Tuesday, November 6, 2012

කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 38


නිරිගදිග මෝසම් වැස්සේ අවසානයත් සමග එළැඹෙන අන්තර් මෝසම් කාලයට කතරගම සහ අවට වැසියන්ට ද වැසි ලැබෙයි. ඊසානදිග මෝසම් වැසි ආරම්භය ද සමග භවබෝග වගා කරන්නට කතරගම දේව අඩවියේ පැරණි වැසියෝ පුරුදුව සිටියහ. පසුගිය දිනවල දැඩි නියගය නිසා මෙවර ගොවිතැන් කටයුතු කළ නොහැකි වේයැයි ගොවීහු කම්පාවට පත්වූහ. එහෙත් දේව අඩවියේ වෙසෙන සෑම ගොවියෙක්ම පාහේ කතරගම දෙවියන් නැමැද වගා කටයුතු කරන්නට වැසි ලබාදෙන්නැයි ආයාචනා කළහ.
මේ දිනවල ඇද හැළෙන වැසි සමග තම වගා කටයුතු ඉක්මනින් සිදු කරන්නට ගොවියෝ පෙළඹවී සිටිති. හේන් කපා කැලෑ ගිනි තබා වැසි බලාපොරොත්තුව සිටි ඔවුහු දැන් වැසි සමයත් සමගම බීජ සිටුවීමට පටන්ගෙන ඇත. මේ අතර වැඩිහිටියගේ උපදෙස් පරිදි පවත්වගෙන යන හේන් වල බුදුන්ට සහ කතරගම දෙවියන්ට පහන් දෙකක් දල්වනු ලැබේ. ඒ දෙවියන්ට පින් දී වගාබිමට දේවාශිර්වාදය ලබා ගැනීමටය.
ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ වැසියන් බොහෝ දෙනෙකු හේන් පිණිස කොටන්නේ ආණ්ඩුවේ කැලෑය. කැලෑ කන්තෝරුවල මහත්තුරු ඇවිත් කැලෑව කපන්නට එපා යැයි කියති. නමුත් හේනක් කරන්නට බිම් කෑල්ලක් නැති නිසා කැලෑ මහත්තරුන්ට හොරෙන් අක්කරයක් දෙකක් කොටා ගැනීම සිරිතක්ව පැවතියේය. වනඅලි ඇතුලූ වන සතුන් ගැවසෙන මේ වනාන්තරයේ එසේ වගාකරන හේනකින් කරදරයකින් තොරව අස්වනු නෙළාගත හැක්කේ කතරගම දෙවියන්ගේ බැල්ම ඇති නිසා බවට ඇති ජන විශ්වාසය අදටත් පවතී.
තිස්සමහාරාමයේ පිදිංචි ජී.පී. පියදාස මහතා දැන් හැත්තෑවිය ඉක්ම වු අයෙකි. දරුවන් පස්දෙනකු පෝෂණය කර මුණුබිරි මිනිබිරියන්ගේ ද ආදරය ලබමින් අදටත් ගොවිතැන්බත් කරති.
’‘මේ අඩවියේ ඉස්සර අපි හැම වැඩක්ම කරන්නේ දෙවියන් සිහි කරලා. හැබැයි එකක් තියනවා, අපි කතරගම දෙවියන් සිහිකරන්න ඉස්සරවෙලා බුදුන් වදිනවා. මල්පහන් පූජා කරනවා. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදනා කරලා තමයි කතරගම දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නේ. ඒකත් හිතින් ප‍්‍රාර්ථනා කරනවා. අපේ බලපොරොත්තු ඉටුවුනොත් දෙවියන් වෙනුවෙන් යමක් කරන බවට ‘‘බාර’’ වෙනවා. ඒක තමයි එදා අපි කතරගම දේවියන්ගෙන් ආශිර්වාද ගත්ත ක‍්‍රමය. අද මහා ලොකු පූජාවට්ටි අරගෙන කතරගම මහ දේවලෙට යන සමහරු කිරිවෙහෙර වදින්නෙවත් අෂ්ඨඵල බෝධිය වදින්නෙවත් නෑ. ඒ වුනාට කතරගම දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සර වෙලාම උන්නාන්සෙට පින් අනුමෝදන් කළ යුතුයි. මේක අද බොහෝ දෙනෙක් දන්නේ නෑ.’’ පියදාස මහතා කීවේය.
’‘ඉස්සර හේන් කොටන කාලෙට අපි පිලී ජාති එක්ක කෑම ගෙනියන්නේ නෑ. ඒක සිරිතක්. සමහරු මේ චාරිත‍්‍ර පිළිගන්නේ නෑ. කාලයකට ඉස්සර අපි සිතුල්පව්වට යන පාර පැත්තේ හේන් කෙටුවා. විවිධ පැතිවලින් ඇවිත් හේන් කොටනවා. අපේ හේනට හේන් දෙකක විතර එහායින් ගන්දර පැත්තේ කියලා කට්ටියක් ඇවිත් හේනක් කෙටුවා. ඒ අයගේ හේන පැත්තෙන් නිතරම කරවල බැදුමක කුයිල එනවා. අපේ කටටත් කෙළ උනනවා. නමුත් අපි කැලේ හැසිරෙන ක‍්‍රමයක් තිබුණා. පිලීජාති උයනවා තියා පිලී කළවම් කරලා කෑම එකක්වත් අපි පැල හිටවනකම් හේනට ගේන්නේ නෑ.’’
’‘කලින් කිව්ව හේනේ අය මේවා ගණන් ගත්තේ නෑ. ඒගොල්ල හිටියේ  දෙවියන් බුදුන් කියලා කෙනෙක් නැති විදයට. හේනෙ පැල ජාතිත් දැම්මා. පැල හොදින් හැදීගෙන එනකොට පැලපතට ලෙඩක් හැදුනා. කොළපාටට තිබුණ හේන කළුපාට වෙන්න ගත්තා. නොයෙක් දේවල් කළා.  ඒ වුනාට වැඩක් වුණේ නෑ. අල්ලපු හේන්වල අපිත් බය වුණා. අපේ හේන් වලටත් ඒ ලෙඬේ බෝවෙයි කියලා. නමත් දෙවියන්ගේ නාමෙට ලෙඬේ තිබුණේ ඒ හේනට විතරයි. අන්තිමට ඒ හේන කරපු අය හේන අතහැරලා යන්න ගියා. හැබැයි ඒ අය හිතුවේ අනෙක් හේන්වල අය ‘‘හේන්පාළුවක්’’ කරන්න ඇති කියලා. ඇත්තටම ඉස්සර මේ දේව අඩවියේ නරක දේවල්වලට ඉඩක් තිබුණේ නෑ’’ පියදාස මහතා කීවේය.
‘‘අස්වනු නෙළලා කතරගම මහ දේවාලෙට මුරුතැන් පුජාවක් තියලා හේන් කපන්න පෙර වුණ භාරය ඔප්පු කරනවා. එතකොට තමයි හිතට සැහැල්ලූවක් දැනෙන්නේ. නැත්නම් හිතෙන්නේ කාගෙන් හරි ගත්ත ණයක් නොදී ඉන්නවා වාගේ හැගීමක්. අස්වනු නෙළලා අග‍්‍රකොටස බුදුන්ට සහ දෙවියන්ට වෙන් කරලා බුද්ධපුජා තියලා, දෙවියන්ට පුජා කිරීම සිරිතයි. මේවා කරන්න කියලා කොහේවත් නියමයක් නෑ. අපට අපේ තාත්තා ඇතුලූ වැඩිහිටියෝ කියලා දුන්නේ. සිරිතක් විදියට කරන්නේ. හොදක් මිසක් නරකක් නම් වෙලා නෑ.’’ පියදාස මහතාගේ පැහැදිලි කිරීම වත්මන් පරපුරට ආදර්ශයකි.
කතරගම දෙවියන්ගේ අඩවියේ වෙසෙන මිනිසුන් තුළ දෙවියන් කෙරෙහි ඇත්තේ අපමණ විශ්වාසයකි. ඉක්මනින් පොහොසත් වෙන්ට යැයි සිතා වැරදි කර්මාන්තවල යෙදෙන්නෝ ද කතරගම නැත්තේ නොවේ. කලකට ඉහතදී සෙල්ලකතරගමට නුදුරු ප‍්‍රදේශයකට අම්බලන්තොට පැත්තෙන් ආ ගැටයෙක් අපූරු වෙළදාමක් පටන් ගත්තේය. ඒ මස් පිණිස හරක් විකිණිමයි. හරක් පට්ටිවලින් සහ ඉඩම්වල දිගේලි කර සිටින හරකුන් මෙන්ම නිදැල්ලේ ඉන්නට ඇර ඇති එළගවයන් සහ මී ගවයන් මස් පිණිස මැරීම සදහා හොරකම් කර විකිණීම ඔහුගේ පුරුද්ද විය.
හරක් බලාගන්නා ගොපලූ කොල්ලෙක් විදියට ඔහු ලද අත්දැකීම මේ කටයුත්තට ඉමහත් පිටිවහලක් විය. කෙටි කලක් තුළ මෙය අතමිට සරුකරන ව්‍යාපාරයක් විය. හරක් බලාගත් කොල්ලා දැන් සල්ලි කාරයෙකි. වැඬේට උදව් කරන්නට ගෝලබාලයෝද ඇතිවිණි. හරකුන් හොරෙන් පැටවීම ජයටම කෙරෙයි.
‘‘කතරගම දෙවියන්ගේ අඩවියේ මේවගේ අපරාධකාරයන්ට දඩුවමක් නැති හැටි.  කතරගම දෙවියෝ ජීවමානයි කියන්නේ බොරු.’’ සමහරු මේ ආකාරයට කතරගම දෙවියන් ගැන පවා කතා කරන්නට වූයේ මේ අපරාධය ඒ තරමටම මහ පොළොව නුහුලන නිසාය.
කෙටි කලක් තුළ ඔහු දැසි සම්පත් පිරිවරාගෙන වැජඹුනේ ධනවතෙකු ලෙසිනි. එහෙත් අධිකරණය හමුවේ ඔහුට නඩු ගණනාවක්ම විය. ඒවායින් වැඩිහරියක් හරක් හොරකම් සම්බන්‍ධයෙනි. මේ ව්‍යාරයට එරෙහි වු සමහරුන්ට අත්වුයේ මරණයයි. සමහරුන් අතුරුදන් විය. යුද්ධය මෙන්ම රටපුර පැවති භීෂණය ඔහුගේ ව්‍යාපාරයට ඉමහත් පිටිවහලක් විය. නමුත් වතුර රත්වන තුරු කකුළුවා දිය සැලියේ දිය කෙළින බවට වු කියමන සත්‍යය කරමින් දහස් ගණනක් හරකුන් මරණයට පත් කරන්නට මස් පිණිස විකුණූ මේ තරුණ අපරාධකාරයා වැඩිකලක් නොගොස් අම්බලන්තොට ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වු බව වසර පහළොවක විස්සක අතීත මතකය ඇති බොහෝ දෙනෙක් අදටත් දන්නා බව කතරගම ප‍්‍රදේශයේ ජනතාව කියති.
‘‘දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කළොත් වරදින්නේ කොයි වෙලාවෙද දන්නේ නෑ. කතරගම දෙවියෝ හැම වෙලාවෙම උන්නාන්සෙ විශ්වාස කරන ජනතාව රකිනවා. ඒ අයට හිරිහැර කරන  ඕනෑම තරාතිරමක කෙනෙකුට වරදින්න යන්නේ කෙටි වෙලාවයි.’’  කතරගමට නුදුරු බෙරලිහෙළ ගම්මානයේ වැඩිදෙනෙකු එසේ කියති.
‘‘පහුගිය දවස්වල මේ පැත්තේ මිනිස්සුන්ට ලොකු ආර්ථික අපහසුකමක් ඇති වුණා. ගොවිතැන් කටයුතු වලිනුත් පාඩුවුණා. කතරගම පූජා කඩවලට පළතුරු ගෙනියන ප‍්‍රදේශයක් තමයි මේ බෙරලිහෙළ ගම්මානය. නිකම් නෙවෙයි, පළතුරු ගිහිං කඩවලට විකුණනවා. එහෙම ජීවනෝපාය කරගත් පිරිසකුක් ඉන්නවා. ඔය අතරවාරෙ තමයි කතරගමට යන පාරෙන් මැණික් ඉල්ලමක් හමුවුනේ. ගම්මු හිතුවා ඒක කතරගම දෙවියන් විසින් ගමේ අයට දීපු දෙයක් කියලා.’’
‘‘ මේ මැණික් ඉල්ලම් තමන්ට අයිතිකරගන්න නොයෙක් තරාතිරමේ අය පියවර ගත්තා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ මාර්ගය ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කළා. ගම හරහා ගිය පාර වැහුනා. හේන්වලට ගිය මිනිස්සුන්ට පවා ආරක්‍ෂවට සිටි හමුදාවේ සමහර නිලධාරීන් පහරදුන්නා. බඩගාගෙන යන්න කිව්වා. පොලූවලින් පහරදුන්නා. ඒ වුණාට ධනවතුන්ට බලවතුන්ට කිසිම තහනමක් නෑ. අන්තිමට මොකද වුණේ, හම්බවෙච්ච මැණිකකුත් නෑ. මිනිස්සුන්ට හිරිහර කළ හමුදා නිලධාරින්ගේ ප‍්‍රධානියෙකුට කතරගමින් යන්න වුනේ හිටපු නිලයෙනුත් පහළට වැටිලා. මේව කතරගම දෙවියන් දෙන දඩුවම් කියලා හිතනවා නම් වැරදියි. කතරගම දෙවියෝ දඩුවම් කරන කෙනෙක් නෙවෙයි. මතු බුදුබව පතන දෙවිකෙනෙක් කියලයි විශ්වාසය. නමුත් මේ සිදුවීම් වලින් කියන්නේ වැරදි කරන්න එපා කියලයි.’’ බෙරලිහෙළ වැසියෝ අදටත් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරමින් කියති.
කතරගම පුදබිම නිවාඩු දවසට එකම හිස් ගොඩකි. කිරිවෙහෙර චෛත්‍ය මලූව දිවා රාත‍්‍රී දෙකේම බැතිමතුන්ගෙන් පිරී ගොසිනි. එහෙත් කෙතරම් සෙනගක් එහි ආ ගියද කිරිවෙහෙර චෛත්‍ය මලූව හා අෂ්ඨඵල බෝ මලූව වන්දනා කරන බැතිමතුන්ට ඉඩකඩෙන් ගැටලූවක් නැත.
‘‘ධාර්මිකව ජීවත්වෙන අය දෙවියෝ රකින බව බුදු දහමේ කියලා දෙනවා. පස්පව් දස අකුසල් වලින් ඈත්වෙලා ධාර්මිකව ජිවත්වුනොත් දෙවියන්ගේ පිහිට අපිට තියනවා. ඒ දෙවිවරු අතර සිටින කතරගම දෙවියනුත් අපිට පිහිටවෙනවා. උන් වහන්සේ මහානුභාව සම්පත් ඇති දෙවි කෙනෙක්. අපි යහපත් ක‍්‍රියාවක් අවසානයේදී කතරගම දෙවියනුත් සිහිකර පින් දුන්නොත් අපට පිහිටක් ලැබෙනවා. දෙවියන්ගෙන් යමක් ඉල්ලන්න ඒ දෙවියන්ට පින් දීලා. එහෙම වුනොත් වරදින්නේ නෑ.’’ කතරගම දෙවියන්ගේ පිහිට ලැබූවෝ එසේ කියති.

අජිත්ලාල් ශාන්තඋදය
2012 නොවැම්බර් මස 05 18:09:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 සෙල්ල කතරගම මහසෙන් විහාර බිමේ කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද පතා


කතරගම මහා දේවාල බිම රාත‍්‍රියද බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි


කිරිවෙහෙර රාත‍්‍රීයේදී දිස්වන අයුරු

එළගිතෙල් පහන් දල්වමින්

No comments:

Search This Blog