Sunday, December 16, 2012

මේ සතුන් මිය යන්නේ කාගේ වරදින්ද?

කතරගම - කේ. ඩී. දේවප්‍රිය




9 වැනි දින බර වාහනයක 
හැපී මියගිය අලි පැටවා.....


අනාරක්‍ෂක දුම්රිය ගේට්‌ටු නොමැති ස්‌ථාන පසු කර ගිය දරුවන්, වැඩිහිටියන් අවාසනාවන්ත ලෙස මියගිය අවස්‌ථා රැසක්‌ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. මිනිසා ද සතාද සිය පණ නල රැක ගැනීමට අපමණ වෙහෙසක්‌ දරනු ලබයි.

මේ කියන කතාව සතකුගේ වුවත් මෙය අප රටට සම්පතකි. අලි - මිනිස්‌ ගැටුමෙන් දිනපතා මියයන අලි ඇතුන් සංඛ්‍යාවට තවත් ගණනක්‌ එක්‌ කරමින් පාපතර රියෑදුරකු විසින් රටට අහිමි කළේ උතුම් අලි පැටවකු ය.

යාල ජාතික වන උද්‍යානය අයිතිය වන සතුන්ටයි. කතරගම - බුත්තල මාර්ගය ද වැටී ඇත්තේ යාල ජාතික වන උද්‍යානයේ අංක 3 කලාපයට අයත් බිම් කඩකටයි.


දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නොමිලයේ අලි ඇතුන් නැරඹීමට හැකි නිසා නිතර මෙම ප්‍රදේශයට යන සංචාරකයන්ට නිතර අලි රංචු දැකිය හැකිය. බුත්තල - කතරගම මාර්ගයේ සුන්දරත්වය ඔපනංවමින් සිටි පුංචි අලි බබෙක්‌ (අලි පැටවකු) පසුගිය 9 වැනි දින උන්ගේ ම නිජබිම තුළදී පාපතර රියෑදුරකුගේ නොසැලකිල්ල මත යාල වනයට අහිමි කරනු ලැබීය.

වසර 3 ක්‌ තරම් වයසින් යුතු මෙම අලි පැටියා මව් ඇතින්න සමඟ මාර්ගය අසල සිටියදී බර වාහනයක වැදී බරපතළ තුවාල ලබා මියගොස්‌ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.

වන සතුන්ට අයත් මෙම ප්‍රදේශයේ මිනිසුන්ට අවසරය දී ඇත්තේ මාර්ගයේ ගමන් කිරීමට පමණකි. එහෙත් කිසිදු මාර්ග නීතියක්‌ නොදන්න රියෑදුරන් අධිවේගී මාර්ගයක මෙන් බුත්තල - කතරගම මාර්ගයේ ද ගමන් කරනු ලබයි.

යුද හමුදාව මෙම ප්‍රදේශයේ රැකවල් කළ කාලයේදී වන සතුනට අභය දානය ලැබුණු අතර සිවිල් ආරක්‍ෂක බළකාය හැර ආරක්‍ෂක අංශ ඉවත් වීමත් සමඟ යළි අසරණ වන සතුන්ට අපල කාලයක්‌ උදාවිය. දිවා - රාත්‍රි අලි ඇතුන් මෙම ප්‍රදේශයේ සැරිසරන අතර වන සතුන් විශාල ලෙස මෙම මාර්ගයේදී මිය යමින් පවතී.

පසුගිය මාස කීපයේදී පැටවුන් 3 දෙනකු කුසයේ සිටියදී දිවි දෙනකු ද රථයක ගැටී මියගොස්‌ තිබිණි. මෙයට අමතරව නිතර මාර්ගයේ සිටි වැළහින්නක ද රථයක ගැටී මියගොස්‌ තිබිණි. මෙයට අමතරව ඌරන්, හාවන්, මී හරකුන්, තලගොයින්, මුවන් ඇතුළු වන සතුන් මිය යැම දිනෙන් දින වැඩි වී ඇත.

වනජීවී කාර්යාල ද පොලිස්‌ මාර්ග බාධක රැසක්‌ ද මෙහි පිහිටා ඇත. මේ තරම් වන සතුන් රථ වාහනවල ගැටී මිය ගියත් එක්‌ රථයක්‌වත් අල්ලා ගැනීමට කිසිවකු තවමත් සමත් වී නොමැත.

මෙම මාර්ගයේ රාත්‍රි කාලයේ දී ගමන් ගන්නා රථ වාහන පරීක්‍ෂා කර අංක ලියා ගැනීමක්‌ සිදුකර රථ වාහන සඳහා වේග සීමාවක්‌ කිරීම අත්‍යවශ්‍ය වේ. දඩයක්‌කරුවන්ට නවීන තාක්‍ෂණ උපකරණ මේ වන විට පවතින අතර වනජීවී නිලධාරීන්ට නිසි අයුරින් ආලෝකය එල්ල කළ හැකි විදුලි ලාම්පුවක්‌ වත් නොමැති අතර වනජීවී නිලධාරීන්ට අවශ්‍ය පහසුකම්, උපදෙස්‌ ලබා දීමට වගකිවයුතු අංශ ක්‍රියා නොකළහොත් අපට අලි ඇතුන් නැරඹීමට අප්‍රිකාවට යැමට සිදු වේ.


No comments:

Search This Blog