Tuesday, September 27, 2011

දුන්හිඳ සුරකිමු - www.dunhinda.com


දෙස්‌ විදෙස්‌ සංචාරක ආකර්ෂණය දිනාගනිමින් නරඹන්නන්ගේ මනදොළ සනසාලමින් ඇද හැලෙන දුන්හිඳ ඇල්ල දිනපතා විශාල පිරිසක්‌ නැරඹීමට එන ස්‌ථානයකි. විශේෂයෙන් පාසල් නිවාඩු කාලයට සහ විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙන සමයේදී දුන්හිඳ ජනයාගෙන පිරී ඉතිරී යයි. විශේෂයෙන් විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ දියඇල අතර නැරඹීමට වඩාත්ම ප්‍රිය කරන දිය ඇල්ලක්‌ බවට දුන්හිඳ ඇල්ල පත්ව ඇත. මෙහි ඇති අධික ජලකඳ සුකොමාල ලීලාවෙන් පහළට පතිත වීම ඔවුන්ගේ වින්දනයට හේතූවී තිබේ. එහෙත් දුන්හිඳ නැරඹීමට දිනපතා පැමිණෙන පිරිසට ප්‍රමාණවත් පහසුකම් සපුරාලීම මගින් තවදුරටත් දුන්හිඳ ඇල්ලේ වටිනාකම ලොවට ගෙනයා හැකිය.

සොරණාතොට ප්‍රාදේශීය සභාවට අයත්ව පිහිටි දුන්හිඳ ඇල්ල බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ උස්‌කඳු මුදුනකින් ආරම්භ වී මහවැලි ඟඟට දියවර සපයයි. දුන්හිඳ ඇල්ල ට පිවිසෙන දොරටුවේ සිට කිලෝමීටර් 1.25 ක්‌ පමණ රක්‍ෂිතය දෙසට ගිය පසු එම ඇල්ල හමුවේ. එම ගමන් මාර්ගය අති දුෂ්කරය. ගල්තලා මතින් ඉහළට සහ පහළට ගමන් කළ යුතු මේ ගමන ඒ දුෂ්කරතාවයන් නිසාම සුන්දර අද්දැකීම් නරඹන පිරිස්‌ වෙත ලබාදෙයි.මෙරට සංචාරක ව්‍යාපාරයට දුන්හිඳ දිය ඇල්ල සම්පතකි. මෙය නැරඹීමට එන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ ගමනට දින්හිඳ දුෂ්කර ගමන් මගෙහි ඇති අනාරක්‍ෂිත ස්‌ථාන අවදානමක්‌ව පවතී. අඩි 70 - 100 ක පමණ ආගාධ එහි පවතින අයුරු දක්‌නට ලැබේ. කුඩා දරුවා, පාසල් සිසුවාගේ සිට වැඩිමහල්ලා දක්‌වා උනන්දුවෙන් දුන්හිඳ ඇල්ල නැරඹීමට යන්නේ මෙම අවදානම් සහිත ස්‌ථාන ඔස්‌සේ වීම නිසා එම ස්‌ථානවල පවතින අවදානම අවම කිරීම තුළින් සංචාරකයන්ගේ රැකවරණය සැලසෙන බව එය නැරඹීමට එන පිරිස්‌වල අදහස වී ඇත. ඇතැම් ස්‌ථාන වල අත් වැලක අවශ්‍යතාව ද තවත් තැනක ආරක්‍ෂිත තාප්පයක අවශ්‍යතාව ද පවතින බව ඔවුහු පවසති.අගෝස්‌තු වැනි මාසයක සාමාන්‍යයෙන් දුන්හිඳ ඇල්ල නැරඹීමට දිනකට 500 ට වැඩි පිරිසක්‌ සති අන්ත දිනක එහි පැමිණෙන බවත් සතියේ දිනකට එය 150-200 අතර පවතින බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාව පවසයි. දුන්හිඳ ගමන් මගේ මීටර් 200 ක්‌ පමණ ගිය පසු හමුවන සංගිලි පාලම (වැල් පාලම) මීටර් 20 ක්‌ පමණ දිගින් යුක්‌තය. එහෙත් මේ දිනවල එය භාවිතයට නුසුදුසු වන පරිදි අබලන්ව ඇත. මීට මාස 07 ට පමණ පෙර සිට මෙම සංගිලි පාලම කැඩී යාම ආරම්භ වූ බවත් ඒ නිසා මීට මාස 02 පමණ සිට එය වසා දැමූ බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාව පැවැසීය. සුන්දර වන අරණට එම සංගිලි පාලම සුන්දරත්වයක්‌ එක්‌කළ ද අද එහි ගමන නැවතී ඇති බැවින් නරඹන පිරිස්‌ එම පාලම පිහිටි ස්‌ථානයට පහළින් බිම් මාර්ගය ඔස්‌සේ වෙනම මගකින් ගොස්‌ දුන්හිඳ ඇල්ල නරඹති.දුන්හිඳ ඇල්ලට පිවිසුම් දොරටුවේ සිට දුන්හිඳ ඇල්ල දක්‌වා ගමන් මාර්ගයේ ස්‌ථාන රැසක කුඩා වෙළෙඳ සැල් තනා තිබේ. සොරණාතොට ප්‍රදේශයේ දිවිගෙවන දුප්පත් ජනතාව එම වෙළෙඳසැල් තනාගෙන සංචාරකයන්ගේ ගමන් පහසුවට අවශ්‍ය ඔසුපැන් වර්ග හා විවිධ ආහාර වර්ග අළෙවි කරති. ඇතැම් වෙළෙඳසැල්වල විවිධ භාණ්‌ඩ වර්ග අලෙවි කරයි. මෙම අලෙවිසැල් වලින් සොරණාතොට ප්‍රාදේශීය සභාවට ආදායමක්‌ ලැබේ. පිවිසෙන දොරටුව අසල පළමු කඩකාමරයෙන් රුපියල් 6500 ක මුදලක්‌ මාසිකවද දෙවැනි කඩකාමරයෙන් මසකට රුපියල් 500 ක්‌ ද තෙවැනි කඩකාමරයේ සිට මසකට රුපියල් 400 බැගින් ද අයකරන අතර එසේ මුදල් අයකරන අලෙවිසල් අතර අනුමත අවසරය ලත් කඩකාමර 30 ක්‌ ද, අනවසර අලෙවිසැල් 10 ක්‌ පමණ ද පවතින බවට වාර්තා විය. මෙලෙස අලෙවිසැල් පවත්වාගෙන යන පිරිස්‌ අතර වසර 15 ට වැඩි කලක සිට අලෙවිකරණය කරන පිරිස්‌ ද හමුවිය.සංචාරකයන් ලෙස විදේශයන් ගෙන් පැමිණෙන දුන්හිඳ ඇල්ල නරඹන අයකුගෙන් රුපියල් 200 ක මුදලක්‌ ද, දේශීය වැඩිහිටි සංචාරකයකුගෙන් රුපියල් 20 ක්‌ ද, දේශීය කුඩා දරුවන් හා පාසල් ළමයකුගෙන් රුපියල් 10 ක මුදලක්‌ද සොරණාතොට ප්‍රාදේශීය සභාව අයකරයි.මෙහි ඇති තවත් ගැටළුවකි, පැමිණෙන පිරිස්‌ වලට ප්‍රමාණවත් වැසිකිළි හා කැසිකළි පහසුකම් නොමැතිකම. විශේෂයෙන් විදේශීය සංචාරකයන්ගේ පහසුකම් වලට සරිලන වැසිකිළි පද්ධතියක අවශ්‍යතාව පවතී. සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් දුන්හිඳ ඇල්ල දොරටුව ආසන්නයේ වැසිකිළි පද්ධතියක්‌ ඉදිකර ඇත. එහෙත් එය නරඹන පිරිස්‌ වලට ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි. ගමන් අතරතුර වැසිකිළි අවශ්‍යතා සපුරා ගැනීමට ඇතැම් පිරිස්‌ සුන්දර පරිසරය භාවිත කරන බවට වාර්තා විය.මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමේ කාර්යයේදී දුන්හිඳ ඇල්ල ද සංචාරක ආකර්ෂණයට නතුවූ ස්‌ථානයක්‌ ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතී.එහි ස්‌වාභාවිකත්වයට හා පාරිසරික සමබරතාවට හානි ඇති නොවන පරිදි පරිසරය ද රකිමින් සංචාරකයන්ගේ ආරක්‍ෂාව හා සුවපහසුව වැඩි දියුණු කිරීම කළ යුතු කාලය උදාවී ඇති බව දුන්හිඳට ආදරය කරන සංචාරකයන්ගේ අදහස වී ඇත.

දර්ශන කරුණාරත්න



No comments:

Search This Blog