කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් සිටිති. ඒ අතර පිරිමින් වගේම කාන්තාවෝ හා ළමයිද වෙති. ඉන් සමහර දෙනෙක් ඉතා භක්තිවන්තව පුජා බිමක හැසිරෙන ආකාරයට සංයමයකින් යුතුව හැසිරෙනු පෙනේ.
ඒ අතර අසංවර ඇදුමින් සැරසුණු කාන්තාවෝ සෙස්සන්ගේද විළිබිය සිදලමින් වනාන්තරය දෙවනක් කරමින් උස්හඩින් විවිධ උජාරු කතා කියති. ආගමික ස්ථානයක හැසිරෙන්නට නොදත් දරුවෝ කුඹුක්න්ඔයේ වැල්ලේ කෑකෝගසමින් එහා මෙහා දිවයති. වැලිවලින් හෝ ගල්කැටවලින් එකිනෙකාට ගසා ගනිති. උස් හඩින් හිනා වෙති. ගිරිය පුප්පා කෑ ගසති. මේ ළමයින්ගේ නොමනා හැසිරීම දෙස ඔවුන්ගේ මාපියෝ උජාරුවෙන් ඔය ඉවුරේ සිට බලා හිදිති.
සිත් නිවාගන්නට දුරකතරගෙවා කිහිපදෙනෙකු පමණක් ආගිය මහකැබිලිත්තේ සියඹලා දේවාලය අසල කුඹුකන්ඔයේ වර්තමාන තත්ත්වය එයයි. මුහුදට ගලන කුඹුකන්ඔයේ වම්ඉවුරේ හැම තැනකම මහ ට‍්‍රැක්ටර්ය. සුදු සරමක් ඇද රතු රෙදිකඩක් ඉන බැදගෙන තවත් රතු රෙදි කඩක් කරේ දමාගත් එක රැයින් දේව ආවතේවකරුවන් වු කපුවන්ගේ වෙස් ගත් ජාවාරම්කාරයෝ ද මේ නොහොබිනාකම් කරන පිරිස් සමග පැමිණ ඒදෙස නිහඩව බලා සිටිති.
කොටියාගල දෙසින් කුමණ වනෝද්‍යානයට එන්නට කිසිවකුගේවත් අවසරයක් වුවමනා නැත. ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන පෙදෙසක් නිසා කොටියාගල පැත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ පාලනයක් නැතැයි උදම් අනන්නේ ට‍්‍රැක්ටර් හිමියන් සහ කපුවෙස්ගත් ජාවාරම්කරුවන්ය. ඇතැම් කපුවන් මහකැබිලිත්තේ බාරකරුවන්සේ පෙනී සිටින අවස්ථාද අද ඇත.
මහකැබිලිත්ත පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයට ඕකන්දෙන් හෝ යාලින් ට‍්‍රැක්ටර් වලට ඇතුලූවීමට අවසර නොදෙයි. ඇතුලූවන සෑම කෙනෙක්ම ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත යුතුය. වාහනවලටද වලංගු ප‍්‍රවේශපත‍්‍ර ගත යුතුය. නමුත් කොටියාගලින් කුමණ ජාතික වනෝද්‍යානයට ඇතුලූවන්නේ නම් මේ කිසිවක් වුවමනා නැත. ට‍්‍රැක්ටර් හිමියන්, ට‍්‍රැක්ටර් රියදුරන් සහ කපුවෙස් ගත් ජාවාරම්කාරයන් ඒ පිවිසුමේ බලධාරීන්ය.
මහකැබිලිත්තට යන මුවාවෙන් කොටියාගලින් කුමණ ජාතික වනොද්‍යානයට ඇතුලූවී වන අපරාධ කළ හැකිය. හොයන්නට කෙනෙක් නැත. කොටියාගල පැත්තේ වනජිවි මුරපොළක් හැකි ඉක්මනින් ස්ථාපිතකර වනෝද්‍යානයට ඇතුලූවන්නන් සීිමාකිරීම අප‍්‍රමාදව නොකළ හොත් ජිවිත කිහිපයක් වනසතුන් විසින් විනාශකර දමන දිනය අතළග බව මහකැබිලිත්ත ආසන්නයේ වනසතුන්ගේ හැසිරීම් රටා අනුව පෙනේ.
වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මරනින්දේ පසුවෙද්දී මහකැබිලිත්ත අවට වනඅලි දැන් එතැනට එන පිරිස් අවම කිරීමට පෙරමුණ ගෙන සිටී. මහකැබිලිත්ත සියඹලා දේවාලයේ ජිවමාන කතරගම දෙවියන් භාවනානුයෝගිව සිටිතැයි දැඩි විශ්වාසයක් පවතී. කතරගම දෙවියන් බවුන් වඩන මේ පරිසරයට එදා කාන්තාවන් ගියේ නැත. නමුත් අද මරදුවරුන්ගේ වෙස්ගත් චාරයක් නැති, ගෑනුකමටත් නිගාදෙන්නියන් එහි යන්නේ ‘‘කාන්තාව’’ යන උතුම් වචනයත් එපා කරවමිනි.
මේ තත්ත්වය හමුවේ කැබිලිත්තේ සියඹලා දේවාලයේ කතරගම දෙවියන්ට තවදුරටත් බවුන් වැඩිය හැකිදැයි ඕනෑම කෙනකුට ප‍්‍රශ්නයක් ඇතිවිය හැකිය. මේ පුණ්‍යභූමිය නොමිනිසුන් මෙසේ වනසද්දී, වනජීවී දෙපාර්තමේන්තුවේ බලධාරීනුත් මුණිවත රකිද්දී වනසත්තු දැන් එවැනි මිනිස්කම නැති ගැහැණු පිරිමි පමණක් නොව ළමා ලපටින්ද පලවා හරින්ට පසුබට නොවෙති.
මීට දින කිහිපයකට පෙරදි අගනුවර පැත්තෙන් මහකැබිලිත්තට එවැනි අවිචාර ගෑනු පිරිමි සහ ළමයින් සහිත නඩයක් පැමිණියෝය. ඔවුන් පැමිණි වෑන් රථය කොටියාගල දමා ට‍්‍රැක්ටරයක් සහ කපුවෙස්ගත් ජාවාරම්කාරයෙක් කුලියට ගෙන මහවනය තරණය කරමින් මහකැබිලිත්තට පැමිණෙන විට රෑ බෝවී තිබුණි. ට‍්‍රැක්ටරයේ සයිලන්සර් හඩට වනසතුන් දිවගොස් සැගවෙන නිසා වනසතුන් බිය ගන්වා කැලේ යන්නට හොදම වාහනය ට‍්‍රැක්ටරය බව ඒවායේ අයිතිකරුවන් මෙන්ම කපුවෙස්ගත් ජාවාරම්කාරයෝ හොදින් දනිති. මේ දිනවල මහකැබිලිත්තේ වනසතුන් උදහස්වී ඇති බව දැනීමෙන් ඇතැම් ට‍්‍රැක්ටර්කරුවන් ඔවුන්ගේ ට‍්‍රැක්ටර්වල හඩ වැඩිකිරීමට සයිලන්සර් කොටකර ඇතැයි කොටියාගල පැත්තේ මිනිස්සුම කියති.
මේ පැමිණි නඩයේ ගෑනු පිරිමින් මෙන් විය. ගෑනුකමක් ඔවුන් වෙතින් දිස්වූයේ ශරීර අවයව වලින් පමණි. මත්වතුර බිව් පුද්ගලයන් මෙන් මේ නඩයේ කාන්තාවන්ගේ කැකිරිපළන හඩින් වනාන්තරය දෙදරා ගියේය. වසතුන්ගේ නිදහසටද අභියෝග එල්ලවිණි. මහකැබිලිත්තේ වනඅලියෙක් එක් කාන්තාවකට අපූරු පාඩමක් කියා දුන්නේය.
මහාහාස්කම් ඇති දේවාලය කොහේදැයි කියමින් එක් කාන්තාවක් සියඹලා දේවාලය පැත්තට ගොඩවුයේ කුඹුකන්ඔය හරහා ගමන් කරමිනි. ඈ අනුගමනය කරමින් තවත් කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඇය පසුපස ආහ. නමුත් මේ කාන්තාවට යන්නට හැකිවුයේ අඩි කිහිපයක් පමණි. කැලෑව මැද්දෙන් ඉදිරියට ආ දැවැන්ත වනඅලියෙක් ඉදිරියෙන් සිටි කාන්තාව හොඩයෙන් ගෙන ඇය ලන්දකට විසිකළේ ඇදසිටි රෙදිවල මළමුත‍්‍රා පවා පිටකරවමිනි. අනික් කාන්තාවෝ සිටි පැත්තට වනඅලියා හැරෙනවිටත් ඒ කාන්තාවෝ කුඹුකන්ඔය මැදත් පසුකර එගොට ඉවුරට ළගාවෙමින් සිටියහ.
අලියා විසිකිරීමට ලක්වු කාන්තාවට බරපතල හානියක් සිදුවි නොතිබුණි. ඇයත් දනපනිගා නැගිට කුඹුකන්ඔයෙන් එගොඩට දිව ඇවිත් තිබුණේ ජිවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. මේ සිද්ධියෙන් පසු ඇතැම් අවස්ථාවල ඉතා පිරිසුදුව වත්පිළිවෙත් රකිමින් එන කාන්තාවන්ට පවා සියඹලා දේවාලයට යන්නට වනඅලි ඉඩනොදුන් අවස්ථා කිහිපයක් ගැන මහකැබිලිත්තට නිතර යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සිහිපත්කර දුන්නේය.
වෙනදා සියඹලා දේවාලයට එන බැතිමතුන් පැමිණ නවතින එගොඩ ඉවුර පැත්තට නොඑන වනසතුන් අතරින් වනඅලි කිහිප දෙනෙක් දැන් ඒ ආසන්නයේ වරන්වර සැරි සරන්නට පටන්ගෙන ඇතැයිද විමල් කොඩිතුවක්කු මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ නරක චේතනාවෙන් කුමන වැඩක් කළ ද එහි නොසිතූ විපාක ඇති බව බව කලක් කුමණ ජාතික වනෝද්‍යානයේ ඔකද දෙසින් ආරක්‍ෂාව සැපයු පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියාව සිටි ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා හෙළි කළේය. දැන් ඔහු පොතුවිල් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස සේවය කරයි.
මේ සිදුවීම 2007 සහ 2008 අතර වූ සිදුවීමකි. මේ කාලය වනවිට සාම ක‍්‍රියාවලිය බිදී නැගෙනහිර කොටි මෙහෙයුම් පටන්ගත් වකවානුවයි. තොප්පිගල කැලයේ කොටි ත‍්‍රස්තයන් දරුණු ලෙස පසු බසිද්දී කොටි නායක රාම් ඇතුලූ කුඩා කුඩා කොටි කණ්ඩායම් නැගෙනහිර වෙරළින් කුමණ ජාතික වනෝද්‍යානයට රිංගා ගත්හ.
කුමණ කැලේ කොටි ත‍්‍රස්තයන් සිටීම නීතිවිරෝධි කටයුතුවල නිරතවූ ඇතැමුන්ට සිය ජාවාරම්වලට පහසුවක්ද විය. පානමත් කොටියාගලත් අතර පානමට කිලෝමීටර් පහළොවක් විස්සක් පමණ කැලේ මැදට වන්නට කංසා හේනක් පවත්වාගෙන ගිය පිරිස් අතර සිටි තිදෙනකු අවිගත් කණ්ඩායමක් පැහැරගෙන ඝාතනය කළ බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ එම කංසා හේනේම සිට දිවි බේරාගෙන ආ පුද්ගලයකු විසිනි. කොටියාගල පැත්තෙන් පොලිස් විශේෂකාර්ය බළකා කණ්ඩායමක් එම පුද්ගලයා සමග මහවනාන්තරය මැද්දෙන් එකී ඉසව්වට ආවත් ඝාතනය කළවුන් ගේ සිරුර හොයාගත නොහැකිවිය.
මේ වකවානුවේ පානම, කුමණ, ප‍්‍රදේශ බාරව සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාය. (පසුගිය වසරේ සැප්තැම්බර් 27 දින අම්පාර මහඔය හන්දියේ පිහිටි පොලිස් විශේෂ බළකා කදවුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළදී පොලිස් විශේෂ කාර්ය බළකායේම ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතා මියගියේය.) ඔහු වසන්ත කුමාර මහතාට උපදෙස් දුන්නේ කුමණ කැලෑවේ සිදුවු බව කියන මේ ත‍්‍රිත්ව මිනිස් ඝාතන ගැන විමර්ශනයක් කරන ලෙසය.
ඒ අනුව සිද්ධියේදි දිවිබේරාගෙන පැමිණි තැනැත්තා සමග කුමණ වනෝද්‍යානය තුළ කිලෝමීටර් පහළොවක් විස්සක් දුර කොටියාගල පැත්තට සෙබළ කණ්ඩායමක් සමග වසන්ත කුමාර මහතා පැමිණියේය. කංසා හේන හමුවිණි. නමුත් ඝාතනය කළා යැයි කියු පුද්ගලයන්ගේ සිරුර කංසා හේනේ නොවීය. තවදුරටත් විපරම් කරද්දි ඊට තරමක් නුදුරින් එකම ස්ථානයක පුද්ගලයන් දෙදෙනකු පුලූස්සා දමා හිස් කබල් දෙකක සහ සිරුරුවල කොටස් කිහිපයක් ඉතිරිව තිබෙනු දැකගත හැකිවිනි. පෝර කවරයක බහා ඒවා රැගෙන ආවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කංසා වැවූ අයට අත්ව තිබු ඉරණම එයයි. ඒනිසා දේවියන්ගේ අඩවියේ නුසුදුසු ක‍්‍රියා කරන්නන්ට ඇතැම් අවස්ථාවල වන්දි ගෙවන්නට සිදුවන්නේ ජිවිත වලිනි. හාස්කම් නැතැයි පුරසාරම් දොඩමින් දෙවියන් බුදුන් අවඥාවට ලක්කරන සමහරුන්ට ද මේ කැලේදීම එහි විපාක විදින්නට සිදුවු අවස්ථා දැන් දිනෙන් දින ඉහළ යමින් පවති.
කුමණ ජාතික වනෝද්‍යානයේ ඔක්කම්පිටිය දෙසින් ඇතුලූවන පැත්තේද එවැනි සිදුවීමක් වනෝද්‍යානය තුළදී සිදුවු බව අසන්නට ලැබුණේ 2007 වසරේදීය. කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් කැලෑව තුළදී තරුණයකු වෙඩිතබා මරාදමා තිබුණි. ගවපට්ටි හිමියා වූ මේ තරුණයා ගවයින් මස් පිණිස විකුණු තැනැත්තකු ද විය. මොහෝ අවස්ථාවල මස්කඩවලට ගවයන් මිලදී ගන්නා වෙළෙන්දන් සමග ගනුදෙනුව කරන්නේ දේව අඩවිය තුළය. මේ කියන තරුණයා ඝාතනය වු අවස්ථාවේ ඔහුගේ යට ඇදුමක රුපියල් ලක්‍ෂයක මුදලක් තිබු බවද මරණ පරීක්‍ෂණයේදී හෙළි විය. එය දේව අඩවිය තුළදී මස් පිණිස ගවයන් විකිණූ ගනුදෙනුවකින් ගත් මුදලක් බවද පසුව කියවිණි.
ඒනිසා වතුර රත්වනතුරු නටන කකුළුවන්ට අත්වන ඉරණම මෙන් දේව අඩවියේ ද අවිචාරවත්ව හැසිරෙන පුද්ගලයන් විපත් තමා ළගට ගෙන්වා ගන්නා බව කියන්නේ මහකැබිලිත්තේ සහ කතරගම දේව අඩවියේ හැටි දන්නා අයයි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 අගෝස්තු මස 26 15:01:35 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
සියඹලා දේවාලයේදී දෙවියන් යදින පිරිසක්
කුමණ මහා වනාන්තරය
කුමණ වන අලියෙක්
No comments:
Post a Comment