Saturday, December 22, 2012

කුමන කැලෑවේ අද්භූත අමුත්තෝ - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 44




මීට වසර දොළහකට පෙර කුමන වනෝද්‍යානය මහජනතාවට විවෘතව තිබුණේ නැත. නැගෙනහිර පළාතේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් කළ කොටි ත‍්‍රස්තයන් එහි ගැවසීම ඊට හේතුවය.



වනජීවි නිලධාරීන්ද අඩුවෙන් ගැවසුන නිසා කොටි ත‍්‍රස්තයන් මෙන්ම කැලෑ කපන්නන්, දඩයම්කරුවන් සහ මැණික් ගරන්නන් වරින්වර කුමන කැළෑවට රිංගා සිටි බවට විවිධ අවස්ථාවල වාර්තා විය.

එවැනි පරිසරයක් පැවති සමයෙක යාල ජාතික වනෝද්‍යානයේ බුතව සංචාරක බංගලාව ඉදිරියේ අලූත්ම කැබ්රියක් සහ ඩිපෙන්ඩර් රථයක් නවත්වනු ලැබිණි. වෙලාව සවස තුනට පමණ ඇත. රථ දෙකේම සිටියේ හයදෙනෙකි. වයස අවුරුදු පනහ ඉක්මවූ මේ පිරිස මෙසේ බුතව බංගලාවට ආවේ කුමණ මහ කැලෑව මැද්දේ ඇති මහකැබිලිත්ත දේවාලයට යන අදහසිනි.
කොළඹ පදිංචිකරුවන් වූ මේ පිරිස මෙම ගමන එන්නට පෙර යාල වනෝද්‍යානයට කතාකර මේ ගමන සැලසුම් කරගනු ලැබීය. තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකු වූ විමල් කොඩිතුවක්කු මහතා එවක වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඔහු වරින්වර මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොස් තිබූ නිසා මේ පිරිසේ මග පෙන්වන්නා වූයේද ඔහුයි.
බුතව බංගලාවේ සිටි පිරිස පසුදින ගමන ගැන කතාබහ කරන්නට වූහ. සංචාරක පිරිසගේ ඉල්ලීම වුයේ පාන්දරින්ම මේ ගමන පිටත්වෙමුය යන්නයි. නමුත් ජාතික වනෝද්‍යානයක ගමන් කිරීමේදී නීති මාලාවක් ඇති බව විමල් පෙන්වා දුන්නේය.
‘‘උදේ හයෙන් පස්සේ තමයි අපි පිටත් වෙන්නෙ. සාමාන්‍යයෙන් වනෝද්‍යානයක යන වාහනයක් විදුලිපහන් දල්වාගෙන යන්නේ නෑ. ඒක වන සතුන්ට කරදරයක්. ඇවිදින්න ගියාම ?වෙන්න ඉස්සරවෙලා බංගලාවට එන්න  ඕනෑ.’’ විමල් සංචාරක පිරිසට කරුණු කියා දුන්නේය.
‘‘අපේ වාහන දෙකම අලූත්. වාහන ගැන නම් කිසි දේකට බයවෙන්න එපා. අපි හෙට උදේම මහකැබිලිත්තට ගිහිං හවසට ආපහු එමු.’’ සංචාරක පිරිසේ කෙනෙක් කීවේය.
‘‘අපි මේ දෙවියන්ගේ අඩවියේ යන එන කොට හරියටම ගමන බිමන යන එන එක නිශ්චිතව කියන්නේ නෑ. විශේෂයෙන්ම මහ කැබිලිත්ත දේවාලයට යනකොට යන එන වෙලාවක් හරියටම කියන්නේ නෑ. මේ දේව අඩවිය. නොපෙනෙන දෙවියන් ගැන විශාල විශ්වාසයක් මේවායේදී තියනවා.’’ විමල් අවවාද දෙමින් සංචාරක පිරිසට කට වරද්දා නොගන්නා ලෙස නොකියා කීවේය.
පසුදා අලූයමින් අවදිවු පිරිස මහ කැබිලිත්තට යන්නට සුදානම් වූහ. බුතව බංගලාවේ භාරකරු විසින් සෝයා මීට් සහ පරිප්පු මාලූවක් සමග දවාලට බත් සාදා දුන්නේය. ඊට අමතරව උදේට සහ හැන්දෑවට කන්නට ජැම් තැවරූ පාන් ද සකසා දෙනු ලැබිනි.
මැණික් ගග අසලට ගොස් මුලින්ම මැණික් ගෙගන් එගොඩවිය යුතුය. මැණික් ගග ළග වාහන දෙක නැවැත්වු පසු මගපෙන්වන්නා වූ විමල් කොළ අත්තක් කඩා ගසක එල්ලූවේ කතරගම දෙවියන්ගේ අඩවියට ඇතුළු වෙද්දී කරන සිරිත අනුගමනය කරමින්ය.
කතරගම දෙවියන් ජීවමානව වැඩවසන්නේ මහ කැබිලිත්තේ සියඹලා දේවාලයේ බවට වු විශ්වාසය නිසා අතීතයේ එහි සුලූ පිරිසක් ආ ගියහ. කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසන නිසා මහකැබිලිත්තට යන්නේනම් දෙවියන්ට බාධාවක් නොවන්නට එම ගමන යා යුතු බව යන එන බැතිමතුන්ගේ විශ්වාසය විය. මේ පිරිසටද එහිදී සහ යන එනවිට හැසිරිය යුතු ආකාරය, කතාබහ කරන ආකාරය ගැන මගපෙන්වන්නාවූ විමල් කරුණු රැසක් කියා දුන්නේය.
මේ කියන කාලයේ අද මෙන් කොටියාගල හරහා මහ කැබිලිත්තට සෙනග නොපැමිණුනි. කැලෑව ගැන දන්නා කොටියාගල ගමේ කිහිප දෙනෙක් ඉද හිට මහකැබිලිත්තට ආවානම් මිසක  මහකැබිලිත්ත ජන ශුන්‍ය තැනක් විය. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නොමැතිව වනෝද්‍යානයට ඇතුළුවීම වරදක් යන ආකල්පය එදා කොටියාගල ජනතාව අතර මුල්බැස තිබු නිසා ඔවුන් මහ කැබිලිත්තට නොඑන්නට එයද හේතුවක් විය.
කුමණ  ඕකන්දෙන්ද මහජනයාට ඇතුළුවීමට අවසර නොතිබු නිසා මේ කාලයේ මහ කැබිලිත්තට යන්නට උවමනාම කෙනෙක්  ගියානම් ඒ ගියේ යාල හරහාය. ඒ යනවිට යාල ජාතික වනෝද්‍යානයෙන් මග පෙන්වන්නෙක් පිරිසට නායකත්වය දෙනු ලැබීය.
පෙර කිව් සංචාරකයන් හය දෙනාට මග පෙන්වනු ලැබූ විමල්ද මහ කැබිලිත්තට මේ යන්නේ මාස ගණනකට පසුවය. යාල කලාප අංක දෙකට ඇතුළුවු පිරිසට විවිධවු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු විය. මැණික් ගග සහ කුඹුක්කන් ඔය අතර ප‍්‍රදේශය යාල කලාප අංක වේ.
මාස ගණනකින් වාහනයක් නොගොස් තිබු නිසා පාරේ කැලෑවය. කටුපිල ආර, පල්ලේ පොත්තන, උඩපොත්තන, මහිරාව හරහා වළස්කෙමට එන්නට සෑහෙන වෙලාවක් ගතවිය. වළස්කෙම යනුවෙන් හදුන්වන ප‍්‍රදේශයේ වැඩිපුර වළස්සු ගැවසෙති. එහිවු ගල්කෙම්වල වතුර එකතුවන නිසා වියළි කාලයට වතුර අඩුු නොවන නිසාත් ගල්ලෙන් බහුල නිසාත් වළස්සු මේ ප‍්‍රදේශයේ ගැවසෙති. ඇතැම් අවස්ථාවල පැටවුන් සමග සිටින වැළහින්නියන්ද දැකගත හැකිවේ.
කැලෑවේ ගමන මහපාරේ මෙන් බැරිය. හරිහමන් පාරක් නැති අතර තියන පාරද වල් වැදිලාය. එහි ගල් මුල් ආදිය මග හැර යා යුතුය. ඇතැම් තැන් වැස්සට සේදී ගොසිනි. තවත් සමහර තැනක දිරාගිය ගසක කදක් පාර හරහා වැටී තිබේ. තවත් තැනක පාර අයිනේවු කටු පදුරක් පාර වැසියන අයුරින් වැවිලාය. මේ සියලූ බාධක ඉවත් කරගෙන පිරිස හෙමින් හෙමින් ඉදිරියට ඇදෙති.
වළස්කෙම හරියෙදි වළසුන් දැක ගන්නට ඇත්නම් යන්න කාගෙත් ආශාව විය. ඒනිසා ගමන බොහෝ විපරමෙන් විය. නමුත් අවාසනාවක තරම එක වළහෙක් හෝ මුණ නොගැසිනි. වළස්කෙම පහුකර පහළ ගජබාව, ඉහළ ගජබාව, කිඹුල්එළිය ද පසුකරමින් දැන් පිරිස හාල්පන් ඕඩයට පැමිණ තිබේ. වනගත ගමන්වලදී පානීය වතුර ලබාගන්නා තැනක් ලෙස හාල්පන් ඕඩය හැඳින්විය හැකිය. මෙතැන සිට කුඹුක්කන් ඔයෙන් එගොඩවන ඇදකුඹුකට ඇත්තේ කෙටි දුරකි. පිරිස තවමත් සිටින්නේ යාල කලාප අංක දෙකේය.
බුතව බංගලාවෙන් පිළියෙල කරගත් බත් දහවල් අනුභව කලේ යාල කලාප අංක දෙක තුළදීමය. ඇදකුඹුකේ හරහා කැබ්රියත් ඩිෆෙන්ඩරයත් එගොඩ කර දකුණට හැරී කුඩා කැබිලිත්ත දේවාලය හෙවත් මඩමෙතොට දේවාලයට පිරිස ගියේ කැලෑ ගමන්වලදී අනුගමනය කරන චාරිත‍්‍රයක් ඉටුකරන්නටය.
එහි ගොස් කපුරු දල්වා පහනක්ද පත්තු කරනු ලැබීය. කවුරුන් හෝ කපුරු පත්තුකර පහනක් දැල්වු සලකුණු දේවාලයෙන් දිස් වුවත් වාහනයක් නම් ආ ලකුණු නොවීය. කොටි ත‍්‍රස්තයන් මේ කැලෑවේ ඇවිද්දද මඩමෙතොට දේවාලය හරහා යන්නේ නම් කපුරු දැල්වීමටත් පහනක් පත්තු කිරිමටත් අමතක නොකළහ.
දැන් ඉර අවරට යන්නට පටන්ගෙනය. මඩමෙතොට දේවාලයෙන් පිටත්වූ පිරිස යළි ඇද කුඹුක දෙසට ආවේ කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර අද්දරිනි. මහකැබිලිත්තට යන ගමනේදී මග වැටි ඇත්තේ බොහෝ තැන්වල කුඹුක්කන් ඔය අද්දරිනි. ඇතැම් තැනකදී පමණක් කූඹුක්කන් ඔයෙන් පාර ඈත්වෙයි.
කුඹුක්කන් ඔයෙන් එගොඩවූ ඇදකුඹුකේ දී වාහන දෙක වමට හරවන්නේ නැතිව දැන් කෙලින්ම ඔය ඉහළ දෙසට ගමන් කරයි. යාල කලාප අංක දෙක හෙවත් කුඹුක්කන් ඔයෙන් ගොඩ ආ මග මෙන් මේ කුමණ පැත්තේ ගමන ලෙහෙසිම නැත. ඇදකුඹුක පසුකර ඉදිරියට යනවිට ගල්අමුණ හමුවෙයි. කුඹුක්කන් ඔය හරහා ගලින් අමුණක් බැදි ස්ථානයක් බවට මෙතැන ගැන විශ්වාසයක් තිබේ. වර්ථමානයේ කුමණ සංචාරයට එන සංචාරකයන් වෙනුවෙන් කදවුරු බිමක් ලෙස මෙතැන නම්කර ඇත.
කුඹුක්කන්ඔයේ වැල්ලේ කදවුරු බැදීම කරනු ලබයි. ගල්අමුණෙදි කුඹුක්කන් ඔයද පළලය. ඉවුරේ ඇති අලූත් සහ පැරණි කුඹුක් ගස් නිසා ගල්අමුණේ ඇත්තේ අමුතුම සීතලකි. කුඹුක්කන් ඔයේ වතුර අඩු කාලයට ගල්අමුණ කදවුරු බිම දෙපැත්තේ කුඹුක්කන් ඔය හරහා කුමණ සිට යාලටත් යාල සිට කුමණටත් ගමන් කරන වනඅලි මෙතැනදි දැක ගතහැකිය. රංචුවෙන් පන්නන ලද භද්‍ර යෞවනයේ පසුවන වනඅලි මේ ප‍්‍රදේශයේ නිතර ගැවසෙති.
ගල් අමුණ පසුකර වාහන දෙක ඉදිරියට ඇදෙයි. පාරක් පෙනෙන්ට නැත. නමුත් කිහිප වතාවක් මේ මග ඔස්සේ මහ කැබැලිත්තට ගිය පුරුද්දට මග පෙන්වන්නා වූ විමල්ගේ උපදෙස් අනුව වාහන දෙක පාර හදාගෙනම ඉදිරියට ඇදෙයි.
එකවරම කැබ්රියේ බද දෙසින් ‘‘දඩාස්’’ ගාන ශබ්දයක් ආවේය. පාරට මුහුණලා තිබු දැවැන්ත කොටයක් කැබ්රියේ පිටුපස වැදුනු ශබ්දය එසේ ඇසිනි. කැබ්රියට හොදටම අලාභ වී තිබුනි. එහි දකුණු පැත්තේ පිටිපස්ස මුල්ල ඇඹරී ගොසිනි. ‘‘දඩාස්’’ ගාන ශබ්දයත් එක්කම එහි අයිතිකරුට ‘‘වාහනේ වැදුනා’’ යැයි ඉබේටම කියවිනි.
වාහන දෙක නවත්වා කැබ්රියට වු හානිය ගැන සංචාරකයෝ සිතන්නට වූහ. බුතව බංගලාවේදි පෙරදින පැවසු වාහන අලූත් බවත්  ඕනෑම තැනක යන්නට ඒවා ඔට්ටු බවත් යන කතා විමල්ට සිහිවිය. ඔහු වචනයකුදු දෙඩුවේ නැත.
‘‘දෙවියන්ගේ පිහිටෙන් මහ කැබිලිත්තට යන්න බලමු’’ මග පෙන්වන්නා වූ විමල් පැවසුවේ මෙතැන සිටද කිලෝ මීටර් තිස් පහක් පමණ තව ඉදිරියට යායුතු බැවිනි.
පිරිස වාහන දෙකට ගොඩ වෙත්ම මහ කැලෑව මැද්දෙන් වාහනයක ශබ්දයක් කණ වැටුනි. වාහනයක් ගිය සලකුණක් නොතිබුණු මේ කැලෑවෙන් ඇහෙන වාහන ශබ්දය කුමක්ද? කාටත් ප‍්‍රහේළිකාවක් විය. දැන් ඒ හඩ ළගින්ම ඇසෙයි. වරෙක එය යතුරු පැදියකින් නික්මෙන හඩක් යැයිද කාටත් සිතිනි. කොටි ත‍්‍රස්තයන්ද මේ ප‍්‍රදේශයේ කරක් ගසන නිසා වාහන දෙකේ ආ අය දැඩි සේ බියවු බවක් පෙනෙන්නට විය.
හො`දට තිබු වාහනයක් කොටයක් වැදී පැත්තක්ම නැතිවී ගොස් සුලූ මොහොතකට පසු වනාන්තරයට නුහුරු නුපුරුදු ශබ්ද ගෙන දෙමින් තමන් බියට පත්වන්නේ ඇයිද යන්න සැමටම ප‍්‍රශ්නයක් විය. මීට මොහොතකට පෙර තමන්ට ඇසුනේ වාහන හඩ යතුරු පැදියක බව ප‍්‍රත්‍යක්‍ෂ වුයේ එය තමන් යන පැත්තෙන් තමන් දෙසට එන හඩක් වු නිසාය. නුසුදුසු කාලයක නුසුදුසු ගමනක් පැමිණීමෙන් මහ අවදානමක් ගත් බව යතුරු පැදියේ හඩ වැඩිවෙත්ම සංචාරකයන්ගේ හදවත්වල හඩද වැඩිවන්නට විය. වාහන දෙකේ ගමන බාලවිය. කැලේ පීරාගෙන ඉදිරියට එන යතුරු පැදියක් පිරිසට අඩි දෙසියක් පමණ ඉදිරියෙන් නැවැත්විනි. වාහන දෙකේ සිටි හයදෙනා හොදටම බියවිනි.
‘‘කොටි ද කොහේ ද? අපි දැන් මොකද කරන්නේ. අනේ දෙයියනේ අපිට කරදරයක්නම් වෙන්න එපා.’’ සංචාරකයෙකුගේ මුවින් කියැවිනි.


2012 දෙසැම්බර් මස 16 14:26:22 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



(ඉතිරි කොටස ලබන සතියට)



මඩමෙතොට දේවාලය

මැණික් ගග


No comments:

Search This Blog