Monday, July 22, 2013

ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහර වෙනුවෙන් පේ වෙන කතරගම පුදබිමේ අසිරි සිරිය ඔබට ලියන්නට අපි ඉකුත්දා එහි ගියෙමු.
පරිසරය නිහඬය. ශාන්ත බවින් පිරුණේ වෙයි. දෙවියන් පිළිබඳ බැතිබර හැඟීමෙන් යුතු ජනයා සුදු වතින් සැරසී සිටිති. ඈතින් කාවාඩි නැටුමක් එනු පෙනෙයි. වේග රිද්මයෙන් සංගීතය නිකුත් වුවද දැහැන්ගත සිත බිඳ දැමීමට එය සමත් නොවේ. එය ඒ පුදබිමේම අනන්‍ය ලක්ෂණයකි. ආගමික විවිධත්වයත් සංස්කෘතික විවිධත්වයත් මුසුවීමෙන් නැගෙන විචිත‍්‍රවත්වය එහි උරුමය බවට පත් වී තිබේ.


අපි ඔබ මොබ ගියෙමු.
මාසයක් පුරා අලි හා වන සතුන් පිරි ගිරි දුර්ග හා ජල දුර්ගවලින් ගහන මහ වන මැදින් පැමිණි බැතිමත්හු දොවොල් බිමේ තුරු සෙවණේ ගිමන් හරිති. ඔවුන්ගේ ගමන සුපුරුදු පරිදි ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් පසුවය. කප් සිටුවා දින 45ක් තුළ ඇසළ මංගල්‍යය ඇරැඹෙන බැවින් ඒ දින බලා ඔවුහු පිටත්වෙති. මඩකළපුව, අක්කරෙයිපත්තුව, අම්පාර, තිරුක්කෝවිල්, සංගමන් කන්ද, තෙරමාරි, ඌරණී, පොතුවිල්, ආරුගම්බේ, පානම, ඔකඳ, කුමන හරහා රඹුක්කන් ඔයෙන් එතෙර වන ඔහු යාල අංක 2 කලාපයට පැමිණ මැණික් ගඟ තරණය කර කටගමුව, වල්ලිමාතාගම පසු කර ඔවුහු කතරගම පුද බිමට පැමිණෙති.


කපුගම සරණ තිස්ස හිමි


සොමිපාල ටී. රත්නායක ප‍්‍රධාන කපු මහතා


ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පත්මසිරි රාජපක්ෂ

ගමනට මාසයක් කල් ගෙවී යයි. මහ වන මැදින් එන ගමන අනතුරදායකය, බිහිසුණුය. කටුකය. කර්කෂය. අව් වැසි හා පින්නෙන් ලබන පීඩා එමටය. වන සතුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රවද බහුලය. මහ වන මැද ආහාරය සියතින්ම සාදාගත යුතුය.
”දෙවියන්ට තියෙන භක්තිය නිසා අපි එහෙම එන්නේ. දෙවියන් වෙනුවෙන් කැප වුණාම දෙවියන් අප වෙනුවෙන් කැප වෙනවා.” බැතිමතෙක් කීවේය. එහෙත් ඔවුහු මාධ්‍යයට කතා කිරීමට කැමැත්තක් නොදක්වති. ඒ ඔවුන්ගේ අරමුණ දෙවියන් පිදීම පමණක් වන හෙයිනි.
”මේ ගමනට එන්න පෙර මාස 5ක්වත් අපි පේ වෙනවා. මස් මාළු කිසිවක් කන්නේ නෑ. කිල්ලට අහුවෙන්නේ නෑ. එහෙම වුණොත් දෙවියන් වැඩ ඉන්න බිම අපිරිසුදු වෙනවා.” ඒ බැතිමතා කීවේය. පාද යාත‍්‍රාවේ අතීතය 1830 දක්වා තරම් ඈතට දිව යන අතර ඉන්දීය බැතිමතුන් පවා මෙම ගමනට එක් වන බව පැවසේ. ඔවුහු එකල ති‍්‍රකුණාමලය වරායට පැමිණ එතැන් සිට පාද යාත‍්‍රාවට එක් වන බවද කියැවිණි.
මාසයක් පුරා දුෂ්කර මගක් ගෙවා පැමිණි බැතිමතුන් අතර ගැබිනි මවක්ද සිටියාය.
”මගේ බාරය පිරිමි දරුවෙක් ලැබෙන්නයි. ඒ නිසා මට මේ ගමන අසීරු වුණේ නෑ.” ඇය කීවාය.
පාද යාත‍්‍රාවේ එන පිරිස් විවිධ තරාතිරම්වලට අයත් බැතිමත්හු සිටිති. ඒ අතර මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, විධායක ශ්‍රේණියේ නිලධාරීහු, පරිපාලන ක්ෂේත‍්‍රයේ නිලධාරීහු, වෛද්‍යවරු, විදුහල්පතිවරු, මෙන්ම ගොවි හා ධීවරයෝද වෙති. එහෙත් ඒ සියල්ලෝම එක සමාන වෙති. ජීවිතයේ වරක් හෝ මෙම පාද යාත‍්‍රාවේ යෙදීම දෙවියන් වෙනුවෙන් කරන ඉහළම පූාජව යැයි ඔවුහු සිතති.
එහෙත් ඔවුන්ට මෙවර කීමට අවනඩුවක් තිබිණි.
”ජූලි මාසයේ පැවැත්වෙන පෙරහර මේ පාර අගෝස්තු මාසයට කල් ගිහිල්ලා. ඒක අපි දන්නේ නෑ.” ඔවුහු කීහ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය තුනක් පවත්වනු ලැබේ. පළමුවැන්න අවුරුදු මංගල්‍යය වේ. කතරගම දෙවිඳුන් වල්ලි අම්මා මාතාව බැලීමට යාම ස්මරණය කිරීම සඳහා මෙම අවුරුදු මංගල්‍ය පෙරහර පවත්වනු ලැබේ. දෙවැන්න ඇසළ මංගල්‍ය පෙරහර වේ. කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා මාතාව අතර සිදු වූ විවාහය ස්මරණය කිරීම සඳහා මෙම ඇසළ මංගල්‍ය පෙරහර පැවැත්වේ. කප් සිටුවා දින 45කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍ය සඳහා දින 15ක් හෝ 16ක් ගත වේ. මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවිඳුන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත‍්‍රයකි.
තුන්වැනි වාර්ෂික පෙරහර මංගල්‍ය වනුයේ ඉල්මහ කාර්තික මංගල්‍ය වේ. කතරගම දෙවිඳුන්ට වල්ලි අම්මා මාතාව හමුවීම සිහිපත් වීම සඳහා මෙම පෙරහර මංගල්‍ය සිදුකෙරේ. එළැඹෙන නව වසර සඳහා රුහුණු මහා දේවාලයේ නිලධාරීන් පත් කරන ලද පසු සිදු කරන පළමු උත්සවය ලෙස මෙය හැඳින්වේ.
පුරා මසක් කල් මහ වන මැදින් පාද චාරිකාවේ යෙදුණ බැතිමතුන්ට පෙරහර මාසය මෙවර වැරැදුණේ ඇයි? ජූලි මාසයේ සිිරිත් පරිදි පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍ය මෙවර අගෝස්තු මාසයට කල් ගියේ ඇයි? ඒ සම්බන්ධයෙන් විමසීමට නිවැරැදිම සුදුස්සා රුහුණ මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතාය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘මේ අවුරුද්දේ වෙසක් පොහොය ගෙවී ගියේ උදේ 9.58ටයි. කප් සිටුවීම කළ යුත්තේ බ‍්‍රහ්ම මූර්තියට. ඒ කියන්නේ උදේ හයට විතර තමයි කප් සිටුවිය යුත්තේ. පොසොන් පොහොයත් මාසයේ අන්තිමට ගියා. පෞරාණික චාරිත‍්‍රවලට අනුව කප් සිටුවා දින 45කට පසුවයි පෙරහර මංගල්‍ය පැවැත්විය යුත්තේ. ඒ අනුවයි මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු මාසයට කල් ගියේ. එහෙම නැතිව වෙන කිසිම හේතුවක් නෑ. මේ තත්ත්වයන් ජනමාධ්‍ය මගින් දැනුම්වත් කළා. අද සන්නිවේදන පහසුකම් බහුලයි.  ඕනෑම කෙනකුට යමක් පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවා නම් ”දන්නේ නෑ” කියලා ඒක පිළිගන්න බෑ’’.
ඉකුත් ජූනි 24 වැනිදා කප් සිටුවීය. නම සඳහන් නොකරන ගස් විශේෂයක් පොහෝ දිනයකදී කපා මැණික් ගෙඟන් නාවා වල්ලි අම්මා දේවාලයේ පූජාව අවසන් වූ පසු සළුවකින් වසා තැන්පත් කරනු ලබයි. එතැන් සිට කපු මහතුන් විසින් දේවාලය දක්වා පෙරහරෙන් ගෙන ගොස් නැකැතට අනුව දේවාලයේ ඇතුළත සිටවනු ලබයි. එම ගස කැපීමට පෙර රාජකාරි මණ්ඩලයේ ගොටු මසන කපු මහතුන් විසින් කැලෑ වැදී තෝරා ගැනීමෙන් පසුව කහ රෙදිවලින් වසා රැුගෙන එනු ලබයි. එම ගස් දෙක සමාන අතු රිකිලි තුනකින් සමන්විත වීම විශේෂ ලක්ෂණයකි. ඌලියන් පංගුකරු විසින් ගස සොයා කැලෑවැදීමේදී මඟ එළි කර දෙයි. කපු මහතුන් දෙදෙනෙක්ද ඔවුන් කැටිව යති. කනු රැගෙන එක් වරක් පැදකුණු කර කනු නානුමුර හෙවත් නහවා කරට ගනු ලබයි. නානුමුර කිරීමේදී පළමුව කප් කනු දෙක දෙහි ගා පිරිසුදු කර පැන්වලින් නහවා සඳුන් ගල්වා අනතුරුව සුවඳ දුම් අල්ලා පොල්තෙල් පහන් දැල්ලෙන් උණුසුම් කෙරේ. ඒ වෙනුවෙන් වූ ආලත්ති පූජාවක්ද වෙයි. ඒ කප් සිටුවීම හා නානුමුර මංගල්‍යය ඉකුත් ජූනි 24 වැනිදා පැවැත්විණි.
අගෝස්තු 7 වැනිදා ආරම්භක පෙරහරෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන අතර අවසන් මහ පෙරහර අගෝස්තු 26 වැනිදා පැවැත්වේ.  අගෝස්තු 21 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ.
පෙරහර මංගල්‍ය සඳහා සූදානම කෙබඳුද? එය විමසීම සඳහා අප හමුවූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ඇසළ පෙරහර මංගල්‍යයේ ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සභාපති පද්මසිරි රාජපක්ෂ මහතාය. ”ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු පවත්වන 8 වැනි පෙරහර මංගල්‍යයයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. එය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ විධිවිධාන සලසා තිබෙනවා. මෙම පෙරහර මංගල්‍යයට ලක්ෂ සියයක් පමණ බැතිමතුන් සහභාගි වෙනවා කියලා අප බලාපොරොත්තුවෙන් සිටිනවා. 26 වැනිදා පැවත්වෙන අවසන් පෙරහරට පමණක් බැතිමතුන් ලක්ෂ 25කට ආසන්න පිරිසක් සහභාගි වෙනවා කියලා අපි විශ්වාස කරනවා.”
පත්මසිරි රාජපක්ෂ මහතාට අනුව සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දිනවලදී ලක්ෂයකට වැඩි බැතිමතුන්ගෙන් පූජා භූමිය පිරී ඉතිරී යයි.
”ගිය අවුරුද්දේ පෙරහර මංගල්‍යයට පාද යාත‍්‍රාවෙන් පැමිණි බැතිමතුන්ගේ ගණන තිස්පන් දහසක් පමණ වුණා. අපි හිතනවා මෙවර පනස්දහසකට අධික ජනතාවක් සහභාගි වෙයි කියලා.”
පද්මසිරි රාජපක්ෂ මහතා කළ මෙම ප‍්‍රකාශය ඓතිහාසික කතරගම පුදබිමේ හාස්කම් කියාපාන්නකි.
”නළලේ මොට්ටු තියන තින්නූන් ගෙනෙන්නේ කොහෙන්ද කියලා ඔබ දන්නවද? මේ කිට්ටුවම තියෙනවා කොච්චිපොතාන කියලා ගමක්. ඒ ගමේ විශේෂ පාෂාණ වර්ගයක් තියෙනවා. පෙනුමෙන් ඒක සුදුපාට ගලක් වගෙයි. හැබැයි පෙරහර කාලෙට ඒ ගල් වර්ගය පිටි බවට පත් වෙනවා. ඒවා තමයි තින්නූර් වශයෙන් යොදා ගන්නේ. පෙරහර සමය ගෙවී ගිය පසු ඒ පිටි යළිත් සුදු පැහැති ගල් බවට පත් වෙනවා.”
කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ මෙවර පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවට ඉඟි පළ වී ඇති බවය.
”මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින් බිමක්. ඒ අනුහස් මේ පින් බිමේ තියෙනවා.” උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
 කතරගම දොවොල් බිමේ අභිනවාරාමය ඉදිවුණේ කොහොමද? අපේ ප‍්‍රශ්නයට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

මේ පන්සල හදලා තියෙන්නේ 1924දි. ඒ කාලේ මේ පළාත් දියුණු නෑ. මහා වනාන්තරයක්. කිරි වෙහෙරත් තනිකරම පස් ගොඩක් බවට පත්වෙලා තිබිල තියෙන්නේ. බැතිමතුන් එන්නේ කරත්තවලින්. හරිහමන් පාරක් තොටක් නෑ. හාමුදුරුවරු වැඩියට දින ගණන් ගස් ගල් යට තමයි ඉන්නේ. මේ තත්ත්වය දැකපු කතරගම දේවාලයේ ඒ කාලයේ හිටපු ප‍්‍රධාන කපු මහත්තයා ටී.ආර්. බාරිස් මහත්තයා මේ පන්සල හදලා කතරගම ආයුපාල නායක හාමුදුරුවන්ට පූජා කළා. ඇත්තටම මේ පළාත් පුදබිම දියුණු වෙන්න පටන් ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පූජා භූමි සංකල්පයත් සමගයි’’.
කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කරන පරිදි එකල කිිරිවෙහෙර පස් ගොඩකි. මම කිරිවෙහෙර  දෙස බැලූවෙමි. එය සුදෝ සුදට බබළයි. අලූත තීන්ත ආලේප කර ඇති සෑ රදුන් දෙස බලන  ඕනෑම සැදැහැතියකුගේ සිත් නිවී සැනසීම් බවට පත් වෙයි. සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිරී යයි.
”පසුගිය දවස් ටිකේම කොළඹ මහත්වරු වගයක් අලූතෙන් සෑ රදුන් තීන්ත ආලේප කළා. ඒ මහත්වරු පුදුම විදියට මහන්සි වුණා. මේ පිනම ඇති මහත්වරුන්ට පවුලේ අයට බුදුන් දැක නිවන් දකින්න.” සලපතල මළුවේ වැතිර බුදුන් වඳිමින් සිටි සැදැහැතියෙක් කීවේය.
ආබාධිත අයකුට වුවද සෑ මළුවට ඇතුළු වී බුදුන් වැඳීමට පහසු වන පිණිස රෝද පුටු ගමන් කළ හැකි නව මාවතක්ද කිරිවෙහෙරේ ඉදි වී තිබේ.
”ඒක නම් පින් ඇති වැඩක්” උපාසක අම්මා කෙනෙක් කීවාය.
රුහුණු මහා කතරගම පෙරහර මංගල්‍යයට සූදානම එපරිදිය.

කතරගම පුදබිමේ හාස්කම් හා චාරිත‍්‍ර ලබන සතියේ.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2013 ජූලි මස 21 12:57:25 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

http://www.lankadeepa.lk/index.php/articles/153790


සද්දන්තයා ආධාර ඉල්ලයි


යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිසක් කියති.

http://www.lankadeepa.lk/index.php/articles/153770

Sunday, July 21, 2013

සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා

ලකේගල..
පුලස්තිගේ ආකාශ පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස සැලකේ...පෘතුවියේ සිට විශ්වයට දුර අඩුම හා වැඩිම තාරකා ප්‍රමාණයක් දිස්වන ස්ථානය ලෙස මෙය සැලකේ..

පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල


දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයි


සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා)වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය  නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව -නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගසඅදටත් ඇත.

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.

හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

සප්ත යෝගය - ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
උමා ජ්යො‍තිෂය
හෝරා වග
සුදර්ශන වක්ර ය
සෙත් වග
වාස්තු වග
උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.








Sunday, July 14, 2013

කදු මුදුනක තනිවු වූ පුංචි වැලිමඩ ගොවියෝ

තැපැල් එන්නේ නෑ
ග්‍රාම නිලධාරි නෑ
පන්සලක් නෑ

වේලාව පෙරවරු එකොළහට පමණ ඇත. අපි බිබිලෙන් බදුලු පාරට පිටත් වනවිට ගිනිගහන රස්නේ?නයෙන් බොහෝ පීඩාවට පත්ව සිටියෙමු. බදුලු පාරේ මද දුරක් විත් තිස් දෙකේ කණුව ළඟින් හැරී අලවත්තාගොඩ පාර දිගේ කෙටිදුරක් පැමිණියෙමු. දැන් පෙර මෙන් නොව පරිසරයේ ඇත්තේ මද සිසිල් බවකි.

“හපුගහපතනට කොහෙන්ද යන්නේ” මග අයිනේ වූ කඩයකින් විමසුවෙමු.

“ඕන් ඔය පාරේ උඩහට යන්න.”

පාර කොන්ක්‍රිට් කර ඇත. වාහනයකට ද ගමන් කිරීමට පුළුවන. සිතට පිවිසියේ සතුටකි. මඳ බෑවුමේ වාහනය ඉදිරියට ඇදෙයි. දෙපස ගහකොළවලින් පිරුණු මඟ දැන් පෙරටත් වඩා සිසිල් ය.




“ඔතනින් එහාට නම් යන්න බැහැ. මේ කොහෙන් හරි වාහනය දාලා යමු.”

මඟ පෙන්වන්නට පැමිණි රුවන් අණදෙයි.

අපි ඔහුගේ අණට කීකරු වීමු. අතරමඟ නිවෙසක මිදුලේ වාහනය නතරකොට ගමන පිටත් වීමු.

බිබිලත් හපුගහපතන ගමත් අතර කොතරම් නම් වෙනසක් ඇත්දැයි සිතෙන්නේ එහි ගිය අයෙකුට පමණි. හපුගහ පතනට සහ මඟ දැන් බෙහෙවින් තෙත බරිතය ඉර මුදුන් වී තිබුණ ද මඟට හිරු එළිය වැටෙන්නේ ගස් අතරින් පතර පෙරී ඒමෙනි.

ඒ නිසා ම පරිසරය බෙහෙවින් සිසිලස ය. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික දේශගුණික ලක්ෂණවලින් හෙබි හපුගහපතන ගම්මානය මිනිසුන් හඳුන්වන්නේ පුංචි වැලිමඩ යනුවෙනි. තවෙකෙක් සපුගහපතනද කියති. ආරම්භයේදී මෙන් නොව ගම තුළට යන්නට යන්නට මාර්ගය දුෂ්කර ය.

“මේ ගමේ හැමෝම ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. මේ පාර නම් හැමෝම වගේ වගා කෙරුවේ බෝංචි. උඩරට වැවෙන හැම එළවළු වර්ගයක්ම වවනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ එළවළු නගරයට ගෙන යෑම. වාහනයක් යන්න බැහැ. පාර දුෂ්කරයි. කරේ තියාගෙන තමයි ගේන්නේ. එළවළු විතරක් නම් කමක් නැහැ. ගමේ කවුරු හරි ගෙයක් හැදුවොත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගම මුදුනට ගේන්නේ කරෙන්. එක්කෙනෙක් ගෙයක් හදන්න පටන් ගත්තම ගමේ හැමෝම වගේ ඒකට උදව් කරනවා. දරුවෝ පාසල් යන්නේ එක්කෝ බදුල්ලට එහෙම නැත්නම් ඊට මෙහා තියෙන පාසලට.”

ගමන යන අතරමගදී මඟපෙන්වීමට පැමිණි රුවන් ගමෙහි දුෂ්කර බව පැවැසුවේ එසේ ය. රුවන් සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරන්නේ ය. ඔහු ලබන වැටුපින් ගමේ ඇතැමෙකුට ගොවිතැන් කිරීම සඳහා මුදලින් ආධාර කරනු ලබයි.



“මං ටවුමේ ඉඳලා ඇට වර්ග පොහොර ආදිය ගෙනැත් දෙනවා. ඒ වගේ ම ගොවිතැන නඩත්තු කරන්න වියදම් ලබාදෙනවා. අවසානයේදී වියදම් කපා නොහැර ආදායමෙන් කොටසක් ගන්නවා. එහෙම කළා කියලා කාගෙවත් හිත් රිදෙන්නේ නැහැ. පැය දෙක තුනක දුෂ්කර ගමනින් පසුව අප ගම පෙනෙන තෙක් මානයට ආවෙමු. හපුගහ පතනට යන ගමන බෙහෙවින් දුෂ්කර ය. ඒ මඟ මතුව ඇති උස් ගල් නිසා කඳුකර මගෙහි ගමන් ගැනීමට අපහසු ය. නගරයේ සිට ගමට පළමු වර යන අපට එම ගමන බොහෝ දුෂ්කරකාරි බවක් හැඟුණ ද සපුගහ පතන ගැමියෝ දිනපතාම හෝ දින දෙක තුනකට දවසක් හෝ එහෙමත් නැත්නම් සතියකට වතාවක් හෝ නගරයට පැමිණෙති. ඔවුහු මැසිවිලි නොනගන්නාහ. ගමන දුෂ්කර වුවද තම දෛනික වැඩ කටයුතු කෙසේ හෝ සිදුකර ගන්නාහ.


බිබිලේ දී දැනුන දැඩි හිරු රස්නය කඳුමුදුනේ ගම්මානයේදී අපට නොදැනිනි. හමන සුළඟ දැඩි සීතලය. ඒත් ඇතැම් ගැමියෝ හේනට ගොස් සිටිති. තවකෙක් ටවුමට ගොස් ඇත. කොතරම් දුෂ්කර වුවද ඔවුහු සතුටින් ජීවිතගෙන යති. සෑම ගෙවත්තකට නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවළු කිහිපයක් හෝ වවා ඇත. ගම්මිරිස් ඔවුන්ගේ තවත් ආර්ථික බෝගයකි.

අපි මෙදා පාර වගා කෙරුවේ බෝංචි. බෝංචි අස්වැන්න නම් හොඳයි. ගමන දුෂ්කර නිසා අස්වැන්න ගෙනියන්න ගමට වෙළෙන්දෝ එනවා අඩුයි. එක්කෝ අපි අලවත්තාගොඩට අරගෙන යනවා. එහෙම නැත්නම් බිබිලට අරගෙන යනවා.

අප්පුහාමි හැට එක් හැවිරිදි ය. ඔහු තම දරුවන් රකින්නේ ගොවිතැන් කටයුතු කිරීමෙනි.

ගමට ජල පහසුකම් නැත. ඇත්තේ ඔයෙන් ලබාගන්නා වතුර ය. ඇතැම් තැනෙක කිතුල් කදක්, පුවක් කදන් මැදින් ඔවුහු වතුර පීලි සාදාගෙන ඇත. ගමට විදුලිය තිබුණ ද විදුලිය ගැනීමට තරම් ඇතැමෙකුට වත්කමක් නැත.

සුදුමැණිකා හේනට ඇවිත් ඇත්තේ තම මුනුපුරා සමඟ ය. “අපි ලෙඩක් දුකක් හැදුණොත් එක්කෝ ලුනුගලට යන්න ඕන. එහෙම නැත්නම් බිබිලට යන්න ඕන. මේ කොහොම ගියත් යන ගමන නම් දුෂ්කරයි. ගමට එන්න පාර හදලා දෙන්න කියලා හැමෝටම කියනවා. ඒත් මේ වනතුරු නම් වැඩක් වුණේ නැහැ. ගමට එන්න තියෙන ළඟම පාර තමයි අලවත්තාගොඩ පාර.

සුදු මැණිකේ පවසන්නේ කනස්සල්ලෙනි.




ඔවුන් කඳුමුදුනේ තනිවූ හැඩ ය. තැපැල්කරු හෝ ග්‍රාම නිලධාරීන් ගමට එන්නේ නැත. ඒ මාර්ගයේ ඇති දුෂ්කර බව නිසා ය. තැපැල්කරු අලවත්තාගොඩ හන්දියේ කඩයෙන් ගමට ඇති ලිපි තබා යයි. ඔවුහු එහි ගොස් සතියකට හෝ දින දෙකතුනකට වරක් ලිපි රැගෙන එති. ඔවුන් අයත් වන්නේ මුදියල වසමට ය. අවශ්‍ය විටෙක ගැමියෝ දුෂ්කර මඟ ගෙවා ග්‍රාම නිලධාරි මහතා සොයාගෙන යති.

සාමාන්‍යයෙන් ගමකට පන්සලක් තිබිය යුතු ය. ඒ අප දන්නා පරිදි ය. එහෙත් හපුගහපතන ගමට පන්සලක් නැත. ගමේ මරණයක් වූ විට පාංශු කූලය දීම සඳහා බොහෝ දුර සිට හාමුදුරුවෝ වඩිති. (ඒ ටැªංගොඩ රජමහා විහාරයේ සිට ය.)

“ගම දුෂ්කරයි තමයි. ඒත් මේ ගම අපේ අම්මලා තාත්තලා ජීවත් වෙච්ච ගම. අපි මේවා දාලා කොහේ කියලා යන්නද? ගමේ පවුල් විස්සක් විතර ජීවත් වෙනවා. අපිට කිසිම බාහිර කරදරයක් නැහැ. හේන් වැඩකරන අතරතුර අපත් සමඟ පිළිසඳරේ යෙදුණු ගුණපාල පැවැසීය.

කොතරම් දුෂ්කරතා තිබුණ ද ඔවුන් තමා උපන් ගමට ආදරේ ය. හැන්දෑ කළුවර අවටින් ඒමත් සමඟ අපි ගමෙන් එන්නට පිටත් වීමු.

ඈතින් ඇසෙන්නේ මාතරම්මුල්ල ඔය ගලන හඬයි. එහෙත් ඔය පැහැදිලිව දැක ගැනීමට නොහැක්කේ රූස්ස ගස් ගන තුරු වදුලු වලින් වැසී ඇති බැවිනි.

අපි යළිත් නගරයට එන්නට පිටත්වීමු. කන්ද නැග්ගට වඩා එය බැසීමට අසීරු ය. දෙපස ගස් මුල්, අල්ලා ගනිමින් හති අරිමින් අපි බොහෝ දුරක් ආවෙමු?. වංගු වෙන් වංගුව හැරුණ ද පාර නොපෙනෙයි. එහෙත් කුඩා දරු දැරියන්ගේ සිනා හඬ ඈතින් ඇසෙයි. ඒ හඬට කන්දී අපි අතර මඟ නතර වීමු. වේලාව සවස හතරහමාරත් පසු වී ඇත. දරුවෝ අමාරුවෙන් කන්ද නගිති.

“හැමදාම අපි ගෙදර එනකොට මේ වේලාව තමයි. උදේට අපි පහ මාරට විතර ගෙදරින් පිටත් වෙනවා. ඉස්කෝලෙට යනකොට වෙලාව අටට කිට්ටුයි. කොහොමත් අපේ ඉස්කෝලේ පටන් ගන්නේ උදේ අටට. අපි ඉගෙන ගන්නේ මුදියල ආදර්ශ පාසලේ. උදේට කොටගම හන්දියට පයින් ඇවිත් ඉතිරි ටික බස් එකේ යනවා. කිලෝ මීටර් තුනක් හතරක් පයින් එනවා.”

දරු දැරියෝ හති අරින ගමන් පවසති. මග දෙපස ඉලිප්පි ඇති ගල් උඩ වාඩි වී ඔවුහු ගිමන් හරිති.

“වැස්ස දවස්වලට අපිට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ඒ වගේ ම තමයි ඇඳුම් වේලගන්නත් බැහැ. අපිට මහා ගොඩක් සුදු ඇඳුම් නැහැ. අම්මලට තාත්තලට ඒවා අරන් දෙන්න වත්කමකුත් නැහැ. දරුවන් කියන්නේ කනගාටුවෙනි. ඇතැමෙකුගේ සපත්තුවල ඉදිරිපස කොටස කැඩී බිඳී ගොස් ය. මේ පාරේ යනකොට සපත්තු දාන්න බැහැ. පාරේ ගල් මුල් වැඩි නිසා ඉක්මනටම සපත්තු කැඩෙනවා. අපේ ගමට යන්න පහුගිය කාලේ අලුතෙන් පාරක් කැපුවා. ඒත් ඒ පාරේ කවුරුවත් යන්නේ නැහැ. ඒ පාර හරි දුරයි. මේක තමයි අපේ ගමට තියෙන ළඟම පාර. අම්මා කියලා තියෙන්නේ ඒ පාරේ එන්න එපා කියලා. කැලෑව වැඩියි. දැරියක හුරතල් හඬින් පවසන්නීය. ගමන දුෂ්කර වුව ද මේ පුංචි ඔවුන්ගේ ලෝකය සුන්දර ය. ඔවුන්ට ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා මෙන් ම බලාපොරොත්තු ද ඇත.

“මං කවදා හරි ගුරුවරියක් වෙනවා.”

“මං දොස්තර කෙනෙක් වෙනවා.”

“මං විද්‍යාඥයෙක් වෙනවා.”

“මමත් ගුරුවරියක් වෙනවා.”

ඈත දුෂ්කර ගමක වෙසෙන මේ දරු දැරියෝ අනාගතය ගැන අපමණ සිනහ දකිති. ඒ සිහින සැබෑකර ගන්නට ඔවුහු දිනපතා දුෂ්කර ගමනක යෙදෙති.

බිබිලේ සිට කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි හපුගහපතන ගම්මානය සුන්දරය. ඒ සුන්දර බව වඩාත් ස්මතු වන්නේ එහි වෙසෙන ගැමියන් නිසා ය. අතිශය දුෂ්කර වුව ද කිසිවෙක් ගම හැරදා යන්නට සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය එම ගමේ ම ජීවත් වෙමින් තම දරුවන්ගේ ජීවිත සොඳුරු කිරීමට ය?.

දරුවෝ රිසිසේ ගමින් ඈත කඳු මුදුනට දිවයති. ගස් කොළන් අතර වැදෙමින් ඔවුන්ගේ සිනා හඬ ඇසෙනවා මිස දැන් ඔවුහු රුව නොපෙනේ.

විශේෂ ස්තුතිය
බිබිල හෑපොළ ඒ.ඇම්. ගුණපාල මහතාට
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - විමල් කරුණාතිලක 
http://www.silumina.lk/2013/07/14/_art.asp?fn=as1307141

දුටුගැමුණු රජතුමා කතරගම මහා දේවාලය හදපු හැටි

පසුගිය පොසොන් පෝය දවස කතරගම පුදබිම මහජනතාවකගෙන් පිරීඉතිරී ගියේ චිරාත් කාලයක් පවත්වාගෙන එන මංගල්‍යයක් එදින සිදුකෙරුණු නිසා... ඒ මංගල්‍යයට කියන්නේ කප් සිටුවනවා කියලා... කප් සිටුවන්නේ පෙරහර අහවල් දවසේ පැවැත්වෙනවා කියලා හරියට දින වකවානු නියම වුණාම... දන්නවද කප් සිටුවනවා කියන්නේ මොකක්ද කියලා... කප් සිටුවන එක විතරක් නෙවෙයි, කතරගම දෙවි හාමුදුරුවන්ගේ තෙද බල අනුහස තියෙන ලෝකේම දන්න කතරගම මහ දේවාලෙත් එක්ක බැඳිච්ච කොච්චර විස්මයන් තියෙනවද... ඒ ගැන ලිපි පෙළක් ලියන්නයි කියලා මට කිව්වේ අපේ ප්‍රධාන කර්තෘ තුමා...




මේකට කාවද සම්බන්ධ කරගන්නේ... ඒකට උත්තරේ හොයාගෙන තමයි අපි කතරගම ආවේ... තැන් තැන් ගොඩකට ගිහින් අන්තිමට අපට අවශ්‍ය කෙනා ළඟට අපිව යැව්වේ දෙවියෝ කියලයි මට හිතුණේ... සොමිපාල රත්නායක මහත්තයා... ඒ කියන්නේ කතරගම මහ දේවාලේ ප්‍රධාන කපු ධුරන්දරය හොබවන ඒ නිහතමානී දැනුමැත්තා අපිත් එක්ක කතා කළේ හරිම සැහැල්ලුවෙන්... ජීවිතේ දෙවියන් වෙනුවෙන් කැප කරලා, නරයන් සහ දෙවියන් අතර දශක පහකට වඩා පාලමක් වෙලා, හැදෙන, වැඩෙන, නැසෙන මිනිස් ප්‍රාණීන්ගේ යස ජීවිත දිහා බලලා, අදත් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න අපූරුව.... ඒ හවස අපිට ජීවිතේට අමතක නොවන දැනුමක් ලබා දුන්නා ඔහු... ඉතින් අපි ඒ කතරගම දෙවි හාමුදුරුවන්ගේ අනුහස් පිරිච්ච කතා ගොන්නට ඇහුම්කන් දෙමුද...


කතරගම දේවාලේ ආරම්භය කොහොමද වුණා කියන්නේ රත්නායක මහත්තයා...


ඔව්... මේ දේවාලේ ගොඩනැඟුවා කියන්නේ කි.පූ. හැටගණන්වල... මේ දේවාලේ ආරම්භය කියන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ... ඉතින් ගාමිණී කුමාරයා මාගම ඉඳලා මෙහෙන් තමයි අනුරාධපුරේ ජයගන්න ගියේ... ඒ කාලේ තවලම් තමයි වාහනවලට තිබුණේ... දැක්කද ඔය දේවාලේ තියෙනවා පින්තූරයක් දෙවියන් වැඳගෙන ඉන්නව කෙනෙක්... ඒ කියන්නේ අරුණගිරි නාදන් කියන සාමි... මේ වල්ලි අම්මා එක්ක සම්බන්ධ කතාව... ඔය සාමි ඇවිල්ලා මෙහේ දඹුව කියන හරියේ තපස් රැක්කා... ඔය අතරේ ඍෂි දේවතාවියකට අපලයක් වුණා... එයා ජේ‍යාතිෂය කරන අයගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා... ඒ ගමන ඒ අය කිව්වා ඔය අපලයට කරන්න තියෙන්නේ එයාට ලැබෙන දරුවන් හතර දෙනාව දඹදිව හතර තැනක දාන එක කියලා... ඊට පස්සේ අපලේ දුරුවෙනවා කිව්වා... එහෙම කිව්වාට පස්සේ ඒ අය ආවා ආයිත්... එතකොට මේ පැත්තේ හිටියේ වැද්දෝ... මේ අය මුව දඩයමේ යනවා... එතකොට ඒ කාලේ තිබුණා නුග ගහක්... දැන් ඔය කිරි වෙහෙරට යන පාරේ රාවණ පිළිමේ තියෙන තැන තියෙන්නේ... ඒ කියන්නේ මා නුග ගහක්... මේ නුග ගහේ පොඩි ගෙඩි තියෙනවා රතුපාට... මේ ගෙඩි කනවා මුවෝ,... ඉතින් මේ ගෙඩි වැටෙන කාලෙට මුවෝ රැස්වෙනවා... මේ මුවෝ අල්ලන්න වැද්දෝ වළක් කැපුවා..


බොරු වළක්...


ඔව් බොරු වළක්... මෙතැනදී අර ඍෂි දේවතාවියට දරුවෙක් ලැබුණා.. ගෑනු දැරියක්... එතැන වළට දාලා එයා ගියා.. පස්සේ මුව දඩයමේ ආව වැද්දෝ දැක්කා මුව රංචුව එහාට ගියත් එක මුව දෙනක් ටිකක් වෙලා ඉඳලා හිමිහිට යනවා... ඒ ගමන වැද්දෝ ළං වෙලා බලද්දී ගෑනු දරුවෙක් හිටියා වළ ඇතුළේ... ඒක තමයි ඔය වල්ලි අම්මා දේවාලේ මුව රංචු ඇඳලා තියෙන්නේ... ඊට පස්සේ වැදි රංචුව මේ දැරියත් අරගෙන වැදි නායකයා ළඟට ගියා... නන්ද කියන වැදි නායකයා... එයාට දරුවෝ නෑ... එයා පෝෂණය කළා මේ දරුවා... මේ ගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය තණ පිටි, මී පැණි, එළඟිතෙල්. පස්සේ කාලෙක මේ දැරිය වැඩෙද්දී අර තණ හේන්වලට බහින කුරුල්ලෝ එළවන්න ගියා. එයා සින්දු කිය කිය තමයි මේ කුරුල්ලෝ එළෙව්වේ... පස්සේ අර ස්වාමි බැලුවා මේ කවුද මෙහෙම සින්දු කියන්නේ කියලා... එයා රහසේ බැලුවාම මෙන්න ලස්සන තරුණියක්... ඒ ගමන සාමි කල්පනා කළා මේ තරුණිය ඔබින්නේ කන්ද සාමිට තමයි කියලා. එයා ගිහින් කන්ද සාමිට මේ තරුණිය ගැන කිව්වා... කන්ද සාමි කියන්නේ කතරගම දෙවියන්ට... මේ තරුණිය බලන්න ආවේ යාළුවෝ දෙන්නෙක් එක්ක... ඒ තමයි නබීර් සහ ශිවලිංගම්... මේ දෙන්නා එක්ක තමයි ආවේ... ඇවිල්ලා කතරගම දෙවියෝ වැඩහිටි කන්දේ නැවතුණා... අනෙක් දෙන්නා මෙහෙට ආවා.... ඒ දෙන්නා නැවතුණේ මෙහේ...


ඉතින්...


කතරගම දෙවි හාමුදුරුවෝ මේ යාළුවෝ දෙන්නත් එක්ක වල්ලි අම්මා බලන්න ගඟ දිගේ ගියා... මෙහෙම යන අතරේ දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාවක් අරන් අනුරාධපුරේ ජයගන්න යනවා... ඒ යන අතරේ කතරගමයි, තිස්සමහාරාමෙයි අතරෙදි කුමාරයා සේනාවට යන්න කියලා වනාන්තරේට ඇතුළු වුණා. මෙහෙම ගිය කුමාරයාට වනාන්තරේ ඇතුළෙදි හේනක් කරන අම්මා කෙනෙක් හමු වුණා... කුමාරයා ඒ අම්මට කිව්වා "මට බඩගිනියි අම්මා" කියලා. ඒ ගමන ඒ අම්මා කුමාරයාට කිව්වා "මං බොහොම දුප්පත් ... ඒත් උඹට කන්න මං සුනු සාල් වගයක් තියෙනවා ඒක උයලා දෙන්නද" කියලා... කුමාරයා "හා" කිව්වා... පස්සේ ඒ අම්මා කුමාරයාට සුනුසාල් හදලා දුන්නා... උණු උණුවේම කන්න... කුමාරයා තැනින් තැනින් අර සුනුසාල් කද්දි ඒ අම්මා කිව්වා "මොකක්ද පුතේ ඔය කන විදිය... හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේනේ" කියලා... පස්සේ කුමාරයා ඇහුවා "ඇයි ඒ" කියලා... "ඇයි දෙයියනේ ගැමුණු කුමාරයත් තැන තැන යුද්ධ කරනවා විතරයි කොනකින් පටන් අරන් ඉවර කරන්නේ නෑනේ" කිව්වා. කුමාරයා මේකත් හිතේ තියාගෙන තමයි එතැනින් එළියට බැස්සේ.... එතකොට ඔය අතරේ ආව අර සේනාව විවේකයක් ගන්න, උයා පිහාගන්න නැවතුණා දැන් ඔය කාවාඩිමඩු කියන තැන වැල්ලේ... ජූලි මාසේ... වතුරත් අඩුයි... ඔහොම වෙන අතරේ කතරගම දෙවි හාමුදුරුවෝ සන්නාසි වේශයක් මවාගෙන ඔය පැත්තේ යනවා... ඒ යන අතරේ මේ තවලම්වල දාපු ආයුධ එහෙම මලුවලට දාලානේ තිබුණේ.. සන්නාසි වේශයක් මවාගෙන හිටිය කතරගම දෙවි හාමුදුරුවෝ ඇහුවා මොනවද ඔය මලුවල තියෙන්නේ කියලා... පස්සේ සේනාව භාරව හිටිය කෙනෙක් කිව්වා මේවායේ තියෙන්නේ උඳු කියලා...


ඇයි එහෙම කිව්වේ...


ඇයි ඉතින් සන්නාසි වේශෙන් ඉන්න කෙනා ඇඳුරුවේ නෑනේ... එයා ඉල්ලයි කියලයි එහෙම කිව්වේ... පස්සේ සන්නාසි උන්නාන්සෙත් "හා" කියලා යන්න ගියා. පස්සේ මේ අය උයන්න එහෙම බඩු හාල්, එළවලු ගන්න අර මලු ලෙහලා බැලුවාම ඒවා උඳු වෙලා... හැම මල්ලක්ම උඳු වෙලා... ආයුධ මලු වුණත් උඳු වෙලා. මේ අතරේ කුමාරයා ආවා... පස්සේ සේනාව භාරව හිටිය සෙන්පතියා කිව්වා වෙච්ච දේ... කුමාරයාට දැන් ඕනේ වෙච්ච දේ බලන්න නෙවෙයි... ඒ ගිය කෙනා කවුද බලන්න... ඉතින් කුමාරයා ඒ සන්නාසි උත්තමයා ගිය දිහා අහ අහා ආවා... ඒ එනකොට ඔය දැන් දිය කපන තොට තියෙන්නේ... එතැනට කියන්නේ ජීවමාන තොට කියලා.... ඔය ඔතැන මැද තමයි උන්නාන්සේ හිටියේ... ඒ ගමන කතරගම දෙවිහාමුදුරුවෝ... අර කිව්ව සන්නාසි වේශෙන් ඉන්නේ. එතුමා බැලුවා කුමාරයා දිහා... එතුමා දැක්කා මේ කුමාරයා එසේ මෙසේ කුමාරයෙක් නෙවෙයි... මේ රට එක්සේසත් කරන කුමාරයෙක්... එයැයිට මේ අනුහස පෙන්නන්න ඕනේ කියලා හිතලා අධිෂ්ඨාන කළා ගඟේ සැඩ වතුර කඳක් යන්න කියලා.... ඒ හිතුව විදියටම සැඩ වතුර පාරක් ගලන්න ගත්තා... පස්සේ කුමාරයා කිව්වා අර සන්නාසි උත්තමයට මං මේ බුද්ධ ශාසනේ චිරස්ථිතිය වෙනුවෙන් මෙහෙම සටනක් කරන්න යනවා... මට ඒකට ඔබ වහන්සේ උදවු කරන්න කියලා... ඒ ගමන කතරගම දෙවි හාමුදුරුවෝ කුමාරයාට කිව්වා එන්න ළඟට කියලා...


අර සැඩ වතුර පාර මැදින්...



ඔව්... වතුර පාර සැර අඩු කරලා උන්නාන්සේ කුමාරයාට එන්න ඉඩ හදලා දුන්නා... පස්සේ උන්නාන්සේ ආශීර්වාද කළා...
ඒ ගමන ගැමුණු කුමාරයා කතරගම දෙවි හාමුරුදුවන්ට බාර වුණා මේ රට එක්සේසත් කරන්න මට ජය අත්කර දුන්නොත් මං ඔබ වහන්සේට රන් උළු මාලිගාවක් හදලා දෙනවා කියලා..... ඒ වගේම ඔබ වහන්සේට පුද සත්කාර කරන්න බිමක් සකස් කරලා දෙනවා කියලා... පස්සේ ඉතින් කුමාරයා යුද්ධෙට ගිහින් ඒක ජයග්‍රහණය කරලා මුලු රටේම අග රජු වුණා...


ඉතින්...
ඊට පස්සේ දුටුගැමුණු රජතුමා මෙහෙට ආවා බාරේ ඔප්පු කරන්න...


එහෙම ගියේ වැඩහිටි කන්දට... එතැනදි කතරගම දෙවි හාමුදුරුවෝ දෘෂ්‍යමාන වුණා රජතුමාට... ඒ ගමන රජතුමා කිව්වා කතරගම දෙවි හාමුදුරුවන්ට මං ආවේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියලා. ඒ ගමන කතරගම දෙවියෝ කිව්වා "කලියුග කියලා කාලයක් එනවා... ඒ කාලෙදි ඇතිවන මනුස්සයෝ දෙවියන් තියා අම්මා තාත්තවත් අදහන්නේ නෑ.... ඒ නිසා මට රන් උළු මාලිගාවක් හැදුවොත් අපකීර්තියක් වෙන්නේ... ඒ නිසා මට රන් උළු මාලිගාවක් එපා... මට රන්කොත් මාලිගාවක් හදලා දෙන්න" කියලා... පස්සේ රජ්ජුරුවෝ කිව්වා කතරගම දෙවි හාමුදුරුවන් මට තැනක් පෙන්නන්න කියලා... ඒ ගමන කතරගම දෙවි හාමුදුරුවෝ වැඩහිටි කන්දේ ඉඳලා ඊයක් විද්දා... ඒ ඊය වැටුණු තැන තමයි කතරගම මහ දේවාලේ හැදුණේ... ඊට පස්සේ පන්සිය පනස් පස් දෙනෙක් නිල කපු කමිටු පත්කරලා, නින්දගම් ප්‍රදානය කරලා ඉර හඳ පවතින තුරු මේ තැන ආරක්ෂා කරලා, ආවතේව කරන්න පත්කෙරුවා. ඒ විදියට අපිත් තවමත් ඒ කටයුතු පුරාණේ අපේ පරම්පරා ඥාතීන්ගේ ඉඳලා කරගෙන එනවා... අපිත් ඒ පරම්පරා අයිතිය, උරුමය රැකගෙන යනවා...


රත්නායක මහත්තයලටත් නින්දගම් අයිතිද....


ඔව්... ඔය කටගමුව කියන්නේ එහේ... ඒ කියන්නේ කපුගොල්ල ඉන්නවා දෙගොල්ලක්... එදා හිටියා තේවය කරපු ගොල්ලයි, දවස් තේවය කරපු ගොල්ලයි කියලා ‍ෙදාගොල්ලක්... ඉතින් ඔය තේවය කපුගොල්ල කියන අයට ඒ කියන්නේ අපට තිබුණ නින්දගම් ප්‍රමාණය අක්කර ‍ෙදාළොස්දාස් අටසිය අසූ දෙකයි රූඩ් තුනයි පර්චස් දාහතයි... ඒ කාලේ මායිම් පෙන්නුවේ වරහනෙන් පලු ගහ... පහළ හේපිටෙන් ගඟ, මාරගාඩුව ගුරුගොඩ කියන මායිම් පෙන්නුවා, මුත්තා ඒ කාලේ...


ඒ කිව්වේ....


1918 නේ ඔය අක්කර පර්චස් ආවේ... ඒ මායිම්වලින් තමයි මැන්නම ඔය ගාණ ආවේ... කොහොම හරි අක්කරයකට රුපියල ගාණේ බදු අය කරද්දී අපට සල්ලි අගහිඟ නිසා අන්තිමට අක්කර එකසිය තිහකට සීමා වුණා... දැන් තියෙන්නේ ඒ ගාණ...


තේවය කපුගොල්ල කොච්චර ඉන්නවද...


හය දෙනයි... පෙරහර පසුරාළයි හත්දෙනයි... එයා තමයි ඇතා පිටෙන් දෙවියන් වැඩම කරන්නේ... ඉතින් මේ හත්දෙනා තමයි බැද්දේ කණු කැපීම, මණ්ඩපයේ කණු කැපීම, වත බැඳීම, දෙවියන් වැඩම කිරීම, දිය කපන්න දෙවියන් ඉස්සීම, ගෙවදීමේ චාරිත්‍රය කිරීම, ඇසළ මංගල්‍යයේ මහනානුමුර මංගල්‍ය කිරීම කියන දේ කරන්නේ තේවය කපුගොල්ල.... දවස් තේවය කරනවා කියන්නේ දවස ගාණේ කරන අය....


එතකොට ඔය තේවය කියන්නේ මොකක්ද රත්නායක මහත්තයා...


තේවය කියන්නේ හැන්දෑවේ හයාමාරට විතර මුරුතැන් පූජාව කරනවා.... පහන් ආලෝක පූජාව කරනවා.. ඒ කරන්නේ තේවය... මේ කියන්නේ දවස් තේවය... ඒ අය දවස ගාණේ කරන චාරිත්‍ර.... එතකොට උත්සව කාලෙට විතරක් කරන තේවය කරන්නේ වෙන කපුගොල්ලක්... ඒ අය ඒ තේවය කරන්නේ කතරගම ප්‍රධාන උත්සවවලට විතරයි... එහෙම උත්සව කාල හතරක් තියෙනවා කතරගම....


ඉතින් ගොඩාක් දේ දැනගත්ත හින්දා චුට්ටක් මනස සුවපත් කරගෙන ඉමු.... මේ කතරගම දෙවියන්ගේ ප්‍රකට පුද බිමේ අප්‍රකට තොරතුරු දින හැරෙන ලිපි පෙළක්... රත්නායක මහත්තයා අපිත් එක්ක හුඟාක් දේ කතා කළා.... කවදාවත් මාධ්‍යවලට කතා කරපු නැති දේ පවා... දේව රහස් වගේ හැංගිච්ච දේත් ඒ අතරේ තිබුණා... ඉදිරි කලාපවලදී ඒවාත් ඔබට දැනගන්න ලියන්නයි මං හිතාගෙන ඉන්නේ... ඊළඟ සතිය වෙනකම් කතරගම දෙවි හාමුරුවන්ට තියෙන බැතිය තව තර කරගෙන ඉවසලා ඉන්න ඔබ....


අනුරාධ එදිරිසිංහ

Sunday, May 19, 2013

Human Rights Commission of Sri Lanka

Location:

Badulla regional office is located in Badulla district in the Uva Province of Sri Lanka.

Administrative Area:

Badulla Regional office covers Badulla and Moneragalle Districts. The entire land area of the Badulla district is 2,861 km². 15 divisional secretariats and 568 Grama Niladhari divisions are in the district. Moneragala District land area of 7,133 km².11 divisional secretariats and 319 Grama Niladhari divisions are in the district.

Population and Distribution:

DistrictPopulation DistributionTotal
SinhaleseSri Lankan MoorsSri Lankan TamilsIndian TamilsOther
Badulla56475238798295421435353376779983
Moneragala375691780057547493637397375


Other Details:

Number of Police stations: 27 (Badulla – 14 and Moneragala – 13)

Prison: 02 (Badulla – 01 and Moneragala – 01)

Other Custodial Institutions:01( Special center for Young offenders)

Children Home/ Correctional Centers: 24 (Badulla – 18 and Moneragala – 05)

Home for disable children: 01 (Moneragala)

Reports:

Monthly Complaint Details

Monthly Visits

Monthly Promotional Activities

For further clarification contact:


The Regional Coordinator

No.19/Ib, Badulupitiya Road, Badulla

Telephone/ Fax : 055-2223030

Email : hrcbadulla@sltnet.lk


Source : http://hrcsl.lk/english/?page_id=852

තවලම් යුගයේ ගමක් මොණරාගල


මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන කෙසෙල් කිට්ටුම නගරය වන වැල්ලවායට රැගෙන යනුයේ ගොන් තවලමිනි.

කිලෝ 50ක් බරට රැගෙන යන තවලම් 20ක් පමණ ගමේ ඇත.
ගමට සැතපුම් පහක් පමණ යා යුත්තේ පයිනි.

2013 ජනවාරි මස 14 13:59:42 | අයි ඉන්දික
ලංකාදීප



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය


බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

විසිදහස් රට යනුවෙන් හැදින්වුනු ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාණ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ස්ථාන රාශියක් විසිරි පැතිරි තිබේ. බුදුන්ගේ පා පහස ලැබීමෙන් පරම පූජනීයත්වයට පත් සිද්ධස්ථාන 3 ක් බදුළු දිසාවේ පිහිටීම නිසා  ශාසනික ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හොබවන පෙදෙසෙකි බදුළු දිසාව.



බදුළු දිස්ත්‍රික්කයේ පෞරාණිකත්වය ‍‍ෛඑතිහාසික යුගය ඉක්මවා ප්‍රාග් ‍ඓතිහාසික යුගය දක්වා දිවයන හෙයින් එම ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ මීට අවුරුදු විසි තිස් දහසකට පෙර බව පැහැදිලිය. බුදු හිමියන්ගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධ වු මහියංගනය හා මුතියංගනය බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම එහි ශ්‍රේෂ්ඨත්වයට හේතු වේ. දිස්ත්‍රික්කයෙන් ලැබෙන ක්‍රිස්තුපූර්ව යුගයට අයත් ශිලාලේඛන එම ප්‍රදේශයේ ආර්ය ජනාවාස ආරම්භ වු වකවානුව පිළිබදවත් බුදු සමයෙහි ව්‍යාප්තිය පිළිබදවත් වැදගත් තොරතුරු රැසක් දක්නට ඇත.

ආර්යන්ගේ පැමිණීමත් සමගම ගංගා ආශ්‍රිතව ජනාවාස එනම් රට අභ්‍යන්තරයේ සිට දස දෙසට ගලා යන ගංගා ආශ්‍රිතව ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය සැකසුනි. ඌව පළාත පිලිබදව අවධානය යොමු කළ හොත් ඌව ප්‍රදේශය හග්ගල කපොල්ලෙන් හමන සුළගින් හූ හඩ පැතිරෙන නිසා මුලදි  හූව පසුව ඌව යන්නෙන් පරිවර්තනය වු බව පත පොතේ සදහන් වේ. ඉංග්‍රීසි පාලන යුගයේදි ඌව පළාත පහල ඌව හා ඉහල ඌව ලෙස වෙන්කොට දක්වන ලදි.

බදුල්ල දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශය අඩි 7000 කට වඩා උස ගිරි ශිඛරයන්ගෙන් යුක්ත වේ. සියළු කදු බෑවුම් ගොරෝසු වලින් ගහන හා විශාල පතන් හා තැනිතලාවන්ගෙන් සමන්විත වේ. පතන් වල එතරම් විශාල නොවු ගස් වැල්ද නිම්න වල ඉතා සරුවට වැටුනු ගස්කොලන් වලින් යුක්ත වී තිබේ. බදුල්ලේ පහල කදුකර ප්‍රදේශයේ ක්‍රි.පූ. සමයේ ජනාවාසව තිබු බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසු ගල් ලෙන් අපට සාක්ෂි දරයි. බෝගොඩ, මැටිගහතැන්න, කන්දේවහාරය උදාහරණ ලෙස දැක්විය හැකිය.

ගස් හෙවනින් යුත් ප්‍රදේශය “වදළ” යනුවෙන් හදුන්වයි. එසේම පෙර කාලයේ මහ වලුලක්ව පැවති නිසා “වදළ වදුල බදුල බදුල්ල” ලෙස අද ව්‍යවහාර වේ. ක්‍රි.පූ. 505 දී පමණ රාක්ෂ ගෝත්‍රික රාවණා රජු බදුල්ල අගනුවර කොට ඌව පාලනය කළ බව සදහන් වේ. එකි කාලය තුළ ඌවේ දියුණුව අති මහත් විය. රාම සීතා කතා පුවතේ එන රජතුමා විසින් ඉන්දියාවේ සීතා කුමරිය රැගෙන විත් සිර කර තබා ගෙන සිටීමත් ඒ සමග එළඹුනු යුද්ධයේදි රාවණා රජු සාහසික ලෙස මිය යා‍මත් නිසා ඌව සශ්‍රිකත්වය අභාවයට පත් විය. ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදියෙන් ස්වභාවයෙන්ම ඌවට ආරක්ෂාව ලැබිණි.



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය

ඌව ද්‍රෝණියේ නැගෙනහිර බෑවුමේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් මැදපතන රිදිපාන කදු වැටියෙන්ද නැගෙනහිරින් නෙළුම් ගම කැන්ද ගෙ‍ාල්ල වැලිබිස්ස කදු වැටිවලින්ද දකුණින් ‍එළදළුව කන්දෙන්ද බටහිරින් අළුගොල්ල කදු වැටියෙන්ද වට වී ඇත. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කෙ‍ාට්ඨාශයේ දකුණ උතුර හා ගිණිකොණ දිග ප්‍රදේශවල 60% ට වඩා වැඩි බෑවුම් කලාප දැක ගත හැකිය. බටහිර කොටසේ බෑවුමේ ස්වභාවය 30% ත් 60% ත් අතර වේ. මෙම ප්‍රදේශවල වර්ෂා කාලවලදි නාය යෑම් වලට ලක් වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසින් වැඩිම ප්‍රදේශය ග්ලේන් ඇල්පින් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.


බදුල්ල නගරය කේන්ද්‍ර කොට පිහිටි බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිළධාරි වසම් 29 කින් සමන්විත වේ. මුහුදු මට්ටමේ සිට අඩි 2225ක් උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මධ්‍යම කඳුකරයට අයත් භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත වේ.

කොට්ඨාශයේ වර්ඵලය වර්ග කිලෝමීටර් 52.5ක් වන අතර මුළු ජනගහනය 79,148කි. ජන වර්ගය අනුව සිංහල 54,707ක්ද, ශ්‍රී ලංකා දෙමළ 5004ක්ද, ඉන්දියානු දමිල 11,752ක්ද, මුස්ලිම් 6649ක්ද, බර්ගර් 255ක්ද, මැලේ 360ක්ද වෙනත් 421ක් ද වශයෙන් බෙදා දැක්විය හැක. එක් පුද්ගකයෙකුට හිමිවන භූමි ප්‍රමාණය මීටර් 0.64ක් පමණ වේ.මෙහි ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව තේ වගාව, සත්ව පාලනය, හා ස්වයංරැකියා වල නියුතු පිරිසද සැලකිය යුතු ප්‍රමාණයක් සිටි. තවද සමෘද්ධී මුද්දරලාභීන් 3122ක් සිටින අතර ඔවුන් අඩු ආදායම් ලාභීන් ලෙස සැලකේ. බදුල්ල මුතියංගන රජමහා විහාරය, පත්තිනි දේවාලය, බදුල්ල දුම්රිය ස්ථානය, ශුද්ධ වු මාර්ක් දේවස්ථානය හා ලන්දේසි කොටුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පවතින්නා වු ඓතිහාසික වටිනාකමින් යුක්ත වු ස්ථාන වේ.

Source:

Thursday, April 25, 2013

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යුදගනාව රජමහා විහාරයේ දී


රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කෙරේ. ඒ අනුව, පනස් හත්වන (57) රාජ්‍ය වෙසක් උත්සවය, මැයි මස 25 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල යුදගනාව රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරේ. ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම රාජ්‍ය උත්සවය සිදු කිරීමට නියමිතය.


බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක සංවිධානයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වේ.

පනස් හත්වන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ උපදෙස් මත ඉකුත් දා අගමැති කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මැයි මස 24 වැනි දින පාසල් ළමයින් දහසක් සහ වැඩිහිටියන් දෙදහසක් යුදගනාව රජමහා විහාරස්ථානයේ දී සීල සමාදාන වැඩසටහනට එක්කිරීමටද මෙහිදී තීරණය කළේ ය. සීල සමාදානය සඳහා සම්බන්ධ වන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය දානය, ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සම්පාදනය කොට තිබේ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩල අතර පැවැත් වූ බැති ගී ගායනා වැඩසටහනින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට මූල්‍යමය ත්‍යාග ද මෙහිදී ලබාදෙයි. වෙසක් පහන් කූඩු තරගාවලියෙන් ජය ලැබූවන්ට ත්‍යාග පිරිනැමීමට තීරණය කොට ඇතැයි පැවැති සාකච්ඡාවේ දී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුත්තල, යුදගනාව රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීම, ‘සසුනින් සෙවණ’ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් නිවාස එකොළහක් ඉදිකිරීම, දිස්ත්‍රික් සිසු නිපුණතා තරගාවලියෙන් ප්‍රථම ස්ථාන ලැබූ දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම, වෙසක් මුද්දරයක් සහ සමරු කලාපයක් නිකුත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක බව මෙහිදී අවධාරණය කෙරිණ.

එම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගෝනදූවේ ගුණානන්ද හිමි, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ආගමික කටයුතු සම්බන්ධිකාරක, අග්‍රහැරේ කශ්‍යප හිමි, මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, බුද්දම නන්දසාර හිමි, යුදගනාව පුරාණ රජමහ විහාර විහාරාධිකාරී, ගල්ටැම්වත්තේ නන්දරතන හිමිවරුද, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.කේ.බී. දිසානායක, මහාභාරකාර සරත් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්. කේ. මහානාම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. පතිනාදන් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවන් කොඩිකාර

Sunday, March 10, 2013

එංගලන්තෙ ඉංජිනේරුවන් මවිත කළ දෙමෝදර ආරුක්කු පාලම හැදු අපේ අප්පුහාමි


කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති දුම්රිය මාර්ගය ඔස්සේ එදා මෙදාතුර ලක්ෂ ගණනක මගී පිරිසක් දුම්රියේ ගමන් කරන්නට ඇත. එම මගීන් පමණක් නොව දෙමෝදර හා ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර ආරුක්කු 09 පාලම ගැන අසා ඇති අයත් එය ඉදිකළේ එංගලන්ත ජාතික ඉංජිනේරුවන් බවට විශ්වාස කරනු ඇත.



නමුත් මෙම ආරුක්කු 09 දුම්රිය මාර්ග විස්මිත පාලම ඉදිකිරීමට දායක වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණය නොදත් මළපොතේ අකුරක්වත් නොදත් වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන් පී. කේ. අප්පුහාමි නම් ගැමියකු යැයි කීවොත් ඔබ පිළිගන්නවා ද? ඔබ පිළිනොගත්ත ද මෙය ඉරහඳ සේ සත්‍ය කතාවකි.

කොළඹ කොටුව හා බදුල්ල දක්වා වැටී ඇති මෙම උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැකසීමේ දී සැතපුම් 169 කණුව අසල කඳු දෙකක් අතර යකඩ පාලමක් ඔස්සේ සම්බන්ධ කිරීමට එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සැලසුම් කර ඇත.

මෙසේ රැගෙන ආ යකඩ පාලම දිගින් අඩුවීම නිසා ඉංජිනේරුවරයා දැඩි අසීරුවකට පත්ව ජීවිතය පවා නැතිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ. එම අවස්ථාවේ මේ පී. කේ. අප්පුහාමි මැදිහත්ව මේ අන්දමට පාලම මඩ වගුරක් කළු ගල්වලින් පුරවා සකසන ලද අත්තිවාරමක් මත ආරුක්කු 09 න් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. මෙසේ ආරුක්කු 09 න් යුක්තව ඉදිකර ඇති පාලමේ සාමාන්‍ය උස අඩි 300 ක් බව පැවැසේ.


මෙම පී. කේ. අප්පුහාමි නම් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් හා දක්ෂතා වලින් පිරි ගැමියා දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධව ඇති අයුරු ද ඉතාමත් රසවත් කථාවකි.

තොවිල් පළ නැටුමට හා බෙර වැයීමට ආශාවක් දක්වා ඇති පී. කේ. අප්පුහාමි කළු පහන ප්‍රදේශයේ තොවිල් පළකදී තරගයට නැටීමට ගොස් එයින් පරාදව ලැජ්ජාව ඉවසා ගත නොහැකිව තොවිල් පළෙන් පලා ගොස් ඇත. තොවිල් ඇඳුමින්ම පලා ගිය මෙම පුද්ගලයා රාත්‍රියේ ඔහිය දුම්රිය මාර්ගයට ගොඩ වී ඇත. දෙපයේ බැඳ ඇති ගෙජ්ජි හඬත් තොවිල් පළ ඇඳුමින් සැරසී සිටින අයකු දැකීමෙන් දුම්රිය මාර්ගය ඉදිකරමින් සිටි පිරිස ළන්තෑරුම් එළියෙන් දැක බියට පත්ව ඇත.

තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම එහි සිටි පිරිසට මෙම අය පවසා ඇත. මොහුගේ කථාව දැනගත් දුම්රිය මඟ සැකසීමේ නියැළි සිටි සුදු ජාතික ඉංජිනේරුවරයා තමන් යටතේ දුම්රිය මඟේ වැඩවලට එක්වන ලෙසට දන්වා ඇත. එතැන් සිට ඔහිය සිට බදුල්ල දක්වා වැටි ඇති දුම්රිය මාර්ගයේ බිං ගෙවල් හා දුම්රිය මාර්ගයේ ගලින් බඳින ලද බැමි සැකසීමට පී. කේ. අප්පුහාමි දායක වී ඇතිව, පමණක් නොව සුදු ජාතික ඉංජිනේරුවරයාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත්ව ඇත. පී.කේ. අප්පුහාමි මහතාගේ එම ජීවිත කථාව ඔහුගේ මුනුපුරෙකු වන කැප්පෙටිපොළ කරගහඇල්ල සිරි වෙද මැදුරේ පදිංචි ආර්. එම්. පියතිලක (46) මහතා,

“අපගේ මෙම පී. කේ. අප්පුහාමි සීයාගේ උප්පැන්න සහතිකයේ ඇත්තේ ආර්. එම්. අප්පුහාමි කියායි. දුම්රිය මාර්ගයේ වැඩට එක්වීමෙන් පස්සේ පී. කේ. අප්පුහාමි යන නම සුදු ජාතිකයන් පටබැඳ තිබෙනවා. අන්තිමට අපේ සීයා ජනපි‍්‍රය වුණේ පී. කේ. අප්පුහාමි බාස් නමින් කීවොත් හරි.


අපේ සීයා 1885 දී පමණ ඉපදී තියෙනවා. ඔහු මියගොස් ඇැත්තේ 1951 දියි.

සීයා කිසිදාක පාසල් ගොස් නැති උනත් ගොවිතැන් කටයුතු සිදුකර තිබෙනවා. එසේම ඔහු යාග හෝම පවත්වන තොවිල් පොළවලට ගොස් නැටීමටත් බෙර වාදනය කිරීමටත් පුදුම හැකියාවක් දක්ෂකමක් දක්වා තිබෙනවා.

ඉතින් අපේ සීයා දවසක් කළුපහන ප්‍රදේශයේ තොවිල් පළකට ගොස් රාත්‍රී කාලයේ නටන අතර තරගයට බෙර වාදනය කරමින් අඩව්වක් නටා තියෙනවා. එයින් සීයා පැරදිලා. මෙයින් ලැජ්ජාවට පත් සීයා තොවිල් පළ ඇඳුම පිටින්ම පලා ගොස් තියෙනවා. තොවිල් පළ ඇඳුමින්ම සීයා කැලේ මැදින් ඔහියට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ නානුඔය දුම්රිය පළේ සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය සකසන කම්කරුවන් ඔහිය ප්‍රදේශයේ දී හමුවෙලා. තද කළුවරේ ගෙජ්ජී හඬ පතුරවමින් රතු වර්ණ තොවිල් පළ ඇඳුමින් යමෙකු දුටු විට ඕනීම පුද්ගලයකු බය වීම පුදුමයක් නොවේ. ළන්තෑරුම් එළිය ඔස්සේ එහි සිටි මිනිස්සු සීයා දැක හොඳටම බය වෙලා. සීයා ඔවුන් ළඟට ඇවිත් අස්වසා තියෙනවා. සීයා මුහුණ දුන් ගැටලුව ඔවුන්ට විස්තර කර තිබෙනවා.

මෙය දැනගත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සුදු ජාතික ඉංජිනේරුවරයා සීයාට ඔහු යටතේ දුම්රිය මාර්ගය සැකසීමට එක්වන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

සීයා ඊට එකඟ වීමත් සමඟම ආර්. එම්. අප්පුහාමි පී. කේ. අප්පුහාමි බාස් බවට පරිවර්තනය වෙනවා.

අපගේ සීයා මළ පොතේ අකුරක්වත් නොදන්නා වුණත් ඔහු අපගේ වැඩිහිටියන් සමඟ දුම්රිය මාර්ගය සැකසීම ගැන විස්තර කථා කර තිබෙනවා. අපේ එදා හිටිය ඉගෙන ගත් වැඩිහිටියන් එම කථාව ඔවුනට හැකි අයුරින් ලියාගෙන තිබෙනවා. එලෙසින් ලියා ඇති කථාවලට අනුව ඇල්ල සිට දෙමෝදර අතර ඉදිකර ඇති ආරුක්කු 09 පාලම ගැන විශේෂයි.

මොකද සීයා සමඟ දුම්රිය මාර්ගය ඉදිකළ සිංහල කම්කරුවන් එංගලන්ත ජාතික ඉංජිනේරුවරයා සමඟ එක්ව බිංගෙවල් සකසමින් අනාරක්ෂිත ස්ථාන විශාල කළුගල් බැමි යොදමින් ඉදිකර තිබෙනවා.

මෙසේ මාර්ගය ඉදිකරමින් යන අතරතුර ඇල්ල හා දෙමෝදර අතර කඳු දෙකක් අතර විශාල හිඩැසක් තිබි තියෙනවා. එම හිඩැස විශාල මඩ වගුරක් ලෙසින් පැවති තියෙනවා. එනිසා සුදු ජාතික ඉංජිනේරුවරයා කඳු දෙක යා කරමින් යකඩ පාලමක් ඉදිකිරීමට සැලසුම් කරලා. මෙම යකඩ පාලම එංගලන්තයේ සිට රැගෙන ඇවිත් තියෙනවා. නමුත් පාලම කඳු දෙක යා කිරීමට තරම් දිග මදිවී තිබෙනවා.

පාලම දිගින් අඩුවීම නිසා සුදු ජාතික ඉංජිනේරුවරයා මුහුණ දී ඇත්තේ බරපතළ ගැටලුවකට. මෙයට විසඳුමක් සොයා ගන්න නොහැකිව සුදු ජාතික ඉංජිනේරුවරයා සියදිවි නසා ගන්න තත්ත්වයක් දක්වා ගැටලුව දුරදිග ගිහිල්ලා.

අන්තිමට ඉංජිනේරුවරයා අපේ සීයා ගෙන් අහලා තියෙනවා පී. කේ. බාස් මේකට විසඳුමක් නැද්ද කියා. සීයා කියා තිබෙනවා සේවකයෝ ලබා දෙනවානම් පාලමක් හදන්න පුළුවන් කියලා. සුදු ජාතිකයා මේ ගැන සැක පහල කරලා. සීයා කියා තිබෙනවා මෙම පාලම හදන එකට වැටුප් ගෙවන්න එපා කියලා.

ඉංජිනේරුවරයා සීයාට අවශ්‍ය සේවකයෝ ලබාදීලා. සීයා කඳු දෙක මුදුනේ ඇති කළු ගල් කුට්ටි පිටින් පහතට පෙරළා තියෙනවා. අධික වේගයෙන් කන්ද පහළට පෙරලී එන විශාල ගල් මඩ වගුරේ පතුල දක්වා ගිලා බැහැලා. අන්තිමට කළුගල් වලින් මඩ වගුර පිරී හොඳ ශක්තිමත් අත්තිවාරමක් නිර්මාණය කර තිබෙනවා. මඩ හා කළුගල් කුට්ටි මිශ්‍ර වීම නිසා සැකසුණු අත්තිවාරම උඩ මෙසේ ආරුක්කු 09 ක් අලංකාර ලෙස ඉදිකර එම පාලම මතින් දුම්රිය රේල් පාර සකසා තිබෙනවා.

දැන් 1913 දී විතර තමයි මෙම පාලම ඉදිකර ඇත්තේ දුම්රිය මාර්ගය ඉදිකළත් සුදු ජාතික ඉංජිනේරුවරයාට දුම්රියක් එහි ධාවනය කිරීමට බයක් දැනී තිබෙනවා. පාලමේ (දුම්රිය මාර්ගයේ) ශක්තිය ගැන සැකයක් ඇති බව ඉංජිනේරුවරයා සීයාට කීයා තිබෙනවා.

සීයා පවසා ඇත්තේ ප්‍රථම දුම්රිය පාලම මතින් ධාවනය වන විට ප්‍රධාන ආරුක්කුව යට තමන් නිදා ගන්නා බවයි. ඒ වගේම දුම්රිය ධාවනය වෙද්දී සීයා සරමක් බිමට අතුරාගෙන නිදාගෙන තිබෙනවා. දුම්රිය පාලම මතින් ධාවනය වීමත් සමඟ ඉංජිනේරුවරයා සීයා බදාගෙන සිය සතුට ප්‍රකාශ කර තියෙනවා. අපගේ මේ සීයා විසින් පාලම ඉදිකරන අවස්ථාවේ අත්උදව් දුන් අයකු දෙමෝදර දුම්රිය පොළ අසල පදිංචිව සිට හමුවුණා. ඔහු සොයාගෙන අපි ගියාම එම ආර්. ඩී. බබානිස් කියන අවුරුදු 99 ක් වයසැති සීයා කියන ලද කථා හා සීයා විසින් පැවසීමෙන් පසු අපේ නැදෑයන් ලියා තිබු කථා අතර 100% ක්ම සමානයි.


මුනුපුරා පියතිලක

අපි එම බබානිස් සීයා හොයාගෙන ගිහින් හඳුන්වා නොදී ආගිය තොරතුරු කථා කළා. අන්තිමට අප රැගෙන ගියා සීයාගේ ඡායාරූපය එම බබානිස් සීයාට පෙන්නුවා. ඔහු කීවේ මේ අපේ පී. කේ. බාස් නේද කියා. ඔහු සතුටු කඳුළු වැගුරුවා. සීයාගේ අභාවය ගැන අසා හැඬුවා.

අපි එම සීයා සමඟ කථා කරන විට දැන ගත්තා දෙමෝදර දුම්රිය ස්ථානය කන්ද මුදුනේ හා ඊට යටින් දුම්රිය මාර්ගය ඉදිවුණේ කොහොම ද කියා.

නානුඔය සිට දෙමෝදර දක්වා උසකින් දුම්රිය මාර්ගය ඉදිකරගෙන එද්දි බදුල්ල සිට දෙමෝදර දක්වා මාර්ගය සකසා ඇත්තේ උස අඩු භූමියක් හරහා බවයි. එනිසා දුම්රිය මාර්ග දෙක අතර විශාල පරතරයක් තිබී තියෙනවා.

එය සම්බන්ධ කිරීමේ ගැටලුවක් මතුවීම විසඳාගෙන ඇත්තේ මී හරක් බලන්නෙකු කෙවිට තම හිස වටේ කරකවන අයුරු ඉංජිනේරුවරයා දැකීම නිසයි. ඒ අනුව කන්ද වටේ දුම්රිය මාර්ගය සකසා මාර්ග දෙක යා කරන ලද බවයි. එම බබානිස් සීයා මේ වන විට ගාල්ලේ ඔහුගේ දරුවන් ළඟට ගොස් ඇති බව දැනගන්න තිබෙනවා.

අපගේ සීයාගේ මැදිහත්වීම මත දෙමෝදර අලංකාර ආරුක්කු 09 පාලම ඉදිවීමෙන් සතුටට පත් ඉංජිනේරුවරයා එම පාලම ඉදිකිරීමට වැඩ කළ කාලයට වැටුප් ලබාදී තියෙනවා. මෙයට අමතරව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුවටත් දැනුම් දීලා තියෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කළ සේවයට සීයාට රිදී කාසි පුරවන ලද මළු 08 ක් තෑගි කර තිබෙනවා. එම මුදලින් කොටසක් වැයකර තම හිතවත් ඉංජිනේරුවරයාට මෝටර් රථයක් මිලදී ගෙන තෑගි කර තිබෙනවා. එසේම එම මෝටර් රථයෙන් උපන්ගම වන පෙල්ලවින්නට පැමිණ එරබද්ද යන ගම්මාන දෙකට අයත් ගැමියන්ට ආහාර වේලක් සමඟ රිදී කාසියක් තෑගි කර තිබෙනවා.

1921 දී සීයා අපි පදිංචි මෙම නිවස ඉදිකර තියෙන්නේ. මෙහි ඇතැම් ස්ථාන දෙමෝදර පාලමේ ආකාරයට ඉදිකර තිබෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ජනේල හා දොර උළුවහු උඩින් බිත්ති දිගටම කළුගල් පතුරක් අතුරා ඒ මත බිත්ති බැඳීම නිසා මෝඩ ගඩොලින් බැඳ ඇති බිත්තිය තුළින් වහලයේ ලී වලට ‘වේයාගේ හානිය සිදුවී නෑ.

සමහරක් අය දෙමෝදර ආරුක්කු 09 දුම්රිය පාලම හැදුවේ සුදු ජාතිකයන් බවට හඳුන්වා දීමට උත්සාහ දැරීම වැරදියි මළපොතේ අකුරක් නොදත් ගමේ පුද්ගලයකු කඳු දෙකක් යා කරමින් නිර්මාණය කළ පාලමක් බව ඔවුන්ට පැවසීමට කැමතියි. ආර්. එම්. පියතිලක මහතා අවසාන වශයෙන් පැවසීය.

ඡායාරූප හා සටහන
ආර්. රාජමන්ත්‍රී වැලිමඩ සමූහ 

Search This Blog