඹුණු එම විශ්මිත නිමවුම්වල ශේෂ සිය දහස්‌ ගණනක්‌ රජ දවස පටන් අද දක්‌වා පවතියි. එහෙත් දෙමෝදර ප්‍රකට වුණේ පසුගිය සියවසෙහි දී තරම් මෑත කාලයේ ශ්‍රී ලාංකික නිර්මාණ හැකියාවේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

"දෙමෝදර දුම්රිය මාර්ගය" ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙසිනි. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත්විය. ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරුණු පළමු අවස්‌ථාව එය විය. එහි ඇති සුවිශේෂී බව සමස්‌ත ලෝකයාගේම අවධානය යොමු වීමට හේතුවිය.

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පිළිබඳ ලියෑවෙන විට අමතක නොවන ඉංගී්‍රසි ආණ්‌ඩුකාරතුමා සර්. හෙන්රි වෝඩ් (1855-1860) ය. මෙරට දුම්රිය මාර්ගයක්‌ පළමු වරට ඉදිකිරීමේ ගෞරවය නිතතින් හිමි වන පුරෝගාමියා ඔහුය.

කොළඹ සිට කන්ද උඩරට බලා දිවයන දුම්රිය මාර්ගය දැකුම්කළු දසුනක්‌ ඇති කරයි. ඊට බදුල්ලේ දෙමෝදරදී බාධකයක්‌ ලෙස මුණ ගැසෙන භූ විෂමතාව නිර්මාණාත්මකව ජය ගැනීමෙන් ලොව ප්‍රකට වුණු "දෙමෝදර දුම්රිය මාර්ගය සුවිශේෂී නිමවුමක්‌ ලෙස ඉතිහාසයට එකතු වී ඇත.

බදුල්ලත්, බණ්‌ඩාරවෙලත් අතර පිහිටි දෙමෝදර දුම්රිය ස්‌ථානය සහ දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1921 දී පමණය. කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ සිට ඊට සැතපුම් 172 ක්‌ හෙවත් කි.මී. 276 ක්‌ පමණ දුරකින් එය පිහිටා ඇත. මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 911 ක්‌ පමණ දෙමෝදර දුම්රිය ස්‌ථානය ඉදිකොට තිබේ.

දෙමෝදර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ ගෞරවණීය ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා වෙතය. මෙම විශ්මිත නිමවුමේ විශ්වකර්මයා එතුමාය.

නමුත් දෙමෝදර ප්‍රදේශයේ මෙහි නිර්මාණාත්මක අදහස පිළිබඳ කියෑවෙන ජනප්‍රවාදයක්‌ද ජනතාව අතර ප්‍රචලිතව ඇත. අප්පුහාමි නම් වූ හරක්‌ බලා ගන්නෙක්‌ හෙවත් ගොපලු තරුණයෙක්‌ පිළිබඳ වූ කතාවක්‌ එලෙස ජනප්‍රවාදයට එක්‌ වී තිබේ.

දෙමෝදර ඔස්‌සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටලුවකට එහි ඉදිකිරීම් සිදුකළ සුදු ජාතිකයන් මුහුණදී ඇත. එම ප්‍රදේශයේ භූ විෂමතාව අනුව බණ්‌ඩාරවෙල සිට සැතපුම් 3 1/2 ක පමණ අමතර දුරක්‌ දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවී ඇත. එසේ නොමැතිව එම ස්‌ථානයෙන් දුම්රියක්‌ ධාවනය කිරීමට නොහැකිය. ඉංගී්‍රසින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියදී දෙමෝදර කඳු මුදුනෙහි හරක්‌ බලමින් සිටි ගොපල්ලා අපූරු අදහසක්‌ ඉදිරිපත් කළේය.

සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහුගේ උපදේශය විය. ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංගී්‍රසි පාලකයන් විසින් ඉදිකරන ලදී.

ජනප්‍රවාදයේ එලෙස අදහසක්‌ පැවතියද ඉංගී්‍රසි ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසිනි.

.කදදචසබට එද කදදච. ලෙස හඳුන්වන ලද මෙම දුම්රිය මාර්ගය කි.මී. 1 පමණ දුරකින් යුතු වූවකි. දුම්රිය ස්‌ථානය පිහිටි දෙමෝදර කන්ද වටා පැදකුණු කොට බදුල්ල වෙත පහසුවෙන් ගමන් කිරීම මෙමඟින් සිදුවෙයි.

දුම්රිය මාර්ගයේ උමගක්‌ ද වෙයි. එය දුම්රිය ස්‌ථානය යට පිහිටීමද තවත් විශේෂත්වයකි. අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ පමණ එම උමග දිගින් යුතුය. කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය මාර්ගය කි.මී. 277.64-277.814 අතර එම දුම්රිය උමග ඉදිකොට තිබේ.



මෙම දුම්රිය මාර්ගය කන්දක්‌ වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුවය. අඩි 44 ට අඩි 1 ක්‌ ලෙස එහි ආනතිය තබා ඇත. ඉපැරැණි රජ දවසින් පසු ඉදිකරන ලද තවත් විශ්මිත නිමවුමක්‌ බව ප්‍රකට කරන්නට එයද කදිම සාක්‍ෂියකි.

දෙමෝදර දුම්රිය ස්‌ථානය දුම්රිය මාර්ග 3 කින් ද සමන්විතය. ශ්‍රී ලංකාවේ පිහිටි ජනප්‍රිතම දුම්රිය මධ්‍යස්‌ථානයක්‌ ලෙස එය ප්‍රකටව ඇත්තේ දෙමෝදර දුම්රිය මාර්ගය නිසාය.

දෙමෝදර දුම්රිය මාර්ගයේ ගමන අවසන් වී බදුල්ල දෙසට යළි ගමන් අරඹන්නේ "කළු පාලම මතිනි. කළු පාලමද බදුලු ඔය හරහා ඉදිකොට ඇති විශිෂ්ට නිර්මාණයකි. කළු ගල් එක මත එක තැබූ එහි ආරුක්‌කුවල උස අඩි සියයකටත් වඩා වැඩිය. ඒ මතින් ගමන් කරනා විට හද කකියවන සුළු හැඟීමක්‌ දැණුනද එය මෙරට ඉංජිනේරුවන්ගේ විශිෂ්ට පාලම් නිර්මාණයක්‌ ලෙස හඳුනා ගනිද්දී සිතට දැනෙන්නේ ආඩම්බරයකි.

මෙලෙස විශ්මිත ශිල්පීය නිර්මාණයක්‌ වී ඇති දෙමෝදර දුම්රිය මාර්ගය තවත් සියවස්‌ ගණනාවක්‌ ගතවුව ද ශ්‍රී ලාංකිකයන්ගේ හපන්කම් ලොවට පැවසීමට සමත් වනු ඇත.



දෙමෝදර ආකෘතියක්‌

දෙනගම ධම්මික රණවීර
දිවයින
http://www.divaina.com/2009/07/26/feature20.html


Sunday, January 19, 2014

සියලු සම්පත් දුගී මිනිසුන්ට කැප කර අන්ත දුගී දිවියක්‌ ගෙවන මහා ඉසිවරිය



* ජීවත්වුනේ කුරුඳුවත්තෙ බංගලාවක...
ඉගෙන ගත්තේ ලේඩීස්‌ කොලේඡ් එකේ...

* විශේෂඥ වෛද්‍යවරියක්‌...
ඒත් කවදාවත් රෝගියකුගෙන් ශතයක්‌වත් අරන් නැහැ...

* සියලුදේ අතහැර ඇවිත් ජීවිතේ කැපකළේ
මහවැලියෙ දුප්පත් මිනිස්‌සු වෙනුවෙන්....

*අද ඇගේ තනියට ඉන්නේ බල්ලන් සහ බළලුන් පමණයි.... 

සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා. කකුල් දෙකේ සත්ත්වයෝ විතරක්‌ සුවපත් වෙත්වා කියලා උන්වහන්සේ දේශනා කරල නැහැ රත්තරන් පුතේ. පන්සලකට යන්න මගෙ ඇස්‌ දෙක පෙනෙන්නෙ නැහැ. නමුත් මම පන්සිල් රකිනවා. මම මගේ ජීවිත කාලය පුරාවට අසරණ මිනිසුන්ට සරණ වුණා. මම හරිද වැරදිද දන්නෙ නැහැ. දැන් මම අසරණ සතුන්ට පිහිට වෙනවා." වියපත් වුවත් ඒ හඬ ප්‍රබලය, පැහැදිලිය. 

මහවැලි සී කලාපයට පැමිණි පළමු වැනි එම්. බී. බී. එස්‌. වෛද්‍යවරිය ඇය බව තතු දත්තෝ පවසති. නමුත් මහවැලියේ ජන සමාජයට අමතක වූ ළමාරෝග විශේෂඥ වෛද්‍ය හීරලු පතිරණලාගේ විනීතා රංජනී ගුණවර්ධන ප්‍රනාන්දු නම් වූ ඇය අද දිඹුලාගල, කජුවත්තේ කැලෑවක්‌ මැද මෙසේ හුදෙකලා වී සිටින්නීය. කලක්‌ මහවැලි කලාපයේ නොදරුවන් සුවපත් කළ මේ ඉසිවර වෙදැදුරුවරියට අපේ දුර්ගුණ පිරි සමාජය කෘතගුණ සලකා නැත. අද ඇය හුදෙකලාව සිටින්නීය. යුතුකමක්‌ ලෙස හෝ මේ සමාජය විසින් සෙනෙහස, රැකවරණය සැපයිය යුතුව තිබූ ඇයට මේ මොහොත වන විට ඒ අඩුව සම්පූර්ණ කරන්නේ බල්ලන් තිහක්‌ සහ පූසන් පහළොස්‌ දෙනෙකි. 

ඇගේ පන්තියේ වෘත්තිකයන් මහ පොළොවේ පය නොතබා අමුතු සමාජ ප්‍රාකාර තනාගෙන සිටිද්දී මිනිසුන් අතර හි`දිමින්, මිනිසුන් අතර ජීවිතේ අවසාන සමය දිය කර හරින මේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරිය සොයාගෙන අපි ගියෙමු. දෙහිඅත්තකණ්‌ඩියේ සිට අරලගංවිලට යන මාර්ගයේ කිලෝමීටර දොළහක්‌ පමණ ගිය තැන හමුවන අතහැර දමා ඇති කජුවත්ත මහවැලි කොට්‌ඨාස කළමනාකරණ කාර්යාලයේ පැරණි ගබඩා කාමරය දැන් ඇගේ ස්‌ථිර නවාතැනය. ගබඩා කාමරය වටා ගරාවැටුණු ගොඩනැඟිලිය. හතරවටම ඝණ කැලෑවය. අපි අසීරුවෙන් එතැනට ළ`ගාවෙමින් සිටියෙමු. එක්‌වරම ගොරවාගෙන හපන්නට පනින බලු රැළක්‌ මතුව ආවෝය. ඔවුන්ට ඉංග්‍රීසි බසින් අණක්‌ ලැබිණි. ඒ අණ පිළිගෙන බලුරැළ නිහඩව පසු බැස ගියහ. ජනේලයක්‌ නැති පාළු කාමරය අ`දුරු ගල් ගුහාවක්‌ වැනිය. දොරක්‌ නැති කාමරය චීත්තරෙද්දකින් ආවරණය කර තිබෙන්නේය. ඇය සන්තක වූ වටිනාම ගෘහ උපකරණය ලෑලි කැලි කීපයකින් තැනූ ඇ`දයි. ඇ`ද වටකොට ඇති පුටු කීපය බළලුන්ගේ නවාතැන්ය.

මේ ගුප්ත පෙනුමැති නිවහන පසුබිමේ පසන් සිනාවකින් මුව සරසාගෙන සිටිනා මේ වියපත් වෛද්‍යවරිය අප තිගස්‌වන්නීය. මෙවැනි චරිත අප දකින්නේ සම්භාව්‍ය සිනමා කෘතිවලය. නවකතාවලය. අප වැනි රටක මහා සමාජ ගාම්භීරත්වයක්‌ සහිත වෘත්තියක්‌ මනුෂ්‍යයන් වෙනුවෙන් කළමුත් ඒ ගාම්භීර සමාජයේ දොරටු විවෘත කර නොගත් මේ වියපත් මාතාව හුවූදකලා වී ඇති ආකාරය දකින විට අප කම්පනයට පත්වන්නේය.

ඇය හා මොහොතක සල්ලාපයෙන් පසු ඇය අපට ඇයගේ අතීතය කියන්නට වුවාය. ඒ සංවේදනීය කතාව ඇගේ හ`ඩින්ම කියෑවෙන්නේ මෙසේය.

"මගේ තාත්තා හීරලු පතිරණලාගේ ගුණවර්ධන. එයාගේ ගම ගම්පහ. අම්මා ලීලා වයලට්‌ පෙරේරා. තාත්තා ඉංග්‍රීසි ආණ්‌ඩුව කාලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චීෆ් ක්‌ලාක්‌ කෙනෙක්‌ විදිහට සේවය කළා. රැකියාවේ පහසුව නිසා තාත්තා ගම්පහ ඉඩම් නෑදෑයින්ට දීලා කොළඹ පදිංචියට ඇවිත් තිබුණා. මට මතක පුංචිකාලේ පදිංචිවෙලා හිටියේ කොළඹ කුරු`දුවත්තෙ. මම ඉගෙන ගත්තේ සී. එම්. එස්‌. ලේඩීස්‌ කොලෙඡ් එකේ. එම්. බී. බී. එස්‌. සිලෝන් සම්පූර්ණ කරලා අවුරුද්දක පුහුණුවකට හොස්‌පිට්‌ල් එකේ ඉන්නකොට සිද්ධ වුණු අමතක නොවන සිදුවීම තමයි වෙඩි වැදුණු බණ්‌ඩාරනායක අගමැති තුමාට ප්‍රතිකාර කරන්න අවස්‌ථාව ලැබීම. පී. ආර්. ඇන්තනීස්‌ මහත්තයා අගමැති තුමාගෙන් ඇහුවා මොකද වුණේ කියලා. එතුමා කිව්වා "නූගත්, සිවුරක්‌ දාගත්තු මිනිහෙක්‌ මට වෙඩි තිබ්බා" කියලා.

මගේ පළමු පත්වීම ලැබුණේ රිඡ්වේ ආර්යා එකට. ඊට පස්‌සේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක්‌ විදිහට සේවය කළා. ඒ කාලේ අපේ ආච්චි අම්මා නිතර නිතර මහියංගනේ වන්දනාවේ ආවා. එයා කියන විස්‌තර ඇහුවම මටත් හිතුණා, කවදාහරි දවසක ඈත දුෂ්කර පලාතක ටික කාලයක්‌ සේවය කරන්න ඕනෑ කියලා. පුංචි කාලේ ඉඳන් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කියෙව්වා. ඒ පොත්වල ගමේ සුන්දරත්වය විස්‌තර කරල තිබුණු විදිහට කොළඹ හැදුණු මට ගමක ජීවත්වෙන්න තියෙනවා නම් කියල හිතුණා. 

මම විවාහ වුණේ ප්‍රනාන්දු කියලා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්‌ එක්‌ක. අපි දෙන්නගෙ කැදැල්ලට දරුවො නැති වුණු නිසා මහත්තයාගේ නෑදෑවෙන කෙනෙක්‌ගෙ දරුවෙකුට අපි ඉගැන්නුවා. එයා ඉංජිනේරු විභාගය කරලා ඉංජිනියර් කෙනෙක්‌ මැරි කරලා ඔස්‌ටේ්‍රලියාවට පදිංචියට ගියා. ඒ වෙනකොට අම්මා තාත්තා දෙන්නත් නැතිවෙලා. 

මගේ අක්‌කත් ඩොක්‌ටර් කෙනෙක්‌. එයා ඇමරිකාවේ පදිංචියට ගිහිං. නංගී ඉන්දියන් ඩොක්‌ටර් කෙනෙක්‌ බැ`දලා ඉන්දියාවේ පදිංචියට ගියා. ඒ අතරෙ මහත්තයත් හදිසියෙ අන්ත්‍රා වුණා. මම තනි වුණා. දුෂ්කර පළාතකට එන්න ඒකත් එක හේතුවක්‌ වුණා.

කොහොමහරි මගේ මතකයේ හැටියට ඩී. සී. එච්. සහ ඩී.සී.එම්. කරලා අවුරුදු තුකකට ස්‌ථාන මාරුවක්‌ ඉල්ලලා ගිරාඳුරුකෝට්‌ටේට ආවේ 1981 දී. එතකොට ගිරා`දුරුකෝට්‌ටේ රෝහලක්‌ නැහැ. මහවැලි ව්‍යාපාරය පටන් ගත්තු මුල් ම කාලේ නිසා හරිම දුෂ්කරයි. මුල් කාලේ ගමින් ගමට ගිහිං මම ගස්‌යට ඉ`දන් තමයි, ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ. අවුරුදු තුන ඉවරවෙලා ආපහු කොළඹට යන්න හදනකොට තමයි දැනගත්තේ මම බලන්නේ නැතුව අත්සන් කරලා ඇවිත් තියෙන්නේ ස්‌ථිර මාරුවීමක්‌ කියලා. ඊට පස්‌සේ මම දිගටම මෙහෙ ඉන්න තීරණය කළා.

මහත්තයාගේ දේපල සේරම නෑදෑයින්ට දුන්නා. ඒ කිසි කෙනෙක්‌ අද මම දිහා බලන්නේ නැහැ. පුතා නම් එහෙ පදිංචියට එන්න කිව්වා. නමුත් මම මගේ රට දාලා යන්න කැමැති වුණේ නැහැ. මම මහවැලි බී සහ සී කලාපවල ගමින් ගමට ගිහිං බෙහෙත් දුන්නා. ඒ දවස්‌වල මට මහවැලියෙන් වාහනයක්‌ ඩ්‍රයිවර් කෙනෙක්‌ එක්‌ක දීලා තිබුණා. ක්‌වාටස්‌ එකක්‌ දුන්නා. සමහර විට මම ගෙවල් වලට මහ රෑ ගිහිං අසාධ්‍යව හිටපු ගැබිනි මවුවරු, ළදරුවෝ මාරයාගෙන් ගලවා ගත්තු අවස්‌ථා අප්‍රමාණයි. රංජිත් පෙරේරා, ඉන්ද්‍රසේකර ද සිල්වා වගේ මේ පළාතේ වැඩ කරපු මහවැලියෙ උසස්‌ නිලධාරි මහත්තුරු මම කළ සේවය ගැන දන්නවා. ඒ අයත් මට උදව් කළා. ඒ කාලෙ මේ දැන් වගේ දියුණු පහසුකම් සහිත හොස්‌පිට්‌ල්, ඩිස්‌පෙන්සරි තිබුණෙ නැහැ. මැලේරියාව හැදුණු ලෙඩ්ඩු පෝළිමේ ඉන්නවා මගෙන් බෙහෙත් ගන්න. මම උදේ පාන්දර පටන් ගත්තම රෑ වෙනතුරු බෙහෙත් දුන්නා. වැලිකන්දෙ, තොප්පිගල දෙමළ ගම්මානවලටත් මම බෙහෙත් දුන්නා. සමහර දවස්‌වලට කොටි නායිකාවොත් මගෙන් බෙහෙත් අරන් යනවා.

රැකියාව කරන කාලෙ මම ගත්තු පඩියෙන් දුප්පත් මිනිසුන්ට කිරි හරක්‌ අරං දුන්නා. කන්න අ`දින්න අරන් දුන්නා. මගෙ මුළු ජීවිතේම කැප කළේ අන්ත අසරණ දිළි`දු මිනිසුන් වෙනුවෙන්. අද ඒ ගොඩාක්‌ දෙනෙක්‌ ධනවතුන්. අද මේ පාළු ගබඩා කාමරේ ඉන්න මගෙ තනියට ඉන්නේ මේ බල්ලො, බළල්ලු ටික දෙනා විතරයි. මේ කාමරේ තෙමෙනකොට වෙහෙරගල බී. එම්. නෝනා මහවැලියෙ කීපදෙනෙක්‌ එවලා වහළෙ හදලා දුන්නා. ඒ නෝනා සතියකට, දෙකකට වතාවක්‌ මේ කාමරේ අවට පිරිසිදු කරන්නත් කීප දෙනෙක්‌ එවනවා." තවත් ඇයට මහවැලියෙන් උදවු කරන බව ඇය කියන්නේ එසේය.

"මට බණ අහන්න රේඩියෝ එකක්‌ නැහැ. කරන්ට්‌ එක නැහැ. මේක මම පූරුවේ කළ පවක්‌. අපි පවු කරලා තියෙනවා නම් ඒවා ගෙවන්න එපායෑ රත්තරන් පුතේ. මගෙ පෙන්ෂන් එක විසිහතර දහකට කිට්‌ටුව එනවා. ඒක වැඩිපුර වියදම් කරන්නේ සත්තු වෙනුවෙන්. අහිංසක සත්තු බඩගින්නෙ ඉද්දි මට කන්න හිතෙන්නෙ නැහැ පුතේ. මේ පළාතේ සමහර මිනිස්‌සු ආබාධිත වුණු සත්තු මගෙ ගෙදරට ගෙනැත් දාලා යනවා. ඉතිං මේ සතා බඩගින්නේ මියෑදෙනවා බලා ඉන්න බැහැනේ. මම බෙහෙත් කරනවා. කන්න දෙනවා. ඉතිං එහෙම හිතවත් වුණාම මේ සත්තු මාව දාල යන්නේ නැහැ."

"මට දරුවො නැති වුණාට මාව බලාගන්න ළ`ග ගෙදරක කෙනෙක්‌ ඉන්නවා. එයා නන්දාවතී. එයාටත් දැන් අවුරුදු හැට හතරයි. එයාගෙ දරුවො දෙන්නා කසාද බැ`දලා ඈතක පදිංචිවෙලා ඉන්නේ. එයාගෙ මහත්තයට අංශභාගය. මම උදේම එයාලගේ ගෙදරට ගියාම මට කිරි එක හදලා දීලා මූණ කට සෝදා ගන්න උණුවතුර දෙනවා. ඊට පස්‌සේ එයා මට කෑම දෙනවා. කෑම කාල ඉවරවෙලා අපි දෙන්නම ඇවිත් සත්තුන්ට කෑම දෙනවා. ඊට පස්‌සේ නන්දා දුව වතුර උණු කරලා පොඩි දරුවෙක්‌ වගේ මාව නාවනවා. නාවලා මට පිරිසිදු ඇ`දුම් අන්දවලා එයාගේ මහත්තයා නාවනවා. ඊට පස්‌සේ අපි දෙන්නගෙම රෙදි හෝදනවා. එයා මට බණ අහන්න එයාගෙ රේඩියෝව දාලදීලා ඇවිත් සමහර දවස්‌ වලට බල්ලො නාවලා පිරිසුදු කරනවා. මගෙ කාමරෙත් අස්‌ කරලා ගිහිං නාලා එයා දවල්ට අපිට කෑම හදනවා. එයා රසට කෑම හදනවා. නිතරම මට අලුත් එළවළු පලතුරු දෙනවා. ඒ නිසා මම නිරෝගීව ඉන්නවා. බල්ලන්ට මස්‌ මාළු හදනවා."

"මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මන්ත්‍රී කාලෙ ඉ`දන් මම හො`දටම දන්නවා. එයා මම ගමින් ගමට ගිහිං බෙහෙත් දෙන එක ගැන ඒ දවස්‌ වල මට බොහොම ප්‍රශංසා කළා. අනේ පුතේ, මගේ එක අහැක්‌ දැන් පෙනීම හො`දටම අඩුයි. මෛත්‍රීපාල ඇමැතිතුමාට කියන්නකො මගේ ඇහැට කාචයක්‌ දාලා පෙනීම දෙන්න කියලා. මගෙ වයස දැන් අවුරුදු අසූ එකයි. මගේ දැන් ආසාව ඉන්න තැනක්‌ පිළිවෙළක්‌ කරගෙන දරුවන්ට ඉංග්‍රීසි ටිකක්‌ උගන්වගෙන සත්තුන්ටත් සලකගෙන ඉන්න එක. මම විශේaෂඥ වෛද්‍යවරියක්‌ වුණත්, මගේ ජීවිතේ කවදාවත් ලෙඩෙක්‌ගෙන් බෙහෙත් දීලා එක රුපියලක්‌ අරන් නැහැ. මම වැඩ කරපු කාලෙ හම්බ කරපු සේරම ඒ නතරවෙලා හිටිය ගෙවල් වලට දීලා ආවා. අද මට තියෙන්නෙ ලෑලි ඇ`දයි. ඇ`දුම් ටිකයි විතරයි. මගේ ජීවිතේ හරි සැහැල්ලුයි. වස්‌තුව දේපල හම්බ කළාට මේ කිසි දෙයක්‌ අපි අරගෙන යන්නෙ නැහැනේ. අපි අරන් යන්නේ කරන කුසල කර්ම විතරයි. ඒ ගැන අද මිනිස්‌සු හිතන්නෙ නැහැ රත්තරං පුතේ."

දස මස කුස දරා තමා මෙලොවට බිහිකළ මව නොවුණත් ඒ තරමටම සෙනෙහසින් මේ මවුතුමියට උවටැන් කරන නන්දාවතී ද කලක්‌ දොස්‌තර නෝනා සමග ස්‌වෙච්ඡා සේවයට ගිය බව පැවසුවාය.

"කජුවත්ත මෙඩිකල් සෙන්ටර් එකේ දොස්‌තර නෝනා කිව්වම හැමෝම දන්නවා. මම මේ නෝන එක්‌ක මහවැලි බී, සී කලාප වල හැම ගමකම ගිහිං තියෙනවා. එක දවසක්‌ වැලිකන්දේ කෙළවරක දෙමළ ගමකට ගිහිං ප්‍රතිකාර කරල එනකොට කොටි අපේ වාහනය නතර කළා. අපේ වාහනේ ගහල තිබුණු රතුපාට කුරුස ලකුණ කොඩිය යනකොට වැටිල. එයාල ඒක අහුලලා අපිට දුන්නා.

මෙතුමියට හො`දට සිහි කල්පනාව තියෙනවා. දොස්‌තර නෝනා ළ`ග පහුගිය දවස්‌වල බල්ලො තිහක්‌ හිටියා. දැන් ඉන්නේ අට දෙනයි. පූසෝ පහළොවක්‌ ඉන්නවා. මෙයා සත්තුන්ට හරිම ආදරෙයි. කවුරු හරි කාමර දෙකක්‌ නාන කාමරයකුත් එක්‌ක හදලා කරන්ට්‌ එක, වතුර ටික අරං දෙනවා නම් ලොකු පිනක්‌. මේ සත්තුන්ටත් ඉන්න කූඩුවක්‌ හදලා දුන්නොත් මට පුළුවන් නෝනාත්. සත්තු ටිකත් රැක බලා ගන්න. මහවැලියේ මේ නෝනගෙන් බෙහෙත් ගත්ත දහස්‌ ගණනක්‌ මිනිස්‌සු වෙනුවෙන් මම ඒ යුතුකම ඉටු කරන්නම්." නන්දාවතී හැ`ගුම්බරව පැවසුවා
අප නිරුත්තරව හි`දිමු. තවත් මොනවා කියන්නදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කතාව අසා සිටින අයෙක්‌ ඇයට මානසික රෝගයක්‌ ඇතැයි කියනු ඇත. පිරුණු අසූ එක්‌ වියෑති ඇය මේ මොහොත වන විටත් ඉතා යහපත් එළඹි සිහියෙන් දිවි ගෙවන්නීය. අපට අරුමයක්‌ සේ පෙනෙන්නේ අපේ කාලයේ මනුෂ්‍යයකුට සිතාගන්නටවත් නොහැකි ඇය විසින් තෘෂ්ණාව ප්‍රහීන කර උපදවාගත් මුනිවර මානසිකත්වයේ ප්‍රමාණයය. සැබෑ අත්හැරීමේ අත්දැකීමය. 

ඇය විශේෂඥ වෛද්‍යවරියකි. කොළඹ කුරු`දු වත්තේ ජීවත්වී, කාන්තා විද්‍යාලයේ ඉගෙනගෙන, විශේෂඥ වෛද්‍යවරියක්‌ වූ තැනැත්තියකි. ඇත්තනම් අද රටේ සිටිනා බොහෝ මහේශාක්‍ය වෘත්තිකයන්ට මේ සමාජ පසුබිම නැත. අරලගංවිලින්, ගලෙන්බි`දුණු වැවෙන්, මහවැලි කලාප වලින් පැමිණ ප්‍රභූ සමාජයේ දොරටු ආයාසයෙන් විවර කරගත්තවුන් ස්‌වකීය ජීවිතවල ඇරියස්‌ කවර් කරගන්නට මහා යුද්ධයක්‌ කරනා විට ඇය ඒ සුඛෝපභෝගී සමාජය හැර ස්‌වකීය දැනුම මිටින් ගෙන මහවැලි කලාපයේ දුගී මිනිසුන් සොයා ගියාය. 
විශේෂඥ වෛද්‍යවරියක්‌ වුවත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ස`දහා රුපියලක මුදලක්‌ අයකර තිබුණේ නැත. මේ ඉසිවර වෛද්‍යවරිය දැන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හො`දින්ම දන්නා, කලෙක මහවැලි කලාපයේ මිනිසුන්ගේ ජීවිතවල සිට ප්‍රභූ කාන්තාවකි.

මේ වනවිට ඇය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන බලප්‍රදේශයේ හුදෙකලා මහවැලි ගබඩාවක අන්ත අසරණව දිවි ගෙවන්නීය. මහා සු‚ සුවපත් දිවියෙන් අභිනිෂ්ක්‍රමණය කර පැමිණ දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් කැප කළ ජීවිතය පිළිබ`ද ඇයට අබමල් රේණුවක පසුතැවීමක්‌ නැත. එහෙත් අප කම්පා කරන්නේ අප වේදනාවට පත්කරන්නේ ඒ කළගුණ නොදත් තුප්පහි සමාජය ඇය අත්හැර දා ඇති ආකාරය ගැනය. ඒ සමාජය වෙනුවෙන් කළ කැපකිරීමට යළිත් ඇයට සමාජයෙන් ලැබී ඇති දේ ගැනය.

එහෙත් මේ මුළු රටම වෙනුවෙන් ඇය රැක බලාගන්නට කැපව සිටින නන්දාවතී අම්මා ගැන අප්‍රමාණ ගෞරවයක්‌ උපදින්නේය. ඒ ගෞරවය මේ වියපත් වෛද්‍ය මාතාව කෙරෙහි උපදිනා ගෞරවයට බි`දක්‌ හෝ අඩු වන්නේ නැත. මක්‌නිසාද යත් උන්දෑ විසින් හුදෙකලාව මේ වන විට ඉටු කරමින් සිටින්නේ රටක්‌ ඉටු කළ යුතු මහා යුතුකමක්‌ නිසාය.

ප්‍රසන්න සිල්වා දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

http://www.divaina.com/2014/01/19/nimna01.html

Wednesday, October 16, 2013

ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද

කොළඹ නගරයෙන් හිමිදිරියේ පිටත්වූ අප රත්නපුර බලංගොඩ හරහා කළුපහනට පැමිණෙන විට මධ්‍යාහ්නය ළඟා වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි. කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුර කි. මී. 5 යි’ යන්න සඳහන් කර තිබුණි.



අප රැගත් ඩබල් කැබ් රථය දියඇල්ල වෙත ඇදෙන පටු මාර්ගයේ වංගු ගැසෙමින් කඳු තරණය කරන්නට විය. මාර්ගයේ සමහර තැනක වළවල් හෑරී අබලන් වී තිබු නිසා වාහනය පැදවීම පරිස්සමෙන් කළ යුතු විය. අපි වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ඇදුණෙමු.

මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය. වාහනයේ කවුළු අතරින් හමා එන වේගවත් සුළඟ අව් රැල්ල පරදවමින් ගත සුවපත් කරයි. ඉහළ පහළ නැගෙමින් විවිධ උස් මට්ටම්වලින් නැගී සිටිනා පර්වත කූටයන් ද පහළ නිම්නයේ සිරි සිරියාවෙන් ගලා බසිනා දොළ පහරවල් ද අප නෙත පිනවයි. කඳු හිස් බොහොමයක් හිස් මුඩු කළ මිනිසුන් මෙන් වනයෙන් තොරව මුඩු බිම් බවට පත්ව තිබුණේ යටත් විජිත යුගයේ වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒවා තණ තලාවෙන් ද තැන තැන දැකගත හැකි බැදි කුට්ටිවලින් ද යුක්ත විය. පහත නිම්නයේ පැතිර ඇත්තේ දුෂ්කරතා ජය ගනිමින් ජීවිතය හා පොරබදන ගැමියන්ගේ මහන්සිය කියාපාන හෙල්මළු කුඹුරු ය. ජලය ගලා යන නාදයත් සුළඟේ “හෝ... හෝ...” වත් හැරෙන්නට පරිසරය නිසල ය.

මේ පාළු නිසංසලත්වයත් වටපිටාවේ මහා අවකාශයත් අප සිත් සමාධි ගත කරවන්නට සමත් වේ. කඳු මුදුන්වල උස වැඩි කරනා පයිනස් ගස්වලට ඉහළින් අහසේ කරකැවෙනා සර්ප රාජාලියකු ගොදුරකට ඉව අල්ලයි. වැහිලිහිණියෝ රංචුවක් සුළං පහර කපාගෙන වක්‍රාකාරව අහසේ පාවෙති.

ටික වේලාවකින් අප ඉදිරියේ ඉහළ නැග සිටියේ අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කඳු මුහුණතකි. බඹරකන්ද දියඇල්ල මේ පර්වත කූටය මධ්‍යයෙන් නිසංසලේ පහළට කඩා හැලෙන්නේ දිය සුදු පැහැති දිය සේලයක් මවා පාමිනි. සැබවින්ම එය මහා ජල ප්‍රවාහයක් නොවේ. උසට නොසරිලන තරම් කුඩා ජල ප්‍රමාණයකි, මේ දියඇල්ලේ අඩංගුව ඇත්තේ.

එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවට වනාන්තර එළි පෙහෙළි වී ඇති නිසා දියඇල්ලට එකතු වන ජල ප්‍රමාණය අඩුවීමයි. දියඇල්ල ඇරැඹෙන හෝටන් තැනිතලාවේ බෑවුම් ප්‍රදේශවල ද තේ වගාව නිසා වනය සමුගෙන ඇත.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්) වූ බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.

දියඇල්ල පෙනෙනා දුරින් වාහනයෙන් බැස ගත් අපි ඇල්ල පාමුලට ගමන් කරන්නට වූයෙමු. මේ අවට සිසිල් දේශගුණය සුවදායක හැඟීමක් අප තුළ ජනිත කරයි. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.

දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. සුළං පහරට හසු වී දිය කෙඳි ඒ මේ අතර පැතිරෙන අතර අවට ප්‍රදේශයම මේ ජල වාෂ්පයෙන් පිරී ගොසිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ. එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.

ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය. ඒ අවට ජලය පි‍්‍රය කරන ශාක වැවී අපූරු වන ගොමුවක් නිර්මාණය වී ඇත. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි ශාක අවට පැතිරී වටපිටාව සෙවණ කරයි.

දියඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ උඩුමේරිය තේ වතු යායයි. ඇල්ල අසලින් කඳු තරණය කරනා කුඩා මාවත උඩවේරිය හරහා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා අඩි පාරක් සේ ඇදී යයි. හෝටන් තැනිතලාවට දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණෙන සොබා රසිකයන්ගේ මාර්ගයක් බවට බඹරකන්ද පාර ද පත් ව තිබේ.

එමෙන්ම දියඇල්ල ඉහළට ගමන් කර අවට වටපිටාව වඩාත් සුන්දරව දැක ගැනීමට ද ඔබට පුළුවන. ඒ සඳහා අඩි පාර ඔස්සේ මීටර 200 ක පමණ නැගීමක් කළ යුතු ය. ඉතා දුෂ්කර මඟක පැය එකහමාරක් පමණ එහිදී ගමන් කිරීමට සිදු වේ. එය තවත් අපූරු පරිසර අත්දැකීමක් වනු ඇත.



දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම ඔබට දැක බලා ගත හැකි ය.

එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි. බඹරකන්ද දියඇල්ලේ පාර්ශ්වික දසුනකින් සිත් පිනවා ගැනීමට ද මෙහි දී ඉඩ ලැබේ.

අප කඳු යායක අතරමං වී ඇත. ඈතින් කඳු කපොලු අතරින් දිස්වන මහා අවකාශය පහළ ඌවේ කඳුවැටි හා නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇදී යයි. කඳු තරණය කරමින් විඳි වෙහෙස මෙම මනරම් දසුන නිසා අහෝසි වී ගොසිනි. සොබාදහම කෙතරම් සුන්දර ද? මේ කඳු අතර සිටින අප සිත් තුළ රැව් දෙන්නට වූයේ එම අදහසයි. එහෙත් ඒ සුන්දරත්වය පසක් කර ගැනීමට නම් අපගේ හදවත ද පිවිතුරු විය යුතු වේ.

කේ. එස්. විජේවර්ධන

http://www.silumina.lk/2010/08/29/_art.asp?fn=av10082918

Photo Credit goes to Dr. Athula Padmasiri.

Tuesday, October 1, 2013

යාල වන මැද කුළු හරක් රාජධානිය

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මා සේවය කළ වසර හතළිහට අධික කාලය තුළ වන සතුන්ගේ ප‍්‍රහාරයන් හමුවේ මා මිය නොගොස් බේරුණු අවස්ථා එමටය. නිදැල්ලේ වෙසෙන අලියා, වලසා, දිවියා කෝපයට පත්වී තමා වෙත හඹා එන විටදී ඔවුන් ගෙන්

එඞ්මන් විල්සන්

බේරී සිටීම පළපුරුදු වනජීවී නිලධාරියකුට ගැටලූවක් නොවේ. පා ගමනින් වනාන්තරයේ යනවිටදී හදිසියේම කෝපයට පත්ව තමාට පහර දීමට හඹා එන පිරිමි කුළු මීහරකා හෙවත් කුළු මදයා ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වෙසෙන අති භයංකරම සත්වයා බව මම ප‍්‍රකාශ කරමි. එළිපෙහෙළි වූ වනාන්තර ප‍්‍රදේශ ආශ‍්‍රිතව වෙසෙන ඇතැම් පිරිමි අලින් මිනීමරු අලින් බවට පරිවර්තනය වී මිනිසුන් දුටු තැන හඹාවිත් පහරදී මරා දමනු ලැබේ.
මගේ සේවා කාලය තුළ දී එකී සියලූ අවස්ථාවන් මා ජයගත්තා පමණක් නොව. එම අවස්ථාවලදී මා සමග එකට සිටි පහළ ශේ‍්‍රණිවල සේවකයින්ගේ දිවි ගලවා ගැනීමට මා සමත් වූ බවට දැනට ජීවතුන් අතර සිටින සේවකයින් සාක්‍ෂි දරති. මගේ කල්පනාවේ හැටියට වනජීවී නිලධාරියකු පිරිපුන් වන්නේ කාලාන්තරයක් තිස්සේ වනගතව රාජකාරි ඉටුකරමින් එම හැකියාව ප‍්‍රගුණ කරගැනීමෙන් පසුවය. පොතපතට පරිගණකයට සීමාවීමෙන් එම හැකියාවන් ලබා ගත නොහැකිය.
ඒ කොතරම් ප‍්‍රගුණ කළත් පෙර ආත්මවල දී සිදු කළ අකුසල කර්මයන් හේතුවෙන් ඒවා පලදෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි එක සිද්ධියක් පමණක් මෙහි සඳහන් කරමි.
රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය මැදින් ගලා බසිනා කුඹුක්කන් ඔය මහා සාගරයට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ අග්නි දිග වෙරළේදීය.
එම ගංගාව (ඔය) මීටර් 2036ක් උසැති ‘නමුනුකුල’ කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙන් ආරම්භවී පස්සර කඳු නිම්න ඔස්සේ නාරිලතාවක් ආකාරයෙන් ගලා බසිමින් යාල නැගෙනහිර සහ යාල දකුණ ජාතික උද්‍යාන දකුණු සීමාවේදී මහා සාගරයට එක්වෙයි.
කුඹුක්කන් ඔයට නුදුරුව කුමණ පුරාණ ගම්මානය සහ ‘කුමන’ කුරුලූ පාරාදීසය වනජීවීලෝලීන් හට අමුතුවෙන් කිව යුතු නොවේ. ‘කුමන’ ගම්මානයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු කම්කරු, වනසත්ව නියාමක, අඩවි සහකාර ආදී සේවකයින් අති දක්‍ෂ ක්‍ෂේත‍්‍ර සේවකයින්ය. ඔවුන් වනයට වන සතුනට බිය නැත. සමහර අය අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම්කාරයින් ය. ඔවුන් අතරින් දැනට ජීවතුන් අතර සිටින කේ. ඬේවිඞ් මියගොස් සිටින කිරිනේරිස්, සුමතිපාල, සාමෙල් අප්පු, හුදංචි අප්පු ආදීන් මා ඉහත ළඟින් ඇසුරු කළ සේවකයින්ය.

1993 වසරේ මා සේවය කළේ මහවැලි කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ලෙසය. එම වකවානුවේදී දිනක් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටින විටදී මගේ සේවකයකු හදිසියේ දිව අවුත් මා හමු වී ‘‘සර් අද උදේ යාල වැඩකරන වනසත්ව නියාමක සුමතිපාලට... කුමන ගමේ කුමන විල්ලූව අසලදී කුළු මීහරක් මදයෙක් ඇනලා... බරපතළ ලෙස තුවාල වෙලා..... ස්පිරිතාලයට අරං ගියා කියලා ආරංචියි... මෙලහකටත් මැරිල ද දන්නේ නැහැ...’’ යයි කීය.


යාල වනෝද්‍යානයේ බුතව පැරැණි බංගලාවේදී 1968 දී ගත් ඡායාරූපයකි. වම් පසින් සිටින්නේ විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ්ය. දකුණු පසින් සිටින්නේ රුක්මන් සේනානායක මහතාය. (පසු කාලයේදී ඔහු වනජීවී දෙපාර්තමේන්තුව බාර පරිසර හා වන සම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය)

වන මැදවූ ‘කුමන’ ගමේ හැදී වැඩුණු සුමතිපාල අලි, කුළු හරක්, වලසුන් ආදී වන සතුනට කිසිම බියක් දැක්වූ අයකු නොවේ. 1969 වසරේ නවක නිලධාරියකු හැටියට මා යාල උද්‍යානයට ස්ථාන මාරුවී පුහුණුව ලබන වකවානුවේදී යාල නියෝජ්‍ය උද්‍යාන භාරකරු වූ ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ උපදෙස් පරිදි නියාමකවරුන් වූ ඬේවිඞ් සහ සුමතිපාල විසින් පාගමනින් මා කැටුව සවස්වරුවේ මැණික් ගෙඟන් එගොඩ වී ‘ගෙඟ් මෝය කට’ වූ පිළින්නාවට ගියහ. ගමනේ අරමුණ වූයේ රාත‍්‍රි කාලයේ (ආහාරය සඳහා) මාළු ඇල්ලීමය.
එසේ ගිය ගමනේ දී අප වෙත හඹා ආ අලින් සහ කුළු හරකුන් සුමතිපාල විසින් මෙල්ල කළ ආකාරය නවකයකු වූ මම බලා සිටියෙමි. නියාමක සුමතිපාලගේ සේවා ස්ථානය වූ මැණික් ගඟ අසබඩ බීට්ටු කාර්යාලයේ සිට කුමණ ගමේ ඔහුගේ නිවසට දුර සැතැපුම් තිස් දෙකකි. වනසතුන්ගේ නිජබිම හරහා නිවසට යන්නේ පාපැදියෙනි. හඹා එන අලින් කුළු හරකුන් නතර කරලීමේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිිළිබඳව මට ඉතා ආදරයෙන් කියා දුන්නේ දැනට කතරගම පදිංචි ව සිටින විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ් සහ ඉහත කී හිටපු නියාමක සුමතිපාලයි.
* වන සත්ව දෙපාර්තමේන්තුව 1950 දී ආරම්භ කළ තැන් සිට සේවකයින්ගේ ආහාරය සඳහා ජලාශ, කලපු, සහ මුහුදෙන් මාලූ ඇල්ලීමට අධ්‍යක්‍ෂවරයා විසින් ලියා නොදුන් සහනයක් (Unwritten Concession)  තිබිණ. ආහාරය සඳහා විවෘත සමයේ දී තිත්මුවන් වලිකුකුළන් වෙඩි තබා මරා ගැනීමට ද අධ්‍යක්‍ෂවරයා අප වෙත බලය දුනි.
එසේ නම් මේ සිදු වූ ඛේදවාචකය කුමක්ද? මට අදහාගත නොහැකිය. ආරංචිය ලැබුණු සැනින් මම කුමන විල්ලූවට නුදුරින් වූ සුමතිපාලගේ නිවසට ගියෙමි. එම නිවසට එක් රොක්ව සිටි අය මා සමග පැවසූයේ ‘‘සර්... කුමන විල්ලූව ආසන්න ප‍්‍රදේශයේ අරක්ගෙන සිටින කුළුමදයා (පිරිමි කුළු හරකා) අප්පුසිංඤෝ ගේ මීවැස්සියක් එක්ක පට්ටි වැටිල හිටියෙ. සුමතිපාලගේ ගෙදර කිට්ටුවමයි..... ඉතින් සුමතිපාල අහුලාගත් ගල් කීපයක් විසිකරලා... කුළා එලවන්න කියලා ඌට ගහලා තිබෙනවා.. ඒ.... කේන්තියට කුළා පිඹගෙන හඹා ඇවිත් අංවලින් සුමතිපාලට පහර දුන්නා.... තුවාල වෙච්ච සුමතිපාල කුළාගේ අං දෙකේ පැටලිලා... ඈතට දුවගෙන යනකොටයි සුමතිපාල බිමට වැටුනේ.... තුවාලකාරයගේ බඩවැල් එළියට හැලෙනවා.... ඒවා... ඔක්කොම ආයෙ බඩ ඇතුළට රිංගවලා

මියගිය සුමතිපාලට පහර දුන්නේ මෙවැනි කුලූ මී හරක් මදයෙකි

ඉටිකොළයකින් ඔතලා.. ඉස්පිරිතාලෙට අරන් ගියා...’’ ඔවුන් මා දැනුවත් කළහ. ‘‘දැන් ඉන්නේ මොන ඉස්පිරිතාලෙද?’’ මම විමසුවෙමි.
‘‘අපිට ආරංචි වුණා... පොතුවිල ඉස්පිරිතාලෙන් මඩකළපුවට යැව්වා කියලා.’’ සුමතිපාලගේ බිරිඳ මා සමග පවසමින් හඬන්නට වූවාය. සුමතිපාලගේ නරක වේලාවක් වෙන්න ඇති. මම සිතුවෙමි. ඇරත් පෙර ආත්මයක සිදු කළ අකුසල පළදීම මන්ත‍්‍ර බලය ඇතුළු සියලූ ප‍්‍රතිකර්ම අබිබවා සිදුවේ.
දින තුනකට පසු මට ආරංචි වූයේ සුමතිපාලට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුවත් රාත‍්‍රියේ මඩකළපුව රෝහල් වාට්ටුවේ දී අළුයම 2.00 පමණ මඳක් සිහි එළඹීමෙන් පසුව ඇඳමත දැඟලීමේදී ඔහු ඇඳෙන් බිමට වැටී ශල්‍යකර්ම මැහුම් පුපුරා යාමෙන් සුමතිපාල අවසන් හුස්ම හෙලූ බවය.

සුමතිපාල එසේ මියයම අහඹු සිදුවීමකි.
එකල ඉඟිණියාගල ගල්ඔය ජාතික වනෝද්‍යානය වාසභූමි කරගෙන සිටි වල් කුළු මීහරක් සංඛ්‍යාව 15,000ට අධික විය. එම වකවානුවේ සේනානායක සමුද්‍ර පිටියේ තණ බුදින මීහරක් සුලභ දර්ශනයක් විය. වැව් පිටියේ තැන තැන අණසක ප‍්‍රදේශ වෙන් කර ගෙන සිටින්නේ කුළු මීහරක් (පිරිමි) මදයින්ය. දිනක් උද්‍යානයේ ‘හත් පණ’ පිටියේ දී මමත් මා සමග පාගමනින් ඇවිද ගිය වනසත්ව නියාමක ගෝමිස් අප්පු සාමෙල් අප්පු විශ්ව කුලරත්න අප වෙත හඹා ආ කුළු හරක් මදයා සහ ගැහැනු සතා පලවා හැරියේ දැඩි චිත්ත ශක්තිය මුසු වූ උස් ගොරෝසු කට හඬිනි. එදින ද අප සතුව ගිනි අවියක් තිබුණේ නැත.

කාමයෙන් මත්වී සිටින කුළු මදයා සංවාස කාලයට (Heat period) එළඹ සිටින කුළු මී වැස්සියක් ගැහැනු රංචුවෙන් වෙන් කරගත් පසු ඇයට ඔහුගෙන් ගැලවීමක් නැත. රංචුවේ අනිකුත් ගැහැනු සතුන් ඇය ගැන සෙවීමකින් තොරව ආහාර බුදිමින් තැනින් තැනට යති. එසේ යන විටදී එවැනිම තවත් කුළු මදයකුගේ අණසක ප‍්‍රදේශයට ගිය විට රංචුවේ වෙසෙන සංවාස කාලයට එළඹ ඇති වැස්සියකට සිදුවන්නේ කුළු මදයාගේ ‘රති’ කෙලියට යටත් වීමටය. ඇයට ද ඔහුගෙන් ගැලවීමක් නැත. මෙසේ රඳවා ගන්නා ‘මීහරක් වැස්සියන්’ අවම වශයෙන් දින තුනක්වත් කුළු මදයා විසින් රඳවාගෙන ඔහුගේ රතියේ මනදොල සපුරා ගනී. එවැනි අවස්ථාවක ඒ අසලට තුවක්කු ගිනි අවි නොමැතිව මිනිසකු යන්නේ නම් ඒ මරණය සොයාගෙනය. රතියේ සිටින කුළු මදයා ඒ තරම්ම අවදානම්ය.

ගල්ඔය උද්‍යානයේ හත්පත දී එදින අප අහම්බෙන් මුහුණට මුහුණ හමුවූයේ එවැනිම යුවලකි. රති කෙලියට සූදානම් වෙමින් සිටි ඔහුත් ඇයත් අප දුටු කෙනෙහිම මාරාවේශයෙන් ගොරවමින් අපට පහර දීමට හඹා එන්නට වූහ. මගේ ගොරෝසු උස් කටහඬ මා පියාගෙන් සහ උපතින් ලැබූ දායාදයකි. එම ශබ්දය සමග අනිකුත් සේවකයින් තිදෙනාගේ මුවින් පිට වූ කෑගැසීම් ශබ්දය වනය දෙවනත් කරගෙන යයි. අප ආසන්නයට හඹා ආ කුළු හරක් දෙදෙනා බිය වී ආපසු හැරී පලා යන්නට වූහ.

මට ඇති වූයේ අස්වැසිල්ලකි එහෙත් වනය තුළට දිවගිය මදයා සහ වැස්සිය නැවතත් ආපසු හැරී අප වෙත හඹා එන්නට විය. රයිපලයක් හෝ පතරොම් තුවක්කුවක් අත තිබුණේ නම් ඔවුන්ගේ හිස් කබල් සුනුවිසුනු කිරීමට තරම් භීතියක් මට ඇති විය. නැවතත් මගේ මුවින් පිට වූ ගෝරනාඩුව හත්පොත ප‍්‍රදේශයේ දෝංකාරය දෙන්නට විය... ඉන් බියපත් වූ කුළු හරක් දෙදෙනා අධික වේගයෙන් වනය තුළට පලා ගියේ අප හතර දෙනාහට තවත් කලක් ජීවත් වීමට ඉඩ දෙමිනි.

අප කණ්ඩායමේ සිටි වනසත්ව නියාමක විශ්ව කුලරත්න කතා කරමින් ‘‘සර්.... සර්ගේ ගෝරනාඩුවට කුළු මදයො විතරක් නොවේ... අමනුස්ස ලෝකෙ ඉන්න යක්කුත් භය වෙනව ඇති.’’ යැයි පැවසීය.
කෙසේ වෙතත් මගේ මෙම වදන් ගැන විශ්වාසය තබාගෙන සුදුසු ගිනිඅවියක් අත නොමැතිව රුදුරු වන සතුන් ඉදිරියට නොයා යුතු බව සඳහන් කළ යුතුය.

(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්
විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු
ඊමේල් edmund.wilson09@gmail.com
ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා
www.lankadeepa.lk

Tuesday, September 3, 2013

පුලතිසි



රාවණට භූවනත්‍රය ජය ගැනීමට හැකියැයි යන මතයේ සිටි පුලතිසි නිතොර ඔහුට උපදෙස් දීමට පසුබට වූයේ නැත.රාවණ වෛද්‍ය ශාස්ත්‍රය ඇතුලු බොහෝ ශාස්ත්‍ර උගත්තේ පුලතිසිගේ ඇසුරේය.එතුමා ලොව යම් ප්‍රාණියෙකුට දැඩිව ආදරය කලේනම් ඒ අන් කවරෙකුවත් නොව 'ලංකේෂ්වර රාවණට' විය.රාවණ විසින් ඉන්ද්‍ර සිර කොට සිටියදී ඔහු බේරා ගැනීමට පැමිණි නාරද ඍෂිවරයාට හා මහා ඍෂිට උපකාර කලේ පුලතිසිය.රාවණට භූවනත්‍රයෙන් එහාට යන්නටත් අවශ්‍ය ගුරුහරුකම් දීමට සිටි තැනැත්තා පුලතිසි විය.

ලෝකයේ නිත්‍යය පදාර්ථය පරමාණුවකටත් එහා ගිය කිසිවකුට කිසිවිට ඇසින් දැකිය නොහැකි 'ශක්තිය' යැයි පුලතිසි සොයා ගෙන සිටියේය.ඒ දැවැන්ත ශක්තියෙන් කල නොහැකි දෙයක් නැතැයි ඔහුගේ නිගමනයද විය.මුලු විශ්වයම මොහොතකින් එක් පවුලක් සේ ළං කරගැනීමට ශක්තියේ බලය යොදා ගත හැකි යැයි පුලතිසි තීරණය කර තිබිණි.මුලු විශ්වයම එක පවුලක් කර ගැනීමද ඔහුගේ අරමුණ විය.
එහෙත් මේ අදහස් අනුව පරීක්ෂණයකට යෙදෙන්නටත් පෙර රාම රාවණ යුද්ධය ඇවිලී ගොස් ලංකාව මෙතෙක් ළඟා කරගත් ශිෂ්ඨාචාරයද වැළලී ගියේය.ඒ සන්තාපය පුලතිසිටද විය.එහෙත් එතුමා පරමායුෂය ගෙවා ධාන්‍යකට සමවැදී සිට දයෙන් සමුගත්තේය...

මහේන්ද්‍ර ජයකොඩි

රාවණ පරපුර


මහේන්ද්‍ර ජයකොඩි


Sunday, August 25, 2013

ගණින්නාන්සේලා රැකගත් බෝගන්දෙන විහාරය



කුඩා කතරගම සොරගුණේ දෙවොල් බිම ආශි‍්‍රතව සිදුවූ නාහිමි ඝාතනය පිළිබඳ දුක්බර මතකය සිහිපත්කළ සොරගුණේ රජ මහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සොරගුණේ පඥානන්ද හිමියන්ගෙන් සහ හල්දුම්මුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සොරගුණේ  පඥාවාස හිමියන් නමැද සමුගත් අපි මෙම විහාරස්ථානයට පෙර පැවැති ප‍්‍රදේශයේ ප‍්‍රධානතම බෞද්ධ ආගමික මූලස්ථානය සොයා ගමන ආරම්භ කළෙමු.
බෝගන්දෙන විහාරය 16, 17, 18 යන සියවස්වල ඉතිහාස දත්ත විහිද යන්නකි. මෙයද යාපා රජතුමා සොරගුණේ පුංචි කතරගම දෙවොල ඉදිකළ කාලයටම අයත් බව කියති.

ගුණසේකර

දෙවොල කරවූ රජු එහි පිරිත් නිලය සඳහා මාගන්දන විහාරයේ ගණින්නාසේලාට පැවරූ බව බෝගන්දන සන්නස හා සොරගුණේ ගම්පත සාක්කි දෙන්නේය.
ගණින්නාන්සේලා මේ පින්බිම ආරක්‍ෂාකරගෙන දියුණු කළ බව ද සඳහන් වේ.
අද කාපට් යොදා සංවර්ධනය කර ඇති එදා රජ මාවතේ ගමන් කරමින් සිටිය දී ගණින්නාන්සේලා යනු කවරෙක්දැයි මෙනෙහි කළෙමි. ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වූයේ එකල්හි වෙහෙර විහාරස්ථාන භාරකාරත්වය දරන ලද උපසම්පදා නොවූ සාමණේර පිරිසකට බව කියති.
තම පියාණන් මරා රජකම ලබාගත් 1 වැනි රාජසිංහ රජතුමා ඒ පව නිවාරණය කරන්නට මගක් නැති බව බුදු දහමේ සඳහන්ව ඇති බව අසා කෝපයට පත්ව බුදුසසුන වැනසූ කාලයක් ගැන අසන්නට ලැබේ. එකල රජුගේ අණින් වෙහෙර විහාර, බණ පොත් ගිනිබත් කළ අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද ඝාතනය කෙරිණ.
මේ නිසා බොහෝ භික්‍ෂුන් වහන්සේලා සිවුරු හැරදමා ගිහියන් මෙන් ගත කළ බවත් කියති. කෙසේ නමුත් මොවුන් ඇතමෙක් අඳනය උඩින් ගිහි ඇඳුමක් ඇඳගෙන සිටි බවත් ආගමික වතාවත් වලදී ගිහි ඇඳුම ඉවත් කර එය අවසන්ව නැවත පොරවා ගත් බවටත් තොරතුරු ඇතැයි ඌව බින්තැන්න දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවෙල ධම්මානන්ද  හිමියෝ පැවසූ අයුරුද මට සිහිවිය.
කෙසේ වෙතත් ගණින්නාන්සේලා දිවි පරදුවට තබා ශාසනික මෙහෙයක් සිදුකළ පිරිසක් බව නම් පැහැදිලිය.
කිලෝ මීටර් 5 ක පමණ දුර ගමන් කළ පසු අප ළඟා වූයේ වෑඑළිය ගම්මානයටය. මෙහි ඇති වැව නිසා ගම එළිය වූ බැවින් මෙම ගමට වෑඑලිය නම ලැබී ඇති බවට ජනප‍්‍රවාදයකි.
එහෙත් තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ මෙම වැව පතුලේ රන් වෑයක් සඟවා ඇති නිසා වෑඑළිය නම ලැබී ඇති බවය.
දිගු ඉතිහාසයක් ඇති මෙම වැව පිළිබඳව ඉපැරැණි මැදගම සන්නසෙහි ද සඳහන්ව තිබේ.
එහි සඳහන්ව ඇත්තේ යාපා රජ දවසටත් පෙර සිටම මෙම වැව පැවති බවයි. යාපා මහ රජුගේ තාවකාලික ගමන් මාලිගාවක් මෙම වැව අසළ තිබූ බවත් රජතුමා විසින් වැව පිළිසකර කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
කලක් මැණික් ගරන්නන් විසින් විනාශ කරනු ලැබීම නිසා වැව ආශ‍්‍රිත බිම පතහක් වී ඇති අතර දුරාතීතයේ අක්කර 36 ක් පමණ වූ මේ වැව අද අක්කරයකට පමණක් සීමා වූ වැවක් බවට පත්ව ඇත.
මෙම වැව මැණික් ගැරීම සඳහා රුපියල් කෝටි ගණනකට ව්‍යාපාරිකයන්ට පැවරීමට සූදානම්ව සිටියදී ගම්වැසියන් හා ගොවි සංවිධාන පාරට බැස දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ හැටි මට ද මතකය. එදා එය අපි මාධ්‍යයට වාර්තා කළෙමු.


වල්අලි වැනසූ නිවසක්

මහජන විරෝධය නිසාම තම අදහස ඉවත් කර ඉතිරි වූ වැව කොටස හෝ සංවර්ධන කර දීමට බලධාරින්ට සිදුවිය.
කෙසේ නමුත් වැව කුඩා වීම නිසා වෑඑළිය ගම්මානයේ රජ දවස සිට පැවත එන වෙල්යායේ වැඩ කරන්නේ එක් කන්නයකට පමණක් බව දැනගන්නට ලැබිණ.
මේ අතර මෙහි ඉඩම්වල අයිතිය ඇතැයි පවසමින් යළිත් වරක් වැව් තාවල්ල ආසන්නටයම අත්පත් කර ගැනීමට යන පිරිසක් පිළිබඳව ගොවි සංවිධාන හා ගම්වැසියෝ අනතුරු හඟවති.
මෙම වැව ආසන්නයේ තිබූ බව කියන යාපා රජුගේ ගමන් මාලිගය සොයා අප වෙහෙසුනද එම මාලිගාවේ පාදමේ ගල්ද ගලවාගෙන ගොස් ඇති අයුරු දක්නට ලැබිණ.
නිධන් හොරු මෙහි තැන් තැන් කැණීම් කර තිබෙන අයුරු ඛේදජනකය.
රන් ආයුධ ගල්ගේ නම් වූ ගල් ගුහාවක් මේ ආසන්නයේ තිබූ බවත් සොරගුණේ දේවාලයට සතුරු ප‍්‍රහාර එල්ල වන විට එහි තිබූ රන් ආභරණ හෙවත් රන් ආයුධ මෙහි තැන්පත් කර තිබූ බවත් සතුරු සේනා ගිය පසු යළි දේවොලට රැගෙන ගිය බවත් කියති. එනිසා මෙය රන් ආයුධ ගල්ගේ නම ලබා ඇත.
මේ ප‍්‍රදේශයේ යාපා රජතුමාගේ පලතුරු උයනක් තිබූ බවටද ඉතිහාසයේ සඳහනක් ඇතත් පලතුරු උයන පමණක් නොව ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක වන පෙතද විනාශ කර තිබේ.
ස්වභාවික වනයෙන් පිරුනු දෙවොලේ ඉඩම් අක්කර දහස් ගණනක් පිට පළාත්වල ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් අත්පත් කරගෙන සිටින බව දැනගන්නට ලැබුණි.


ඓතිහාසික බෝධීන් වහන්සේ

අක්කර සියය, දෙසීය වශයෙන් කම්බි ගසා වෙන්කරගෙන ඇති මෙම ඉඩම් ලබාගෙන ඇත්තේ රබර් වැවීමට යැයි හඟවමිනි.
එහෙත් සිදුවී ඇත්තේ බුරුත, කරුවල, මහෝගනී, මැදිරිය, ගම්මාලූ වැනි රූස්ස ගස් ඇති ස්වභාවික වනය මුළුමනින්ම කපා බිම හෙළා රැගෙන යාමය. තවදුරටත් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මේ විනාශය සිදුකරන අතර වගකිවයුතු අය දෑස වසාගෙන ඇතැයි ගම්වැසියෝ කියති.
ගස් කැපීම, වන සතුන් දඩයම පමණක් නොව තවත් නීති විරෝධී කටයුතු සිදුකරන බවත් කොළඹ මෙන්ම යාපනේ අනන්‍යතාව ඇති අයද සංක‍්‍රමණය වී ඇති බවත් දැනගන්න ලැබිණ.
ඒ පරිසර විනාශය අපටද දැකගත හැකි විය.
අපි වෑඑළිය හන්දියට පැමිණි පසු වෑඑළිය වල්මීතලාවේ ඇති පුරාවිද්‍යා ගවේෂණ කැනීමකට යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ කණ්ඩායම හමුවිය.
මේ ප‍්‍රදේශයේ වසර 5500 ක පමණ වූ ඉතිහාසයක් මතුකරන සාධක කැණීම් වලදී හමුවූ බව පැවසූ රාජ් සෝමදේව මහතා මේ ඉතිහාසය මතුකරගෙන ආරක්‍ෂා කිරීම අනිවාර්යයෙන්ම කළයුතු කාර්යයක් බව කීවේය.
අප සොයා යන්නේ බෝගන්දෙන විහාරය බව පැවසූ විට මහාචාර්යවරයා එම ඉතිහාසයේ තවත් හෝඩුවාවක් අපට දුන්නේ මෙසේය.
‘‘අප දැනට කැණීම සිදුකරන වල්මීතලාවට යාව තිබෙන බෝගන්දෙන ප‍්‍රදේශයේ තිබී කි‍්‍ර.ව. 9 වැනි ශතවර්ෂයේ රචනා කරන ලද සෙල්ලිපියක කොටසක් අප ඊයේ දැක්කා. මං හිතනවා ඒක 4 වැනි උදය රජු විසින් කරවන ලද ලිපියක් කියල.
එතුමා මේ ප‍්‍රදේශයේ රාජකාරි චාරිකාවකදී බෝගන්දෙන විහාරයට දීමනාවක් දෙන්න ඇති. ලංකාවේ ඓතිහාසික වර්ධනය අධ්‍යයනය කිරීමේ මේ සාධක ඉතා වැදගත්. ඒ සඳහා ක‍්‍රමවත් පර්යේෂණ වැඩ පිළිවෙළක් අවශ්‍ය යැයිද මහාචාර්යවරයා කීවේය.
සබරගමුව පහළ ඌව මාර්ගයේ කොස්ගම හා වෑඑළිය අතර පිහිටි බෝපිටිය ගමට කිලෝ මීටර් 7 ක් අප යායුතුය.
ඒ සඳහා මාර්ගෝපදේශකයා වූයේ ඊ.එම්. ගුණසේකර (65) මහතාය. අතීතයේ වූ කැලෑ මාර්ගය වෙනුවට වේලිඔය ආශ‍්‍රිතව ඉදිකළ පෞද්ගලික විදුලි බලාගාරයක් වෙත යන්ත‍්‍ර සූත‍්‍ර හා ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාම සඳහා කැලෑව දෙපළුකර කපන ලද මාර්ගයේ ටික දුරක් අපහසුවෙන් තොරව ගමන් කළහැකිය.
ඉන්පසු බරවාහන වල  ටයර් තීරු ප‍්‍රමාණයක් පමණක් සිමෙන්ති දමා තිබුණත් මේ හේතුව නිසා තී‍්‍රවිලරයක් වත් ගමන්කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.
ගමේ කීප දෙනෙකුට ත‍්‍රීවිලර් තිබුණත් ඒවා වෑඑළියේ නතර කර පයින් ගමට යාමට සිදුව තිබෙන බව ගුණසේකර කීවේය.
මේ දුක්ගැහැට විඳිමින් ඉදිරියට යන විටද අපට දක්නට ලැබුණේ මහා පරිමාණ පරිසර විනාශයකි.
බෝපිටිය ගම්මානය රජ දවස සිට පැවැත එන පාරම්පරික ගම්මානයක් වන නමුදු මාර්ග අපහසුතාව හා වල් අලි කරදරය නිසා අද පවුල් 11 ක් පමණක් මෙහි ජීවත් වෙති. සෙසු පවුල් ගම හැර ගොස් ඇති බව ගුණසේකර මහතා කීවේය. තවලම පිට තම කෘෂි අස්වැන්න වෑඑළියට රැගෙන ගිය සෙනෙවිරත්න හැර වෙනත් කිසිදු ගැමියෙක් මේ මාර්ගයේදී හමු නොවීය.


වල් වැදුණු රජමාවත

අඩි සිය ගණනක් වූ වෑයමක වෙහසකර ගමනකින් පසු අප බෝපිටිය ගම්මානයට පිවිසුනෙමු. ගම්මානය මැද පිහිටි බෝගන්දෙන විහාරයේ අද ඉතිරිව ඇත්තේ ගරා වැටුණු චෛත්‍යයේ කොටසක් පමණි. වරෙක සතුරු සේනා විසින්ද පසුකලෙක නිධන් හොරුන් විසින්ද මේ සෑය වනසා ඇති අයුරු හද කම්පාකරවනසුළුය.
පැරැණි ගල් කනු කීපයක්ද දැකිය හැකි විය. ඉපැරැණි බෝධීන් වහන්සේ තවමත් විරාජමාන වෙයි.
පුරාවිද්‍යා සංරක්‍ෂණයට හා ගවේෂණයකට ලක්විය යුතු වුවත් ඒ කිසිවක් නැතිව විනාශ මුඛයට යන බෝගන්දෙන විහාරයේ නටඹුන් වෙනුවෙන් ගම්වැසි පවුල් කරන පුදසත්කාර නම් ගෞරවනීය වෙයි.
අපි පවුල් එකොළහ සතියේ දින බෙදාගෙන මේ ස්ථානයට සියලූ පුද සත්කාර කරනවා. ස්ථානය පිරිසිදු කිරීම, උදේ හවස මල් පහන් පූජාව, ගිලන් පස පූජාව හා උදෑසන කිරි ආහාර පූජාව නොකඩවාම කරනවා යැයි ගම්වැසියන් පැවසුවේ මෙම පුදබිමේ ඉතිහාසය මෙන්ම හාස්කම් ගැනද විස්තර කරමිනි.

ස්තුතිය - හල්දුම්මුල්ලේ සුමනපාල තෙන්නකෝන් මහතාට හා චන්ද්‍රා ලක්මාලි  රණසිංහ මහත්මියට
ඊළඟ සතියේ රන්වන් ගුහාවට යමු.


බදුල්ලේ පාලිත ආරියවංශ
2013 අගෝස්තු මස 24 00:00:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Wednesday, August 21, 2013

යුදගනා ඇසළ පෙරහර

ඌව - වෙල්ලස්සේ බුත්තල ඓතිහාසික යුදගනා රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 23, 24 යන දිනයන්හි දී පැවැත්වේ. විහාරාධිපති ගල්ටැම්වත්තේ ශ්‍රී චන්ද්‍රජෝත්‍යාභිධාන මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා විහාරාධිකාරී හා භාරකාර ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි යුදගන රාජමහා විහාර දායක සභාව, යුදගනා, සහයෝගිතා බෞද්ධ පදනම, යුදගනා පෙරහර කමිටුව, යුදගනා තරුණ බෞද්ධ සංගමය හා යුදගනා දහම් පාසලේ මෙහෙයීමෙන් පෙරහර මංගල්‍යය සංවිධානය වේ.

“සිත නිවන දහම් සිසිල” යන මැයෙන් ධර්ම දේශනයක් 2013 අගෝසතු මස 24 වැනි දා සවස 4.30 මොරකැටිආරේ ධම්මික හිමියන් විසින් වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. වාද්දුව ධම්මගවේෂි පදනම මෙය සංවිධානය කරයි.



Sunday, August 18, 2013

පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය - Pelwatte Milk Foods

පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය, පැල්වත්ත කිරි ආයතනයට අනුබද්ද ආයතනයකි. 2006 දී "ගමට කර්මන්ත" වැඩසටහන යටතේ ආරම්භ කරන ලදී. අයෝජන මන්ඩලය මගින් BOI තත්වයද පිරිනමා ඇත. මෙය ඌව පළාතේ,මොණරාගල දිස්‌ත්‍රිකයේ, බුත්තල පැල්වත්ත සීනී කර්මාන්තායතනයට අසල පිහිටා ඇත.


Pelwatte milk foods to enter the market shortly

Pelwatte Dairy Industries Ltd (PDIL), a subsidiary of Pelwatte Sugar Industries PLC (PSIPLC), plans to launch its milk powder production soon. Machinery imported from Denmark has been installed at the milk powder plant for this purpose. “We are in the process of completing the milk powder plant”, Chairman of the company Ariyaseela Wickremanayake told the Business Times, adding that Pelwatte milk foods will enter the local market shortly.
Pelwatte Dairy Industries Ltd. has invested Rs.1.8 billion on the state-of-the-art dairy processing plant and animal feed production factory in the Monaragala District. Liquid milk for this factory is being collected from the districts of Monaragala and Ampara amounting to 150,000 litres per day. The factory currently produces yoghurt and ice cream. "Around 25,000 farmers work directly at the dairy factory in Pelawatte while 40,000 persons indirectly benefited by the project," he added.
Mr. Wickremanayake revealed that the company will launch an Rs.450 million Initial Public Offer (IPO) at the end of this month or in the first week of February. He said that 20% of the company stock would be offered to the public.
Meanwhile production at Pelwatte Sugar Factory, the largest sugar factory in Sri Lanka, has come down from 42,000 tons in 2009 to 29,000 tons in 2010 due to bad weather conditions. However the factory is functioning smoothly under Pelwatte Sugar Industries PLC (PSIPLC) without any industrial disputes or worker unrest, said Mr. Wickremanayake. He denied allegations from the Inter Company Employees Union which claimed that the wages of the employees and the vehicle owners who supplied transport facilities as well as the farmers who supplied sugar cane to the factory were not paid properly. All the payments were made and there was no worker dispute at the factory, he said.
The company cultivates sugarcane under rain-fed conditions, and produces sugar and other byproducts from the raw cane. PSIPLC's subsidiary, Pelwatte Sugar Distilleries (Pvt) Limited, produces potable and technical alcohol utilizing molasses, a byproduct of the sugar factory.


Sunday Times,


























Search This Blog