Sunday, November 25, 2012

කූඩාරමේ නිදනවිට ඇඟට පැන්න වළහා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 41


යුද සමයේ යාල කලාප අංක දෙක සහ කුමණ ජාතික වනෝද්‍යානවල මිනිසුන් ගැවසුනේ ඉතාම අඩුවෙනි. මේ නිසා වනසතුන්  වාහනයක ශබ්දයක් ඇසෙනවිට පවා සැගවීමට තැත් කළහ. කුලූ මීමා සහ වනඅලි එවැනි ශබ්දයකට සැගවීමට නොහැකි වුවොත් ඒ ශබ්දය ආ පැත්තට වේගයෙන් දුවඑති.

ඒ තිස් වසරක යුද්ධය නිමාවූ 2009 වසරයි. යුද්ධය අවසන් කර  ගෙවුනේ මාස හතරකි. දිනපතා ඉර බැස යන මොහොත වනවිට යාල සහ කුමණ කැලෑවේ වන සතුන්ගේ දවස ඇරඹෙයි. සියගණන් වු මුව රංචු හැම තැනකමය. වැඩිපුර ඇත්තේ මුවෝය. කුඩා ශබ්දයකටත් කලබලවන මේ මුවන් ඇතැම් අවස්ථාවල සිය නායකයන් අනුගමනය කරමින් දිවයති.

යුද සමයේ වූ බිහිසුණු වාතාවරණය නිසා යාල කදවුරු බිම්වල සංචාරකයන් සිටියේ නම් කිහිප වතාවක් පමණි. මැණික් ගග අසබඩ ඇති කොස්ගස්මංකඩ කදවුරු බිමට දහදෙනෙකුගෙන් යුත් දේශීය සංචාරකයන් පිරිසක් පැමිණියේ ජීප් රථ දෙකකිනි. අගනුවර පැත්තේ ධනවත් තරුණයන් දෙදෙනෙක් මේ කණ්ඩායමේ  ප‍්‍රධානත්වය ඉසිලීය. ඔවුන් හැම විටම සිය බලපුලූවන්කාරකම් පෙන්වන, කිසිවෙකුත් දෙන අවවාද නොරුස්සන දෙදෙනෙක් විය. ජිප් රථ දෙකකින් පැමිණි ඔවුන්ට යාල පිවිසුම් දොරටුවේදී වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකු ද එක්විය.
කොස්ගස්මංකඩ කදවුරු බිම ඉතා දැකුම්කලූය. කදවුරු බිම පසෙකින් මැණික් ගග ගලන්නේ නිසසලවය. තැනිතලා බිමක් වු මෙතැන ඇති කුඹුක් ගස්වලින් ගෙනදුන් සෙවන ගමනේ විඩාව නිවීය.
‘‘ඉස්සර වාගේ යාල සත්තු නෑ නේද? අලි දෙන්නෙකුයි මුවෝ රංචු කිහිපයකුයි ඇරුණම ඌරො දෙතුන් දෙනෙක් දැක්කා. උන් බලන්න යාල එන්න  ඕනෑයැ.’’ කටකාර තරුණයෙක් කීවේය.
‘‘අපිට හෙට දවසේ සත්තු බලන්න පුලූවන් වෙයි. අපි කටවරද්දා ගන්නේ නැතුව වැඩකරමු මහත්තයෝ මේක දේවියන්ගේ අඩවියනේ’’ පළපුරුදු මගපෙන්වන්නා අවවාදාත්මකව කීවේය.
‘‘මොකක්ද දේව අඩවිය කිව්වේ.’’ මගවෙන්වන්නාගෙන් පෙරළා ප‍්‍රශ්න කලේ මුල් පැනය ඇසූ තරුණයාය. ඔහු මේ ගමනේ වියදම් දරන්නාගෙන් කෙනෙක් විය. ඔහුගේ ධන බලය හමුවේ පැමිණ සිටි කිසිවෙකුත් ඔහු කරන කියන දෑ නරකක් වුවත් ඊට බාධා නොකිරිමට වග බලා ගත්හ. සමහර අවස්ථා වල ඔහුගේ කතාවන් අනුමත කරමින් පිරිසේ වැඩි දෙනෙක් සිනහ ද පහළ කළේය.
‘‘මහත්තයෝ මේ කැලෑවට අධිපති කතරගම දෙවියෝ. උන්නාන්සේගෙ බැල්ම මේ කැලේ තියනවා. ඉතිං මේ කැලේට එන වැඩි දෙනෙක් බොහෝම ප‍්‍රතිපත්ති ඇතුවයි එන්නේ. මස්මාංස, බිත්තර මේ කැලේට ගේන්නේ නෑ. අරක්කු වගේ බීම මේ කැලේදි බොන්නේ නෑ. අඩුම තරමේ ‘නෑ’, ‘බෑ’ කියන වචනයක්වත් මේ කැලේදි භාවිත කරන්නේ නෑ.’’ මගපෙන්වන්නාගේ පිළිතුර විය.
‘‘ඒක පුදුම වැඩක්නේ මේ නොපෙනෙන දෙවියෙකුට ඇයි ඔච්චර බය’’ තරුණයා කියත්ම සෙසු පිරිස කොක් හඩලා සිනාසුනේ මගපෙන්වන්නාගේ කතාව අවඥාවට ලක් කරමිනි.
පනස්වියට ආසන්නවු මේ මග පෙන්වන්නාට යාල ගැන අත්දෑකීම් ඇත්තේ වසර විස්සකට වැඩි කාලයක සිටය. සිහින් සිරුරක් හෙබි ඔහු පියකරුය. තැන්පත්ය. සිහින් උඩුරැවුල ඔහුගේ ඒ පෙනුම තවතවත් වැඩි කළේය. ඔහුගේ දෙතොල්වල නොමැකි ගිය රෝස පැහැයෙන් ඔහු දුම් නොබොන්නෙකු බව මනාව පෙන්නුම් කළේය. ඔහු අතවු කුඩා ගමන්මල්ලේ තිබු වතුර බෝතලයක් එළියට ගෙන වරින්වර වතුර බින්දු දෙකතුනකින් පමණක් උගුර තෙමා ගත්තේය. යළි වතුර බෝතලය සිය ගමන් මල්ලට දමාගත්තේ මෙවන් ගමනකදී සැමදේම එක්වර අවසන් කිරිම නුසුදුසු බව අත්දැකීමෙන් දන්නා නිසාය.
කොස්ගස්මංකඩ කදවුරු බිමේ එකක් පස් දෙනෙකුට ප‍්‍රමාණවත් වු කූඩාරම් දෙකක්ද ඊටත් වඩා කුඩා වූ තව කූඩාරමක් ද ඉදිකෙරිණි. කූඩාරම් තැනීමේ කටයුත්තට කණ්ඩායමේ දෙදෙනෙක් පමණක් එක්වීම මග පෙන්වන්නා තුළ කුකුසක් ඇති කලේය. මෙවැනි ගමන් එන්නෝ සාමුහිකව වැඩ කරතත් මේ කණ්ඩායම ඊට හාත්සින් වෙනස් විය. කුඩාරම තැනු තරුණයන් දෙන්නා සෙසු පිරිස ‘‘සර්’’ කියා ඇමතූ නිසා ඔවුන් දෙදෙනා අතවැසියන් බව ම`ගන්වන්නාට අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
කූඩාරම් තනන්නට පෙර පිරිස තේ පානය කළේය. තේ පිළියෙල කළේ ඔවුන් ගෙනවිත් තිබූ ගෑස් උදුන භාවිතයට ගනිමිනි. තේ පිළියෙළ කළේද කූඩාරම තැනූ තරුණයන් දෙදෙනාමය. පිළියෙල කළ තේ කෝප්ප කණ්ඩායමේ සෙසු අයට පිළිගැන්වූයේ දෑතින් යුතුව යටහත් පහත්වය.
තරුණයන් දෙදෙනා මුලින් එක් කූඩාරමක් තනා අවසන් කළේය. ඒ අතර සෙස්සෝ මැණික් ගගට බැස දිය නාන්නට විය. කූඩාරම් තනන තැන සිට මීටර් පනහක් පමණ දුරින් මැණික් ග`ග විය. කුඩා බෑවුම් සහිත ඉවුර ඔස්සේ ගගට යායුතුය. ගංඉරේ කුඹුක කොළ වැටී පොළොව වැසි ඇත. ගගට යාමට ඇති අඩි පාරේද දින ගණනාවකින් කිසිවකු ආගිය බවක් නොපෙන්නුවේ එහිද කොළවැටී තිබු නිසාය.
මැණික් ගගට බැස්ස හයදෙනා දෙපැයකට ආසන්න කාලයක් දිය නෑහ. වරින්වර ගොඩට එන ඔවුහු ගංඉවුරේ කුඹුක් ගසක් මුලට එක්වී යමක් පානය කරති. කට ගැස්මට මොනවාදො හපමින් කොක් හඩාල සිනාසෙන ශබ්දයට ගස් මුදුනේ වු වදුරන් බියවී පළාතම වෙනක් කරමින් ‘‘චකුම්, බුකුම්’’ හඩ නැංවීය.
ගං ඉවුරත් ක`දවුරු බිමත් අතර වූ තැනක හුදකලාවේ පසුවන මගපෙන්වන්නා දිය නාන පිරිස දෙස බලා සිටියි. බෝතල් තිබූ ගංඉවුරේ කූඹුක්ගස මුලට ආසන්නව දිය නෑ පිරිස මැණික් ගග මැදට වන්නට කෙමෙන් කෙමෙන් ගියේ නොදැනුවත්වමය. මැණික් ගග ගැඹුරු නැත. මේ කදවරු බිම ආසන්නයේ මැණික් ගෙග් ගැඹුරුම තැන ද අඩිතුනකට නොඅඩුය. ඒ නිසා පිරිසට අවවාද දෙන්නට මගවෙන්වන්නා කටයුතු නොකළේය.
ගග මැද දියකෙළිමන් අඩහෝරාවක් පමණ ගතකර පිරිස ගොඩට එනවිට කුඹුක්ගස මුල තිබුනේ බෝතලය පමණි. ගෙනා විස්තෝකු කවරය පිටින්ම අතුරුදන්ය. කටගැස්මය ගෙනත් තිබූ අනෙක් දෑද තැන තැන විසිරී තිබුණි. ඒ සමගම කුඹුක්ගස මුදුනෙන් වදුරු රැළ දිය නෑ පිරිසට ඔච්චම් කරන්නට මෙන් ‘‘චකුම්, බුකුම්’’ හඩ තැලීය. වදුරන්ගේ හඩ ඇසී ගහ මුදුන බැලූ පිරිසට පෙනුනේ තමන්ගෙන් ගෙනා විස්කෝතු පැකට් එකකට රංඩුවන කුඩා වදුරු පැටව් දෙදෙනෙක්ය.
පිරිස කූඩාරම් දෙසට එනවිට අදුර මහපොළොව සිපගෙන අවසන්ය. කූඩාරම් දෙක මැද්දෙන් දැල්වුණු ලන්තෑරුමට ඒ අදුර මැකිය නොහැකි විය. කොනක දැල්වෙමින් තිබූ ගෑස් උදුන මත වු මුට්ටිය දෙපසින් ඉහළට ආ නිල් දැල්ල අ`දුර නිසා හොදින් දිස් විය.
නාගරිකයන්වූ මේ පිරිස පරිසරහිතකාමීන් බව සිතිය නොහැකි ලකුණු පෙන්නුම් කළේය. හුදෙක් විනෝදකාමීන් වු ඔවුන් වනගත පරිසරයක අසිරිය වි`දින්නට වුවමණාවු වන පිරිසක් නොවූ බව පැහැදිලිව පෙනුණි. ජීප් රථයකින් ගත් අකුලන කුඩා ප්ලාස්ටික් මේසයක් කූඩාරම් දෙක අතර දිග හැරියේ පෙරකී තරුණයන් දෙදෙනාගෙන් කෙනෙකි. ඒ මතට රට අරක්කු බෝතලයක්ද කටගැස්මද එක් කෙරිණි. හයදෙනෙකු එකතු වී ඇරඹි මේ මත්වතුර පානය කිරීමේ අවස්ථාව පරිසරයට ගෙනාවේ ඉතා අමිහිර දසුනකිය.
රාත‍්‍රීය එලැඹෙත්ම වනාන්තරයේ ඇසෙන විවිධ සතුන්ගේ හඩවල් අබිභවා මෙතැන ඇත්තේ මත්වුණු මිනිසුන්ගේ එකිනෙකා පරයන ආත්ම වර්ණනාය. වරෙක එය ගෝරනාඩුවකි. වනසතෙක් තබා මනුෂ්‍යයෙක්වත් මේ හ`ඩ ඇසෙන පැත්තට නොඑන තරමට ඒ කතාබහ නීරසය. බෝතල් හිස් කිරිම පටන්ගන්නා විට තිබූ හඩ හෝරා දෙකක් ගෙවෙනවිට සිවු ගුණයකින් ඉහළය. අවට කිසිවෙකුත් නැති නිසා මේ කන්කරච්චලය දැනුනේ වනයේ සිටි සතා සිවුපාවටත්, තනිකම අගය කළ මග පෙන්වන්නාටත් පමණි.
රාත‍්‍රී දොළහ පමණ වනවිට වෙරිමරගාතේ සිටි පිරිස වැනී වැනි ගොස් කූඩාරම් තුළට වැදිණි. ආවතේවයට ආ තරුණයන් දෙදෙනා තුළින් දිස්වූයේ සැබෑ වෙනසකි. නවීන පන්නයේ විදුලි පන්දමක් අතට ගත් එක් තරුණයෙක් භාජන කිහිපයක් අතට ගෙන තුවායක්ද කරට දාගෙන අනෙකා අමතමින් අසලවු මැණික් ගගට යන්නට යෝජනා කළේය. එය ඇසුනු මග පෙන්වන්නා අදුරු රාත‍්‍රියේ ගගට නොයන ලෙස අවවාද කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා ගමන නැවැත්තුවේය.
හෝරාවකට දෙකකට පෙර කොස්ගස්මංකඩ කදවුරු බිමෙන් නැගුනු අමිහිරි හඩ දැන් නැත. වනාන්තරයේ වන සතුන්ගේ විවිධාකාර වූ මිහිරි හඩ අතර බියට පත්වූ වනසතෙකු ගොරවන හඩක්ද අතරින් පතර ඇසෙන්නට විය. මැණික් ගග ඉවුරෙන් දිය බොන්නට ගගට බහින වන සතුන් අල්ලාන්නට ගං ඉවුරේ කුඹුක්ගසක අතු මත  දිගාවි සිටින දිවියන්ද මේ ඉසව්වේ නැත්තේ නොවේ.
‘දිවියා ගෝන නාම්බෙකු අල්ලාගෙන’ ගෙවිලි හඩ කන වැටුණ කෙනෙකුට සිතේ. හඩ ඇසෙන්නේ කදවුරු බිම ආසන්නයේමය. වනගත චාරිකාවලදි අනුගමනය කරන වත්පිළිවෙත් අබමල් රේණුවකටවත් නොතැකූ මේ පිරිස රාත‍්‍රියේ පිළියෙල කළ කුකුළු මස්වල සුවද දැනී වන සතෙකු පැමිණියේද යන්න සැක සහිත විය. එසේ ආ වන සතෙකුට දියබීමට ආ තවත් වන සතෙකු ගොදුරුවි ඌ ගැලවීමට උත්සාහ ගන්නා හඩක් විය.
ජීප් රථ දෙකින් එකක පිටුපස තට්ටුවේ නිදාගෙන සිටි මගපෙන්වන්නා මේ ඇසුනු හඩ කෙරෙහි ලොකු අවධානයක් යොමු කළේය. කූඩාරම් දෙසින් ඇසෙන මේ හඩ දෙසට යෑමද අවදානම්ය. නොයාද බැරිය. හේතුව මේ පිරිසේ ආරක්‍ෂකයා ඔහු වන බැවිනි. මගපෙන්වන්නා තමන් සතුව තිබූ විදුලි පන්දමෙන් වටේ විපරම් කළේය. අදුර කපාගෙන යන තරමේ එළියක් තිබු ඒ විදුලි පන්දමට අමුත්තක් නොපෙනිණි. ඒත් ශබ්දයේ අඩුවක් නැත. ජිප් රථ දෙක තිබු තැනට කූඩාරම් දෙකේ පිටුපසු නොපෙනෙයි. හිතට හයිය ගත් මගපෙන්වන්නා ජිප් රථයෙන් බිමට බැස්සේය.
වනාන්තරයේදී විදුලි පන්දම් එළිය නුරුස්සන වනසතුන් ඇති බව මගපෙන්වන්නා අත්දැකීමෙන් දනියි. ඊටත්, ගොදුරක් ඩැහැගත් සතෙකුට ලංවීම ජීවිත අවදානමක් ගෙන දෙන ක‍්‍රියාවකි. එහෙත් ඇසෙන හඩ අනුව ඒ අවදානම ගත යුතුය. වෙරිමරගාතේ අ`දුරේම කැලෑවට ගිය කෙනෙක් විපතකට පත්ව ඇද්දැයි මගපෙන්වන්නාගේ හිතදෙගිඩියාවෙන් යුතුවිය.
හඩ ඇසෙන්නේ කූඩාරමක් දෙසින් බව පැහැදිලිය. කූඩාරම් දෙක අතර ගහක අත්තක එල්ලූ ලන්තෑරුම කිසිත් නොදැන සිහින් දැල්ලක් ඇතිව දැල්වෙයි. කදවුරු බිමට එය කණාමැදිරි එළියක්ය. මේ ගමනට ආ දහදෙනාගෙන් කිසිවෙකුටත් මේ භයංකාර හ`ඩ නොඇසෙන්නේ ඔවුන් පියවි සිහියෙන් නොසිටින නිසා බව මග පෙන්වන්නා දනී. කූඩාරම දෙසට ළංවන විට හඩ එන්න එන්නම වැඩිය. මගපෙන්වන්නාගේ හද ගැස්මද ඒ හා සමානව වැඩිවෙයි.
කූඩාරමට වඩාත් ලංවන විට එය ඇසෙන්නේ කූඩාරම ඇතුළෙන් බව අවබෝධවිමත් සමග මගපෙන්වන්නාගේ ඇඟේ හිරිගඩු පිපිනි. කූඩාරම ඇතුළේ කිසිවක් නොපෙනේ. දිවියා හෝ වළහා කූඩාරමට පැන ඇතිබව මග පෙන්වන්නාට සිතිණි. ඒ නිසා කෙළින්ම කූඩාරමට ඇතුළුවීම හෝ ඇතුළට විදුලි පන්දම දැල්වීම අතිශය භයානක බව ඔහුට අවබෝධ විය.
කූඩාරම අවටට මුලින් විදුලි පන්දම එල්ල කළේ ආරක්‍ෂාවටය. නමුත් අමුත්තක් නැතිව හඩ ඇසෙයි. හිත හදාගත් මගපෙන්වන්නා කූඩාරම තුළට විදුලි පන්දම එල්ල කළේය. එහි වූ තිදෙනාගෙන් කෙනෙක් උඩුබැලි අතට හැරී නිදමින් ගොරවන හඩ මෙසේ ඇසෙන්න වු බව අවබෝධවීමෙන් පසු මගපෙන්වන්නාට සැහැල්ලූවක් දැනිණි.
නැවතත් ජීප්රියට ගොඩවී නින්දත් නොනින්දත් අතර පසුවූ මග පෙන්වන්නා යළි අවදි වුණේ කූඩාරමක් තුළින් ඇසුනු මිනිසෙකුගේ විලාප හඩකිනි. ඒ හඩට අනෙක් කූඩාරමේ සිටි අයද වෙරි හිදි අවදිවු බව පෙනුණි.
‘‘වලහා ඇවිත් මගේ ඇගට පැන්නා. මම කෑගහනකොට ඌ බයේ දිව්වා.’’ තැති ගැන්මෙන් යුතුව කූඩාරමේ අයෙක් පැවසුවේය. ඔහුගේ ඇග වෙව්ලයි. මුහුණෙන් දහදිය ගලා එයි. තැතිගෙන කෑ ගැසු තරුණයා සමග කූඩාරමේ සිටි සෙසු අය ඒබව දැක නොතිබුණි. මගපෙන්වන්නා තම අතේ බැදි ඔරලෝසුව බැලීය. පාන්දර හතරට ඇත්තේ මිනිත්තු පහකි.
කූඩාරම් අවට විදුලි පන්දම් දල්වා විපරම් කර බැලූ නමුත් වළහෙක් ආ සලකුණක්වත් එහි නොවීය. ඇඟේ ද නියපිටින් වූ සීරීම් තුවාලයක් වත් නොවීය. මෙය කාටත් ගැටලූවක් විය. වළහාට බියවු තරුණයා නුහුගුණයෙන් මෙන් කියවන්නට විය.
‘‘හීනයක් දැකලාද කොහොද බයවෙලා’’ මග පෙන්වන්නා කීය. නමුත් තරුණයා එය පිළිගන්නට ද අකමැතිය. ඔහු ස්ථිරවම පැවසුවේ වළහා තම ඇ`ගට පැන්න බවයි. මේ මුලින් ගෙරවූ තැනැත්තා නොවන බව මගපෙන්වන්නාට අවබෝධ විය. දැන් එළිවන්නට ඇත්තේ පැයක පමණ කාලයකි. සියල්ලෝම අවදියෙන්ය.
තරුණයාගේ කියවීම අඩුවක් නැත. වළහා පැන්න හැටි ඌ පලාගිය හැටි, කූඩාරමට නුදුරුව ඌ තමන් එනතෙක් බලා සිටින හැටි තරුණයා එකදිගට කියවයි. හැමදෙනාගෙම වෙරි හි`දී ඇති සෙයකි. තවත් අඩ හෝරාවක් ගතවෙද්දී කුරුල්ලන් කෑගසමින් වනයේ සැරිසරන්නට විය. නමුත් වළහාට බයවූ තරුණයා නොනවත්වා විවිධ දේවල්  කියවන්නට විය.
’‘අපි මොකද කරන්නේ’’ කණ්ඩායමේ තරුණයෙක් මග පෙන්වන්නාගෙන් විමසීය.
’‘අනේ මන්දා මහත්තයෝ. මේවගේ දෙයක් මගේ කාලයටම දැක්කෙ අද. මේක දේව අඩිවියක් කියලා කිවුවාට මහත්තයලා ඉතිං ඇහුව එකක්යැ. සතෙක්නම් ආව පාටක් පෙන්න නෑ මොකක් හරි හිතේ බයක් ඇත්තේ. කොළ අත්තක් කඩලා කතරගම දෙවි හාමුදුරුවන්ට බාරයක් වුණා නම් හොදයි කියලයි මට හිතෙන්නේ.’’ මග පෙන්වන්නාගේ උත්තරය විය.
’‘ඉතිං ඒක කරන්නකො’’තරුණයාගේ පිළිතුර විය. මම ඒකකරලා හරියන්නේ නෑ. මහත්තයලා කවුරුහරි කොළ අත්තක් කඩලා, ඒක බිම නොවැටෙන විදියට වෙන ගහක අත්තක එල්ලලා. හිතින් හිතාගන්න මේ ලෙඩා සුව කරලා දෙන්න කියලා. ඊට පස්සේ මහත්තයලා යනගමන් කතරගම මහ දේවාලයට ගිහිං ඒ බාරය ඔප්පුකරලා යන්න.’’ මගපෙන්වන්නා උපදෙස් දුන්නේය.
යාල සහ කුමණ කැලේ වළස්සු සිටියත් මිනිස්සුන්ට උන් කරදරයක් නොකරන බව කලක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කළ තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා කීවේය. දේව අඩවියේ නොමනා ලෙස හැසිරෙන බොහෝ දෙනෙක් මේ ආකාරයට බියවු අවස්ථා තමන් දැක ඇතිබවත් ඔහු කීවේය. කුමණ වනෝද්‍යානයේ මහකැබිලිත්තට ඔහු මාසකට දෙතුන්වර යන්නෙකි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 නොවැම්බර් මස 25 14:32:15 | දීප්ත විජයසේකර

විමල් කොඩිතුවක්කු

යාල පිවිසුම


මුව රංචු



No comments:

Search This Blog