Friday, April 10, 2015

යුද්දෙට යන්න කලින් දුටුගැමුණු රජු භාරහාරවූ මහියංගනයේ නාගදීපය


මහියංගනය  මැතිවරණ කොට්ඨාසයට අයත්  රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති ඓතිහාසික පුදබිමකි.

මෙහි ඇති ඉතිහාස කතාව කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන නමුදු පුරාවිද්‍යාත්මක කැණීමක් මේ දක්වා සිදුකර නැති බැවින් එම සාඩම්බර ඉතිහාසයේ රස මුසුතැන්  තවමත් වැළලී ඇත්තා සේය.

කැණීම් පටන් ගත්ත ද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක‍්‍රියාත්මක වන බව ද අපට අසන්නට ලැබිණ.

නාගදීප වැවෙන් වට වූ මෙම පිංබිම පිහිටි අක්කර 4ක් පමණ වූ දුපත දුරාතීතයේ නාග ගෝත‍්‍රික ජනයා විසූ පෙදෙසක් බැවින් ‘නාගදීපය’ නම් වූ බව ජනප‍්‍රවාදයේ එයි. තවත් ජනප‍්‍රවාදයකට අනුව නාගයන් බහුලව සිිටි මෙම අද්භූත පරිසරයේ නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී තිබේ.



අදටත් මෙහි දැවැන්ත හුඹස් රාශියක් දැකිය හැකිය. මෙහි වටිනා දුරාතිීතයක්  ඇති බව අනාවරණය කරන සාක්කි ඇස් පනාපිටම ඉතිරි වී තිබේ.
දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යාම සඳහා මෙම ප‍්‍රදේශයේ සේනා රැුස්කර සටන් පුහුණුව ලබාදුන් බවත්, යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙයි.

මෙහි ගරාවාස වූ චෛත්‍යයන් දෙකකි. එකක් තරමක් කුඩා වුවද අනෙක් චෛත්‍යය අතිවිශාල එකකි. කුඩා චෛත්‍ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයකි. එය පූජා කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.



රජ දවසින් පසුව මේ පුදබිම සොයා රටේ පාලකයා වූ හිටපු ජනාධිපතිතුමා පැමිණි ගමන කතා බහට ලක්වූ සුවිශේෂි එකක් විය.
මෙම විහාරස්ථානයේ භාරකාර බේරුවල ධම්මරතන හිමියෝ එය සිහිපත් කරන්නේ මෙසේය.

 ”ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්වතාවට මේ  පන්සලට ආව දවසේ එකපාරටම  එතුමා අඳුනාගන්නත් මට බැරි වුණා. එදා උදේ 7.00ට විතර මම මිදුල අමදිමින් සිටියා.” ”ඒ වෙලාවේ කට්ටියක් ආවා. මම හිතුවෙ වන්දනාවේ ආව කට්ටියක් කියලා. එක්කෙනෙක් ඇවිත් කිව්වා මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. මම කිව්වා ආවාසගෙයට ගිහින් වාඩිවෙන්න කියලා. මම අත සෝදාගෙන එහෙම ගිහින් ඔවුන් මුණ ගැහුණා.  සාමාන්‍ය ඇඳුමකින් සැරසී එතැන හිටිය උස මහත පුද්ගලයා මට වැන්දා. ඒ වෙලාවේ මට නිකමට වගේ හිතුනා මේ ජනාධිපතිතුමා නේද? කියලා.”
‘ඔබතුමා ජනාධිපතිතුමා නේද’යි මං ඇහුවා. එවිට ජනාධිපතිතුමා හිනාවුණා.

එතුමාට කෙනෙක් කියලා තියෙනවා මහියංගණයේ නාගදීපය කියලා පන්සලක් තියෙනවා, එහාට භාරයක් වුණා නම් උතුරු නැගෙනහිර යුද්ධය ජයගන්න  පුළුවන් වෙයි කියලා.



ඒක ගුප්ත බලයකින් කිව්වද? හීනෙන් කිව්වද? නැතිනම් මේවා පිළිබඳව දන්න කෙනෙක් කිව්වද කියල මම දන්නේ නැහැ. එතුමා මෙහාට එන්න පාර දන්නේ නැහැනේ. ඉතින් ඌව පළාත් සභා ඇමති අනුර විදානගමගේ මහත්තයත් එක්ක එකතු වෙලා තමයි එතුමා මුලින්ම මෙහාට ආවේ. මට මතක විදිහට ඒ 2007.11.08 වෙනිදා. එතුමා ඇවිත් චෛත්‍ය වටේ ගිහින් කිරි කළ 7ක් වත්කරලා භාරයක් වුණා.

එදා ජනාධිපතිතුමාට මම කිව්වා ගමේ පාර හැදුවා. ඒත් පාලම නැහැ කියලා. ඒ කාලේ වැස්ස ආවා. ඒ නිසා පාලම හදාගන්න බැරි වුණා. මම නිමල් ඇමතිතුමා එක්කන් ඇවිල්ලාම පෙන්නුවා මෙතෙන්ට බොක්කු දාලා හරියන්නේ නැහැ. පාලමක්ම  ඕනෑ කියලා. ඊට පස්සේ විමධ්‍යගත මුදල් අනුමත කරලා හදන්නම් කියලා ගියා. ඒ ගිහිල්ලා මාස දෙකකට තුනකට පස්සේ තමයි ජනාධිපතිතුමා ආවේ.

ඊට පස්සේ ජනාධිපතිතුමා මෙතන ඉඳන් ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාට කිව්වා කෝල් කරලා, මම නාගදීපේ ඉන්නේ කියලා. මේ උදේ පාන්දර කොහොමද නාගදීපේ ගියේ කියලා එයා ඇහුවා. ජනාධිපතිතුමා කිව්වා, නැහැ. යාපනේ නාගදීපේ නෙවෙයි මහියංගනේ තියෙනව නාගදීපයක් එහේ ඉන්නේ කියලා. මේ ගමට පාර හදලා තියෙනවා, පාලමක් නැහැ කියලා හාමුදුරුවෝ කියනවා කියලත් එතුමා කිව්වා.



 ඊට පස්සේ ඇමතිතුමා මහාමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම්දීලා මහියංගනෙන් ටී ඕ මහත්වරු ආවා. දහවල් 12 වෙනකොට පන්සලට ඇවිල්ලා කොහේද හාමුදුරුවනේ පාලමක් දාන්න තියෙන්නේ මාර්ග ඇමතිතුමා අපිට  ඕඩරයක් දුන්නා කිව්වා. ඊට පස්සේ මම ඒගොල්ලන් එක්කරගෙන ගිහින් පාලම පෙන්නුවා. ඒ වෙලාවෙම ලනු ගහලා මැනලා මාස දෙකක් ඇතුළත පාලමත් හදලා දුන්නා.

එතකොට පන්සලට තිබුණේ සෝලා (සුර්යකෝෂ) විදුලිය. පන්සලටත් ගමටත් විදුලිය ලබාදෙන්න කියලත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.



යුද්ධය ජයගත්තාට පස්සේ බාරයක් ඔප්පු කරන්න තියෙනවා කියලා අපිට කිව්වා චෛත්‍යයේ ඉඳලා පියවර 21ක් මැනලා එතන කුටියක් හදන්න කියලා. කුටිය හැදුවා හැබැයි,  ඒක විනිවිද පේන එකක් නොවෙයි. කුළුනක් හදලා උඩින් වහන්න පුළුවන් විදිහට හදපු ඒ කුළුණේ ජනාධිපති මහින්ද මහත්තයා ඇවිත් නාග රූපයක්   තැන්පත් කරලා උඩින් වැහුවා.

ඊට පස්සේ ඒක බලන්න ආපු උපදේශකයා, ජනාධිපතිතුමාට දැනුම් දීමක් කරලා තියෙනවා කියාපු විදිහට නෙවෙයි මෙතන හදලා තියෙන්නේ මේක ආයෙ වෙනස් කරන්න  ඕනැ කියලා.

චෛත්‍යයේ ඉඳලා නැගෙනහිර පැත්තට තමයි පියවර 21ක් මැනලා එතැන ඉදිකරන කුටියේ මූණ පේන්න විවෘතව තියන්න  ඕනැ කියලා ආයේ ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන මාස දෙක තුනකින් නැගෙනහිර පැත්තට වෙන්න වීදුරු කුටියක් හැදුවා.


ඊට පස්සේ අලූත් කුටියේ නාගරූපය තැන්පත් කරන එකයි ගමට විදුලිය දෙන එකයි. එක දවසේ සිදුවුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අතින් මේ නාග රූපය නැවත තැන්පත් කරලා ගියා.

මේ නාග රූපය රිදියෙන් හදලා රත්තරං ආලේප කරලා තියෙන්නේ. මේක අඩි එකහාමරක් විතර උසයි.”පැවසූ ධම්මරතන හිමියෝ මා සමග ගොස් එම නාගරූපයද පෙන්වමින් තවත් විස්තර පැවසූහ.

මෙතැන තියෙන්නේ පොඩි චෛත්‍යය. මේක දුටුගැමුණු රජ්ජුරුවෝ හැදුවා කියල තමයි කියන්නේ. මෙහි ධාතු ගර්භය හා ඊට ඉහළ කොටස් නැහැ. එසේ නොමැති වීමෙන් එම කොටස්, නිර්මාණය නොකළේද නැතිනම් පසුකාලයක විනාශවී ඇත්දැයි කිව නොහැකියි.

චෛත්‍යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස‍්‍රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත  ගල් ආවරණයක් චෛත්‍ය අසල බිම වැටී තිබෙන අයුරු දුටුවෙමි. එවා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි කියති.

එ දවස්වල චෛත්‍යයක කොතක් තිබිල නැහැ. ඡත‍්‍රය තමයි තිබුණු බව කියන්නේ. එම කොටස් මෙසේ ඉතිරි වී ඇති බව හාමුදුරුවෝ් විශ්වාස කරති.
ධම්මරතන හාමුදුරුවෝ ඊළඟට අපේ අවධානය යොමු කළේ මෙම චෛත්‍යයට ඉහළින් පිහිටි අතිවිශාල චෛත්‍යය වෙතය. එය ඈතට දිස්වන්නේ මහා පස් කන්දක් ලෙසය.  එම ස්ථානයේ බුදුමැදුරකි.




”ඒක හදලා තියෙන්නේ විශාල චෛත්‍යයේ නටබුන් උඩ කියලයි මං හිතන්නේ. විහාරගොඩ නමින්  හැඳින්වෙන  කන්දට නැග්ගම අද අපිට පේන්නේ එම චෛත්‍යයේ ඉහළ කොටස විතරයි. ඊට පහළ ඔක්කොම පස් කන්දක් වගේ වෙලා” යැයිද පැවසූහ.

අපි හාමුදුරුවන් සමග ගල්පඩි නගිමින් බුදුමැදුර පසුකර තවත් ඉහළට ගියෙමු.

එහි  විශාල වහල කොටසේ නටුබුන් දක්නට ලැබිණි. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්ය.

ආර්. පේ‍්‍රමදාස මහතා ජනාධිපති කාලයේ 1989 වසරේ මහියංගනය ගම්උදාව කි‍්‍රයාත්මක විය. ඊට සමගාමීව මෙම විහාරස්ථානයද සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.

එදවස නාගදීප වැවෙන් වටවූ පාරක්වත් නොමැතිව වල් වැදී තිබූ මෙම පුදබිමට පුරාවිද්‍යා කොමසාරිස්් රෝලන්ඞ් සිල්වා මහතා පැමිණ ඇත්තේ ඔරුවකිනි.
පුරා විද්‍යාත්මක කැණීම් සිදුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පැරැුණි සංඝාවාසයේ නටබුන් කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ.

එහි දොරටුවේ තිබූ රූප රහිත ස`දකඩපහණ හා ගල් අත්තිවාරමක කොටස් මෙහිදී අධීක්ෂණයට ලක්ව ඇති අතර, ඉපැරැුණි විහාරගෙයි මතම පසුව සංඝාවාසය ඉදිකර ඇති බවට කරුණු හෙළි කරගෙන ඇති බව හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (ඌව) ඞී.ඞී. විජේපාල මහතා මීට පෙර මා දැනුවත් කර තිබූ අයුරු මට සිහිවිය.

ආචාර්ය රෝනල්ඞ් සිල්වා මහතා පුරාවිද්‍යා කොමසාරිස්ව සිටියදී මුල්වරට මෙය අනාවරණය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙහි ඇති බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය කි‍්‍ර.ව. 9-10 අතර කාලයට අයත් යැයි කිවහැ
කි  බවද හෙතෙම පැවසීය. රාජ්‍ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප‍්‍රදානය කළ වරප‍්‍රසාද පිළිබ`දව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරැුණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කරඇති බවත් ඉපැරැුණි විහාරගෙය සංඝාවාසයට යටවී ඇති බවට සාක්ෂි ලැබී ඇති බවත් ඔහු පැවසූ අයුරු මට සිහිපත් විය.

සියළු පහසුකම් ද සහිතව භික්ෂුන් වහන්සේලා දහ දොළොස්  නමකට වුවද සුව පහසු ලෙසින් වාසය කළහැකි අභිනව ආවාස ගෙය සදහා රුපියල්  එක්කෝටි තිස් දෙලක්‍ෂයක් ඇස්තමේන්තු කර තිබුණත් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ උපදෙස් හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් ආත්මා ඞී. ලියනගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙය රුපියල්් ලක්‍ෂ පනහක (ලක්ෂ 50) පිරිවැයෙන් ඉදිකළ බවද දැනගන්නට ලැබුණි.
නොබෝදා පැවැති ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී හිටපු ජනාධිපතිතුමා හදිසියේම පැමිණ මෙම සංඝාවාසය විවෘත කර  පූජා කර තිබේ. මෙතරම් සුවිසල් සංඝාවාසයේ එක් හිමිනමක් පමණක් වෙසෙන්නේ කෙසේදැයි විමසූ විට අපට දැනගන්නට ලැබුණේ අද්භූත සිදුවීම් මාලාවකි.

මේ පන්සලේ මම හිටියට වෙන කාටවත් ඉන්න බැහැ මහත්තයෝ, හාමුරුවෝ පවසද්දී උන්වහන්සේ සමග සිටි කැටගොඩ රත්නායක මුදියන්සේලාගේ සිරිවර්ධන (67) ”අවසරයි හාමුදුරුවනේ” කියමින්  කතා කරන්නට පටන් ගත්තේය.

මේ හාමුදුරුවෝ හිටියට වෙනත් හාමුදුරුවන්ට මෙහේ ඉන්න බැහැ මහත්තයෝ. පසුගිය කාලයේ හාමුදුරුවරු ගණනාවක්ම ආවා ඒත් කාටවත් ඉන්න බැරි වුණා.

අද්භූත බලවේග ඒ හාමුදුරුවරු බය කරලා පන්නා ගන්නවා. ඒ හාමුදුරුවරු කිව්වේ ?ට නින්දේ ඉන්නකොට බෙල්ල මිරිකන්න එනවා කියලා. මෙහෙන් වහාම පිටවෙන්න කියලා බය කරනවලූ.

කොහොම නමුත් මේ හාමුදුරුවෝ නම් අවුරුදු ගණනක් බය නැතිව තනියම ඉන්නවා. නිධන් හොරු ආවත් ඒවාට ඉඩ නැහැ, හැම දෙනාම ගියේ පැරදිලා. හැම පැත්තෙන්්ම නාගයෝ මතු වෙනවාලූ.

”ඔබ වහන්සේටත් නිධන් හොරුන්ගෙන් කරදර සිද්ධ වුණා නේද” යි සිරිවර්ධන විමසද්දී උන්වහන්සේ හිස සැලූ නමුත් ඒ පිළිබ`ද වැඩි විස්තර කිව්වේ නැත.
කෙසේ නමුත් උන්වහන්සේ මෙසේ පැවසූහ.

”මම ඉපදිලා තියෙන්නේ රාක්ෂ ගණයෙන්. ඒ නිසා මම අද්භූත දේවල් වලින් බය වෙන්නේ නැහැ. හැබැයි පන්සලට ආව සමහරුන්ට ගූප්ත ආකර්ශනය තියෙනවානේ. ඒගොල්ලෝ ආවම එයාලගේ ශරීරයට දැනෙනවා. ඒ දැනුනායින් පස්සේ එයාලට වෙවුලූම් ගතිය ටිකක් හැදෙනවා. ඒගොල්ලෝ කියනවා හමුදුරුවනේ මෙතන බලවේග තියෙනවා බලන්න මගේ රෝම කූප කෙළින් වුණා කියලා.  සමහරු ආව ගමන්ම කියනවා ලොකු බලවේග තියෙන තැනක් මේක කියලා. පසුගිය කාලයෙත් කරදරකාරයෝ ආවා. ඒ ආවට එයාලට මොකක්වත් ගන්න බැහැ.”  

”හැබැයි මම දේවාලයකින් බැලූවා එතකොට කිව්වා පසුගිය කාලේ යන්ත‍්‍ර මන්ත‍්‍රකාරයෝ ඒ නාග බන්ධනය කළාලූ. ඒ නාගබන්ධනය කැපුවම නාගයෝ ආයෙත් එනවා කියලා කිව්වා.”

”මම හැමදාම හැන්දැවේ 6.30 ට ගිලන් පස පූජා කරනවා. සමහර දවස්වලට ? වෙනවා. සමහර දවස්වලට කවුරුහරි ඇවිල්ලා කථාකර කර හිටියත් එයාලා ගියාම මම ඒ ගිලන්පස පූජාව අනිවාර්යෙන්ම තියෙනවා. ? වුණත් පහන් පත්තු කරලා තියෙනවා. එක දවසක් මම පහන් පත්තු කරලා දේවාලේ තියෙන සූනියම් දෙයියන්ගේ රූප දෙක ළඟට පහන් පත්තු කරන්න යනකොට සුදුපාට නාගයා යනවා මම දැක්කා. තනිකර සුදු පාටයි අඩි 4ක් විතර දිගයි.”
”කොහොම නමුත් මෙහි කැණීම් කරන්න හැමදාමත් බාධා එනවා. එකපාරක් ඩෝසර් කරන්න යනකොට ඩෝසරයක් ගිනි අරන් තියෙනවා.”

”1968 දී නාගදීපය කියන ගම අයින් කරලා කැප්ටන් සෙනෙවිරත්න මහත්තයා තමයි මේ නාගදීප ව්‍යාපාරය ආරම්භ කළේ. එතකොට මෙහි වැඩවාසය කරලා තියෙන්නේ කොටගම සුමංගල හාමුදුරුවෝ. මේ කියන ව්‍යාපාරය හැදුවට පස්සේ මේ පන්සල් භූමිය සම්පූර්ණයෙන්ම යටවෙනවා, අපි අංග සම්පූර්ණ පන්සලක් හදලා තිස්සපුර කියන ප‍්‍රදේශයේ පදිංචි කරනවා කියලා ඒ ඉංජිනේරුවරු කියලා තියෙනවා හාමුදුරුවන්ට. ඒත් එහෙම වුණේ නෑනේ. හාමුදුරුවොත් ඉතින් තිස්සපුර ඉඳලා ඇවිත් සැරෙන් සැරේ මේ වැඩ කටයුතු දිහා බලාගෙන ඉඳලා තියෙනවා.”

”යටවෙලා තියෙන විහාර ගේ මතු කර ගත්තොත් බොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන්.  හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.”

මේ විහාරස්ථානයේ වාර්ෂික පුණ්‍යෝත්සවය දින 7ක් මුළුල්ලේ පැවැති බවත් එක් දිනකට එක් ගමකින් පෙරහැරක් බැගින් පෙරහැර 7ක් විහාරස්ථානයට පැමිණ පුද පූජා පැවැත්වූ බවත් පැරැුණි අය කියති. එහෙත් පසුව දීර්ඝ කාලයක් තිස්සේ ස්ථිර භාරකර හිමිනමක් නැතිවීමත් සමග ඒ සියල්ල නතර වී තිබේ.
එහෙත් භාරහාර වීමට හා ඒවා ඔප්පු කිරීමට නන්දෙසින් පැමිණෙන බැතිමතුන් දැකිය හැකිය. එසේ විශාල පිරිසක් පැමිණෙන බවත් ඒ අතර ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයින්ද සිටින බවත් බේරුවල ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ පැවසූ මේ  අදහස ද අප මෙම විශේෂාංගයට එක් කළේ එය විවාදාත්මක කරුණක් වියහැකි යැයි සිතූ බැවිනි.

”මහත්තයෝ සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙත් තියෙන්නේ මහියංගනං නාගදීපං කියලා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය කියලා කියන්නේ මේ ස්ථානයලූ. යාපනයේ තියෙන ස්ථානයට නෙවෙයි. මහියංගනයේ නාග ගෝත‍්‍රිකයන් හිිටපු බවට නාග වනය හොඳින්ම සාක්කි දරනවා. බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගණයට වැඩම කරලා දෙවන වරට මෙම ස්ථානයට වැඩියා කියලා තමයි කියන්නේ. මෙහෙම ජනප‍්‍රවාදයේත් තියනවා. රේණුකාණේ චන්දවිමල හාමුදුරුවෝත් බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝත්, ඒ බව සඳහන් කරලා තියෙන බව දැනගන්න තියෙනවා.”

”මහියංගණයේ ඉඳලා මෙම ස්ථානයට ඒ තරම් දුරක් නෑ. පා ගමනින් වුණත් එන්න පුළුවන්. යාපනයේ තියෙන නාගදීපය පස්සේ කාලෙක හදාගත් එකක් කියලා තමයි කියන්නේ.”

”ලංකාව කියන්නේ ඒ කාලේ ඉන්දියාවෙම කොටසක් නේ, ලංකාවට එන්න හැතැප්මක විතර දුරක් තමයි තිබිලා තියෙන්නේ. එහෙ මිනිස්සු ලංකාවට ඇවිත් තියෙන්නේ වෙළෙඳාම සඳහා. පස්සේ යාපනේ පදිංචිකාරයෝ බවට පත්වෙලා තියෙනවා. එයාලා වන්දනාමාන කරන්න කෝවිලක් හදලා තියෙනවා. ඒ නයිනතිව් දූපත නිසා පසු කාලෙක එය නාගදීපය කියලා හඳුන්වලා තියෙනවා  කියලයි මම නම් අහලා තියෙන්නේ” යැයි උන්වහන්සේ අවසන් වශයෙන් පැවසුහ.

ගුප්ත පරිසරයේ මානය දෑසින් ඉවත් වුවද මනසින් දකිමින් අපි නාගදීප වැවේ සොරොව්ව පසු කළෙමු.


Monday, March 23, 2015

මිනිස්කම


මිනිසුන් දකිමි මම... මිනිසුන්ද සොයමි මම...
මිනිස්කම දියවෙච්ච සමාජය තුළම ඉද
ඔබද මම හා එක්ව...
සෑබෑ වූ මිනිස්කම
රැකගත යුතුව ඇත...

එකෙක් පරයා නැගෙන...
තවත් එක් නිමේෂයක
දියව යන්නට නොදී
ඔබද මම හා එක්ව...
සෑබෑ වූ මිනිස්කම
රැකගත යුතුව ඇත...

අද හිනාවෙන අයද...
හෙට හිනාවෙන අයද
අසන්නේ මිනිසුන්ය
ඔබද මම හා එක්ව...
සෑබෑ වූ මිනිස්කම
රැකගත යුතුව ඇත...

- පුලා -


Wednesday, January 21, 2015

පරිගණකයක් භාවිතා කරද්දි මේ උපදෙස් පිළිපදින්න

කාලය ඉක්මනට ගෙවිලා යනවා. ගෙවිලා යන කාලයත් සමඟ තාක්ෂණයත් දිනෙන් දිනම දියුණුවෙනවා. විශේෂයෙන්ම පරිගණකය අද නැතුවම බැරි උපකරණයක් වෙලා. සමාජ ජාල වෙබ් අඩවි ඉන් ප‍්‍රධානයි. දවසින් දවස මෙම සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන පිරිස වැඩිවෙනවා. ඒත් එහි ඇති තාක්ෂණික භාවිතය හා එහි සීමා එම පිරිස නොදන්නවා විය හැකියි. ඒ නිසාමයි අද සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නන් අතරින් ඛේදවාචක වැඩිපුරම අසන්නට ලැබෙන්නේ.



මා අදත් ඔබට කියන්නේ එවැනිම කතාවක්. ඒ තාක්ෂණික මෙවලම් භාවිතයේදී ඔබත් ඒ පිළිබඳ දැනුවත් විය යුතු නිසා.

ඇය ඉමල්කා. ප‍්‍රසන්න පෙනුමැති යුවතියක්. පවුලේ තිබූ ආර්ථිකමය ගැටලූ හේතුකරගෙන උසස් පෙළින් පසු පාසල් අධ්‍යාපනයට සමුදුන්නා. ඒ අතරෙයි ඉමල්කට මංගල යෝජනාවක් ආවේ. ඔහු ගාමින්ද. නගරයේ හෝටලයක කෝකියෙක් විදියට සේවය කළා. ඔහු ඉමල්කලාගේ දුර නෑයෙකුත් වුණා. ඒ නිසාම ඉමල්කා ගාමින්දටත් ගාමින්ද ඉමල්කටත් කැමැත්ත ප‍්‍රකාශ කරගත්තා.

එසේ ඇරඹුණු ආදරය සුන්දරව ගලා ගෙන ගියා. බක්මහේ ආව නැකැත් දවසක ගාමින්ද ඔහුගේ මනමාලිය කැන්දාගෙන ගියා. ඒ ආදරය ගොඩක් සුන්දර වුණා. ගාමින්දත් ඉමල්කත් මාපියන් වෙන්න පෙරුම් පිරුවේ ඒ ආකාරයට. ඔවුන්ගේ ප‍්‍රාර්ථනා ඉෂ්ට කරමින් ඉමල්කා පුතෙකු ලැබුවා. ගාමින්දටත් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටක් දැණුනා.

ගාමින්දගේ පුංචි කුරුලූ කූඩුවේ ආදරය ඉතිරිලා පැතිරිලා ගියා. ඒ ආකාරයට වසර දෙකතුනක් ගලා ගිය අතර නැවතත් ඉමල්කා
ගැබ්බර වුණා. ගාමින්ද පුංචි පුතුගේ තනියට එන ලේ කැටි බිළිඳා එනතුරු මඟබලා සිටියා. ඇය පුංචි දුවණියක්.

දුවයි, පුතයි එක්ක ජීවිතය ගෙන ගිය මේ පුංචි පවුල සැබෑවටම සතුටින් ජීවත්වුණා. ඉමල්කා ගාමින්දටත්, ගාමින්ද ඉමල්කාටත් තව තවත් ආදරය වුණා.
ඒ අතර තුරයි ගාමින්දට පිටරට රැුකියාවකට යන්න අවස්ථාව උදාවූයේ. එය ඔහු දුටු සිහිනයක්. ඒත් එය සැබෑවෙලා ගාමින්ද ඒ සතුටත් එක්කම
ගොඩක් දුක්වුණා. ඒ ඔහුගේ ප‍්‍රිය බිරිඳවූ ඉමල්කාවත් දෑසවන් දරුදෙදෙනාවත් තනිකරදමා යාමට සිදුවීම පිළිබඳව.

ගාමින්දගේ සිහිනය ගැන ඉමල්කා දැනගෙන හිටියා. ඔහුගෙන් දුරස්වීම වේදනාවක් වුවත් ඔහුට රටයාමට අවශ්‍ය චිත්ත ධෛර්ය සැපයීමට ඉමල්කා කටයුතු කළා.

සිය දරු දෙදෙනාත් බිරිඳත් නිරන්තරයෙන්ම දැකීම ප‍්‍රිය කටයුත්තක් ලෙස සැලකූ ගාමින්ද වෙන රටක සිටියත් ඔවුන් දැකගත හැක්කේ කෙසේදැයි කල්පනා කළා. ඒ නිසයි  ඔහු රටයාමට පෙර පරිගණකයක් නිවසට ගෙන එන්නේ.

එහිදී ඉන්ටනෙට් යන ආකාරයත්, ස්කයිප් මගින් කතාකරන ආකාරයත් ඉමල්කාට කියාදුන් ගාමින්ද හැමදාම හවසට දරුදෙදෙනා සමඟ කතා කරන ලෙස ඇයට උපදෙස් දුන්නා.

ඒ ආකාරයට ඉමල්කා සමඟ ගනුදෙනු කළහැකි, කතා කළ හැකි සියලූ පහසුකම් සම්පාදනය කළා. ගාමින්ද විරහ ගින්දරත් තුරුලූ කරගෙනම ගුවන්ගත වුණා. පුංචි දරුදෙදෙනා තුරුලූකරගත් ඉමල්කා ඔහුට සෙත් පැතූමුත් හදවතින් දස දහස්වතාවක් හඬාවැටුනා.

විවාහවීමෙන් පසු ගාමින්දගෙන් වෙන්ව සිටි පළමු දිනය ගෙවාදැමීමත් ඉමල්කාට දුෂ්කර කටයුත්තක් වුණා.

පරිගණකය ක‍්‍රියාත්මක කර ඉමල්කා ගාමින්ද කතාකරන තුරු බලාසිටියා. ගාමින්දත් එරටට පයතැබූ විගසම සිදුකළේ ඉමල්කාට කතාකිරීම. ඒ වෙද්දි පුංචි පැටව් දෙන්නා සුව නින්දේ පසුවුණා. ඉමල්කත් ගාමින්දත් ඒ වෙන්වීමේ හුදකලාබව හා ගුවන්ගමනේ ආ ගිය තොරතුරු පිළිබඳව බොහෝවෙලා කතාකළා.
ඒ ආකාරයට ඉමල්කත් ගාමින්දත් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු කතාකිරීම හැමදාම සිදුකළා. අඹුසැමියන් වූමින් ඔවුන් අතර කිසිදු රහසක් තිබුණේ නෑ.
දවසක් ඉමල්කා එසේ කතාකර සිටින අතරතුරකදී හදිසි විදුලි ඇණහිටීමක් සිදුවුණා. යළිත් විදුලිය ආවත් පරිගණකය නම් වැඩකළේ නැහැ.

ඉමල්කා ගාමින්දට කතාකර ගත නොහැකිව මානසිකව ලෙඩවුණා. ඒ නිසයි පරිගණකය හදාගැනීමට අසල නිවසක සිටි ගාමිණි අයියාට කතාකළේ. ඔහු ගාමින්ද සිටි කාලයේ සිටම පවුලේ හිතවතෙක් වුණා.

ගාමිණි අයියාත් ඉමල්කාගේ ආරාධනය පිළිගෙන ඇගේ නිවසට පැමිණියා. පරිගණකය පරීක්ෂාකර එය නැවත සක‍්‍රීයකර දුන්නා. ඉමල්කාටත් ගොඩක් සතුටුයි. ඇය ගාමිණි අයියාට මුව නොසෑහෙන ලෙස ස්තූති කළා.

එය සුළුදෙයක් කියූ ගාමිණි අයියා නිහඬවම නිවසින් පිටවී මඟට බැස්සා.

ඉමල්කාට පරිගණකය සක‍්‍රීයවීම මහමෙරක් වගේ. ඇය යළිත් හැමදිනකම ගාමින්දත් සමඟ දොඩමළුවුණා. පුංචි පැටව් දෙන්නත්, තාත්තත් සමඟ ආදරයෙන් කතාකළා. ඒ ආදරය එසේ ගලාගෙන ගියා වගේම ගාමින්ද හම්බකරන හැම සතපහක්ම ඉමල්කාට එවීමටත් අමතක කළේ නැහැ. සිය ආදරණීය සැමියා එවන මුදල් නිශ්කාරණේ වියදම් නොකිරීමට ඉමල්කා වගබලා ගත්තා. ඒ සියළු මූල්‍යමය කටයුතු ගැනත් ඔවුන් ස්කයිප් එකෙන් කතාකළා.

දවසක් ඉමල්කාට අමුතු දුරකථන ඇමතුමක් ආවා. ඇයගේ නිරුවත් වීඩියෝ පට මේ නිර්නාමික පුද්ගලයා ලඟ තිබෙන බවත් ඒවා ලබාගැනීමට නම් ඔහුට ලක්ෂගානක මුදල් අවශ්‍ය බවත් ඔහු පැවසුවා.

ඉමල්කා හොඳටම බයවුණා. ඇය සැබෑවටම ආදරය කළේ ගාමින්දට විතරයි. ඇගේ ලෝකයේ සිටියේ ඔහුත් පුංචි පැටවුන් දෙදෙනාත් විතරයි. ඇයගේ බලාපොරොත්තුව වූයේ ගාමින්ද පැමිණෙන තුරු දරුවන් දෙදෙනා බලාගෙන චරිතවත් ජීවිතයක් ගතකිරීම. එහෙත් මේ සිදුවූයේ කුමක්ද? ඇය දස අතේ කල්පනා කළා.

ඒත් ඇයට කිසිවක් සිතාගත නොහැකිවුණා. ළමා කාලයේ ආර්ථිකයෙන් බැටකෑ ඇය විවාහයෙන් පසුව හිනාවී ජීවත්වුණා. ඒත් ඒ හිනාවත් උදුරගන්න තවත් නරුමයෙක් බිහිවෙලා.

ඇය තර්ජනය කරන පුද්ගලයාට මුදල් නොමැති බව පැවසුවා. ඒත් ඔහු ඇගේ නමට එවන සියලූම මුදල්වල තොරතුරු දන්න බව පැවසුවා. ගාමින්ද ඇයට කියන සියලූම දේ ඔහුත් ඇයට කියනවා. ඇය තවතවත් කලබල වුණා. මුදල් දීම කෙසේ වෙතත් ඇගේ නිරුවත් වීඩියෝ ඔහුට කොහෙන්ද? ඇය කල්පනා කළා. මේ සිදුවීම ගාමින්ද දැනගත්තොත් මොනව හිතාවිද ඇය කල්පනා කළා.

ඒ නිසයි ඇය ඇගේ හොඳම යෙහෙළිය වූ සුසීමා මුණ ගැසුණේ. සුසීමා ඉමල්කාගේ කතාව අහගෙන හිටියා. ඒ අනුව ඇයට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයට යන්න ඇයව යොමුකළා.

එහි පිහිට පතා ගිය ඇය සැබැවින්ම විස්මයට පත්වුණා. ඒ සිදුව ඇති දේ විශ්වාස කරගත නොහැකි වූ නිසා ඇයගේ පරිගණකය ලෙඩදුන් වෙලාවේ එය සැදීමට භාරදුන් ගාමිණි අයියා පිළිබඳ ඇය මොහොතකටවත් සැකකළේ නෑ.

ඒත් ඔහු උපක‍්‍රමශීලී වෙලා. යම්කිසි ක‍්‍රමයකට ඇගේ පරිගණකයේ පාලනය ඔහුගේ අතට අරගෙන. එනම් ඇය ස්කයිප් යන හැම මොහොතකම, ඇය කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද කියා ඔහු බලා ඉඳලා. ඒ අනුව ඇය සැමියා හා කතාකරන විට ඇය සිටි ආකාරයට වීඩියෝ කරලා ඇය සැමියත් සමඟ මුදල් ගනුදෙනු පිළිබඳ කතා කළ සියළු දේ අහගෙන ඉඳලා සියළු තොරතුරු එකතු කරගෙන ඇය බියවද්දා මුදල් ලබාගැනීමට කටයුතු කරලා.

මෙම සිදුවීමෙන් ඔබට සිතීමට බොහෝ දේ තිබෙනවා. පරිගණක විධි පිළිබඳ දැනුම වර්ධනය
කරගැනීම අද කාලීන අවශ්‍යතාවක්. ඒ නිසාම ඔබ වෙනුවෙන් පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මෙසේ අදහස් දැක්වූවා.

හැම අවස්ථාවකම ඔබගේ පරිගණකයේ නීත්‍යානුකූල මෙහෙයුම් පද්ධතියක් (Operating system) ස්ථාපනය කරන්න.
මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් යාවත්කාලීන (Update) කරන්න.

නීත්‍යානුකූල ප‍්‍රතිවයිරස (Antivirus) මෘදුකාංගයක් භාවිත කරන්න.

එම ප‍්‍රතිවයිරස මෘදුකාංගයද නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න.

ඔබ අන්තර්ජාලය නිරතුරුව භාවිත කරන්නෙක් නම් අන්තර්ජාල සුරැකුම් (internet Security) මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න. නැතහොත් අන්තර්ජාල ආරක්ෂාව සහිත ප‍්‍රතිවයිරස මෘදුකාංග පැකේජයක් Antivirus Software Pakage) භාවිත කරන්න.

තමන්ගේ එදිනෙදා කටයුතුවලට අත්‍යවශ්‍ය මෘදුකාංග පමණක් ස්ථාපනය කරගන්න.

සැමවිටකම නීත්‍යානුකූල (Non pirated) යෙදවුම් මෘදුකාංග (Application Software) භාවිත කරන්න.
සැකකටයුතු හෝ අන්තර්ජාලයේ නොමිලේ ලබාදෙන මෘදුකාංග (Software) නිසි පරීක්ෂාවකින් තොරව ස්ථාපනය කිරීමෙන් වළකින්න.

අන් අයෙකු සතු CD, DVD හෝ Pen drive ඔබගේ පරිගණකයට ඇතුළත් කරන්නේනම් ඒවා විවෘත (Open) කිරීමට පෙර ප‍්‍රතිවයිරස මෘදුකාංගයෙන් පරීක්ෂා කිරීමෙන් (Scan from antivirus) පසුව පමණක් විවෘත (Open) කරන්න.

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔබගේ අනුදැනුමකින් තොරව ඔබවෙත පැමිණෙන දැන්වීම්, වෙබ් පිටු සහ වෙනත් කරදරකාරී පණිවුඩ (Pop ups) කිසිවකට ප‍්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. ඒවා ඔබගේ Internet Security tool එකෙන් හැකිනම් අවහිර (block) කරන්න.

සැමවිටම පරිගණකය භාවිත කිරීම සඳහා සාමාන්‍ය ගිණුමක් (General User Account) භාවිත කරන්න. මෘදුකාංග (Software) ස්ථාපනය කිරීමට පමණක් පාලක (Administrator) ගිණුම භාවිත කරන්න.

ඔබගේ පරිගණකය තවත් අයෙක් සමග හවුලේ භාවිත කරන්නේනම් එම පුද්ගලයාටද සාමාන්‍ය ගිණුමක් (General User Account) සාදා දෙන්න. එමගින් ඔබගේ තොරතුරු එම පුද්ගලයා සමග හුවමාරු වීමෙන් වැළකේ. කීපදෙනෙක් භාවිතා කරන්නේනම් සියලූ දෙනාට සාමාන්‍ය ගිණුම් පමණක් යොදාගන්න.

ඔබ පරිගණකය කිසියම් නඩත්තු/අලූත්වැඩියා (Upgrade/Repair) කටයුත්තක් සඳහා පරිගණක අලෙවිසලකට භාර දෙනවිට විශ්වාසවන්ත ස්ථානයකට භාරදෙන්න.

ඔබගේ පරිගණකය තාවකාලිකව වෙනත් අයෙකුට භාවිතය සඳහා ලබාදෙන්නේ නම් එහි ඇති සියලූ රහසිගත තොරතුරු නැවත ලබාගත නොහැකි ලෙස මකා දමා හෝ ආරක්ෂිත උපක‍්‍රම භාවිතකර ඒවා සඟවා භාවිතය සඳහා
ලබාදෙන්න.

Sunday, January 18, 2015

යහපාලනයට අත්වැල් බැදගන්නට ඔබටත් ආරාධනා.

යහපාලනයට අත්වැලක් වන්නට වෘත්තීයවේදීන් යොමුකරවා ගැනීමේ අටියෙන් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමය දිවයින පුරා ආරම්භකර ඇත.

ඔබේ අයදුම්පත්‍රය භාගත කරගන්න: http://goo.gl/IbTEie



Saturday, December 20, 2014

රට වෙනුවෙන් ජීව්තය පූජාකළ කැප්පෙටිපොළ වීරයා



මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ සදා අමරණීය වීරයෙකි. අදින් වසර එකසිය අනූහයකට (196) ප‍්‍රථම දේශය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ එතුමා, මෙම මස 26 දින සැමරීමට නියමිතය. පරදේශක්කාර ජාතියකට යටත්ව, නිවට, නියාලූ අයුරින් ජීවත් වීම මදිකමක් ලෙස සිතූ ඔහු, තම ජාතියේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය එඩිතරව පූජා කළ වීරයෙකි. එතුමා කඩුව ඔසවමින් ඌව වෙල්ලස්ස විමුක්ති සටනට නායකත්වය ලබාදෙමින් සටන මෙහෙය වූයේ, එවකට ලෝකයේ අවි ආයුධවලින් සන්නද්ධ ප‍්‍රබල යුද සේනාවක් සමඟය. ක‍්‍රි.ව 1817 සැප්තැම්බර් මාසයේ ඌව වෙල්ලස්ස විමුක්ති සටන ඇරඹුණි.

කැප්පෙටිපොළ පරපුර


කැප්පෙටිපොළ පරපුරෙහි ඉතිහාසය පිළිබඳ ජනප‍්‍රවාදයෙහි කතා කිහිපයක්ම පැවතිය ද, විශ්වාස කළ හැකි සාධක හමුවන්නේ මහනුවර යුගයෙනි. එය අවසාන සිංහල රජු වන වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය (ක‍්‍රි.ව. 1707-1739) දක්වා වූ ඈත අතීතයට දිව යයි. මෙම රජුගේ සලූවඩන පදවිය දරා ඇත්තේ කැප්පෙටිපොළ පරපුරේ ආදීම පුරුෂයෙක් වන රාජපක්ෂ වික‍්‍රමසේකර මුදියන්සේය. එම පදවියට අමතරව තමන්කඩුව, මාතලේ හා සත්කෝරලයේ දිසාපති පදවිය ද පිරිනමා තිබේ. සම්භාව්‍ය රදළ පවුලකි. සතරකෝරලයේ කැප්පෙටිපොළ උපන් ගම අතහැර මාතලේ මොණරවිලට පැමිණ තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ඉන්පසුව පැවත එන පරපුරේ නිලමේවරු කැප්පෙටිපොළ සහ මොණරවිල යන නම් දෙකෙන්ම හැදින්වීමට පටන් ගත්හ.

මාතලේ උඩසියපත්තුවේ මොණරවිල ගම පිහිටා තිබෙන්නේ උඩුගොඩ ගොලහැල ග‍්‍රාමයට සම්බන්ධවය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේගේ පියා කැප්පෙටිපොළ හෙවත් ගොලහැල නිලමේය. මව මොණරවිල කුමාරිහාමිය. පියා රාජාධි රාජසිංහ රාජ සමයේ (කි‍්‍ර.ව. 1781-1798) දියවඩන නිලමේ තනතුර හෙබ වූහ. ඔහු ශ‍්‍රී දළදා මාලිගාවේ සොල්දර තට්ටුවෙන් වැටී මියගිය බව කියැවේ. මෙතුමාට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියේය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් දියේ ගිල්වා අවාසනාවන්ත ආකාරයෙන් මරණයට පත් කරනු ලබන ඇහැලේපොළ කුමාරිහාමි මෙතුමාගේ සහෝදරී වන අතර, ඇය විවාහවී සිටියේ ඇහැලේපොළ මහනිලමේ සමගය. මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ විවාහවී සිටියේ සබරගමුවේ කුල කාන්තාවක් වූ දෙල්වල එතනා සමඟිනි.
ඔවුන්ට කැප්පෙටිපොළ ලොකු බණ්ඩා නමින් පුත‍්‍රයෙක් ද සිටියේය.  සෙංකඩගල පුරවරයේ කැප්පෙටිපොළ දිසාව සතුව වලව්වක් තිබුණේ නැත. මහනුවරට පැමිණෙන අතරමඟදී, නැවතුණේ වර්තමානයේ ඉතිරිව පවතින මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේය. එය කාමර 16 කින් යුත් සුවිශේෂී ගෘහ නිර්මාණශිල්පයේ අලංකෘත දෙමහල් ගොඩනැගිල්ලකි. සඳලූ තල දෙකකි. හය වැනි පරම්පරාවේ මිණිබිරියක් වන ධනංජනී මොණරවිල කැප්පෙටිපොළ මහත්මිය තම ස්වාමිපුරුෂයා සමඟ අද මෙහි ජීවත්වෙති. මහනුවර දී තම නැඟනිය (දියේ ගිල්වා මරණයට පත් කළ ඇහැලේපොළ කුමාරිහාමි) විවාහවී සිටි ඇහැළේපොළ මහාඅදිකාරම්ගේ වලව්වේ නැවතුණි.

කැප්පෙටිපොළ පරපුර පිළිබඳ තවත් කතා කිහිපයක්ම ජනප‍්‍රවාදයේ පවතී. ඉන් එකක් නම් මෙසේය. එය ශ‍්‍රී විජය රාජසිංහ රජ දවස (කි‍්‍ර.ව 1739-1749) දක්වා වූ ඈත අතීතයට දිව යයි. එදවස, සහෝදරියක සහ සහෝදරයන් දෙදෙනකුගෙන් යුත් අත්තනායක නම් එක්තරා රදළ පවුලක් සතරකෝරලයේ අඹහැර ගමෙහි සිට මහනුවරට පැමිණ සුදුහුම්පොළ ගමේ පදිංචිවී ඇත. මෙම සහෝදරිය අතිශය රූමත් ළඳකි. එක්වරක් දුටුව කෙනෙක් නැවත වරක් දැකීමට තරම් සිතෙන ආකාරයේ රූපශ්‍රීයෙන් යුක්ත විය. සහෝදරයන් ඇයව සඟවා ආරක්ෂා කර ගැනීමට කොතරම් උත්සාහ කළ ද, ඇයගේ රූමත් බව ශ‍්‍රී විජය රාජසිංහ රජතුමාට ද දැනගැනීමට ලැබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස රජතුමා ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය.

තම එකම නැඟනිය වඩුග රජකුට විවාහ කර දීමට සහෝදරයන් කැමැත්තක් දැක්වූයේ නැත. අනාගතයේ දී රජුගෙන් ඇය ආරක්ෂා කර ගත හැකි ක‍්‍රමයක් ද සොයා ගත නොහැකි විය. සහෝදරියගේ ජීවිතය නැති කරනවා හැර සිදු කළ හැකි වෙනත් විකල්පයක් ද ඔවුන්ට නොතිබිණි. අකමැත්තෙන් වුවත්, සහෝදරිය මරා දමන සොහොයුරන් දෙදෙනා මාවනැල්ල ප‍්‍රදේශයට පලාගොස් එක් අයෙක් බැද්දෙවෙල, අනෙක් සහෝදරයා කැප්පෙටිගාලෙහි ද (පසුව කැප්පෙටිපොළ ලෙස ව්‍යවහාරයට පැමිණියේය) සැඟවිණි.

එවකට මාවනැල්ල කැළෑබද ප‍්‍රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක‍්‍රි.ව 1604-1635) එනම් ක‍්‍රි.ව 1630 වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි.


මාතලේ හුලංගමුව කැප්පෙටිපොළ වලව්ව


-සිංහලයන් පාගා දමමින් සිංහලයන්ම විනාශ කිරීමට සිංහලයන් භාවිත කරන විදේශිකයන් කෙදිනක හෝ ඔබවත් විනාශ කරනු ඇත. ඔවුන් විශ්වාස නොකරන්න, මෙම දේශය අපගේය. අප මෙම දේශය ආරක්ෂා කර නොගතහොත් පාපයකි. එමනිසා පෘතුගීසීන් පරාජය කිරීමට සහාය වන්න’’ යනුවෙනි.
මෙම හසුන්පත ලැබීමත් සමඟ ඔහුගේ දේශපේ‍්‍රමීත්වය මතුව ආවේය. දින කිහිපයක් ගත විය. පෘතුගීසි නිලධාරියකුගේ හිසක් රජතුමා වෙත යවන ලදී. ඒ තමන් රජුට සහාය වන බව දැන්වීමටය. පසුව සෙනරත් රජතුමා සමඟ එක්වී පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දේශය ඔවුන්ගෙන් මුදාගන්නා ලදී. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් -වික‍්‍රමසිංහ කුලතුංග” නාමයත්, ඌවේ පිහිටි කටුගහ වලව්ව සහ එය අවට පිහිටි ඉඩම් නින්දගම් වශයෙන් ඔහුට පිරිනමා තිබේ.  

උඩරට පාලනය බි‍්‍රතාන්‍යයන්ට හිමිවූ පසු ඒ වන විට ඉංග‍්‍රීසීන් විසින් හජ්ý මුහන්දිරම් කෙනෙක් වෙල්ලස්ස පාලනය සඳහා පත්කර තිබුණි. සිංහලයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැත. රදළ නායකයන්ට වඩා මෙම තත්ත්වය බෙහෙවින් දැනෙන්නට පටන් ගත්තේ සාමාන්‍ය මහජනතාවටය. සිය නායකයන් කළ වැරැුද්ද අවබෝධ කරගත් කිවුළේ ගෙදර, කොහු කුඹුරේ, ඇහැලේපොළ, ඉහගම ආදීහු ප‍්‍රමුඛත්වය ගත්හ. කැප්පෙටිපොළ දිසාව ද මෙයට රහසින් ආධාර කළේ අවස්ථාව ලද වහාම සම්බන්ධවීමේ අදහසිනි. (මේ බව ලූතිතන් ටි්‍යුලොක් කැප්පෙටිපොළ පවුලේ අය සිර භාරයට ගෙන දේපළ රාජසන්තක කළ අවස්ථාවේ දී, එහි පෙට්ටගමක තිබී හමු වූ ලිපි නිසාය. මේ බව ආණ්ඩුකාර බ‍්‍රවුන්රිග් විසින් යටත් විජිත භාර ලේකම්වරයාට යවන ලද වාර්තාවල සඳහන් වේ*. -දොරේසාමී” (විල්බාව ගමේ උපත ලබා ඇති සිවුරු හල (හීරලවකු) කෙනෙකි) නම් වූ අමුත්තෙකු වෙල්ලස්සේ කොකාගල නම් ගමට පැමිණෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඔහු පැමිණියේ තනිවම නොවේ. භික්ෂූන්වහන්සේ අටනමක් ද සමඟය.




වෛද්‍ය හෙන්රි මාෂල්ගේ සටහනට අනුව මේ බව බදුල්ලේ උපරෙසිඩන්ට් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ට දැන ගැනීමට ලැබෙන්නේ ක‍්‍රි.ව 1817 ඔක්තෝම්බර් මස 10 වෙනි දිනදීය. දොරේසාමි අල්ලාගෙන ඒමේ වගකීම පැවරෙන්නේ හජ්ජි මුහන්දිරම්ටය. හජ්ජි තම සොහොයුරා සහ වෙල්ලස්සේ මරක්කල මිනිසුන් කිහිපදෙනකු සමඟ පිටත් විය. වෙල්ලස්සේ කඩවතට පැමිණි හජ්ජි ඇතුඵ පිරිසට සිංහලයන් කණ්ඩායමක් ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කළ අතර, ඔවුන්ගෙන් හතර දෙනකු අල්ලාගෙන බදුල්ලට යැවීය. මේ බව ආරංචි වූ වෙල්ලස්සේ සිංහල තරුණයන් පිරිසක් දුනු හී අතැතිව ඉදිරියට පැමිණෙමින් සිටින හජ්ජිගේ සොහොයුරාට තුවාල කර හජ්ජි අල්ලා ගත්හ. හජ්ජිගේ පිරිසෙන් කිහිප දෙනෙක් බදුල්ලට පළා ගියහ. 12 වැනි දින මෙම පුවත බදුල්ලට දැන ගැනීමට ලැබුු අතර, 14 දින උපරෙසිඩන්ට් විල්සන් සහ ලයිතන් නිව්මන් යටතේ ජා හේවා කණ්ඩායමක් සමඟ භාෂා පරිවර්තකයකු සහ දේශීය භටයෝ කිහිප දෙනෙකු ද වෙල්ලස්සට පිටත් වූහ. ඔවුහු පළමු රැුය අලූපොත ද, දෙවැනි දවසේ වෛනවැල්ලට ද ගොස් බුත්තල රාත‍්‍රිය ගත කළහ. පසුවදා සිංහල භට පිරිස් සමඟ සාකච්ජා කිරීමට උත්සාහ කළ ද, ප‍්‍රතිඵල රහිත ක‍්‍රියාවක් විය. ඒ ඔවුන් සිංහල ජාතියට බොහෝ කෙණහිළිකම් කර තිබූ නිසාය.

ඒ වන විට වෙල්ලස්සේ අතිදක්ෂ දුනු හේවායකු වූ මීගහපිටිය වලව්වේ හිටිහාමි රටේරාළගේ නායකත්වයෙන් යුත් භට පිරිසක් ඉංග‍්‍රීසින් වටකර සිටියේය. එකවරට කැලෑව දෙසින් ඉංග‍්‍රීසීන් වෙත පැමිණියේ ඊ වර්ෂාවකි. හිටිහාමි රටේරාළගේ ඉලක්කය විල්සන් වෙතය. තවත් මොහොතකින් විල්සන් ඇතුඵ කිහිප දෙනෙක් මැරී ඇද වැටුණි.

මොණරවිල කැප්පෙටිපොළ දිසාව සටනට එක්වීම

වෙල්ලස්සේ දිසාව ලෙස එවකට පත්කර සිටියේ මහලූ වයසේ පසු වූ මිල්ලවය. මහලූව සිටීම පමණක් නොව රෝගාබාධව සිටි නිසා රාජකාරී නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් විය. මේ නිසා මෙම දිසාව ද, ඌවේ දිසාව යටතට පත් කරන ලදී. මේ වන විට ඌව දිසාවේ ලෙස පත්ව සිටියේ මොණරවිල කැප්පෙටිපොළ නිලමේය. බදුල්ලේ අණදෙන නිලධාරී මේජර් මැක්ඩොනල්ඞ්ගේ අනුමැතිය ඇතිව වෙල්ලස්ස පළාත සමතයකට පත් කිරීමේ වගකීම කැප්පෙටිපොළට පවරා ඔහුගේ අතවැස්සන් දොළොස් දෙනකුට තුවක්කුව බැගින් හා වෙඩි බෙහෙත් ලබා දුන්න ද, යුද හමුදාවක් රැුගෙන ගියේ නැත. එහෙත් පරම්පරා ගණනාවක සිට පැවත එන ශ්‍රේෂ්ඨ යුද බෙර වයන්නකු වූ තිත්තවෙල මහ පනික්කියා ද ඔහු සමඟ ගියේය.

ක‍්‍රි.ව 1817 නෙවැම්බර් මස 01 දින කැප්පෙටිපොළ මහ නිලමේට අඵපොතදී කොහුකුඹුරේ රටේරාළ ඇතූඵ සටන් පිරිස හමුවිය. සටන් සංවිධානය කොහුකුඹුරේ රටේරාළ භාරයේ පැවති අතර, පිලිමතලව්වේ අධිකාරම, මඩුගල්ලේ දිසාව හා කිවුලේගෙදර මොහොට්ටාල සටන් පෙරමුණේ වූහ. මෙය අහම්බයෙන් සිදුවූවක් නොවේ. කලින් යොදාගත් සැළැස්මක් ක‍්‍රියාත්මක වීමකි. එහෙත් ඒ බව පෙන්වීමට රටේරාළ කැමති වූයේ නැත.

”අපේ රට මෙතෙක් දවස් අඳුරේ තිබුණත්, දැන් සූර්ය දිව්‍ය රාජයාට සමාන රජ කෙනෙක් පහළවී සිටිනවා. එතුමා කෙරේ විශ්වාසය ඇතිනම් අප හා එකතු වෙන්න. නැතිනම් ඔබ මෙතැනදීම මරා දමා හිස රජතුමා ළගට රැගෙන යනවා..” රටේරාළ පැවසීය.
 ”රජතුමා කෙරෙහි මගේ විශ්වාසයක් නැතිනම්.. මම එන්නේ හේවායන් සමඟයි.. හිතවත් කෙනෙක් හැටියටයි මම ආවේ”.. යැයි කැප්පෙටිපොළ නිලමේ පිළිතුරු ලබා දුන්නේය. ඒ වන විට කැප්පෙටිපොළට පක්ෂපාත පිරිස පන්දහසක් පමණ වූහ. රටේරාළ සතුව සිටියේ දෙසිය පනහක පමණ පිරිසකි.. මේ නිසා කැප්පෙටිපොළ නිලමේට අවශ්‍යතාවක් තිබුණා නම්, බේරී පළා යාමට පවා ඉඩ තිබුණි. එහෙත් එසේ නොකර, සිංහල විමුක්කි සේනාවට එක්වූ කැප්පෙටිපොළ නිලමේ, ඔහු සමඟ පැමිණි ඉංග‍්‍රීසී හේවා පිරිසේ කිසිවකුටවත් කිසිදු ආකාරයෙන් හිංසා නොකර ඔවුන්ගේ අවි ආයුධ ද සමඟ ආණ්ඩුකාරයා වෙත පිටත් කර යවන ලද්දේ මහත්මා ගතිගුණ පෙන්වමිනි.

මොණරවිල කැප්පෙටිපොළ මේ ආකාරයෙන් සිංහල සේනාවට එක්වීමත් සමඟ සටන් පෙරමුණේ නායකත්වය ඔහුට හිමි විය. මේ බව දැනගත් රොබට් බ‍්‍රවුන්රිග් කෝපයෙන් වියරු වැටුණි. බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව සටන් වැද සිටින සිංහල රණකාමීන්ගේ දේපළ රාජසන්තක කළේය. එපමණකින් සෑහීමකට පත් නොවූ ඔහු සංග‍්‍රාමික උපක‍්‍රමයක් වූ -බිම්පාඵ ප‍්‍රතිපත්තිය” ක‍්‍රියාත්මක කරමින් කෙත්වතු, ධාන්‍ය ගබඩා ගිනිතබා විනාශ කරන ලෙස මේජර් මැක්ඩොනල්ඞ් ඇතුඵ හමුදා නායකයන්ට උපදෙස් දුන්නේය. ඉංග‍්‍රීසි හා කුලී හේවායෝ සිංහලයන් සතු කෙත්වතු, ගෙවල් දොරවල්, ගව සම්පත කොල්ලකෑමෙන් නොනැවතී ගිනි තබා විනාශ කළහ. සටන ඉන් මර්දනය වූයේ නැත. තවත් උග‍්‍ර අතට හැරුණි. ඌව වෙල්ලස්සින් ඇරඹි සටන කන්ද උඩරට දක්වා ව්‍යාප්ත විය.  ඌව වෙල්ලස්සෙන් කි‍්‍ර.ව 1817 සැප්තැම්බර් මාසයේ ආරම්භ කළ සටන 1818 පෙබරවාරි මාසය වන විට බින්තැන්න, වලපනේ, දුම්බර හේවාහැට, හත්කෝරළේ, හාරිස්පත්තුව, මාතලේ, නුවර කලාවිය හා සබරගමුවේ එක් කොටසක් පුරා පැතිර ගියේය.

ඉංගී‍්‍රසීන්ට කන්ද උඩරටින් පිටවීමට නියෝග කෙරේ


කැරැල්ලට සම්බන්ධ සියලූම සිංහලයන් රාජද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කරන මෙන් ප‍්‍රකාශයට පත් කළහ. මොණරවිල කැප්පෙටිපොළ ඌවේ දිසාව ඇතුඵ දහතුන් දෙනෙක් ප‍්‍රධාන රාජද්‍රෝහීන් ලෙස නම් කරමින්, ඔවුන් සතු දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළේය. එහෙත් සිංහලයන්ගේ විමුක්ති සටන පාලනය කිරීමට ඉංග‍්‍රීසි හේවායෝ අසමත් වූහ. ඉංග‍්‍රීසීන්ට උඩරටින් ඉවත් වන්නට සිදුවන තත්ත්වයක් ඇති විය. බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාගෙන් සහ ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙන් අමතර හේවා බළඇණි සමඟ යුද අවිද ඉල්ලා සිටියහ. ඒ සමඟම මෙම නිදහස් සටනේ නායකයා වූ කැප්පෙටිපොළ අල්ලා දුන් කෙනකුට තාර්කා පගෝදි 2000 ක් ගෙවන බවට ප‍්‍රසිද්ධ වුණි.

පෙබරවාරි, මාර්තු ඉතාමත් දරුණු ආකාරයෙන් සටන් පැවති කාලයකි. තම හමුදා සේනාංක ඉවත් කර ගන්නා මෙන් යටත් විජිතභාර ලේකම් මෙරට ආණ්ඩුකාරවරයාට නියෝග කළේය. එහෙත් එම නියෝගය ලැබුණේ සතියක කාලයක් ප‍්‍රමාද වීමෙනි. එම ප‍්‍රමාදය අතර කාලයේ බලාපොරොත්තු රහිත ලෙස ඉන්දියාවෙන් හමුදාවක් පැමිණියේ ඉංග‍්‍රීසින්ගේ වාසනාවටය. ඉන් ඉංග‍්‍රීසින් දිරිමත් විය. මාස කිහිපයක් සටන් පැවතිණි. ඉංග‍්‍රීසින්ගේ මිලේච්ජ ක‍්‍රියා පමණක් නොව ආහාර, අවි ආයුධ හිඟකම ද සටන අඩාළ වීමට බලපෑවේය. මෙවන් කි‍්‍රයා සිදුවන අතරතුර කැප්පෙටිපොළ දිසාව අසනීපයෙන් පසුවිය. පෙරමුණ ගත් නායකයෝ එකිනෙකා ඇද වැටෙමින් මරු වැළඳ ගත්හ. සමහර නායකයන් ඉංග‍්‍රීසින් සිර භාරයට පත්විය. මෙවන් අයහපත් වාතාවරණයක් මධ්‍යයේ වුවද, කැප්පෙටිපොළ මහනිලමේ සටන අත්හැරියේ නැත.




ජෝන් ඩොයිලිට තොරතුරු සැපයූ උඩුගම උන්නාන්සේ නැමැති දුසිල්වත් සාමණේරයාණන්ගෙන් ලබාගත් ඔත්තුවකට අනුව, තමා සමඟ විල්බාවේ පන්සලේ වාසය කළ සිවුරු හැරගිය භික්ෂුවක්, දොරේසාමී නමින් රජෙකු ලෙස පෙනී සිටින බව පැවසීය. බ‍්‍රවුන්රිග් මේ බව ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කැප්පෙටිපොළ මහනිලමේ සහ අභිනව රජතුමා (දොරේසාමී) කණිෂ්ඨ පිළිමතලව්වේ ඇතුඵ රදළ නායකයන් විසින් සිරභාරයට ගන්නා ලද්දේ විල්බාවේ රදළයෙකු නොවන නිසා ඔහුට රජ වීමට අනුබල දුන් බව පවසමිනි. සැබවින්ම කැප්පෙටිපොළ ඒ බව දැන සිටියේ නැත. ඒ අතරේ පිළිමතලව්වේ ඩොයිලි සමඟ රහසේ සාකච්ජාවක් පැවතුණි. ඒ, කැප්පෙටිපොළ ඉංග‍්‍රීසින්ට භාරදී මහඅදිකාරම් තනතුර සහ නැති වූ දේපළ ලබා ගැනීමේ අරමුණෙනි. මෙවන් සාකච්ජා පවතින අතරතුරේ කැප්පෙටිපොළ සහ විල්බාවේ ඔවුන්ගෙන් මිදී පලාගොස් නුවර කලාවියේ, පරවහගම වලව්වේ නැවතුණි. මේ නිසා පිළිමතලව්ව සහ ඩොයිලි අතර පැවති සාකච්ජා අසාර්ථක විය.

නැවතත් පිළිමතලව්වට, කැප්පෙටිපොළ නිලමේ සොයා යාමට සිදුවිය. එහෙත් සිංහල ජාතියේ අවාසනාවට -ජා” පොට්ටනි වෙළෙන්දකු ලබාදුන් ඔත්තුවක් නිසා පරවහගම වලව්වෙහිදී ඔවූහු සියලූ දෙන ඉංග‍්‍රීසින්ගේ අත්අඩංගුවට පත්වූහ. (ජා වෙළෙන්දාගේ ඉල්ලීම පරිදි ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා, ඔහුගේ ආගම ඇදහීම සඳහා පල්ලියක් ඉදිකිරීමට, මහනුවර බෝගම්බර භූමියේ පර්චස් කිහිපයක ඉඩමක් ලබා දුන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ -කිරිමුහුදට” පහළින් අක්කරයක පමණ ප‍්‍රදේශයක පිහිටා ඇත්තේ එම පල්ලිය වේ.)

පරවහගම වලව්වේ කැප්පෙටිපොළ දිසාව පමණක් නොව, තවත් නායකයෝ රැසක් ද සිටියහ. මඩුගල්ලේ දිසාව ඇතුඵ සටන් පෙරමුණේ නායකයන් රැුසකට සැඟවී පළා යාමට අවස්ථාව ලබා දුන් මෙම වීරයා, ඒ වන විට ඔත්පලව ලෙඩ ඇඳේ වැතීරි සිටි පිළිමතලව්වේ තනිකර දමා නිවටයකු ලෙසින් පළා ගියේ නැත. ලූතිනන්  ඕනිල් වලව්වට ඇතුඵවන විටම.. -මා තමා කැප්පෙටිපොළ” යනුවෙන් උස් හඩින් පවසමින් ඔහු ඉදිරියට ගියේය. ඔවුන් අත්අඩංගුවට ගෙන දැඩි ආරක්ෂාව යටතේ මහනුවරට ගෙන ආවේය. නොවැම්බර් දෙවැනි දින ඇළහැර දී මඩුගල්ලේ දිසාව ද ඉංග‍්‍රීසීන්ට හසුවිය.

නොවැම්බර් මස 13 වැනි දින යුද අධිකරණයක් ඉදිරියට කැඳවා මෙම වීරයන්ට මරණ දඬුවම ලබාදුන්හ. එය ක‍්‍රියාත්මක කරන ලද්දේ ක‍්‍රි.ව 1818 නොවැම්බර් මස 26 දින බෝගම්බරදීය. උදේ පෙරවරු 0800 බෝගම්බර වධක භූමියට කැඳවාගෙන පැමිණි කැප්පෙටිපොළ සහ මඩුගල්ල දිසාව අවසන් ගමන් ගියේ සෙංකඩගල පුරවරයම හඬවමිනි. ඔවුන්ගේ දේහ බෝගම්බර වැව් ඉවුරේ භූමදානය කරනු ලැබීය. මොණරවිල කැප්පෙටිපොළ වීරයකු වන්නේ ඌව වෙල්්ලස්ස සටන මෙහෙයවීම නිසාම පමණක් නොවේ. එයට නායකත්වය ලබාදෙමින් විදේශීකයන්ගෙන් තම රට මුදා ගැනීමට කළ උදාර මෙහෙය වෙනුවෙන් කනගාටුවෙමින් සමාව නොගත් බැවිනි.

එදා රජයේ ගැසට් පත‍්‍රයේ මෙසේ සඳහන් විය. -මොණරවිල කැප්පෙටිපොළ දිසාව වීරයකු ලෙස සන්සුන්ව හැසිරුණේය. ජාතිය වෙනුවෙන් තමා ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා යන හැඟීමෙන් යුතුව මරණයට මුහුණ දුන්නේය” යනුවෙනි.  කැප්පෙටිපොළ මහනිලමේ මරණයට පත් කිරීමට ප‍්‍රථමව ඉතා රහසිගතව බිරිඳ වූ දෙල්වල කුමාරිහාමිට අවසාන කැමැත්ත දන්වා යවන ලදී. එහි සඳහන් කර තිබුණේ කැප්පෙටිපොළ වලව්ව සහ හැටපස් අමුණක ඉඩම් ද, සඟ සතුකර පූජා කරන ලෙසත්, කුමාරිහාමිට සහ තම දරුවාට සිය මව්පියන් වෙත ගොස් ජීවත්වන ලෙසත්ය. වර්තමානයේ මාවනැල්ලේ කැප්පෙටිපොළ විහාරය නමින් හඳුන්වන්නේ එයයි. ඒ වන විටත් තම මොණරවිල ගමට ආසන්නයේ (පල්ලේපොළ) විහාරස්ථානයක් ඉදිකර සංඝරත්නයට පූජා කර තිබේ. එය පල්ලේපොළ වේළුවන පිරිවෙන ලෙස හැදින්වේ.

කැප්පෙටිපොළ වීරයා එඩිතර විලාසයෙන් මරණයට මුහුණ දුන් ආකාරය විශ්මය දනවන්නකි. එබැවින්, ඔහුගේ හිස පරීක්ෂණයකට ලක් කිරීම සඳහා එංගලන්තයට රැගෙන යාමට දොස්තර හෙන්රි මාෂල් අවසර ලබා ගත්තේය. ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ කපාල වස්තු විද්‍යාඥයින් එම හිස් කබල පරීක්ෂා කිරීමෙන් පසු නිගමනය කළේ -කැප්පෙටිපොළ මහනිලමේ ලෝකයේ අතිශයින් විරල ගනයේ රණශූරයෙක්” බවය. පසුව එඩින්බරෝ නගරයේ කපාල ලක්ෂණ විද්‍යා සංගමයේ කෞතුකාගාරයට කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමත් සමඟ ආපසු අපට ලැබුණ ද මහනුවර දළදා මාළිගා භූමියේ කි‍්‍ර.ව 1954 නොවැම්බර් මස 26 දින භූමදානය කර ඇත. එහෙත් ඒ ගැන විවිධ මත පළවෙමින් පවතී. බොහෝ දෙනකුගේ අදහස වනුයේ එය මතු පරපුරට දැක ගැනීම සඳහා මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කළා නම් වඩාත් සුදුසු බවය.

ස්තුතිය- මහනුවර උලූක්කොණ්ඬේ නීිතිඥ අබේරත්න බණ්ඩාර කන්දේගම, මාතලේ, හුලංගමුව කැප්පෙටිපොළ මහ වලව්වේ ධනරංජනී මොණරවිල කැප්පෙටිපොළ සහ වින්සර් හුලංගමුව යන මහත්ම මහත්මීන්ටය.


Thursday, September 11, 2014

රාවණ රජුගේ සටන් ක‍්‍රම රාවණ රජු යළි නැගිටියි



රාවණ රජු දක්‍ෂ සටන්කාමියෙකි. පහර දීමට හා පහරින් බේරීමට අපූරු ශිල්ප දැන සිටියෙකි. රාවණ පරපුරින් එන අගනා සටන් ක‍්‍රමයක් ලෙස අංගම් ශාස්ත‍්‍රය දැක්විය හැකිය. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ ආදිතමයෙකි.

කරාටේ, කුංග්ෆු ආදී සටන් ක‍්‍රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත‍්‍රය පෙරමුණේ සිටි06-page2-S2-4යි. එය දේශීය සටන් ක‍්‍රමයකි. අනුන්ගේ දෙයක් ඉගෙනීමට වඩා රාවණ රජ සමයේ පටන් එන අංගම් ශාස්ත‍්‍රය අපේ දරුවන් ප‍්‍රගුණ කළ යුතුය. අද එහි සෑහෙන අඩු ලූහුඬුකම් තිබුණත් ආරක්‍ෂාවී පැවැතීම ගැන සතුටක් දැනවිය යුතුය.

රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී මන්ත‍්‍ර හා කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇත. කඩුවලින්, පොලූ මුඟුරුවලින් සටන් කිරීම, පොරබඳා ගැනීම, දියල්ල නියම අංගම් ශාස්ත‍්‍රයේ නැත. පොර බැදීම පුරාණ අංගම් ශාස්ත‍්‍රයේ නැති අතර එය වෙනම ක‍්‍රීඩාවකි. ”ගුස්ති” තවත් ක‍්‍රීඩාවකි. ”සේලම්බරම්” තවත් ක‍්‍රීඩාවකි. මේ සියල්ල එකතුකරගෙන ”අච්චාරුවක්” කරගත් ක‍්‍රීඩාවක් අද අංගම් හැටියට තිබේ.



රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී ප‍්‍රබල මන්ත‍්‍ර භාවිත කර ඇත. එසේම පහර දෙන පුද්ගලයාගේ බර කිලෝ 70 ක් නම් එම සම්පූර්ණ බර අනෙකා වෙත ක්‍ෂණිකව ලබා දෙමින් පහර එල්ල කරයි. ඒ අයුරින්ම රාවණ රජතුමා ද නිලවලට අංගම් පහර ගැසීම වඩා හොඳින් කර ඇත. ”අංගම්” යනු ක‍්‍රීඩාවක් හෝ සෙල්ලමක් නොවේ. එය පුරාණයේ සිට පැවතියේ පහර ලබන්නා අතිශය දුර්වල කිරීම සඳහාය.


පහර කන්නාට නියම අංගම් පහරක් වැදුණොත් එක්කෝ පිස්සු වැටෙයි. නැත්නම් පැය කීපයකින්, දින තුනෙන්, දින හතෙන්, මාස තුනෙන් ආදී වශයෙන් මරණයට පත්වේවි. නැත්නම් රෝගීව දුක් විඳියි.

අංගම් ප‍්‍රහාරය දෙන ස්ථාන හා ක‍්‍රම ද තිබේ. වැළමිටෙන් ඔළුවේ නිලයකට පහරදීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එවැනි පහරක් නිවැරදිව එල්ල වුවහොත් එය වෛද්‍යවරයෙකුට ද සුවකළ නොහැක්කකි. කකුලේ මහපට ඇඟිල්ලට ඉලක්කය ගෙන උඩපැන යටි තල්ලට පහර එල්ල කළ විට ප‍්‍රහාරය සාර්ථක නම් හිස කදින් වෙන්වේ. ප‍්‍රහාරය අසාර්ථක වුවහොත් මරණය හෝ, දැඩි අසාධ්‍ය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි ප‍්‍රහාර කීපයක් පුරාණ සාහිත්‍ය කෘතිවල සඳහන්වේ.ගෝඨයිම්බර යෝධයා සහ මහාසෝන යෝධයා අතර ඇතිවූ සටන අංගම් ශාස්ත‍්‍රයේ විශේෂ තැනකි. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට මහාසෝන කළ විහිලූවක් නිසා සටනක් ඇවිළිනි. එම සටනේ දී ගෝඨයිම්බර උඩ පැන මහාසෝනගේ නිකට වෙත කකුලේ මහපටැඟිල්ලෙන් ප‍්‍රහාරය එල්ල කළේය. එයින්ම මහාසෝනගේ හිස ගැලවිනි. නමුත් මෙවැනි ප‍්‍රහාර අංගම් ප‍්‍රදර්ශනවලට ඇතුළත් කරන්නේ නැත.

රාවණ රජුගේ සමයේ අංගම් සංචිතයක් තිබිණි. එය ”අංගම්” සටනට හැකියාව ඇතියවුන්ගෙන් තැනූවකි. රාවණ රජතුමාගේ අංගම්කරුවන්ට සහාය ලැබුණ ද පසු කාලීන විභීෂණ ආදී රජවරුන්ගෙන් අංගම් සංචිතයට සැලකිල්ලක් ලැබුණේ නැත. එමනිසා අංගම් සංචිත පරපුර දකුණු ඉන්දියාවට ගියේය.



මේ අය පසුව දකුණු ඉන්දියාවේ කුලයක් බවට පත්විණ. ඒ ”අගම්පුඩියර්” නම් විය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමුවැනි විජයබාහු රජතුමා අතීතය හාරාඅවුස්සා බලා ලංකාවෙන් ගිය අංගම් සංචිතය (අගම්පුඩියර් කුලය* ලක්දිවට ගෙන්වා ගත්තේය. ඔවුන්ට ගම්බිම් ද ප‍්‍රදානය කළේය. මොවුහු අංගම් ශාස්ත‍්‍රයට ගුස්ති ආදී අංග ද එකතුකර සංවර්ධනය කරවාගෙන සිටියෝය. එදා මේ කුල ජනයා පදිංචි කළේ පුරාණ වැලිතොටය. අද එය දකුණේ බලපිටියය.
මීට වසර සිය ගණනකට පසු චන්ද්‍රභානු නමින් ”ජා” ජාතික රජෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාව ආක‍්‍රමණය පිණිස සේනා සහිතව පැමිණියෙකි. එදා ලංකාවේ සිටි රජු වැලිතොටහි සිටි ”අගම්පුඩියර්” කුලයට ”ජා” රජු පරදවන්නට උපදෙස් දී ඇත.




එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි. ශක්තිය බලය පෙන්වූ තැනක් වීම ඊට හේතුවයි. රාවණ පරපුරෙන් පැවත එන ”අගම්පුඩි” කුලයේ ජනතාව දැනුදු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙති. දැනටත් මොවුන් දුටුවිට සාමාන්‍ය වැසියකුට වඩා ශරීරාංගවලින්ම සටන්කාමී බවක් පෙනේ. ”අගම්පුඩියර්” තරුණයකු බව හඳුනා ගත හැකිය. කායවර්ධන මධ්‍යස්ථානවලින් හදාගත් ශරීරයට වඩා වෙනස්ම වූ ආවේණික සටන්කාමී ලක්‍ෂණ සහිත ශරීර අංග බළපිටියේ අංගම් ශාස්ත‍්‍රයට නෑකමැත්තන් සතුව තිබේ.



රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.


රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි.
ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි.

වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ.

කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි. ඔහු රාවණ හමුවට ආවේ ගියේ රෝද සතරක වාහනයකින් බව කියයි. මේ රෝද සතර යකඩ රෝද විය. මේ වාහනයට අගනා එංජිමක් ද තිබුණු අතර සූර්ය බල ශක්තියෙන් එය ගමන් කරවා ඇත. මේ රාවණ කතා පුවත් පුස්කොළ පොතෙහි දැක්වෙන අගනා කතාවකි.

මෙම ප‍්‍රවෘත්තියට අනුව රෝද සතරේ වාහනවල ආරම්භය රාවණ යුගයද? රෝද සතරේ වාහනය ලෝකය හමුවට ආවේ ලංකාවෙන්ද? යන ප‍්‍රශ්නයට නව ප‍්‍රවිෂ්ඨයක් ගත හැකිය.





අද ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ වාහන නිෂ්පාදනය කෙරුණ ද රාවණ යුගයේ ලංකාවේ වාහන නිෂ්පාදනය සිදුවන්නට ඇති බව නිගමනයකට ආ හැකිය. රාවණ රජුගේ කාර රාක්‍ෂයා පමණක් එම විශේෂ වාහනයෙන් පැමිණි බව විස්තර වේ.

විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි.
එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ.

කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත.


දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය.

එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ  ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත  යුතුය.
ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.




2014 සැප්තැම්බර් මස 09 18:25:42 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/261733

Tuesday, July 29, 2014

මහියංගණ පුද බිමට අඩි 84 බුදු රුවක්


බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ  අවස්ථාව නිරූපණය කරමින් මහියංගණය පුද බිමේ ඉදිවන  අඩි  84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තුන්වැනි අදියර සඳහා අද(23) මුල්ගල් තැබිණි.
මහියංගණය රාජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ ද මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පැමිණි විශේෂ අමුත්තන් ඓතිහාසික මියුගුණ සෑයට කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නය ප්‍රතිමා වහන්සේ ඉදිකරන  මහියංගණය විල්ලුව වැව  අසළට පෙරහැරින් වැඩම කරවා දම්සක් පැවතුම් සුත්‍රය මධ්‍යයේ බුදුරුවට මුල්ගල් තැබුහ.

මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සමාජිකයිනගේ එකමුතුවෙන් ඇරඹු මෙහි මුළු වියදම ලක්ෂ 300 පමණ වෙතැයි  මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි
www.methsaviya.org / www.methsaviya.lk යන වෙබ් අඩවි මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.
2014 ජූලි මස 23 21:55:01 | විශ්ව ගැමුණු ප්‍රියංකර
http://www.lankadeepa.lk/index.php/articles/252097






රාවණා රජු යළි නැගිටී



ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක‍්‍රමවේද කෝ. බරපතල ප‍්‍රශ්නාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ.

ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.

විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම-රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරාවෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජනසමාජයක් තිබුූ බව ඉතා පැහැදිලිය.

විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහිලා පුරෝගාමි මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා හඳුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ‘‘හාරා’’ ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.

ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ජා වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප‍්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැුන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳහිට සුළි සුළං, නාය යෑම් ගංවතුර රාවණගේ වුවමනාවට සිදුවන බවත් ඔහු පවසයි.

මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනකුට පුදුමය උපදවනු ඇත. සමහරු ‘‘අපි දන්නේ මොනවාදැයි’’

හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැුන්ඩෝට පිස්සු යැයිද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.

ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගලදී උපන් මිරැන්ඩෝගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්‍යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.

ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ශාස්ත‍්‍රපති උපාධි ලබා ඇති මිරැුන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙසද, කථිකාචාර්ය වරයෙක් ලෙසද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූවෙකි.




රාවණ රජු සීතා කුමරිය පැහැර ගෙන ඒම.

කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මඟින් මහාචාර්ය සම්මානයද මිරැුන්ඩෝ ඔබේසේකරට පිරිනමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ටාචාරය, පෘතුගීසි ආක‍්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත‍්‍රිකයෝ, දේව ගෝති‍්‍රකයෝ, නාග ගෝත‍්‍රිකයෝ, ආදී පොත් 54 කට වැඩි ප‍්‍රමාණයක් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහිලා ලියමි.


හැබෑවටම රාවණ යනු කවුද?


රාවණ රජුගේ කොඩිය.
මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් සෘෂිවරයකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති සෘෂිවරයාය. පුලස්ති සෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදුවූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර හැටියට හඳුනනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිගාව වූයේ වර්තමාන සීගිරියයි. අද සීගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිගාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහුවෙකි.

ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාෂ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශනයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.

කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජ කම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.

කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.

විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජකළ සුමාලින් රජු මෙකල සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම අධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.

දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත‍්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.

පිය රජුගේ උපදෙස් පිට කේශිණී කුමාරිය විශ‍්‍රාවස් මුනිගේ තාපස ශීලය බිඳීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් සීල ව‍්‍රතයක යෙදී සිටී දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.
සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇඳුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනීති.) මේ සිදුවීමෙන් පසු කේශිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.

‘‘ඔබ කවුද....?’’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි’ ඇය කියාගෙන ගියාය. මෙහිදී මුලින්ම විශ‍්‍රාවස් මුණි කේෂිණී නහවා පිරිසුදු  කළ බව කියැවේ.

කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණුදිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ‘‘කන්‍යා’’ යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.
විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසුදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.

රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත‍්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුද ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප‍්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප‍්‍රමාණයක් ලක්දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණාරජු විසින් කුවේර රජුගෙන් පැහැරගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස්මහත් වී කුවේරට පහර දී සීගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමුවී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජකම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත‍්‍රික හමුදාවක් රාවණට උදවු විණ.

මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත‍්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි)


රාම - රාවණ සටන.


ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිගා කීපයක් තිබුණු බව කියැවේ. නුවරඑළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද, ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිගාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප‍්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය රාවණ රජු තම වහල් සේවයට  එරිති‍්‍රයාව, දකුණු අප‍්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුලී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.
ආචාර්ය මිරැුන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදුවූයේ කෙසේද? මම විමසුවෙමි.

රාමxරාවණ යුද්ධයේදී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ජාවට පත්විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ජාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහකුඩුගල කන්දේ පොළොව යට උමං මාළිගාවකය. සිහි මූර්ජාවී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබුහ. එසේ පුද පුජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමිවේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත්වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප‍්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හඳුනා ගත හැකිය.

මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත්වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහිමුර්ජාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළොවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.

රාවණ රජු දැන් දෙවිකෙනෙක් හා සමවේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරිසරයි රාවණ රජු වෙස් වලා සැම තැන ඇවිදියි.

ගොවියකු ලෙස, සාමාන්‍ය මිනිසකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අඟල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.

ආජන්ටිනා ජාතිකයකුගේ ශරීර ලක්ෂණයන්ට සමානවේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කාකොටා ගැණීමේ ප‍්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.


2014 ජූලි මස 23 16:53:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/252016

Search This Blog