Sunday, July 22, 2012

කතරගම ඇසළ පෙරහර


ඇසළ මාසය දෙවියන්ට අයත් මාසයක් යයි බෞද්ධයන් පමණක් නොව බොහෝ හින්දුන් අතර ද විශ්වාසයක් පවතී. ඇසළ පුන් පෝදා බුදුන්වහන්සේ පස්වග මහණුන් ඇතුළු දෙවියන්ට පළමුවැනි ධර්මදේශනාව පැවැත්වීම නිසා මේ මාසය බෞද්ධයන්ට ඉතා වැදගත් වූවකි. දෙවියන්ට කෙරෙන පූජෝපහාර ලෙස සෑම ඇසළ පෙරහරක්ම, මේ මාසයේ පැවැත්වීම නිසා හින්දුන් ද මේ විශ්වාසයේ එල්බ සිටී. මේ අනුව ඇසළ මාසය (ජූලි මාසය) දෙවියන්ගේ පූජෝපහාරය සඳහා වෙන් වූ මාසයක් ලෙස ද දේවභක්තිකයෝ සිහිපත් කරති. අලූත් නුවර දේවාලයෙන් ඇරඹෙන මංගල්‍ය කාලය කතරගම, මහනුවර, දෙවිනුවර ආදී වශයෙන් ඒ ඒ ස්ථානවල නැකත් යෙදෙන ආකාරයට කප් සිටුවා ඇසළ උත්සවය පවත්වයි.
කතරගම මහා දේවාලයේ පෙරහර අතර බක් මහ පෙරහර, ඇසළ පෙරහර, ඉල් මහ පෙරහර යනුවෙන් ප‍්‍රධාන පෙරහර 03ක් ඇත. බක් මහ පෙරහර අපේ‍්‍රල් මාසයේ අවුරුදු දිනයේදී දේවාලය ඉදිරිපිට කිරි උතුරවා දේවාලය වසා පසුව එදිනම රාත‍්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවන්ට සම්බන්ධ වී නැවතත් මහවිදිය ඔස්සේ කතරගම මහා දේවාලයට පිවිසීමෙන් නිමාවට පත්වේ. මෙය එක්දින පෙරහරකි. මෙම පෙරහරේ අරමුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙරහර ලෙස චාරිත‍්‍ර ඉෂ්ඨ කර දෙවියන් සතුටු කිරීමයි.
ඉන්පසුව පැමිණෙන්නේ ඇසළ මහා පෙරහර වෙනුවෙන් කරනු ලබන කප් සිටුවීමේ පෙරහරයි. කතරගම පුදබිමේ පැවැත්වෙන වාර්ෂික ආගමික උත්සව, පුද පෙරහර අතර ප‍්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ උත්සවයටයි. දින 15 කට ආසන්නව පැවැත්වෙන මේ උත්සවය පළමු අංගය වන්නේ කප් සිටුවීමයි. ඉන්පසු ඇසළ උත්සවය ආරම්භ වී පෙරහර 15 ක් පැවැත්වීම, ගිනි පෑගීම, දිය කැපීම ආදී දේව පූජා විධි පිළිබඳ සියලූ කාර්යයන් බුදු දහමට ප‍්‍රමුඛත්වය දෙමින් සිදුකිරීම පවත්වාගෙන එන සම්ප‍්‍රදායකි.
දුරාතීතයේ සිට පැවැත ආ මෙම ඇසළ උත්සවය වර්තමානයේදී ද පුරා පහළොස් දිනක් අති උත්සවශ්‍රීයෙන් සමරයි. වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් මෙම උත්සවය සමරනු ලබන බවට මුඛ පරම්පරාගත පිළිගැනීමකයි.
ඇසළ උත්සවයේ සමාරම්භය සනිටුහන් වන්නේ කප් සිටුවීමේ චාරිත‍්‍රයෙනි. කප් සිටුවීමෙන් පසුව පෙරහර ආරම්භ වීමට පෙර දින චාරිත‍්‍රානුකූලව සර්ව රාත‍්‍රික පිරිත් දේශනයක් පූජා භූමිය තුළ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපයේ පැවැත්වෙයි. එයද චිරාගත සම්ප‍්‍රදායකි. බස්නායක නිළමේ තුමාගේ ප‍්‍රධානත්වයෙන් එම පිරිත් දේශනය පත්වා පසුදින ආරම්භ වන පෙරහර මංගල්‍යයට ආශිර්වාද ලබා ගනී. පෙරහර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දේවාශීර්වාදය ලබා ගැනීමත් සියලූ රට වැසියන් සඳහා ආශීර්වාදය ලබා ගැනීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.
කතරගම පුදබිම තුළ දුටුගැමුණු රජසමයේ පටන් ආරම්භ වූ පුද පූජා සහ පුද සිරිත් වලට අනුව අඛණ්ඩව සම්ප‍්‍රදායිකව හා චාරිත‍්‍රානුකූලව පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය මෙවරද 2012 ජූලි මස 19 දින රාත‍්‍රී සුබ  මුහුර්තියෙන් ආරම්භ කර අගෝස්තු මස 02 දින ඓතිහාසික මැණික් නදියේ ජීවමාලී ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව සමාප්ත වීමට නියමිතය.
එළාර රජු සමඟ සටන්කොට ඔහු පරදවා එදා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කිරීම සඳහා කතරගම දේවාලය ඉදිකරවා පූජාකොට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස්කොට ඒ අනුව කටයුතු කරන ලෙස එදා නියෝග කර තිබුණි. එම සන්නසේ සඳහන් නියමයන්ට අනුව ප‍්‍රථම බස්නායක නිලමේ වන එතුමාගේ බෑනා ප‍්‍රථමයෙන් දෙවියන් උදෙසා දේව පෙරහර අංග ඇතුළත් කරමින් කොහොඹ කළ පෙරහර මංගල්‍යයක් සිදුකර ඇති බව කතරගම පිළිබඳ ඉතිහාසගත කරුණු හෙළිකරයි. අද එය කාලානුරූපව වෙනස්වී වර්තමානයට උචිත ආකාරයට දිනෙන් දින වෙනස් වෙමින්, මහා දේව මංගල්‍යයක් ලෙස පැවැත්වේ.
සෑම දිනම පෙරහර ආරම්භ කිරීමට ප‍්‍රථම කතරගම මහ දේවාලයේ පිරිත් නිළය භාර කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පිරිත් දේශනා කර පිරිත් පැන් ලබා දෙන අතර උන් වහන්සේලා ආපසු වැඩම කළ පසු රන්කොත් මාළිගයේ සිට කරඬුව පිටතට වැඩමවනු ලබයි. පෙරහර ආරම්භයේදී දිනපතාම දේවාලයෙන් පිටත්වන්නේ කිරිවෙහෙර විහාරාධිපති අලූත්වැවේ සෝරත නාහිමිපාණන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබාගැනීමෙන් පසුවයි. පුරාණයේ තල්පතක ලියා භීක්ෂූන් වහන්සේලාට පිරිතට ආරාධනාව කරනු ලැබිණි. අද තල්පත් භාවිතය නොමැති බැවින් කඩදාසියක මෙම ආරාධනා පත‍්‍රය සකස් කර පිළිගන්වනු ලබයි. එම ආරාධනාව අනුව නියමිත වේලාවට භික්ෂූන් වහන්සේලා මහ දේවාලයේ සඳුන් මණ්ඩපය නමින් හැඳින්වෙන ඇතුළු ගර්භයේ සිට ආගමික චාරිත‍්‍ර ඉටුකරති.
ඒ අනුව පළමු පෙරහර ගමන් කරන්නේ මහවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සේම මහා දේවාලයට පිවිසීමෙනි. මෙය නම් කර ඇත්තේ ”මංගල පෙරහර” වශයෙනි මින්පසු ගමන් කරන සියලූම පෙරහර පිටවීදිය ඔස්සේ  ගමන් කර වල්ලි අම්මා දේවාලයට පිවිස මහවීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදෙයි. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු පෞරාණික චාරිත‍්‍ර ඉටු කිරීමක් සිදුවේ. එනම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවසෙහි ඇති ගොම මැටි ගා ඇති වරිච්චි බිත්තීන් සහිත සුවිශේෂී කාමරය තුළය. දුටුගැමුණු රජතුමාගේ සන්නසේ සඳහන් පරිදි සම්ප‍්‍රදායානුකූලව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යයේ පළමුවැනි පෙරහර පහ මඟුල් පෙරහර වශයෙන් හඳුන්වනු ලැබේ. හයවැනි පෙරහරට මුල් බස්නායක නිලමේ තුමන්ලා විසින් කරනු ලබන රාජකාරි සමූහයක් නියමය පරිදි කළ යුතුව ඇත. හයවැනි පෙරහර දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගනී. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනු ලැබේ. දානය දිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති කොටසට අලූතින් අතු දමා වසරකට වරක් කරන චාරිත‍්‍රමය කටයුත්තද සිදුවේ. මෙය ඉතා වැදගත් අංගයකි. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇද පෙරහරේ ගමන් කිරීමයි එම දිනය මෙවර එළඹෙන්නේ 2012 ජූලි 25 දිනයේදීය.
මෙදිනම කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප‍්‍රදර්ශනය කෙරේ. කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග‍්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප‍්‍රදේශයේ ”ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප‍්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැුගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
මෙම පෙරහරේ තවත් වැදගත් අංගයක් වන්නේ පෙරහර 12 ක් ගමන් කිරීමෙන් පසුවයි. දොළොස්වැනි පෙරහර දේවාලයට ගෙවදීමෙන් පසු මහා දේවාලය ඉදිරිපිට රාත‍්‍රී විශාල ගිනි මැලයක් දල්වා අඟුරු බවට පත්වීමෙන් පසු බැතිමතුන් මැලය මැදින් තරණය කරන ගිනි පෑගීමේ චාරිත‍්‍රය ඉටු කරනු ලැබේ. මෙවර එම චාරිත‍්‍රය 2012 ජූලි 29 දින රාත‍්‍රී ගිනි මැලය දල්වා ඒ වටා චාරිත‍්‍ර පවත්වා  (30 දිනට අලූයම වන්නට* ගිනි පෑගීමට නියමිතය. මෙය ත‍්‍රාසය, භීතිය උපදවන සුළුය.
2012 අගෝස්තු මස 01 වන පසළොස්වක පෝ දින පැවැත්වෙන අවසාන මහා පෙරහර කිරිවෙහෙර මාවත ඔස්සේ ගමන් කර සුපුරුදු ගමන් මෙඟහි පෙරහර ගමන් කරයි.
2012 අගෝස්තු 02 දින දිය කැපීමේ පෙරහර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලි අම්මා තොටුපළින් ගඟට බැස දිය කපන තොටුපළ දක්වා ගමන් කර දිය කැපීමේ චාරිත‍්‍රය ඉටුකරයි.දිය කැපූ කපු මහතා වල්ලි අම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහරකින් මහා දේවාලය කරා රැගෙන එයි. රාත‍්‍රී සිදුවන වස් ඇරීමේ කටයුත්ත අවසන් කිරීමෙන් පසු පෙරහරේ සියලූ කටයුතු නිමාවට පත්වේ. පෙරහර අවසන්ව සතියක් ගත වෙත්ම කතරගම අභිනවාරාම විහාරස්ථානය මඟින් දෙවියන්ට පින්දීම සඳහා කරනු ලබන මහා ගම් පිරිත ආරම්භවේ. එම ගම් පිරිතක් සමග කතරගම ඇසළ උත්සවයේ සියලූ චාරිත‍්‍ර නිමාවට පත්වන බැවින් මෙය ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් අංගය යැයි පැවසීම වරදක් නොවේ.
ටී.බී.එම්. අතපත්තු - ප‍්‍රාදේශීය ලේකම්, කතරගම
2012 ජූලි මස 22 13:22:03 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/54742



1 comment:

Unknown said...

ඉතා වැදගත් ලිපියක්...
බොහෝ පින් මෙය පළ කළාට...
නමුත් දුටුගැමුණු යන නම අප භාවිතයෙන් අත් හළ යුතුයි...

මේ ලිපිය ටිකක් කියවා බලන්න : http://welusumana.blogspot.com.au/2012/08/blog-post.html

Search This Blog