Monday, October 29, 2012

හිතුමතේට කැබිලිත්තට පුජා තියන්න ගිහින් හිස් අතින් අපහු එයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35


අගනුවරට ආසන්න ප‍්‍රදේශයක පදිංචි තරුණ විය ඉක්මවු තුන්හතර දෙනෙක් මීට සති කිහිපයකට පෙර හැන්දෑ වරුවේ එක්තරා ස්ථානයකදි සුහද කතා බහක යෙදුනි. අවන්හලක් වු එම ස්ථානයට එක්වු මේ පිරිසේ අදහස වී තිබුණේ කෙසේ හෝ මහකැබැලිත්ත දේවාලයට ගොස් පූජාවක් පැවැත්වීමයි.

‘‘මහකැබිලිත්තේ අනුහස් තියනවලූ. කොහොමහරි අපි පුජාවක් තියලා ආවොත් ගොඬේගොඩ. දැන් බලපං මේ කරන කියන වැඩ වලින් බේරෙන්න එක එකාට අපි කොච්චරනම් දෙනවාද? දෙන්න දෙන්න උන් අපි පස්සෙමයි. පොඞ්ඩ වැරදුනොත් අපව කොටුකරන්නමයි උත්සාහය. අපිත් ගිහිං ලොකුවට පුජාවක් තියලා එමු.’’ පිරිස අතරින් කෙනකු කීවේ ඔවුන්ගේ ව්‍යාපාරය කුමක්ද යන්න ඉගියෙන් හෙළි කරමිනි.
කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තේ සියඹලා දේවාලයට දැන් විවිධ තරාතිරමේ පුද්ගලයන් යනඑන නිසා මේ පිරිසද සමාජ විරෝධී ක‍්‍රියාවලින් තම ආදායම සරිකරගත්තද ඊට සාධාරණයක් ලබාගැනීිමට දෙවියන් හමුවට යාමට තීරණය කරගත්හ. නමුත් එහි යාමට කලින් මස්මාංශ වලින් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිත නොකිරිම, අපිරිසිදු ස්ථානවල නොගැවසීම වැනිවු ක‍්‍රියාවන්ගෙන් වැළකීමට ඔවුහු ක‍්‍රියා නොකළහ. ඒනිසා වෙනත් භක්තිවන්තයන් මෙන් මේ අය මහකැබිලිත්තේ ගමනට ‘‘පේවීමක්’’ නොවුනේ මුදල් ඇත්නම් ඒවා අනවශ්‍ය බව අගවමිනි.

මහකැබිලිත්තට යන වෙනත් භක්තිවන්තයන් මෙන් මේ අයට ගමන සැලසුම් කරන්නට වැඩි දවසක් ගත නොවීය. යාන වාහන සොයන්නට වුවමනාවක් නොවුනේ දුෂ්කර මාර්ගවල යා හැකි අති නවීන සුඛෝපභෝගී වාහන ඔවුන් සතුවීම නිසාය. දින කිහිපයකට පසු ගමන යාමට මේ කතාබහේදීම තීරණය විය. දෙවියන්ට ආවතේව කිරීමට අවශ්‍ය පුද්ගලයෙකුත් අගනුවර අවටින්ම ඔවුන් නම් කරගත්තේය.
මේ කණ්ඩායම මොණරාගල හරහා කොටියාගලට ගොස් එතැනින් කැලේට ඇතුලූවී කිලෝ මීටර් තිස් අටක් යාමට පිටත්වුයේ කොටියාගලින්ද පුද්ගලයකු නංවාගෙනය. කැලෑවේ ගමන සිදුවුයේ කොටියාගලින් නැගගත් පුද්ගලයාගේ මග පෙන්වීම මතය.

අගනුවර ගෙන්දගම් පොළොව පාගා එහි රගපාන පිරිසකට දැන් මග පෙන්වන්නේ කොටියාගල ගමේ තරුණයෙක්ය. මහකැබිලිත්තට යන්නට එන පිරිස් වලට මාස ගණනක් තිස්සේ මග පෙන්වීමෙන්දෝ ඔහු තුළ තිබු මනුස්සකමද අඩකින් අඩුව ඇති සෙයක් පෙන්වයි. සවස තුනට පමණ පිටත්වු මේ කැලෑ ගමන අවසන් වන්නට හෝරා පහ හයක් ගතවෙයි. ඒ අනුව අදුරු වැටුණු පසුවද කුමණ ජාතික වනෝද්‍යානයේ ගමන් කළ යුතුය. වනජීවීන් ගැවසෙන වනාන්තරයක එසේ ගමන් කිරිම නීතියෙන් තහනම් වුවත් මහකැබිලිත්ත දේවාලයට යන බැතිමතුන්ට මේ තහනම නැත. ඒනිසා විවිධ පුද්ගලයන් දැන් ඉන් ප‍්‍රයෝජන ගනු ලබයි.

පිරිස රැගත් ජීප් රථ දෙක දැන් මහ වනාන්තරය මැද්දේය. දුෂ්කරවූ ගමනකින් පසු පිරිස මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන කුඹුකන්ඔය ඉවුරට ළගාවෙන විට එතැන එකම හිස් ගොඩකි. ට‍්‍රැක්ටර් තිහ හතළිහකට වැඩිය. ජිප් රථ සහ කැබ්රථ ගණන කිව නොහැක්කේ ඇතැම් ඒවා කැලේ ගස් අස්සේ වු නිසාය. කුඹුකන්ඔය ඉවුරට වාහන දෙක ගෙනයාම සිහිනයක්විය. ඒතරමට වාහනය.

‘‘හොද තැනක් බලලා වාහන දෙක නවත්වමු. මේ තියන වාහන තොගේ දැක්කම අපි වාහනේ හරවලම නවත්වමු. අනික ඉක්මනින් ගන්න පුලූවන් විදයට නවත්වමු. මෙතන ඉ`දලා අපට පොඩි දුරක් පයින් යන්න වෙනවා කුඹුක්කන්ඔය ළගට.’’ කොටියාගලින් ගොඩවු උපදේශකයා කීවේය.

‘‘අපි දැන්ම පූජාව තියනවාද?’’ සියඹලා දේවාලයට යන්නට ඉස්පාසුවක් නැතිවූ කෙනෙක් විමසීය.
‘‘එහෙම හදිස්සියට දේවාලයට යන්න බෑ. අපි කුඹුක්කන්ඔයෙන් නාලා පිරිසුදු වෙලා. පූජාවට්ටි සකස්කරගෙන මුරුතැන් බත් උයාගෙන බෝධීන් දෙනමට ඒවා පූජාකරලා තමා යන්න වෙන්නේ. මේක දේව අඩවිය. අපිට  ඕනෑ හැටියට මෙහෙ කරන්න බෑ.’’ කොටියාගල උපදේශකයාගේ කතාවට පිරිස යම් අවනතවීමක් විය.

ජීප් රථ නැවැත්වු තැන සිට ඉදිරියට පයින් ගොස් අදුරේවුවත් වටපිටාව නැරඹීමට පිරිසට සිත්වුයේ අගනුවර නිතර දකින කොන්ක‍්‍රීට් වනාන්තර වලට හාත්පසින් වෙනස් ස්වරූපයක් එහි තිබු නිසාය. වටපිටේ හැම තැනම පාහේ එක්වු පුංචි පුංචි කණ්ඩායම්ය. සමහරු ලන්තෑරුම් එළිවලින් අදුර මකාගත්හ. තවත් සමහරු විදුලි පන්දම් දල්වාගෙන  අඳුරෙන් ගැලවූහ. කොටින්ම කියතොත් වටේ පිටේ හැම තැනම කහ පැහැති සහ සුදු පැහැති ඉතා කුඩා එළි සියගණනකි. ඒ අතරින් තැනින් තැන රත්පැහැති එළිද ඔබමොබ යනු පෙනිනි. ඒ දැල්වු දුම්වැටි බව පසුව අවබෝධවිය.

කූඹුක්න්ඔය ඉවුර අසලට එනවිට එහිවු පිරිස දහස ඉක්මවා ඇතිබව  ඕනෑම කෙනකුට අවබෝධ විය යුතුය.
‘‘බර ලෝඞ් එකක් ඇවිත් ඉන්නවා. ඉස්සරහ ඇ`ගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ. හෙට පූජාවට ලොකු පෝලිමක් තියෙයි.’’ ජිප් රථයට ආපසු පැමිණ කණ්ඩායමේ සාමාජිකයකුගේ දැනුම්දීම කාගේත් සවනත වැටුනි.

අතරමගදි පිළියෙල කරගෙන ආ ආහාර වලින් පිරිසේ කුසගිනි නිවිනි. අලූයම ලබන්නට තව හෝරා කිහිපයක්ම ඇත. නිදන්නට තැනක් ද නැත. වාහන දෙකේම ඇලවී ඒ හෝරා කිහිපය ගතකර හැකි පමණ අලූයමින් පූජාව තැබීමට පිරිසේ බලාපොරොත්තුව විය.

නගරයට දවාලක් රාත‍්‍රියක් කියා වෙනසක් නැත. නමුත්  මිනිස් වාසයක් නැති මේ මහා වනාන්තරයේ එසේ නොවේ. දිවා කළ වෙසෙන වනසතුන් කොහේ හෝ තැනක ආරක්‍ෂිතව වෙසෙද්දි නිශාචර සත්තු තම චර්යා රටා අනුගමනය කරමින් නිදහසේ එහා මෙහා යති. වෙනදා රාත‍්‍රියේ නොදකින දසුන් නිසා මේ නිශාචර සත්තුද දැන් මහකැබිලිත්තට ගොඩවෙන කුඹුකන්ඔය ඉවුරට නොඑති. ඒ ඔවුන්ට එහි ආරක්‍ෂාවක් නැති නිසා විය යුතුය. එනමුදු ඊට යාබද ගස්කොළන්වල සිට තම සුපුරුදු හඩනැගීම් කළහ. කුඹුක්කන්ඔය ඉවුරට මීටර් හාර පන්සියයක් කැලෑව දෙසට වන්නට ජීප් රථ දෙක නවතා ඇති නිසා එහි සිටි පිරිසට නිශාචර සතුන්ගේ හඩ වැඩිපුර ඇසෙන්නට විය. වාහන දෙක තුළ තිබූ නැවුම් පලතුරු සුවද අවට ද හමාගියේය.රැය පහන් වෙද්දී ඉක්මනින් අවදිවුයේ දේව ආවතේවයට එක්කන් ආ තැනැත්තාය. ඔහුට සහයෝගය ලැබුණේ කොටියාගලින් එක්වු මාර්ගෝපදේශකයාය. දේව ආවතේකාරයාගේ ද මහකැබිලිත්තට ආ පළමු ගමන මෙය විය. නමුත් ඔහු ඒ බව වසන් කිරීමට නොගත් උත්සාහයක් නැත.  අගනුවරින් ගෙනා පලතුරු පෙට්ටි කිහිපයක්ද රැගෙන තවත් කිහිප දෙනෙක් සමග කුඹක්කන් ඔයට ළගාවන විට ඔය එගොඩ ඉවුරේ දිගටම පහන්එළි දැල්වෙමින් තිබුණේ බැතිමතුන් පුජාවන් සකසන්නට ඒවනවිටත් පියවර ගෙන තිබුණ නිසාය. මෙගොඩ ඉවුර දෙසින් කුඹුක්කන්ඔයේ වතුර පාර කුඩාවට පහළට ගලා යයි. මේ පිරිසද ගග මැද්දට ගොස් ඉඩ ඇති තැනක් බලා ගෙනගිය පලතුරු වැල්ලේ තැබීය.

කොටියාගලින් නංවාගත් මාර්ගෝපදේශකයාට ඊට අමතරව තවත් වැඩක් පැවරුනි. ඒ ජිප් රථ දෙකේ ඇති ඉතිරි පූජා භාණ්ඩ ගගට ගෙනඒමයි. ඒ වෙනුවෙන් දෙතුන්වරක් ඔහුට එහි යන්නට එන්නට විය. මුරුතැන් පූජාවක් නොමැතිව පුජාවට්ටි කිහිපයක් මහඉහළින් සැකසුනි. පුජාවට ගත් පලතුරු සේදුවේ ගඟේ  වතුරිනි.
‘‘උඩහින් අපිරිසුදු වෙලා එන වතුරින් පලතුරු හෝදන්නේ නෑ. අපි නම් කරන්නේ වැල්ලෙ වළවල් හාරලා තමයි දේවාලේට තියන පුජා භාණ්ඩ සෝදන්න ගන්නේ.’’ මාර්ගොපදේශකයාගේ හඩ අවදිවිය.

‘‘නෑ. නෑ. ඒකට කමක් නෑ. මෙතන වළවල් හාරන්න තැනක් නෑ නොවැ. පහළට ගලාගෙන යන වතුරෙ අපිරිසුදුකමක් නෑ. සෝදන්නේ නැතිව පූජාවට තිබ්බොත් තමයි නරක.’’ පිරිස සමග පැමිණි කෝඩුකාර දේව ආවතේවකරු උඩුකයට ඇදි බැනියම සකසමින් කීවේය. එම කතාව එතැනින් නැවතිනි. කුඹුක්කන්ඔයේ දිය පාරේ දිය නාන පිරිස නගන ඝෝෂාවෙන් පරිසරයේ වනසතුන්ගේ හඩ යටපත්ව ගොසිනි. අලූයම් කාලය වුවත් දියේ බැස දිය නෑමට වඩා දිය කෙළීිමට වැඩිදෙනෙක් දියට බැස ඇති ආකාරයෙන් පෙනුනි.

මහවනාන්තරය මැදට මෙවන් සෙනගක් මෙතැනට ආවේ ඇයිද? මහකැබිලිත්ත සියඹලා දේවාලය වැදිමට පමණක් නම් මෙවන් පිරිසක් මෙහි නොඑනු ඇත. වැඩි දෙනකුගේ මුහුණු වලින් පිළිබිඹු වුයේ විනෝදයට එහි ආ බවකි. වැඩිහිටි කතුන් සමග දියනෑ තරුණ ලදුන් ඇද සිටියේ එවැනි පුදබිමකට ගැලපෙන ඇදුම් නොවේ. සැබැවින්ම දේව භක්තියෙන් එහි ආ යමකු සිටියේ නම් ඔහු මේ දසුන් දැක  කලකිරිමට පත්වනු නොඅනුමානය.

මේ අතර හිටි හැටියේම එගොඩ ඉවුරේ සියඹලා දේවාලය දෙසින් මර ළතෝනි තබන හඩක් ඇසෙන්නට විය. ඒ එක්කම කැලෑවෙන් මතුවු විශාල පිරිසක් එම ඉවුර දිගේ පහළට කුඹුක්කන්ඔය හරහා දිව එන්නටවුයේ ද විලාප තබමිනි.
‘‘අලි පන්නනනෝ...... දුවලා බේරියල්ලා..... දුවපල්ලා.... ’’ ඒ හ`ඩවල් අතරින් උස්ව ඇසනේනට විය. දියනාමින් සිටි පිරිස් පමණක් නොව කුඹුක්නන්ඔය ඉවුරේ මුරුතැන් බත් සකසමින් සිටි, පුජාවටිටි හදමින් සිටි පිරිස්ද ඒවා එතැනම දමා මෙගොඩ ඉවුරට කුඹුක්කන්ඔය හරහා දිව ආවේ බාධක දිවීමේ තරගයක් සිහි ගන්වමිනි.

ඉදිරියට දිවයන පිරිස පසුපස හඹා ආ වන අලියෙක් කුඹුකන්ඔයට බැස්සවිට එහිවු පලතුරු ආදිය පොඩිකරමින් හැසිරෙන්නටවු අතර කිසිවකුත් කුඹක්කන්ඔයේ දක්නට නොවීය. ඒ සමගම එගොඩ ඉවුරේවු වාහන එකවර පණගැන්වී වනාන්තරය සිසාරා නැගුණු නළා හඩින් දෙකන් බිහිරිවි ගියේය. විනාඩි කිහිපයකට පසු වන අලියා ආපසු සියඹලා දේවාලය දෙසට යන්නට විය.

නමුත් එදින කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීමේ අරමුණින් එහි ගිය පිරිසට මේ නොසිතූ අකරතැබ්බ නිසා හිස් අතින් ආපසු එන්නට විය. අගනුවර සිට ජිප් රථ දෙකකින් ගිය පිරිස ගෙනගිය පලතුරු ද ගගමැද නොවීය. පිරිසට හිස් අතින් ආපසු එන්නට සිදුවිය.

‘‘කවුරුහරි පේ නොවී කිලිඑක්ක එන්න ඇති. ඒකතමයි ඔහොම වුනේ. දැන් ඉස්සරවගේ නෙවෙයි සමහරු මෙතෙන්ට විනෝදෙටත් එනවා. ඒ අය මෙතන හාස්කම් නෑ කියකියා විවිධාකාර නොහොඹිනා වැඩ කරනවා. සමහරු අරක්කු ගෙනත් බොනවා. ගංජා සුරුට්ටු උරනවා. නුසුදුසු කෑම ගෙනත්කනවා. ඒ හින්දා දැන් මෙතන කරදර වැඩියි.’’ කොටියාගලින් නංවාගත් උපදේශකවරයා කීවේය. එවිට පුජාව නොතබා හිස් අතින් ආපසු එන්නට සුදානම්වූ පිරිස එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 07 15:25:33 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සියඔලා දේවාලය අසල බිම

මහකැබිල්ලත අසල කුඹුකන්ඔයේ දසුනක්

කුඹුක්කන්ඔය ඉවුරේ මුරුතැන් පුජාව සකසමින්

No comments:

Search This Blog