Monday, October 29, 2012

මහකැබිලිත්තේදී වන අලි ප‍්‍රහාරයක් - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35


ගස්කොළන් අතරින් වැටී ඇති පාරේ දෙපැත්තේ කාණු හෑරිලාය. මැද පස් කුට්ටියකි. ඒ පස් කුට්ටියේ තැනින් තැන කළු පැහැති තෙල් පැල්ලම්ය. වැස්ස නැති නිසා පස් කුට්ටි වියළි බවක් උසුළයි. ගස් අඩු පිට්ටනි හා සමාන ඇති තැන්වල නම් කාණු හැදුනු පාරවල් අතහැර කුඩා පදුරු කිහිපයක් තලාගෙන අලූතින් පාරක් හදාගෙනය. ටික දවසක් යනවිට එතැනද දෙපැත්තේ කාණු දෙකකි.

මේ කුමණ ජාතික වනෝද්‍යානයේ පිහිටි මහකැබිලිත්තට යන පාරේ අද තත්ත්වයයි. කොටියාගලින් ට‍්‍රැක්ටර් ටේ‍්‍රලරයේ දැමූ මෙට්ටයේ වාඩිවන තැනැත්තා ගැස්සි ගැස්සී එහි ඇන්දක් අල්ලාගෙන පැය කිහිපයක් මෙසේ දුෂ්කර ගමනක් යන්නේ මහකැබිලිත්තේ වැඩ වෙසෙතැයි විශ්වාස කරන කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වන්නය.

එසේත් නැත්නම් මෑතක සිටි මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් කරුණු හෙළිකරන මහ කැබිලිත්තේ ඇතැයි කියන හාස්කම්වලට අභියෝග කරන්නටය. කුමණ කැලෑවට ඇතුළුවන ඇතැම් අය ට‍්‍රැක්ටර් ටේ‍්‍රලරයේ වාසිවී වි`දින අපහසුතාවේ ආරෝව ගන්නේ මාධ්‍යවේදීන් කටගැස්මට ගෙනය. තවත් ජීප් රථයක මිතුරෝ පිරිසක් ඉදිරියට ඇදෙති.

‘‘මාධ්‍යයෙන් තමා කැබිලිත්ත විනාශ කරලා තියෙන්නේ.  ඕනෑවට වඩා ප‍්‍රසිද්ධ කළාම මිනිස්සු එනවා. ඉවක් බවක් නැතුව මිනිස්සු එනකොට මේ තැන් අපිරිසුදු වෙනවා. මාධ්‍යයෙන් මේවා ප‍්‍රසිද්ධ කරන්න ඉස්සර ආවේ කීදෙනාද? දැන් බලන්න සති අන්තයට නිවාඩු දවස්වලට  වාහනයක් නවත්තා ගන්න තැනක් නෑ. ඒතරමට සෙනගයි වාහනයි.’’ ට‍්‍රැක්ටරයේ ගැස්සිලි බව නොතකමින් ගමනේ අපහසුවේ වාඩුව මාධ්‍යයෙන් ගත්තේ එසේය.

මාධ්‍ය මගින් මහකැබිලිත්ත ගැන කතබහ කරන බව සැබෑය. මහකැබිලිත්ත ගැන ඡායාරූප, වීඩියෝ දර්ශන පෙන්වන බවද සැබෑය. එහෙත් කිසිම මාධ්‍යයකින් එතැනට පැමිණ අශෝභන ලෙස හැසිරෙන්නට හෝ පරිසරය විනාශ කරන්නට, සාරධර්ම ගුණධර්ම වැනසෙන පරිදි අශෝභන ලෙස හැසිරෙන්නැයි ජනතාවට නොකියයි. අසංවරව, අවිනීතව, මේ දේව භූමියට නොඑන්නැයි සහ නොහැසිරෙන්නැයි යන ඉල්ලීම මේ හැම මාධ්‍යයක් හරහාම ඉතාමත් අවධාරණයෙන් යුතුව ඉල්ලා ඇතිබව නොදන්නේ උපතින්ම මාධ්‍යය අරහං වු අයය.

මහකැබිලිත්ත දේවාලය පිහිටි බිම අයත් වන්නේ වනජිවි දෙපාර්තමේන්තුවටය. නමුත් එහි පාලනයක් අද එම දෙපාර්තමේන්තුවට නැත. මේ බව මීට පෙර කිහිප වතාවක්ම හෙළිකළ නමුත් අදටත් ඒ බව එම දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානයට යොමු නොවීම බරපතළ අර්බූද සමුහයකට අතවැනීමක් වන බව පෙනෙන්නට ඇත.

කුමණ ජාතික වනෝද්‍යානයට පොතුවිල්, පානම,  ඕකන්දෙන් හෝ යාලෙන් පහසුවෙන් ඇතුළුවිය නොහැක. අවශ්‍ය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ගෙවා සුදුසු වාහන ඇති බවට වනජිවී නිලධාරීන් සෑහීමකට පත්වු පසු පමණක් අවශ්‍ය අවසරය ලැබේ. කදවුරු ප‍්‍රදේශයක රාත‍්‍රී ගත කිරිමට ලැබන අවසරය මහකැබිලිත්තට යන්නට උපයෝගී කරගනී. එහෙත් ඒ ගමන අධීක්‍ෂණයට වනජිවී නිලධාරියෙක් පිරිසට එක්වෙයි. එතැන් පටන් කැලේ හැසිරිය යුත්තේ ඔහුගේ උපදෙස් සැලකිල්ලට ගෙනය.

වනාන්තරයේ ගමනේදි වනසිවුපාවුන්, විදෙස් රටවලින් ආ සංක‍්‍රමණික කුරුල්ලන් ඇතුළු වනාන්තරයේ වෙසෙන වනසතුන් නැරඹිය යුත්තේ වනජිවි නිලධාරියාගේ උපදෙස් අනුවය. හිතුමතේට වාහනයෙන් බහින්නට අවසර නොලැබේ. ඒ සදහා වෙන්කර තැන් ඇති අතර ඒතැන්වල බැස විවේක ගත හැකිය. එසේ නැතිව වනයේ ඇතුළට ඇවිද යාමට, ගස්කොළන්වල අතු කැඞීමට, පැල ඉදිරිමට, බීජ ඇහිදීමට අවසර නැත. සතුන්ට බාධාවන අන්දමින් හඩතැලීමට හෝ ශබ්ද නැගීමට  කිසිදු අවසරයක් නැත.

එහෙත් කොටියාගලින් ඇතුළු වන අයට මේ කිසිදු තහංචියක්  නැත. ජාතික වනෝද්‍යානයකට ඇතුලූ වුවත් අවධානයෙන් ඉන්නට වගකිවයුත්තෙක් නැත. ඒනිසා ගමන බිමන හිතූමතේටය. දැන් මහකැබිලිත්තට යන මුවාවෙන් ඒ අවට ප‍්‍රදේශ වල ඇවිදින විවිධ පුද්ගලයන් හමුවෙයි. විශේෂයෙන්ම මහකැබිලිත්තට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි දිවුලානේගොඩ විහාර භූමියටද ඇතුළු වෙන්නට පටන්ගෙන ඇතිබවක් පෙනේ.

‘‘මහකැබිලිත්තේ හාස්කම් තියනවා’’ කිය කියා මාධ්‍යය මිනිස්සු රවට්ටන එක බොරුවක් බව ඔප්පු කරන්නට එක්තරා පිරිසක් මහකැබිලිත්තට ගියේ දෙසතියකට පෙරය. පිරිස අතර දෙතුන් වතාවක්ම එහි ගිය දෙතුන් දෙනෙක් වූහ. මේ අය සති අන්තයේ මහකැබිලිත්තට යන විට එහි වු සෙනගත් වාහනත් නිසා කුඹුක්කන්ඔයට මීටර් හාරසියයක් පන්සියයක් මෙහායින් ඔවුන් පැමිණි ජිප් රථය නවත්වන්නට සිදුවිය.

‘‘පේනවා නේද මාධ්‍යය නිසා මෙතනට එන පිරිස. මෙහෙම ගියොත් මහ කැබිලිත්ත කියලා එකක් නැත්තටම නැතිවෙයි.’’ මාධ්‍ය විරෝධි පුද්ගලයා සිය මතය ප‍්‍රකාශ කළේ දුම්වැටියක් දල්වා ගන්නා අතරය.
‘‘ඉර බහින්නත් තව වෙලා තියන හින්දා අපි ටිකක් එහායින් හැරිලා ගියාම කන්දක් තියනවා. ඒ පැත්තට ගිහින් එමු. පිරිස අතර කිහිප වතාවක් එහි පැමිණ ගිය කෙනෙක් යෝජනා කළේය.

‘‘අපි පූජාව තියලා ගියොත් නේද හොද?’’ දේවියන් කෙරෙහි සහ හාස්කම් කෙරෙහි විශ්වාසය තැබු කෝඩුකාරයකුගේ ඉල්ලීමක් විය.

‘‘අපෝ මෙයා දැනටමත් බයවෙලා. බයවෙන්න එපා. ඔය කියනතාලේ හාස්කම් මෙකේ නෑ. මේ මාධ්‍යකාරයෝ මවපු කතාවක්. යං යං අපි දිවුලානේගොඩ කන්ද බලලා එමු. එතෙනට වටේම පේනවා. හරිම ලස්සනයි. ගල්ගුහා කිහිපයක්ම තියනවා. වලස්සුන්ගේ ගද උහුලන්න බෑ. පාර අයිනේ වාහනේ දාලා අපි උඩට යමු. හරිම ආතල්.... හොද ෆන් එකක් අරගෙන අදුර වැටෙන කොට මේ හරියට එමු.’’ මාධ්‍යය අරහංවු තැනැත්තාගේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන්නට සමතෙක් ඒ අතර නොවීය.

ජිප් රිය පණගැන්විනි. මහකැබිලිත්්ත කුඹුක්කන්ඔය අසල සිට ආපසු ජිප් රිය පිටත්වූයේ දිවුලානේ ගොඩ බලා යන්නටය.

‘‘මේ අපි ආපු පාරනේ. ආයේ යන්නේ ඇයි’’ කෝඩුකාරයෙක් ඇහුවේ ආපසු යන බව සිතාය.
‘‘නෑ... නෑ... දැන්ම යන්නේ නෑ. ඔයාගේ පූජාවට්ටිය තියලා තමා යන්නේ. බයවෙන්න එපා. බයවෙන්න එපා.’’ ගමන යෝජනා කළ තැනැත්තා කීවේය. කිලෝ මීටරක් පමණ ඉදිරියට ආ ජිප් රථය ඉදිරියෙන්වු තුන්මං හන්දියෙන් දකුණට හරවන්නැයි රියදුරුට උපදෙස් ලැබුණි.

‘‘මේපාර කොහාටද වැටෙන්නේ.’’ රියදුරුගේ පැනයක් විය.

‘‘මේක තමයි කුමණ  ඕකන්‍දට යන පාර. කුඩා කැබිලිත්ත දේවාලයට  ඕකන්‍ද දේවාලයටත් මේ පාරෙන් යන්නේ. යාලින් එන්නෙත් මේ පාරෙන්. අපි තව ටිකක් එහාට ගිහිං නැවතිලා දිවුලානේගොඩ විහාර බලන්න යන්නේ.’’ දැනමුත්තාගේ පැහැදිලි කිරිම හමුවේ සුළු වේලාවක් යනතුරු කිසිවකුත් පැනයක් නොනැගීය.

තුන්මං හන්දියෙන් හැරවු ජිප් රථය කිලෝ මීටර් දෙකක් තුනක් ඉදිරියට එන්නට ඇත. ඒත් ඒ ගමන කිලෝ මීටර් දහයක පහළොවක ගමන් වෙහෙසකි.

’‘ මේ පැත්තේ පාරේ කානු නෑ. රෝද හතරේ වාහන වලට යන්න හරිම ලේසියි. යනකොට මෙහෙන් යමු.’’ රියදුරු පාරගැන පැහැදී යෝජනාවක් කළේය.

’‘ පිස්සුද බං. මෙහෙං යනවානම් වනජීවී එකට ගෙවන්න  ඕනෑ. ඉස්සරහදි පාර අමාරුයි. මේකෙන් කට්ටිය යනවා එනවා අඩුයි.’’ දැනමුත්තාගේ පිළිතුර විය. ඒ සමගම දකුණු පැත්තේ වු කදුගැටයක් වැනි ප‍්‍රදේශයක ආරම්භය සනිටුහන් විය. තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගිය වාහනය නැවැත්වීමට උපදෙස් ලැබිණි. ඒ සමග තරමක ප‍්‍රමාණයෙන් යුත් අලිබෙටි ටිකක් ඈතින් දිස්විය.

’‘අලි අවිල්ලා ගිහිං වගේ’’ අලිබෙටි ටික දෙස බලාගෙනම ජිප් රථයෙන් බැස්ස කෝඩුකාරයාගේ හඩ කාටත් ඇසුණි. නමුත් ඔහුගේ කතාවට කිසිවකුත් පිළිතුරු දුන්නේ හෝ ඌනපුර්ණ එකතු කළේ නැත.
ගෙනා රෙදි බෑග් ජිප් රථයේ තබා පිරිස දිවුලානේගොඩ කන්දට නැග්ගේ වනජිවී නිලධාරියෙකුගේ මග පෙන්වීමක් නැතිවය. කිහිපවතාවක් එහි ආගිය තැනැත්තා මාධ්‍යයෙන් හෙළකළ කරුණු  කියවීමෙන් ලද දැනුම කියාපාන්නට විය.

වනජිවී නිලධාරියකුගේ උපදෙස් නොමැතිව මේ පිරිස කරන්නේ බලවත් නීති විරෝධි කි‍්‍රයාවකි. අවසර නැතිව මහකැබැලිත්තට යන්නට දී ඇති අවසරය මුවාවෙන් දැන් කුමණ ජාතික වනෝද්‍යානයේ හැම තැනකම යන්නට පටන් ගෙනය. පිරිස අතර සිටි කිහිපදෙනෙක් මෙහි දෙතුන් වතාවකට වැඩි වාරයක් ඇවිත් ගොස් ඇතිබව ඔහුගේ පැහැදිලි කිරිම්වලින් තේරුනි.

පැය දෙකකට ආසන්න වෙලාවක් මෙහි ගතකළ බව පිරිසට අවබෝධවුයේ බැසයන හිරුගේ රක්තවර්ණ හිරුරැසින් බටහිර අහස රත් පැහැ ගැන්වී ඇතිබව දුටුවිටදීය.

එකාපස්සේ එකා බැගින් පිරිස පහළට එති. පහළට බැසගෙන ආ මග වෙනස් කර කුඩා ගල් ඇන්දක් දිගේ නැග්ගේ ගමන කෙටියෙන් යන්නටය. එය බැසගෙන මීටර් සියයක් පමණ යනවිට පහළින් වු පාර පෙනේ.  හිරු බැසගියත් අදුර තවමත් පතිතවී නැත. නමුත් ගස් අතරින් මහපොළොවට හැන්දෑ අදුර එන්නට පටන්ගෙනය. පහළින්  තමන් පැමිණි ජිප්රථය අවට කිසියම් වු අමුත්තක් ඒ දෙස බැලූ කෝඩුකාරයාගේ නෙතට මුලින්ම දිස්විය.

‘‘ දෙයියනේ අපේ බෑග් ටික නේද අර ඇදලා බිම දාලා තියෙන්නේ. කවුද දන්නේ නෑ ඇද්දේ?’’ කෝඩුකාරයා කියනවාත් සමග ඉදිරියට තැබු පාදය නොසෙල්වා සියල්ලෝම පහළ බැලූහ. සියලූ දෙනා වෙතින්ම දිග සුසුම් පිටවනු එකිනෙකාට ඇසුණි.

‘‘ මොකක් හරි කරදරයක්. යාල පැත්තෙන් ආ වාහනයක අය අපේ බෑග් සුද්ද කරන්න ඇති.’’ මාධ්‍ය විරෝධියා උස් හඩින් කීවේය. වටපිට බලමින් පිරිස ජිප් රියට ළංවූහ. එහි පිටුපසට ගසා තිබූ රෙද්දෙන් කොටසක් ඉරි ගොසිනි. බෑග් කිහිපයක් බිම තිබු අතර වසා තිබු බෑග් තලා පොඩිකර දාලාය. සමහර ඒවායේ කටඇරී ඇතුලේ තිබු රෙදි සහ වෙනත් දැ සී සි කඩය.

‘‘අනේ මගේ පුජාභාණ්ඩ ගෙනා කවරෙ නෑ. ඒකේ තිබුණ හදුන්කූරු ටික ජිප්එක ඇතුළෙ තියනවා. පලතුරු ටික පෙන්න නෑ.’’ කෝඩුකාරයා කීවේ මහත්වු හිත් වේදනාවකිනි.

‘‘එකත් එකටම අලියා එන්න ඇති. මෙකේ පලතුරු තිබුණනේ. ඒ සුවදට පලතුරු හොයන්න ඇති. දැන් ඉතිං කරන්න දෙයක් නෑ බෑග්වල තිබුණ අනික් දේවල් අඩුනෑ නේ.’’ විසිරී තිබුණි බෑග් එකතුකරමින් පිරිසෙ කෙනෙක් කීය.

‘‘මේ මහ කැලේ පරිස්සමෙන් යන්න එන්න  ඕනෑ. කතාබහ කරන්න  ඕනෑ. හැසිරෙන්න  ඕනෑ කියන එක පහුගිය කාලෙ පුරාවට මහකැබිලිත්ත ගැන කරපු මාධ්‍ය අනාවරණ වල දැක්වුණා. අර  ගල්කන්දෙදි අරක්කු බොනකොට මට නිකමට හිතුනා කරන්නේ හොද දෙයන් නොවෙයි කියලා. අපේ වැරැද්දෙන් මේ දේ වුණේ. දැන් ඉතින් හිස් අතින් තමයි යන්න වෙන්නේ.’’ මහකැබිලිත්ත ගැන මාධ්‍යයයෙන් පළවු දෑ කියවු සහ නැරඹූ තැනැත්තෙක් නොක්කාඩු ස්වරූපයෙන් කියද්දී මාධ්‍යයට දොස්තැබු පුද්ගලයා බිම බලාගෙන ඔහුගේ බෑගයෙන් විසිරි තිබු ඇදුම් පැළදුම් සොයන්නට විය.

බිමට කරුවල වැටෙද්දි කුඹුක්කන්ඔය ඉවුරට එන්නට ආ පිරිසට වාහන නිසා අතරමග නවතින්නට සිදුවිය. කුඹුක්කන්ඔයට මේ නැවතුන තැන සිට මිටර් පන්සියයකට ආසන්නය. දැන් ජීප් රථයේ අයගේ හෑල්ලූ කතා නැත. විදුලි පන්දම් එළියෙන් පයින් ඉදිරියට ගියත් එකවරම ඇසුනු ගෝෂාවකින් හා ඈතින් ඇසුනු වෙඩි හඩකින් පිරිසේ තැතිගන්ම දෙගුණ තෙගුණවිය.

‘‘අලි... අලි ඇවිල්ල. එහෙ මෙහෙ යන්න එපා. පරිස්සමින් ඉන්න’’ කවුදෝ ඈතින් කියනු ඇසුනි. එදින රාත‍්‍රිය නිරාහාරව ගෙවුණි. පසුදා පාන්දර තත්වයද හොද නැතිවිය. එගොඩ ඉවුරේ අලියා කැබිලිත්තට යන්න නොදි මග අවුරාගෙනය. රාත‍්‍රී වෙඩි හඩ ඇසුනේ මහකැබිලිත්ත දේවාලය අසල ඇති හමුදා කදවුරෙනි. අලි ඇවිත් මිනිස්සුන්ට කරදර කරනවිට දැන් අහසට වෙඩි කිහිපයක් තියා තත්ත්වය පාලනය කරන්නේ වනජිවියේ රාජකාරියත් යුද හමුදාවට කරන්නට සිදුවිම නිසාය.

මහකැබිලිත්ත දේවාලයට පුජාවක් තියන්නට ආශාවෙන් පැමිණි විශාල පිරිසක් උදෑසනම හිස් අතින් ආපසු ගියේ ඒවනවිටත් එගොඩ ඉවුරේ සිටින වනඅලි එහි යන්නට නොදෙන නිසාය.

අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 14 13:51:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කතරගම දෙවියන් වැඩසිටින බව විශ්වාස කරන මහකැබිලිත්තේ මහසියඹලාව

ට‍්‍රැක්ටර් යාමෙන් පාරවල්වල දෙපස කානු හැදි ඇති අයුරු

දිවුලානේගොඩ විහාර බිමට යන අඩිපාර

දිවුලානේගොඩ කන්දේ පිහිටි බෝධියක් සහ පොකුණක්



No comments:

Search This Blog