පසුගිය පොසොන් පෝය දවස කතරගම පුදබිම මහජනතාවකගෙන් පිරීඉතිරී ගියේ චිරාත් කාලයක් පවත්වාගෙන එන මංගල්‍යයක් එදින සිදුකෙරුණු නිසා... ඒ මංගල්‍යයට කියන්නේ කප් සිටුවනවා කියලා... කප් සිටුවන්නේ පෙරහර අහවල් දවසේ පැවැත්වෙනවා කියලා හරියට දින වකවානු නියම වුණාම... දන්නවද කප් සිටුවනවා කියන්නේ මොකක්ද කියලා... කප් සිටුවන එක විතරක් නෙවෙයි, කතරගම දෙවි හාමුදුරුවන්ගේ තෙද බල අනුහස තියෙන ලෝකේම දන්න කතරගම මහ දේවාලෙත් එක්ක බැඳිච්ච කොච්චර විස්මයන් තියෙනවද... ඒ ගැන ලිපි පෙළක් ලියන්නයි කියලා මට කිව්වේ අපේ ප්‍රධාන කර්තෘ තුමා...
මේකට කාවද සම්බන්ධ කරගන්නේ... ඒකට උත්තරේ හොයාගෙන තමයි අපි කතරගම ආවේ... තැන් තැන් ගොඩකට ගිහින් අන්තිමට අපට අවශ්‍ය කෙනා ළඟට අපිව යැව්වේ දෙවියෝ කියලයි මට හිතුණේ... සොමිපාල රත්නායක මහත්තයා... ඒ කියන්නේ කතරගම මහ දේවාලේ ප්‍රධාන කපු ධුරන්දරය හොබවන ඒ නිහතමානී දැනුමැත්තා අපිත් එක්ක කතා කළේ හරිම සැහැල්ලුවෙන්... ජීවිතේ දෙවියන් වෙනුවෙන් කැප කරලා, නරයන් සහ දෙවියන් අතර දශක පහකට වඩා පාලමක් වෙලා, හැදෙන, වැඩෙන, නැසෙන මිනිස් ප්‍රාණීන්ගේ යස ජීවිත දිහා බලලා, අදත් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න අපූරුව.... ඒ හවස අපිට ජීවිතේට අමතක නොවන දැනුමක් ලබා දුන්නා ඔහු... ඉතින් අපි ඒ කතරගම දෙවි හාමුදුරුවන්ගේ අනුහස් පිරිච්ච කතා ගොන්නට ඇහුම්කන් දෙමුද...
කතරගම දේවාලේ ආරම්භය කොහොමද වුණා කියන්නේ රත්නායක මහත්තයා...
ඔව්... මේ දේවාලේ ගොඩනැඟුවා කියන්නේ කි.පූ. හැටගණන්වල... මේ දේවාලේ ආරම්භය කියන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ... ඉතින් ගාමිණී කුමාරයා මාගම ඉඳලා මෙහෙන් තමයි අනුරාධපුරේ ජයගන්න ගියේ... ඒ කාලේ තවලම් තමයි වාහනවලට තිබුණේ... දැක්කද ඔය දේවාලේ තියෙනවා පින්තූරයක් දෙවියන් වැඳගෙන ඉන්නව කෙනෙක්... ඒ කියන්නේ අරුණගිරි නාදන් කියන සාමි... මේ වල්ලි අම්මා එක්ක සම්බන්ධ කතාව... ඔය සාමි ඇවිල්ලා මෙහේ දඹුව කියන හරියේ තපස් රැක්කා... ඔය අතරේ ඍෂි දේවතාවියකට අපලයක් වුණා... එයා ජේයාතිෂය කරන අයගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා... ඒ ගමන ඒ අය කිව්වා ඔය අපලයට කරන්න තියෙන්නේ එයාට ලැබෙන දරුවන් හතර දෙනාව දඹදිව හතර තැනක දාන එක කියලා... ඊට පස්සේ අපලේ දුරුවෙනවා කිව්වා... එහෙම කිව්වාට පස්සේ ඒ අය ආවා ආයිත්... එතකොට මේ පැත්තේ හිටියේ වැද්දෝ... මේ අය මුව දඩයමේ යනවා... එතකොට ඒ කාලේ තිබුණා නුග ගහක්... දැන් ඔය කිරි වෙහෙරට යන පාරේ රාවණ පිළිමේ තියෙන තැන තියෙන්නේ... ඒ කියන්නේ මා නුග ගහක්... මේ නුග ගහේ පොඩි ගෙඩි තියෙනවා රතුපාට... මේ ගෙඩි කනවා මුවෝ,... ඉතින් මේ ගෙඩි වැටෙන කාලෙට මුවෝ රැස්වෙනවා... මේ මුවෝ අල්ලන්න වැද්දෝ වළක් කැපුවා..
බොරු වළක්...
ඔව් බොරු වළක්... මෙතැනදී අර ඍෂි දේවතාවියට දරුවෙක් ලැබුණා.. ගෑනු දැරියක්... එතැන වළට දාලා එයා ගියා.. පස්සේ මුව දඩයමේ ආව වැද්දෝ දැක්කා මුව රංචුව එහාට ගියත් එක මුව දෙනක් ටිකක් වෙලා ඉඳලා හිමිහිට යනවා... ඒ ගමන වැද්දෝ ළං වෙලා බලද්දී ගෑනු දරුවෙක් හිටියා වළ ඇතුළේ... ඒක තමයි ඔය වල්ලි අම්මා දේවාලේ මුව රංචු ඇඳලා තියෙන්නේ... ඊට පස්සේ වැදි රංචුව මේ දැරියත් අරගෙන වැදි නායකයා ළඟට ගියා... නන්ද කියන වැදි නායකයා... එයාට දරුවෝ නෑ... එයා පෝෂණය කළා මේ දරුවා... මේ ගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය තණ පිටි, මී පැණි, එළඟිතෙල්. පස්සේ කාලෙක මේ දැරිය වැඩෙද්දී අර තණ හේන්වලට බහින කුරුල්ලෝ එළවන්න ගියා. එයා සින්දු කිය කිය තමයි මේ කුරුල්ලෝ එළෙව්වේ... පස්සේ අර ස්වාමි බැලුවා මේ කවුද මෙහෙම සින්දු කියන්නේ කියලා... එයා රහසේ බැලුවාම මෙන්න ලස්සන තරුණියක්... ඒ ගමන සාමි කල්පනා කළා මේ තරුණිය ඔබින්නේ කන්ද සාමිට තමයි කියලා. එයා ගිහින් කන්ද සාමිට මේ තරුණිය ගැන කිව්වා... කන්ද සාමි කියන්නේ කතරගම දෙවියන්ට... මේ තරුණිය බලන්න ආවේ යාළුවෝ දෙන්නෙක් එක්ක... ඒ තමයි නබීර් සහ ශිවලිංගම්... මේ දෙන්නා එක්ක තමයි ආවේ... ඇවිල්ලා කතරගම දෙවියෝ වැඩහිටි කන්දේ නැවතුණා... අනෙක් දෙන්නා මෙහෙට ආවා.... ඒ දෙන්නා නැවතුණේ මෙහේ...
ඉතින්...
කතරගම දෙවි හාමුදුරුවෝ මේ යාළුවෝ දෙන්නත් එක්ක වල්ලි අම්මා බලන්න ගඟ දිගේ ගියා... මෙහෙම යන අතරේ දුටුගැමුණු රජ්ජුරුවෝ සේනාවක් අරන් අනුරාධපුරේ ජයගන්න යනවා... ඒ යන අතරේ කතරගමයි, තිස්සමහාරාමෙයි අතරෙදි කුමාරයා සේනාවට යන්න කියලා වනාන්තරේට ඇතුළු වුණා. මෙහෙම ගිය කුමාරයාට වනාන්තරේ ඇතුළෙදි හේනක් කරන අම්මා කෙනෙක් හමු වුණා... කුමාරයා ඒ අම්මට කිව්වා "මට බඩගිනියි අම්මා" කියලා. ඒ ගමන ඒ අම්මා කුමාරයාට කිව්වා "මං බොහොම දුප්පත් ... ඒත් උඹට කන්න මං සුනු සාල් වගයක් තියෙනවා ඒක උයලා දෙන්නද" කියලා... කුමාරයා "හා" කිව්වා... පස්සේ ඒ අම්මා කුමාරයාට සුනුසාල් හදලා දුන්නා... උණු උණුවේම කන්න... කුමාරයා තැනින් තැනින් අර සුනුසාල් කද්දි ඒ අම්මා කිව්වා "මොකක්ද පුතේ ඔය කන විදිය... හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේනේ" කියලා... පස්සේ කුමාරයා ඇහුවා "ඇයි ඒ" කියලා... "ඇයි දෙයියනේ ගැමුණු කුමාරයත් තැන තැන යුද්ධ කරනවා විතරයි කොනකින් පටන් අරන් ඉවර කරන්නේ නෑනේ" කිව්වා. කුමාරයා මේකත් හිතේ තියාගෙන තමයි එතැනින් එළියට බැස්සේ.... එතකොට ඔය අතරේ ආව අර සේනාව විවේකයක් ගන්න, උයා පිහාගන්න නැවතුණා දැන් ඔය කාවාඩිමඩු කියන තැන වැල්ලේ... ජූලි මාසේ... වතුරත් අඩුයි... ඔහොම වෙන අතරේ කතරගම දෙවි හාමුදුරුවෝ සන්නාසි වේශයක් මවාගෙන ඔය පැත්තේ යනවා... ඒ යන අතරේ මේ තවලම්වල දාපු ආයුධ එහෙම මලුවලට දාලානේ තිබුණේ.. සන්නාසි වේශයක් මවාගෙන හිටිය කතරගම දෙවි හාමුදුරුවෝ ඇහුවා මොනවද ඔය මලුවල තියෙන්නේ කියලා... පස්සේ සේනාව භාරව හිටිය කෙනෙක් කිව්වා මේවායේ තියෙන්නේ උඳු කියලා...
ඇයි එහෙම කිව්වේ...
ඇයි ඉතින් සන්නාසි වේශෙන් ඉන්න කෙනා ඇඳුරුවේ නෑනේ... එයා ඉල්ලයි කියලයි එහෙම කිව්වේ... පස්සේ සන්නාසි උන්නාන්සෙත් "හා" කියලා යන්න ගියා. පස්සේ මේ අය උයන්න එහෙම බඩු හාල්, එළවලු ගන්න අර මලු ලෙහලා බැලුවාම ඒවා උඳු වෙලා... හැම මල්ලක්ම උඳු වෙලා... ආයුධ මලු වුණත් උඳු වෙලා. මේ අතරේ කුමාරයා ආවා... පස්සේ සේනාව භාරව හිටිය සෙන්පතියා කිව්වා වෙච්ච දේ... කුමාරයාට දැන් ඕනේ වෙච්ච දේ බලන්න නෙවෙයි... ඒ ගිය කෙනා කවුද බලන්න... ඉතින් කුමාරයා ඒ සන්නාසි උත්තමයා ගිය දිහා අහ අහා ආවා... ඒ එනකොට ඔය දැන් දිය කපන තොට තියෙන්නේ... එතැනට කියන්නේ ජීවමාන තොට කියලා.... ඔය ඔතැන මැද තමයි උන්නාන්සේ හිටියේ... ඒ ගමන කතරගම දෙවිහාමුදුරුවෝ... අර කිව්ව සන්නාසි වේශෙන් ඉන්නේ. එතුමා බැලුවා කුමාරයා දිහා... එතුමා දැක්කා මේ කුමාරයා එසේ මෙසේ කුමාරයෙක් නෙවෙයි... මේ රට එක්සේසත් කරන කුමාරයෙක්... එයැයිට මේ අනුහස පෙන්නන්න ඕනේ කියලා හිතලා අධිෂ්ඨාන කළා ගඟේ සැඩ වතුර කඳක් යන්න කියලා.... ඒ හිතුව විදියටම සැඩ වතුර පාරක් ගලන්න ගත්තා... පස්සේ කුමාරයා කිව්වා අර සන්නාසි උත්තමයට මං මේ බුද්ධ ශාසනේ චිරස්ථිතිය වෙනුවෙන් මෙහෙම සටනක් කරන්න යනවා... මට ඒකට ඔබ වහන්සේ උදවු කරන්න කියලා... ඒ ගමන කතරගම දෙවි හාමුදුරුවෝ කුමාරයාට කිව්වා එන්න ළඟට කියලා...
අර සැඩ වතුර පාර මැදින්...
ඔව්... වතුර පාර සැර අඩු කරලා උන්නාන්සේ කුමාරයාට එන්න ඉඩ හදලා දුන්නා... පස්සේ උන්නාන්සේ ආශීර්වාද කළා...
ඒ ගමන ගැමුණු කුමාරයා කතරගම දෙවි හාමුරුදුවන්ට බාර වුණා මේ රට එක්සේසත් කරන්න මට ජය අත්කර දුන්නොත් මං ඔබ වහන්සේට රන් උළු මාලිගාවක් හදලා දෙනවා කියලා..... ඒ වගේම ඔබ වහන්සේට පුද සත්කාර කරන්න බිමක් සකස් කරලා දෙනවා කියලා... පස්සේ ඉතින් කුමාරයා යුද්ධෙට ගිහින් ඒක ජයග්‍රහණය කරලා මුලු රටේම අග රජු වුණා...
ඉතින්...
ඊට පස්සේ දුටුගැමුණු රජතුමා මෙහෙට ආවා බාරේ ඔප්පු කරන්න...
එහෙම ගියේ වැඩහිටි කන්දට... එතැනදි කතරගම දෙවි හාමුදුරුවෝ දෘෂ්‍යමාන වුණා රජතුමාට... ඒ ගමන රජතුමා කිව්වා කතරගම දෙවි හාමුදුරුවන්ට මං ආවේ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියලා. ඒ ගමන කතරගම දෙවියෝ කිව්වා "කලියුග කියලා කාලයක් එනවා... ඒ කාලෙදි ඇතිවන මනුස්සයෝ දෙවියන් තියා අම්මා තාත්තවත් අදහන්නේ නෑ.... ඒ නිසා මට රන් උළු මාලිගාවක් හැදුවොත් අපකීර්තියක් වෙන්නේ... ඒ නිසා මට රන් උළු මාලිගාවක් එපා... මට රන්කොත් මාලිගාවක් හදලා දෙන්න" කියලා... පස්සේ රජ්ජුරුවෝ කිව්වා කතරගම දෙවි හාමුදුරුවන් මට තැනක් පෙන්නන්න කියලා... ඒ ගමන කතරගම දෙවි හාමුදුරුවෝ වැඩහිටි කන්දේ ඉඳලා ඊයක් විද්දා... ඒ ඊය වැටුණු තැන තමයි කතරගම මහ දේවාලේ හැදුණේ... ඊට පස්සේ පන්සිය පනස් පස් දෙනෙක් නිල කපු කමිටු පත්කරලා, නින්දගම් ප්රදානය කරලා ඉර හඳ පවතින තුරු මේ තැන ආරක්ෂා කරලා, ආවතේව කරන්න පත්කෙරුවා. ඒ විදියට අපිත් තවමත් ඒ කටයුතු පුරාණේ අපේ පරම්පරා ඥාතීන්ගේ ඉඳලා කරගෙන එනවා... අපිත් ඒ පරම්පරා අයිතිය, උරුමය රැකගෙන යනවා...
රත්නායක මහත්තයලටත් නින්දගම් අයිතිද....
ඔව්... ඔය කටගමුව කියන්නේ එහේ... ඒ කියන්නේ කපුගොල්ල ඉන්නවා දෙගොල්ලක්... එදා හිටියා තේවය කරපු ගොල්ලයි, දවස් තේවය කරපු ගොල්ලයි කියලා ෙදාගොල්ලක්... ඉතින් ඔය තේවය කපුගොල්ල කියන අයට ඒ කියන්නේ අපට තිබුණ නින්දගම් ප්‍රමාණය අක්කර ෙදාළොස්දාස් අටසිය අසූ දෙකයි රූඩ් තුනයි පර්චස් දාහතයි... ඒ කාලේ මායිම් පෙන්නුවේ වරහනෙන් පලු ගහ... පහළ හේපිටෙන් ගඟ, මාරගාඩුව ගුරුගොඩ කියන මායිම් පෙන්නුවා, මුත්තා ඒ කාලේ...
ඒ කිව්වේ....
1918 නේ ඔය අක්කර පර්චස් ආවේ... ඒ මායිම්වලින් තමයි මැන්නම ඔය ගාණ ආවේ... කොහොම හරි අක්කරයකට රුපියල ගාණේ බදු අය කරද්දී අපට සල්ලි අගහිඟ නිසා අන්තිමට අක්කර එකසිය තිහකට සීමා වුණා... දැන් තියෙන්නේ ඒ ගාණ...
තේවය කපුගොල්ල කොච්චර ඉන්නවද...
හය දෙනයි... පෙරහර පසුරාළයි හත්දෙනයි... එයා තමයි ඇතා පිටෙන් දෙවියන් වැඩම කරන්නේ... ඉතින් මේ හත්දෙනා තමයි බැද්දේ කණු කැපීම, මණ්ඩපයේ කණු කැපීම, වත බැඳීම, දෙවියන් වැඩම කිරීම, දිය කපන්න දෙවියන් ඉස්සීම, ගෙවදීමේ චාරිත්‍රය කිරීම, ඇසළ මංගල්‍යයේ මහනානුමුර මංගල්‍ය කිරීම කියන දේ කරන්නේ තේවය කපුගොල්ල.... දවස් තේවය කරනවා කියන්නේ දවස ගාණේ කරන අය....
එතකොට ඔය තේවය කියන්නේ මොකක්ද රත්නායක මහත්තයා...
තේවය කියන්නේ හැන්දෑවේ හයාමාරට විතර මුරුතැන් පූජාව කරනවා.... පහන් ආලෝක පූජාව කරනවා.. ඒ කරන්නේ තේවය... මේ කියන්නේ දවස් තේවය... ඒ අය දවස ගාණේ කරන චාරිත්‍ර.... එතකොට උත්සව කාලෙට විතරක් කරන තේවය කරන්නේ වෙන කපුගොල්ලක්... ඒ අය ඒ තේවය කරන්නේ කතරගම ප්‍රධාන උත්සවවලට විතරයි... එහෙම උත්සව කාල හතරක් තියෙනවා කතරගම....
ඉතින් ගොඩාක් දේ දැනගත්ත හින්දා චුට්ටක් මනස සුවපත් කරගෙන ඉමු.... මේ කතරගම දෙවියන්ගේ ප්‍රකට පුද බිමේ අප්‍රකට තොරතුරු දින හැරෙන ලිපි පෙළක්... රත්නායක මහත්තයා අපිත් එක්ක හුඟාක් දේ කතා කළා.... කවදාවත් මාධ්‍යවලට කතා කරපු නැති දේ පවා... දේව රහස් වගේ හැංගිච්ච දේත් ඒ අතරේ තිබුණා... ඉදිරි කලාපවලදී ඒවාත් ඔබට දැනගන්න ලියන්නයි මං හිතාගෙන ඉන්නේ... ඊළඟ සතිය වෙනකම් කතරගම දෙවි හාමුරුවන්ට තියෙන බැතිය තව තර කරගෙන ඉවසලා ඉන්න ඔබ....
අනුරාධ එදිරිසිංහ
4 comments:
ඇත්තටම ඉතාම වටිනා ලිපියක් . කපු මහත්මයාගෙන් කතරගම දේවාලේ වාසනා ඇතා ගැනත් අහලා පොස්ට් එකක් ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා . එතුමාට ඇතා ගැන කියන්න ගොඩක් විස්තර තියෙනවා .
///ජීවිතේ දෙවියන් වෙනුවෙන් කැප කරලා, නරයන් සහ දෙවියන් අතර දශක පහකට වඩා පාලමක් වෙලා, හැදෙන, වැඩෙන, නැසෙන මිනිස් ප්‍රාණීන්ගේ යස ජීවිත දිහා බලලා, අදත් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න අපූරුව....///
වට්ටියේ ගාණට පෝලිමේ පෙරට... කතරගම දෙවියන්ට බාරහාර වෙන්න හිතෙන්... ඔතනට ගියොත් වස් දොස් තමා.. ඕක දැන් පවුකාරයන්ගේ බිමක් වෙලා...
කන්දසාමි කතරගම දෙවියෝ වෙච්ච එක එක අඩුවක් තියලයි ලියල තියෙන්නේ.ඇයි මහසෙන් රජ්ජුරුවෝ කතරගම දෙවියෝ උන කතාව අමතක කෙරුවේ.ඔබ කිරිවෙහෙරටත් ගියානම් ඒ විස්තරත් එකතු කරලා නියම තුලනාත්මක ලිපියක් ලියන්න තිබුන.එහෙම නම් එක බලන අයටත් වැඩක් වෙන්න ඉඩ තිබුන.
සමරසේකර
කතරගම දෙවියන් පිළිබඳව ගොඩාක් දේවල් ලියන්න තියෙනවා.ඒත් මේ කපු මහතා නියම පරම්පරා මහත්තය කෙනෙක් නෙවෙයි.කතරගම ඉතිහාසයේ ගොඩාක් තොරතුරු වසන් කරණ කප්පෙක්...මෙයි ඓතිහාසික කිරිවෙහෙර අෂ්ටඵල බෝධිය සහ දුටුගැමුණු රජු දේවාලයට සම්බන්ධ වීමේ නියම පුවත කිවුවෙ නැහැ.
Post a Comment