dunhinda.com

Sunday, July 22, 2012

කතරගම ඇසළ පෙරහර


ඇසළ මාසය දෙවියන්ට අයත් මාසයක් යයි බෞද්ධයන් පමණක් නොව බොහෝ හින්දුන් අතර ද විශ්වාසයක් පවතී. ඇසළ පුන් පෝදා බුදුන්වහන්සේ පස්වග මහණුන් ඇතුළු දෙවියන්ට පළමුවැනි ධර්මදේශනාව පැවැත්වීම නිසා මේ මාසය බෞද්ධයන්ට ඉතා වැදගත් වූවකි. දෙවියන්ට කෙරෙන පූජෝපහාර ලෙස සෑම ඇසළ පෙරහරක්ම, මේ මාසයේ පැවැත්වීම නිසා හින්දුන් ද මේ විශ්වාසයේ එල්බ සිටී. මේ අනුව ඇසළ මාසය (ජූලි මාසය) දෙවියන්ගේ පූජෝපහාරය සඳහා වෙන් වූ මාසයක් ලෙස ද දේවභක්තිකයෝ සිහිපත් කරති. අලූත් නුවර දේවාලයෙන් ඇරඹෙන මංගල්‍ය කාලය කතරගම, මහනුවර, දෙවිනුවර ආදී වශයෙන් ඒ ඒ ස්ථානවල නැකත් යෙදෙන ආකාරයට කප් සිටුවා ඇසළ උත්සවය පවත්වයි.
කතරගම මහා දේවාලයේ පෙරහර අතර බක් මහ පෙරහර, ඇසළ පෙරහර, ඉල් මහ පෙරහර යනුවෙන් ප‍්‍රධාන පෙරහර 03ක් ඇත. බක් මහ පෙරහර අපේ‍්‍රල් මාසයේ අවුරුදු දිනයේදී දේවාලය ඉදිරිපිට කිරි උතුරවා දේවාලය වසා පසුව එදිනම රාත‍්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවන්ට සම්බන්ධ වී නැවතත් මහවිදිය ඔස්සේ කතරගම මහා දේවාලයට පිවිසීමෙන් නිමාවට පත්වේ. මෙය එක්දින පෙරහරකි. මෙම පෙරහරේ අරමුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙරහර ලෙස චාරිත‍්‍ර ඉෂ්ඨ කර දෙවියන් සතුටු කිරීමයි.
ඉන්පසුව පැමිණෙන්නේ ඇසළ මහා පෙරහර වෙනුවෙන් කරනු ලබන කප් සිටුවීමේ පෙරහරයි. කතරගම පුදබිමේ පැවැත්වෙන වාර්ෂික ආගමික උත්සව, පුද පෙරහර අතර ප‍්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ උත්සවයටයි. දින 15 කට ආසන්නව පැවැත්වෙන මේ උත්සවය පළමු අංගය වන්නේ කප් සිටුවීමයි. ඉන්පසු ඇසළ උත්සවය ආරම්භ වී පෙරහර 15 ක් පැවැත්වීම, ගිනි පෑගීම, දිය කැපීම ආදී දේව පූජා විධි පිළිබඳ සියලූ කාර්යයන් බුදු දහමට ප‍්‍රමුඛත්වය දෙමින් සිදුකිරීම පවත්වාගෙන එන සම්ප‍්‍රදායකි.
දුරාතීතයේ සිට පැවැත ආ මෙම ඇසළ උත්සවය වර්තමානයේදී ද පුරා පහළොස් දිනක් අති උත්සවශ්‍රීයෙන් සමරයි. වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් මෙම උත්සවය සමරනු ලබන බවට මුඛ පරම්පරාගත පිළිගැනීමකයි.
ඇසළ උත්සවයේ සමාරම්භය සනිටුහන් වන්නේ කප් සිටුවීමේ චාරිත‍්‍රයෙනි. කප් සිටුවීමෙන් පසුව පෙරහර ආරම්භ වීමට පෙර දින චාරිත‍්‍රානුකූලව සර්ව රාත‍්‍රික පිරිත් දේශනයක් පූජා භූමිය තුළ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපයේ පැවැත්වෙයි. එයද චිරාගත සම්ප‍්‍රදායකි. බස්නායක නිළමේ තුමාගේ ප‍්‍රධානත්වයෙන් එම පිරිත් දේශනය පත්වා පසුදින ආරම්භ වන පෙරහර මංගල්‍යයට ආශිර්වාද ලබා ගනී. පෙරහර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දේවාශීර්වාදය ලබා ගැනීමත් සියලූ රට වැසියන් සඳහා ආශීර්වාදය ලබා ගැනීමත් මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.
කතරගම පුදබිම තුළ දුටුගැමුණු රජසමයේ පටන් ආරම්භ වූ පුද පූජා සහ පුද සිරිත් වලට අනුව අඛණ්ඩව සම්ප‍්‍රදායිකව හා චාරිත‍්‍රානුකූලව පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා මංගල්‍යය මෙවරද 2012 ජූලි මස 19 දින රාත‍්‍රී සුබ  මුහුර්තියෙන් ආරම්භ කර අගෝස්තු මස 02 දින ඓතිහාසික මැණික් නදියේ ජීවමාලී ගංතොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව සමාප්ත වීමට නියමිතය.
එළාර රජු සමඟ සටන්කොට ඔහු පරදවා එදා රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා යුද්ධයට යාමට පෙර කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කිරීම සඳහා කතරගම දේවාලය ඉදිකරවා පූජාකොට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස්කොට ඒ අනුව කටයුතු කරන ලෙස එදා නියෝග කර තිබුණි. එම සන්නසේ සඳහන් නියමයන්ට අනුව ප‍්‍රථම බස්නායක නිලමේ වන එතුමාගේ බෑනා ප‍්‍රථමයෙන් දෙවියන් උදෙසා දේව පෙරහර අංග ඇතුළත් කරමින් කොහොඹ කළ පෙරහර මංගල්‍යයක් සිදුකර ඇති බව කතරගම පිළිබඳ ඉතිහාසගත කරුණු හෙළිකරයි. අද එය කාලානුරූපව වෙනස්වී වර්තමානයට උචිත ආකාරයට දිනෙන් දින වෙනස් වෙමින්, මහා දේව මංගල්‍යයක් ලෙස පැවැත්වේ.
සෑම දිනම පෙරහර ආරම්භ කිරීමට ප‍්‍රථම කතරගම මහ දේවාලයේ පිරිත් නිළය භාර කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පිරිත් දේශනා කර පිරිත් පැන් ලබා දෙන අතර උන් වහන්සේලා ආපසු වැඩම කළ පසු රන්කොත් මාළිගයේ සිට කරඬුව පිටතට වැඩමවනු ලබයි. පෙරහර ආරම්භයේදී දිනපතාම දේවාලයෙන් පිටත්වන්නේ කිරිවෙහෙර විහාරාධිපති අලූත්වැවේ සෝරත නාහිමිපාණන් ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබාගැනීමෙන් පසුවයි. පුරාණයේ තල්පතක ලියා භීක්ෂූන් වහන්සේලාට පිරිතට ආරාධනාව කරනු ලැබිණි. අද තල්පත් භාවිතය නොමැති බැවින් කඩදාසියක මෙම ආරාධනා පත‍්‍රය සකස් කර පිළිගන්වනු ලබයි. එම ආරාධනාව අනුව නියමිත වේලාවට භික්ෂූන් වහන්සේලා මහ දේවාලයේ සඳුන් මණ්ඩපය නමින් හැඳින්වෙන ඇතුළු ගර්භයේ සිට ආගමික චාරිත‍්‍ර ඉටුකරති.
ඒ අනුව පළමු පෙරහර ගමන් කරන්නේ මහවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සේම මහා දේවාලයට පිවිසීමෙනි. මෙය නම් කර ඇත්තේ ”මංගල පෙරහර” වශයෙනි මින්පසු ගමන් කරන සියලූම පෙරහර පිටවීදිය ඔස්සේ  ගමන් කර වල්ලි අම්මා දේවාලයට පිවිස මහවීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදෙයි. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු පෞරාණික චාරිත‍්‍ර ඉටු කිරීමක් සිදුවේ. එනම් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවසෙහි ඇති ගොම මැටි ගා ඇති වරිච්චි බිත්තීන් සහිත සුවිශේෂී කාමරය තුළය. දුටුගැමුණු රජතුමාගේ සන්නසේ සඳහන් පරිදි සම්ප‍්‍රදායානුකූලව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යයේ පළමුවැනි පෙරහර පහ මඟුල් පෙරහර වශයෙන් හඳුන්වනු ලැබේ. හයවැනි පෙරහරට මුල් බස්නායක නිලමේ තුමන්ලා විසින් කරනු ලබන රාජකාරි සමූහයක් නියමය පරිදි කළ යුතුව ඇත. හයවැනි පෙරහර දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගනී. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනු ලැබේ. දානය දිනම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නමැති කොටසට අලූතින් අතු දමා වසරකට වරක් කරන චාරිත‍්‍රමය කටයුත්තද සිදුවේ. මෙය ඉතා වැදගත් අංගයකි. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇද පෙරහරේ ගමන් කිරීමයි එම දිනය මෙවර එළඹෙන්නේ 2012 ජූලි 25 දිනයේදීය.
මෙදිනම කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාළිගයෙන් පිටතට ගෙන ප‍්‍රදර්ශනය කෙරේ. කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග‍්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප‍්‍රදේශයේ ”ඇත් දළ තැබූ ගල” යන ස්ථානයේ සඟවා තිබී ඇති අතර කඩොල් ඇතා ඇත් දළ යුගලය ගලක ඇණ සඟවා තබා ඇති බවද ජනප‍්‍රවාදයේ සඳහන් වේ. එවකට දේවාලයේ තේවාව බාර ප‍්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැුගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් දන්වා ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරයි.
මෙම පෙරහරේ තවත් වැදගත් අංගයක් වන්නේ පෙරහර 12 ක් ගමන් කිරීමෙන් පසුවයි. දොළොස්වැනි පෙරහර දේවාලයට ගෙවදීමෙන් පසු මහා දේවාලය ඉදිරිපිට රාත‍්‍රී විශාල ගිනි මැලයක් දල්වා අඟුරු බවට පත්වීමෙන් පසු බැතිමතුන් මැලය මැදින් තරණය කරන ගිනි පෑගීමේ චාරිත‍්‍රය ඉටු කරනු ලැබේ. මෙවර එම චාරිත‍්‍රය 2012 ජූලි 29 දින රාත‍්‍රී ගිනි මැලය දල්වා ඒ වටා චාරිත‍්‍ර පවත්වා  (30 දිනට අලූයම වන්නට* ගිනි පෑගීමට නියමිතය. මෙය ත‍්‍රාසය, භීතිය උපදවන සුළුය.
2012 අගෝස්තු මස 01 වන පසළොස්වක පෝ දින පැවැත්වෙන අවසාන මහා පෙරහර කිරිවෙහෙර මාවත ඔස්සේ ගමන් කර සුපුරුදු ගමන් මෙඟහි පෙරහර ගමන් කරයි.
2012 අගෝස්තු 02 දින දිය කැපීමේ පෙරහර උදෑසන කාලයේ දේවාලයෙන් පිටත්ව වල්ලි අම්මා තොටුපළින් ගඟට බැස දිය කපන තොටුපළ දක්වා ගමන් කර දිය කැපීමේ චාරිත‍්‍රය ඉටුකරයි.දිය කැපූ කපු මහතා වල්ලි අම්මා දේවාලය තුළ සිට සවස් වරුවේ චාම් පෙරහරකින් මහා දේවාලය කරා රැගෙන එයි. රාත‍්‍රී සිදුවන වස් ඇරීමේ කටයුත්ත අවසන් කිරීමෙන් පසු පෙරහරේ සියලූ කටයුතු නිමාවට පත්වේ. පෙරහර අවසන්ව සතියක් ගත වෙත්ම කතරගම අභිනවාරාම විහාරස්ථානය මඟින් දෙවියන්ට පින්දීම සඳහා කරනු ලබන මහා ගම් පිරිත ආරම්භවේ. එම ගම් පිරිතක් සමග කතරගම ඇසළ උත්සවයේ සියලූ චාරිත‍්‍ර නිමාවට පත්වන බැවින් මෙය ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් අංගය යැයි පැවසීම වරදක් නොවේ.
ටී.බී.එම්. අතපත්තු - ප‍්‍රාදේශීය ලේකම්, කතරගම
2012 ජූලි මස 22 13:22:03 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/54742



රටම එළිය කරන කතරගම පෙරහැර




කතරගම දෙවියන් සම්බන්ධව අප අතර ඇති විවිධ වංශ කථා, ජන කථා ඉතිහාස සාධක පරීක්‍ෂා බලන විට ඒවා ඉතා දීර්ඝකාලීන විකාශනයක්‌ බව පෙනේ. විවිධ මතවාද මේ සංකල්පය වටා එක්‌ රොක්‌ වී ඇත. කඳදෙවිදුන්ගේ ජනප්‍රියතාවය 15 වන සියවසේ සිට 19 වන සියවස මුල්කාලය දක්‌වා ඉතා සීග්‍රයෙන් වර්ධනය වී ඇත. කතරගම වැඩි වැදගත් ප්‍රදේශයක්‌ වන්නේ එය ලක්‌දිව ආක්‍රමණය කළ කිsසිදු විදේශිකයකුට සහ දේශීය සතුරෙකුට අද දක්‌වා ඇතුළු විය නොහැකි වූ ආරක්‍ෂක ප්‍රදේශයක්‌ වූ බැවිනි.

උතුරු දෙසින් රාවණා අඩවියෙන් පටන් ගන්නා ඌව වෙල්ලස්‌ස දේශය දකුණු දෙසින් අවසන් වනුයේ ස්‌කන්ධ කුමාර අඩවියෙනි. ශ්‍රී ලංකාවට ආවේනික දෙව්වරුන් අතරෙන් හිමාලය නිම්කොට ඇති දඹදිව මුළුල්ලේ තෙද බලපාන එකම ප්‍රායෝගික දෙවියෝ ස්‌කන්ධ කුමාරයෝය. එසේම මෙරට වාසි ප්‍රධාන ආගම් දෙක වාස භූමිය සර්ව ආගමික සුද්ධ භූමියකි.

මහසෙන් කතරගම දෙවියන් මහේශාක්‍ය ගණයට අයත් ඌව පළාතේදී උත්තර දේව ගණයට අයත් වෙති. සිංහල රාජධානිය අනුරාධපුරයේ පිහිටුවා වසර දහසක්‌ ගතවන තෙක්‌ ශ්‍රී ලංකාවේ ජනතාව අතර අවධානයට යොමුව ඇත්තේ දෙව්වරුන් තිදෙනෙක්‌ පමණි. එනම් කන්ද කුමාර ශ්‍රී විෂ්ණු උපුල් වන් සමන් යන දෙව්වරුන් තිදෙනා පමණි. ශ්‍රී ලංකාවේ දේශීය සතරවරම් දෙවිවරු ගණයට මෙතුමෝ අයත් වෙති. ආරක්‍ෂක දෙවියකු වශයෙන් කතරගම දෙවිඳුන්ට විශේෂ තැනක්‌ හිමිවේ. අසුරන්ට පැරදි සිටි සුරයන් එදත් අදත් ජය ලබාදුන් දකුණේ ස්‌කන්ධ මහා භාරත යුගයේ යුද දෙවිකෙනකු වශයෙන් මහත් කීර්තියක්‌ ලබා සිටින බව පෙනේ. ඔහුගේ සේනාධිපති තත්ත්වය ශ්‍රී ලංකාවේ ග්‍රාම හා පුර දෙවියකු වශයෙන්ද ගෞරවාදරයට පත් බෞද්ධ දෙවියෙකි. බුදුරජාණන් වහන්සේ තුන්වැනිවරට ලක්‌දිව කතරගම කිරිවෙහෙර පිහිටි තැන කිහිරි වෘක්‍ෂ මූලයේ රහතන් වහන්සේලා 500 නමක්‌ පිරිවරා වැඩ සිට එකල කතරගම අග්‍ර රාජධානිය කොට විසූ මහසේන නම් දෙවි රජු ප්‍රධාන පිරිසට දහම් දෙසා සෝවාන් ඵලයෙහි පිහිටා මහසේන රජුට එම ස්‌ථානය රැකවරණය කරන ලෙස භාරකරන ලදී. මරණින් මතුවද එම ස්‌ථානයේ දේව ආත්මලාභීවද සිටිතැයි බෞද්ධයෝ විශ්වාස කරති. මහසේන දෙවියන් කතරගම කන්දේ මනුෂ්‍ය රජව සිටින සමයේ වැඩ සිටින හෙයින් දේව ආත්මලාභීව දේවවිමානයේ වැඩවසන හෙයින්ද ස්‌කන්ධ කන්ද කුමාර යනුවෙන් ව්‍යවහාර විය.

කුජ ග්‍රහයා හෙවත් අඟහරුට අධිපති දෙවියා හැටියට අදත් ශ්‍රී ලාංකිකයන් සලකන්නේ කඳ කුමරුන් හෙවත් කතරගම දෙවිඳුන්ය. ලංකාවේ දකුණු ප්‍රදේශයට අධිපතිත්වය දරන්නේද කඳ දෙවිඳුන්ය. එමෙන්ම කඳ කුමරුන් හා රතු පැහැයට එක්‌වේ. කඳ දෙවිඳුන් එඩිතර බලපරාක්‍රමයෙන් හෙබි යෑයි ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. ස්‌කන්ධ හෙවත් කාර්තිකය දේව්වනාහි ඊස්‌වර දෙවියන්ගේ හා පාර්වතී මෑණියන්ගේ බාල පුතණුවෝය.

කතරගම දෙවියන් උපන් දිනය වන්නේ මකර ලග්නයේ රවිගේ කැති නැකත යෙදෙන දිනය දේව සේනාධිපති තනතුර ලැබුවේ. වෘශ්චික රවි කැති නැකත යෙදෙන දිනයයි. එය අසුර ඉල් මහා මංගල්‍ය දිනයයි.

කතරගම බෞද්ධ ත්‍රිකෝණයේ මහා කතරගම, සෙල්ල කතරගම වැඩ සිටින කන්ද ප්‍රදේශය අයත් වන්නේ මෙම ත්‍රිකෝණයටය. වැඩ සිටින කන්ද පිහිටා තිබෙනුයේ තවත් කඳුවැටි 6 ක්‌ මැදය. එයින් දෝ මැඳුම් හෙල යෑයි "වැඩසිටින කන්දට" පැවසේ. මහසෙන් රජු රජ කරන සමයේදී මෙහි වාසය කරද්දී සිසු පිරිවර ජනයා විසූ කඳු යෑයි සලකති. සේනාධිපති කඩවර විසූ කන්ද කඩවර කන්ද නමින්ද අනිත් යක්‍ෂ සේනාධිපති වූ කන්ද ප්‍රකාශ කන්ද නමින්ද උමං ඇති කන්ද උමං කන්ද නමින්ද උයන් පැවතී කන්ද උයන් කන්ද නමින්ද කුමාරවරුන් විසූ කන්ද කුමාර කන්ද නමින්ද බණ්‌ඩාරවරුන් විසූ කන්ද බණ්‌ඩාර කන්ද නමින්ද ව්‍යවහාර වෙති. මෙම කඳු සයම පෙර කතරගම මහා දෙවොලට සම්බන්ධ වනු ඇත.

එදා වැද්දා හුන් වැද්දා සිට කන්ද අද වැඩ සිටින කන්ද විය. මෙම කඳු හතේ දේවාල 7 ක්‌ පැවති බව ඉතිහාසයේ සඳහන් වේ. ද්‍රවිඩයන් තෛලයිමලෙයි කියති. කඳු 7 වූ දේවාල 7 න් එදා පෙරහැර 7 ක්‌ ඇසළ මංගල්‍ය වෙනුවෙන් දිනපතා පැමිණි බව ජනප්‍රවාදයයි. ඒ පෙරහැර වලදී වැඩ සිටින කන්දෙන් වෙලායුදය හා ඇවරිය පන්දමද උයන් කන්දෙන් සූර්ය කොඩිය හා සූර්ය පන්දමද උමං කන්දෙන් කස කොඩිය හා ආලත්ති පන්දම ද කඩවර කන්දෙන් මකර කොඩිය හා කාල පන්දම ද බණ්‌ඩාර කන්දෙන් රණසිංහ කොඩිය හා අවල් පන්දම ද පළමු මඟුල් පෙරහැර 5 සඳහා ගෙන ආ බව ඉතිහාසයේ දැක්‌වේ.

කඳ කුමරුගේ භාර්යාව කෞම්‍යමාරී හෙවත් සෙනානම් වෙයි. ස්‌කන්ධ පළමු වරට විවාහ පිණිස තෝරාගත්තේ ශක්‍ර හෙවත් දෙව්ලොවට අධිපති ඉන්ද්‍රගේ දියණිය වූ "තේවාණි අම්මා" සමගය. ඒ තුළින් ස්‌කන්ධගේ ක්‍රියාශීලී බලපරාක්‍රමය වර්ධනයට හේතුවිය. තේවාණි ඉන්දියානු භාර්යාවකි. වල්ලි ශ්‍රී ලංකා භාර්යාවකි. සෙල්ල කතරගම බෞද්ධ ගමක්‌ වූ අතර මැණික්‌ ගඟෙහි උතුරු ඉවුරෙහි සෙල්ල කතරගම පිහිටා තිබේ. කඳ කුමරු වල්ලි අම්මා හමුව විවිධ කතන්තර ගෙතී ඇතත් වල්ලිය ගැන සිත් බැඳුණු කඳ කුමරු මහලු අයකුගේ වෙසක්‌ ගෙන ඇයගෙන් අහරක්‌ ඉල්ලයි. හුදකලාව සිටි වල්ලි මහල්ලාට අලද මී පැණිද දුන්නාය. ගඟ වෙත යද්දී මහල්ලා ඇය විවාහ කරගන්නට කැමැත්ත පලකළ අතර වල්ලි දේවිය එයට විරුද්ධ විය. කඳ කුමරු සෝරු ඇත් වෙස්‌ ගෙන වනය දෙවනත් කරමින් ඇය පසුපස ආ අතර වල්ලි බියපත්ව මහල්ලාගෙන් දිවි ගලවා දෙන ලෙස ඉල්ලා සිටියාය. තමා සමග විවාහ පත්වනවානම් පමණක්‌ ඇයව බේරාගන්නා බව පලකළ අතර වල්ලිය ඊට කැමති වූවාය. අලියා පලා ගියේය. ලස්‌සන තරුණයකු ලෙස මහල්ලා අඩි 6 අඟල් 3 ක්‌ "උස කතරගම කඳ සුරිඳු" බව වල්ලිය වටහා ගත්තාය. වල්ලි අම්මා කඳ කුමරු හමුවූ තැන "සෙල්ල කතරගම" විය. හමුවූ ස්‌ථානය "වල්ලිගුභාව" යෑයි අදත් විශ්වාස කරති.

කඳකුමරු වල්ලි අම්මා විවාහය අද ඝන දේවාලය පිහිටා ඇති සෙල්ල කතරගම ඉල්මස උත්තර පල් නැකත යෙදෙන දිනය ලෙස අදත් සැලකේ. ගම්මන්ඩිලා වන්නිලා ඇත්තෝ වැදි නායකයාට පුතුන් 12 දෙනෙකු සහ එක දුවක්‌ සිටියාය. (කැකුලිය)

දිනක්‌ කැලේ යනවිට මුව දෙනක්‌ වළක්‌ වටේ කැරකෙමින් සිටි අතර වැදි දියණිය වන්නියලාඇත්තෝ සිය බිරියන් සමග පැමිණ මේ කුඩා දැරිය වළක්‌ අසල සිටි නිසා වල්ලි යන නම් තැබිණි. කඳ කුමරු මහලු වෙස්‌ගෙන වළලු වෙළෙන්දෙකු සේ පැමිණ වල්ලිය රැගෙන යැමේදී එදා කැලේa අතුවලින් පැලක්‌ සදා දුන්නෙත් වැඳි ජනයා නිසා කතරගම පෙරහැරේ වල්ලියට වැදී වර්ගයාට විශේෂ තැනක්‌ හිමිවන අතර කඳ කුමරු වල්ලිය රැගෙන පලායන විට ද්‍රවිඩ හින්දු ජනයා සෙල්ල කතරගම සිටි කඳ කුමරුට හූ කිවූ අතර කඳ කුමරු ඔවුනට ශාප කර ඇත. එදා පටන් හින්දු දමිල ජනයා කතරගමට පැමිණ හරෝ හරා කියති. කටේ පිටේ උල් ගසාගෙන බිම පෙරළි පෙරළි දෙවියන් වඳිති. එය දේව දඬුවම දැනට වල්ලි අම්මා දේවාලයේ කපුවල ඇත්තෝ ඌනපාන වරිගයේ බණ්‌ඩිලා ඇත්තෝ අදත් පෙරහැරේ ගමන් කරති. මෙයයි සෙල්ල කතරගම මහාසේන විහාරය. (මහසෙන් කඳ දෙවිඳු) යන නමක්‌ මැණික්‌ ගඟ අසබඩ අදත් විහාරස්‌ථානයක්‌ වශයෙන් පවතින්නේ මෙම ප්‍රායෝගික බෞද්ධ ත්‍රිකෝණ කරුණු මුල්කරගෙනය. කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය සැමට සිරිසෙත උදාකරන දිව්‍ය මංගල්‍යක්‌ වේවා.

සාමවිනිසුරු 
හෙට්‌ටිආරච්චිගේ මහින්ද ගලප්පත්ති

Saturday, July 21, 2012


විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා... සුරක්ඛිතං ඉන්දක දේව තේජසා... 
ජයංගණං සීහල දීප වාසිනං... මුතිංගණං ථූප වරං නමාමි 

සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍යය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.

ඉන් දක සිරි දෙවිඳු තෙද පැතිරුණ තැනය... වන් දිත රැකෙන බබළන සුදු ගුණය... 
සිංහලයට ජය දුන් වර අපමණය... සං සුන් සිතින් නමදිමු මුතියංගණය...

Photo credit to :- Dr.Dushan Pallewela

Monday, July 16, 2012

දැවැන්ත වන අලියෙක් සියඹලා දේවාලයට යන මග අවුරයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22



හැන්දෑ කළුවර ගලා එමින් පැවතිනි. කෑම සොයා දිවාකල සැරිසැරූ විහගුන් කැදැලිකරා ඉක්මනින් පියඹායයි. කුඹුකන්ඔය ඉවුර වෙනදාට වඩා ජනාකිර්ණය. පිරිමින් පමණක් පැමිණි මෙතැන දැන් කාන්තාවන්ගෙන්ද අඩුවක් නැත. සමහර කාන්තාවන් ඇද සිටියේ බටහිර පන්නයේ කොට කලිසම්ය.  එතැන සිටි වැඩිදෙනාගේ මුහුණු වලින් දිස් වූයේ භක්තියට වඩා විනෝදය පිරි ස්වභාවයකි.
මීට මාස කිහිපයකට පෙර මෙතැන තිබු නිසසලබව, නිහඩබව අද නැත. පන්සියයක් පමණවූ පිරිස පැමිණි වාහන තැන තැනය. ඉඩක් ඇති තැනක ඇටවු කූඩාරම්ය. පුජා භූමියක ඇති ස්වරූපයක් එහි නැත. දේවාල පොළක තාවකාලික කඩවල් ඇති තැනක ස්වරුපයකැයි කීම නිවැරදිය.
හැන්දෑවේ දිය නෑම නිසා තෙත්වූ කොණ්ඩය පිසදාන කාන්තාවෝ තැන තැනය. ඉදිරියට නෙරා ආ කුස ටී ෂර්ටයකින් වසාගත් පිරිමින් වැඩි දෙනෙකුගේ යටිකය වැසි ඇත්තේ බාච්චු කොට කලිසම්වලිනි. සමහර කාන්තාවන්ද ඒ ස්වරූපයෙන්ම පෙනේ. කොක් හඩලා සිනාසෙන පිරිස් වනයේ ඇති නිහඩ බව බිද දමති. මෙවන් ඛේදඡුනක ඉරණමක් කතරගම දෙවියන් වැඩ වසන කුමණ කැලේ ‘‘මහකැබිලිත්ත දේවාලය’’ අවට සිදුවෙතැයි එහි නිතර යනෙන භක්තිවන්තයෝ කිසිදා නොසිතූහ.
හිරු බැසයාමත් සමගම අදුර කෙමෙන් කෙමෙන් වනාන්තරය ගිලගත් බවක් පෙනේ. කුඹුකන් ඔයේ එගොඩ ඉවුරේ තැන තැන පන්දම් එළි දල්වා තිබේ. මෙගොඩ ඉවුරේද සිටි අතිවිශාල පිරිස අතරින් අ`දුර මකාගන්නට ජෙනරේටර් පණගැන්විණි. දැන්නම් මහකැබිලිත්ත යැයි මහා හාස්කම් තිබු පින්බිම නොව එකම මගුල් සක්වළකි. අඩ අදුරේ තැනින් තැන ගෑවි නොගෑවී කතාබස් කරන ගැහැණු පිරිමිය. තව තැනක දැල්වු ලිපක් මත ඉදෙන බතකි. තවතැනක වෑංජනයකි. තව තැනක ලිපමත වතුර මුට්ටියකි. ලන්තැරූම් එළියෙන් යන්තමට අ`දුර මකාගත් අතීතයකට උරුමකම් කී මහකැබිලිත්තේ කුඹුකන්ඔය ඉවුර අදවන විට එහි පැමිණි පිරිස් ගෙනා ජෙනරේටර් වල එළියෙන් ඒකාලෝකවී ඇත.
කොහේසිට පැමිණියත් අනෙකා ගැන හිතන පිරිස් අතීතයේ සිටියත් දැන් එහි යන්නෝ ආත්මාර්ථකාමයෙන් පිරීගියවුන්ය. දෙවියන් බුදුන් ගැන අල්ප මාත‍්‍රයකවත් ගෞරවයක් නැත්තෝ දැන් එහි වැඩිපුරම යන්නට පටන්ගෙන ඇති බව පෙනේ. අඩුමකුඩුම ගෙනයන පොලිතින් කවර, ප්ලාස්ටික්  බෝතල, පෝරකවර, වැනි දිරා නොයන දේවල්ද තැඹිලි කෝම්බ ආදියද හැමතැනකම ගොඩගසා ඇත. සමහරු ඒවා කුඹුකන්ඔයේ පාකර හරිති.
‘‘කතරගම දෙවියෝ දැන් මහකැබිලිත්තේ නෑ. ඉන්නවනම් මේ වගේ නොසණ්ඩාලයන්ට එන්න ඉඩතියන එකක් නෑ.’’ වසර ගණනක් තිස්සේ මෙහි යන එන කතරගම දෙවියන්ට පින් අනුමෝදනා කරන භක්තිවන්තයෝ තම තමන්ටම කියා ගනිති.
‘‘අනේ අපොයි මහ කැබිලිත්තට ගිය කලක්.’’ වෙනදාට සුදු ඇදුමක් නැතුව කුඹුකන්ඔයෙන් කිසිවෙකුත් එගොඩ නොයති. නමුත් අද සංකර ඇදුම් ඇ`දගෙන යන කාන්තාවන්ද මේ බිමේ සැරිසරන්නේ නිවාඩුවක් ගතකරන්නට පැමිණියවුන් ලෙසය. මාස දෙකතුනක් ඇතුළත මහකැබිලිත්තේ හාස්කම් නැත්තේ කතරගම දෙවියන් වෙනත් පෙදෙසකට වැඩම කරවීම නිසා බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
කාලාන්තරයක් තිස්සේ මහකැබිලිත්ත සියඹලා දේවාලය  අසලට වනඅලි මෙන්ම වෙනත් සිවුපාවුන්ද ආගිය අවස්ථා දැක ඇති බැතිමත්හු සිටියහ. වනයේ නිහඩබව හැමවිටම අගය කළ මේ වනසතුන් බෝධිපූජා පවත්වද්දී ඒ දෙස නෙත් යොමා නොසෙල්වී සිටි අයුරු දුටු බැතිමතුන් අප අතර කොතෙකුත් සිටී.
නමුත් අද මේ කලබලකාරී පරිසරය වනසතුන්ටද ගෙනදෙන්නේ හිසරදයකි. නොනවත්වා නැගෙන ජෙනරේටර්වල හ`ඩත්, කොක්හ`ඩලා සිනාසීමත්, එකෙකුට එකෙක් නොපරදින අල්ලාප සල්ලාපයත්, වනසතුන්ගේ චර්යාවන් ද වෙනසකට ලක් කර ඇත. කුඹුකන්ඔයේ ඉවරේ වු තොරතෝංචියක් නැති මේ කන්දොස්කිරියාව අභිභවමින් අඳුරේම මහා සද්දයක් නගමින් දැවැන්ත වනඅලියෙක් කුඹුකන්ඔයේ මෙගොඩ ඉවුරේ ජෙනරේටර් සහ වාහන අතරට කඩා වැදුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවු ලෙසකිනි.
මෙතෙක් වෙලා නොතිබුණු නිහ`ඩබවක් මොහෙතක් තුළ ඇතිවිණි. දහයකට ආසන්න ජෙනරේටර් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මකවෙමින් තිබුණද වනඅලියාගේ පැමිණීමෙන් ඒවා වහවහා ක‍්‍රියා විරහිත කෙරිණි. එය කෙසේ වුවාදැයි කියන්නට කාටවත් මතක නැත. වනඅලියා කෑගසමින් එනු තැන්තැන්වල වු ගිනිමැලවල එළියෙන් පෙනේ. ගස්යට උන් අය ආගිය අතක් නැත. කොක්හඩලා සිනාසුණු ගෑණු පිරිමි මර බයේ වාහන යටය.
අසුවන දේවල් එහෙට මෙහෙට විසිකළ වනඅලියා කුඹුකන්ඔයේ මෙගොඩ බෝධිය දෙසට ගමන් කරනු යන්තම් පෙනුනේ දැල්වු පහන් එළිවලිනි. ඒ වනවිටත් බෝධිය අසල විශාල පිරිසක් කණ්ඩායම් වශයෙන් වෙන වෙනම බෝධිපුජා පවත්වති. ඒ හඩ ආ දෙසට කන්යොමා සිටි මේ දැවැන්ත වනඅලියා බෝධිය කිට්ටුවට වන්නට නවතා තිබු ජිප් රථයක් පිටුපසට ගොස් හිටගනු කිහිප දෙනෙක්ම යන්තම් අදුර අතරින් දිටීය.
බෝධින් වහන්සේට මෙතරම් ආසන්නයෙන් වාහන නවත්වන්නේ නැත. බෝධි සිමාවේ නවතා තිබු ජීප්රිය පිටුපසට ගිය වනඅලියා එය ඉදිරියට තල්ලූකළේය. ගියර් දමා නවතා තිබු ජීප්රිය තල්ලූකරද්දී රෝද කැරකුනේ නැත. අඩි විස්සක් තරම් දුරට එය තල්ලූකළ වනඅලියා කුඹුකන්ඔයෙන් එගොඩවූයේය. ඒ වන විටත් රාත‍්‍රී පුජාවන් පැවැත්වීමට යන්නට සුදානමින් සිටි පිරිස් කුඹුකන්ඔය ඉවුරේවිය.
මහකැබිලිත්ත සියඹලා දේවාලයට මීටර් එකසිය පනහක් පමණ කූඹුකන්ඔය දෙසට වන්නට පිහිටි බෝධිය දෙසින් බෝධිපුජා හ`ඩ අබිබවමින් පිරිත් සඡ්ඡායනා හඩක් ඇසෙන්නට විය.
අම්බලන්තොට පැත්තෙන් ගිය හිමිනමක් බෝධිපුජාව පැවැත්වීමෙන් පසු පිරිත් කියන හඩ මෙසේ ඇසුණි. පිරුවානා පොත් වහන්සේ පිරුවටයක ඔතාගෙන බොහොම සර්දාවෙන් යුතුව මේ හිමියන් මහකැබිලිත්තට වැඩියේ බෝධිය අසල පිරිත් කියන්ට වු සිත් ඇතිවූ නිසාය.
වේලාව රාත‍්‍රී හතහමාර පමණවිය. කුඹුකන්ඔය ඉවුරෙන්  එගොඩ පිහිටි බෝධින් වහන්සේ අසල බෝධිපුජාවක් තබන්නටවත් ඉඩක් නැත. ඒ තරමට ම මහකැබිලිත්තට පැමිණි පිරිස්ය. ඔවුහු බෝධිය අසල වෙන වෙනම තැන්වල ඇතිරිලි එලා වාඩිවී බෝධිපුජා පවත්වති.
බෝධිය අසල ඉඩකඩක් ඉතිරිව තිබුනේ කැලෑව පැත්තට වන්නටවූ කොටසේ පමණි. මේ හිමියන් එතැන අසුන් ගෙන බෝධිපුජාව මුලින්ම තැබීය. උන්වහන්සේ සමග පැමිණි කිහිප දෙනාට අමතරව තවත් නඩයක් උන්වහන්සේගේ බෝධිපුජාවට එක්වුයේ එය අසා සිටීමෙන් ඇතිවු ශ‍්‍රද්ධාව නිසාමය. මේ බෝධිය අසල අ`දුර මකන්නේ බෝධියට දැල්වු පොල්තෙල් පහන්වල ආලෝකයෙනි. තව ටික දිනක් යනවිට මේ යන එන විවිධාකාර පිරිස් එතැනටද ජෙනරේටර් ගෙන නොයනු  ඇතියි සිතිය නොහැකිය.
බෝධිපූජාව අවසන් කළ භික්‍ෂුන් වහන්සේ තමන් වහන්සේ වැඩමාගෙන ආ පිරුවානා පොත්වහන්සේ දිගහැර තුන් සුත‍්‍රයෙන් පිරිත් කියන්නට ආරම්භ කළහ. ක‍්‍රමයෙන් පිරිත් කියාගෙන යද්දී කැලේ දෙසින් කොළඅතු බිදින හඩක් ඇසෙන්නට විය. මොහොතකින් ඒ හඩ ප‍්‍රදේශය දෙවනත් කරමින් මහා ඝෝෂාවක් නැගෙන්නක් විය. කැලේ දෙසින් අඩි නවයක්, නවය හමාරක් උසැති සද්දන්ත වනඅලියෙක් මතුවනු බෝධිය වටේවූ පහන් එළියෙන් පෙනිණි. ඒ දසුන දුටු බෝධිය වටේ තැනින් තැන පූජාවන් පවත්වමින් සිටි පිරිස් අ`දුරේම හිස් ලූ ලූ අත දිවයන්නට වූහ. පිරිත් කියන හිමියෝ මේ කිසිදෙයක් ගැන අවධානය යොමු නොකර පිරිත් සඡ්ඡුායනය කරති. ඉදිරියට එන මේ වනඅලියා උන්වහන්සේට කරදරයක් කරාවියැයි ඉතිරිවූ කිහිපදෙනා විමතියෙන් පසුවූහ. පිරිත් සඡ්ඡායනය කරන හිමියන්ට අඩි දොළහක් පහළොවක් තියා මේ සද්ධන්තයා නැවතුණි.
හාවක් හුවක් නැතිව ටිකවේලාවක් රැදි සිටි මේ අලියා ඉදිරියට නොපැමිණ වෙනත් පැත්තකට හැරී වනය තුළින් නොපෙනී ගියේය. අලියා ගිය බව දැනුනු සැඟවී සිටි පිරිසද යළි බෝධිය ළගට පැමිණියහ.
මේ අතර බෝධිපුජාවන් පවත්වා පසුව මහකැබිලිත්තේ සියඹලා දේවාලයට පුජාවන් පැවැත්වීම සිරිත නිසා නඩ කිහිපයක්ම සියඹලා දේවාලයට යන්නට පිටත්වුයේ පන්දම් හෝ විදුලිපන්දම් එළි ආධාරයෙනි. නමුත් කිසිදා නොසිදුවූ සිද්ධියක් එදින විය. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ බෝධියේ සිට කුඩා සියඹලාව දේවාලයට මීටර් එකසිය පනහක් පමණ ඇත. එතනට යන්නට ඇති පාර හරස්කරමින් මහ අලියෙක්ය. ඒ එගොඩදී කලබල කර ජෙනරේටර්ද නිවා දමා ජිප් රථයක්ද ඉදිරියට තල්ලූකර පසුව මෙගොඩ බෝධිය අසල පිරිත් කියන හිමියන් අසලට පැමිණි සද්දන්තයාම බව කාටත් අවබෝධ විය.
එදින රාත‍්‍රියේ කිසිම කෙනෙකුට කුඩා සියඹලාවට යන්නට නොදී පැය ගණනාවක්ම පාර හරස්කරගෙන මේ සද්ධන්තයා හිටියේ මහකැබිලිත්ත සියඹලා දේවාලයට අවේලාවේ නොඑන්නැයි නොකියා කියමිනි.
අතීතයේ මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශයේ, වනඅලි, වළසුන්, දිවියන් වැනි වනසතුන් රාත‍්‍රීකාලයේ නිතර ගැවසුනේය. නමුත් එතැන ජනාකිර්ණ වීමත් සමග වනසතුන් එතැනට පැමිණීම අඩුවිය. විශේෂයෙන් වේලාවක් අවේලාවක් නැතිව දවල් රෑ දෙකේම සියඹලා දේවාලයට පුජාවන් තැබීමට එහි පැමිණි මිනිසුන් පුරුදු විය. මෙය ඒ අවට වනසතුන්ගේ චර්යාවන්ටද යම් බලපෑමක් එල්ල විය. ඊටත් අමතරව පූජාවට්ටි වලින් ඉවතලන පළතුරු ආදිය ඉවක්බවක් නැතිව දේවාලය අවට දැමීම නිසා ඒවායේ සුව`දට වනඅලි පැමිණෙන්නට පටන්ගෙන තිබේ. පුජාවට්ටි රැගෙන යන අයට වනඅලියා බාධාකළේ සමහරවිට ඒවායේ සුවද නිසා විය හැකියැයි සමහරු විශ්වාස කරති.
වනජිවී දෙපාර්තමේන්තුවේ කලක් සේවයකර ඉන් ඉවත්වු තිස්මහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා පවසන්නේ කලකට පෙර බොහෝම භක්තියකින් මහකැබිලිත්තට ජනතාව පැමිණියද අද විනෝදයට පිරිස් එහි ඒම නිසා නොයෙකුත් අපල උපද්‍රව පැමිණෙන බවයි. එක වනඅලියෙක් මෙලෙස දැන් පැමිණුනත් ඉදිරියේදි වනඅලි රංචු වශයෙන් කුඹුකන්ඔය සීිමාවට පැමිණීමට ඉඩඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඒ නිසා ඉදිරියේ දී මේ වනඅලින්ගෙන් විශාල අනතුරු පවා සිදුවන්නට ඉඩ ඇති බවද කලක සිට මහ කැබිලිත්තට යනඑන බැතිමත්හු සැක පහළ කරති.
‘‘කූඹුකන්ඔය ළගදි මේ වගේ සිදුවීමක් මීට පෙර සිදුවු බවට අහලා නෑ.’’ මේ විදියට නොයෙක් ආකාරයේ මිනිස්සු මෙහෙම එන්න ගත්තොත් අපිරිසිදුව එන ගෑණුන්ට පිරිමින්ට මොනවගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙයිද කිව නොහැකි බව මහකැබිලිත්ත ගැන භක්තියෙන් පසුවන්නෝ කියති. සමහරවිට එය ජිවිතයක දෙකක බිල්ලකින් අවසන් වන්නටත් පුලූවන් බව ඔවුන්ගේ අදහසයි.
දෙසතියකට පමණ පෙර මහකැබිලිත්තේදී සිදුවූ ඉහත සිදුවීම මහා අනතුරක මුලාරම්භයක් විය නොහැකිද? යන්නන් වාලෙ මහකැබිලිත්තට යන පිරිස් එය අවබෝධ කරගත යුතුවනු ඇත. කතරගම දෙවියන්ගේ හාස්කම් අනූන මේ පුදබිම කෙලෙසන්නන් එහි හාස්කම්ද නැතිකරති. මහා අනතුරුවලට අත වනාගනිති. එදා ජෙනරේටර් නිවා දමන තැනට කලබලකර, වනාන්තරයේ නිහඩබව බිදිමින් හැසිරුණ මහජනයා රාත‍්‍රියක් මුලූල්ලේ නිහඩ කළේද කිසියම් හාස්කමකින් විය නොහැකිද? සමහරු විමසති.
අජිත්ලාල් ශාන්තඋදය



2012 ජූලි මස 08 13:02:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://lankadeepa.lk/index.php/articles/52148


කුඹුකන්ඔය


කතරගම දෙවියන් වෙනුවෙන් අද කාවඩි නටන්නේද මෙවැනි ඇදුම් ඇදගෙනය


මහකැබිලිත්තේ සියඹලා දේවාලය අසල ඇති බෝධීන් වහන්සේ
 (මෙයට එගොඩ බෝධිය යැයි ද කියති)




අලියා රැක සිටියේ මේ ස්ථානයේය

Thursday, July 12, 2012

කුමන ගම හැරයන්න හීනෙන් කී අමුත්තා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21



2012 ජූලි මස 01 13:03:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

තමන්ට අපල උපද්‍රවයකදී දෙවියන් මතක්වී දෙවියන්ගේ පිහිට ඉල්ලා සිටින මිනිස්සු වැඩිපුරම සිටිති. නමුත් ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවල නිරතව සිටිමින් හැකි හැම අවස්ථාවකදීම දෙවියන්ට පින් අනුමෝදන් කරන බැතිමතුන් කෙරෙහි දෙවියෝද බලති.
මහකැබිලිත්ත පිළිබදව සහ එහි හාස්කම් පිළිබදවත් කතරගම දේව අඩවියේ හාස්කම් පිළිබදවත් ලියද්දී කතරගම නොගොස් මහකැබිලිත්ත දේවාලයට යන්නට දැන් බොහෝ දෙනෙක් සුදානම් වන්නේ වැඩි ප‍්‍රතිඵල ලබන්නටය. නමුත් කතරගම හෝ මහකැබිලිත්ත හෝ වෙනත් කුඩා කතරගම දේවාලයකට ගියද දෙවියන් පිහිට වෙතැයි සිතිය නොහැක.
තම ජීවිතයේ හැම අවස්ථාවකදීම කරන කියන පිංකම් වලින් පසුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්නෝ දෙවියන් විසින්ද ආරක්‍ෂා කරතියි ජන විශ්වාසයක් පවතී.
මීට වසර හතළිහකට පමණ පෙර වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස සිටියේ ලීන් ද අල්විස් මහතාය. පරිසරයට ඉතා ආදරය කළ තැනැත්තෙකුවු ඔහු කුමන වනෝද්‍යානයටත් නිතර ආවේ ගියේය. මේ වකවානුවේ ත‍්‍රස්තවාදී කලබලත් නොතිබු නිසාත් කුමන ගම්මානයද පිහිටා තිබු නිසාත් කුමන පැත්තෙන් මහකැබිලිත්ත දේවාලය ව`දින්නට යන අයට පහසුවක් විනි. අද මෙන්  ඕකන්‍ද දේවාලය ආසන්නයේ වනජිවි කාර්යාලයක් තිබුණේ නැත. යුද හමුදා කදවුරුද නොවීය.
ලීන් ද අල්විස් මහතාගේ ඇදුම් ආදිය මැසුවේ ගල්කිස්ස ප‍්‍රදේශයේ ජීවත්වු බර්ටි නැමැති අයෙක්ය. ඔහු ආගම දහමට වැඩි ඇල්මක් දැක්වු කෙනෙකි. එමෙන්ම ඔහු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරමින් උදේ හවස බුදුන් ව`දිමින්  දැහැමි ජිවිතයක් ගෙවු අයෙක්විය.
’‘බර්ටි’’ට කරගම්පිටිය ප‍්‍රදේශයේ නිවෙසක් ද අයිතිව තිබුණේය. මීට වසර තිස් අටකට පෙර ඔහු මේ නිවස කුලියට දුන්නේ අවුරුදු දෙකකටය. කුලියට ගත් අය දේශපාලනයට සම්බන්‍ධ අය විය. එකල තිබුණේ සමගි පෙරමුණු ආණ්ඩුවයි. නියමිත කාලය අවසන්වීමෙන් පසු නිවෙස ආපසු ලබා ගැනීමට කුලීකරුවන් හමුවට ගියේය.
නමුත් ‘‘බර්ටි’’ට මුහුණ දෙන්නට වුයේ නොසිතූ අකරතැබ්බකටය. තමන්ගේම නිවෙස කුලියට ගත් පිරිස නිවෙසින් යාම ප‍්‍රතික්‍ෂෙප කළහ. කුලී ද නොගෙවන බවත් පවසා හැකිනම් නිවෙස ලබාගන්නා ලෙස අභියෝග කළේය. ‘‘බර්ටි’’ අන්ත අසරණ විය. ඔහුට දේශපාලන බලවන්තයන් නොසිටියේය. නමුත් ඔහු බුදුන් වැද අවසානයේ කතරගම දෙවියන්ට පින්දී අසරණ තමන්ට පිහිටවන මෙන් ඉල්ලා සිටියේය.
මෙලෙස දින කිහිපයක් කටයුතු කරගෙන යද්දී හදිසියේම ලීන් ද අල්විස් මහතා ‘‘බර්ටි’’ හමුවීමට පැමිණියේය. ලද අස්වැසිල්ලෙන් ලීන් ද අල්විස් මහතාට ‘‘ බර්ටි’’ තමන්ට සිදුවූ අවනඩුව කීවේය. ‘‘බර්ටි’’ ගැන හො`දින් දන්නා ලීන් ද අල්විස් මහතා කීවේ මහකැබිලිත්ත දේවාලයට ගිය වෙලාවක පුජාවක් තියා කතරගම දෙවියන්ගෙන් පිහිට ආරක්‍ෂාව ඉල්ලන ලෙසය.
‘‘තමුසෙ කතරගම දෙවිහාමුරුවෝ අදහන කෙනානේ. පේවෙලා යන වෙලාවක පුජාවක් තියනවකෝ මහකැබිලිත්තට.’’ ඒ ලීන් ද අල්විස් මහතාගේ උපදෙස විය. දින ගණනාවක් පේවීමෙන් පසු ඔහු පානමට ආවේය. අද මෙන් පානමට කොළඹ සිට තනි බස් රථයක් නොතිබුණි. අම්පාර බස්රථයකින් පැමිණ සියඹලාණ්ඩුව හන්දියෙන් බැස එතැනින් පොතුවිලට තවත් බසයකින් පැමිණියේය. පොතුවිල සිට පානමට ද බසයකින් පැමිණි අතර ගමනට මුලූ දවසක්ම ගතවිය.
‘‘බර්ටි’’ නිවසින් මේ ගමන පිටත්වුයේ හිතේ අධිෂ්ඨානයක් කරගෙනය. එනම් නිවෙසින් පිටත්වන විට බත් කෑමෙන් පසු යළි බත් කටක් කන්නේ මහකැබැලිත්තට පූජාවක් තැබීමෙන් පසුව බවයි. මෙය දෙවියන්ටවු බාරයක් විය. ඒ නිසා පානමට ආ ‘‘බර්ටි’’ එතැන සිට  ඕකන්‍දට ඇති කිලෝමීටර් දා හතක දුර පයින්ම පැමිණියේය.
මේ වකවානුවේ කුමන උද්‍යාන භාරකරු වූයේ කුරුල්ලන් පිළිබඳ විශේෂ දැනුමක් තිබූ ෂර්ලි පෙරේරා මහතාය.  ඕකන්‍දට පැමිණි ‘‘බර්ටි’’ එතැනින් වනෝද්‍යානය හරහා කුමන  ගම්මානයට අවේය. හාල් පොල් ඇතුලූ මුරුතැන් බතට උවමනා දේවල් හැරුණුකොට නැවුම් මුට්ටි හතක් ද ගෙනාවේය. ඔහු පළතුරු කිසිවක් ගෙනාවේ නැත. කුමන ගම්මානයේ සිට යළිත් වතාවක් කිලෝමීටර් හතළිහක් පමණ පයින් මහවනය මැද්දෙන් මහකැබිලිත්ත බලා පිටත්ව ගියේය.
මහකැබිලිත්ත දේවාලයට මෙගොඩ කුඹුකන්ඔයට තරමක් දුරින් මහකැබිලිත්ත බිට්ටුවන කාර්යාලයක් එකළ තිබුණි.
කුසට අහරක් නොමැතිව වතුර පමණක් බී මහකැබිලිත්තට යන  ‘‘බර්ටි’’ට වෙහෙසක් දැනුනේම නැත. බීට්ටු වන කාර්යාලයේ ටික වේලාවක් ගිමන් හැරිය බර්ටි තනිවම මහකැබිලිත්ත දේවාලයට යන්නට පිටත්විය.
කුඹුකන්ඔය ඉවුරේ අදමෙන් එළිපෙහෙළි වීමක් එදා නොතිබුණි. කුඹුකන්ඔයෙන් දිය නා පිරිසිදුව ඔයේ ඉවුරේ ළිං හතක් කපා වතුර ගෙන ගෙනා කළමනා යොදා මුරුතැන් බත සකස් කළේය. ඉන්පසු එගොඩ සහ මෙගොඩ බෝධීන් වහන්සේ දෙනමට බුද්ධපුජාව තබා බුදුන් වැන්දේය. අද නම් මේ බෝධීන් වහන්සේලා ළග හැම වෙලාවෙම තිහක් හතළිහක් අඩු නැත. එදා බර්ටිගේ තනියට හිටියේ ගහකොළත් සතා සිවුපාවනුත් පමණි. බුදුන් වැන්ද  ‘‘බර්ටි’’ දේවියන්ටද පිං අනුමෝදන් කළේය.
ඉන්පසු යළිත් කුඹුකන්ඔය ඉවුරට පැමිණ කතරගම දෙවියන් උදෙසා තමන්ගේ දෑතින් තැනූ මුරුතැන් පූජාව රැුගෙන ගස්කොළන් අතරින් මහකැබිලිත්ත දේවාලයට ගියේය. දෙවියන් හමුවේ ‘‘බර්ටි’’ කන්නලව් කරමින් කියා සිටියේ තමන්ගේ නිවෙසේ කුලියට ගත් අයට එය ආපසු දෙන්නට කතරගම දෙවියන්ගේ නාමයෙන් හිත් පහළවේවා යනුවෙනි. ඔවුන්ට අබ ඇටයක තරම්වත් විපතක් නොවේවායිද ඔහු පැතුවේය.
ඉන්පසු ආපසු එන්නට පිටත්වූ ‘‘බර්ටි’’ මුරුතැන් පූජාවද රැගෙන මහකැබිලිත්ත බීට්ටුවන කාර්යාලයට පැමිණියේය. ඒවන විට ‘‘බර්ටි’’ හිටියේ විශාල සතුටකිනි. ‘‘කතරගම දෙයි හාමුදුරුවො මට පිහිට වෙනවා. මගේ ගෙයි ඉන්න මිනිස්සුන්ට ගේ දීලා යන්නය කියනවා. මං දෙවියන්ට කිව්වේ ඒ අයට ගේ ආපහු දෙන්න හිත් පහළ කරවන්න කියලයි.’’ බර්ටි අඩවිවන කාර්යාලයේ අයට කීවේය. හත්අට වතාවක්ම මහකැබිලිත්තට ඇවිත් ඇති බර්ටිට වනජිවි නිලධාරින්ටද අමුත්තෙක් නොවීය.
ඉන්පසු මුරුතැන් බත් ටිකක් අනුභව කළේය. කොළඹින් පිටත්වන විට දෙවියන්ට වු බාරය ඔහු එලෙසම ඉටු කළේය. බීට්ටු වන නිලධාරින්ටද මුරුතැන් බත් බෙදා දුන්නේය. මහකැබිලිත්ත බීට්ටුවන කාර්යාලයේ හෝරා කිහිපයක් ගිමන් හැරිය ‘‘බර්ටි’’ ආපසු කොළඹ එන්නට පිටත්වුයේය. අදමෙන් ජීප් හෝ වෙනත් වාහන නොතිබුණි. දෙපා වාරුව පමණක් පිහිටට විය.
කිලෝ මීටර් හතළිහක් දුරගෙවා බර්ටි කුමන ගම්මානයට පැමිණියේ හොදටම අදුර වැටීමෙන් පසුවය. වෙනදා සැරිසරන වනඅලි, කුලූ හරක් එදින සිය ගමන් පමා කර තිබුණි. ‘‘බර්ටි’’ මහකැබිලිත්තේ සිට කුමන ගම්මානයට ආ ගමනේදි කුරා කූඹියෙකුගෙන්වත් හිංසාවක් පිඩාවක් වුයේ නැත.
එදින  කුමන ගම්මානයේ රැය පහන් කළ ‘‘බර්ටි’’ සිය නිවසේදී සහ ව්‍යාපාරික ස්ථානයේදී කරන ආගමික වත් පිළිවෙත් මෙහිදි ද අමතක නොකර කළේය. සියල්ල අවසන දෙවියන්ට පින්දුන්නේය. දින ගණනාවක් තිස්සේ ගතට තිබු වෙහෙස නිසාම ‘‘බර්ටි’’ට නින්ද ගියේය. වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ත්ව අඩවි සහකාරවරයෙකුවු බි. ගුණසිංහ මහතාගේ නිවෙසද එකල පිහිටා තිබුණේ කුමන ගම්මානයේය. ඔහුගේ මග පෙන්වීමද ‘‘බර්ටි’’ට ලැබි තිබුණි.
පසුදා අලූයමින් අවදිවුණ බර්ටි මුහුණකට සෝදා පිරිසිදුවී කුමන ගම්මානයේ වැසියන්ගේ ආගන්තුක සත්කාරවලට තුති පුදා පයින්ම  ඕකන්‍දට ආවේය. ඒ පානම බලා යන්නටය. ‘‘බර්ටි’’  ඕකන්‍දට පැමිණ ටික වේලාවක් ගිමන් නිවද්දී  ඕකන්‍ද සිට පානම බලා පිටත්වන්නට ට‍්‍රැක්ටරයක් පණ ගැන්විනි. ‘‘බර්ටි’’ටත් එම ට‍්‍රැක්ටරයට නැග පානමට යන්නට අවස්ථාව සැලසිනි.
පානමට ගිය බර්ටි, පොතුවිල්, සියඹලාණ්ඩුව, මොනරාගල හරහා කොළඹට ළගා වුයේය. එදා අද මෙන් සන්නිවේදන පහසුකම් නොවීය. ගෙදරදොර් තොරතුරක් දැනගන්නට නම් ගෙදරටම යායුතුය.
ගෙදරට පැමිණි බර්ටිට සුභ ආරංචියක් ගෙදර අය කණ තැබීය. ‘‘ගෙයි කුලියට හිටිය මිනිස්සු යන්න ගිහිං.’’ ඒ සුබ ආරංචිය විය. ‘‘මොකද එකපාරටම ගේ දාලා ගියේ ‘‘බර්ටි’’ට තරමක් කුතුහලයක්ද නොතිබුනා නොවේ.  වැඩි දුරටත් සොයා බලද්දි කුලි නිවැසියන් යන්නට හේතුව බර්ටිට අවබෝධ විය.
කුලී නිවැසියන් සිටි නිවස ගිනිගැනීම ඔවුන් ඉන් යාමට හේතුවයි. එහි ගිය බර්ටිට ඉතිරිව තිබුණේ නිවෙසේ බිත්ති ටිකත් අඩක් පිළිස්සි තිබූ උලූවහු ජනේල ටිකත් පමණි. නිවෙසේ අයට හානියක් නැතත් තිබු බඩුමුට්ටු සියල්ලම දැවී අලූවී ගිය බව බර්ටිට දැනගන්නට ලැබිනි.
‘‘අනේ පව් මට මොනවා කළත් ඒ මිනිස්සු හරිම විපතකට මුහුණ දුන්නේ. තම තමන් කළ හොද නරක තමයි ගෙනියන්නේ.’’ බර්ටි කීවේ තමන්ට අයිතිව තිබු නිවෙසේ ඉතිරිව තිබු බිත්ති දෙස බලමිනි.
කුමන ගම්මානය පිහිටි කුමන වනෝද්‍යානයට කොටි ත‍්‍රස්තවාදින් පැමිණියේ 1990 වසරේදියි. කොටි පැමිණි අවස්ථාවේ ගම්මු දැඩි සේ බියට පත්වූයේ කොටින්ගේ ම්ලේච්ඡුත්වය අසා තිබු නිසාය. නමුත් කුමන වනෝද්‍යානය මැද මිනිස් වාසයක් තිබීම කොටින්ගේ වාසියට හේතුවක් විය. කොටි ගමට ඇවිත් දෙමළ බසින් කතාකරමින් ඉල්ලා තිබුණේ ගම හැරදා නොයන ලෙසය.
වරක් යාලට කොටි ත‍්‍රස්තයන් ප‍්‍රහාරයක් එල්ල කරන්නට යද්දී අඩවි සහකාරවරයෙක් කැලේදි මුණගැසී  ඇත. කෙසේ නමුත් කොටින් සැලසුම් කළ ප‍්‍රහාරය අසාර්ථකව කුමනට පසු බසිද්දි අතරමගදි මුලින් හමුවු අඩවි සහකාර නිලධාරියා මුණ ගැසි ඇත. යාල ප‍්‍රහාරය අසාර්ථක වුයේ ඒ අඩවි සහකාරවරයා ඔත්තු දිමෙන් යැයි පවසමින් ඔහුට තුවක්කු බෙදන් බරපතල ලෙස පහර දී තිබුණි.
එඞ්මන් විල්සන් මහතා කුමන වනෝද්‍යානයේ භාරකරුව සිටියදී කුමන ගම්මානයට හෙළිකොප්ටර්යක් සතියකට දෙකකට වරක් පහත් කිරිම සිරිතක්ව තිබුණි. ඉන් ලියුමක් ගම්මානයට දමනු ලබයි. එහිවුයේ උපදෙස්ය. කෙසේ වෙතත් මේ ක‍්‍රියාව කොටින්ගේ නිරීක්‍ෂණයට ලක්ව තිබුණු බව කුමන වැසියන්ට ඉවෙන් මෙන් දැනුණේය.
තවදුරටත් කුමන ගමේ රැදී සිටිම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත. එය වටහාගත් වැසියෝ පරම්පරා කිහිපයක් ජිවත්වු සියලූ සම්පත් වලින් ආඪ්‍යවූ කුමන ගම්මානය හැරදා වෙනත් පෙදෙසකට ආහ. පවුල් හතළිහක් එසේ එන්නට හේතුවක්ද තිබුණි. අද කුඩාකැබිලිත්ත ලෙස හදුන්වන මඩමෙතොට අසල මුලින්ම බක්මීගහක් යට පහනක් දල්වන ලද්දේ කුමන ගමේ අය විසිනි.
එය පසුව සිරිතක් බවට පත්වු අතර වනාන්තරයක් මැද වෙසෙන වැසියන්ගේ අදහස වී තිබුණේ මෙම ස්ථානය කතරගම දෙවියන්ගේ බැල්ම ඇති බවයි. අද තිබෙන දේවාලය තනා තිබුණේ පාද යාත‍්‍රාවෙන් කතරගම යන්නට පැමිණි කාර්තිව් ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසිනි. එතෙක් එතැන තිබු බක්මී ගහට පුදපූජා පවත්වා තිබුණි.
එයින් පසු ගමේ වැසියන් කිහිප දෙනෙකුටම සිහිනෙන් කියා තිබුණේ විපතකට පෙර ගමෙන් යන ලෙසය. ඒනිසා කුමන ගම්මානයෙන් සියල්ලෝම ඉවත්වූහ.
අජිත්ලාල් ශාන්තඋදය


http://lankadeepa.lk/index.php/articles/51033


මඩමෙතොට දේවාලය


තම අරමුණු ඉටුකර දෙන්නැයි කතරගමදි පොල්ගසන බැතිමතුන්



දෙවියන්ට වු බාර ඔප්පුකරමින්


කුමණ වනෝද්‍යානය හරහා පාද යාත‍්‍රාවේ එන බැතිමත්හු අතරමගදි ආහාර පිසගනිති


Tuesday, July 10, 2012

මහ කැබිලිත්ත දේවාලයට යන්නට ආ දැරියට දෂ්ඨ කළ සර්පයා කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20


වරින්වර හමන සුළගට සෙලවෙන ගහක අතුවලින් පිටවන ශබ්දය හැරුණු විට කුඹුකන් ඔයේ මාලූන් උඩපනින ශබ්දය ඝන අන්ධකාරය තුළින් ඇසේ. ඒ හඩ අබිබවමින් නිශාචර සතෙකුගේ හඩ තැළීම ප‍්‍රදේශය පුරාම දෝංකාර දෙයි. ඈත ගංඉවුරේ එළි කිහියකද පෙනේ. ඒ අතර ඈතින් බෝධි වන්දනාකරන බැතිමතුන්ගේ ගායනාහඩ පරිසරයට ගෙනාවේ අමුතුම මිහිරියාවකි.


නින්දේ පසුවූ තව පිරිසක් තිගැස්සී අවදිවූයේ කුඩා දරුවෙකුගේ විළාපය ඇසීමෙනි. ගස්යට මෙන්ම කූඩාරම්වලත් පැදුරු, ඉටිකොළ ආදිය එළා නිදාවුන්  අය ඒ විලාප හඩ ඇසුනු දෙස කොහේදැයි විපරම්කරන්නට විය.
‘‘කුඹුකන් ඔයේ ඉවුර පැත්තෙන් ඇහුණේ’’ කෙනෙක් කියන්නට විය.
උදෑසනම අවදිවන කුරුල්ලන් එකා දෙන්නාගේ හඩ වනාන්තරය තුළින් ඇසුනත් පරිසරය තවමත් අදුරුය. එකිනෙකා කවුරුන්දැයි නොහදුනන කණ්ඩායම් කිහිපයකම අය නිහඩවම හඩ ඇසුනු දෙසට ඒ වනවිටත් දිවගොස් හමාරය.


නිහඩ බව බිදලමින් කාන්තාවකගේ හඩක් ඇසෙන්නට විය.
‘‘අනේ දරුවට සතෙක් ගැහුවා......’’
ඒ එක්කම විදුලි පන්දම් එළියකින් කුඩා දරුවෙකු වත්තම් කරගෙන එන කිහිපදෙනෙකුගේ ඡායාවන් අඩඅදුරේම කාගේත් නෙත ගැටුණි.
‘‘අනේ මොකද වෙලා තියෙන්නේ’’ හිමිදිරි පාන්දර අවදිව කුඹුකන්ඔයේ මුහුණ දොවමින් සිටි අයද එහි දුවවිත් විමසන්නට විය.

‘‘අපි දේවාලේ පූජාවට යන්න කියලා හිතාගෙන මුහුණ හෝදන්න කූඹුකන් ඔයට ගියා දරුවා ඔයේ ඉවුරේ හිටියේ. මොකෙක්ද කෑවෝ කියලා දරුවා කෑගැහුවා. අනේ මේ බලන්න සර්පයෙකුගේ දත්පාරවල්.’’ දැරියගේ මව යැයි විශ්වාස කළහැකි කාන්තාවක් එක හුස්මට කියාගෙන ගියේය.

තවමත් ප‍්‍රදේශය පුරා ඇත්තේ අදුරය. මේ වනවිට දැරිය වටකරගෙන ලොකු පිරිසකි. ඒ අතර පිරිස අතරින් මැදිවියේ පිරිමියෙකු එහි ආවේය.
’‘මොකද වුණේ’’
දැරියගේ මව සිද්ධිය ඔහුට කීවේය.

තුවාලය පිරික්සු ඔහු මතුරන්නට විය. දැවිල්ල නිසා බෙරිහන් දෙමින් සිටි දැරියගේ කැගැසීම ක‍්‍රමයෙන් අඩුවිය. ටික වෙලාවක් මැතිරූ මේ වැඩිහිටියා දැරිය අමතමින් ‘‘ දැන් රිදෙනවා අඩුයිද’’ විමසිය. ඇය හිසනමා ‘‘ඔව්’’ යැයි පිළිතුරු දුන්නත් ඇගේ දෙනෙත් වල තිබු බිය, සන්තාසය විදුලි පන්දම් එළිවලින් ඉස්මතුව පෙනුනේ අනෙක් අයද ත‍්‍රාසයට පත්කරවමිනි.

මැතිරීම කළ වැඩිහිටියා විදුලිපන්දමක් ඉල්ලාගෙන කැලේ ඇතුළට ගියේ ‘‘ඔහොම පොඞ්ඩක් දරුවා අල්ලා ගන්නට’’ යැයි කියමිනි.

මොහොතකින් එළියට පැමිණි ඔහු කැලෙන් කඩාගත් කොළ ටිකක් අසළවු පොල්කටුවක් ගෙන එහිදමා කෙටුවේය. ඒ කොළටික ඉස්මත් එක්කම දැරියගේ සිරුර සර්පයා කෑ තුවාලය මත තැබීය.

‘‘දැන් ඔන්න මම විස බැස්සුවා. බයවෙන්න දෙයක් නෑ කොහාට හරි එක්ක ගිහිං ප‍්‍රතිකරයක් ඉක්මනට කරන්න’’ මේ වැඩිහිටියා පිරිසට අවවාද දෙද්දී එහි සිටි හැමෝම දිගු සුසුම් හෙළුහ.

‘‘අපේ ඥාතියෙක් මහ ට‍්‍රැක්ටරයක් ගත්තා. ඉතිං ඒ සතුටට කතරගම දෙවියන්ට පූජාවක් තියන්න කියලා හිතාගෙන අපි පවුල් කිහිපයක් කැඹිළිත්ත දේවාලයට ආවා. කොටියාගලින් ට‍්‍රැක්ටරක් කුලියට අරගෙන ආවේ. ගෑණු අය කිහිප දෙනෙකුත් ආවා. අපිට දේවාලෙට යන්න හම්බවුනේ නෑ. මුහුණ හෝදන්න ලැබුණේත් කිහිප දෙනෙකුට විතරයි. දරුවට සර්පයෙක් දෂ්ඨකළා’’ දැරියගේ නඩයේ පිරිමියෙක් කිහිපදෙනෙකු සමග කීවේය.

‘‘මේන් කාපු සතා. පෙනුමෙන් නම් පොළොන් තෙළිස්සෙක්. ඔයගොල්ලෝ ඉක්මනට දරුවා රෝහලකට ගෙනියන්න. ඒ යනකොට මේ සතාත් අරගෙනම යන්න’’ සර්පයෙකු සහිත බෝතලයක් පෙන්වමින් කෙනෙක් කීවේය. ඒවනවිටත් එහි දෙසිය පනහක් තුන්සියයක්වු පිරිසක් තැන තැන රැස්වී හිමිදිරියේ වු මේ සිදුවීම ගැන කතා කරන්නට විය.
මේ මීට දින කිහිපයනට පෙර කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ මහකැබිලිත්ත දේවාලයට පිවිසීම සදහා බැතිමතුන් වාහන වලින් පැමිණ නවතින කුඹුකන්ඔයේ ඉවුරේදී සිදුවු සිදුවීමකි.

‘‘මේ කාණ්ඩෙ ගෑණු අයත් අරගෙන ඇවිත් තියෙන්නේ. කතරගම දෙවියන් වැඩහිටින මහකැබිලිත්තේ සියඹලා දේවාලෙට ගෑණු අය සාමාන්‍යයෙන් යන්නේ නෑනේ. අනික මේ අය වැඩි කාලයක් පේවෙලා නෙවෙයිලූ ඇවිත් තියෙන්නේ. අද බලන්ඩකෝ හයසියක් විතර මිනිස්සු ඇවිල්ලානේ. ඒ අතරත් ගෑණු ඉන්නවා. දැන් මේක පූජා බිමක් නොවන තැනට වැටෙන්නයි යන්නේ. භක්තියට එන අයට මේ පිරිස් බාදාවක්. නිකරුනේ මෙහෙට එන්න එපා කියන එකද දන්නේ නෑ මේ සිද්ධියෙන් පෙන්නුම් කළේ.’’ කිහිපදෙනෙකු එසේ කතාකරනු ඇසිණි.

සර්පයා දෂ්ඨකළ දැරිය අගේ දෙමාපියන් සහ තවත් කිහිප දෙනෙක් සමග පසෙකය. වරින්වර ඔවුන් හමුවට ආ අය යම්යම් දේ විමසමින් ආපසු යති. දැන් අදුර පහව ගොසිනි. කුඹුකන්ඔය ඉවුර දැඩි කලබලකාරීය. පිරිසක් ඔයේ බැස දියනාති. තව පිරිසක් ශරිර කෘත්‍ය කරගගැනීම පිණිස එතැන ඇති වැසිකිළියට යාමට පෝලිමේය. තවත් තැනක සුදුපිරුවට අ`දින පිරිසකි. අල්ලාප සල්ලාපයේ යෙදෙන්නෝද ඒ අතරය.

කුඹුකන්ඔය එගොඩ ඉවුරේ කිහිප තැනම මුරුතැන් පූජාව සකසන බැතිමතුන්ය. පූජාවන් රැගෙන ඔය තරණය කරන සුදුවතින්  සැරසුනු  බැතිමතින් මෙන්ම පුජාවන් පවත්වා ආපසු එන බැතිමතුන්ගේ දසුන්ද දෙනෙත්වලට ගෙන දුන්නේ පහන් බවකි.

සර්පයා දෂ්ඨකළ දැරිය කොටියාගල හරහා රෝහලකට ගෙන යන්නේ නම් මොනරාගල රෝහලට කිලෝමීටර් හැටකට ආසන්න  දුරක් තිබේ. දැරිය රෝහලට ගෙනයන්න ඔවුන් පැමිණි කණ්ඩායමේද උවමනාවක් පෙනෙන්නට නොවුණි. නමුත් ඇගේ දිවි බේරාගන්නටනම් එය කළ යුතුය. දැරියගේ මාපියෝ අසරණව සිටිති. වන්දනාවේ මෙහි පැමිණෙන සෙසු වාහනවල ඉඩක්ද නැත.

මේ අතර මහකැබිලිත්තට නිතරම යනඑන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සමග පැමිණි කණ්ඩායම ඒවනවිට පුජාවන් පවත්වා අවසන් කර මෙගොඩට පැමිණ තිබුණි. සාමාන්‍යයෙන් එසේ පැමිණ දහවල් ආහාරයට යමක් කුඹුකන්ඔය ඉවුරේදීම පිසගෙන ඒවාත් රැුගෙන ආපසු පිටත්වීම සිරිතය. නමුත් මේ දැරියට පිහිටවිය යුතුයැයි විමල්ගේ හිත කියන්නට විය. තම කණ්ඩායමට ඒ ගැන විමල් කීවේය.

‘‘ආ ඒකට කමක් නෑ අපි ලෙඩාව අරගෙන යමු. ඒ පිනත් කතරගම දෙවියන්ට ලැබෙයි’’ පිරිසේ කෙනෙක් කීවේ මහකැබිලිත්තට ඇවිත් තවත් පිනක් කරගන්නට ලැබුණු සතුට පිටකරමිනි.

ඒ අනුව පාන්දර හයට පමණ සර්පයා දෂ්ඨකළ දැරියත් ඇගේ අම්මාත් තාත්තාත් රැගෙන විමල්ගේ පිරිස ඔහුගේ ජිප් රථයෙන් පිටත්වූහ. කැලැවේදී කිසිදු බාධාවක් නොවී  පිරිස කුමණ වනාන්තරයෙන් එළියට ආවේ කොටියාගල ගමටය. එතැනින් මොණරාගලට පැමිණෙනවිට පස්වරු දෙකට ආසන්න ව තිබිණි. පිරිස  රෝගී දැරිය මොනරාගල රෝහලට ඇතුළුකර විමල් ඇතුලූ පිරිස පිටත්ව ගියේ දැරියත් ඇගේ මාපියනුත් මොරණගාල නගරයට ආසන්න පදිංචිකරුවන් වු නිසාය.

මහකැබිලිත්තට එන පිරිස් දැන් එතැනට ඇවිත් කරන්නේ මහ විනාශයකි. කලකට පෙර එහි තිබු සුන්දර පරිසරය දැන් වැනසෙමින් පවති. පූජාවන් ස`දහා ගෙනෙන තැඹිලි කෝම්බ තැන තැන දමාගොසිනි. ඉටිකොළ, පෝරකවර, පොල්කටු, මැටි මුට්ටි වනාන්තරයේ තැනින් තැන දමා ඇත.
කතරගම දේව අඩවිය වැනසීම තමන්ටම අවැඩක් කගරන්නා මගක් බවට බොහෝ දෙනාගේ අදහසයි. මේවනවිට මහකැබිලිත්තේ හාස්කම් නැතැයි ඔප්පුකර පෙන්වීමට එහි එන්නෝද සිටිති. ඒඅතර සමහරු කාන්තාවන්ද කැදවාගෙන එති. දින කිහිපයක් පේවී (සියලූ දුසිරිත්වලින් වැළකී) පැමිණීම බැතිමතුන්ගේ සිරිතක් වුවද අද එහි එන්නෝ වැඩිදෙනෙක් එසේ නොකරන බව බැලූ බැල්මට පෙනේ.

නමුත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්නටනම් තෙරුවන්ගුණ සිහිකර ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන් හි යෙදී දෙවියන්ට පිං අනුමෝදන් කළ යුතුය. එසේ කිරීමෙන් හැර යම් පිහිටක් ආරක්‍ෂාවක් පැතීමෙන් ඵලක් නොවනු ඇත. අනුන්ට පළිගහන්නට, විපත් කරන්නට යැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලීමෙන්ද ඵලක් නැත. කතරගම පිහිටි දේවාලයට නොගොස් මහකැබිලිත්තට ආවාට ගියාට පැමිණිම දිගුකාලින්ව හෝ විපාක දෙන කරුණකැයි මෙහි වසර ගණන් තිස්සේ යනඑන සහ පුදපුජා පවත්වන භක්තිවන්තයෝ කියති.

කතරගම දෙවියන් ගැන සදහන් කරනවිට කතරගම කිරිවෙහෙර භූමියද කිසිවෙකුටත් අමතක කළ හැකි තැනක් නොවේ. කතරගම වන්දනාවේ එන වැඩි දෙනෙක් කිරි වෙහෙර වදින්නට නොඑති. දේවාලයට පුජා වට්ටියක් පූජාකර ආපසු යන පිරිස් වැඩිය.

එහෙත් කතරගම කිරිවෙහෙර චෛත්‍ය මළුවේදී සුදු ඇදගත් තාපස වෙස් ඇති උපාසක ඇත්තෙකු දුටු බොහෝ දෙනෙක් රටේ විවිධ ප‍්‍රදේශවල සිටිති. ඒ හැම කෙනෙක්ම මේ උපාසක ඇත්තා දැක ඇත්තේ චෛත්‍ය මලූවට පැමිණ ආමිස හා ප‍්‍රතිපත්ති පුජාවන් පැවැත්වීමේදී හෝ ඉන් අනතුරුව බව කියති.

රාත‍්‍රී දහය එකොළහට පමණ කිරිවෙහෙර වන්දනා කළ පිරිසක් අතර සිටි මැදිවියේ කාන්තාවකට චෛත්‍ය මළුවේ භාවනාකරන උපාසක ඇත්තෙකු දැක තිබේ. තමන්ගෙනා හදුන්කූරු තෙල්, කපුරු, පහන්තිර ටිකක් ඒ ඇත්තාට දෙමුයැයි   කිරිවෙහෙර වන්දනා කර ආපසු පඩිපේලි කිහිපය බසින අතරේ සෙසු පිරිසට යෝජනා කළාය.

සෙසු අය කීවේ තමන් එවැන්නෙකු චෛත්‍ය මළුවේදි නොදුටු බවයි. එහෙත් මේ කාන්තාව තමන් එවැනි උපාසක ඇත්තෙකු දුටු බවත් පවසා ඔහුට පුජාභාණ්ඩ ටිකක් පරිත්‍යා කිරිමට යළි යද්දී ඒ ඇත්තා දකින්ට ලැබී නැත. පසුව මේ කාන්තාව තම නඩයේ විහිළුවටද පාත‍්‍රව තිබේ. නමුත් එවැනි දසුන් කිරිවෙහෙර චෛත්‍ය මලූවේදී දුටු කිහිප දෙනෙකුම සිටීම නිසා මේ කාන්තාව කී දෙය සත්‍යයකැයි අනික් අයද විශ්වාස කරන්නට වුහ.

අජිත්ලාල් ශාන්තඋදය

2012 ජූනි මස 24 13:34:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://lankadeepa.lk/index.php/articles/49892



මහ කැබිලිත්ත දේවාල බිමේ බැතිමතුන් ගෙනා කුරුම්බා කෝම්බ සහ වලං ආදිය වනයේ තැනතැන දමා ඇති අයුරු


  

කතරගම කිරිවෙරෙ චෛත්‍ය භුමිය

Monday, July 9, 2012

කටවරදවා ගැනීමෙන් අලුත්ම කැබ්රිය අලකොළආර මැද නවතී කතරගම දේව අඩවියේ හාස්කම් - 19


වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.

රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත.මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි.පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.

ගමනට වාහන පහක් එක්ව සිටි අතර රූපසිංහ මහතාගේ වාහනය ඒ සියල්ල අතරින් අන්තිමට ම ගමන් ගත්තේය. මේ ගැන එහි රියදුරාට තිබුණේ නුරුස්සන ගතියකි. ‘‘අපිට ඉස්සරවෙලා ගියාට වැඩක් නෑ සර්. මේ කැබ්එක නැතුව ඒ ගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. මේ වාහන පහෙන් අලූත් කැබ්එක මේක. මම කියන්නේ බොරුද බලන්න’’ රියදුරු කියද්දී රූපසිංහ මහතා කිවේ මේක දෙවියන්ගේ අඩවිය කටපරිස්මින් යං කියාය.

කෙසේ වෙතත් වන මෘගයන්ගේ බාධා කිරීම්වලින් තොරව ඉදිරියට ඇදෙන්නට මේ පිරිසට හැකිවිය. අලකොළආර ළඟ අනිත් වාහන හතර නවතා ඇති අයුරු ඈතට පෙනුනි ‘‘මම කිව්වේ බොරුද සර්. අපි නැතුව ඒගොල්ලන්ට ඉස්සරහට යන්න බෑ. ඔය ඉන්නේ අපි එනකම් බලාගෙන’’ තරමක් ආරම්බරයෙන් රූපසිංහ මහතාගේ කැබ් රථයේ රියදුරා පැවසුවේය.

කුමන ජාතික වනෝද්‍යානය මැද්දේ ඇති මහකැබිලිත්ත දේවාලයට යන මේ පිරිස තරමක් විඩා නිවාගෙන අලකොළආරෙන් එගොඩ වන්නට විය. පුදුමයකි. අලූත්  කැබ් රථය අලකොළආරට බැස්සුවා පමණි. එය ඉදිරියට හෝ පසුපසට ගත නොහැකිව නැවතිනි. වාහනය පණ ගැන්වෙන නමුත් ගියර් ක‍්‍රියා විරහිතය.

‘ක්ලච් ප්ලේට් ගියා වෙන්නැති. අදින්නේ නැත්තේ.’’ පිරිසේ කිහිප දෙනෙක්ම කීහ. ‘‘එහෙම වෙන්න බෑ. මේක අලූත්ම එක’’ කැබ් රථයේ රියදුරා කියන්නට විය. පිරිසේ සිටි කිහිප දෙනෙක් දන්න ශිල්ප යොදා කැබ්රථය ඉදිරියට ගන්නට උත්සාහ කරති. නමුත් ඒවා ගඟට කැපූ ඉනි මෙනි.

කැබ් රථයේ යාන්ත‍්‍රික ආබාධය ගමන හෝරා කිහිපයකින්ම පමා කළේය. තවත් කිලෝමීටර් විසිපහක් තිහක් ඉදිරියට යා යුතුය. අඳුරු වැටෙන්නට පෙර ගමන ඇරඹුවේ නැත්නම් මහකැබිලිත්තට ළඟාවන්නට වන්නේ රෑ බෝවීමෙන් පසුව බව කාටත් අවබෝධ විනි. එහෙත් කිසිවෙකුත් ඉදිරිගමන ගැන කියන්නට කට ඉස්සරවන්නේ නැත. හේතුව දෙවියන්ගේ අඩවියේ කට පරිස්සම් කරගතයුතු හෙයිනි.

සහකාර අධ්‍යක්‍ෂකවරයාගේ වාහන පණගැන්වුණත් හෙළවීමටවත් බැරි බව කාටත් අවබෝධවිය. ඒ නිසා එය මත්තේ හැපීමෙන් පළක් නොවන බවද ඔවුන්ට වැටහිණි. ‘‘හරිවැඬේ මොකද දැන් අප කරන්නේ.’’ කැබ් රථයේ රියදුරාම පිරිසෙන් ඇසුවේය.

‘‘අපි කැබ් එක දාලා අනිත් වාහනවල යමු. දේවාලය වැඳලා ඇවිත් ඊළඟට කරන්නේ මොකක්ද කියලා තීරණ කරමු’’. පිරිසගෙන් යෝජනාවක් ආවේය.

‘‘ඒක හොඳ අදහස. අපි එහෙම කරමු.’’ සියල්ලෝම එකඟවූහ.

‘‘ඒවුණාට ආර මැද්දේ වාහනය දාලා යන එකනම් නුවණට හුරුනෑ. මේක දෙයියන්ගේ රට. අපි කොහොමහරි නිවුටල් කරලා වාහනේ ගොඩට අරන් තියලා යමු’’ කුමණ වනෝද්‍යානය ගැනත් එහි ඇති හාස්කම් ගැනත් අත්දැකීම් ඇති වනජීවි නිලධාරියෙකු වූ බී. ගුණසිංහ මහතාගේ අදහස විය.
ඔහුට ඉහළින් යන්නට කිසිවෙකුත් අදහසක් ඉදිරිපත් කළේ නැත. ඒ අනුව සියල්ලෝම හිස්වනා ඒ අදහස අනුමත කළහ. නිවුටල් කළ කැබ් රථය පිරිස එක්ව ආරමැද්දෙන් ගොඩට ගන්නට සමත්වුණේ තවත් ජිප් රියකද ආධාරය ඇතිවය. දැන් කැබ් රිය අලකොලආර ඉවුරේය.

‘‘කෝකටත් අපි ආයෙ ස්ටාර්ට් කරලා බලමු.’’ කැබ් රියේ රියදුරා කීය. ඒ අනුව කැබ්රිය යළි පණගැන්වීමට ගත් උත්සාහය සාර්ථක විය. නමුත් ඉදිරියට හෝ පිටපසට ගමන් කරවීමට නොහැකිවිණි.

‘‘දැන් ඉතින් මෙතන තවත් රස්තියාදු වෙනවා කියන්නේ දේවාලයට යන ගමනත් තවතවත් පමා වෙන එකයි. අපි දේවාලෙට ගිහිං ඇවිත් වාහනේ ගෙනියන විදියක් හිතමු. ඉස්සරවෙලා ආපු කාරණාවට මුල්තැන දෙමු.’’ පිරිස ඒකමතිකව තීරණය කළහ.

ඉර බැසයන්නට හෝරා කිහිපයක් තිබියදී අලකොළආර ඉවුරේ අයින්කර නැවැත්වූ කැබ්රියේ දොරගුලූ දමා වසා සෙසු වාහනවලින් පිරිස මහකැබිලිත්තට යන්නට පිටත්වූහ. අලකොළආර ඉවුර වනඅලින් නිතරම ගැවසෙන තැනකි. එහි නිම්නයේ ඇති වැඩුණු තණකොළ පඳුරු වියළි කාලයේ වනඅලින්ට හොඳ ආහාරයකි. එපමණක් නොව ගෝනුන්, මුවන්, කුලූහරක් වැනි ශාකභක්‍ෂකයෝද වියළි කාලයේ අලකොළආර නිම්නයේ ආහාර සොයා පැඩිපුර සැරිසරති. කැබ් රථය හුදකලාකර ආවේ එවැනි තැනකය. වැඩි දෙනෙකුගේ හිත්තුළ වූයේ වාහනය එසේ තනිකර ඒම ගැන කුකුසකි. එහෙත් පුද්ගලයෙක් එහි නවතා ඒම ඊට වඩා භයානක බව කාටත් අවබෝධකර දුන්නේ ගුණසිංහ මහතාය.

‘‘කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනයට සතා සිවුපාවෝ කරදර කරන එකක් නෑ. අපි නරක ගමනක් නෙවෙයිනේ යන්නේ. අපි එනකම් වාහනේ ආරක්ෂා කරදෙන්න කියා කතරගම දෙයි හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිමු.’’ කැලේ ගමන්වලදී කතරගම දෙවියන් ගැන දැඩි විශ්වාසයක් ඇති ගුණසිංහ මහතා පිරිසට කීවේය.

මහකැබිලිත්තට ගිය පිරිස පසුදා අලූයම චාරිත‍්‍රාණුකූලව මුරුතැන් පූජාව සකසා බෝධීන් දෙනමට බුද්ධ පූජාවද, මල් පහන්ද පුදා කතරගම දෙවියන් ප‍්‍රමුඛ දේවතාවන්ට මුලින්ම පිං අනුමෝදන් කළහ. ඉන් අනතුරුව කැබිලිත්ත සියඹලා දේවාලයට ගොස් පහන් දල්වා පූජා පවත්වා කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලා සිටියහ.
ඉන්පසු පිරිස ආපසු පිටත්ව ආ අතර හැමෝම කතා කළේ යාන්ත‍්‍රික දෝෂයට ලක්වූ කැබ් රථය  ඕකන්ද දක්වා ගෙනයන අයුරුය. සමහරු කීවේ සෙසු වාහන හතරින් මාරුවෙන් මාරුවට ඇදගෙන යාම සුදුසු බවයි. එය ගෙනයාමට වෙනත් විකල්ප ක‍්‍රමයක් නැති නිසා ඒ ආකාරයට ගෙනයාම සුදුසු බව කාගේත් අදහස විය.
ඒ කෙසේ වෙතත් ගෙනියන්නට කැබ් රථයක් එහි තිබේවිද යන්න වනාන්තරය නුහුරු ගමනේ කෝඩුකාරයන්ගේ හිත්තුළ දෝංකාර දෙන්නට විය. අලකොළආර ආසන්නයට එද්දී පෙරදින රාත‍්‍රියේ වනඅලි රෑනක් එහි සැරිසැරූ බවට පා සලකුණුවිය. එහෙත් ඉදිරිය බලද්දි අලකොළආරෙන් එගොඩ ඉවුරේ කැබ් රිය නැවැත්වූ තැන එසේම තිබෙන අයුරු දිස් විය. එය කාටත් සැනසුම් සුසුමක් වුවත් ළඟට ගොස් බලනතුරු වැඩිදෙනෙකුගේ හදවත් තුළ වූයේ දෙගිඩියාවකි.

මහකැබිලිත්ත දේවාලයට ගිය වාහන හතර අලකොළආර තරණය කර අනෙක් ඉවුරට නිරුපද්‍රිතව පැමිණ නැවැත්වූයේ කිලෝමීටර් පනහකට වැඩි දුරටක් යාන්ත‍්‍රික දෝෂයක් ඇති වාහනයක් රැගෙන  ඕකන්දට යාමගැන සිහිපත් කරමිනි. දැන් අබලන්වූ කැබ්රිය ඇදගෙන යාමට කේබල්ද සැකසිනි.

‘‘කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් වාහනයට කරදරයක් කරලා නෑ. ඊයේ අලි මේ හරියේ වැඩිපුර කරක් ගහලා. පේන්නැද්ද අඩිපාරවල්. ගුණසිංහ මහතා කීවේ දේවඅඩවිය ගැන අත්දැකීමෙන් දන්නා නිසාය.

පැමිණි පිරිස සුළු වේලාවක් විවේක ගෙන යාන්ති‍්‍රක දෝෂයට ලක්වූ කැබ්රිය ඇදගෙන යන්නට කටයුතු කරද්දී ගුණසිංහ මහතා රියදුරුට කීවේ එය පණගන්වා ඉදිරියට ගන්නට උත්සාහ කරන ලෙසයි. කැබ්රිය පෙර පරිදි බාධාවක් නැතිව පණගැන්විනි. ගියර්වලට සීරුමාරුකළ ඔහු එය ඉදිරියට යන්නට බලය දුන්නේය. පුදුමයකි. පෙරදින එහිවූ යාන්ත‍්‍රික දෝෂය දැන් නැත. සුපුරුදු පරිදි කැබ්රිය ඉදිරියට ගමන් ගනී. ගැටගැසු කේබලය ගලවා එකිනෙකා මුහුණට මුහුණ බලාගත්තා මිස කිසිවක් නොකීමට වගබලා ගත්හ.
කළුකුඤ්ඤංආර, අලූත්ගංආර, බාධාවක් නැතුව තරණය කළ කැබ්රිය ඉදිරියට ඇදෙන්නේ මීට පෙර එහි යාන්ත‍්‍රික දෝෂයක් නොවූ පරිද්දෙනි.

‘‘මේ දෙවියන්ගේ අඩවියේ කට පරිස්සම් කරගන්න වෙනවා. එහෙම නොවුනොත් නොසිතු කරදරවලට මුහුණ දෙන්න වෙනවා.’’ සහකාර වනජීවි අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා සිය කටහඬ අවදිකළේ රියදුරුට අවවාදයක් දෙන පරිද්දෙනි.

මහකැබිලිත්ත දේවාලයට වාහනය ගෙනයන්නට නොහැකිවුනේ කටවරද්දා ගැනීම නිසායැයි පසුව පිරිසට අවබෝධවිනි.

‘‘මීට ඉස්සර වතාවක් අපි මහකැබිලිත්තේ යන්න පිටත් වුණා. අපිට මුලදි පොඩි පොඩි බාධා ඇති වුණා. ඒ වුණාට අපේ රියදුරු මහත්තයෙක් කිව්වා කොහොමහරි මේ ගමන යමු කියලා. විරුද්ධවෙන්න හොඳ නැති නිසා අපි ඔහුගේ අදහසට එකඟවුණා. මහවැස්සක් ඇදහැලිලා අපට ගමන යන්න වුණේ නෑ. මගට ගිහිං ආපහු ආවා. කතරගම දේව අඩවියේ හාස්කම් ඇති බව සෙසු අයට ඒත්තු ගන්වමින් සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා නොකියා කීවේ මේ කැලේ ගමනේදී කට පරිස්ම් කරගන්නා ලෙස අවවාද කරමිනි.
කටවරද්දා ගැනීම නිසා කතරගම දේව අඩවියේදී විවිධ බාධාවන්ට මුහුණදීමට රූපසිංහ මහතාට සිදුවූ අවස්ථා ගණනාවකි. වරක් පානම ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වීමට ඔහු ගියේ මොණරාගල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල හරහාය. රැස්වීම අවසන් වූ පසු  ඕකන්ද වනජීවි කාර්යාලයට යාමට ගමනේ සැලසුම විය.

ඕකන්දට ගිය පිරිස ටික වේලාවක් එහි ගත කළේය. කුඩා කැබිලිත්තට ගිහිං මෝය කටත් (කුඹුකන්ඔය මුහුදට වැටෙන තැන. මෙය කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටියේය.) බලාගෙන එන්නට කුමන ජාතික වනෝද්‍යානයට සහකාර අධ්‍යක්‍ෂවරයාගේ ජිප්රථය ගමන් ආරම්භ කළේය. එහි ටයර් හතරම අලූත් නිසා වනාන්තරයේ ගමනට  බිය විය යුතු නැත. මේ වකවානුවේ බාහිරින් සංචාරකයන් කුමනට වැඩිපුර නොඑන නිසා ගමනද අපහසු නැත. වන සතුන් වාහනයේ ශබ්දය ඇසී වලිග උස්සාගෙන දිවගොස් පඳුරුවලට මුවා වුණේ උන්ට තාමත් වාහන හෝ ඒවායේ හඬ නුහුරු නිසාය. රූපසිංහ මහතාගේ අදහස වූයේ මුලින්ම මඩමෙතොට දේවාලයට යන්නටය.

ඕකන්දෙන් ගමන් ඇරඹූ පිරිස රැුගත් වාහනය පැදවූ රියදුරා මුලින්ම ගියේ මෝය කටටයි. එතැනට පැමිණි ආගන්තුකයන්ට  ඕකන්ද වනජීවි නිලධාරින් ආහාර පිළියෙළ කර තිබුණි. ඒ වන විට කුසගින්නත් තදින් දැනුන නිසා පිරිස මුලින්ම ආහාර අනුභව කළහ. ටික වේලාවක් විවේකගත් පිරිස මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයට ගොස් ආපසු යායුතු බව දැනුම් දෙනු ලැබිණි.

‘‘සර්ලා එනගමන් කුඩා කැබිලිත්තට ගියේ නැද්ද? අපි හිතුවේ දේවාලෙට ගිහිං මෙතෙන්නට එන්න ඇත්තේ කියලා. එහෙනම් සර් දැන් කෑමවල පිළී (කෑම වේලට මාළු සකසා තිබුණි) තිබුණ හින්දා දේවාලෙට නොගහිං යනඑක තමයි හොඳ. සර්ලට තිබුණේ එන ගමන්ම දේවාලය වැඳගෙන එන්න. දැන් ඉතිං කමක් නෑ. දේවාලෙට නොගිහිං යන්න.’’ යැයි වනජීවි සේවකයන්ගේ ඉල්ලීම විය.

‘‘අපිට ඉක්මනට අම්පාරට යන්නත් තියන හින්දා එහෙනම් මෙහෙමම ආපහු යමු. පස්සේ වතාවක දේවාලෙට ඇවිත් යන්න බැරි.’’ යැයි පැමිණි පිරිසේ කෙනෙක් කීවේය. ඉන්පසු වාහනයෙන් ආපසු පිටත් වූහ.

මෝය කටින් පිටවු පිරිස කුමණ විල්ලූව, යාකළ කළපුව, ඉටිකළ කළපුව, අන්දරකල කළපුව, කොටලිඳවල, තුම්මුල්ල සහ කුඩාවිල ද පසුකර බාගුරා කළපුව ඉදිරියට ඇදී යෝදලිප අසළට පැමිණෙද්දී වාහනයේ අමුත්තක් දැනිණි. වාහනයේ එක් රෝදයක හුළං බැස ඇති බව අවබෝධවිය. එය පිළිසකර කරගෙන ඉදිරියේ වූ ගිරිකුළ කළපුව සහ පළිහදාපුවළ පසුකරන්නට ලැබුණේ නැත. තවත් රෝදයක හුළං බැස්සේය. ඉතාම අමාරුවෙන් වාහනය  ඕකන්දට ගෙනාවේය.

ඉක්මනින් අම්පාරෙ යන්නට ආ ගමන පැය ගණනක් පමාවිය. ‘‘මේ කතරගම දෙවියන්ගේ අඩවියේ කටවරද්දාගෙන ගමන්බිමන් යන්න බෑ’’ ඒක හොඳට මතත තියාගන්න  ඕනෑ. සහකාර අධ්‍යක්‍ෂවරයා වාහනයේ රියදුරු දෙස බලමින් කීවේ ඔහුට යම් අවවාදයක් කරන අයුරිනි.

ඒ අවවාදය අදටත් ගැළපෙන බව පෙනේ. බොහෝ අනුහස් ඇති මේ බිමට බැතිමතුන් එන්නේ පුණ්‍ය කටයුතුවල නිරතවෙමිනි. නමුත් මේ වන විට විවිධ කණ්ඩායම් මෙහි සංචාරක ගමන් සංවිධානය කිරීමටද පෙළඹී සිටිනු පෙනෙන්නට තිබේ. මේ ආකාරයට කිසිදු හැඟීමක් නොමැතිව විනෝදය පිණිස පැමිණීම විවිධ අකරතැබ්බවලට හේතු වන්නටද හැකිය. මහ වනාන්තරයේ කිලෝමීටර් හතළිහකටත් වැඩි දුරටක් යායුතු මේ ගමනේදී කිසිදු සංචාරක පහසුකමක් නැති බව කිව යුතුය. දේවාලයට යා යුතු කුඹුකන්ඔය ආසන්නයේ වාහන ආ හැකි අවසාන තැන වැසිකිළි දෙකක් තිබේ.

මහකැබිලිත්තේ ගමන සැබැවින්ම සංචාරක හෝ විනෝද ගමනක් නම් නොවේ. අනුහස් ලබන්නට නම් මේ ගමන පයින් යායුතු බව අත්දැකීම් ලද්දෝ කියතකි. ඒ නිසා සංචාරක සංවිධායකයන් හෝ මග පෙන්වන්නන්ගේ වැරදි උපදෙස් මහකැලෑවේදී අතුරු ආන්තරවලට අතවැනීමක් විය හැකිය. පසුගිය මාස කිහිපයකට පෙරද එවැනි විනෝද ගමනක් පැමිණි දේශපාලන බලවතුන් පිරිසකට පැය 18 කට වැඩි කාලයක් මහ කැලෑවේ අතරමං වන්නට වූ සිද්ධිය ඊට හොඳම උදාහරණයයි.


කුමණ වනෝද්‍යානයේ පිවිසුම් ස්ථානයවු ඕකන්‍ද වනජීවී කාර්යාලය


කුමණ වනෝද්‍යානයේ කුඩා කාබිලිත්ත දේවාලය


ඓතිහාසික සියඹලා දේවාලයට ගොඩවන මාර්ගය පෙන්වන නාමපුවරුව


කැබිලිත්ත දේවාලයට යන බැතිමතුන් පිරිසක්


කලූකුඤ්ඤංආරෙන් වාහනයක් එගොඩ කරමින්

Search This Blog