Sunday, December 2, 2012

ලේ උරාබොන යකින්න


මොනරාගල ප‍්‍රදේශයේ සුන්දර ගම්මානයකි. මෙහි උක් වගාව ජීවනෝපාය කරගත් එක්තරා පවුලක් වාසය කරයි. ජේමිස් මහත්මයාත් ඔහුගේ බිරිඳත් ළමයින් 7 දෙනාත් එම පවුලේ සාමාජිකයෝ වෙති. කෙසේ හෝ නොවිඳිනා දුක් විඳිමින් ළමයින් ටික උස් මහත් කළෝය. කිසිම දරුවකු හරිහැටි අධ්‍යාපනය නොලැබූ අතර නිසි වයස වන විට විවිධ වෘත්තීන් ඉගෙන ගෙන ඔවුහු විවාහ වූහ. අවිවාහකව සිටින්නේ බාලම දරුවා වන සෝමලතා පමණි. ඇය බැලීමට මනමාලයන් කොතරම් පැමිණියද කිසිම එකක් හරියන්නේ නැත. මේනිසා ජේමිසුත් බිරිඳත් හිටියේ තරමක් සිත් තැවුලිනි.

දැන් සෝමලතාගේ වයස අවුරුදු 39කි. ඇයට ද ඇගේ ජීවිතේ එපා වී ගොසින්ය. සෑම වෙලේම කලකිරීමෙන්, දුකෙන්, එපා වීමෙන් කල් ගෙවන්නීය. හිතට කිසිම සතුටක් නොදැනෙයි. මේ ප‍්‍රශ්නය ගැන සිතමින් සෝමලතාගේ මවද විඳවයි. මේ කාලයේම සෝමලතාගේ මවද රෝගාතුර වූවාය. කාලයක් තිස්සේම තිබෙන ඇදුම රෝගය දැන් උත්සන්න වී ඇත. රෝගය අඩු පැත්තට නොයන නිසා ඇය රෝහල් ගත කෙරිණි.

දරුවන් සියලූ දෙනා මව බැලීමට පැමිණියෝය. නමුත් සෝමලතාට ඒමට ලැබුනේ නැත. මන්ද ළඟම ඥාතියකුගේ මංගල උත්සවයකට තම නිවස නියෝජනය කිරීමට යාමට සිදු වූයේ මැයට වීමයි. දවල් දවසේ මඟුල් ගෙදර ගිහින් හැන්දෑවට අම්මා බැලීමට රෝහලට යාමේ අදහසිනි. නමුත් හවස 2.30ට පමණ අම්මා මෙලොවින් සදහටම සමුගත්තාය. මේ පුවත ඇසූ සෝමලතා එක්වරම සිහිසුන් වූවාය. අවසාන මොහොතේ තමාට ළඟ සිටීමට නොහැකි වීම ගැන ඇය මහත් සේ කම්පා වූවාය.

සියලූ දෙනාගේ මැදිහත් වීමෙන් මළ ගම අවසන් කළේය. මව නැති ශෝකයත් මත සෝමලතා තව තවත් මනසින් ඇද වැටුණි. පාලූව හුදෙකලාව තව තවත් වැඩි වන්නට විය. මෙලෙස කලක් ගත වන විට සෝමලතාට මනමාලයකු හරියාගෙන එන ලකුණු පෙනෙන්නට විය. ඔහු වෘත්තියෙන් කම්කරුවෙකි. නමුත් එය සෝමලතාට ප‍්‍රශ්නයක් නැත. තමාගේ කරුම කාලය ඉවරයි ලෙස සිතමින් සිත සතුටු කර ගත්තාය. මාස කීපයකට පසු සෝමලතා එම පුද්ගලයා සමග විවාහ වූවාය.

මෙලෙස විවාහයෙන් පසු සෝමලතා සැමියා සමග මහ ගෙදරම පදිංචි වූහ. ඔවුන්ට ළමයින් 3 දෙනෙකි. දරුවන් හදා වඩාගෙන ඉන්නට හැකි වූයේ වසර කීපයක් පමණි. සෝමලතාගේ ස්වාමියා සෝමලතා සමග විරසක වී නිවසින් යන්නට ගියේය. සෝමලතා දරුවනුත් සමග නැවතත් තනිවූවාය. කෙසේ හෝ දරුවන් රැකබලා ගතයුතු නිසා සෝමලතා නිවසක වැඩ කරන්නට ගියාය. ඇයගේ සැමියා සෝමලතාට තියා දරුවන්ටවත් කිසිම උදව්වක් කරන බවක් නැත. කෙසේ හෝ වෙර දරා ළමයින් ලොකු මහත් කිරීමට සෝමලතාට හැකි විය. දැන්  ඉතින් ළමයින්ට තනි තනිවම වුවත් ජීවත් විය හැකියි සිතූ සෝමලතා දෙවතාවක්ම ජීවිතය නැති කරගන්නට උත්සාහ දැරුවාය. දරුවන්ගේ මැදිහත් වීමෙන් ඒවා මඟහරවා ගැනුණි.

මෙලෙස ගත වූයේද ටික දිනකි. සෝමලතා එක්වරම සිහිනැතිව ඇදන් වැටුණි. නිවසේ සිට දරුවකු මැදිහත් වී පවන් ගසා මූනේ වතුර ගා ටික වේලාවකින් සිහිය ආවේය. සෝමලතා පවසන්නේ සිදුවූ කිසිවක් ඇය නොදන්නා බවයි. දින කිහිපයකට පසු යළිත් ඇයට සිහිය නැතිවිය. දැන් මේ ආකාරයට දවසට කිහිපවරක්ම සිහි නැතිවේ. වහාම ඇය වෛද්‍යවරයකු කරා ගෙන යාමට දරුවෝ කටයුතු කළෝය. පසුව ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත සෝමලතා යොමු කරන ලෙස වෛද්‍යවරයා සෝමලතාගේ දරුවන්ට කියා සිටියේය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර වෛද්‍යවරයා විසින් සියලූ පරීක්ෂණ කර කියා සිටියේ එවැනි රෝගී තත්ත්වයක් සෝමලතාට නැති බවත් එය මානසික තත්ත්වයක් විය හැකි බවයි. නමුත් එය පිළිගැනීමට පෙර ගුප්ත පැත්තෙන් යම් පිහිටක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පේනයක් ඇසීමට තීරණය කෙරිණි. ඒ අනුව අඳුන බලා ශාස්ත‍්‍ර කියන අයකු ළඟට සෝමලතා ගෙන ගියේය. බුලත් තබා පැමිණි පිළිවෙළට තමාගේ වාරය එන තෙක් මොවුහු බලා සිටියහ. මොවුන්ගේ වාරය පැමිණිනි. අඳුන බැලීම ආරම්භවිය.

වීදුරුවකට වතුර දමා සුදු මල් කිහිපයක් ද එයට දමා ඒ ඉදිරියේ කපු මහතා වාඩි වී සිටී. පසෙක පහනකි. ඔහු වතුර වීදුරුව දෙස බලාගෙනම දැනගන්න අවශ්‍ය කාරණය කුමක්ද යැයි, සෝමලතාගෙන් ඇසීය. අපේ අම්මා මාස කිහිපයක ඉඳන් ලෙඩ වෙනවා. හිටපු ගමන් සිහි නැතිවෙනවා. දොස්තර මහත්තුරු කියනවා ලෙඩක් නෑ කියලා.

‘‘හොඳයි අපි බලමුකෝ’’ කියමින් ගාථාවක් වැනි දෙයක් කියමින් දෙවියන්ට ඔහු කන්නලව් කළේය. ඉන්පසු වතුර වීදුරුව දෙස බලාගෙන මෙලෙස කියන්නට විය. ‘‘අපි මුලින්ම යමුකො ගෙදරට, ප‍්‍රධාන පාරෙන් හැරිලා ඔන්න දැන් ඉන්නේ ගේ ඉදිරිපස, මියගිය ඥාති ස්ත‍්‍රියක් පෙන්නුම් කරනවා. කවුද ඒ යනුවෙන් කපුවා ඇසීය. අපේ ආච්චි වෙන්න ඇති. සෝමලතාගේ දරුවකු පැන්න ගමන් කීවාය. ඇය මේ තැනැත්තියට බන්දලා තියෙන්නේ. ඒ ආත්මය දැන් යක්ෂණියක්. ඇෙඟ් ලේ උරා බොනවා. ඇඟ වැහැරෙනවා. ඒකනම් හරි ඇති, අපේ අම්මා මේ දවස් වෙනකොට හිටපු මහතෙන් බාගෙකුත් නෑ. සෝමලතාගේ දරුවකු පුදුම වූ ලෙසින් කීවාය.

”ඒක අයින් කරන්නේ කොහොමද?’’ යනුවෙන් ඔවුහු ඉවසිල්ලක් නැතිව කපු මහතාගෙන් ඇසූහ. වින කැපිල්ලක් කළයුතු යැයි යනුවෙන් තීරණය කළ කපුවා එය හරියට වෙනවාද යන්න අඳුනෙන් බලාම කළයුතු බවත් කියා සිටියේය.

කෙසේ හෝ මෙය කළයුතු නිසා දරුවන් එකතු වී මුදල් සොයාගෙන පූජාව ආරම්භ කෙරිණි. වින කපා අවසානයේ කපුවා කපා ගැලවූ නූලක් ගෙන දුම්මල අල්ලමින් ගැටයක් සාදා තම සහායකයාට දුන්නේය. කපු මහතා අඳුනෙන් බලා ‘‘හරි’’ කිවූ සැණින්ම ගැටය තද කෙරිණි. දැන් යක්ෂ ආත්මය ගැටයට හසුවී ඇත. පසුව මෙම නූල බෝතලයකට දමා සිර කළේය. පසුව මෙය නිදහස් කිරීමට දිනයක් තීරණය කරගෙන කපු මහතා ඇතුළු පිරිස පිටව ගියහ.

මහා පුදුමයකි. සෝමලතාට සිහි නැතිවීම සිදුවන්නේ නැත. වෙනදාට වඩා ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබුණි. පොරොන්දු වූ පරිදි පින් දී හිර කළ ආත්මය නිදහස් කිරීමේ දිනය උදා විය. කපු මහතා ප‍්‍රමුඛ පිරිස සමග සෝමලතා එවැනිම ප‍්‍රශ්න තිබූ පවුල් කිහිපයක් බස් රථයක් කුලියට ගෙන කතරගම ගියේය. කිරිවෙහෙර සමීපය බෝතල් කිහිපයක් බැඳ ගෙන ආ කපු මහතා ඒ ඒ පවුල් වල අය ලවා බෝතල් විවෘත කර නූලේ ගැටය ලිහා යක්ෂ ආත්මය සුගතියකට පැමිණෙන්න යැයි කියමින් ඔවුන් නිදහස් කළෝය. සියලූ දෙනාම සතුටින් නිවෙස් කරා පැමිණියෝය. දැන් සෝමලතට සම්පූර්ණයෙන්ම සුව පාටය.

ඔවුන් මෙලෙස ගත වූයේ දින කිහිපයකි. එක්වරම හිස වේගයෙන් සොලවන්නට ගත් සෝමලතා උඹලාට පුලූවන්ද මාව එළවන්න යයි කියමින් තම මවගේ යක්ෂ ආත්මය ලෙස කතා කරන්නට වූවාය. උඹලා ඉගෙන ගත්තා මදි මාව එළවන්න. මම එකෙක් අරගෙනම තමයි යන්නේ කියමින් මහ හයියෙන් කෑ ගසන්නට වූවාය. කුමක් හෝ කළයුතු නිසා නැවත පළමු දේවාලයටත් ඉන්පසු මිනිසුන් හොඳයි කියන දේවාල බොහොමයකටත් ගොස් නොයෙකුත් දේවල් කළ අතර ලේ බොන යකින්න, සෝමලතා හැර ගියේ නැත.

පසුව ගමේ අයකුගේ ආධාරයෙන් සෝමලතාගේ ප‍්‍රශ්නය විදුල අධිමනෝවිද්‍යා පර්යේෂණ සංගමයට යොමු කරන ලදී. එහිදී සියලූ විස්තර සලකා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ස්වාපනය යටතේ සෝමලතාගේ එම තත්ත්වය සාදා විස්තර ඇසීය.

සෝමලතාගේ සිරුරට ඇවිත් ඉන්නේ මියගිය මව බවත් ඇය දැන් යක්ෂණියක් වී සිටින බවත් ඇය ලේ උරා බීමෙන් සෝමලතා ලෙඩ කරන බව හා කෙට්ටු කරන බවත් ඇගේ කටින් කියවීය. මොනම විදියකින්වත් ඇය නොයන බවත් පැවසීය. කුලපති මහතා මියගිය තැනැත්තා මියගිය දිනය, උපන් දිනය, විවාහ වූ දිනය ආදී ප‍්‍රශ්න කිහිපයක් ඇසීය. යකින්න ගොළු වූවාය. ඔබ සෝමලතාගේ මියගිය මව නම් ඔබේ උපන්දිනවත් මැරිච්ච දිනවත් දන්නේ නැති දැයි ඇසීය. යක්ෂණීට කටඋත්තර නැතිවිය.

ඔබ මිය ගිය ආත්මයක් නොවෙයි. සෝමලතාගේ යටි සිතේ ස්වභාවයක් යැයි පවසා ඇය ස්වාපනයෙන් අවදි කළේය. අම්මා මිය යන මොහොතේ තමාට සැලකීමට බැරි වුණු වේදනාව හා පැමිණි මානසික පීඩාත් මත මැයට අම්මා ආවේශ වුනු බව හැඟුනා.  නමුත් මෙය මුලින්ම ඔළුවට රඳා තිබුනේ කපුවායි. ඒ අනුව එතැන් සිට මවගේ ආත්මය ලෙස හැසිරුණා.
මෙම සිදුවීම සිදු වී අද වන විට වසර 2කි. ඉන්පසු කිසිම දිනෙක ලේ බොන යකින්න සෝමලතා සොයා ආවේ නැත. මේවාට කිසිදු යකෙකු, භූතයකු, පේ‍්‍රතයකු දායක වන්නේ නැති බවත් ඒ සියල්ලට හේතුව තමාගේ සිත බවත් වෛද්‍යවරයා පවසයි.

පී. එන්. විද්‍යාකුලපතිගේ මෝහන ප්‍රතිකාර
හබරාදුව - නිමල් අල්ගෙවත්ත
2012 දෙසැම්බර් මස 02 14:14:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



No comments:

Search This Blog