Friday, October 2, 2015

ඌවේ නිදහස් සටන

උඩරට රදල ප්‍රධානීන් 1815 උඩරට ගිවිසුම අත්සන් කළේ පලුදුවී ගිය තම ස්වාධීනත්වය හා රාජ්‍ය පාක්ෂික භාවය නැවත තහවුරු කර ගැනීමේ උදාර අදහස මතය ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සිහසුනෙන් පහකොට ඔහු අල්ලා ගැනීමෙන් පසු ස්වදේශය රදල පෙලැන්තිය බලාපොරොත්තු වූයේ සිංහලේ ප්‍රධාන අදිකාරම් වූ ඇහැලේපොල රජ බවට පත්කරන බවට ඉංග්‍රීසීන් විසින් දෙන ලද ඉඟියක් අනුවය. එහෙත් අවාසනාවකට මෙන් සිදුවූයේ අනෙකකි. ගිවිසුමේ කොන්දේසි ඉංග්‍රීසීන්ට දැන් අමතකය. අනුක්‍රමයෙන් ඒවා ගිලිහෙමින් පැවැතුණි. බුද්ධාගම හා භික්ෂූන් වහන්සේ පිළිබඳව ඉටුකරන බවට දුන් පොරොන්දු ජාතිකයෙකුට පැවරීම කිසිසේත්ම සතුටට හේතුවක් නොවීය.



මේ අතර නායක්කාර් වංශයට නෑකම් කියන රජකමට හිමිකම් ඇති විල්බාවේ හෙවත් දොරේසාමි නම් අමුත්තෙකු වෙල්ලස්සේ සැරිසරන බව දැනගත් ඌව දිසාවේ නතරවී සිටි විල්සන්, උඩරට ප්‍රදේශවල පරිපාලන කටයුතු භාරව සිටි ජෝන් ඩයිල් වෙත දැනුම් දුන්නේය. විල්සන් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වෙල්ලස්සට ගිය අතර, එහි සිංහලේ නායකත්වය දැරූ බූටාවේ රටේ රාළ සමඟ සාකච්ඡා කළ නමුත් එය අසාර්ථකවී ආපසු වෙනත් පාරකින් පොල්වත්ත හා තල්දෙන හරහා බදුල්ල බලා පිටත්වීමට සිටි විල්සන්ව බිබිලේ උණගොල්ල ඊතණවත්ත දේවාලයේ අසලදී සිංහළ සොල්දාදුවකු වූ තිසාහාමි නැමැත්තෙකු විසින් විදින ලද ඊතළ පහරකින් මරුමුවට පත්විය. තවත් කෙනෙකුගේ මතය වුයේ තිසාහාමි වැදිහමුදාවේ සොල්දාදුවකු බවය. කෙසේ වෙතත් වෙල්ලස්සේ බූටාවේ රටේ රාළගේ සිංහලේ හමුදාව කවදත් විදේශීය ආධිපත්‍යයට විරුද්ධව සටන් ආරම්භ කිරීමේ අභයභූමිය වශයෙන් සළකන ඌවෙන්ම ඉංග්‍රීසීන්ට විරුද්ධව සටනේ මූලිකත්වය වෙල්ලස්සෙන් ඇරඹූ බවය.

හජ්ජියේ සහ විල්සන්ගේ මරණයෙන් කලබලයට පත් ඉංග්‍රීසීන්, විල්සන් දැරූ තනතුරට ආදායම් කොමසාරිස් වශයෙන් සේවය කළ සොයර්ස් පත් කළ අතර. මේ වනවිට වෙල්ලස්ස දිසාව මිල්ලෑවටද, වලපනේ දිසාව කොබ්බෑකඩුවටද, ඌව දිසාව කැප්පෙටිපොලටද පවරන ලදී. මේ අතර පහළ ඌවේ වනගතව සිටි විල්බාවේ හෙවත් දොරේසාමි වෙල්ලස්ස, ඌව සහ බිම්තැන්න ප්‍රදේශවල සිටි සිංහළයන්ව ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් වදින ලෙස නියෝග කළේය. විල්සන්ගෙන් පසුව ඉංග්‍රීසි හමුදාව භාරව කටයුතු කලේ මැක්ඩොනල්ඩ්ය. ඔහු භාෂා පරිවර්ථකයාද විල්සන් මැරූතැන මරා එල්ලා තිබුනි. බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල වෙල්ලස්ස හා වලපනේ සටන් මෙහෙයවූහ. මේ අතර කැරැල්ලේ තරම දැනගත් ඉංග්‍රීසීන් ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව ආදී ප්‍රදේශවලින්ද හමුදා ගෙන්වා, හමුදා මෙහෙයවීම සඳහා කර්නල් කේලී සහ මේජර් ස්පෙන්සර්ද කැරලි ප්‍රදේශවලට යවන ලදී. යුධ නීතිය ප්‍රකාශයට පත්කොට මොහොට්ටාලවරුන් කිපදෙනෙකු සමඟ මොණරවිල කැප්පෙටිපොලද කැරලි මර්ධනයට යැවූ බව කියනු ලැබේ.

බුටාවේ රටේරාළ
කොහුකුඹුරේ රටේරාළ
කිවුලේ ගෙදර මොහොට්ටාල
ආදාවල මොහොට්ටාල

යන අය එකතුව ඉදිරියට එන මොණරවිල කැප්පෙටිපොල අභිමානවත් ජාතික සිංහළයෙකු වශයෙන් ඉංග්‍රීසීන්ට කත් නොඇද සිංහලේ හමුදාවට එක්වන්නයැයි කියා පණිවිඩයක් ලියා යැව් බව කියනු ලැබේ. මේ පණිවිඩය රැගෙන ගියේ ඌවපරණගම බෝඹූරේ වැසි කැරලි නායකයකුව සිටි සුද්දනා දූරයා විසින් යැයි කියනු ලැබේ.



කෙසේ හෝ කැප්පෙටිපොලට මේ වනවිට සිංහලේ හමුදාවට එක් නොවී බැරීවිය. අලුපොතදී සිංහලේ හමුදාවට කැප්පෙටිපොල එක්වූ බව ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබුනේ යුද නීතිය පැනවූ 1818 නොවැම්බර් 7 දිනයේ විය. කැප්පෙටිපොල ඇහැලේපොලගේ බෑනා කෙනෙකි. සියළුම රදලවරුන් කැප්පෙටිපොලට පක්ෂයහ. කැප්පෙටිපොලගේ තනතුරට ඉංග්‍රීසීන් විසින් මොල්ලිගොඩ නිළමේ පත් කරන ලදී. මෙයින් පසු ඌව කැරල්ලේ නායකයන්වූ 17 දෙනෙකු සටන් මෙහෙයවීම ආරම්භ කිරීමෙත් සමඟ සටන උග්‍ර අතට හැරුනු බව කියනු ලැබේ.

කැප්පෙටිපොල ඌවේ නිදහස් සටනට එක්වීම ඉංග්‍රීසීන්ගේ බියට හේතුවක් විය. 1818 පෙබරවාරී වන විට මඩුගල්ලේ සටනේ දුම්බරද, හේවාහැට, සබරගමුව කොටසක් හා හත්කෝරලේ, හාරිස්පත්තුව, මාතලේ සහ නුවර කලාවියද සටනට එක්විය. උඩුනුවර, යටිනුවර තුන් කෝරළේ හතර කෝරලේ ආදී උඩරට සියළු ප්‍රදේශවල සටන ව්‍යාප්ත විය. මේ නිසා 1818 පෙබරවාරී 21 වන දින මුලු උඩරටම යුධ නීතිය පැනවිය. කැරල්ලේ නායකයන් අල්ලා දෙන අයට තෑගි පිරිනෑමීමද කරනු ලබන බව ප්‍රසිද්ධ කළේය. ඉන්දියානු හමුදාවක ආධාරද ලබාගත්තේය. කැරලි නායකයන් දළදාවද පැහැර ගත්තේය. දළදාව හිමි තැනැත්තා සිංහල රාජ්‍ය උරුමය හිමි තැනැත්තාය. සිංහලේ රාජ්‍ය සම්ප්‍රදායය එයයි. මේ අනුව විලිබාවේ හෙවත් දොරේසාමි හඟුරන්කෙතදී විශාල පිරිසක් මධ්‍යයේ ‘වීරවික්‍රම ශ්‍රී කීර්ති‘ නමින් උඩරට රජ වශයෙන් ඔටුනු පැළැදීය.

එසේ නමුත් මොණරවිල කැප්පෙටිපොල, මඩුගල්ලේ සහ විල්බාවේ අතර ඇතිවූ මතභේද ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට හේතුවිය. ස්වකීය පෞරාණික උරුමය ආරක්ෂා කර ගැනීමට සටන් කරන විට ඉංග්‍රීසීන් ඉතා කෘෘර ලෙස ගම්බිම් හරකාබාන විනාශ කරමින් දකින දකින අයට වෙඩි තබමින් ගෙනගිය නිවට නියාලු ප්‍රතිපත්තිවල සාධාරණත්වයක් නැතැයි ඉංග්‍රීසි ජාතික හෙන්රි මාෂල් සහ ආනන්ද කුමාරස්සාමි යන අය සදහන් කරයි. එපමණක්ද නොව 1815 උඩරට ගිවිසුමේ වගන්ති දෙකක් 1818 ඌව කැරැල්ලෙන් පසු වෙනස් කරන ලදී බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ වගන්තියත්, රදල ප්‍රධානීන්ගේ වරප්‍රසාද පිළිබඳ වගන්තියත්, වෙනස්කොට සියළු ආගම්වලට පොදුවේ සැළිකීමටත්, රදළවරුන්ට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවටත් එකසේ සැලකිය යුතුබවවත්, ඉංග්‍රීසීන් අදහස් කළේය. සටන් ප්‍රදේශ වශයෙන් සලකන බුත්තල, බිම්තැන්න, වියළුව, වෙල්ලස්ස ආදී ප්‍රදේශවලට බරපතල හානි සිදුකරන ලදී. තවදුරටත් සටන් පැන නගීය යන අදහස උඩ ඌවපරණගම, ඇටැම්පිටිය, පස්සර, අළුපොත, බදුල්ල, කොටබෝව වැනි ස්ථාන 1845 පමණ වනතුරු ඉංග්‍රීසි සේනාංක සමඟ යුධ කඳවුරු වශයෙන් තබාගත් බව පෙනේ. මේ සටන නිසා ඌවේ සංවර්ධනය වර්ෂ ගණනක් ගතවන තෙක්ම නොනැගිටින සේ විනාශ කර දමන ලදී. 1816 සර් බ්‍රවුන්රිග් ලංකාවේ උයන හැටියට සැලකූ ඌව මේ වන විට පාළු සොහොන් බිමක් බවට පත් කරන ලදී.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කැරලිකරුවන් සහ රාජද්‍රෝහීන් ලෙස නම්කළ 1818 උඩරට නිදහස් සටනේ පුරෝගාමීයෝ



කැප්පෙටිපොල දිසාව               - ඌව
ගොඩගෙදර අදිකාරම්               - ඌව
කැටකැලේ මොහොට්ටාල        - ඌව
මහබෙත්මෙරාල කතරගම        - ඌව
කුඩාබෙත්මෙරාල කතරගම      - ඌව
පළුගොල්ලේ මොහොට්ටාල    - ඌව
වටකැලේ මොහොට්ටාල         - ඌව
පොල්ගහගෙදර රෙහෙනරාල   - ඌව
පොස්සරවත්තේ විදානේ          - ඌව
කිව්ලේගෙදර මොහොට්ටාල    - වලපනේ
යාලගම මොහොට්ටාල            - වලපනේ
උඩමැදුරේ මොහොට්ටාල        - වලපනේ
කොහුකුඹුරේ රටේ රාළ           - වෙල්ලස්ස
බූටාවේ  රටේරාළ                    - වෙල්ලස්ස
බගිනිගහවෙල රටේ රාළ          - වෙල්ලස්ස
මහබදුල්ලේ ගම්මන රටේ රාළ - වෙල්ලස්ස
බුදුපිටිය මොහොට්ටාල            - වෙල්ලස්ස
පළුමල්හේන ගම්ඇතිරාල         - වෙල්ලස්ස


No comments:

Search This Blog