වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.
රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත.මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි.පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.
ගමනට වාහන පහක් එක්ව සිටි අතර රූපසිංහ මහතාගේ වාහනය ඒ සියල්ල අතරින් අන්තිමට ම ගමන් ගත්තේය. මේ ගැන එහි රියදුරාට තිබුණේ නුරුස්සන ගතියකි. ‘‘අපිට ඉස්සරවෙලා ගියාට වැඩක් නෑ සර්. මේ කැබ්එක නැතුව ඒ ගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. මේ වාහන පහෙන් අලූත් කැබ්එක මේක. මම කියන්නේ බොරුද බලන්න’’ රියදුරු කියද්දී රූපසිංහ මහතා කිවේ මේක දෙවියන්ගේ අඩවිය කටපරිස්මින් යං කියාය.
කෙසේ වෙතත් වන මෘගයන්ගේ බාධා කිරීම්වලින් තොරව ඉදිරියට ඇදෙන්නට මේ පිරිසට හැකිවිය. අලකොළආර ළඟ අනිත් වාහන හතර නවතා ඇති අයුරු ඈතට පෙනුනි ‘‘මම කිව්වේ බොරුද සර්. අපි නැතුව ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. ඔය ඉන්නේ අපි එනකම් බලාගෙන’’ තරමක් ආරම්බරයෙන් රූපසිංහ මහතාගේ කැබ් රථයේ රියදුරා පැවසුවේය.
කුමන ජාතික වනෝද්‍යානය මැද්දේ ඇති මහකැබිලිත්ත දේවාලයට යන මේ පිරිස තරමක් විඩා නිවාගෙන අලකොළආරෙන් එගොඩ වන්නට විය. පුදුමයකි. අලූත් කැබ් රථය අලකොළආරට බැස්සුවා පමණි. එය ඉදිරියට හෝ පසුපසට ගත නොහැකිව නැවතිනි. වාහනය පණ ගැන්වෙන නමුත් ගියර් ක‍්‍රියා විරහිතය.
‘ක්ලච් ප්ලේට් ගියා වෙන්නැති. අදින්නේ නැත්තේ.’’ පිරිසේ කිහිප දෙනෙක්ම කීහ. ‘‘එහෙම වෙන්න බෑ. මේක අලූත්ම එක’’ කැබ් රථයේ රියදුරා කියන්නට විය. පිරිසේ සිටි කිහිප දෙනෙක් දන්න ශිල්ප යොදා කැබ්රථය ඉදිරියට ගන්නට උත්සාහ කරති. නමුත් ඒවා ගඟට කැපූ ඉනි මෙනි.
කැබ් රථයේ යාන්ත‍්‍රික ආබාධය ගමන හෝරා කිහිපයකින්ම පමා කළේය. තවත් කිලෝමීටර් විසිපහක් තිහක් ඉදිරියට යා යුතුය. අඳුරු වැටෙන්නට පෙර ගමන ඇරඹුවේ නැත්නම් මහකැබිලිත්තට ළඟාවන්නට වන්නේ රෑ බෝවීමෙන් පසුව බව කාටත් අවබෝධ විනි. එහෙත් කිසිවෙකුත් ඉදිරිගමන ගැන කියන්නට කට ඉස්සරවන්නේ නැත. හේතුව දෙවියන්ගේ අඩවියේ කට පරිස්සම් කරගතයුතු හෙයිනි.
සහකාර අධ්‍යක්‍ෂකවරයාගේ වාහන පණගැන්වුණත් හෙළවීමටවත් බැරි බව කාටත් අවබෝධවිය. ඒ නිසා එය මත්තේ හැපීමෙන් පළක් නොවන බවද ඔවුන්ට වැටහිණි. ‘‘හරිවැඬේ මොකද දැන් අප කරන්නේ.’’ කැබ් රථයේ රියදුරාම පිරිසෙන් ඇසුවේය.
‘‘අපි කැබ් එක දාලා අනිත් වාහනවල යමු. දේවාලය වැඳලා ඇවිත් ඊළඟට කරන්නේ මොකක්ද කියලා තීරණ කරමු’’. පිරිසගෙන් යෝජනාවක් ආවේය.
‘‘ඒක හොඳ අදහස. අපි එහෙම කරමු.’’ සියල්ලෝම එකඟවූහ.
‘‘ඒවුණාට ආර මැද්දේ වාහනය දාලා යන එකනම් නුවණට හුරුනෑ. මේක දෙයියන්ගේ රට. අපි කොහොමහරි නිවුටල් කරලා වාහනේ ගොඩට අරන් තියලා යමු’’ කුමණ වනෝද්‍යානය ගැනත් එහි ඇති හාස්කම් ගැනත් අත්දැකීම් ඇති වනජීවි නිලධාරියෙකු වූ බී. ගුණසිංහ මහතාගේ අදහස විය.
ඔහුට ඉහළින් යන්නට කිසිවෙකුත් අදහසක් ඉදිරිපත් කළේ නැත. ඒ අනුව සියල්ලෝම හිස්වනා ඒ අදහස අනුමත කළහ. නිවුටල් කළ කැබ් රථය පිරිස එක්ව ආරමැද්දෙන් ගොඩට ගන්නට සමත්වුණේ තවත් ජිප් රියකද ආධාරය ඇතිවය. දැන් කැබ් රිය අලකොලආර ඉවුරේය.
‘‘කෝකටත් අපි ආයෙ ස්ටාර්ට් කරලා බලමු.’’ කැබ් රියේ රියදුරා කීය. ඒ අනුව කැබ්රිය යළි පණගැන්වීමට ගත් උත්සාහය සාර්ථක විය. නමුත් ඉදිරියට හෝ පිටපසට ගමන් කරවීමට නොහැකිවිණි.
‘‘දැන් ඉතින් මෙතන තවත් රස්තියාදු වෙනවා කියන්නේ දේවාලයට යන ගමනත් තවතවත් පමා වෙන එකයි. අපි දේවාලෙට ගිහිං ඇවිත් වාහනේ ගෙනියන විදියක් හිතමු. ඉස්සරවෙලා ආපු කාරණාවට මුල්තැන දෙමු.’’ පිරිස ඒකමතිකව තීරණය කළහ.
ඉර බැසයන්නට හෝරා කිහිපයක් තිබියදී අලකොළආර ඉවුරේ අයින්කර නැවැත්වූ කැබ්රියේ දොරගුලූ දමා වසා සෙසු වාහනවලින් පිරිස මහකැබිලිත්තට යන්නට පිටත්වූහ. අලකොළආර ඉවුර වනඅලින් නිතරම ගැවසෙන තැනකි. එහි නිම්නයේ ඇති වැඩුණු තණකොළ පඳුරු වියළි කාලයේ වනඅලින්ට හොඳ ආහාරයකි. එපමණක් නොව ගෝනුන්, මුවන්, කුලූහරක් වැනි ශාකභක්‍ෂකයෝද වියළි කාලයේ අලකොළආර නිම්නයේ ආහාර සොයා පැඩිපුර සැරිසරති. කැබ් රථය හුදකලාකර ආවේ එවැනි තැනකය. වැඩි දෙනෙකුගේ හිත්තුළ වූයේ වාහනය එසේ තනිකර ඒම ගැන කුකුසකි. එහෙත් පුද්ගලයෙක් එහි නවතා ඒම ඊට වඩා භයානක බව කාටත් අවබෝධකර දුන්නේ ගුණසිංහ මහතාය.
‘‘කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනයට සතා සිවුපාවෝ කරදර කරන එකක් නෑ. අපි නරක ගමනක් නෙවෙයිනේ යන්නේ. අපි එනකම් වාහනේ ආරක්ෂා කරදෙන්න කියා කතරගම දෙයි හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිමු.’’ කැලේ ගමන්වලදී කතරගම දෙවියන් ගැන දැඩි විශ්වාසයක් ඇති ගුණසිංහ මහතා පිරිසට කීවේය.
මහකැබිලිත්තට ගිය පිරිස පසුදා අලූයම චාරිත‍්‍රාණුකූලව මුරුතැන් පූජාව සකසා බෝධීන් දෙනමට බුද්ධ පූජාවද, මල් පහන්ද පුදා කතරගම දෙවියන් ප‍්‍රමුඛ දේවතාවන්ට මුලින්ම පිං අනුමෝදන් කළහ. ඉන් අනතුරුව කැබිලිත්ත සියඹලා දේවාලයට ගොස් පහන් දල්වා පූජා පවත්වා කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලා සිටියහ.
ඉන්පසු පිරිස ආපසු පිටත්ව ආ අතර හැමෝම කතා කළේ යාන්ත‍්‍රික දෝෂයට ලක්වූ කැබ් රථය ඕකන්ද දක්වා ගෙනයන අයුරුය. සමහරු කීවේ සෙසු වාහන හතරින් මාරුවෙන් මාරුවට ඇදගෙන යාම සුදුසු බවයි. එය ගෙනයාමට වෙනත් විකල්ප ක‍්‍රමයක් නැති නිසා ඒ ආකාරයට ගෙනයාම සුදුසු බව කාගේත් අදහස විය.
ඒ කෙසේ වෙතත් ගෙනියන්නට කැබ් රථයක් එහි තිබේවිද යන්න වනාන්තරය නුහුරු ගමනේ කෝඩුකාරයන්ගේ හිත්තුළ දෝංකාර දෙන්නට විය. අලකොළආර ආසන්නයට එද්දී පෙරදින රාත‍්‍රියේ වනඅලි රෑනක් එහි සැරිසැරූ බවට පා සලකුණුවිය. එහෙත් ඉදිරිය බලද්දි අලකොළආරෙන් එගොඩ ඉවුරේ කැබ් රිය නැවැත්වූ තැන එසේම තිබෙන අයුරු දිස් විය. එය කාටත් සැනසුම් සුසුමක් වුවත් ළඟට ගොස් බලනතුරු වැඩිදෙනෙකුගේ හදවත් තුළ වූයේ දෙගිඩියාවකි.
මහකැබිලිත්ත දේවාලයට ගිය වාහන හතර අලකොළආර තරණය කර අනෙක් ඉවුරට නිරුපද්‍රිතව පැමිණ නැවැත්වූයේ කිලෝමීටර් පනහකට වැඩි දුරටක් යාන්ත‍්‍රික දෝෂයක් ඇති වාහනයක් රැගෙන ඕකන්දට යාමගැන සිහිපත් කරමිනි. දැන් අබලන්වූ කැබ්රිය ඇදගෙන යාමට කේබල්ද සැකසිනි.
‘‘කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනයට කරදරයක් කරලා නෑ. ඊයේ අලි මේ හරියේ වැඩිපුර කරක් ගහලා. පේන්නැද්ද අඩිපාරවල්. ගුණසිංහ මහතා කීවේ දේවඅඩවිය ගැන අත්දැකීමෙන් දන්නා නිසාය.
පැමිණි පිරිස සුළු වේලාවක් විවේක ගෙන යාන්ති‍්‍රක දෝෂයට ලක්වූ කැබ්රිය ඇදගෙන යන්නට කටයුතු කරද්දී ගුණසිංහ මහතා රියදුරුට කීවේ එය පණගන්වා ඉදිරියට ගන්නට උත්සාහ කරන ලෙසයි. කැබ්රිය පෙර පරිදි බාධාවක් නැතිව පණගැන්විනි. ගියර්වලට සීරුමාරුකළ ඔහු එය ඉදිරියට යන්නට බලය දුන්නේය. පුදුමයකි. පෙරදින එහිවූ යාන්ත‍්‍රික දෝෂය දැන් නැත. සුපුරුදු පරිදි කැබ්රිය ඉදිරියට ගමන් ගනී. ගැටගැසු කේබලය ගලවා එකිනෙකා මුහුණට මුහුණ බලාගත්තා මිස කිසිවක් නොකීමට වගබලා ගත්හ.
කළුකුඤ්ඤංආර, අලූත්ගංආර, බාධාවක් නැතුව තරණය කළ කැබ්රිය ඉදිරියට ඇදෙන්නේ මීට පෙර එහි යාන්ත‍්‍රික දෝෂයක් නොවූ පරිද්දෙනි.
‘‘මේ දෙවියන්ගේ අඩවියේ කට පරිස්සම් කරගන්න වෙනවා. එහෙම නොවුනොත් නොසිතු කරදරවලට මුහුණ දෙන්න වෙනවා.’’ සහකාර වනජීවි අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා සිය කටහඬ අවදිකළේ රියදුරුට අවවාදයක් දෙන පරිද්දෙනි.
මහකැබිලිත්ත දේවාලයට වාහනය ගෙනයන්නට නොහැකිවුනේ කටවරද්දා ගැනීම නිසායැයි පසුව පිරිසට අවබෝධවිනි.
‘‘මීට ඉස්සර වතාවක් අපි මහකැබිලිත්තේ යන්න පිටත් වුණා. අපිට මුලදි පොඩි පොඩි බාධා ඇති වුණා. ඒ වුණාට අපේ රියදුරු මහත්තයෙක් කිව්වා කොහොමහරි මේ ගමන යමු කියලා. විරුද්ධවෙන්න හොඳ නැති නිසා අපි ඔහුගේ අදහසට එකඟවුණා. මහවැස්සක් ඇදහැලිලා අපට ගමන යන්න වුණේ නෑ. මගට ගිහිං ආපහු ආවා. කතරගම දේව අඩවියේ හාස්කම් ඇති බව සෙසු අයට ඒත්තු ගන්වමින් සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා නොකියා කීවේ මේ කැලේ ගමනේදී කට පරිස්ම් කරගන්නා ලෙස අවවාද කරමිනි.
කටවරද්දා ගැනීම නිසා කතරගම දේව අඩවියේදී විවිධ බාධාවන්ට මුහුණදීමට රූපසිංහ මහතාට සිදුවූ අවස්ථා ගණනාවකි. වරක් පානම ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වීමට ඔහු ගියේ මොණරාගල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල හරහාය. රැස්වීම අවසන් වූ පසු ඕකන්ද වනජීවි කාර්යාලයට යාමට ගමනේ සැලසුම විය.
ඕකන්දට ගිය පිරිස ටික වේලාවක් එහි ගත කළේය. කුඩා කැබිලිත්තට ගිහිං මෝය කටත් (කුඹුකන්ඔය මුහුදට වැටෙන තැන. මෙය කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටියේය.) බලාගෙන එන්නට කුමන ජාතික වනෝද්‍යානයට සහකාර අධ්‍යක්‍ෂවරයාගේ ජිප්රථය ගමන් ආරම්භ කළේය. එහි ටයර් හතරම අලූත් නිසා වනාන්තරයේ ගමනට බිය විය යුතු නැත. මේ වකවානුවේ බාහිරින් සංචාරකයන් කුමනට වැඩිපුර නොඑන නිසා ගමනද අපහසු නැත. වන සතුන් වාහනයේ ශබ්දය ඇසී වලිග උස්සාගෙන දිවගොස් පඳුරුවලට මුවා වුණේ උන්ට තාමත් වාහන හෝ ඒවායේ හඬ නුහුරු නිසාය. රූපසිංහ මහතාගේ අදහස වූයේ මුලින්ම මඩමෙතොට දේවාලයට යන්නටය.
ඕකන්දෙන් ගමන් ඇරඹූ පිරිස රැුගත් වාහනය පැදවූ රියදුරා මුලින්ම ගියේ මෝය කටටයි. එතැනට පැමිණි ආගන්තුකයන්ට ඕකන්ද වනජීවි නිලධාරින් ආහාර පිළියෙළ කර තිබුණි. ඒ වන විට කුසගින්නත් තදින් දැනුන නිසා පිරිස මුලින්ම ආහාර අනුභව කළහ. ටික වේලාවක් විවේකගත් පිරිස මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයට ගොස් ආපසු යායුතු බව දැනුම් දෙනු ලැබිණි.
‘‘සර්ලා එනගමන් කුඩා කැබිලිත්තට ගියේ නැද්ද? අපි හිතුවේ දේවාලෙට ගිහිං මෙතෙන්නට එන්න ඇත්තේ කියලා. එහෙනම් සර් දැන් කෑමවල පිළී (කෑම වේලට මාළු සකසා තිබුණි) තිබුණ හින්දා දේවාලෙට නොගහිං යනඑක තමයි හොඳ. සර්ලට තිබුණේ එන ගමන්ම දේවාලය වැඳගෙන එන්න. දැන් ඉතිං කමක් නෑ. දේවාලෙට නොගිහිං යන්න.’’ යැයි වනජීවි සේවකයන්ගේ ඉල්ලීම විය.
‘‘අපිට ඉක්මනට අම්පාරට යන්නත් තියන හින්දා එහෙනම් මෙහෙමම ආපහු යමු. පස්සේ වතාවක දේවාලෙට ඇවිත් යන්න බැරි.’’ යැයි පැමිණි පිරිසේ කෙනෙක් කීවේය. ඉන්පසු වාහනයෙන් ආපසු පිටත් වූහ.
මෝය කටින් පිටවු පිරිස කුමණ විල්ලූව, යාකළ කළපුව, ඉටිකළ කළපුව, අන්දරකල කළපුව, කොටලිඳවල, තුම්මුල්ල සහ කුඩාවිල ද පසුකර බාගුරා කළපුව ඉදිරියට ඇදී යෝදලිප අසළට පැමිණෙද්දී වාහනයේ අමුත්තක් දැනිණි. වාහනයේ එක් රෝදයක හුළං බැස ඇති බව අවබෝධවිය. එය පිළිසකර කරගෙන ඉදිරියේ වූ ගිරිකුළ කළපුව සහ පළිහදාපුවළ පසුකරන්නට ලැබුණේ නැත. තවත් රෝදයක හුළං බැස්සේය. ඉතාම අමාරුවෙන් වාහනය ඕකන්දට ගෙනාවේය.
ඉක්මනින් අම්පාරෙ යන්නට ආ ගමන පැය ගණනක් පමාවිය. ‘‘මේ කතරගම දෙවියන්ගේ අඩවියේ කටවරද්දාගෙන ගමන්බිමන් යන්න බෑ’’ ඒක හොඳට මතත තියාගන්න ඕනෑ. සහකාර අධ්‍යක්‍ෂවරයා වාහනයේ රියදුරු දෙස බලමින් කීවේ ඔහුට යම් අවවාදයක් කරන අයුරිනි.
ඒ අවවාදය අදටත් ගැළපෙන බව පෙනේ. බොහෝ අනුහස් ඇති මේ බිමට බැතිමතුන් එන්නේ පුණ්‍ය කටයුතුවල නිරතවෙමිනි. නමුත් මේ වන විට විවිධ කණ්ඩායම් මෙහි සංචාරක ගමන් සංවිධානය කිරීමටද පෙළඹී සිටිනු පෙනෙන්නට තිබේ. මේ ආකාරයට කිසිදු හැඟීමක් නොමැතිව විනෝදය පිණිස පැමිණීම විවිධ අකරතැබ්බවලට හේතු වන්නටද හැකිය. මහ වනාන්තරයේ කිලෝමීටර් හතළිහකටත් වැඩි දුරටක් යායුතු මේ ගමනේදී කිසිදු සංචාරක පහසුකමක් නැති බව කිව යුතුය. දේවාලයට යා යුතු කුඹුකන්ඔය ආසන්නයේ වාහන ආ හැකි අවසාන තැන වැසිකිළි දෙකක් තිබේ.
මහකැබිලිත්තේ ගමන සැබැවින්ම සංචාරක හෝ විනෝද ගමනක් නම් නොවේ. අනුහස් ලබන්නට නම් මේ ගමන පයින් යායුතු බව අත්දැකීම් ලද්දෝ කියතකි. ඒ නිසා සංචාරක සංවිධායකයන් හෝ මග පෙන්වන්නන්ගේ වැරදි උපදෙස් මහකැලෑවේදී අතුරු ආන්තරවලට අතවැනීමක් විය හැකිය. පසුගිය මාස කිහිපයකට පෙරද එවැනි විනෝද ගමනක් පැමිණි දේශපාලන බලවතුන් පිරිසකට පැය 18 කට වැඩි කාලයක් මහ කැලෑවේ අතරමං වන්නට වූ සිද්ධිය ඊට හොඳම උදාහරණයයි.
කුමණ වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානයවු ඕකන්‍ද වනජීවී කාර්යාලය
කුමණ වනෝද්‍යානයේ කුඩා කාබිලිත්ත දේවාලය
ඓතිහාසික සියඹලා දේවාලයට ගොඩවන මාර්ගය පෙන්වන නාමපුවරුව
කැබිලිත්ත දේවාලයට යන බැතිමතුන් පිරිසක්
කලූකුඤ්ඤංආරෙන් වාහනයක් එගොඩ කරමින්
No comments:
Post a Comment