Sunday, September 23, 2012

මහකැබිලිත්තේදී දුටු අද්භූත රූප - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31

හිරු අවරට යන්නට සුදානම්ය. බටහිර දෙසින් අහස රත්පැහැ ගැන්වී තිබේ. අතරින් පතරවු සුදුවළා කැටි දැන් රතු සහ අලූ පැහැයෙන් යුතුබව හමායන සුළ`ග නිසා  වරින්වර ඈත්වන තුරු මුදුනින් පෙනේ. කැදළිකරා යන කුරුල්ලන්ගේ හඩට අමතරව කුඹුකන් ඔයේ වතුර ගලනා හ`ඩ යන්තමින් ඇසේ. පරිසරය ඒතරම් නිහඩය.
කුඹුක්කන්ඔය ඉවුරේ මහ ගස් අතර ඇති කුඩා පදුරු  නැති තැනක අදුරු වැටෙන්නට පෙර කිහිප දෙනෙක් කූඩාරමක් තනන්නේ රාත‍්‍රිය එහි ගත කරන්නය. වනඅලි, දිවියන්, වලසුන් පමණක් නොව නයි පොළොගුන් වැනි විෂඝෝර සර්පයන්ද අඩුනැති මේ බිම ‘‘කුමණ’’ ජාතික වනෝද්‍යානයට අයත්ය.
මීට සිව් වසරකට පෙර එනම් 2008 වර්ෂයේ මේ කියන රාත‍්‍රිය එළඹෙන මොහොතේ පෙරකී වන මෘගයන්ට අමතරව ත‍්‍රස්තවාදීහු වූ දෙපා කොටිද මේ වනාන්තරයේ තැනින් තැන ලැගුම්ගෙන සිටියහ. අද විවිධාකාර සහ විවිධ පන්නයේ මිනිසුන් මෙහි ආගියත් එදා මේකියන බිම එනම් මහකැබිලිත්තේ සියඹලා දේවාලයට එගොඩවෙන කුඹුකන්ඔය ඉවුර පාළුය. හුදකලාය.
අදුර වැටී අවසන්ය. නිශාචර සතුන්ගේ  හඩ කෙමෙන් කෙමෙන් වැඩිවෙයි. වනඅලියෙක්, දිවියෙක් හෝ වලසෙක් පැමිණෙතැයි සිතූ පිරිස කූඩාරමට ටිකක් ඈතින් ගිනිමැලයක් දැල්වූයේ වැඩි ආරක්‍ෂාවටය. දින ගණනාවකින් මිනිස් පා සලකුණක් එහි තබා නැතිබව පැහැදිලිව පෙනුනද කැලෑවේ තැනින් තැන තිබු කලිසම් සහ කමිස කාගේදැයි බොහෝ දෙනකුට ගැටලූවක් විය.
‘‘අපි දැන් ඉන්නේ කතරගම දෙයිහාමුදුරුවන් භාවනානුයෝගිව වැඩඉන්න සියඹලා දේවාලයට ගොඩවෙන කුඹුකන්ඔය ඉවුරේ.’’ පිරිසේ කෙනෙක් තව කෙනකුට රහසේ කීවද තිබු නියැඩියාව නිසා එය කාටත් ඇසුනි.
මේ කාලය වනවිට මහකැබිලිත්තේ සියඹලා දේවාලයට ඉදහිට හෝ එන බැතිමතුන් දහවල් දොළහෙන් පසු එහි නොයයි. උදේ හයත් දොළහත් අතර වන්දනාමාන කටයුතු කිරිමට වග බලාගන්නා පිරිස් එතෙක් මොගොඩ ඉවුරේ තනාගත් කූඩාරමක රැය පහන් කරති. මේ පිරිසද ඒ සිරිත එලෙසම අනුගමනය කළහ. වනසතුන්ට ආදරය කරන අනුර වීරක්කොඩි මහතාත්, කැස්බෑවේ සුනිල් ශාන්ත මහතාත් ඇතුලූ පිරිස මේ කණ්ඩායමට අයත්ය. ඔවුන් පැමිණියේ ජිප් රථයකිනි. වනජිවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුවු බී. ගුණසිංහ මහතා ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියෙන් ජිප් රිය පෙරටු කරගෙන පැමිණ සිටියේය.
ජීප් රියත් යතුරු පැදියත් පසෙකය. රාත‍්‍රියේ ගිනිමැලයේ දැල්ල කෙමෙන් අඩුවී ඇතිබව කූඩාරමේ නින්දත් නොනින්දත් අතර සිටි පිරිසට පසක් විය. කැලෑව හුරු ගුණසිංහ කූඩාරමෙන් එළියට ආවේ නිවීයන ගිනිමැලය අවුලූවන්නටය. ගුණසිංහ කූඩාරමෙන් එළියට එනවිට තමන් අවදියෙන් ඉන්නා බව ඇගවීමට කූඩාරම ඇතුළේ වැතිර සිටි කෙනෙක් ‘‘ ගිනිමැලේ නිවෙන්න වගේ යන්නේ ’’ යැයි හීන් හඩින් කීවේය.
ගුණසිංහ පසුපස සුනිල් ශාන්තත් ආවේය. එය ගුණසිංහටද තරමක ජවයක් ගෙනදුන්නේය. දෙදෙනාම එක්ව ගිනි මැලය ඇවිලූවේය. දැන් එහි රත්පැහැවු  එළියෙන් වටපිටව යන්තම් පෙනේ. ඇතැම් අවස්ථාවල වළහ හෝ දිවියා මෙවැනි ගිනිමැල සමීපයට එන්නේ එළිවෙන ජාමෙටය. ඒ ගිනි තපින්නටය. වටපිට ඉව අල්ලමින් මාන බලමින් මිස දිවියා හෝ වලහා එකවර නම් ගිනිමැලය අසලට නොඑන බව කුඩාකළ සිටම වනසතුන්ගේ චර්යා ගැන හොද අවබෝධයක් ඇති ගුණසිංහ දන්නේය. ඒ නිසා ඔහුද ගිනිමැලයට ළංවූයේ වටපිට හො`දින් විපරම් කරමිනි.
කූඩාරම තුළවූ ලන්තෑරුම එහි අදුර මැකුවේය. ලන්තෑරුම් එළියෙන් ඔරලෝසුවක වෙලාව බලාගත් සුනිල් ශාන්ත ‘‘ එකට කිට්ටුයි’’ කීවේ කාටත් ඇසෙන ලෙසය. ගිනිමැලයේ එළිය දැන් ප‍්‍රාණවත්ය. වරින්වර ගිනිපුළිගු අහස දෙසට ඇදී ගියත් එය අඩි තුනකට වඩා ඉහළ නොගියේය. වරින්වර ගිනිමැලය තුළින් ‘‘ පට .... පට ’’ ගානා හඩක්ද ඇසුනි.
ගුණසිංහත් සුනිල් ශාන්තත් යළි කූඩාරමට රිංගා ගත්හ. ගස්වල සිසිලසත්, කුඹුක්කන් ඔයේ වතුරේ සීතලත් කිසිදා හිරු නොදුටු මහපොළොවේ තෙත් බවත් ඇගට ගෙනාවේ කිතිකවන සීතලකි. කූඩාරම තුළ ගුලිවී සිටින නිසා කූඩාරම ඇතුළේ  එළියට වඩා තරමක් සීතල අඩුය. කූඩාරම ඇතුළේ බිම දිගාවී සිටියත් එහි සිටයවුන් හැමෝම වාගේ අඩ නින්දේ පසුවූහ. දිරාගිය අතුකැබැල්ලක් සුළගට බිම වැටෙන හඩ පවා මේ නිසසල රාත‍්‍රියේ ඇග හිරිගඩු පිප්පීමට සමත්විය.
හෝරා දෙකක් දෙකහමාරක් ඉක්ම ගියතැන යළිත් ගිනිමැලය හීන්වී ඇතිබව ගුණසිංහ දුටුවේය. අඩනින්දේ පසුවු ඔහු නැගිට කූඩාරමෙන් එළියට ආවේ ගිනිමැලයට දරකැබැල්ලක් දෙකක් දමන්නටය. වටපිට විපරමෙන් බැලූ ඔහු ගිනිමැලිය දෙසට ගියේ දෙඅත් දෙවුර මත තබාගෙනය. ඒ එළියේ තිබු සීතල නිසාය. අසලවු දිරාගිය ලී කැබැල්ලක් දරමැලයට ලංකළ පසු ගිනිමැලය යළි ප‍්‍රාණවත් විය. එහි වු රස්නය මෙන්ම එළියද වැඩිවිය.
ගිනිමැලයේ රස්නය නිසා ගිනිතැපීමට ඒ අසලින් ගුණසිංහ ඇණතබා වාඩිවුයේය. ඒ සමගම  ගිනිමැලයේ නොපැහැදිලි ආලෝකය අතරින් තරමක් දුරින් මිනිස් රුව කිහිපයක් ගුණසිංහගේ උකුසු ඇසට දර්ශනය විය. ගුණසිංහගේ ඇස ඒ දෙස හොදින් යොමුවිය. වරෙක පෙනී තවත් වරෙක නොපෙනී යන මේ මිනිස් රූප හොල්මන් හෝ අවතාර විය නොහැකිද? ගුණසිංහ හිත හදාගත්තේ තමන්ටම කියාගනිමින්ය.
’‘කතරගම දෙයි හාමුදුරුවන්ගේ අඩවියට ආපු අපට අතුරු ආන්තරාවක් කරන්න ඉඩ තියන්න එපා දෙයි හාමුදුරුවනේ. උදේ හවස බුදුන් වැදලා අපි ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. ’’ ගුණසිංහ තමාටම කියා ගනිමින් වාඩිවූ ආකාරයටම සිටියේය. මෙසේ තමන්ටම කියා ගත් ගුණසිංහ තවටිකක්  ඕනෑ කමින් එහෙත් හොර රහසේම ඒ දෙස බැලූවේය. තැන තැන ගස් අතරේ සැගවී තුන්හතර දෙනෙක් සිටින බව ඔහුට පසක් විය. කරන්නට දෙක් නැත. නොදැක්ක තාලෙට තවත් එහාට මෙහාට හරිබරි ගැහී ගිනි මැලය ඇවිලූවේ වුමනාවට නොව වටපිට විපරම් කිරිමට සිතාගෙනය.
අඩුම තරමින් පහළොස් දෙනෙක් වත් ගස් අතර සිටින බව ගූණසිංහට අවබෝධ විය. එකත් එකටම කුමණට පැන ඇති කොටි ත‍්‍රස්තයන් මෙසේ තමන් වටකොට ඇතිබව ගුණසිංහට සැකයක් විය. කූඩාරමේ නිදා සිටින අය අවදිකරවීම හොදක් වගේම නරකක් විය හැකිය.  ‘‘ වෙනදෙයක් වුණාවේ මම මෙහෙමම ඉන්නවා ’’ තමන්ටම කියාගත් ගුණසිංහ ගිනිමැලය තපිමින් වාඩිවු ආකාරයටම සිටියේය. සැගවි සිටින පිරිස ක‍්‍රමයෙන් ඈත්වන බව ඔහුට අවබෝධ විය. හෝරා කිහිපයක් යත්ම තවත් දවසක උදාව පෙන්නුම් කළේ නැගෙනහිර අහසේය.
අලූයම් කාලෙයේ තමන්දුටු දසුන රහසක්ව තබා ගැනීමට ගුණසිංහ වග බලා ගත්තේය. පිරිස නැගිට කුඹුක්කන්ඔයට බැස මුහුණ සෝදා මුරුතැන් පූජාව සැකසීමට ඔය ඉවුරට ගියේය. ඒ අතර කූඩාරම ගලවා ඉවත් කරද්දී දුටු දසුන්නින් සියල්ලෝම තුෂ්නිම්භූත වූහ. කූඩාරම යට විශාල වැලි පොළගාය. රස්නයට එහි ආ වැලි පොළගා කූඩාරම තුළම නිසොල්මනේ සිටියි. කිසිවකුටත් කරදරයක් නොකළ වැලි පොළගා කූඩාරම ගලවද්දී හෙමිහිට කැලෑවට ඇදි ගියේය. ‘‘ඊයේ රෑ අපි කාට හරි මේ පොළගා යට වෙන්න ඇති. දෙයියෝ තමයි අපි බේරුවේ ’’ කෙනෙක් කීවේය.
‘‘කොහොමද මූ ඇතුළට රිංගුවේ’’ තවත් කෙනෙක් විමසුවේය.
‘‘ඔය ගොල්ලේ රෑ ගිනිමැලේ අවුලන්න එළියට ගියානේ. ටික වෙලාවක් ඔයාලා එළියේ හිටියා. ඒවෙලාවේ ඇතුළට රිංගන්න ඇති.’’ තවත් කෙනෙක් කීවේය. පොළගා කූඩාරමට රිංගුවේ කොයි වෙලේද කියන්නටනම් කවුරුවත් දන්නේ නැත. සමහර විට ගුණසිංහ ගිනි තපින වෙලේ වන්නටද බැරිය. ඒ කතාව දිග හැරියොත් රාත‍්‍රියේ සිදුවු දේවල් තවත් බොහෝ බව දැන සිටි ගුණසිංහ සුපුරුදු පරිදි පුජාව සුදානම්කර මෙගොඩ බෝධියට බුද්ධපුජාවද තබා පහන් දල්වා පන්සිල් ගෙන පුජාකර දෙවියන්ටද පින්දී කුඹුක්කන් ඔයෙන් එගොඩ වී එගොඩ බෝධියද වැද සියඹලා දේවාලයට ගොස් දෙවියන් පුදා පැමිණියේ ආපසු පිටත්වන්නටය.
පෙර දිනයේ සවස එනවිට නොතිබු සලකුණු කිහිපයක් එහි දක්නට ඇතිබව සුනිල් ශාන්ත කීවේය. ඒ සමගම ඈතින් පහළොස් දෙනෙක් පමණ වු පිරිසක් සිටිනු දුටු සුනිල් ශාන්ත ඇතුලූ පිරිස තැතිගත්හ. සමහරු කොටකලිසම් ඇදගෙනය. සමහරු දිග කලිසම් ඇදගෙන. සමහරු කැන්වස් සපත්තු පැළද සිටිද්දි තවත් සමහරු රබර් සෙරෙප්පු පැළඳගෙනය. තමන් මේ සිටින්නේ කොටි ත‍්‍රස්තයන් පිරිසක් අසල බව කාටත් අවබෝධවිය. අලූයම් කාලයේ කූඩාරම අවට රැකගෙන සිටියේ මේ පිරිස බව ගුණසිංහට අවබෝධවිය.  ඈතින් සිටින මේ පිරිසගෙන් කිසිදු සංඥාවක් නැත. ඔවුන් නොදුටුවාසේ ගුණසිංහ සහ සුනිල් ශාන්ත ඇතුලූ පිරිස පිටත්වන්නට සුදානම් වූහ. වාහනයට නැග බලද්දී ඈත සිටි පිරිස අතුරුදන්ය. ඒත් කිසිම කෙනෙක් ඒ කවුදැයි කාගෙන්වත් විමසුවේ නැත.
මහකැබිලිත්තෙන් පිටත්වු ජිප් රිය හරිහමන් පාරක් නැති කුමන මහ කැලෑවේ ඉදිරියට ඇදෙන්නේ  ඕකන්ද බලා එන්නටය. අලකොළආර, කළුකඤ්ඤංආර, යන ආරවල් එගොඩවී අලූත්ගංආරද පසුකර ඉදිරියට ඇදෙද්දී හිරු බැසයමින් ගමනට බාධාකරන බව කාටත් අවබෝධ විය.
‘‘රෑට නම් ගමන හොද නෑ. අපි ගල්අමුණේ නතර වෙමු.’’ පිරිසෙන් යෝජනාවක් ආවේය.  ගල්අමුණ යනු කුමණ වනෝද්‍යානයේ එළිමහන් කදවුරු බිමකි.‘‘ යෝජනාව නම් හොදා. ඒත් අපේ ආරක්‍ෂාවට එතන  හො`දද? ’’ යෝජනාවට අතුරු ප‍්‍රශ්නයක් මතු කළේද පිරිස අතරින් කෙනෙක්මය.
‘‘කොහොම වුණත් රෑ ගමන හොද නෑ. සතා සිවුපාවාට වඩා දවල් දැක්ක අනික් අය කොතන ඉදි ද දන්නේ නෑ. කොයි එකටත් අපි ගල්අමුණ පහුකරලා ගිහිං ඇදකුඹුකේම නතර වෙමු. ’’ ගුණසිංහගේ යෝජනාව කවුරුත් අනුමත කළහ.
‘‘ඇදකුඹුකේ’’ ලෙස හදුන්වන්නේ යාල දෙසින් එන පිරිස් කුමණට සහ කුමණ දෙසින් යාලට යන පිරිස් කුඹුක්කන් ඔය එගොඩවන ස්ථානයයි. එදින අලූයමත් දහවල් කාලයේත් දුටු ත‍්‍රස්තවාදින්ගේ රුව ගුණසිංහගේ හිතෙන් නොමැකි යයි. හිත්පිත් නැති ත‍්‍රස්තයන්ගෙන් අවස්ථා දෙකකදී දිවි ගලවාගත් තමන්  ඕකන්දට යන්නේ කොයි මොහෙත් දැයි ගුණසිංහට ඉස්පාසුවක් නැත. තමන් පැමිණි යතුරුපැදියෙන් රාත‍්‍රියේ වුවත් ඇදකුඹුකේ සිට  ඕකන්දට යන්නට ගුණසිංහට හැකියාවක් ඇතත් ජිප් රියේ පැමිණි අනික් පිරිස එහි තනිකර යාමට ඔහුට කළ නොහැකිය. ඇදකුඹුකේ නැවතීමද අනතුරුදායක එකක් වන්නට ඉඩ තිබේ. රාත‍්‍රියේ ජීප් රියකින් ගමන ඊට වැඩි අනතුරක් වන්නට ඉඩ තිබේ. අදුර වැටෙන්නට පෙර මේ දෙකෙන් එකක් තෝරා ගත යුතුය. ඒ අනුව පිරිස ඇදකුඹුකේ නැවතීමට තීරණය කළහ.
අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 16 13:57:00 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





No comments:

Search This Blog