dunhinda.com

Tuesday, November 27, 2012

ඌව පළාත

ඌව පළාත ශ්‍රී ලංකාවේ සුන්දරම පළාතක් වන ඌව පළාත වෙල්ලස්ස යන නමින් හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ ‍වේ. නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය යන දිස්තික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හි‍ද ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික වන උද්‍යානය හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්රධාන තැනක් ගනියි. මහවැලි ගග මැණික් ගග, සේනානායක සමුද්රය හා මාදුරු ඔය ජලාශය ප්රධාන ජල මූලාශ්ර වේ.



පිහිටීම

ඌව පළාත යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට යාබදව පිහිටි සුන්දර භූම් භාගයකි. උතුරු දෙසින් ගත් කල ගිරාදුරුකොට්ටේ, මහියංගනය, මීගහකිවුල ආදී ප්‍රදේශයන් ද නැගෙනහිර දෙසින් ගත් කල මොනරාගල, වැල්ලවාය ආදී සහල් නිශ්පාදනාගාරයන්ද, දකුණු දෙසින් බණ්ඩාරවෙල, හපුතලේ ආදී සීතල කදුකයද බටහිර දෙසින් කලුපහන, හක්කල, ඕහිය ආදි ප්‍රදේශයන්ද ඌව පළාතේ මායිම් වේ. ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නම්වූ ලක්ෂ ගණනකින් සමන්විත ප්‍රදේශයන් ද, උක් සහ ඉරිගු වගා ප්‍රදේශයන් ද, මධ්‍යම කදුකරයට අයත් බණ්ඩාරවෙල හපුතලේ ආදී ප්‍රදේශයන් ගෙන්ද, අර්තාපල් සහ වෙනත් එළවලු වගා කරන වැලිමඩ ප්‍රදේශයෙන් ද සමන්විත පලාතකි. රටේ ප්‍රධාන දිය ඇලි රැසකින්ද, ජලාධාර මූලයන් රැසක්, ස්වාභාවික වනෝද්‍යාන රැසක් පිහිටි හොද භූවිද්‍යාත්මක පිහීටීමක් ඌව පළාත තුල පවතී.

Statistics
Capitalබදුල්ල
Largest cityබදුල්ල
Largest metroබදුල්ල
Official languagesSinhalaTamil
Government
Provincial GovernorNanda Mathew
Chief MinisterShasheendra Kumara Rajapaksa
Created
Provincial council

Abolished
1886
14 November 1987
(=1st with 8 others)
Area
 - Total
 - Percentage
Ranked 4th
8,488 km²
12.92 %
Population
 - Total (2001)
 - Percentage
 - Change (10 years)
 - Density
Ranked 7th
1,177,358
6.3 %
 %
138.7/km²
Time zoneSri Lanka Standard Time Zone
FlowerGurulu raaja (Rhynchostylis retusa)
Tree
Bird



සංස්කෘතිය

ඌව පළාත තුල වූ බොහෝ ප්‍රදේශ අදටත් ගැමි සංස්කෘතිකාංග වලින් සපිරිය. බුදුන් වැඩමකල මහියංගන පුදබිම, මුතියංගන පුදබිම, කතරගම පුදබිම, ආදිවාසීන් ජීවත් වන දඹාන, කතරගම දේවාලය, බණ්ඩාරවෙල පස්සර හපුතලේ ආදී වතුකරයන්හි පිහිටි කෝවිල් ආදිය ඌව පළාතේ සංස්කෘතිය වඩවන නිමැවුම් වේ.


ඉතිහාසය

ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවනා කතා වස්තුවලට සම්බන්ධ රාවනා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.

රාවනා කාලයෙන් පසු බුදුරජානන් වහන්සේගේ ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. මහාවංශය ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. සොලොස්මස්ථාන ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16න් 3ක් ම (මහියංගනය, මුතියංගනය, කතරගම) පවතින්නේ ඌව පළාත තුලයි. ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කිරීම වස් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජමහා විහාරය, බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.

1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ වෙල්ලස්ස කැරැල්ල ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොල නායකත්වය ගනු ලැබීය.

සොබා සෞන්දර්ය

ඌව පළාත යනු සොබා දහම ඉතා ඉහලින් ඇති ප්‍රදේශයකි. හක්ගල දැඩිස්වභාව රක්ෂිතය, ඕහිය රක්ෂිතය, නිල්ගල අභය භූමිය ආදී වනෝද්‍යාන දුන්හිද, දියලුම, රාවනා ඇල්ල, බොඹුරු ඇල්ල, සුරතලී ඇල්ල, මානා ඇල්ල, රවන් ඇල්ල සහ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල නමුණුකුල, නාය බැද්ද රහංගල ආදී කදුවැටි ඌව සොබාදහමේ අපූර්වතම නිර්මාණයන් වේ. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ආදී සංචාරක පුරවරයන්ද ඌව පළාත සතු වේ.






බදුල්ල දිස්ත‍්‍රික්කය - ආර්ථික සංවර්ධනය




භූමි ප‍්‍රමාණය:ව.කි.මි.2,861
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව:15
ග‍්‍රා.නි.වසම් සංඛ්‍යාව:567
ගම්මාන සංඛ්‍යාව:1,410
ජනගහනය:874,006
පවුල් සංඛ්‍යාව:233,902
සමෘද්ධි ලාභී පවුල් සංඛ්‍යාව:63,268

ගරු ඇමතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් රු.මි.1,978ක ආයෝජනයක් සිදු කරනු ලබයි.
ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය

පළාත් මාර්ග
දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9ක් ආවරණය වන සේ පළාත් සභා මාර්ග 18ක් කි.මී.70.176ක් කාපට් කිරීම සඳහා රු.මි.720ක් වෙන් කර තිබේ. මෙම ව්‍යාපෘතියෙන් 33,802කට සෙත සැලසෙනු ඇත.

ග‍්‍රාමීය මාර්ග
දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය මාර්ග 1,000ක් (කි.මී 195ක්) කොන්ක‍්‍රීට් කිරීම සඳහා රු.මි.596.85ක් වෙන් කර ඇති අතර මාර්ග 388ක් නිමකර ඇත.

වාරි මාර්ග
වාරි මාර්ග යෝජනා ක‍්‍රම 99ක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රු.මි.61.38ක් වෙන් කර ඇත. ඉන් යෝජනා ක‍්‍රම 3ක් අවසන් කර ඇති අතර රු.මි.0.99ක් වැය කර තිබේ.

ජල සම්පාදනය
ජල යෝජනා ක‍්‍රම 83ක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රු.මි.19.2ක් වෙන් කර ඇත. ඉන් යෝජනා ක‍්‍රම 36ක් නිමකර ඇති අතර රු.මි. 2.15ක් වැයකර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය
දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ගම්වාසීන් 2,094දෙනෙකුගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම පිණිස රු.මි.217ක් වෙන්කර ඇති අතර මේ වන විට ගම්වාසීන් 1,290දෙනෙක් සඳහා වැඩ සටහන් නිමකර ඇත. මෙතෙක් වැයකර ඇති මුළු මුදල රු.මි.177.07කි.

උපුටා ගැනීම
http://med.gov.lk/sinhala/?page_id=1671

Sunday, November 25, 2012

හාලිඇල හොල්මන් බංගලාව


ජනතා වතු සංවර්ධන මණ්ඩලය අපේ රටේ තේ වතු පාලනය කළ සමයේ බදුල්ල කාර්යාලය යටතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ තේ වතු 52ක් තිබුණි.
හාලිඇල දික්වැල්ල වත්ත ඉන් එකකි. හාලිඇල සිට ඇටම්පිටිය දක්වා විහිදුන එම තේ වත්තේ ඞීන්ස්ලන්ඞ් කොටස පිහිටා ඇත්තේ ඇටම්පිටිය නගරයට නුදුරිනි.
මා ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ කාලේ දික්වැල්ල වත්තට ගිය නමුත් ”ඞීන්ස්ලන්ඞ්” බංගලාව ගැන දැන ගන්නට ලැබුණේ වතු පාලකයෙකු වන ඇටම්පිටියේ නන්දන විජේවර්ධන මහතාගෙනි.
ඔහු පැවසූ අන්දමට දුරාතීතයේ ඞීන්ස්ලන්ඞ් වත්ත ඞීන් නමැති මහත්මයෙකුට අයත්ව තිබූ පුද්ගලික තේ වත්තකි. පාවහන් පිටරටින් ආනයනය කළ සමයේ එහි නියෝජිතයෙකු ද වූ ඞීන් මහතා ධනවතෙකි.
ඔහු ජීවත්වූ බංගලාව තේ වත්ත මධ්‍යයේ පිහිටි අතර එහි නම වූයේ ”ඞීන්ස්ලන්ඞ්” බංගලාවයි.
මෙය එදවස විවිධ මල් වර්ග මෙන්ම සරුසාර එළවළු වගාවකින් ද සමන්විත විය.
මල් බලන්නට දුර ප‍්‍රදේශවලින් පවා පැමිණ ඇත්තේ මෙම බංගලාවටය.
සිංහ කටින් වතුර වැටෙන නාන තටාකය බංගලාවට පහළින් නිර්මාණය කර තිබිණ. සෙල්මුවා පියගැට පෙළකින් නාන තටාකයට යන පාරේ දෙපස මල් වැල්ය. පළතුරුය. පෙයාස් වගාව ද සරුය. බංගලාවට නුදුරින් තේ කම්හල පිහිටියේය.
ඉඩම් රජයට පවරා ගැනීමේ වැඩ සටහන යටතේ ඞීන් මහතාගේ තේ වත්ත පමණක් නොව මේ බංගලාව ද රජයට පවරාගෙන පාලනය ජනවසමට ලබා දුන්නේ දික්වැල්ල වත්තේ කොටසක් ලෙසට යා කරමිනි. ඒ වන විට ඞීන් මහතා වයෝවෘද්ධව සිටියේය. දරුවන් ද නොවීය.
ජනවසමට ගැනීමෙන් පසු මෙම බංගලාවේ සහකාර වතු අධිකාරිවරු මෙන්ම ජනවසම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වරින් වර මෙය නිල නිවාසය කර ගෙන විසූහ.
මෙසේ තිබිය දී දේශපේ‍්‍රමී භීෂණ සමය උදා වූයේ ඌව පළාතට ද භීතිය කැඳවමිනි. තේ කම්හල් 8ක් ද ගිනිබත් විය. මා සේවය කළ බදුල්ල හිඟුරුගමුව පිහිටි ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලය ද උදෑසන අප සේවයට යන විට අළුවී තිබිණ. එය සිවු මහල් තේ කම්හල් ගොඩනැගිල්ලක ස්ථාපනය කර තිබිණ.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා 11 නමක් ඇතුළු ප‍්‍රදේශයේ විශාල පිරිසක් ඝාතනයට ලක් වූහ.
දිවයිනේ කීර්තිමත් දේශපාලනඥයකු වූ එවකට ඌව පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා වූ පර්සි සමරවීර මහතාගේ නුගතලාව නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ ද මේ කාලයේදීය. ජනේලයකින් එල්ල කළ මේ බෝම්බ ප‍්‍රහාරයෙන් පර්සි සමරවීර මහතාගේ කකුලකට තුවාල සිදුවූ අතර කාන්තාවන් දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ.
ඉන් පසු වැඩි ආරක්ෂාව සඳහා පර්සි සමරවීර මහතා දැඩි රැුකවල් මැද ඞීන්ස්ලන්ඞ් බංගලාව් ජීවත් විය.
පර්සි සමරවීර මහතා ළඟ වසර 15ක් රියදුරෙකු ලෙස සේවය කළ ඞී.ඒ. සේරසිංහ පැවසුවේ, බෝම්බ ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ඊට පෙරදා මහ ඇමැතිවරයා සමඟ සුහදව කතා කරමින් සිට ගිය පුද්ගලයෙකු බවයි.
ලැබුණු තොරතුරක් මත එයා අත්අඩංගුවට ගත්තා. මහ ඇමැතිතුමා ළඟට ගෙනාවට පස්සේ මහ ඇමැතිතුමා එයාගෙන් විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා, එයා මුදා හරින්න කියලා.
එයා දැන් වැලිමඩ පැත්තේ හොඳට ජීවත් වෙනවා. මහ ඇමැතිතුමා නම් කාගෙන්වත් පළි ගත්තේ නැහැ,” යැයි ද සේරසිංහ කීවේය.
පර්සි සමරවීර මහතා පසු කලෙක අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙම බංගලාවේ සුළු කාලයක් ඌව පළාත් සභා පුහුණු ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ.
පස්සර සැල්ගහතැන්නේ පුහුණු කළමනාකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු මෙම බංගලාව විනාශ වන්න පටන්ගෙන තිබේ. දොර ජනෙල් බිත්තිවල ගල් පමණක් නොව වැසිකිළි උපකරණ ද ගලවා ගෙන යාමට කම්කරුවන් කටයුතු කර ඇත්තේ පාළු ගෙයි වළං බිඳින්නට අවසර නොගත යුතු නිසාය.
මෙසේ පාළුවට ගිය බංගලාවේ හොල්මන් ඇතැයි රාවයක් පැතිර ගියේය.
කෙසේ නමුත් මෙය දිගුකාලීන කුලී පදනමක් යටතේ දැන් ලබාගෙන ඇත්තේ ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වන සෙන්දිල් තොණ්ඩමන් මහතාය.
එම ගිවිසුම වන්නේ අලූත්වැඩියා කටයුතු ඔහු විසින් කරන අතර මාසික කුලියෙන් අලූත්වැඩියා වියදම මාසිකව අඩු කිරීමටය.
කරන ලද වියදම බැලූවාම ඒක අඩු කරගන්න අවුරුදු තිහ හතළිහක් ඉන්න වේ යැයි තොණ්ඩමන් මහතා කීවේ ජයග‍්‍රාහි සිනාවක් පාමිනි.
බිත්ති පවා කඩා වැටිලා, දොර ජනෙල් හොරු අරන් ගිහින්. මේක පාළුවට ගිහින් තිබුණේ. හොල්මන් බංගලාවක් කියලයි ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ.
මම කුලී පදනමක් යටතේ වතු සමාගමෙන් ලබා ගත්තා. ගිවිසුම අනුව මම බංගලාව ඇතුළත මුළුමනින්ම නවීකරණය කළා. ආරුමුගම් තොණ්ඩමන් ඇමතිතුමත් මෙහේ ඇවිත් ඉන්නවා. හිතවත් දේශපාලනඥයන් කීප දෙනෙකුත් නිවාඩුව ගත කරලා තියෙනවා. හැබැයි එතකොට ආරක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් ඉන්න නිසා බයක් නැහැ. හොල්මන් නැහැ. නමුත් තනිවම කවුරුවත් මේකේ ඉන්නෙ නැහැ.
බංගලාව බලා ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ ගොල්ලත් ඉන්නෙ බංගලාව පිටින් තියෙන ගොඩනැගිල්ලේ. ඒකේ හිටියත් හොල්මන් වෙනවා කියල ඒ දෙන්නා කියනවා, යැයි සෙල්දිල් තොණ්ඩමන් කීවේ තවත් කොටසක් සඟවා ගෙනය.
ඒ තොරතුරු දැන ගැනීමට ඇතිවූ ආශාව නිසා අපි රජීව් හා සසිකුමාර් නමැති එම සේවකයන් හමු වුනෙමු.
රජීව් මෙසේ කීවේය.
ඔව්, මමයි මූර්තියි තමයි බංගලාව බලා ගන්නේ. දවල් කාලෙට නම් අපි බංගලාවට යන්න බය නැහැ. හැබැයි රෑට නම් බයයි. අපි දෙන්නා ඉන්නෙ බංගලාවට පිටින් තියෙන කාමරයක. එහෙම හිටියත් සමහර දවසට හීනෙන් අපි බය වෙනවා. ශබ්ද ඇහෙනවා. කෑගහන ශබ්ද, හයියෙන් හඬා වැටෙන ශබ්ද, කෙඳිරිගාන ශබ්ද, මේ වගේ ශබ්ද ඇහුනම අපි දෙන්නා බදාගෙන එළි වෙනකම් අවදියෙන් ඉන්නවා. සිකුරාදා හා අඟහරුවාදා දිනවල මේ වගේ සිද්ධි වැඩියි.
සමහර දවසට හෝන් ශබ්ද ඇහෙනවා. ඇමැතිතුමාවත් ඇවිල්ලද කියල බලන්න අපි එළියට බැහැල බැලූවම කවුරුවත් නැහැ.
සවස 6න් පසු පිටින් කිසි කෙනෙක් එන්නෙ නැහැ. මහ තොණ්ඩමන් ඇමැතිතුමා එන කොට නම් තිහ හතළිහක් විතර ආරක්ෂාවට එනවා. ඒ සමහරු එළි වෙනකම් මුර කරන නිසා එදාට නම් බය නැහැ.
සෙන්දිල් ඇමැතිතුමා ආවත් ඉන්නේ ලොකු පිරිසක් එක්ක. එතකොටත් බය නැහැ. තනියම නම් කවුරුවත් ඉන්නේ නැහැ.
අපිටත් වඩා හොල්මන් ගැන දන්නේ සින්නයියා, යැයි රජීව් කිව් නිසා අපි සින්නයියා පිල්ලේ රංජිත් හමු උනෙමු.
ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.
”මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”
ඔහු තවත් බිහිසුණු අත්දැකීම් රැසක් අපට කීවේය. මෙම හොල්මන් බංගලාවේ දේශපාලකයන් කිහිප දෙනකු නිවාඩුව ගත කර ඇති නමුත් ඔවුන් ද පැමිණ ඇත්තේ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය. එනිසා ඔවුන් ද හොල්මන් දැක නැති බව කියති.
බංගලාවේ ඇතුළත සියලූ සුඛෝපභෝගී අංගයන්ගෙන් සන්නද්ධව අලූත්වැඩියා කර ඇති නමුත් ජරාවාස වී පාළුවට ගිය නාන තටාකය හා බංගලාව ඉදිරියේ ඇති පොකුණ මෙන්ම නාගයන් සහිත හුඹස් දෙක මවා පාන්නේ අද්භූත සිතුවිලිය.
හුඹස් තුනක් තිබුණා. අපි එකක් කඩල දැම්මා. ඉතිරි දෙක කඩන්න බයයි. විශාල නාගයන් ඉන්නවා. සමහර දාට බංගලාව ළඟටම නාගයා එනවා. එතකොට අපිට දෙවියන් සිහි වෙනවා, යැයි ද සේවකයෝ කියති.
විද්‍යාත්මක මතය වන්නේ හොල්මන යනු මනසෙහි ඇති වන චංචලභාවයයි. කෙසේ නමුත් මෙහි සිදුවූ බව කියන බිහිසුණු සිද්ධි ගැන ඇසුන විට මනස පමණක් නොව පපුව ද නොගැස්සී තබා ගත නොහැකි තරම්ය.

සටහන, ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ
2012 නොවැම්බර් මස 25 14:54:41 | ලංකාදීප කර්තෘ මණ්ඩලය




ඞීන්ස්ලන්ඞ් බංගලාව

තුඹස


සින්නයියා


සෙන්දිල් තොණ්ඩමන්

ශෂි කුමාර්

රාජු

පොකුණ

නන්දන


නාන තටාකය



බංගලාවට පිවිසෙන ගේට්ටුව


කූඩාරමේ නිදනවිට ඇඟට පැන්න වළහා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 41


යුද සමයේ යාල කලාප අංක දෙක සහ කුමණ ජාතික වනෝද්‍යානවල මිනිසුන් ගැවසුනේ ඉතාම අඩුවෙනි. මේ නිසා වනසතුන්  වාහනයක ශබ්දයක් ඇසෙනවිට පවා සැගවීමට තැත් කළහ. කුලූ මීමා සහ වනඅලි එවැනි ශබ්දයකට සැගවීමට නොහැකි වුවොත් ඒ ශබ්දය ආ පැත්තට වේගයෙන් දුවඑති.

ඒ තිස් වසරක යුද්ධය නිමාවූ 2009 වසරයි. යුද්ධය අවසන් කර  ගෙවුනේ මාස හතරකි. දිනපතා ඉර බැස යන මොහොත වනවිට යාල සහ කුමණ කැලෑවේ වන සතුන්ගේ දවස ඇරඹෙයි. සියගණන් වු මුව රංචු හැම තැනකමය. වැඩිපුර ඇත්තේ මුවෝය. කුඩා ශබ්දයකටත් කලබලවන මේ මුවන් ඇතැම් අවස්ථාවල සිය නායකයන් අනුගමනය කරමින් දිවයති.

යුද සමයේ වූ බිහිසුණු වාතාවරණය නිසා යාල කදවුරු බිම්වල සංචාරකයන් සිටියේ නම් කිහිප වතාවක් පමණි. මැණික් ගග අසබඩ ඇති කොස්ගස්මංකඩ කදවුරු බිමට දහදෙනෙකුගෙන් යුත් දේශීය සංචාරකයන් පිරිසක් පැමිණියේ ජීප් රථ දෙකකිනි. අගනුවර පැත්තේ ධනවත් තරුණයන් දෙදෙනෙක් මේ කණ්ඩායමේ  ප‍්‍රධානත්වය ඉසිලීය. ඔවුන් හැම විටම සිය බලපුලූවන්කාරකම් පෙන්වන, කිසිවෙකුත් දෙන අවවාද නොරුස්සන දෙදෙනෙක් විය. ජිප් රථ දෙකකින් පැමිණි ඔවුන්ට යාල පිවිසුම් දොරටුවේදී වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකු ද එක්විය.
කොස්ගස්මංකඩ කදවුරු බිම ඉතා දැකුම්කලූය. කදවුරු බිම පසෙකින් මැණික් ගග ගලන්නේ නිසසලවය. තැනිතලා බිමක් වු මෙතැන ඇති කුඹුක් ගස්වලින් ගෙනදුන් සෙවන ගමනේ විඩාව නිවීය.
‘‘ඉස්සර වාගේ යාල සත්තු නෑ නේද? අලි දෙන්නෙකුයි මුවෝ රංචු කිහිපයකුයි ඇරුණම ඌරො දෙතුන් දෙනෙක් දැක්කා. උන් බලන්න යාල එන්න  ඕනෑයැ.’’ කටකාර තරුණයෙක් කීවේය.
‘‘අපිට හෙට දවසේ සත්තු බලන්න පුලූවන් වෙයි. අපි කටවරද්දා ගන්නේ නැතුව වැඩකරමු මහත්තයෝ මේක දේවියන්ගේ අඩවියනේ’’ පළපුරුදු මගපෙන්වන්නා අවවාදාත්මකව කීවේය.
‘‘මොකක්ද දේව අඩවිය කිව්වේ.’’ මගවෙන්වන්නාගෙන් පෙරළා ප‍්‍රශ්න කලේ මුල් පැනය ඇසූ තරුණයාය. ඔහු මේ ගමනේ වියදම් දරන්නාගෙන් කෙනෙක් විය. ඔහුගේ ධන බලය හමුවේ පැමිණ සිටි කිසිවෙකුත් ඔහු කරන කියන දෑ නරකක් වුවත් ඊට බාධා නොකිරිමට වග බලා ගත්හ. සමහර අවස්ථා වල ඔහුගේ කතාවන් අනුමත කරමින් පිරිසේ වැඩි දෙනෙක් සිනහ ද පහළ කළේය.
‘‘මහත්තයෝ මේ කැලෑවට අධිපති කතරගම දෙවියෝ. උන්නාන්සේගෙ බැල්ම මේ කැලේ තියනවා. ඉතිං මේ කැලේට එන වැඩි දෙනෙක් බොහෝම ප‍්‍රතිපත්ති ඇතුවයි එන්නේ. මස්මාංස, බිත්තර මේ කැලේට ගේන්නේ නෑ. අරක්කු වගේ බීම මේ කැලේදි බොන්නේ නෑ. අඩුම තරමේ ‘නෑ’, ‘බෑ’ කියන වචනයක්වත් මේ කැලේදි භාවිත කරන්නේ නෑ.’’ මගපෙන්වන්නාගේ පිළිතුර විය.
‘‘ඒක පුදුම වැඩක්නේ මේ නොපෙනෙන දෙවියෙකුට ඇයි ඔච්චර බය’’ තරුණයා කියත්ම සෙසු පිරිස කොක් හඩලා සිනාසුනේ මගපෙන්වන්නාගේ කතාව අවඥාවට ලක් කරමිනි.
පනස්වියට ආසන්නවු මේ මග පෙන්වන්නාට යාල ගැන අත්දෑකීම් ඇත්තේ වසර විස්සකට වැඩි කාලයක සිටය. සිහින් සිරුරක් හෙබි ඔහු පියකරුය. තැන්පත්ය. සිහින් උඩුරැවුල ඔහුගේ ඒ පෙනුම තවතවත් වැඩි කළේය. ඔහුගේ දෙතොල්වල නොමැකි ගිය රෝස පැහැයෙන් ඔහු දුම් නොබොන්නෙකු බව මනාව පෙන්නුම් කළේය. ඔහු අතවු කුඩා ගමන්මල්ලේ තිබු වතුර බෝතලයක් එළියට ගෙන වරින්වර වතුර බින්දු දෙකතුනකින් පමණක් උගුර තෙමා ගත්තේය. යළි වතුර බෝතලය සිය ගමන් මල්ලට දමාගත්තේ මෙවන් ගමනකදී සැමදේම එක්වර අවසන් කිරිම නුසුදුසු බව අත්දැකීමෙන් දන්නා නිසාය.
කොස්ගස්මංකඩ කදවුරු බිමේ එකක් පස් දෙනෙකුට ප‍්‍රමාණවත් වු කූඩාරම් දෙකක්ද ඊටත් වඩා කුඩා වූ තව කූඩාරමක් ද ඉදිකෙරිණි. කූඩාරම් තැනීමේ කටයුත්තට කණ්ඩායමේ දෙදෙනෙක් පමණක් එක්වීම මග පෙන්වන්නා තුළ කුකුසක් ඇති කලේය. මෙවැනි ගමන් එන්නෝ සාමුහිකව වැඩ කරතත් මේ කණ්ඩායම ඊට හාත්සින් වෙනස් විය. කුඩාරම තැනු තරුණයන් දෙන්නා සෙසු පිරිස ‘‘සර්’’ කියා ඇමතූ නිසා ඔවුන් දෙදෙනා අතවැසියන් බව ම`ගන්වන්නාට අවබෝධ වන්නට වැඩි වෙලාවක් ගත නොවීය.
කූඩාරම් තනන්නට පෙර පිරිස තේ පානය කළේය. තේ පිළියෙල කළේ ඔවුන් ගෙනවිත් තිබූ ගෑස් උදුන භාවිතයට ගනිමිනි. තේ පිළියෙළ කළේද කූඩාරම තැනූ තරුණයන් දෙදෙනාමය. පිළියෙල කළ තේ කෝප්ප කණ්ඩායමේ සෙසු අයට පිළිගැන්වූයේ දෑතින් යුතුව යටහත් පහත්වය.
තරුණයන් දෙදෙනා මුලින් එක් කූඩාරමක් තනා අවසන් කළේය. ඒ අතර සෙස්සෝ මැණික් ගගට බැස දිය නාන්නට විය. කූඩාරම් තනන තැන සිට මීටර් පනහක් පමණ දුරින් මැණික් ග`ග විය. කුඩා බෑවුම් සහිත ඉවුර ඔස්සේ ගගට යායුතුය. ගංඉරේ කුඹුක කොළ වැටී පොළොව වැසි ඇත. ගගට යාමට ඇති අඩි පාරේද දින ගණනාවකින් කිසිවකු ආගිය බවක් නොපෙන්නුවේ එහිද කොළවැටී තිබු නිසාය.
මැණික් ගගට බැස්ස හයදෙනා දෙපැයකට ආසන්න කාලයක් දිය නෑහ. වරින්වර ගොඩට එන ඔවුහු ගංඉවුරේ කුඹුක් ගසක් මුලට එක්වී යමක් පානය කරති. කට ගැස්මට මොනවාදො හපමින් කොක් හඩාල සිනාසෙන ශබ්දයට ගස් මුදුනේ වු වදුරන් බියවී පළාතම වෙනක් කරමින් ‘‘චකුම්, බුකුම්’’ හඩ නැංවීය.
ගං ඉවුරත් ක`දවුරු බිමත් අතර වූ තැනක හුදකලාවේ පසුවන මගපෙන්වන්නා දිය නාන පිරිස දෙස බලා සිටියි. බෝතල් තිබූ ගංඉවුරේ කූඹුක්ගස මුලට ආසන්නව දිය නෑ පිරිස මැණික් ගග මැදට වන්නට කෙමෙන් කෙමෙන් ගියේ නොදැනුවත්වමය. මැණික් ගග ගැඹුරු නැත. මේ කදවරු බිම ආසන්නයේ මැණික් ගෙග් ගැඹුරුම තැන ද අඩිතුනකට නොඅඩුය. ඒ නිසා පිරිසට අවවාද දෙන්නට මගවෙන්වන්නා කටයුතු නොකළේය.
ගග මැද දියකෙළිමන් අඩහෝරාවක් පමණ ගතකර පිරිස ගොඩට එනවිට කුඹුක්ගස මුල තිබුනේ බෝතලය පමණි. ගෙනා විස්තෝකු කවරය පිටින්ම අතුරුදන්ය. කටගැස්මය ගෙනත් තිබූ අනෙක් දෑද තැන තැන විසිරී තිබුණි. ඒ සමගම කුඹුක්ගස මුදුනෙන් වදුරු රැළ දිය නෑ පිරිසට ඔච්චම් කරන්නට මෙන් ‘‘චකුම්, බුකුම්’’ හඩ තැලීය. වදුරන්ගේ හඩ ඇසී ගහ මුදුන බැලූ පිරිසට පෙනුනේ තමන්ගෙන් ගෙනා විස්කෝතු පැකට් එකකට රංඩුවන කුඩා වදුරු පැටව් දෙදෙනෙක්ය.
පිරිස කූඩාරම් දෙසට එනවිට අදුර මහපොළොව සිපගෙන අවසන්ය. කූඩාරම් දෙක මැද්දෙන් දැල්වුණු ලන්තෑරුමට ඒ අදුර මැකිය නොහැකි විය. කොනක දැල්වෙමින් තිබූ ගෑස් උදුන මත වු මුට්ටිය දෙපසින් ඉහළට ආ නිල් දැල්ල අ`දුර නිසා හොදින් දිස් විය.
නාගරිකයන්වූ මේ පිරිස පරිසරහිතකාමීන් බව සිතිය නොහැකි ලකුණු පෙන්නුම් කළේය. හුදෙක් විනෝදකාමීන් වු ඔවුන් වනගත පරිසරයක අසිරිය වි`දින්නට වුවමණාවු වන පිරිසක් නොවූ බව පැහැදිලිව පෙනුණි. ජීප් රථයකින් ගත් අකුලන කුඩා ප්ලාස්ටික් මේසයක් කූඩාරම් දෙක අතර දිග හැරියේ පෙරකී තරුණයන් දෙදෙනාගෙන් කෙනෙකි. ඒ මතට රට අරක්කු බෝතලයක්ද කටගැස්මද එක් කෙරිණි. හයදෙනෙකු එකතු වී ඇරඹි මේ මත්වතුර පානය කිරීමේ අවස්ථාව පරිසරයට ගෙනාවේ ඉතා අමිහිර දසුනකිය.
රාත‍්‍රීය එලැඹෙත්ම වනාන්තරයේ ඇසෙන විවිධ සතුන්ගේ හඩවල් අබිභවා මෙතැන ඇත්තේ මත්වුණු මිනිසුන්ගේ එකිනෙකා පරයන ආත්ම වර්ණනාය. වරෙක එය ගෝරනාඩුවකි. වනසතෙක් තබා මනුෂ්‍යයෙක්වත් මේ හ`ඩ ඇසෙන පැත්තට නොඑන තරමට ඒ කතාබහ නීරසය. බෝතල් හිස් කිරිම පටන්ගන්නා විට තිබූ හඩ හෝරා දෙකක් ගෙවෙනවිට සිවු ගුණයකින් ඉහළය. අවට කිසිවෙකුත් නැති නිසා මේ කන්කරච්චලය දැනුනේ වනයේ සිටි සතා සිවුපාවටත්, තනිකම අගය කළ මග පෙන්වන්නාටත් පමණි.
රාත‍්‍රී දොළහ පමණ වනවිට වෙරිමරගාතේ සිටි පිරිස වැනී වැනි ගොස් කූඩාරම් තුළට වැදිණි. ආවතේවයට ආ තරුණයන් දෙදෙනා තුළින් දිස්වූයේ සැබෑ වෙනසකි. නවීන පන්නයේ විදුලි පන්දමක් අතට ගත් එක් තරුණයෙක් භාජන කිහිපයක් අතට ගෙන තුවායක්ද කරට දාගෙන අනෙකා අමතමින් අසලවු මැණික් ගගට යන්නට යෝජනා කළේය. එය ඇසුනු මග පෙන්වන්නා අදුරු රාත‍්‍රියේ ගගට නොයන ලෙස අවවාද කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා ගමන නැවැත්තුවේය.
හෝරාවකට දෙකකට පෙර කොස්ගස්මංකඩ කදවුරු බිමෙන් නැගුනු අමිහිරි හඩ දැන් නැත. වනාන්තරයේ වන සතුන්ගේ විවිධාකාර වූ මිහිරි හඩ අතර බියට පත්වූ වනසතෙකු ගොරවන හඩක්ද අතරින් පතර ඇසෙන්නට විය. මැණික් ගග ඉවුරෙන් දිය බොන්නට ගගට බහින වන සතුන් අල්ලාන්නට ගං ඉවුරේ කුඹුක්ගසක අතු මත  දිගාවි සිටින දිවියන්ද මේ ඉසව්වේ නැත්තේ නොවේ.
‘දිවියා ගෝන නාම්බෙකු අල්ලාගෙන’ ගෙවිලි හඩ කන වැටුණ කෙනෙකුට සිතේ. හඩ ඇසෙන්නේ කදවුරු බිම ආසන්නයේමය. වනගත චාරිකාවලදි අනුගමනය කරන වත්පිළිවෙත් අබමල් රේණුවකටවත් නොතැකූ මේ පිරිස රාත‍්‍රියේ පිළියෙල කළ කුකුළු මස්වල සුවද දැනී වන සතෙකු පැමිණියේද යන්න සැක සහිත විය. එසේ ආ වන සතෙකුට දියබීමට ආ තවත් වන සතෙකු ගොදුරුවි ඌ ගැලවීමට උත්සාහ ගන්නා හඩක් විය.
ජීප් රථ දෙකින් එකක පිටුපස තට්ටුවේ නිදාගෙන සිටි මගපෙන්වන්නා මේ ඇසුනු හඩ කෙරෙහි ලොකු අවධානයක් යොමු කළේය. කූඩාරම් දෙසින් ඇසෙන මේ හඩ දෙසට යෑමද අවදානම්ය. නොයාද බැරිය. හේතුව මේ පිරිසේ ආරක්‍ෂකයා ඔහු වන බැවිනි. මගපෙන්වන්නා තමන් සතුව තිබූ විදුලි පන්දමෙන් වටේ විපරම් කළේය. අදුර කපාගෙන යන තරමේ එළියක් තිබු ඒ විදුලි පන්දමට අමුත්තක් නොපෙනිණි. ඒත් ශබ්දයේ අඩුවක් නැත. ජිප් රථ දෙක තිබු තැනට කූඩාරම් දෙකේ පිටුපසු නොපෙනෙයි. හිතට හයිය ගත් මගපෙන්වන්නා ජිප් රථයෙන් බිමට බැස්සේය.
වනාන්තරයේදී විදුලි පන්දම් එළිය නුරුස්සන වනසතුන් ඇති බව මගපෙන්වන්නා අත්දැකීමෙන් දනියි. ඊටත්, ගොදුරක් ඩැහැගත් සතෙකුට ලංවීම ජීවිත අවදානමක් ගෙන දෙන ක‍්‍රියාවකි. එහෙත් ඇසෙන හඩ අනුව ඒ අවදානම ගත යුතුය. වෙරිමරගාතේ අ`දුරේම කැලෑවට ගිය කෙනෙක් විපතකට පත්ව ඇද්දැයි මගපෙන්වන්නාගේ හිතදෙගිඩියාවෙන් යුතුවිය.
හඩ ඇසෙන්නේ කූඩාරමක් දෙසින් බව පැහැදිලිය. කූඩාරම් දෙක අතර ගහක අත්තක එල්ලූ ලන්තෑරුම කිසිත් නොදැන සිහින් දැල්ලක් ඇතිව දැල්වෙයි. කදවුරු බිමට එය කණාමැදිරි එළියක්ය. මේ ගමනට ආ දහදෙනාගෙන් කිසිවෙකුටත් මේ භයංකාර හ`ඩ නොඇසෙන්නේ ඔවුන් පියවි සිහියෙන් නොසිටින නිසා බව මග පෙන්වන්නා දනී. කූඩාරම දෙසට ළංවන විට හඩ එන්න එන්නම වැඩිය. මගපෙන්වන්නාගේ හද ගැස්මද ඒ හා සමානව වැඩිවෙයි.
කූඩාරමට වඩාත් ලංවන විට එය ඇසෙන්නේ කූඩාරම ඇතුළෙන් බව අවබෝධවිමත් සමග මගපෙන්වන්නාගේ ඇඟේ හිරිගඩු පිපිනි. කූඩාරම ඇතුළේ කිසිවක් නොපෙනේ. දිවියා හෝ වළහා කූඩාරමට පැන ඇතිබව මග පෙන්වන්නාට සිතිණි. ඒ නිසා කෙළින්ම කූඩාරමට ඇතුළුවීම හෝ ඇතුළට විදුලි පන්දම දැල්වීම අතිශය භයානක බව ඔහුට අවබෝධ විය.
කූඩාරම අවටට මුලින් විදුලි පන්දම එල්ල කළේ ආරක්‍ෂාවටය. නමුත් අමුත්තක් නැතිව හඩ ඇසෙයි. හිත හදාගත් මගපෙන්වන්නා කූඩාරම තුළට විදුලි පන්දම එල්ල කළේය. එහි වූ තිදෙනාගෙන් කෙනෙක් උඩුබැලි අතට හැරී නිදමින් ගොරවන හඩ මෙසේ ඇසෙන්න වු බව අවබෝධවීමෙන් පසු මගපෙන්වන්නාට සැහැල්ලූවක් දැනිණි.
නැවතත් ජීප්රියට ගොඩවී නින්දත් නොනින්දත් අතර පසුවූ මග පෙන්වන්නා යළි අවදි වුණේ කූඩාරමක් තුළින් ඇසුනු මිනිසෙකුගේ විලාප හඩකිනි. ඒ හඩට අනෙක් කූඩාරමේ සිටි අයද වෙරි හිදි අවදිවු බව පෙනුණි.
‘‘වලහා ඇවිත් මගේ ඇගට පැන්නා. මම කෑගහනකොට ඌ බයේ දිව්වා.’’ තැති ගැන්මෙන් යුතුව කූඩාරමේ අයෙක් පැවසුවේය. ඔහුගේ ඇග වෙව්ලයි. මුහුණෙන් දහදිය ගලා එයි. තැතිගෙන කෑ ගැසු තරුණයා සමග කූඩාරමේ සිටි සෙසු අය ඒබව දැක නොතිබුණි. මගපෙන්වන්නා තම අතේ බැදි ඔරලෝසුව බැලීය. පාන්දර හතරට ඇත්තේ මිනිත්තු පහකි.
කූඩාරම් අවට විදුලි පන්දම් දල්වා විපරම් කර බැලූ නමුත් වළහෙක් ආ සලකුණක්වත් එහි නොවීය. ඇඟේ ද නියපිටින් වූ සීරීම් තුවාලයක් වත් නොවීය. මෙය කාටත් ගැටලූවක් විය. වළහාට බියවු තරුණයා නුහුගුණයෙන් මෙන් කියවන්නට විය.
‘‘හීනයක් දැකලාද කොහොද බයවෙලා’’ මග පෙන්වන්නා කීය. නමුත් තරුණයා එය පිළිගන්නට ද අකමැතිය. ඔහු ස්ථිරවම පැවසුවේ වළහා තම ඇ`ගට පැන්න බවයි. මේ මුලින් ගෙරවූ තැනැත්තා නොවන බව මගපෙන්වන්නාට අවබෝධ විය. දැන් එළිවන්නට ඇත්තේ පැයක පමණ කාලයකි. සියල්ලෝම අවදියෙන්ය.
තරුණයාගේ කියවීම අඩුවක් නැත. වළහා පැන්න හැටි ඌ පලාගිය හැටි, කූඩාරමට නුදුරුව ඌ තමන් එනතෙක් බලා සිටින හැටි තරුණයා එකදිගට කියවයි. හැමදෙනාගෙම වෙරි හි`දී ඇති සෙයකි. තවත් අඩ හෝරාවක් ගතවෙද්දී කුරුල්ලන් කෑගසමින් වනයේ සැරිසරන්නට විය. නමුත් වළහාට බයවූ තරුණයා නොනවත්වා විවිධ දේවල්  කියවන්නට විය.
’‘අපි මොකද කරන්නේ’’ කණ්ඩායමේ තරුණයෙක් මග පෙන්වන්නාගෙන් විමසීය.
’‘අනේ මන්දා මහත්තයෝ. මේවගේ දෙයක් මගේ කාලයටම දැක්කෙ අද. මේක දේව අඩිවියක් කියලා කිවුවාට මහත්තයලා ඉතිං ඇහුව එකක්යැ. සතෙක්නම් ආව පාටක් පෙන්න නෑ මොකක් හරි හිතේ බයක් ඇත්තේ. කොළ අත්තක් කඩලා කතරගම දෙවි හාමුදුරුවන්ට බාරයක් වුණා නම් හොදයි කියලයි මට හිතෙන්නේ.’’ මග පෙන්වන්නාගේ උත්තරය විය.
’‘ඉතිං ඒක කරන්නකො’’තරුණයාගේ පිළිතුර විය. මම ඒකකරලා හරියන්නේ නෑ. මහත්තයලා කවුරුහරි කොළ අත්තක් කඩලා, ඒක බිම නොවැටෙන විදියට වෙන ගහක අත්තක එල්ලලා. හිතින් හිතාගන්න මේ ලෙඩා සුව කරලා දෙන්න කියලා. ඊට පස්සේ මහත්තයලා යනගමන් කතරගම මහ දේවාලයට ගිහිං ඒ බාරය ඔප්පුකරලා යන්න.’’ මගපෙන්වන්නා උපදෙස් දුන්නේය.
යාල සහ කුමණ කැලේ වළස්සු සිටියත් මිනිස්සුන්ට උන් කරදරයක් නොකරන බව කලක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කළ තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා කීවේය. දේව අඩවියේ නොමනා ලෙස හැසිරෙන බොහෝ දෙනෙක් මේ ආකාරයට බියවු අවස්ථා තමන් දැක ඇතිබවත් ඔහු කීවේය. කුමණ වනෝද්‍යානයේ මහකැබිලිත්තට ඔහු මාසකට දෙතුන්වර යන්නෙකි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 නොවැම්බර් මස 25 14:32:15 | දීප්ත විජයසේකර

විමල් කොඩිතුවක්කු

යාල පිවිසුම


මුව රංචු



Saturday, November 24, 2012

දෙමටමල් වෙහෙර


ගැමුණු කුමරු හා සටන් වැද පරාජය වූ තිස්ස කුමරුන් දිවි බේරාගැනීම පිණිස පලාගොස් ඇඳක් යට සැගවී සිටි විහාරය දෙමටමල් විහාරය යැයි ජනප‍්‍රවාදයේ සඳහන් වේ. 

මෙම ඓතිහාසික විහාරස්ථානය බුත්තල නගරයේ සිට මාලිගාවිල මාර්ගයේ කිලෝ මීටර හයක් පමණ ගිය පසු පිහිටා ඇත.

බෝධි රෝපණයට පෙර නිදන් වස්තු තැන්පත් කර ඇති එකම විහාරස්ථානය ලෙස සැළැකෙන මෙම විහාරස්ථානය කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජු විසින් කරවන ලද ගමිට්ඨවාලී විහාරයැයිද පුරාවිද්‍යාඥයෝ පවසති.

එහෙත් කි‍්‍රස්තු පූර්ව තුන්වැනි සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ දෙටු සොහොයුරු මහානාග යුවරජු රුහුණට පැමිණ මෙම විහාරය කරවන ලද බවත් දෙටුමල් වෙහෙර පසු කලෙක දෙමටමල් වෙහෙර වූ බවටත් මතයක් ඇත.

එමෙන්ම දුටු ගැමුණු කුමරුන් තම මළනුවන් දුටු ස්ථානය වූයෙන් දුටු මල් යන්න දෙටුමල් වී පසුව දෙමටමල් වූවාය යන්නද එක් මතයකි.

ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් වන මෙම විහාර සංකීර්ණය දාගැබ, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාගාරය හා සම්මන්ත‍්‍රණ ශාලාව යන පංචාවාසයන්ගෙන් සමන්විතව ගොඩනගා තිබී ඇත. කළක් වනගහණයෙන් වැසී තිබූ විහාරය 1974 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත.

2011 ජූලි මස 20 16:45:54 ලංකාදීප | සජිව විජේවීර 

දෙමටමල් විහාරය

දෙමටමල් විහාරයේ පැරණි චෛත්‍යය

විහාරයේ බුදුමැදුර ඉදිරියේ ඇති පැරණි සඳකඩ පහණ සහ මුරගල්

පැරණි බෝධිඝරයක්

නටඹුන් වූ පැරණි ගොඩනැගිලි

ඉතා දුර්ලභ මුරගලක්. මෙහි කාන්තා රූපයක්ද ඇත.

විශාල ප‍්‍රමාණයේ බෝසත් රුවක බිදී ගිය හිස කොටස

මොනරාගලට අඩි 80ක බුදු පිළිමයක්

මොනරාගල කුමාරදොළ පාර ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමයේ අඩි 80ක් උස අඩි 62ක් පළල සමාධි බුදු පිළිමයක් නෙළීමේ කටයුතු අරඹා තිබේ. අඩි 650ක් උස කන්දක් මත නෙළන මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිම කිරීමට ඇස්තමේන්තු මුදල ලක්ෂ 650කි. ලක්ෂ 160ක පමණ වැඩ කටයුතු නිමවා ඇත. ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා හා ප්‍රාදේශීය ලේකම්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම කර්තව්‍ය හුලංදාවේ චන්ද්‍රසිරි හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

2012 නොවැම්බර් මස 23 15:59:41 | ලංකාදීප
http://www.lankadeepa.lk/index.php/articles/79346





Saturday, November 17, 2012

ඌවේ සැඟවුණු ඉතිහාසය



* ඓතිහාසික තොරතුරු, * ජන ජීවිතය,

* ගැමිවහර, * ජනකවි

අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද ප්‍රෙෘඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක්‌ වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු සොයා යන ගමනක්‌ වීමත්, මෙම ලිපියේ පරමාර්ථය සේ හුවා දක්‌වමි.

සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී "හූ" යන හඬ ජනිතවීම නිසා "හූව" නොහොත් "ඌව" යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.

දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.

"කිඳ" යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස "උඩුකිඳ" ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස "යටිකිඳ" ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.

පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර "උඩුකිඳ" කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර "යටිකිඳ" කොටසත් අයත් වේ.

ලෝකාන්තය(- "ඔහිය" නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක්‌ පාසාම "ආගමික භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස්‌ ක්‍රීඩකයන්ට පාරාදීසයක්‌ බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි "දියතලාව" නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන "දිව්රුම්වෙල" විහාරස්‌ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ.

අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත "දුන්හිඳ" දිය ඇල්ලත් "මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක්‌ යටින් සකස්‌ වූ දුම්රිය මාර්ගයක්‌ පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ "දෝවේ" රජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, "සෙන්ට්‌ ඡේමිස්‌ නැග්මත්" පිහිටි "හාලිඇල" නගරයත්, නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.

බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක්‌ (බත් ශාලාවක්‌), බත් හලක්‌ ඉදිකර තිබූ ස්‌ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.

බිබිල - බුත්තල, මොනරාගල යන නගර ආශ්‍රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්‌ත්‍රික්‌කය පුරාවටම බුරුත, තේක්‌ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්‌කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක්‌ වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්‌ථානයන්ගෙන් ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දීප්තියක්‌ වැටී ඇත.

ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව "වැල්ලවාය" නගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.

පෙර රජදවස රහතන් වහන්සේ දහස්‌ ගණනින් වැඩවිසූ ඓතිහාසික කූරගල ශ්‍රීපාද දිවාගුහා විහාරස්‌ථානය දක්‌වා වසර දස දහසකට එපිට කාල පරාසයකදී මුහුද තිබූ බවට වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙන්නේ කූරගල අවට "වැලිපතයාය" ප්‍රදේශයේ අදටත් මුහුදු බෙල්ලන්, මුහුදු වෙරළාසන්න වැවෙන පන් වර්ග, මූදුවැලි පවතින බවට නිදසුන් ගෙනහැර පාමිනි. එකල විශාල වැලි වරායක්‌ව තිබූ පෙදෙස වැලි+වරාය - වැල්ලවාය වී පසුකලෙක භාවිතයට යෙදී ඇති බව ද වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙති.

අතීතයේදී ගොවියන්ට තම මඩ ඉඩම් වලින් සරුසාර අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවූත්, දැනට මුව, ගෝන, අලි ඇතුන්ටත්, සේරුන් නමැති පක්‍ෂීන්ටත්, ජලය සපයනු ලබන තණමල්විල වැව ගැන ද සඳහන් කළ යුතුව ඇත. බළන්ගොඩ මැතිවරණ කොට්‌ඨාසයේ "වේලිඔය" හරස්‌කර මහනෙටුල, කුඩානෙටුල, කංඩියපිට, බෝගස්‌වැව, අළුත්වැව, අරඹේකෙම, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්‌ස, හම්බේගමුව වැව දක්‌වා කිලෝ මීටර් 25 ක ඇළක්‌ මගින් ජලය සැපයෙමින් කුඩාවැව් 20 කට වැඩි ප්‍රමාණයකින් ගොඩ, මඩ අක්‌කර 5000 කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන වාරි කර්මාන්තයක්‌ද පසුගිය වර්ෂයේදී ජනතා අයිතියට පැවරිණි.

කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක්‌ වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක්‌ නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක්‌ නිසා වෙල්ලස්‌ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්‍රදේශයකි.

බිංතැන්න - බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්‍ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්‌ථාවේ බිංතැන්නේ සිටි යක්‍ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්‌දිව) දැක්‌වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක්‌ පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්‌ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක්‌ පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් "රිදීකොටලිය" නම් ඇළක්‌ තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්‌ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්‌ වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්‌ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්‌වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක්‌ ඇති වී තිබේ.

වියලුව - වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක්‌ ගනු ලබන තවත් ප්‍රදේශයකි. "වේලු" යනු "උණගස්‌" වලට ව්‍යවහාර කරන නමකි. "වේලු" නොහොත් වියලු නොහොත් උණ ගස්‌ රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.

දුටුගැමුණු මහරජතුමා අමුණක්‌ බඳවද්දී ඔහුගේ පුත් සාලිය කුමරා රොඩී කෙල්ලක්‌ සමග ප්‍රේමයෙන් වෙලී සිටිනා බව සැලවීමත් සමගම සාලිය කුමරා සමග සිටි සේනාව සාලිය කුමරාට ඔටුන්න අහිමි වීමේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා එම සේනාව සතු දිවා ආහාරය (පිසින ලද බත් මුල්) මැඩිල්ලකට විසිකරනු ලැබූහ. එදා සිට එම ප්‍රදේශයට බත්මැඩිල්ල යන නාමය ව්‍යවහාර වී තිබේ.

ඌව පළාතේ විස්‌තරත් එහි පැරැණි කොට්‌ඨාස ක්‍රමයත් මෙසේ සනිටුහන් වෙද්දී පුරාණ කාලයේ දකුණේ මාගම් පත්තුවේ කතරගම සිට අනුරාධපුරයට පැමිණෙන ගම් පියසි දිගේ පැමිණිය හැකි ඉසුරුමත් මහා මාර්ගයේදී හමුවෙන සමහර නගරයන්ට සහ ග්‍රාමයන්ට අදටත් ව්‍යවහාර කරනු ලබන නාමයන් සෑදී ඇත්තේ මෙසේය.

කදිරදේවගම, කදිර+ගම, කදිරාගම යනුවෙන් ද ඉන්පසු කාලීන කන්ද+ස්‌වාමි+ග්‍රාමම් කදි+දේව+ගම, ශුෂ්ක දේශ ගුණයකින් හෙබි ගම කතරේ+ ගම = කතරගම යනුවෙන් මුඛ පරම්පරාගතව ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද සඳහන් වේ. කන්ද ස්‌වාමි පැමිණ නැවතුම්ගත් ශුෂ්ක වූ ගම යනුවෙන් පවතින මතයක්‌ද වේ.

දිගාමඩුල්ල - දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු - අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්‌වැද්දවීමට තිබූ "දිගාමඩුල්ල" සීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.

ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්‌ථව පිහිටියත් බලකොටු දෙකක්‌ පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් "දෙහිවින්නේ" බලකොටුවේ "පදනිතිය" යෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක්‌ වන වේරගම බණ්‌ඩාර පුදුමාකාර දිවිපෙවෙතක්‌ ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස්‌ ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක්‌ ලෙස පෙනී තිබේ.

පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්‌ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්‌ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්‌ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්‌ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මරණයට පත් කරනු ලැබූ විදේශීය හමුදා සෙබළු සියලු දෙනාම පල්ලමකට (ඇළකට) දමන ලදී. එම ඇල්ල පරංගි ඇල්ල යනුවෙන් හඳුන්වනු ලැබේ. පරංගි ඇල්ල නමින් ව්‍යවහාර වන ග්‍රාමයක්‌ අදටත් මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

හපුතලේ - හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක්‌ තිබූ ප්‍රදේශය බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක්‌ වෙලක්‌ (කුඹුරක්‌) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+ දෙවි+රු+කුඹුර) "දෙවිරුව" යන වචන බිඳී ගොස්‌ කුඹුර යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද තවත් මතයක්‌ පවතී.

වැලිමඩ - පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක්‌ පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්‌වී ඇතැයි ද තවත් මතයකි.

ඌවගැමි වහර( ඌව පළාතටම ආවේණික වූ ගැමි වහරක්‌ අතීතයේදී භාවිත වී තිබූ බවට වෙල්ලස්‌සේ ඇතැම් ගැමි කතාබස්‌ වලදී අදත් අපට දැකගත හැකි වේ.

ඌවේ ඉපැරණි ගැමි වහර

ඇනබාගන්නවා - වාඩිවෙනවා

කොක්‌කාවෙන් යනවා - කරපිටින් යනවා

මිනිපන්දමේ යනවා - දඩයමේ යනවා

හිරිම්බනවා - කෑම කනවා

කුදාගත්තා - නිදාගත්තා

නවුවනවා - දිය නාවනවා

බැදිඅඹවනවා - කැලේ සතුන් එලවනවා.

ඕගානවා - අඬනවා

කොහා යනවා - කොහේ යනවාද?

කුදාලනවා - බඳිනවා

උකාලනවා - වැටෙනවා

දීගන්නවා - ගහගන්නවා

පුණුවනවා - නිදිකරවනවා

කාවටිනවා - දබර කරනවා

පුහුටුලානවා - ප්‍රමාද වෙනවා

ලුහුටනවා - ලෙස්‌සනවා

හෙයියන් කරනවා - කරදර කරනවා

කුස්‌ කුස්‌ ගානවා - අඬමින් ඉන්නවා

උඩන් ගහනවා - නොන්ඩිගහනවා (කොරගහනවා)

රොක්‌වුණා - අමාරුවෙන් ගියා

තව්ගහනවා - බාගෙට පුළුස්‌සනවා

මෝපකරනවා - වරිච්චි බඳිනවා

බොටා - යහළුවා

මකරට හිරිම්බනවා - බඩට කනවා

බැන්නට කුඹුලන්නෙවත් නෑ-බැන්නට කතා කළේ නෑ

හත් ගහනවා - ලියනවා

ගොන් ගනවා - කෙලින් කරනවා

වල්විලංගුවෙලාගියා - කඩාකප්පල්වෙලා ගියා

තකෝනැතිවුණා - අමතක වුණා

මතගානවා - හැඳිගානවා

කෙළිපානවා - එබී බලනවා.

වෙනිගානවා - ගෙයක්‌ගානේ යනවා

හිපගෙන - උස්‌සාගෙන

හෑගා වැටුනා - හතිදාගෙන වැටුනා

හෑගතලනවා - හති අරිනවා.

පුක්‌කවෙලා - වෙරිවෙලා

බොටතලනවා - මරනවා

කැටුව වැඩුවා - පස්‌සෙන් එලෙව්වා

ගසෙන් බැහියන් - ගහෙන් බැහැපත්

කස්‌කරේ - ඉක්‌මනට

මෝල්කනා - කුණුවෙලා

බුන්නා - බිව්වා, බීවා

ලබ්බගන්නවා - කිට්‌ටුකරගන්නවා

ටොන්බ - වලිගය

සීනිගඳ - පිළීගඳ

ඕකට නැගිල ගියාවෙ - ඕනෑ තැනක ගියාවෙ

කිවුල - උල්පත

හංකෝඩවුණා - බාගෙට ඇකුලුනා

කටනැගුනා - ගියා

කම්බුස්‌සාවෙන්න - ඇස්‌රතුවෙන්න

ලබ්බලා - කිට්‌ටුකරලා

පනන්වෙනවා - යනවා

හෝටුපුරුල්ලන් ගැහිලා - හොඳටම තෙමිලා

මොටා - ලොකුඑකා

කනත්ත ඉවලා - බාගෙට කැලේ වැවිලා

හාකොයි - පුළුවනි

ගහම්මනවා - අහක දමනවා

රහුගෙඩි - මිණිගෙඩි

අකවනවා - හරස්‌කරනවා

අලිමන්තලේ - අලියන පාර

දිව්වම දිව්වා - නොනැවතී ගියා

හුළංවැස්‌ස - හිරිකඩ

ඔපරස්‌වුණා - ලීයඇදවුණා

කොළොම්බ - කුඩා බංකුව

කයද - කාගේද?

ගහම් මවුවා - වීසිකළා

අස්‌කඩය - රෙදිපටිය

කළඟ-ලෙලිහරින ලද පුවක්‌ කොළපත

පලසෙලව් - සිල්ලර

ඉඩොල්පරවෙලා - කුරුවල්වෙලා

ගිනිපූගානවා - ගිනිමොලවනවා

නිදිකලන්ගාතෙ - නිදිමතේ

මෙරිවෙනවා - එබෙනවා

මාකුරුමල් - පුවක්‌මල්

පිඩිගහනවා - ගුලිකරනවා

අටවනවා - දිගහරිනවා

ඇස්‌බැලුම්කරණවා - සොයා බලනවා

උදව ගන්න එපා - කේන්ති අවුස්‌සවන්න එපා

කකරනවා - හැඳිගානවා

රුකුල - හිල

කුඩුම්බරයා කොල්ලා

බුඩා, බුඩී - මහල්ලා, මැහැල්ලී

කැරැල්ලන්ගහනවා - පිනුම්ගහනවා

මාකඳයා - මාවවුලා

දෙගුනගතිය - පිස්‌සුව

දඹුව - ගිනිදැල්ල

ඩිම්බා - දිමියා

මට්‌ටේ - හිසබූගෑම

හපුකඳයා - සැලළිහිනියා

උකුණුගහ - දැතිගොයියාව

රොටියට දම්මා - වී බිත්තරට දැම්මා

පෝපොත - පුවක්‌ කොළය

බිරන් - වැසිවලාකුළු

මුස්‌නෙ - කුරුමානම

දරහැව්ව - ගෙදර බඩුමුට්‌ටු

මාපත - උළුවස්‌සේ උඩ පඩිය

පොලොත්ත - පොල්කටුව

අස්‌කනත්ත කෙටුවා - කුඹුරවටේ සුද්ධකළා

අතබෑ, කකුල බෑ, අතේ තුවාලයක්‌, කකුලේ තුවාලයක්‌,

ගෝහාලය - දඬුමැස්‌ස

අරේයියා, මේයියා - අර, මේ

කියලා පරාදයි - කීමෙන් ඵලක්‌ නෑ.

බණවනවා - කතාකරනවා

හෙවන්බැස්‌සා - ඉරබැස අව්ව අඩුවීම

නෑවෙයි - එහෙම නොවෙයි

එහෙවෙයි - එහෙම තමයි

වනුව - බාගෙට වැවුන කැලේ

කනත්ත - අත්හැරුන හේන (පරණ හේන)

හෙල - කන්ද

හොටිඅම්මා - මැහැලී (ආච්චී)

ඇලිවැද්දලා - හැංගිලා

කාවල්කාරයා - මුරකරුවා

ඇටතඩියවෙලා - දරදඬුවෙලා

ඔද්දිහක්‌වන්නෑ - මෙලෝ සිහියක්‌ නෑ

ගොඩ උඩ සලාවෙන් ඉන්නවා - ගෙම්බා වගේ ඉන්නවා

දඟර - කොරවීම

කුඩිත්ත, පෙත, - ටික, ටික

ගදල් - කොස්‌ කටු

ගදාලේ - රොඩු කුණු

කොකිස්‌ - කිරිඇල

පිල්ල - හබරල අත්ත

ඇහැපිලි මෙරු

ගෝටය - කූඩුව

හොබිරියා - කම්මැලියා

ඇලිබිහිරිකම - ල-ජාව (සබකෝලය)

අටිනෙ - සබකෝලය

ඇන්නැවර - අරගෙන වරෙන්

කුරු අඩිය - බත්පත තබාගෙන කන එක

බාපත - උඩතල්ල

පැපිලිය - වියන්තට්‌ටුව

පබිලියම - වියන් ඇඳ

ගොයිය - යාලුවා (මස්‌සිනා)

අකවනවා - හරවනවා

කොළ ගෙඩිය - කමත ගොඩගසන ලද ගොයම

මූලප්පල්ය - ඇතිළිය

සුමක්‌ ගත්තරේ - වැඩකරදර

පොල්කුරුප්පිය - පොල්ගෙඩියේ තැරිය

ලෙසවලා - වේගයෙන් ගිහිල්ලා

ඒක එටැයි - පුදුමයි

වරාව - පෙරැත්ත

කෝඩුවාව - ගේ අයින

ඒක එමැයි - පුදුමයි

බොහෝ ඈත අතීතයේ ඌව පළාතටම පමණක්‌ ආවේනික වූ බස්‌ වහරක්‌ තිබුණු බවට ඉහතින් දැක්‌වෙන සමහර වදන් දෙස බැලීමේදී පැහැදිලි වේ. මෙම බස්‌ වහරද එයට නිදසුන් වුවක්‌, වත්මන් සමාජයේ මෙම යෙදුම් ක්‍රමයෙන් අය වෙමින් පවතී.

(1) හොටි අම්මා බණවනවා - ආච්චී කතාකරනවා.

(2) කාවල්කාරයා ඇලිවද්දලා - මුරකාරයා හැංගිලා

(3) පබිලියම ඇන්නැවර - වියන් ඇඳ අරගෙන වරෙන්

(4) කුඩුම්බරයා හොබිරියා - කොල්ලා කම්මැලියා

(5)කස්‌කරේ ගසෙන් බැහියන්-ඉක්‌මනට ගහෙන් බැහැපන්

ඌව පළාතේ අදටත් භාවිත වන ගමින් ගම ගැමි කවි කීපයක්‌ මෙසේ දක්‌වමි. එහිදී මෙම ගැමි කවි දෙකෙහි පුරාවෘතයද සැකෙවින් දක්‌වනු කැමැත්තෙමි.

එදා මෙදාතුර ඌව පළාත හේන් ගොවිතැනට ද ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. හේනක පැල් රකිමින් සිටි ගොවි මහතෙක්‌ වෙත පැමිණි යක්‍ෂණියක්‌ ගොවියා අමතා මෙම කවිය කියා ඇති බව මුඛ පරම්පරාගතව පවතී.

ඈත එපිට පස්‌සර වත්තේද බුලත්

ඊට ඉණක්‌ කන් මඩලාපු පල් පුවක්‌

කස්‌තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්‌

බුලත් විටක්‌ දෙනවද රාල දැන් මටත්

රූමත් කාන්තා වෙසක්‌ ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක්‌ බව අවබෝධ කරගත් ගොවියා යක්‍ෂණියගේ කවියට මෙම පිළිතුරු කවිය කියා තිබේ.

ආතා බූතයෙන් ආවද තෝ අ ඩී

ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී

තිගේ පියා දැවු සොහොනත් මම දනි මී

අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී

තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්‍ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.

ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කය උඩරට එළවළු, පලතුරු ඇතුළු ශීත දේශගුණික වගාවන්ට හිතකර මෙන්ම, එහි හාත්පස වියළි දේශගුණයක්‌ ඇති මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙහි වියළි දේශගුණ තත්ත්වයක්‌ යටතේ හැදෙන වැඩෙන පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලට ප්‍රචලිතය. මොනරාගල දිස්‌ත්‍රික්‌කය බහුල ලෙස කුරහන් වගාවට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබයි.

ඌව පළාතේ කාන්තාවන් සමූහයක්‌ වශයෙන් එක්‌වී කුරහන් කැපීමේදී ගායනා කරණු ලබන කුරහන් කවි වසර සිය ගණනක්‌ පැරැණි වුවද ඒවායෙහි අදටත් නවනළු රසයම ගැබ්වී ඇතැයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

රන්තානා කැල නවයක කාලා ඇවිදින් හේනට වැට බිඳ ලා

දෙපෙති කුරක්‌කන් නමා හෙලාලා කන්නේ ලොකු ගෙඩි තෝරා ලා

ගෝනෙක්‌ දැකලා දැක විමසාලා වෙඩි තිබ්බයි නිල තෝරා ලා

මොරහැල මැතිඳුට හොඳක්‌ ලැබුණි කිව් තුවක්‌කුවේ රන් බන්දා ලා



වලුත් කොටා වල් ගිනිලා වැට බැඳ බක්‌ මාසේදී වපුරන්නේ

ලබුත් පුහුල් ඇට සැමදේ එක්‌කර මන්ඩි මන්ඩිවල සිටුවන්නේ

පලුත් පළල ඇති ගලුත් ගණින ලෙස ආපු කුරක්‌කන් ගොඩ වෙන්නේ

සලුත් සලා එන රූසිරි අඟනෝ කුරක්‌කමේමයි වැනසෙන්නේ



රලුත් ඇතිව කැති මුවත් තනා කටුවළුත් කොටා වපුලයි සොඳනේ

නිලුත් වරළ බැඳ මලුත් ගවසමින් ඇවිත් සිටිති සුරඟන ලෙසිනේ

ගෙඩිත් ලොකුව ඇති රෑන කුරක්‌කන් දිරාවැටී බිම වැන සෙන්නේ

අලුත් නුවර ළඳ ලියොත් ඇවිත් කවි කියත් බඹරු නද දෙන ලෙසිනේ



අන්නර නාගසෙදොa අන්නර නාගසදෝ අන්නර නාමලදෝ අන්නර සුද පෙනෙනා

අන්නර සපුගසදෝ අන්නර සපුගසදෝ අන්නර සපුමලදෝ අන්නර රත පෙනෙනා

අන්නර උණගසදෝ අන්නර උණගසදෝ අන්නර උණමලදෝ අන්නර රුව දිලෙනා

අන්නර කොණලියදෝ අන්නර කොණලියදෝ අන්නර කොණේ සිටින ලියනම් සොඳිනා



දිග්ගේ දොරකඩ උළුවහු කනුවට ඇත් දත් වලිනුත් වැඩදා ලා

ඒත් මැදින් මැද රුව දිලිසෙන්නට පළිඟු මැණික්‌ගල් ඔබ්බා ලා

දිග්ගේ දෙපිටම පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳ ලා

දිග්ගේ නැටුමට හොඳට ඉනන්ගුයි උඩුවියනුත් වට තර ඇද ලා



කලිඟු රටේ නරනිඳුගේ නුවරට සාය වැදුණි එක වරුසෙක දී

පළිඟු මැණික්‌ ගල් බොර සොරකමකට ලොව දිව්රෙව්වයි සොඳ වැර දී

දිළිඳු වෙලා අලි ඇතු දන්දෙන්නට සඳ මහනුවරට වැඩි තැන දී

පොළොව නැටුවෙ වෙස්‌සන්තර නරනිඳු කුමරුන් දන්දුන් කාලේ දී



පුරාතනේ කප උපතට පළමුව වැසි වැස බඹතල උසට පිරූ

වරා රූපමෙන් බඹා පුරුදුලිය මහා පොළොව ගල අගින් දැරූ

විරාජිතව එහි දෙරණ සිදුරුකර නෙළුම් මලක්‌ පසෙකින් සිව් රූ

පුරාදිපති තුන් ලෝක ස්‌වාමිනී ඔබගෙ වඳිමි සිරිපා තඹු රූ



පන්කැටියේදී මරුණු ඇතින්නී අව්වට ගෝඹර වේලෙන වා

වෙඩිතුන කාලා ගිය පිම්මේදී රත්රන් මේ මුතු දිලිසෙන වා

තිස්‌පැය ගිය තැන මැරුණ තැනේදී පැටියා ඇවිදින් කිරි බොන වා

විෂ්ණු සමන් දෙවි නඩු ඇති කාලේ පැටියගෙමෝ දැන් නැඟිටින වා



නමින් පැවත එන රජකාලේ සිට මගෙ ගුරුවරු පද කර කිය නා

වෙමින් පිහිට මට දැනෙනා පමණට සින්දු හයක්‌ පදකර කිය නා

රටින් රටට පාරට්‌ටු කියන්නට ගණ දෙවිඳුන් මට නුවණ දෙ නා

දෙමින් මෙ පත්ත්‍රය අස්‌නෙන් වැඩ සිට වෙල්ලස්‌සේ උතුමන් අතිනා



එතෙර එදේසෙන් මෙතෙර මෙදේසෙන් පිනිදිය දේ සෙට ගෙනා ගො නා

රිදී ද රත්‍රන් පටි බැඳලාගන කලියුගේට සරසාපු ගො නා

මොල්ලිය මුදුනෙන් අත්දෙක තබලා යන එන සෙනඟට වැඳපි ගො නා

නුදුටු කෙනෙක්‌වත් බලන්ට යනවද විෂ්ණු සමන් දෙවියන්ගෙ ගො නා



"මනහර ඌව පළාතේ සැඟවුණ ඓතිහාසික තතු බිඳක්‌" ලිපිය සැකසීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමේදී විශේෂ සහායක්‌ ලබාදුන් පැපිලියවල - වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරාධිපති මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන්ට ප්‍රණාමය පුදමු.

එස්‌. අත්තනගොඩ, පැපිලියවල.

Source : - http://www.divaina.com/2009/08/12/feature02.html

Search This Blog