dunhinda.com

Wednesday, March 21, 2012

ඌරුතෙල් පහන් වලින් කතරගම පෙරහර රඟදැක්වු මහලේනව වැදි පරපුරම කළු කොටියාට බිළිවෙයි


2012 මාර්තු මස 18 11:56:19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


කතරගම දෙවියන් පිළිබදව ලියවෙද්දී කතරගම දෙවියන් ‘‘මහකැබිලිත්තට’’ වැඩම කරවිමට සිදුවු හේතුව ලිව්වෙමු. කෙසේ වෙතත් මේ වනවිට ‘‘මහකැබිලිත්ත’’ ප‍්‍රදේශයට විවිධාකාර පුද්ගලයන් දෙවියන් වැදපුදා ගැනීමේ අරමුණින් ඇතුලූවීම බරපතල පාරිසරික හානියක්වී තිබෙන බව සැදැහැ සිතින් එහි යන්නෝ කියති.
කතරගමට යන හැමකෙනෙක්ම මුලින්ම කිරිවෙහෙරට ගොස් කිරිවෙහෙර වැ`දපුදාගෙන, අෂ්ඨඵල බෝධියද වන්දනා කරගතයුතු යැයි විශ්වාසයක් බෞද්ධයන් තුළ පවතී.  එසේ කිරිවෙහෙරත් අෂ්ඨඵල බෝධියත් වැදපුදාගෙන ලබාගන්නා පින් කතරගම දෙවියන්ටද අනුමෝදන් කර කතරගම දේවාලයේ පුජාවන්ට එක්වීමෙන් වඩාත් හොද ප‍්‍රතිඵල ලැබීමටත්, කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තමාවෙතට යොමුකර ගැනිමටත් හේතුවක් බවට විශ්වාසයක් පවතී.
එහෙත් වර්තමානයේ කතරගමට යන එන වැඩිදෙනා මේ චාරිත‍්‍ර වාරිත‍්‍ර නොසලකති. පූජනීය තැනකට ඇතුලූවෙද්දී ඊට සුදුසු ඇදුමක්වත් නොඅදිති. හැසිරිමද පිළිකුල්ය. එවැන්නන්ට දෙවියන්ගේ පිහිටක් ලැබේද යන්න කිසිසේත් සිතිය නොහැක. කතරගම දේවියන් භක්තියෙන් සමරණ සැම දෙනාගේම අදහස එයයි.
කතරගම දෙවියන් හා වැදි පරපුර අතර විශාල සම්බන්‍ධයක් ඇතිවීමට ප‍්‍රධාන හේතුව වල්ලිඅම්මා කතරගම දේවියන්ගේ බිසව වීමයි. වල්ලිඅම්මා ද පසුව දෙවගනක් සේ අදහනු ලබයි. වල්ලිඅම්මා කුඩා කල රැකබලාගෙන ඇත්තේ නන්ද නම් වැදි නායකයාවීම නිසා ආදිවාසී ජනයාගේ විශ්වාසයක්ව පවතින්නේ කතරගම දෙවියන් එම විවාහයත් සමග තම පරපුරට ඥාතිකම් කියන බවයි.
මේනිසා අතීතයේ පටන්ම කතරගම දෙවියන්ගේ පුදපුජාවන්ට ආදිවාසීන්ද එකතුවන බව විශ්වාසයක් පවතී. ඇතැම් අවස්ථාවල නැගෙනහිර සිට පාද යාත‍්‍රාවෙන් කතරගමට එන වන්දනා පිරිස් අතර වාකරේ වෙරුගල් ආදී ප‍්‍රදේශවල වෙසෙන ‘‘මුහුදු වැද්දන්’’ ලෙස හඳුන්වන ආදිවාසී ජන කොටස්ද කලකට ඉහත එන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් යුදමය වාතාවරණයන් නිසා ඔවුන්ගේ පැමිණීමද ක‍්‍රමයෙන් අඩුවන්නට විය.
මහකැබිලිත්ත ප‍්‍රදේශයේ තැන්පත්කර තිබූ කතරගම දෙවියන්ගේ දේවාභරණ 1819 වර්ෂයේදී යළි කතරගමට වැඩම කරවා දේවාලයේ තැන්පත් කළ බව ඉතිහාසයේ දැක්වේ. මේවනවිට රට ඉංග‍්‍රීසීන්ගේ පාලනයට යටත්වී තිබිණි. කතරගම දේවාලය ඇතුලේ ඌව වෙල්ලස්ස සටනට භාවිතා කළ ආයුධ තිබෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියමින් බ‍්‍රවුන්රිග් යටත්විජිත ආණ්ඩුකාරවරයා 1819 අපේ‍්‍රල් 05 දා කතරගම දේවාලයට පැමිණ එය පරීක්‍ෂා කිරිමට අවශ්‍ය බව පවසා තිබේ.
මේ කාලයේ ප‍්‍රධාන කපු නිලයේ කටයුතු කර ඇත්තේ රණබාහු නම් කපු මහතෙකි. ඔහු පවසා ඇත්තේ මේ දේවාලය දුටුගැමුණු රජුගේ කාලයේ පටන් පැවත එන්නක් බවත් පුද පුජාවන් පවත්වන ස්ථානයක් බවත් පේවෙලා නව වැදුම්වැ`දලා මිස දේවාලය තුලට තේවාව භාර කපු නිලමේවරු හෝ නොයන බවත් එහි ආයුධ නැතිබවට දිව්රුම් දෙන බවත් බවසා තම ඉල්ලීම නොතකා දේවාලය තුලට ඇතුලූ වුවහොත් හදගලේ ඔලූව ගහගෙන මැරෙන බව බ‍්‍රවුන්රිග් ආණඩුකාරයාට කියා තිබේ. එය පරිවර්ථනය කර ඇසිමෙන්  පසු ආණ්ඩුකාරයා දේවාලය පරීක්‍ෂා කිරිම පසෙක තබා ආපසු  පිටව ගොස් තිබේ.
එයින් පසුව පෙරහර කතරගම දේවාලයේ පවත්වාගෙන ගොස් ඇත. පාද යාත‍්‍රාවෙන්ද කතරගමට ජනතාව පැමිණ තිබේ. මේ කාලයේ කුමන ජාතික වනෝද්‍යානයේ මහලේනව ප‍්‍රදේශයේ වැදි ජනතාව ජිවත්ව ඇත. මේ වැදි සනුහරේ හිටි ‘‘මරාවා’’ සහ ‘‘කුඹුහුරී’’ නම් වැදි ජෝඩුවක් පාද යාත‍්‍රාවේ ආ පිරිස යන්නේ කොහාටදැයි විපරමෙන් කැලෑව ඔස්සේ පසුපස ගොස් තිබේ. ඉන්පසු කතරගම දක්වා පාද යාත‍්‍රාවේ ගිය පිරිස පන්දම් දල්වා නැටුම් නටා, බෙරවයා, පෙරහර කරන අයුරු රහසින් නරඹා ඇත. පසුව මහලේනව සිටි රැහේ වෙත පැමිණ තමන් දුටු සිද්ධිය පවසා තිබුණි.
එහෙත් සෙසු වැද්දන්ට මේ කාරණාව තේරුම් ගැනිමට නොහැකිවිනි. පසුව මේ වැදි ජෝඩුව ඌරුතෙල් වලින් පන්දම් සාදා පහන් පත්තුකර කතරගම දේවාලයේ පෙරහර පැවැත්වු ආකාරය සෙසු වැද්දන්ට පෙන්වා තිබේ. පසුදින රාත‍්‍රියේ ගමට කඩා වැදුණු කලූකොටි රැළක් විසින්  මහලේනව සිටි සියලූ වැදි ජනයා මරාදමා තිබුණි. හැලව ගම්මානයට ගිය වැදි දරුපවුල් කිහිපයක් පමණක් බේරි තිබේ. කුමන ජාතික වනෝද්‍යානයේ පිහිටි කිරිපොකුණුහෙළ ලෙන්වල වැදි චිත‍්‍ර රැසක් ඇතිබව හෙළිකලේ වනජිවි දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි සහකාරවරයෙකුවූ බී. ගුණසිංහ මහතාය. බඔරගස්තලාවට කිලෝමීටර් අටක් බටහිරින් කිරිපොකුණු ලෙන් පිහිටා තිබේ.
කතරගම දෙවියන් භාවනානුයෝගීව සිටින බවට විශ්වාස කරන මහකැබිලිත්ත දේවාලය වැදපුදාගෙන භාරහාර වෙන්නට දැන් විශාල පිරිසක් එහි ඇදියන්නට පටන් අරං ඇතිබව පසුගිය සතියේ එහි ගිය මට හො`දින් දැක බලාගත හැකිවිය. දේශපාලන ලෝකයේ, ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයේ අති දැවැන්තයෝ එහි එති. ජිවිතේට හිරමණයක් ඇල්ලූවේ නැති පිරිමි කුඹුකන්ඔයේ වැල්ලේ පොල්ගාති. හාල් ගරති. පළතුරු සෝදති. ගමේ පන්සලේ බෝධිය පහනක් නොතැබු අය මේ මහ ඝණකැලෑවේ කූඹුකන්ඔයේ එගොඩ මෙගොඩ ඇති බෝධිදෙකට බුද්ධ පූජාවද තබා පැන්කළ දෝතින් ගෙනවිත් බෝධිය නහවති. විහාරස්ථානයකට ගියත් බුදුන් වදින විට කොන්ද නොනැමූවෝ කොන්ද පමණක් නොව නළලද බිම තබා බෝධියත්, දේවියනුත් නමදිති. සැබැවින්ම මේවා හාස්කම්ය. ජිවිතේ පළමු වතාවට සුදු පිරුවට ඇදි පුද්ගලයන් පවා එහිදි දැක ගත හැකිය. විච්චුර්ණ ඇදුම් ගලවා සුදු ඇදුමින් සැරසී රතු රෙදිකඩක් ඉනවටේ ඔතාගෙන කුඹුකන්ඔය දෙපයින් තරණය කරන්නට තරම් මේ බලවතුන් මෙල්ලකරන්නට කතරගම දෙවියන්ට හැකිවීම පුදුම හාස්කමකි.
මහකැබිලිත්තට එන වැඩිදෙනෙක් ප‍්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ඉදිරි දියුණුවට කතරගම දෙවියන්ගේ ආශිර්වාද ගැනීමය. ඇති අපල දුරුවන්නටත්, අතුරුආන්ත‍්‍රා සිදු නොවන්නටත් හොදකලක් උදාවන්නටත් ප‍්‍රාර්ථනා කරති. බොහෝවිට කණ්ඩායම් වශයෙන් එන අය කපුවෙක් එක්කගෙන එයි. එතැනදී කපුවා මහා වීරයෙකි. කපුවා කියන දෙය කරන්නට මෙහි එන  ඕනැම බලවතෙක් සුදානම්ය. ඒබව දෑසින් දැකගත හැකිවූයේ එහි ගියවිටය.
මහකැබිලිත්ත දේවාලය  තම ධන උල්පතක් කරගත් පිරිස් ඇතිබව දැන් පෙනෙන්නට ඇත. මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඇතිමලේ ප‍්‍රදේශයෙන් පැමිණිමට ඇති මාර්ගයේ මහට‍්‍රැක්ටර් වලින් එන පිරිස දිනෙන් දින වැඩිවෙමින් පවති. සමහරුන්ට එය අලූත් ආදායම් මාර්ගයකි. රුපියල් පහළොස් දහසේ සිට ඉහළට ගමන සදහා ට‍්‍රැක්ටර් කුලියට ගත හැකිය. කොටියාගල ප‍්‍රදේශයේ කපුවන්ගේ ද අතමිට සරුය. සමහර කපුවෝ රුපියල් තුන් දහසේ සිට ඉහළට තම ගාස්තු අයකරති. පුජා භාණ්ඩ සදහාද විශාල වියදමක් කළ යුතුය. හේතුව ඇතැම් කපුවන්ගේ උපදෙස් අනුව කළ යුතු නිසාය.
කතරගම දෙවියන්ට ඇති භක්තිය නිසාත් මහකැබිලිත්තේ ඇති හාස්කම් නිසාත් වියදම නොතකා කෙසේ හෝ එහි යාමට බලාපොරොත්තුවන මේ භක්තිවන්තයන් අද සූරාකෑමට ලක්ව තිබේ. කොටියාගල දෙසින් කුමන ජාතික වනොද්‍යානයට කිසිදු නිත්‍යානුකූල අවසරයකින්  හා වනජිවී දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයකින් තොරව ඇතුළු වන බැතිමතුන්ට මග පෙන්වන්නේ ට‍්‍රැක්ටර්කරුවන් සහ ඇතැම් කපුවන්ය. කැලේට ඇතුලූවු තැන සිට විවිධාකාර ත‍්‍රාසජනක කතා  කපුවෝ කියති.
කොටියාගල පැත්තෙන් ඇති පාරේ ට‍්‍රැක්ටර් පැමිණිම නිසා වෙනත් වාහනයක් පැමිණිම ඉතාම අපහසුය. සමහරවිට විවිධ අකරතැබ්බ වලට පවා ලක්වන්නේ ට‍්‍රැක්ටර් ගමන් කළ මාර්ගවල වෙනත් වාහන ගමන් කිරිමට ඇති ගැටලූ නිසාමය. මේ නිසා කොටියගල දක්වා වාහනවලින් පැමිණ එතැනින් ට‍්‍රැක්ටරයක් කුලියට ගෙන මහකැබිලිත්තට යාමට බොහෝ දෙනෙක් කටයුතු කරති.
මහකැබිලිත්තේ සියඹලා දේවාලයේ කුඩා සියඹලා ගස ඉදිරිපිට ඇති දේව රූප සමුහය ඉදිරිපිට රතු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී බිමපෙරළී නවගුණවැලක්ද කරේ දාගෙන නවවැදුම් වදිමින් සිටි මුහුණ පුරා රැුවුල වවාගත් තරුණ කපුවෙකු බිම පෙරළි මහා හඩින් දේවියන්ගෙන් ඉල්ලා සිටියේ ඔහු අසලින් බිම වාඩිවි සිටි සිවුරක් දාගත් පුද්ලයාගේ ව්‍යාපාර දියුණුව සලසා දී ඔහුට විනකරන පිරිසකගේ නම් කියා ඔවුන්ට දඩුවම් දෙන ලෙසය. දැන් එවැන්නන්ගෙන්ද මේ හාස්කම් ඇති පුදබිම පිරී ඇතිබව පෙනේ.
කොටියාගල සිට මහට‍්‍රැක්ටරකින් පැමිණි එම කපුවාත් සිවුරු දරාගත් තැනැත්තාත් පිළිබදව තරමක් සොයා බැලිමි. ඒ වනවිට හිරුනැගී හෝරා තුනක් පමණ ගෙවී ගොස් තිබුණි. දේවාලයෙන් එගොඩ තවමත් ට‍්‍රැක්ටර් තුනක් පමණ නවතා තිබුණි. ඒ තම සේවාදායකයන් ආපසු එන තෙක්ය. එකතැනක සිවුරක් වැලක දමා තිබුණ නිසා මා තරමක් ලංවී එහි වු අවුරුදු විස්සට අඩු ගැටවු දෙන්නෙකුගෙන් තොරතුරු විමසිමි.
‘‘අපි කොටියාගල. ට‍්‍රැක්ටර් වලින් කට්ටිය අපි මෙතෙන්ට ගේනවා. රුපියල් පහළොස් දාහක් ගන්නවා. පැය හයත් අටත් විතර වෙලාවකින් එන්න පුලූවන්. ඒඅය මෙහෙ ඉ`දලා පුජාව තියලා පහුවදා ආය යනවා. රෑට ලයිට් දෙකකුත් දාලා දෙනවා. ඒකට තමයි ඔය ගාන ගන්නේ.’’
තරුණයාගේ ස්වරුපය දෙස බලද්දී රිය පැදවීම සම්බන්‍ධව අත්දැකිම් ඇත්තෙක් බව නොපෙනුනි.
‘‘ඔයාට ඩ‍්‍රයිවිං ලයිසන් තියනවාද’’
‘‘ඒවා මොකටද මහත්තයෝ මේ මහ කැලේට. අනික මොකාද මේ කැලේ අපේ ලයිසන් බලන්නේ. ට‍්‍රැක්ටර් වලින් එන ගොඩදෙනෙකුට ලයිසන් නෑ. එන අයවත් අපෙන් ලයිසන් තියනවාද අහන්න් නෑ.’’
‘‘දැන් වනජිවි එකෙන් අවසර අරගෙන ද ආවේ. වනජිවී මහත්තෙයක් එහෙම ආවද?’’
‘‘එහෙම අවසර ගන්න තැනක් කොටියාගල නෑ. එයාලගේ අවසර  ඕනැ නෑ අපි කට්ටිය එක්ක එනවා. සමහර දවසට අපි එහෙන් පිටත් වෙන්නේ සවස තුනට. ? දහය එකොළහ වෙනවා මහකැබිලිත්තට එනකොට. එහෙම රෑ එන්න එපා කියලා කවුරුවත් අපට කියලා නෑ. අනික සමහර වෙලාවට ඉක්මනින් යමු කියලා පිටත්වුණාට කැලේදි මහ අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. පැය දහය දොළහ ට‍්‍රැක්ටර් මඬේ එරිළා ගොඩගන්න බැරුව දගලන අවස්ථා තියනවා. සමහර මිනිස්සු කටවරද්දා ගත්තාම එහෙමයි. ඉතිං ඒවගේ වෙලාවට කීයට හරි ට‍්‍රැක්ටරේ ගොඩට ගත්තෝත් ඒතමයි අපියන වෙලාව.’’ තරුණයාගේ දිර්ඝ පිළිතුර විය.
සැබැවින්ම මේ ගමන එසේය. එන සහ යන වෙලාවක් නිශ්චිතවම කිව නොහැක. එන්නට පැය දොළහක් ගතවුවත් යන්නට ඊට අඩු කාලයක් ගතවන අවස්ථා ද එන්නට අඩුකාලයක්ගතවී යන්නට වැඩිකාලයක් ගතවන අවස්ථාද තිබේ. ජාතික වනෝද්‍යානයක රාත‍්‍රී කාලයේ ගමන තහනම්ය. එහෙත් කොටියාගල පැත්තෙන් මේ වනොද්‍යානයට ඇතුලූ වන්නන්ට ඒ තහනම නැත.
එහෙත් පානම  ඕකන්‍ද කුමන ජාතික වනෝද්‍යානයේ වනජිවි පිවිසුමෙන් ඇතුලූවන්නන්ට එසේ නොවේ. නීත්‍යානුකූල බලපත‍්‍ර ලබාගෙන වනජීවී දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නෙකුගේද සහාය ලබාගෙන අති දුෂ්කර මගකින් ජාතික වනෝද්‍යානයක යාමට අවසර ඇති වාහන කිහිපයකින් ඇතුලට ගොස් වාහනයක ආපදාවකින් පමාවී රාත‍්‍රී ගමන් නොකර වන සතුන්ගේ චර්යාවන්ට බාධානොකර නීතිගරුකව රැයක් පහන් කර පසුදා උදෑසන කුමන ජාතික වනෝද්‍යානයෙන් පිටව යන්නට ආවොත් කිසිදු අනුකම්පාවක් නැත. දහදෙනෙකුගෙන් යුතු වාහන දෙකක කණ්ඩායමකට අතිරේකව දෙදහස් පන්සියයකට වැඩි ගාස්තුවක් යළි ගෙවන්නට සිදුවෙයි.
මේ තත්ත්වය නිසාම දැන් නීත්‍යානුකූල නොවන අන්දමින් කොටියාගලින් කුමන ජාතික වනෝද්‍යානයට ට‍්‍රැක්ටර් වලින් ඇතුලූවන්නට බොහෝ දෙනෙක් උනන්දුව සිටිති. එනිසා දැන් මහකැබිලිත්ත අවට ප‍්‍රදේශයේ සතා සිව්පාවාගේ සහ කැලෑවේ පැවැත්මට මේ ව්‍යාජ මගපෙන්වන්නන්ගෙන් හානිවෙමින් පවතී. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙන්නට ඉඩදුන්නොත් මහකැබිලිත්තටද එය තර්ජනයක් වනු ඇත.
අජිත්ලාල් ශාන්තඋදය

සුදු පිරුවට වලින් සැරසි කුඹුකන්ඔයේ වැල්ලේ පූජාව සකසන බැතිමතුන් පිරිසක්


කොටියාගල පැත්තෙන් බැතිමතුන් පිරිසක් රැගෙන ආ ට්‍රැක්ටරයක්

පූජාවටිටි රැගෙන කුඹුකන්ඔයෙන් එතෙරව් කැබිලිත්ත දේවාලයට යමින්



මහකැබිලිත්ත දේවාලය ඉදිරිපිට කපුවෙක් සිය දායකයාගේ කරුණ කන්නලව් කරමින්

http://lankadeepa.lk/index.php/articles/32020

Tuesday, March 20, 2012

කැලේ අතරමංවූ සූනියම් දේවාලේ කපු මහතාට පාර පෙන්නූ අපූරු අමුත්තා


2012 මාර්තු මස 04 13:00:34 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

යාල සහ කුමන ජාතික වනෝද්‍යාන අයත් භූමිය මුලූමනින්ම කතරගම දෙවියන්ගේ අඩවිය ලෙස හදුන්වනු ලබයි.මේ නිසා නාගරික හෝ ග‍්‍රාමීය පරිසරයෙන් ඔබ්බට වු වනගත පරිසරයේදී හුදකලාවන කෙනෙකුට පිහිටට ඇත්තේ දෙවියන් පමණක්ය යන හැගීම ඇතිවීම ඉබේටම සිදුවන්නකි.
යාල ජාතික වනෝද්‍යානය කලාප කිහිපයකින් සමන්විතය.කලාප අංක එකට අයත්වන්නේ සාමාන්‍ය සංචාරකයන් නරඹන කලාපයයි. ඒ  කිරින්ද ප‍්‍රදේශයෙන් ඇතුළුවී මැණික් ගඟ දක්වා වු ප‍්‍රදේශයයි.
මේ ප‍්‍රදේශයන් අතීතයේ පටන් රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානයට ලක්වු ප‍්‍රදේශයන්ය.මෙම කොටසෙහි පිහිටි නවබුතව  සංචාරක බංගලාව වර්තමානයේ නාවික හමුදාවේ රේඩාර් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරයි. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු නිතර යනඑන තැනක්වූ මෙතැන පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මල්පුජා කිරිමට මල්නෙළු සමන්පිච්ච වැල අදටත් පවතී.
යාල කලාප අංක දෙක ලෙස සලකන්නේ මැණික් ගග සහ කුඹුක්කන්ඔය අතර ප‍්‍රදේශයටය.මුහුදට සමාන්තරව පිහිටි මෙම ප‍්‍රදේශයෙන් සාම්ප‍්‍රදායික පාදයාත‍්‍රා වන්දනාකරුවන්ගේ ගමන්මග වැටී ඇත.  කතරගම දෙවියන්ගේ හාස්කම් රැුසක් වාර්තාවු පොත්තන,පිළින්නාව වැනි ප‍්‍රදේශ පිහිටා ඇත්තේද මේ කලාපයේය.
කලාප අංක තුන යාල ජාතික වනෝද්‍යානයේ විශාලතම කලාපයයි. කුඹුක්කන්ඔය මායිමේ සිට රට ඇතුළට සැතපුම් විස්සක් දක්වාම විහිදෙයි. කතරගම දෙවි`දුන් භාවනානුයෝගීව වැඩ වෙසෙතැයි කියවෙන කැබිලිත්ත දේවාලයද පිහිටියේ මේ කලාපයේය.
කලාප අංක හතර ලෙස හැදින්වෙන්නේ කතරගම බුත්තල පාරේ ගල්ගේ සිට වල්ලිඅම්මා ආර (වල්ලිඅම්මාර) අතර කොටසයි. මැණික්ගග, සෙල්ලකතරගම, සිට බුත්තල දක්වා පාර සහ මැණික් ගග අතර බුත්තල කොටස යාල කලාප අංක පහවේ. මේ ප‍්‍රදේශයේද කතරගම දෙවියන්ගේ බැල්ම විශේෂයෙන් ඇති ප‍්‍රදේශයක් වේ.
කතරගම දෙවියන්ගේ අඩවියේ වනසතුන්ගේ ආරක්‍ෂාවට ඔවුන්ගේ පිහිටට සිටින වනජීවී නිලධාරීන් පවා විවිධවු අකරතැබ්බයන්ට මුහුණදුන් අවස්ථා තිබේ. එවැනි බොහෝ අවස්ථාවල කතරගම දෙවියන්ගේ පිහිට ලැබුණු බව එම නිලධාරින් වැඩි දෙනෙකුගේ අදහසයි.
යාල ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්‍ෂකවරුන් ලෙස 2002 වර්ෂයේ සේවය කළ තරුණ නිලධාරීන් එවැනි අත්අදැකීමකට මුහුණ දී තිබුණි. ඒ එම වසරේ නියං සමයේදීය.මේ නියං සමය වනවිට වනෝද්‍යානය ඇතුළේ ජල හිගයක් හේතුවෙන් සංචාරකයන් සදහා එය වසා දමනු ලබයි.මේ සිද්ධිය එසේ වසා දැමූ කාලයේ වූ එකකි.
ඉහතදී අප ස`දහන් කළ යාල අංක දෙක කලාපයේ ‘‘වලස්කෙම’’ නම් ස්ථානයේ වු ‘‘ගල්කෙම’’ (වතුර පිරුණු ගල්වලක්) කාලයක් තිස්සේ සුද්ධ පවිත‍්‍ර නොකිරීම නිසා පස්වලින් වැසී ගොස් තිබුණි. ඒනිසා වැහි කාලවල්වල වතුර එකතු නොවීම සතුන්ට තදින් බලපායි.
යාල වනෝද්‍යානයේ සියලූම සේවකයන් මේ ‘‘වලස්කෙම’’ සුද්ධ පවිත‍්‍රකිරීමට ස්වේච්ඡාවෙන් ශ‍්‍රමදානයක් සූදානම් කළහ. කතිකා කරගත් දිනක ‘‘වලස්කෙම’’ බලා පිරිස ට‍්‍රැක්ටරයකින් සහ කැබ්රථයකින් පිටත්ව ගියහ. දින කිහිපයකට අවශ්‍ය ආහාරපාන, සුද්ධපවිත‍්‍ර කිරීමට අවශ්‍ය උපකරණ ද රැුගෙන ගියහ.  පිරිස එහි නවතා කැබ් රථය ආපසු යාලට පැමිණියේය.
නැවත දින තුනකට පසු එළැඹි දිනයේ පෙරවරුවේ කැබ් රථය යළි ‘‘වලස්කෙම’’ බලා පිටත්ව ගියේය. ඒ ශ‍්‍රමදානයේ නිරතවු පිරිසගේ අඩුපාඩු සොයා බැලිමේ අරමුණිනි. මීට වසර ගණනාවකට පෙරදී යාල ජාතික වනෝද්‍යානය තුළදීම සිදුකළ වැටලීිමකදී වෙඩිවැදී මියගිය අඩවි ආරක්‍ෂකයෙකුවු එච්.කේ.සිරිල් කුමාරසිංහ මහතාද  මේ ගමනට එක්ව සිටියේය. ඔහුගේ බිරි`ද ගමනේ නිරත පිරිසට රොටි සාදා දී තිබුණේ අතර මගදි කෑමට ගන්නටය. ගමන කිලෝ මීටර් පහනක හැටක අතිදුෂ්කර එකකි.
ත‍්‍රස්තවාදී කලබල පමණක් නොව යාල කැලෑව තුළද ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදුවෙමින් තිබු කාල වකවානුවකි. යාල සිට මැණික්ග`ග දක්වා ගමන් කළ කැබ් රථය මැණික් ගෙ`ගන් එගොඩ වුයේ කොළ අත්තක් කඩා එල්ලා කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලමින්ය.කැබ් රිය ඉදිරියට යද්දී පොත්තන පිලින්නාව අතර ප‍්‍රදේශයේදී ‘‘වළස්කෙම’’ නැවතී සිටි කිහිප දෙනෙකු පයින් ඉදිරියට එනවා මුණගැසිනි. ඒ අයගෙන් විස්තර ඇසූවිට ‘‘වළස්කෙම’’ පවිත‍්‍ර කරන තැන තිබු ට‍්‍රැක්ටරය පොත්තන කළපුවේ එරි ඇතිබව දැන්වීය. මේවනවිට ඒපිරිස දැඩි කුසගින්නේ පසුවිය. ගෙනගිය රොටී වලින් කොටසක් ඔවුන්ට පිරිනැමිනි.
ඉන්පසු ඔවුන්ද නංවාගෙන කැබ් රථය ‘‘වළස්කෙම’’ බලා යද්දී ‘‘වළස්කෙම’’ සිටි පිරිසගෙන් තවත් කොටසක් අතරමග විය. යාල ජාතික වනෝද්‍යානයේ පළමු පාලකයාවු එංගල්ස් බ්‍රේක් ගේ ගවගාල පිහිටි තැනවු දංගහක් යට විඩාවට පත්ව ඔවුන් සිටිනු දිස්විය.ගෙනගිය රොටීවලින් ඉතිරි කොටසින් කොටසක් ඔවුන්ගේ කුසගිනි නිවීමට පිරිනැමිණි.
වතුරයි රොටී වලින් යන්තම් ජිවයක් මේ විඩාපත් පිරිසට ලැබුණි.දැන් පිරිස මහ වනාන්තරේය. ‘‘වළස්කෙමට’’ තව බොහෝදුරක් යායුතුය. මෙකල ජංගම දුරකතන තිබුණද මේ ප‍්‍රදේශය ඉන් ආවරණය නොවීය. වනජීවි දෙපාර්තමේන්තුවේ රේඩියෝ පණිවිඩ යන්ත‍්‍රය තිබුණ ද සංඥා අහළකවත් නැත. ‘‘වළස්කෙම’’ සුද්ධපවිත‍්‍ර කරන්නට ආවත් කිසියම් තැනක අඩුපාඩුවක් ඇති බව කවුරුත් අවබෝධ කරගත්හ. කොටි ත‍්‍රස්තයන්ද ගැවසෙන අඩවියේ නිරායුධව මෙසේ රැු`දී සිටීම අවදානම්ය. සිදුව ඇති අකරතැබ්බ පලටුපාන කාර්යාලයට දැනුම් දෙන්නටද ක‍්‍රමයක් නැත. ‘‘වළස්කෙම’’ ඉන්න අයට කුමක්වී දැයි තොරතුරක්ද නැත.
‘‘දැන් ඉතින් මේ අඩවියේ අපිට කතරගම දෙවියන් හැර වෙන කාගේ පිහිටක්ද?’’ හැමෝම දෙවියන්ට කියන්නට වුහ. ඉන්පසු පිරිස ‘‘වළස්කෙම’’ බලා කැබ් රථයෙන් ගමන් කරන්නට විය. ටිකදුරක් යද්දී ගුවන්විදුලි සංඥා යන්ත‍්‍රයට ‘‘හෝටන්තැන්නේ’’ වනජීවී කාර්යාලයේ ගුවන්විදුලි සංඥා යන්ත‍්‍රයෙන් නිකුත් වන පණිවිඩයක් ශ‍්‍රවනය විය. ඒ අනුව වාහනය නවත්වා තමන් පත්ව ඇති තත්ත්වය කියා එරුණු ට‍්‍රැක්ටරය ගන්න එන්න කියා පලටුපානට පණිවිඩය යවන්න යැයි ඉල්ලීමක් කළේය.එහෙත් ලැබෙන සංඥා දුර්වල තත්ත්වයක තිබිණි.
කෙසේ වෙතත් පැයක් පමණ ඉක්මගිය පසු යළිත් වතාවක් හෝටන්තැන්නෙන් සංඥාවක් ලැබිණි.ඉන් කියවුනේ පලටුපානට පණිවිඩය දුන් බවයි.
පිරිස සවස 03.00 පමණ වනවිට ‘‘වළස්කෙමට’’ ළ`ගාවිය.එතැන සිටි පිරිස ඒවනවිට  උග‍්‍ර පානීය ජල හි`ගයකටද මුහුණ දී තිබුණි. ගෙනගිය වතුරයි රොටී කිහිපයකුයි දී එතැන තිබු හිස් වතුර බුලි කැබ්රියේ පටවාගෙන හාල්පාන් ඕඩයට (කුඹුකන්ඔය පිටාර ගැලූවිට වතුරගලායන තැන) ගියේ බොන්න වතුර ගේන්නය. මේ අතරවාරේ කැබ්රියේ ටයරයක හුළං බැස්සේය. අතිරේක රෝදය සවිකරගෙන වතුරද පුරවාගෙන වළස්කෙමටද වතුරදී ට‍්‍රැක්ටරය එරුණු තැනට නුදුරු දංගහ ළ`ග සිටින අයට වතුර දෙන්නට කැබ්රථය පරිස්සමින් ඉදිරියට ඇදුණි.
දංගහ ළග සිටි අයත් ඒවනවිට ට‍්‍රැක්ටරය එරි  තිබු තැනට ගොස් සිටියහ.ඔවුන්ටද වතුර දී කැබ්රිය ආපසු එන්නට මැණික්ගග අසලට එද්දී පලටුපාන කාර්යාලය සමග ගුවන්විදුලි සංඥා මගින් සම්බන්‍ධවීමට හැකිවිය. ඒවනවිට සහායක කණ්ඩායමක් මේ පිරිස සොයා පලටුපානෙන් පිටත්ව තිබිණි. අතරමගදි ඔවුන්ද හමුවිය. ඒ අය පාන් රාත්තල් 16ක් ද රැගෙනවිත් තිබුණි.තිස්සමහාරාමයේ නිව් ප‍්‍රියකලා මෝටර් අධිපති රෝහිත මහතාද මඬේ එරුන ට‍්‍රැක්ටරය ගොඩ ගැනීමට සහායට අවශ්‍ය උපකරණද රැගෙන පැමිණ සිටියේය.වන සත්ව නියාමක මහේන්‍ද්‍ර පීි ගමගේත්, බංගලා භාරකරු ජි.එල්. කුලරත්නත් සිය ජීවිත නොතකා වලසුන් බහුල ‘‘වළස්කෙම’’ රැදි සිටිමින් එහි පවිත‍්‍රතා කටයුතු සංවිධානය කළේය.රියදුරු ආර්.එම්.පේරුසිංහ පසුනොබැස මහ කැලෑවේ රැදෙමින් සැමට සහාය විය.අනතුරටපත් පිරිසට පිහිට වෙන්නට සහායක පිරිස  රැගෙන ආ රියදුරු එස්.එම්. අනුර බණ්ඩාර විශාල මෙහෙයක් කළේය.
‘‘මේ හැමදෙනාගෙම උපකාර අපට ලැබුණේ කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන්.කොටි ත‍්‍රස්තවාදීන් ගැවසෙන මහ කැලේ අපිට අතුරු ආන්තරාවක් නැතුව එන්න කතරගම දෙවියෝ එදා පිහිට වුණා. අපේ ගිය කට්ටියගේ අඩුපාඩුවක් හින්දා මේ අකරතැබ්බ වෙන්න ඇති.’’ සිද්ධියට මුහුණදුන් දකුණු වනජීවි කලාපයේ  සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වන ප‍්‍රශාන්ත විමලදාස මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ සත්ත්ව හිංසාව කරන කිසිවෙකුටත් සමාවක් නැත.හැට ගණන්වල පානම විද්‍යාලයට ඉංග‍්‍රීසි ගුරුවරයෙක් පැමිණියේය.ඔහු නමින් දේව්දාස් විය.අග‍්‍රාමාත්‍යවරයෙකුවූ ඩඞ්ලි සේනානායක මහතාගේ එකම පන්තියේ මිතුරෙකි.ඔහු දඩයම් කිරිමට තරමක් කැමැත්තක් දැක්වූවෙකි. අඳින්නේ දිග කලිසමය.කෝට්බෑය නිතරම ඇගදාගෙන සිටියි.ඇතැම්විට දඩයම් සොයා පානම සිට කිලෝමීටර් හතළිහක් පමණ දුරැති කුමන ගම්මානයටද ගියේය.දඩයමේ ගිය දේව්දාස මහතා අන්තිමට කුමන ගමේ බින්න බැස්සේය. එහෙත් ඔහු ජිවිතයේ අවසන් කාලයේ සිහිමද ගතියෙන් පෙළෙන්නට වු අතර තනියම ඉංග‍්‍රීසි කියවන්නට විය. අවසානයේ ‘‘පිස්සු මහත්තයා’’යැයි ඔහු හැ`දින්විනි. 1990 හෝ 1991දී මියගිය ඔහුගේ සිරුර මිහිදන් කෙරුණේද කුමන ගම්මානයේමය. 1991දී කොටි ත‍්‍රස්තවාදී උවදුර නිසා කුමන ගම්වැසියන්  සිය ගමඅතහැර ගියහ.
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් පිළිබ`දව බොහෝ කතා ඇත. තම පියාවූ රුහුණු කතරගම සූනියන් දේවාලයේ තේවා භාර කපු මහතාව සිට දැනට අපඅතරින් වියෝවි සිටින කේ.ඞී.ජිනදාස මහතාට සිදුවූ අත්දැකීමක් විස්තර කළේ ඔහුගේ පුත් කේ.ඩි. දේවප‍්‍රිය මහතායි. දේවප‍්‍රිය මහතා සිය පියාගේ ඇවෑමෙන් රුහුණු කතරගම සූනියන් දේවාලයේ තේවා භාර කපුනිලයේ කටයුතු කරයි.ඔහු ලේඛකයෙක් හා මාධ්‍යවේදියෙකු වෙයි.
ජිනදාස මහතා කපු නිලයේ කටයුතු වලට අමතරව ඡායාරූප ක්‍ෂෙත‍්‍රයේද කටයුතු කළ නිසා බොහෝ දෙනෙක් ඔහු එකල ඇමතුවේ ‘‘ෆොටෝ මහත්තයා’’ යන අන්වර්ථ නාමයෙනි.සිය පරම්පරාවෙන් ලද ශාස්ත‍්‍රයක්වු ගුප්ත වෛද්‍යවිද්‍යාව ඔහු හො`දින් ප‍්‍රගුණ කර තිබුණි.
මේ සිදුවීම 1974 වසරේ මාර්තු මාසයේ වුවක් බව දේවප‍්‍රිය මහතා කියයි.ජිනදාස මහතා තනිවම දිනක් පාන්දරම කතරගම යාල වනඅඩවියේ කොච්චිපතාන ප‍්‍රදේශයට ගියේ ප‍්‍රාණජිව ඖෂධය සොය ගන්නය. කැලේ ඇවිද ඖෂධ සෙවු ඔහුට ඉර අවරට යනවා දැනුනේ නැත.
ඔහු ආපසු එන්නට හැරුණේය.ටික දුරක් එනවිට දැනුනේ පාර වැරදී ඇතිබවයි.අදුර වැටුණද පාර සොයාගත නොහැකිවිය. තමන් මංමුලාවී ඇතිබව ජිනදාස මහතාට අවබෝධවිය. පරිස්සමින් ඉදිරියට එද්දී වනසතුන් කිහිප දෙනෙකුත් අලි රංචුවකුත් ඈතින් දැකීමෙන් තරමක බියක්ද ඇතිවී තිබුණි.තරමක වැහි පොදයක්ද වැටීමෙන්  පසු ජිනදාස මහතා ස්කන්ධකුමාර දැහැන කියවා ‘‘අලිලව්වා පාගලා මරවන්නද හදන්නේ.මට පාර පෙන්නන්න’’ යැයි කියා කොළ අත්තක් කඩා ගහක එල්ලා තිබේ.
ඉන්පසු තමන් උදේ පැමිණි ඉස්ව්වයැයි  හිතේ විශ්වාසය ඇතිවු පැත්තට හෙමින් හෙමින් ගමන් කර ඇත. මෙලෙස දෙපැයක් පමණ ගමන් කරද්දී ඈත තැනකින් පන්දම් එළියක් යනවා දැක තිබේ.ඒ පැත්තට ඉක්මනින් ළංවූ ජිනදාස මහතා තරමක් උස් හ`ඩින් ‘‘ මම මේ අතරමං වුණ කෙනෙක් මට පාර පෙන්නන්න උදව් වෙනවාද?’’යැයි විමසා තිබේ. එවිට පන්දම් එළිය නැවතුන නිසා ජිනදාස මහතා ඒ දෙසට ළංව බලද්දී පන්දම අතැතිව සිට ඇත්තේ කතරගම ප‍්‍රදේශයේම පදිංචි පල්ලත්තර මුදලාලි යැයි කවුරුත් හ`දුන්වන හේන් ආදිය කරන මුදලාලි බව අ`දුනා ගත්තේය. කතරගම ප‍්‍රදේශයේ දශක හතරකට පමණ පෙරදී මුලින්ම මැණික් සම්පත ලැබුනේද ‘‘පල්ලත්තර මුදලාලිටය’’
‘‘අනේ මුදලාලි මට හරි වැඩක්නෙවැ වුණේ. පාර වැරදුණා. වලස්සුත්, අලිත් දැක්කා.දැන් තමයි මගේ ඇ`ගට ලේ ටිකක් ඉනුවේ.’’ යැයි කීවේය.
‘‘එනකොට බං හොයලා බලලා එන්න එපායැ’’ මුදලාලිගේ පිළිතුර විය. ‘‘දැං රෑ වුණා. වාඩියක ඉදලා පලයං’’ යැයිද මුදලාලි කී විට, ‘‘ගෙදර අය බයවෙලා පොලිසිත් ගිහිං ඇති. මට පාර පෙන්නුවොත් ඇති’’ ජිනදාස මහතා ආයාචනය කළේය.මුදලාලිගේ පන්දම පසුපස ජිනදාස මහතා ටික දුරක් අවේය.කරත්ත පාරක් හමුවෙද්දී, තරුවක් පෙන්නා ඒ තරුව දිහාව බලාගෙන ගියවිට වැඩහිටිකන්ද දෙසට යාහැකිබව පල්ලත්තර මුදලාලි පවසා තිබේ.
‘‘මුදලාලි දැන් ගෙදර එන්නේ නැද්ද?’’යි ජිනදාස මහතා විමසුවිට ‘‘මම හෙට උදේ එනවා’’ යැයි පවසා ආපසු හැරි ගොස් ඇත.ජිනදාස මහතා එතැන් සිට පාර හොයාගෙන ගෙදර එනවිට ගෙදර අය කලබලවි සිටියේය. ‘‘මං කැලේදි මං මුලාවුණා. හො`දවෙලාවට පල්ලත්තර මුදලාලි කැලේදි මුණ ගැහුණා. මිනිහා පාර පෙන්නලා ආපහු ගියා. මිනිහා මුණ නොගැහුනා නම් මං තවම කැලේ?’’ යැයි නිවසේ අයට පවසා තිබුණි.
දින දෙකකට පසු තමන්ට පාර පෙන්නූ මුදලාලිට ස්තුති කරන්නට ඔහුගේ නිවසට ජිනදාස මහතා ගියේ බුලත් පුවක් දුංකළ ආදිය රැගෙනය.
නිවසේ අය ජිනදාස මහතා දුටුවිට ආදරයෙන් පිළිගත්තේය.‘‘අනේ මම ආවේ මුදදාලිට ස්තුති කරලා යන්න. දවස් තුනකට උඩදිමම කැලේ අතරමං වුණා. මුදලාලි හම්බවුණ හින්දා නොමැරී ගෙදර ආවා.එයා ඊයේ එනවා කිව්වා ආවාද කියලා බලලා ස්තුතිකරලා යන්න ආවේ’’ යැයි කියන විට හැමදෙනාම පුදුමයෙන් වගේ ජිනදාස මහතා දෙස බලා සිටින්නට විය.
‘‘කවද්ද මහත්තයාට අපේ තාත්තා කැලේදි හමුවුනේ’’ පල්ලත්තර මුදලාලිගේ දරුවො පෙරලා විමසීය.
‘‘මේ පෙරේදා ?’’ ජිනදාස මහතාගේ පිළිතුර විය.
‘‘ඒක කොහෙත්ම වෙන්න බෑ මහත්තයා. තාත්තා ඔත්පල වෙලා මාස තුනක් තිස්සේ ඉන්නේ ඇඳේ.ගිහිං බලන්න’’ යැයි පල්ලත්තර මුදලාලිගේ නිවසේ අයපැවසු දෙයින් ජිනදාස මහතා පුදුමයට පත්විය. පල්ලත්තර මුදලාලි ද බලා ජිනදාස මහතා ගෙදර ඇවිත් සිදුවු දෙය ඒඅ යට පවසද්දී හැම දෙනාගෙම  විශ්වාසය වී තිබුනේ පල්ලත්තර මුදලාලිගේ වෙස් ගෙන පාර පෙන්නුවේ කතරගම දෙවියන් විය හැකි බවයි.
කපු මහත්තයා යැයි කටපුරා කතාකරන කිසිදාක  ‘‘බං, බොලං, වරෙන් පලයං’’ යැයි නොකියන  පල්ලත්තර මුදලාලි කැලේදි තමන්ට එසේ කතා කළේ ඇයිද යන්න අවබෝධ වු බව ජිනදාස මහතා පවුලේ අයට පවසා තිබුණි.

අජිත්ලාල් ශාන්තඋදය

කතරගම දෙවියන් 


යාල පිවිසුම් දොරටුව

නිදැල්ලේ වෙසෙන වනසතුන්

කේ.ඩී.දේවප්‍රිය

කේ.ඩී.ජිනදාස

http://lankadeepa.lk/index.php/articles/29772

Sunday, March 18, 2012

නිදන්ගල මුදුනෙන් මතුවූ අමුත්තා පෙරහර කරන්නැයි අවවාද කරයි


2012 මාර්තු මස 11 12:54:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කතරගම දේව අඩවියේ මෑතකදී වු හාස්කම් ගැන දිගින් දිගටම කතා කළෙමු.කතරගම දේවාලය වර්තමානයේ පිහිටි තැන ඉදිකිරීම සම්බන්‍ධ කතා පුවත් මහාවංශය, ජිනකලා වංශය, රසවාහිනී. මහාබෝධී වංශය, සහස්සවත්ථුපකරණය, සගසරණ වැනි පොත්වල ලියැවී තිබේ.

ඊට අමතරව කතරගම ප‍්‍රදේශයෙන් හමුවු සෙල්ලිපි ගණනාවක්ද මේ ඉතිහාසය වර්තමානයට කියාදෙයි. හෙන්නානිගල, කොට්ටදැමුහෙළ, බෝවත්තේගල සහ කෝනගල සෙල්ලිපි වලින්ද කතරගම රාජධානිදිය පිළිබද විස්තර කෙරෙන බව පුරාවිද්‍යාඥයෝ කියති.

කතරගම දෙවියන්ගේ උපත පිළිබදව ඉන්දියානු විශ්වාසවලට අමතරව ලාංකීය පැරැන්නන්ගේ මතයක් හෙළිකළේ කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු නිලය භාරව කටයුතු කරන සොමිපාල ටී.රත්නායක මහතාය.
රත්නායක මහතා පවසන කරුණු අනුව තෙවැනි ලංකා ගමනේදී කැලණියට වැඩි බුදුරජාණන් වහන්සේගේ කතරගම කිහිරි වනයට වැඩමවා තිබේ. එකළ රුහුණු රාජධානියේ රජකම්කර ඇත්තේ ‘‘මහාඝෝෂ’’ නම් රජකෙනෙකි. රජමාලිගයට කිලෝමීටරයක් තරම්වු දුරකින් කිහිරිවනය පිහිටා තිබී ඇත.
රජු උදෑසන කිහිරි වනයේ සිරි නැරඹිට එද්දි උයනේ එක් ස්ථානයක බුදුරැස් විහිදෙනු දැක එතැනට පැමිණ බුදුන් වැද බණ අසා බෞද්ධයෙකුවු වි තිබේ.
ඒ අවස්ථාවේ බුදුන් රජාණන් වහන්සේගෙන් ඉල්ලාගත් කේශධාතු නිධන්කොට කිහිරිවනයේ කිරිවෙහෙර මහාඝෝෂ රජුවිසින් ඉදිකර ඇත.මහාඝෝෂ රජු මරණින් පසු ඉන්දියාවේ සරවන විලේ  ඕපපාතික දෙවියෙකු ලෙස ඉපදී එම දෙවියන්ට ස්කන්ධ යන නම තැබු බව අතීත පුරාවෘතවල කියැවෙන බවද ප‍්‍රධාන කපු ධූරන්දර සොමිපාල ටී. රත්නායක මහතා කියයි.

මේ කාලයේ කතරගමට නුදුරු අක්කර විස්ස නම් ප‍්‍රදේශයේ නන්ද නම් වැදි නායකයෙකු සිට ඇත. මුවැත්තියක් අසල ඉපදුනු වල්ලිඅම්මා දෙවගන හැදිවැඩි ඇත්තේ මේ නන්දනම් වැදි නායකයාගේ රැකවරණ මැදය.ඉන්දියාවෙන් මෙහි පැමිණි බව කියන අරුණගිරිනාදන් නම් තවුසෙක් මේ ප‍්‍රදේශයේ භාවනානුයෝගීව වැඩ වෙසෙද්දී මිහිරි නාදයෙන් ගී ගයන රූමත් තරුණියක් දැක තිබේ.

අරුණගිරිනාදන් තවුසා සහ ස්කන්‍ධකුමරු අතර මිත‍්‍රත්වයක්ව පැවති අතර ඉන්දියාවට ගිය අරුණගිරිනාදන් ස්කන්‍ධ කුමරු හමුවී ගීගයන රූමත් තරුණිය ගැන දන්වා තිබේ. මේ තොරතුරු අසා ඇය සරණපාවා ගැනීමේ අදහසින් ස්කන්‍ධ කුමාරයා තම මිතුරන් දෙදෙනෙකුවු සිවලිංගම් සහ නබීර් යන  දෙදෙනා සමග පැමිණ වැඩහිටිකන්දේ ලැගුම්ගෙන තිබේ.  නබීර් යනු මුස්ලිම් ජාතිකයෙකි.

ස්කන්‍ධකුමාරයා වැඩහිටිකන්දේ සිට වල්ලි අම්මා තරුණිය බැලීමට යද්දී දුටුගැමුණු රජුද අනුරාධපුර බලා යන්නට යුදසේනාව සමග එදා කප්පකන්දර නදී ලෙස හැදින්වු වර්තමාන මැණික් ගග අසලට පැමිණ තිබේ. මේ කාලයේ එළාර රජු සමග දුටුගැමුණු රජු යුදවැදුනු සමය විය.

මාගම සිට පැමිණිම නිසා වු ගමන් වෙහෙස නිවාගැනීමට ගැල් ලිහා ගවයන්ටද තණ කවා,අහාර පිස අනුභවකර  විවේක ගන්නාලෙස සිය සේනාවට දුටුගැමුණු රජු පවසා ඇත.මේ ගැල්වල තිබී ඇත්තේ යුද්ධයට අවශ්‍ය දුනු- ඊතල ඇතුලූ යුද උපකරණත් සේනාවට අවශ්‍ය ආහාර ආදියත්ය. මේ කාලය වනවිට කිහිරිවනය සමීපයේ අෂ්ඨඵල බෝධිය පිහිටා තිබිණි. දුටු ගැමුණු රජු සේනාව රදවා අෂ්ඨඵල බෝධිය වන්දනා කරගෙන ඒමට පිටත්ව තිබේ.

එසේ යද්දී හේනක් දැක එහි ගොස් හේනේ සිටි වයසක කාන්තාවකගෙන් කෑමට යමක් ඉල්ලා තිබේ. පැමිණ සිටින්නේ දුටුගැමුණු රජු බව නොදත් මහලූ කාන්තාව තමා දුප්පත් තැනැත්තියක් බවත් කෑමට ඇත්තේ සුනුසහල් පමණක් බවත් කියා සුනුසහල් කිරිබතක් පිළියෙල කරදී ඇත.

උණු උණුවේ තැටියකට දැමු සුනුසහල් කිරිබත දුටුගැමුණු රජු අනුභව කර ඇත්තේ තැනින් තැනය.මෙය බලා සිටි මහලූ කාන්තාව පවසා ඇත්තේ ගැමුණු කුමාරයා යුද්ධ කරන ලෙස ආහාර අනුභව නොකර එක පැත්තක සිට පිළිවෙළකට අනුභව කරන ලෙසය.

වල්ලි අම්මා කුමරිය බලන්නට ස්කන්‍ධකුමාරයා සෙල්ලකතරගමට යද්දී දුටුගැමුණු කුමාරයාගේ සේනාව දැක ඇත්තේ මේ අතරතුරේදීය.මහලූ වේසයක් ගත් ස්කන්‍ධ කුමාරයා සෙබළුන් වෙත ගොස් ගැල්වල ඇත්තේ මොනවාදැයි විමසා තිබේ.නාදුනන මහල්ලාට බොරුවක් කිය යුතුයැයි සිතු සෙබළු මේවායේ ඇත්තේ ‘‘උ`දු’’ යැයි පවසා තිබේ. මහල්ලා නොපෙනී ගිය පසු ආහාර පිසීමට ගැල්වලින් ආහාර එළියට ගැනීමට බලද්දී ගැල් සියල්ලේම තිබු ආහාර ‘‘උදු’’ බවට පත්වීම නිසා සෙබලූ පුදුමයට පත්ව තිබේ.

අෂ්ඨඵල බෝධිය වැද ආපසු පැමිණි රජු ආහාර අනුභව කළේද යන්න සෙබළුන්ගෙන් විමසා ඇත.ඒ අවස්ථාවේදී සෙබළු මහල්ලාගේ කතාව පවසා සියලූම ආහාර ‘‘උදු’’ බවට පත්කළ මහල්ලා ගිය දෙස රජුට පෙන්වා දි තිබේ.

මේ මහල්ලා අසාමාන්‍ය පුද්ගලයෙක් විය යුතුයැයි සිතූ දුටුගැමුණු රජු මහල්ලා ගිය දෙස බලා යද්දී මැණික් ගග මැද සිටින මහල්ලා දැක ඔබ කවුරුදැයි විමසා ඇත.ඒ මොහොතේ විශාල ජල කදක් මැණික් ගෙග් ගලාවිත් ඇති අතර මහලූ වෙස්ගෙන සිටි ස්කන්‍ධ කුමාරයා සිටි තැන ජලයෙන් යටනොවී එතැන වටකර දෙපැත්තෙන් ජලක`ද පහළට ගලාගොස් තිබේ.

මහලූ වෙස් ගත් ස්කන්‍ධකුමාරයා රජුට ගග මැදට එන ලෙස ආරාධනා කර ඇත.එහෙත් විශාල ජල පහර එතැනට යන්නට බාධාවක් බව රජු දන්වා තිබේ.මහලූ වෙස් ගත් ස්කන්‍ධකුමාරයා පවසා ඇත්තේ රජුගේ අතේ ඇති අසිපතින් ජලය දෙබැකරගෙන එන ලෙසය. සිය අසිපතින් ජලයට පහරක් ගැසු විට ජලය දෙබෑවී  රජුට ගග මැද සිටින ස්කන්‍ධකුමාරයා ළගට යන්නට හැකිවී තිබේ. මෙය සැබැවින්ම ආශ්චර්යයක් නිසා මේ තැනැත්තා එසේමෙසේ කෙනෙකු විය නොහැකි යැයි රජු අවබෝධකරගෙන තමන් කවුද යන්නේ කුමකටද කියා විස්තර කර ඇත.

මේ ආශ්චර්යවත් පුද්ගලයා ගැන පැහැදීමක් ඇතිකරගත් දුටුගැමුණු රජු ඔහුට  වැද තමන් යන යුද්ධයෙන් දිනන්නට ආශිර්වාද ඉල්ලා ඇත.යුද්ධය දිනු පසු මේ අදෘශ්‍යමාන පුද්ගලයාට වැඩ සිටීමට රන් උලූ සහිත මාළිගාවක් තනවා දෙන බවට පොරොන්දුවී එතෙක්  වැඩහිටීමට තාවකාලික අතුපන්දලමක් සාදාදි යුද්ධයට පිටත්ව ගොස් තිබේ.

එළාර රජු හා යුද වැදුණු දුටුගැමුණු රජු යුද්ධයෙන් ජයගෙන තමන්වු පොරොන්දුව ඉටු කිරිමට කතරගමට පැමිණ ඇත.යුද්ධයට යද්දී අතරමගදී හමුවු පුද්ගලයා සොයාගන්නේ කෙසේදැයි සිටින අතරතුරදී වැඩහිටිකන්ද දෙසින් රතුඑළියක් විහිදෙනු දැක රජු එහිගොස් ඇත.

වැඩහිටිකන්දට ගිය දුටුගැමුණු රජුට කතරගම දෙවියන් ජිවමානව දැක ගැනීමට ලැබුනු බව ජනප‍්‍රවාදයේ එන බව කතරගම මහ දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි.

එතැනදී පෙරවු පොරොන්දුව සිහිකර රන්උලූ සහිත දේවාලය තැනීමට ස්ථානයක් පෙන්වාදෙන ලෙස දුටුගැමුණු රජු කතරගම දේවියන්ගෙන් ඉල්ලා තිබේ. කලියුගයේදි මිනිස්සුන්ට දැඩි ආර්ථික අහේනියක් එන නිසා රන්උලූ මාළිගාවක් තැනුවහොත් මිනිසුන් අතින් ඊට හානිවිය හැකි බැවින් එය තම නමටද අගෞරවයක් වන බව දන්වා රණ්කොත් මාලිගයක් පමණක් ඉදිකරන ලෙස රජුට දන්වා තිබේ.

ඉන්පසු වැඩහිටි කන්දේ සිට ඊතලයක් විද්ද කතරගම දෙවියන් එම ඊතලය වැටුණු තැන දේවාලය ඉදිකරන ලෙස දුටුගැමුණු රජුට දැන්වු බවද එම ජනප‍්‍රවාදයේ කියැවෙයි.

වර්තමාන කතරගම දේවාලය තනා ඇත්තේ ඒ ඊතලය වැටුණු තැනය.මහාඝෝෂ රජුගේ මාළිගාව තිබුණේ එතැන යැයි විශ්වාසයක්ද පවතී. දේවාලය තැනීම සදහා ඉන්දියාවෙන්  වාස්තු ශිල්පින් ගෙන්වාගෙන තිබේ. දේවාලය තැනු පසු දුටුගැමුණු  රජ්ජුරුවන්ගේ වස්තූන් එහි තැන්පත්කර මෙම දේවාලයේ පුදපුජාවන් ඉරහද පවතිනා තුරු පැවැත්වීම පිණිස පන්සිය පනස් පස් දෙනෙකුගෙන් යුතු කපුපරපුරක් පුහුණු කර ඔවුන්ට බාරදී තිබේ. ඔවුන් පුහුණු කරවීමට ද ඉන්දියාවෙන් බෙරවාදන ශිල්පීන් ද දුටුගැමුණු රජු විසින් ගෙන්වාගෙන  ඇතැයි පැවසේ.

මේ රාජකාරීකරුවන්ට ජීවත්වීම පිණිස රජුගේ ඉඩම් ප‍්‍රදානය කර ඇත. අක්කර දොළොස්දහසකින් යුතු නන්දිමිත‍්‍ර පරපුරට දුන් කටගමුව නින්දගම මේ රාජකාරීකරුවන්ට දුන් ඉඩම් යැයි සැලකේ. ඊට අමතරව තවත් අක්කර අනුදහසක් වෙන්කර ඒවා බදුදී ලබන ආදායමෙන් කතරගම ඇසළ පෙරහර මංගල්‍යය, අවුරුදු මංගල්‍යය සහ ඉල් පෙරහර පැවැත්වීමට දුටුගැමුණු රජු නියම කළ බවද ඉතිහාසයේ කියැවෙයි.

එතැන් පටන් නොකඩවා කතරගම පෙරහර පවත්වා තිබේ. නමුත් ක‍්‍රිස්තුවර්ෂ 1638දී ලංකාව ආක‍්‍රමණයකළ  ඕලන්ද ජාතිකයන් ක‍්‍රි:ව: 1700දි පමණ රුහුණු පුරවරයද ආක‍්‍රමණය කර වැව් අමුණු කඩා බිද දැමීය. මේ හේතුවෙන් කුඹුරු පුරන්වී ගියේය. ගොඩවගාවන් ද වැනසී ගියේය. කතරගම දේවාලයට ලැබෙන ආදායම නැතිවී ගියේය. පෙරහර කිරිමට විශාල බාධාවක් විය.

කතරගම දේවාලයේ තේවාවන් බාරව සිටි කපුපරපුරේ ඇත්තෝ එදා දේවාලයේ බාරකාරත්වය ඉසිලූ මහබෙත්මෙ (වර්තමානයේ බස්නායක නිළමේ) හමුවීමට කටගමුවේ සිට මාගම වලව්වත්තට පැමිණ ඇත. හැන්දෑවේ අදුර වැටීමෙන් පසු කපු පරපුරේ අයට මහබෙත්මෙ හමුවී තිබේ. අදායම නොමැතිව පෙරහර මංගල්‍යය පැවැත්වීමට නොහැකිවීම ගැන දෙපාර්ශ්වය සාකච්ඡාකර කරමින් සිට ඇත.

ඔවුන් සාකච්ඡා කළ ස්ථානයට නුදුරින් පිහිටි නිදන්ගලෙන් එකවරම එළියක් විහිදුවා අදෘශ්‍යමාන පුද්ගලයෙක් පිරිස අතර දිස්වි තිබේ. ‘‘සතර දිග්බාගයෙන් බැතිමතුන් ගෙන්වා දෙන්නම්.ඒ බැතිමතුන් දෙන පඩුරුවලින් පෙරහර කරලා උන්ට ආශිර්වාද කරපල්ලා.පෙරහර නොකර ඉන්න එපා’’යැයි පවසා එම අදෘශ්‍යමාන පුද්ගලයා අතුරුදන්ව තිබේ.එම සිද්ධියෙන් පසු කතරගමට විවිධ ජාතීන් විවිධ ආගමිකයන් වැල නොකැඞී එන්නට පටන්ගෙන තිබේ.එදා  නිදන්ගල මුදුනේ දිස්වු අදෘශ්‍යමාන පුද්ගලයා වෙන කිසිවෙක් නොව කතරගම දෙවියන් යැයි විශ්වාසයක් ඇත.

අජිත්ලාල් ශාන්ත උදය

කතරගම අෂ්ඨඵල බෝධිය

කතරගම දේවාලය ඉදිරිපස අතුසෙවිලි කර ඇති කොටස අතුපන්දලම ලෙසින් හදුන්වයි.

කතරගම කිරි වෙහෙර

කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු නිලය හොබවන සොමිපාල ටී රත්නායක මහතා

http://www.lankadeepa.lk/index.php/articles/30767


Search This Blog