Thursday, April 25, 2013

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යුදගනාව රජමහා විහාරයේ දී


රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කෙරේ. ඒ අනුව, පනස් හත්වන (57) රාජ්‍ය වෙසක් උත්සවය, මැයි මස 25 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල යුදගනාව රජමහා විහාරස්ථ පරිශ්‍රයේ දී සිදු කෙරේ. ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම රාජ්‍ය උත්සවය සිදු කිරීමට නියමිතය.


බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක සංවිධානයෙන් මෙම ජාතික උත්සවය පැවැත්වේ.

පනස් හත්වන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ උපදෙස් මත ඉකුත් දා අගමැති කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මැයි මස 24 වැනි දින පාසල් ළමයින් දහසක් සහ වැඩිහිටියන් දෙදහසක් යුදගනාව රජමහා විහාරස්ථානයේ දී සීල සමාදාන වැඩසටහනට එක්කිරීමටද මෙහිදී තීරණය කළේ ය. සීල සමාදානය සඳහා සම්බන්ධ වන සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය දානය, ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සම්පාදනය කොට තිබේ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩල අතර පැවැත් වූ බැති ගී ගායනා වැඩසටහනින් ජයග්‍රහණය ලැබූ දරු දැරියන්ට මූල්‍යමය ත්‍යාග ද මෙහිදී ලබාදෙයි. වෙසක් පහන් කූඩු තරගාවලියෙන් ජය ලැබූවන්ට ත්‍යාග පිරිනැමීමට තීරණය කොට ඇතැයි පැවැති සාකච්ඡාවේ දී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුත්තල, යුදගනාව රජමහා විහාරස්ථානයේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීම, ‘සසුනින් සෙවණ’ ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් නිවාස එකොළහක් ඉදිකිරීම, දිස්ත්‍රික් සිසු නිපුණතා තරගාවලියෙන් ප්‍රථම ස්ථාන ලැබූ දරු දැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම, වෙසක් මුද්දරයක් සහ සමරු කලාපයක් නිකුත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක බව මෙහිදී අවධාරණය කෙරිණ.

එම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගෝනදූවේ ගුණානන්ද හිමි, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ආගමික කටයුතු සම්බන්ධිකාරක, අග්‍රහැරේ කශ්‍යප හිමි, මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, බුද්දම නන්දසාර හිමි, යුදගනාව පුරාණ රජමහ විහාර විහාරාධිකාරී, ගල්ටැම්වත්තේ නන්දරතන හිමිවරුද, ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ජයරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.කේ.බී. දිසානායක, මහාභාරකාර සරත් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්. කේ. මහානාම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. පතිනාදන් මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


නුවන් කොඩිකාර

Search This Blog