Saturday, February 2, 2013

ඌවේ පොලව යටින් ගලා බසින අභිරහස් උමං ගඟ


පර සතුරන්ගෙන් රට බේරා ගැනීම අද මෙන්ම එදත් රට කරවන්නන්ගේ වගකීමක් විය. එදා රජ දවස උමං සාදන ලද්දේ සතුරන්ගෙන් බේරීමේ උපක‍්‍රමයක් ලෙස බව සමහරු කියති.

ස්ත‍්‍රීපුර උමග

රාජ වාසස්ථාන, රහස් පණිවුඩ ගෙනයාම, ධනය සඟවා තැබීම මෙන්ම අන්තඃපුර පවත්වාගෙන යාම සඳහාද එදා උමං හා උමං මාර්ග නිර්මාණය කර ඇති බව ඉතිහාස කතාවන්හි පැවසේ.
එදා මෙදා තුර ඌව පළාත තුළ ඇති උමං පිළිබඳ විවිධ කතිකාවන් පවතී. වඩාත් සුන්දර කතාව ඉතිහාසයට එක්වන්නේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඌවපරණගම පිහිටි ස්ත‍්‍රීපුර කන්දේ උමග තුළ වූ අන්තඃපුරය පිළිබඳවය.
එය එසේ මෙසේ අන්තඃපුරයක් නොව කන්‍යා අන්තඃපුරයක් බව පැවසේ.
වළගම්බා රජුගේ අන්තඃපුරය මෙන්ම මානාභරණ රජුගේ කන්‍යා අන්තඃපුරයද මෙහි තිබූ බව ඌව වංශ කතාව නම්වූ ග‍්‍රන්ථයේ සඳහන්වේ.
මෙම උමග මානාඇල්ල නම්වූ සුන්දර දියඇල්ල දක්වාම විහිදී පැවති බවත් රජතුමා අන්තඃපුර ස්ත‍්‍රීන් සමග මෙම රහස් මගෙන් මානාඇල්ලට ගොස් දියකෙලියේ යෙදුන බවත් කියති.
ඌව ඉතිහාසය රචනා කළ නාවුලේ ධම්මානන්ද හිමියෝ සිය කෘතියේ සඳහන් කර ඇත්තේ රාවණා රජු සීතා දේවිය සඟවා තැබීමටද මෙම උමග ප‍්‍රයෝජනයට ගත් බවට ජන ප‍්‍රවාද ඇති බවයි.
අප එම අන්තඃපුරය සොයා ගිය ගමන විනෝද ජනකය. වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ ලූනුවත්ත දෙසට ගමන් කරනවිට අඩි හාරදහසක් පමණ උසැති ස්ත‍්‍රීපුර කන්ද නෙත ගැටිණ.
වළගම්බා රජු විසින් කරවන ලදැයි සැලකෙන ගනේතැන්න රජමහා විහාරස්ථානය හා බුස්දුල්ල ගම්මානය පසුකළ අප බෝගහමඩිත්ත පාසල අසළට ළඟාවුනෙමු.
එලෙස වාහනයකින් ස්ත‍්‍රීපුර කන්ද පාමුලට පැමිණිය හැකි නමුදු ගමනේ ඉතිරි කොටස යායුත්තේ පාගමනිනි.

පයිනස් වගාව අතරින් තිරුවානා ගල් උඩින් ගමන් කළ යුතුය.

මෙම පොළොව තිරුවානා ගලින්ම නිර්මාණය වී ඇති නිසා ස්ත‍්‍රීපුර ආශ‍්‍රිත ගම්මානය එදා තිරුවානාගම වූයේලූ. එය අද කිරවනාගම ලෙසට ව්‍යාවහාරවේ.
පාගමනින් පසු පොළව යටට යාම සඳහා අඩි 3 ක් පමණ වූ කුහරයකින් උමගට ඇතුල්වූයේ ඉතා අසීරුවෙනි. අඩි 20 ක් පමණ ප‍්‍රපාතයට තිරුවාන ගල් වල එල්ලීමෙන් ගිය ගමන ත‍්‍රාසජනකය.

ඉක්බිති හමුවූයේ ඇවිද යා හැකි ඉසව්වකි. එතැන්සිට දිසා කීපයකට බෙදුනු උමංමග දිස්විය. බටහිර දෙසට විහිදුණු මගෙහි ගමන් කළෙමු. මුලදී හිටගෙන ගමන් කළ හැකි මේ මග ටිකෙන් ටික කුඩා වන බවක් පෙනුණි. දෙකට නැමී එකා පස්සේ ගමන් කළ පසු නැවතත් නිදහසේ හිටගෙන ගමන් කළ හැකි පෙදෙසක් හමුවිය.

එතැන ගල්පොත්ත දිගේ ගලායන සිසිල් දියදහරකි. දියෙන් එගොඩවීම වඩාත් පරෙස්සමෙන් සිදුකළේ ලිස්සන සුළු සෙවල තට්ටු තිරුවානා ගල මත තිබූ බැවිනි.



බෝගොඩ උමග

ඊට පසු එළැඹි බාධකය තරණය කිරීම සඳහා දිගාවී ගමන් කළ යුතුවිය.

කිලෝමීටර් එකහමාරක පමණ දුර අප මේ වන විටත් පැමිණ ඇත. ඒ සඳහා පැය 3 ක පමණ කාලයක් වැයකර තිබිණ. ඉන්පසු හමුවූයේ වවුල් රජ දහනකි.
අප දැල්වූ විදුලි පන්දම් එළියෙන් හා අපේ කටහඬින් කලබල වූ වවුලන් කෑගසමින් ඒ මේ අත ඉගිලෙන්නට වූයේ අප අන්ද මන්ද කරමිනි. වවුලන් ඉගිලී යනතෙක් දෑස වසාගෙන බිම ඉඳගතිමි. නඩයේ අනෙක් ඇත්තන්ද එලෙසම සිටි බව මා දැක්කේ වවුලන් ගේ ශබ්දය වියැකී ගිය සැනින් මා ඇස් ඇර බැලූ බැවිනි.

අපගෙන ගිය විදුලි පන්දම් වල එලිය ඉදිරියට යාම වළක්වමින් තිරුවානා ගල්තට්ටු කඩා වැටී උමං මාර්ගය අවහිර වී තිබිණ.
එතැනින් ඔබ්බට මග නොපෙනී ගියෙන් අපි ආපසු හැරුනෙමු. ඒ තවත් බලාපොරොත්තුවක් ඇතිවය. අන්තඃපුර ස්ත‍්‍රීන් දියකෙලියට ගිය දියඇල්ලට උමං මගෙන් යාම බැරි වුණත් වෙනත් මගකින් එතැනට යාම අපේ අධිෂ්ඨානය විය. ගිය මගෙන්ම උමගින් එළියට ආ අප එලිමහන් මගෙන් මෙම උමගට නුදුරින් ඇති මානාවෙල ඇල්ල සොයා ගියෙමු.

තේවත්තක් මැද පිහිටි මානාවෙල ඇල්ල එකල මහා වෙල්යායක් මැද තිබූ බව දැනගන්නට ලැබුණේ ගම්වැසියෙකුගෙනි.

මේ දියඇල්ල දියවර සපයන්නේ හාල් ඔයෙනි. මානා ඇළ කුඹුරුවලට ජලය ගෙනයන්නේය. අවසාන රජ දවස දක්වාම මෙම වාරික‍්‍රමය මානාව වගාවන්ට ජලය සැපයූ බව එම ස්ථානයේ ගල්පොත්තක කොටා ඇති ලිපියක සඳහන්වේ.

එහෙත් අද වගාකරන බිම් ප‍්‍රමාණය අඩුවී තිබේ. මානාඇල්ල ද්විත්ව ඇල්ලකි. හරියට නිවුන් ලඳුන් දෙදෙනෙක් මෙනි. දියඇල්ල ඇදහැලීමට කලින් ගලින්ම නිර්මාණය වූ ගල්තලාවේම කපා ඔපමට්ටම් කළ ගල් බේසම් දැකිය හැකිය.
අන්තඃපුර ලඳුන් දියනෑවේ මේ ගල්බේසම් වල ලූ.

එම ගල් බේසම් සමූහයට ජලය ගලා එන්නේ ගල් පීලි පද්ධතියකිනි. එම ජලයෙන් බේසම් පුරවා ඉතිරි ජලය පහළට ඇදී යන්නේ දියඇලි නිර්මාණය කරමිනි.
වැලිමඩ සානුවේ අවසාන භාගයෙන් බිමට පනින මේ නිවුන් දියඇලි කොමලියන්ගේ උස අඩි 67 කි. මෙහි ගලක සටහන්වූ දම්වැල් ලකුණු කීපයකි. රාවනා රජුගේ ඇතා බැඳි ස්ථානය එය බව කියති.

බදුලූ දිසාවේ උමං අතරින් ඊළඟට මා සිත් ගත් උමග වූයේ ඇල්ල කරඳගොල්ල උමගයි. එහි ගිය පළමුවැනි මාධ්‍ය කණ්ඩායමද අප වූහ.
කිසිදු පොතක පතක සඳහන් නොවූ මෙම උමග පිළිබඳව අප දැනගත්තේ ගම්වැසියෙකුගෙනි. ඔහු අප සමග කතා කළේ රහසිගතවය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන්කර කරඳගොල්ලෙන් හැරී කරඳගොල්ල මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ගියපසු හමුවූ කුඩා කඳුගැටයක් නැග ඉන්පසු ගල් පර්වතයක් දිගේ ප‍්‍රපාතයක් දෙසට ගමන් කළෙමු.

කැලෑවෙන් වටවූ දෙබොක්කාවක උමං දොර දක්නට ලැබිණ. එම කුඩා දොරටුවෙන් ඇතුල්වීමට හිස පහත්කරගෙන දෙකට නැමී ගමන් කළ යුතුය. ඉන්පසු හමුවූයේ ගල් පඩිපෙළකි. එය බැස ගිය පසු ඇවිද යා හැකි කොටසකි. කිසිදු ස්වසන අපහසුතාවයකින් තොර මෙම උමං මග තුළ දැනෙන්නේ සිසිලසකි. ඇතැම් ස්ථානවල දැඩි අඳුරක් පවතී. අප රැගෙන ගිය විදුලි පන්දම් එළිය ගමනට ප‍්‍රමාණවත් විය.

යළි හමුවූ කුඩා කවුළුවකින් දිග ඇදී ඇතුල් වූ පසු හමුවූයේ විශාල ඉඩකඩක් සහිත ශාලාවකි. හැට දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටීමට එය ප‍්‍රමාණවත්ය.

ලනුවක ආධාරයෙන් බැසිය යුතු ස්ථානයන් මෙන්ම බඩගගා ඇතුල්විය යුතු දොරටු පසුකරමින් අප පැමිණ තිබුණේ මේ උමගේ සුන්දරතම ඉසව්ව ලෙස සැලකෙන නිල්පැහැති ජලය පිරුණු තටාකය ළඟටය. අධික ශීතලෙන් යුතු මේ ජලකඳ තටාකයට දියපුරවා යළි පහතට ඇදෙන හඬක් ඇසුනද ඉන් ඔබ්බට යාමට අප පින්කර තිබුණේ නැත. එතෙකින් සෑහීමට පත්වී ආපසු හැරුනෙමු.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය යටින් විහිදී තිබුණ උමගක් 1997 දී නිරාවරණය විය. තොරතුරු කන වැකුණ සැනින් අපි එහි ගියෙමු. ගවයන් සොයා ගිය ගම්වැසියෙක් උමං කට මුලින්ම දැක තිබුණේය. උමංකට කුඩා වුවද එතුළින් පහසුවෙන් බසින්නට හැකිවිය. ඉක්බිති හමුවූයේ විශාල උමංගෙයකි. අපි කිලෝමීටරයක් පමණ දුර පහසුවෙන් ඇවිද ගියෙමු. ස්වසන අපහසුව මෙන්ම කීප අතකට විහිදුනු මං සලකුණු නිසා ආපසු හැරුනෙමු.ඉදල්ගස්හින්නේ ඩිංගිරි බණ්ඩා සීයා අපට කීවේ පෘතුගීසීන්ට එරෙහිව සිංහල හමුදාවේ ඒකරාශීවීමට මෙවැනි භූගත ස්ථාන යොදාගෙන තිබූ බවයි.

හාලිඇල බෝගොඩ රජ මහා විහාරස්ථානය ලොව පුරා ප‍්‍රචලිත වී ඇත්තේ එකම ගසක දැවයෙන් සෑදු විස්මිත හා කලාත්මක ලී පාලම රජ දවස මෙහි ඉදිකර තිබීම නිසාය.

එම පාලමට ඉදිරියෙන් ඇති ලෙන් විහාරය වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව ඉතිහාසයේ සඳහන් වේ. ලෙන් විහාරයට පිටුපසින් උමං දොරක් දැකිය හැකිය. එම උමංදොරින් ඇතුළු වීමට හැකිවුවත් ඉන් ඔබ්බට යන උමං මාර්ගය වැසී තිබේ.

විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියෝ පැවසුවේ නාරංගල කන්දට, මහනුවරට හා බදුලූ කතරගම දේවාලයට යාම සඳහා මෙම උමං මාර්ගය යොදාගත් බවට ජනප‍්‍රවාදයන් පවතින බවයි.

ඇල්ල රාවනා ඇල්ලට ඉහළින් වළගම්බා රජු විසින් කරන ලදැයි සැලකෙන අපූරු ලෙන් විහාරයක් වෙයි. ඒ අසපුවේ හතරැස් අඩි 2000 ක පමණ වන ගල්ගෙයක් දැකිය හැකිය.

එය වළගම්බා රජුගේ වාසස්ථානයක් වූ බවද කියනු ලැබේ. මෙම ස්ථානයේ සිට දෝව රජමහා විහාරස්ථානයට උමං මගක් තිබූ බව කියති. එම ස්ථානයේ උමංකටක් දෝව රජමහා විහාරස්ථානයෙන්ද දැකිය හැකිය.

රාවණා ඇල්ල පිහිටා ඇත්තේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. රාවණා ඇල්ලට නුදුරින් ඇති උමග හඳුන්වන්නේ රාවනා ගුහාව නමිනි. රාම රාවණා මහා සංග‍්‍රාමයේදී රාවණා මෙම ගල්ගෙයි සැඟවී සිටි බවද ජනප‍්‍රවාදයකි.

එම උමගේ මීටර් භාගයක් පමණ ගමන් කළ හැකි නමුත් ඉන් ඔබ්බට යාම අපහසුය.

සොරණාතොට බුදුමුත්තාගල යැයි හඳුන්වනු ලබන පර්වතයේ විශාල ගල් ගෙයක්වෙයි. ඒ හා බැඳුණු උමග ඔස්සේ ගොස් බෝගොඩට මතුවිය හැකි උමං මගක් තිබූ බව කියති.


කරඳගොල්ල උමගේ නිල්දිය තටාකය


සොරණාතොට තල්දෙන සමීපයෙහි පිහිටි ගල් ලෙන් දෙකකි. අඩි සියයක් දිගින් හා අඩි 65 ක් පළලින් ඊටම යාබදව මැද මිදුලක් සහිත අඩි 81 දිගින් හා අඩි 12 ක් පළල අනෙක් ගල්ගේ පිහිටා තිබේ.

සීතාවක රාජසිංහ රජුගේ සංඝ සංහාරය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙහි සැඟවී සිටි බවට ජනප‍්‍රවාදයකි.

පස්සර බුදම පාමුල පිහිටි බව කියන ඇකිරියේ උමග ඔස්සේ හාලිඇල ඉහළ දොම්පේ සිට හපුගහමුල්ල දක්වා විහිදී තිබේ.
මහියංගණය ගෝණගල කන්දේ උමග තුළ II වැනි රාජසිංහ රජු රහසිගතව වාසය කළ බව කියති.

මීගහකිවුල බිංගේලන්ද ගමේ පිහිටි උමග කුමාරදාස රජතුමා පරිහරණය කළ එකකි. තණමල්විල වල්ලිගුහාව කතරගම දක්වා විහිදෙන බව සැළයි.
පස්සර වැල්ගොල්ලේ උමග ලූනුගලකන්ද දක්වා විහිදෙයි.

හොරදොරෙව්වේ උමග වෙලන්හින්න කඳු බෑවුමේ සිට අලූත්වෙල දක්වා ගමන් ගනී.

ඌව පළාතේ හෙලිදරව් වී ඇති උමග රැසක් කාලයාගේ ඇවෑමයෙන් වැසී යමින් පවතී.

එහෙත් අනාවරණය නොවූ උමංද තිබෙන බවට විශ්වාසයක් පවතී. ඒවා බොහෝමයක් වනගතව ඇත. ඒවා ගවේෂණයකට ලක්වී නැත.
ඌමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති භූමියෙන් භූගත කටක් මතුවිය. එය කිසිසේත්ම ඓතිහාසික පුරාවෘත්ති වලට පසුබිමක් ඇති එකක් නොවන බව පුරාවිද්‍යා බලධාරීහු කියති. කෙසේ හෝ එතුලට යන්නට හෝ සොයා බලන්නට තහනම්ය.




ස්ත‍්‍රීපුර උමග


ඉදල්ගස්හින්න උමග

 කරඳගොල්ල උමගේ ඉහළින් පෙනෙන හුනුගල් තට්ටුව


සටහන හා ඡායාරූප : බදුල්ලේ පාලිත ආරියවංශ
2013 ජනවාරි මස 21 13:00:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


No comments:

Search This Blog