ඌවට, නැගෙනහිරට සහ දකුණට මායිම්ව පිහිටි මහ වනාන්තර වලින් හෙබි භූමිභාගයේ අනවසරයෙන් කැලෑ කපන්නෝද, දඩයම් කරන්නෝද, හේන් ගොවියෝද සිටිති. මේ පිරිස් අතරින් තමන්ට ඉඩම් කෑල්ලක අයිතියක් ඇති නැති පිරිස් කණ්ඩායම් වශයෙන් එක්ව කැලේ ඇතුළට ගොස් හේන් කොටා වගා කරති.
ඔක්කම්පිටිය පැත්තේ ගොවීන් පිරිසක් යුද්ධය පැවති සමයේ යාල කැලෑවේ කොටසකට එසේ හේන් කපන්නට ගියහ. කැලෑව වුවත් කොටන්නේ කිසියම් වූ ක‍්‍රමවේදයකටය. මීට වසර දෙක තුනකට පෙර හේනක් කළ බිමක් කොටනවා හැරෙන්නට මහ කැලෑව කෙටීමට මේ සාම්ප‍්‍රදායික හේන් ගොවියෝ කටයුතු නොකරති.
කුඹුක්කන් ඔයෙන් එගොඩ සීමාව දේව අඩවිය ලෙස සැලකීම මේ ගොවියන්ගේ සිරිතය. විශේෂයෙන් කතරගම දෙවියන්ගේ අඩවිය බව ඔවුහු විශ්වාස කරති. ඒනිසා මේ මහ කැලෑවේදී තමන්ගේ ආරක්‍ෂාවට සිටින්නේ නොපෙනෙන දෙවියන් පමණක් බවට වූ විශ්වාසය එදා ගොවීන් තුළ මුල් බැස තිබුණි.
හේන් කොටන කාලයට ගොවීන් එක්ව මුලින් එක් වාඩියක සිට වෙන වෙනම හේන් කෙටීම සිරිතය. පසුව ඒ හේන්වල වෙන වෙනම වාඩි තනා ගනිති. හේනක් කෙටීමේදී දෙවියන්ගෙන් අවසර ගැනීමේ ක‍්‍රමයක් අතීතයේ විය. වර්තමානයේ නම් එවැනි සිරිත් දක්නට ඇතිනම් ඉතා අල්පවය.
ගල්ගේ කොටසට අයත් වනාන්තරයේ හේන් කොටන්නට ගිය පිරිසකි. හේන කොටා ගිනි තබා ඇට වැපීරිමට උවමනා කටයුතු පිළියෙල කළේ ඉතා සමගි සම්පන්නවය. හේන කොටන්නට පෙර මේ පිරිසට නායකත්වය දුන් මැදිවියේ තැනැත්තා හේනේ පැළේ පඩුරක් බැද මුල්ම අස්වැන්නෙන් කතරගම දෙවියන්ට මුරුතැන් පූජාවක් තැබීමට බාරයක් විය.
හේන්වල බීජ පැල පැලවේගෙන එද්දි හේන්වල සිටින අයගේ ගණනද අඩුවෙයි. ළග ළග හේන් පිහිටා ඇතිවිට ඒවායේ සිටින පිරිස රෑ සීපද කියමින් වනසතුන් එළවා දැමීම කරති. ඇතැම්විට ගස් මුදුනේ වු පැලේ සිට වටපිටාව ගැන නිතරම විපරමින් වනඅලි, වල් ඌරු රෑන් වගාවට රිංගන්නේ දැයි විපරමේ සිටිති. ඇතැම්විට හේන වටේටම පිරිත් නූල් ඇදීමද කරති. ඊට අමතරව කෙම් ක‍්‍රමද භාවිත කරති.
දිනක් හේනේ ගසක් මත තනා තිබු පැළක සිටි පිරිස අතරින් එක් තරුණයෙකු එහි නවත්වා සෙසු පිරිස ගමට ගියේ අල්ලපු පැළේ සිටි අය ගමේ ගිය අවස්ථාවේ දැනගත් පණිවිඩයක් අනුවය. ඒ පිරිසේ වැඩි දෙනෙකුගේ ළගම ඥාතියෙකුගේ අවමගුලකට සාභාගි වන්නටය.
අමාවක ළංව තිබු දිනයක් නිසා අහසේ හද ද නැත. තරු එළිය තුළින් හේනෙන් විවිධාකාර රූප පැළේ හුදකළාවේ සිටි තරුණයාට මැවෙන්නට විය. පැළ තැනු ගසට නුදුරුව හවස් ජාමේ දැල්වූ ගිනි මැළයද නිවි යන්නට පටන් ගෙනය. වෙනදාට මේ ගිනිමැලය නිවෙන්නට නොදී එය අවුලූවන්න්ට කිහිපදෙනකුම බිමට බැසීම සිරිතය. නමුත් අද මේ තරුණයා පමණක් නිසාත් අවට ඇති දැඩි අදුර නිසාත් ඔහුට පැළෙන් බිමට බැසීමට හිත නොදුන්නේය.
මේ නිසා මැදියම් රැය වනවිට ගිනිමැලය සම්පුර්ණයෙන්ම නිවී ගියේය. හේන හරහා හමා එන සීතල සුළග තරුණයාගේ ගත දැවටෙන්නට විය. පාලූව කාන්සිය නිසාම ඔහුට නින්ද ගියේය.
රාත‍්‍රියේ ඔහු නින්දෙන් කිහිපවරක්ම අවදි වුයේය. අතැති විදුලි පන්දම ගෙන වටේටම දල්වමින් විපරම් කළේය. වෙනදාට මේ අකාරයට විදුලි පන්දම් එළිය දල්වන විට ඈතින් පිහිටි වෙනත් පැලකින්ද විදුලි පන්දම් එළිය දල්වා වටපිට පිරික්සයි. ඒ ඔවුන්ද අවදියෙන් ඉන්නා බවට ලැබෙන සංඥාවකි. නමුත් මෙදින වෙනත් කිසිම පැලකින් විදුලි පන්දම් එළියක් නිකුත් නොවීය.
පසුවදා බිමට පහන් වැටුණු පසු ගස උඩ වු හේනේ පැළේ සිට දුටු දසුනින් තරුණයා තුෂ්නිම්භූත විය. වනඅලි හේනට පෙරදින වැදුනු සලකුණු විය. යාබද හේනෙන් අලි ආ බවට ලකුණු ගස උඩ පැළටම දිස් විණි. මෙය සුබ ලකුණක් නම් නොවීය. හේන්කට වනඅලියා එන්නට පුරුදු වුණොත් බේරන්නට බැරිය. විශාල දඩුවැටක් නැතත් හේන් වටා ඇති වැට අලි ඇතුළු නොවන්නට ප‍්‍රමාණවත්ය.
දහවල් කාලය එළඹෙත්ම පැලෙන් බැස වනඅලි වැනසු වගාව දෙසට තරුණයා පියමං කළේය. වැඩිදුර විපරම් කරනවිට පෙනුනේ වගාව වැනසු වනඅලියා හේනට ඇතුළුවු තැනක් හෝ හේනෙන් පිටවු තැනක් දැක ගත නොහැකි වීමයි. මෙය විය නොහැකි සිදුවීමකි. ඉරිගු පැල, වට්ටක්කා වැල්, මඤ්ඤොක්කා පදුරු, අක්කර කාලක පමණවූ කොටසක වනසා ඇතිබව පෙනුනි. යාබද හේනේද වූයේ එක් තරුණයකු පමණි. ඔහුගේ හේනට මෙතරම් හානියක් නැත.
තරුණයන් දෙදෙනාම එක්ව වනඅලි හේනට ඇතුළුවූ තැන සෙව්ව නමුත් හමු නොවීය. මාසේ පෝයට ඇත්තේ දින තුනකි. ඒ නිසා මේ දිනවල රාත‍්‍රිය අදුරුය. හවසම තම තමන්ගේ හේන්වල ලොකු ගිනිමැල ගසන්නට තරුණයන් දෙදෙනාම කතිකා කර ගත්හ. ඒ අනුව එදින හිරු අවරට යද්දීම ගිනිමැල දැල්විණි. හේන් කපද්දි ලොකු ගස් තිබු තැන් නොකැපු නිසා ගිනි මැළයක් පැය ගණන් දල්වා තබාගත හැකි මහ කොටන් මෙහි නැත. නමුත් වට අඩියකට ආසන්න ප‍්‍රමාණයේ ලී කොට එකතු කර හේන් දෙකේ ගිනිමැළ දෙක දැල්වෙයි.
රාත‍්‍රී එකොළහ පමණ පසුවෙද්දී හේනේ එක් පැත්තකින් දිරාගිය අතු කැබළි පාගා පොඩි කරන ශබ්දයක් ඇසෙන්නට විය. පෙර දිනයේ විනාශයට පත් හේනේ තරුණයාට ඇසුණු මේ ශබ්දය නිසා ඔහු වහාම ගස මුදුනේ වු පැලේ සිටම විදුලි පන්දම දල්වා වටේට විපරම් කරන්නට විය. නමුත් පෙර දිනයේ මෙන් යාබද හේනෙන් විදුලි පන්දම දැල් නොවිණි. හේනේ වන සතුන් ඇවිත් ඇති බවක් විදුලි පන්දම් එළියෙන්ද නොපෙනුනි. පෙර දිනට වඩා දර කොටන් වැඩිදුර දැමු නිසා ගිනි මැලයේ එළියද අවට පුරාවට පැතිරිණි.
පැයක් පමණ වේලාවක් අවදියෙන් සිටි තරුණයාට ඉබේම නින්ද ගියේ කාංසියත් සමගය. නැවතත් හේනට වන සතුන් ඇතුළුවු ශබ්දයක් ඇසී ඔහු තිගැස්සි අවදිවිය. ගස මුදුනේ වු පැල්පතේ සිටම විදුලි පන්දම දල්වා හේන වටේම පිරික්සීය. නමුත් පෙනෙන්නට අමුත්තක් නොවීය.
පසුදින එළිය වැටුණු පසු පැලෙන් බිමට බැස හේනේ ඇවිද ගිය මේ තරුණයාට දිස් වුයේ පෙර දිනයේ මෙන්ම මෙදිනත් හේනේ වගාව වනසා ඇති ආකාරයකි. යාබද කිසිම හේනකට හෝ දඩුවැටකට හෝ හානි නොකර වන සතුන් ඇතුළුවී ඇතිබව පෙනිණි. දඩු වැටෙන් පිටත පිරික්සිමේදී ද වන සතෙක් හේනට ආ තැනක් හෝ පිටව ගිය තැනක් පෙනෙන්නට නොවිණි. සැබැවින්ම මෙය පුදුමයකි. යාබද පැලේ තරුණයාද උදෙන්ම අවදිව මේ පුදුමය බලන්නට පැමිණියේය. පෙර දින ඔහුගේ හේනේ ද කුඩා කොටසක් මෙලෙස වනසා තිබුණ ද මෙදින එවැනි හානියක් නොවීය. ඔහු පැවසුවේ පෙර දින රාත‍්‍රියේද තමන්ට ඉක්මනින් නින්ද ගිය බවකි.
අක්කර දෙකකට තරමක් වැඩි හෙනෙන් දැන් දින දෙකට අක්කර බාගයක පමණ වගාව වනසා තිබේ. හේනේ සෙසු පිරිස ආපසු එන්නේ තවත් දින දෙක තුනකින් විය හැකිය. ඒ දින දෙක තුනත් මෙසේ රාත‍්‍රියට නොදකින නොපෙනෙන බලවේගය නිසා මුලූ හේනම වැනසී යා හැකි බව ඔහුට සිතුණි.
හේනේ ඇට වැපිරීමට පෙර පඩුරක් බැද කතරගම දෙවියන්ගෙන් ආරක්‍ෂාව ප‍්‍රාර්ථානා කළද මෙවැනි විපතක් වුයේ ඇයිද යන්න විශාල ගැටලූවක් විය. තවත් දින දෙකක් හේනට මේ විපත ගෙනාවේය. ගමේ ගිය තිදෙනෙක් තුන්වන දිනයේ පැමිණියේය. එදින රාත‍්‍රීයේ ද නොපෙනෙන බලවේගය හේනෙන් කොටසක් වනසා තිබුණ බව කාටත් පෙනුණේ එළිය වැටුණු පසුවය. දැන් හේනේ වගාව ඉතිරිව ඇත්තේ අක්කර කාලක් පමණි. පසුදා එළිය වැටෙනවිට හේනම විනාශවී අවසානය.
යාබද කිසිම හේනකට මෙවැනි විපතක් නොවී තමන්ගේ හේන පමණක් මේ ආකාරයෙන් විනාශ වුයේ ඇයිද යන්න මේ හේනේ අයිතිකරුවන්ට විශාල ගැටලූවක් විය. මුලින්ම ආරක්‍ෂාව ඉල්ලා බැන්ද පඩුර මේ හේනේ වැඩකරන තැනැත්තෙක් නොදැනුවත්කම නිසා ගලවා විසිකළ බව පසුව හෙළිවිය. ඒ නිසා තමන්ට හේන අතහැර එන්නට විනැයි විශ්වාසයක් ඒ හේනේට සම්බන්‍ධවු අය තුළ පැලපදියම් විණි.
අජිත්ලාල් ශාන්තඋදය
මහ වනාන්තරය
ඔකද දේවාලය
මහකැබිලිත්තේ අෂ්ඨඵල බෝධිය
No comments:
Post a Comment