dunhinda.com

Tuesday, February 9, 2016

වාෂ්ප දුම්රිය වසර 15කට පසු උඩරටට යයි


ලෝකයේ රටවල් 10 ක ඡායාරූප ශිල්පීන්  41 දෙනෙකුගේ සමන්විතව පසුගිය (01 දා)  කොළඹ කොටුවෙන්  ගමන් ආරම්භකළ වාෂ්ප දුම්රියේ දින 7ක චාරිකාව අද (07දා) අවසන් කෙරිණි.

ජර්මනිය,ස්විස්ටර්ලන්තය, බෙල්ජියම,ස්කොට්ලන්තය , එංගලන්තය, ජපානය , නෙදර්ලන්තය , ප්‍රංශය ,කැනඩාව , ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝමෙම සංචාරක කණ්ඩායමට  ඇතුළත් වූහ.

වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වූයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය.

පේරාදෙණිය - බදුල්ල දුම්රිය  දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්ෂක ආනන්ද කරුණාරත්න මහතාගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුම්රිය ධාවනය විය.

දුම්රිය මග දෙපස විශාල පිරිසක් මෙම දුම්රිය දැක බලා ගැනීමට රැස්ව සිටියහ.

( පාලිත ආරියවංශ ) 2016-02-07

www.ada.lk









Badulla

Tuesday, February 2, 2016

වෙල්ලස්‌සේ විමුක්‌ති සටනේදී ඌවෙන් ලැබුණු දායකත්වය



පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් ගොඩනැඟූ යටත් විජිතවාදයේ ගොදුරක්‌ බවට ශ්‍රී ලංකාව ද පත්විය. එහිලා භූගෝලීය පරිස්‌ථිතිය ද ප්‍රබල හේතුවක්‌ විය. උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය උතුරු ආසියානු ආක්‍රමණවලට අවතරණ බාධකයක්‌ වූ අතර මධ්‍ය ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටිය ද දක්‍ෂිණාපථයේ චෝල අධිරාජ්‍යවාදීන්ට උතුරු ඉන්දියාව යටත් කිරීමේ අවතරණ බාධකය ද විය. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්‌ වීමෙන් සුබවාදී වාස්‌තවික තත්ත්වයන් ඇතිවූවා සේ ම අසුබවාදී වාස්‌තවික තත්ත්වය ද ලංකා ඉතිහාසය පුරාම ඇතිවිය.

සමුද්‍රාධිපත්‍යය ලැබූ අපරදිග පාලකයන්ගේ අධිරාජ්‍යවාදී විජිත ග්‍රහණයේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක්‌ විය. එය භෞතික වූ සාධකයකි.



ඉංග්‍රීසි පාලනය මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ ද උඩරටට එල්ල වී මාතෘ භූමියම ඔවුන්ගේ ග්‍රහණයට නතු විය. 1818 විමුක්‌ති අරගලය කැරැල්ලක්‌ ලෙසින් අර්ථකථනය කිරීම සාවද්‍ය වුවකි. එය සැබෑ විමුක්‌ති අරගලයකි.

”1815 දී ආරම්භ වූ උඩරට ඉංග්‍රීසි පාලනය බිඳ දමා ස්‌වදේශිකයන්ගේ රජයක්‌ පිහිටුවීමේ අදහසින් 1818 ඔක්‌තෝම්බර් මස අරඹා ගෙන යන ලද්දා වූ මුළු උඩරට ප්‍රදේශය පුරාම වාගේ ව්‍යාප්ත වී ගිය මහා සිංහල පෙරළිය උඩරට කැරැල්ල නමින් හැඳින් වේ. ප්‍රතිෂ්ඨාපිත රජයකට විරුද්ධව ගෙන යන ලද යුද්ධ ව්‍යාපාරයක්‌ නිසා ”කැරැල්ල” නමින් හංවඩු ගැසුන එය ඇත්ත වශයෙන් ම සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන නොවී දැයි යන්න ඉතිහාසඥයන් බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයකි.

(සිංහල විශ්වකෝෂය, iv කාණ්‌ඩය, 392 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

උඩරට ගිවිසුමට බලපෑ හේතු

1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ නායක්‌කර් වංශිකයන්ගේ දූෂිත පාලනයයි.

1815 ඉංග්‍රීසීන් උඩරටට පා තබන විට ඔල්වරසන් දී පිළිගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රජා පීඩාකාරී පාලනයට නතු වූ උඩුනුවර, යටිනුවර, සබරගමු ප්‍රදේශවාසීන් පමණි.

”උඩරට සිංහල ජනතාව දූෂිතවූ ක්‍රෑර පාලනය නිසා සිංහල කිරුළ දරා සිටිමේ අයිතිය නැතිකරගත් සේ තමන් සැලකූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් රජ පදවියෙන් පහ කිරීමේ කාර්යය සඳහා ඉංග්‍රීසීන්ට තම සහාය දුන්නා විනා උඩරට ස්‌වාධීන රාජධානිය, රාජ්‍යත්වය හෝ පාලන පද්ධතියක්‌ ඉංග්‍රීසීන්ගෙන් ලබා ගැනීමට සිතා ඔවුන් හා එක්‌ නොවූහ.” (සිංහල විශ්වකෝෂය iv කාණ්‌ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව ඔවුන්ගේ පර පීඩනයන්ගෙන් මුදවා ගැනීම සඳහා ද අවසන් වශයෙන් පරම්පරා තුනක්‌ දේශව්‍යාප්ත ප්‍රජා පීඩනයක්‌ ගෙන ගිය මලබාර් ආධිපත්‍යය වෙනස්‌කරලීම සඳහා ද තමන් යටතේ තබා ඇති බලසම්පන්න යුද ආම්පන්න යෙදීමට උතුමාණන් වහන්සේ තීරණය කර ඇත්තාහ” යි ද කියවේ.

(සිංහල විශ්වකෝෂය iv කාණ්‌ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව විෂයෙහි නායක්‌කර් වංශිකයන් දැක්‌වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ද අමානුෂික විය. රොබට්‌ නොක්‌ස්‌ මහතාගේ ”එදා හෙළදිව” කෘතිය පෙන්නුම් කරන දරුණු දඬුවම් ක්‍රම 1815 වන විට ද සිංහල රාජ්‍ය තුළ විය. එම දරුණු දඬුවම් ක්‍රම ද රාජ්‍ය විරෝධී ගිවිසුම්වලට හේතු වූ කරුණක්‌ විය හැකිය.

උඩරට රාජ්‍යයට එරෙහිව ගිවිසුම අත්සන් කළේ ජාතියේ අයිතීන් දිනා ගැනීමටය. එහෙත් 1815 ගිවිසුම නොබෝ දිනකින් ඉංග්‍රීසීහු කඩ කළහ. හෙන්රි මාෂල් දක්‌වන පරිදි

”දැන් නුඹලා රජු සිහසුනෙන් පහ කර අවසානය. නුඹලාගෙන් අපට කිසිවක්‌ ඕනෑ නැත. එහෙයින් දැන් යන්නට හොඳයි” උඩරට හැරදමා ඉංග්‍රීසීන් මුහුදුකරයට යන්නේ කවදා දැයි විමසූ ඇතැම් සිංහලයෝ පැවසූහ.” යන්නෙන් සිංහල විශ්වකෝෂය සඳහන් කරයි.

උඩරට ජනතාවගේ ඉංග්‍රීසි විරෝධී විමුක්‌ති සටනට බලපෑ හේතු

i. දිගු කලක්‌ දිවි දෙවැනි කොට ආරක්‍ෂා කළ ස්‌වාධීනත්වය නැතිවීම.

ii. ප්‍රජා පීඩක හිංසාවාදී පාලනයක්‌ ඇති වීම.

iii. ජාතික ආගමික චාරිත්‍ර වටා ගොනු වී තිබුණු සමාජ ආර්ථික රටාවන්ට හානි පැමිණිම යන මුඛ්‍ය හේතූන් විමුක්‌ති සටනට ගොඩනැඟුණු සාධකයන්ය.

1815 උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත් වූයේ උඩරට වැසියන්ගේ හෝ රදළයන්ගේ කැමැත්තෙන් නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පීඩාකාර පාලනයෙන් මිදීමට ඉංග්‍රීසීන්ගේ සහාය පැතුවා විනා රාජ්‍ය ස්‌වාමීත්වය ලබා දීමට උඩරට වැසියන් කැමැති නොවූහ. නායක්‌කර් වංශිකයන්ගේ ප්‍රජා පීඩාකාරී නීතිරීතිවල බිහිසුණු බව ඇහැළේපොල කුමාරිහාමිට වංගෙඩියේ දා දරුවන් කෙටීමට නියම කිරීමෙන් පැහැදිලි වෙයි.

බුදු සමය හා සිංහල චාරිත්‍රත් කඩ නොකොට පවත්වා ගෙන යැම ඇතුළු ගිවිසුමට උඩරට නායකයන් අත්සන් කළ ද ඉංග්‍රීසීන් විසින් ගිවිසුම කඩ කරනු ලැබීය. බුද්ධාගම හා රදළ ප්‍රධානීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුපුරුදු පරිදි 1815 ගිsවිසුමෙන් ආරක්‍ෂා කිරීමට පොරොන්දු වුවද අන්‍ය ලබ්ධික ඉංග්‍රීසීන්ට බුදු සමය හා ඒ හා බැඳුණු සංස්‌කෘතික සමාජ රටාව පිළිබඳ අවබෝධයක්‌ නොමැති විය. ගිවිසුමට පෙර එසවූ ඉංග්‍රීසි කොඩිය ඇදදමා පෑගූ වාරියපොළ සුමංගල හිමියන්ගේ වීර ක්‍රියාවලියෙන් විජාතික පාලනය ඇති වීමටත් පෙර ජාතිය සතු ප්‍රතිවිරෝධය සංකේතවත් විය.

ශාසනයේ ආරක්‍ෂාව හා භාරකාරත්වය පිළිබඳව පැවැති රාජ්‍ය උරුමය අන්‍ය ලබ්ධික පාලනයෙන් වෙනස්‌ වීම ද උඩරට ජනතාවගේ රාජ්‍ය විරෝධීභාවයට හේතු විය. බ්‍රිතාන්‍යයන් පන්නා දමා සිංහල රජෙකු පත් කිරීමට වරම් යදිමින් බින්තැන්නේ සහ කතරගම දේවාලවලට පුද පඬුරු යෑවීම ගැන 1816 උඩගබඩා නිලමේ වූ මඩුගල්ලට විරුද්ධව චෝදනා නගා නඩු විභාගයෙන් වරදකරු කොට යාපනයේ සිර අඩස්‌සියේ තබන ලදී. රදළවරුන්ට තිබුණ විශේෂ පිළිගැනීම නැතිවීමද, භික්‍ෂුන් වහන්සේට නිගරු කිරීම ද, පිදිය යුත්තන් පිදීමේ සමාජ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම ද, ඉංග්‍රීසී විරෝධි ආකල්පය ප්‍රචලිත වීමට හේතු විය. සිංහලයන් පිළිකුල් කළ හරක්‌ මැරීම, විහාර දේපොළ මංකොල්ලකෑම, සොරකම් කිරීම වැනි ප්‍රචලිත නොවූ දුරාචාරයන්ට ඉංග්‍රීසීන් හා ගැති කණ්‌ඩායම්වල සහාය ලැබීම ද විමුක්‌තිකාමී හෘදයස්‌පන්දනය වේගවත් කිරීමට හේතු විය.

අදිකාරම් දිසාව, මඩිහේ ලේකම් යන තනතුරු සියල්ල රදළ වංශික පවුල්වල අයට සීමා වී තිබිණි. තවලම් හිමිකරුවන් වූ මුස්‌ලිම්වරුන් ප්‍රවාහන කටයුතු මුහුදුබඩ ප්‍රදේශයේ සිටම සිදු කළේය. ඒවා පාලනය කළේ සිංහල ප්‍රධානීන් ය. ඔවුන්ට තෑගි භාණ්‌ඩ හා බදු මුදල් ද ලැබිණි. මුස්‌ලිම් සිංහල භේදය ඇති කළ ඉංග්‍රීසීන් මුස්‌ලිම්වරුන්ගේ පක්‍ෂපාතීභාවය ඔවුන් වෙත යොමු කරවා ගනු ලැබීය. ඉංග්‍රිසීන් යටතේ මුස්‌ලිම් පෙරහැරක්‌ පැවැත්වූ අවස්‌ථාවේද ඉංග්‍රීසීන්ගේ වරප්‍රසාද ලැබීය. මෙහිදී බෞද්ධ භික්‍ෂුවකට හිරිහැර කළ අතර ඉංග්‍රීසීන් කෙරෙහි සිංහලයන්ගේ අප්‍රසාද විය. මුස්‌ලිම්වරුන් ගැන සඳහන් කළ ඉංග්‍රීසි පාලකයන් ”ඔවුන් අපේ ම ජන කොටසක්‌ සේ සැලකිය හැකි බැවින් මේ ප්‍රදේශයට යුද හමුදා සේනාංකයක්‌ අවශ්‍ය නැතැයි මටසිතේ” යනුවෙන් වෙල්ලස්‌ස ප්‍රදේශය සම්බන්ධයෙන් මේජර් හාඩ් ආණ්‌ඩුකාරවරයාට ලියා යවා ඇත. වෙල්ලස්‌සේ මඩිහේ ලේකම් ධුරය ඉංග්‍රීසිහු හජ්ජි මරික්‌කාර් නම් මුස්‌ලිම් ජාතිකයාට පැවරිණි. සිංහල රදළ පවුල්වලට අයත් මෙම ධුරය අන්‍ය ආගම් ලබ්ධිකයකුට පැවරීම නිසා ඌවේ ජනතාව වඩාත් කුපිත වූහ.

උඩරට පාලන ක්‍රමය වෙනස්‌ කළ නොහැකි ලෙස රාජාණ්‌ඩුවට හා සම්බන්ධ වී තිබිණි. නිතර දෙවේලේ දකින රජෙකුට සිංහලයන් පුරුදු වී සිටියේය. කිසිදින නොදකින රාජ්‍යත්වයක්‌ අපේක්‍ෂා නොකළේය. ඉංග්‍රිසීන් උඩරට පදිංචිවීම ද අපේක්‍ෂා නොකළේය. ගිවිසුමේ 04 වැනි වගන්තියෙන් ප්‍රධානීන්ගේ වරප්‍රසාද හා බලතල 12 වැනි වගන්තියෙන් ඛණ්‌ඩනය වන ආකාරයක්‌ දිස්‌විය.

”බුද්ධ ශාසනය හා දේවාලගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑය යන එහි කටයුතු ද සංඝයා ද විහාරස්‌ථාන ද දේවාල ද පවත්වන්ඩ ඕනෑය” යනුවෙන් සඳහන් ගිවිසුමේ 05 වගන්තිය ඛණ්‌ඩනය කළේය. ඉංග්‍රීසීහු මහනුවර සෙමනේරියක්‌ ඇරඹීමට ක්‍රියා කිරීම එක්‌ නිදසුනකි. ඉවැන්ජලිකන්වාදීහු ක්‍රිස්‌තියානි ආගම උඩරට ව්‍යාප්ත කිරීමට ද ක්‍රියා කළේය.

ගිවිසුම අත්සන් කළ ද දේශයේ අනන්‍යතාවය උල්ලංඝනය වීම පිළිබඳ ජනතාවගේත්, භික්‍ෂුන් වහන්සේගේත් නොසතුට පළ වූ බව වාර්තා වේ.



සෙංකඩගල සිට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක්‌ බලා ගමන් කළ යතිවරයන් වහන්සේ නමකගේ පහත සඳහන් ප්‍රකාශයෙන් සිංහලයන්ගේ අසරණබව කොතෙක්‌ දැයි පැහැදිලි වේ.

”අනේ කූඹියනේ

තොපටත් රජෙක්‌ ඉන්නේ

අපට නෑ ඉන්නේ

ඒ නිසාවෙන් අප තැවෙන්නේ

රජෙක්‌ ලැබුනෝතින්

කොඩි සේසත් නගන්නේ

බෙර හසුරුවන්නේ

සාදු නාදෙන් ගිඟුම් දෙන්නේ

ජාතික ස්‌වාධීනත්වය පිළිබඳ නිජබිමක්‌ වූ ඌවේ සටන් ව්‍යාපාරය ඉහත කී කරුණ නිසා සමාරම්භ විය.

වෙල්ලස්‌සට ලැබුණු රාජ්‍ය සම්මානය

ඌව වෙල්ලස්‌සේ අනභිභවනීය සටන්කාමීහු සිටියහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී කරන ලද යුද්ධාභ්‍යාස පෙළපාලියකදී ලංකාවේ අග්‍රේෂ්වර ධනුර්ධර්යා වශයෙන් ජය ගත්තේ වෙල්ලස්‌සේ වැසියෙකු බව එක්‌ ජනකතාවක සඳහන් වේ. ඔහුගෙන් පැවතෙන්නෝ අදත් දුනුකාර මුදියන්සේලා නමින් වෙල්ලස්‌සේ ගම් කීපයක පදිංචිව සිටිති.

(රසවාහිනිය, 1917 ii මාර්තු 09 කලාපය, 11 පිටුව)

විමුක්‌ති අරගලයේ ඇරඹුම

උඩරට රජ කළ නායක්‌කර් වංශයෙන් පැවැත එන අයෙකු කියන සැකකටයුතු අමුත්තෙකු වෙල්ලස්‌සට ආසන්න ඌවේ ගිනිකොන පෙදෙසේ දී උඩරට සංඝයා වහන්සේ කීපනමක්‌ ද සමඟ දක්‌නට ලැබුණු බව ඌවේ දිසාපති පදවිය දැරූ විල්සන්ට දැන ගන්නට ලැබිණි. විල්සන් විසින් එම තොරතුරු උඩරට පෙදෙසේ පරිපාලන භාරව සිටි ප්‍රධානියා වූ ජෝන් ඩොයිලි වෙත ක්‍රි. ව. 1817 සැප්තැම්බර් 11 වැනි දින දක්‌වන ලදී. ඌවේ කැරැල්ල සම්බන්ධයෙන් ලැබුණ පළමුවන තොරතුර මෙය විය.

(ඌව වංශකථා II, 215 පිටුව)

මේ අනුව අමුත්තා අල්ලා ගැනීමේ කාර්ය හ-ජි මුහන්දිරම්ට පැවරුණු අතර ඒ අතර අමුත්තා කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ඊතල රැගත් වැද්දන්ගෙන් යුත් හමුදාවක්‌ සමඟ ඌවට ඇතුළු වී වෙල්ලස්‌ස හා බින්තැන්න දෙසට ගිය බව ආරංචි වූ හ-ජි මුහන්දිරම් හා මුස්‌ලිම්වරු කීපදෙනෙකුගෙන්යුත් හමුදාවක්‌ ඔහු සමඟ ලුහුබැඳ ගියබවත් වෙල්ලස්‌සේ පින්නවැල්ලේදී ආයුධ රැගත් පිරිසක්‌ විසින් හතරදෙනකු අල්ලා ගත් බවත් ඌව වංශකථාව පෙන්වා දෙයි. එසේ වුවද බූටෑවේ රටේ රාළට හ-ජි අල්ලා ගන්නට හැකි විය. හ-ජි දෙයියෝ නමින් හැඳින විල්බාවේ හෙවත් දොරේසාමි නමැති සිහසුනට උරුම කී අය කරා යෑවීම නිසා විල්සන් කලබලයට පත් විය.

මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන්

මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන් උඩරට රාජ්‍යයට අයත් ඌව ප්‍රදේශය මහනුවර රාජ්‍ය සමඟ දැඩි සබඳතා පැවැත්වීමට භෞතික පරිසරයෙන් බාධා ගෙන දුන්නද උඩරට රාජ්‍ය නායකයන් පැමිණ නවාතැන් ගත් ස්‌ථානය වූ වර්තමාන කැප්පෙටිපොල ගවරම්මානයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය මධ්‍යස්‌ථානයේ පදිංචියට පැමිණියේය. විල්සන් බංගලාව නමින් පසු කළ ප්‍රචලිත විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසුව මෙකී මධ්‍යස්‌ථානය ඌවේ දිසාපති හැටියට පත්ව ආ විල්සන් නමැති අයගේ බල මධ්‍යස්‌ථානය විය. කැප්පෙටිපොළ බලකොටුව වර්තමානයේදී ද පවතින අතර අසුන් රැඳවූද, සේනාව සංවිධානය කළා වූද, මධ්‍යස්‌ථානය ලෙස මෙම බලකොටුව වැදගත් විය. ගවරම්මාන විල්සන් බංගලාවේ සිටි විල්සන් කැප්පෙටිපොල කොටුවේ සේනා සංවිධානයේ සිටි ඉංග්‍රිසීන්ගේ අශ්ව සේනාව කැටුව කෙටේරවෙලට පැමිණි බව සඳහන් වේ. ඔක්‌තෝබර් 14 දින වෙල්ලස්‌ස බලා පිටත් වූවේ හ-ජි බේරා ගැනීම සඳහා ය. පින්නවැල්ලට එන විට ඔහුට මුස්‌ලිම්වරු කීපදෙනෙකු පමණක්‌ දක්‌නට ලැබිණි. විල්බාවේ සමග සෙසු පිරිස්‌ ගෙවල් හැරදමා ගොස්‌ තිබිණි. හිරබාරයට ගත් හ-ජිද බින්තැන්නට ගෙන ගිය බව විල්සන්ට දැන ගන්න ලැබිණි.

මල්හෑවගමට අයත් මීගහපිටියේ රටේ රාල ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩුණු දේශප්‍රේමී නායකයෙකි. මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන් කොටේරවෙලට එන බව දැන ගත් මීගහපිටියේ රටේ රාල පිරිස කැටුව පැමිණ ඊ සැරයක්‌ යෑවූ බව ද එමගින් ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බව ද සඳහන් වේ.

(ඩී. පී. වික්‍රමසිංහ මහතා, රසවාහිනිය. 1967 මාර්තු ii කාණ්‌ඩය, 9 කලාපය 12 පිටුව)

බූටෑවේ රටේ රාළ

බූටෑවේ රටේ රාළ මේ වන විට විමුක්‌ති අරගලය මෙහෙය වූ ප්‍රබල නායකයකු විය. බූටෑවේ රටේ රාළගේ නම ඇසූ පමණින් ඌවේ සිංහලයන් යුද පෙරමුණට ආ බව කියවේ. 1818 අප්‍රේල් 18 ඉංග්‍රීසි හමුදාවේ සිටි මැලේ භට පිරිසක්‌ සිංහලයන්ට පක්‍ෂපාතී කර ගැනීමට පවා උත්සාහ ගත්තේය. එය සිංහලයන්ගේ උගුලක්‌ බව රොබට්‌ බ්‍රවුන්රිග්ගේ මතයයි. පස්‌සර ටිකිරි මල්ලියාගේ සාක්‍ෂියේදී බූටෑවේ රටේ රාළගේ නම කීප වාරයක්‌ සඳහන් විය. රාජ ප්‍රතිරූපකයා ඉතාමත් ළඟින් කටයුතු කරමින් ඌවේ කැරැල්ල ඇවිලීමට ක්‍රියා කළේය. බූටෑවේ රටේ රාළගේ නිවසට විල්සන් යන විට ඔහුට දක්‌නට ලැබුණේ ඊතල රැගත් දෙසීයක්‌ රැකවල්ලා සිටි බවයි.

”විල්සන් විසින් ඔවුන් සිය පක්‍ෂයට හරවා ගන්න ප්‍රයත්න දැරූ නමුත් බූටෑවේ රටේ රාළගේ පිළිතුර වූයේ විල්සන් සමඟ මිතුරෙකුගේ මට්‌ටමින් සාකච්ඡා කිරීමට කිසිසේත්ම නැති බවත් සතුරෙකු වශයෙන් මුහුණ දීමට කිසිම බියක්‌ නැති බවත් ය. ඒ අනුව විල්සන්ගේ පිරිස විසින් ඔවුන්ට පහර දීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. එතැනින් ඉදිරියට ගිය විල්සන් 16 දින කොටේරවෙලට ළඟා වෙද්දී එහිද දුණු ඊතල රැගත් හයසීයක හත්සීයක පිරිසක්‌ රැස්‌ව සිටි බව දක්‌නට ලැබිණි. එතැනදී ද ඔහුගේ සාම සාකච්ඡා අසාර්ථක විය. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පැන නැඟී ඇති මෙම විරුද්ධත්වය සුළුපටු එකක්‌ නොවන බවත්, එය මැඬලීමට තමා සතු බලය සහ ශක්‌තිය ප්‍රමාණවත් නොවන බවත් අවබෝධ කොටගත් ඔහු පොල්වත්ත සහ තල්දෙන හරහා වූ වෙනත් මාර්ගයකින් බදුල්ල බලා ආපසු යන්නට පිටත් විය. අතරමඟ සැඟවී සිටි කණ්‌ඩායම් ඔවුන්ට අවමන් කර කෑ ගැසුවා විනා කිසිම හිරිහැරයක්‌ කළේ නැත. එහෙත් ඊතළ වත්ත දේවාලය අසලදී මුහුණදීමට සිදුවූ තත්ත්වය ඉතාම ශෝචනීය විය. දේවාල අසළ ලැඟුම්ගත් විල්සන් ගේ පිරිස ගිමන් හරිමින් සිටියදී කීපදෙනකු සමඟ විල්සන් අසල වූ ඇළට ගොස්‌ දිය නෑමට සුදානම් වෙද්දී එතනට පැමිණි වැද්දන් කීපදෙනකු ඔහු සමඟ සාකච්ඡාවට කැමැතිබව පවසා ඔහු තනිකොට ස්‌වල්ප දුරක්‌ රැගෙන ගොස්‌ දුනු ඊතල වැස්‌සක්‌ මෙන් ඔහු වෙත එවා ඔහු මරා දමන ලදී. ඒ බව දැනගත් ඔහුගේ පිරිස එතැනට එන විට ඔහුගේ මළකඳවත් නොවීය.

(ආචාර්ය මාලනී ඈඳගම, ඌව වංශකථාව I 215 පිටුව)

මේ අනුව විල්සන්ගේ ඝාතනය ගැන මත දෙකක්‌ ඇති බව පැහැදිලිය.

”කැරැල්ල අසාර්ථක වන විට වැදි රටේ මාරගල කන්දේ ගල්ලෙනක සැඟවී සිටියදී බූටෑවේ රටේ රාළ අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. එතුමා සැඟවී සිටි තැනට මග පෙන්නුවේ කොහුකුඹුරේ රටේ රාළගේ පුත්‍රයා යයි කියනු ලැබේ. 1818 ඔක්‌තෝබර් 20 දින බිබිලේ කොටබෝවේදී අධිරාජ්‍යවාදීහු මේ ඌවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ දිවි තොර කළහ

(ඌව වංශ කථාව ii, 361 පිටුව)

වීර කැප්පෙටිපොල

ඇහැළේපොල නිළමේ ආණ්‌ඩුකරුගේ සිත් දිනා ගැනිම සඳහා කැරැල්ල මැඬ පැවැත්වීමට සිතීය. කැරැල්ල මැඬපවත්වා ඉංග්‍රීසීන් හා ගිවිසුමක්‌ මත රජකම ලබා ගන්නටද උත්සුක වී ඒ බව කැප්පෙටිපොලට ඒත්තු ගැන්වීය. ඉංග්‍රීසීන්ගේ නියෝජිතයකු ලෙසින් 1914 ඔක්‌තෝම්බර් 22 දින කැප්පෙටිපොල වෙල්ලස්‌සට ගියේ එහි කැරැල්ල මැඬ පැවැත්වීමටයි.

විල්සන්ගෙන් හිස්‌ වූ බදුලු දිසාපති පදවියට සෝවර්ස්‌ පත් කෙරුණි. වෙල්ලස්‌ස දිසාව වූ කොබ්බෑකඩුව ද ඌව දිසාව වූ කැප්පෙටිපොළ ද කලබල මැඬලීමටට ඒ ඒ දිසාවවලට යෑවීය. වයස්‌ගතව සිටි මිල්ලෑවට ඒ කාර්ය කිරීමට අපහසු වූයෙන් වෙල්ලස්‌ස දිසාවන්ද කැප්පෙටිපොලට පැවරිණ.

”ඉංග්‍රීසීන් සමඟ ඌවට ගිය කැප්පෙටිපොල අලුපොතදී තම පිරිසෙන් වෙන්ව අසු මෙහෙයවා ඉදිරියට ගොස්‌ ඇත. එහිදී කැරලිකරුවන් පිරිසක්‌ විසින් ඔහු වටකර ගනු ලැබූ අතර තමන් පත්ව ඇති අනතුරින් මිදීමට සූර්ය දේවාරාජයා බඳු රජෙකු දැන් පහළව ඇති බවත් එම රජු සමඟ එක්‌වී තමන්ට සහයෝගය දෙන ලෙසත්, නොඑසේ නම් ඔහුගේ හිස රජතුමා වෙත ගෙන යැමට තමන් නොපැකිලෙන බවත් එම පිරිසේ නායකයා වූ තට්‌ටඹ කෝරාළ කැප්පෙටිපොල නිලමෙ අමතා කීවේය. මෙහිදී සටන්කරුවන් සමඟ එක්‌ වන්නට තීරණය කළ කැප්පෙටිපොල තමන් සමඟ පැමිණ භට හමුදාව ඔවුන්ගේ ආයුධත් සමඟ පෙරළා යෑවීමට තරම් උතුම් ගුණ වලින් යුක්‌ත විය.

එමෙන්ම උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී ගලගම හා ගලගොඩ යන දිසාවේවරුන් හැරුණු විට මොනරවිල නමින් සිංහල අක්‌ෂරයෙන් අත්සන් කළේ කැප්පෙටිපොල නිළමේ පමණි. එමගින්ද දේශමාමක ස්‌වභාව ඉස්‌මතු විය.

කොහුකුඹුරේ රටේරාළ සිය සෙනඟ පිරිවරා කැප්පෙටිපොල හමුවී පහත සඳහන් කවි දෙපදය පැවැසීය.

පිප්පෙන විදේසික බලමුළු දැකීමට

හැප්පෙනවාද මේ රට උරුමයි අපට

අපරාධීනත්වය අගය කළ කැප්පෙටිපොල අතින් කවි දෙපදයක්‌ මෙසේ කියවිණි.

ලොප්කර දමන තුර සුදුරුදු බල නිවට

කැප්පෙටිපොල මමයි නොබියව යමු පෙරට

”තට්‌ටඹ කෝරාළ යනු කොහුකුඹුරේ රටේ රාළ වියයුතු බව ඉතිහාසඥයන්ගේ මතය වේ.”

(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මහතා, වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ, 08 පිටුව)

”තොපේ තුවක්‌කු වලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තවක්‌කු තොපේ ආණ්‌ඩුකාරයාට භාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්.”

(දිවයින බදාදා අතිරේකය, නොවැම්බර් 25, පිටුව 03, මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල)

”....... මේ කැරැල්ල ඌවේ දිසාවගේ එක්‌ වීම නිසා වඩාත් ශක්‌තිමත් විය. පසුව මට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව මේ මුළු කුමන්ත්‍රණයේම ආරම්භකයා හා සංවිධායකයා මේ දිසාපතිවරයා බව මට අවබෝධ විය.” 1818 පෙබරවාරි 23 වැනිදා ලංකාණ්‌ඩුකාර බ්‍රවුන්රිග් විසින් ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරයා වෙත යවන ලද ලිපියක සඳහන් වේ. කැප්පෙටිපොල අදිකාරම රාජ ෙද්‍රdaහියකු මෙන් සිරභාරයට ගන්නා ලෙස 1818 මාර්තු 19 වැනිදා රාජාඥවක්‌ නිකුත් කරන ලදී. එම ආඥ පත්‍රය අනුව කැප්පෙටිපොල අල්වා දෙන කෙනෙකුට පගෝදි 2000 ක්‌ තෑගි දෙන බවද ප්‍රකාශිත විය. විවිධ හේතූන් නිසා ඔක්‌තෝබර් මාසය තරම් වන විට සිංහලයන්ගේ සටන සම්පූර්ණයෙන්ම වාගේ පිරිහෙන්නට වූයෙන් කැප්පෙටිපොල ආදී බොහෝ කැරලි නායකයෝ අනුරාධපුර පෙදෙසට පලා ගියහ. තම අනුගාමිකයන් කිහිප දෙනෙකුත් සමඟ අනුරාධපුරයේ පුල්ලයන්කුලම් අසල පරවහගම නම් ගමේ වලව්වක සැඟවී සිටි කැප්පෙටිපොල ලෙෆ්ටිනන්ට්‌ ඕනල් නම් යුද්ධ නිලධාරියා විසින් සිරභාරයට ගන්නා ලදී. එම නිලධාරියා වලව්වට ඇතුළුවන විටම කැප්පෙටිපොල ”මම තමයි කැප්පෙටිපොල” යි දෙවරක්‌ හඬ නඟා කියා ඔහුගේ අතට අතදී ආචාර කළ බව කියනු ලැබේ. සිරභාරයට ගනිද්දී කැප්පෙටිපොල සිටියේ අසනීපයෙනි. ඔහු සමඟ සිටි සගයෝ පෑල දොරින් පැන ගොස්‌ සිටියෝය. මෙසේ අල්වා ගත් කැප්පෙටිපොල මහනුවරට ගෙනවිත් 1818 නොවැම්බර් 14 වැනිදා යුද්ධ නීතිය යටතේ ඔහුට විරුද්ධව නඩු පවරන ලදී. කැප්පෙටිපොලට විරුද්ධව නඟා තිබුණු චෝදනා සියල්ල අධිකරණය ඉදිරියේ ඔප්පු වූයෙන් උඩරට නීතිය අනුව රාජාෙද්‍රdaහියකුට දෙන ඉහළම දඬුවම වූ හිස ගසා මරා දැමීමට නියම විය. ඒ අනුව දඬුවම පැමිණ වීම 1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී සිදුකරන ලදී. තමාට මරණ දඬුවම ලැබෙන්නට ස්‌වල්ප වේලාවකට කලින් ආරක්‍ෂක නිලධාරීන් කැටුව දළදා මැදුර වෙත ගිය කැප්පෙටිපොල අදිකාරම්තුමා තමා ඇඳසිටි තුප්පොට්‌ටිය ගලවා දළ¹ වහන්සේට පූජාකොට වැඳ වධක ස්‌ථානය වෙත ගොස්‌ නිතරම හිනේ සඟවාගෙන තිබුණු පුස්‌කොළයේ ලියන ලද කුඩා ”ධම්ම පදය” ගෙන මඳක්‌ කියවා බලා තම හිස කැපීමට සැරසී සිටි ගහලයා දෙස බලා ”බොල එක පහරින්ම මගේ බෙල්ල කපවයි කියා” ”ඉතිපිසෝ අරහං” පාඨය කියන්නට පටන් ගත් බවත් වධකයාගේ කඩු හරින් කැපී වැටෙන විට අරහං යන ශබ්දය නිකුත් වූ බවත් කියෑවේ. මෙසේ මේ සිංහලයාගේ ජීවිතය අවසන් විය.

(සිංහල විශ්ව කෝෂය, 7 කාණ්‌ඩය, පළමුවන කලාපය, 159 පිට, ආර්. එච්. එම්. පියසේන මහතා)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මැතිතුමන් විසින් දැඩි පර්යේෂණයක්‌ කොට ලියන ලද ”වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ” නමැති කෘතිය ආශ්‍රිතව කැප්පෙටිපොල නිලමේ විසින් ලබාදුන් අසහාය විමුක්‌තිකාමී දායකත්වයද මැනවින් සඳහන් වේ.

අවශේෂ විමුක්‌තිකාමීහු

මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන් විසින් දේශ විමුක්‌ති අරගලයට උරදුන් විමුක්‌තිකාමීන් ගැන සඳහන් කොට ඇත.

කැරැල්ල ගැන විස්‌තරාත්මක තොරතුරු ලියා ඇති තත් කාලීන බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස 1816-1820 වකවානුවේ දිවයිනේ සිටි ජෝන් ඩේව් මහතා මේ කැරැල්ල නිසා මරණයට පත් ස්‌වදේශිකයන්ගේ සංඛ්‍යාව දස දහසක්‌ පමණ වෙතැයි AN Account of the intrerior of
Ceylon its inhabitants of Ceylon 1821 නමැති ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

අකරුකඩුවේ මොහොට්‌ටාල, ඌව ඔය පළාත අත්තනායක මොහොට්‌ටාල, අන්ගෙලිකුඹුරේ නිලමේ (බින්තැන්න), අළුගොඩ පිහනරාළ (ඌව ඔය පළාත), අලමුල්ලේ මහබැත්මෙරාළ (ඌව වෙල්ලස්‌ස), අළුකල්ඕවිට රටේරාළ, (බුත්තල), අලුත්වෙල මහදුරයා (බදුල්ල), අළුපොත තලවත්තේ ගම්මහේ, ඉකිරියම් පොළ මිටිගම්මහේ, (වෙල්ලස්‌ස), ඉඩමේගම ගන්ඇතිරාළ, (යටිකුඹල්වෙල) ඉඩමේගමරාළ, (යටිකිඳ), ඉඹුල්හෙලයාව සට්‌ටම්බි, යනුවෙන් හඳුන්වන ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ දෙදෙනා, ඉනාවේ බුබුළුගෙදර අප්පුරාළ, වෙල්ලස්‌ස ඊතනවත්තේ උන්නාන්සේ ආදී වීරවරයන් දේශය ගලවාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කළ දේශවිමුක්‌තිකාමීන්ය. ඊතලවත්තේ දේවාලේ කපුරාළ, උඩුගම්ගොඩ ආරච්චි (බුත්තල), උඩුකිඳ බද්දෙරාළ, උඩුකුඹල්වෙල කළුවා, කැටකැලේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්‌ටාල දෙදෙනා, උඩුකිඳ කැටගොඩ මුහන්දිරම් යන අය විමුක්‌ති සටන වෙනුවෙන් දිවි පිදූහ. කැටවින්න දිසාවේ මොහොට්‌ටාල (ඌවවෙල්ලස්‌ස) යන දේශීය වීරවරුද, ලංකාවේ අනන්‍යතාව සඳහා ජීවිත පූජා කළහ. ඌව වෙල්ලස්‌සේ සිටි කිරිගල්පොත්තේ පුංචිරාළ, බදුල්ලේ කිරි නයිදා, පරණගම කිරි නයිදා, මලිත්තේ කිරිපරමා, ඌවේ කීරි බණ්‌ඩා, ඔය පළාතේ කිරියගොල්ලේ මුහම්දිරම්, කුඩාදුරගේ මද්දුමයා, කුඩාබදුලුගම්මන රටේරාළ (බිබිලෙ) කුමාරපට්‌ටියේ සට්‌ටම්බි (ඌවඋඩුකිඳ) කුඹුකැලේ ගිල්පා (බදුල්ල) කුරුගම කෝරාළ (වැල්ලවාය) කුරුගමරාළ (ඌව) කුරුඳුකුඹුරේ දෙවන මොහොට්‌ටාල යනුවෙන් හඳුන්වන දෙවන, තෙවන දෙදෙනා කුලන්හේනා රටේරාළ (වැදිරට) යන අභීත රණකාමීහු ඉංග්‍රීසි සේනාවන් හමුවේ දිවි පිදූහ. කෙහෙල්වත්තේ බණ්‌ඩප්පු හා කෙහෙල්ලොටවෙල බණ්‌ඩා, කොටබෝව මහහරුවේ මොහොට්‌ටාල යන වීරවරයෝ ජාතිය වෙනුවෙන් දිවි දුන්හ. කාට්‌ටල් බද්දෙරාළ (කන්දපල්ල කොරළේ) මැදිකිඳ කොන්තෙහෙල මුහන්දිරම්ද, ඌව කන්දෙපල්ලේ කොස්‌ගම මොහොට්‌ටාල, ඌවේ ගණිතාද, දිවි පිදුවේ විමුක්‌ති අරගලයේදීය. ගන්දෙනියේ මොහොට්‌ටාල, මැදිකිඳගබඩාගමරාළ (ඌව) ගලහිටියාවේ කෝරාළ, උඩුකිඳ ගල්කඩේ මුහන්දිරම්, (වෙල්ලස්‌ස) යටිකිඳ ගල්පොත්තාවේ මොහොට්‌ටාල, ඌවේ ගිනිතලාවේ සියාතු සහ පුත්‍රයා ඌවේ ගොඩගම මුදියන්සේ, ඌව ඔය පළාතේ ගොඩියගම මුදියන්සේ, ගොඩේගෙදර හිටපු අදිකාරම සහ ඔහුගේ සොහොයුරා ගොඩේගෙදර මෙහොට්‌ටාල, තඹානේ උන්නාන්සේ කැරැල්ලේදී දිවිකැප කළ වීරවරයන්ය.

1817-18 උඩරට මහකැරැල්ලට සහභාගි වූ ජාතික වීරවරයන්ගේ නාමාවලිය නමැති කෘතියේ බණ්‌ඩාර මනතුංග වියතාණන්ගේ ගවේශනයට උක්‌ත වීරවරයන්ගේ තතු මතුවී ඇත. තලකුඹුරේ මුදියන්සේ, තලගුනේ වන්නකු නිලමේ, තල්දෙන මොහොට්‌ටාල හා ඔහුගේ බාල සහෝදරයා යන අයද, දන්ගමුවේ මොහොට්‌ටාල දඹවින්නේ මොහොට්‌ටාල හා දරගල සට්‌ටමිබි, යන දෙදෙනාද උඩුකිඳින් මතුවූ විමුක්‌තිකාමීන්ය. දොaවේ මැදිකිඳ මුහන්දිරම් මෙන්ම යටිකිඳ දෙහිගොල්ලේ රටේ රාළද, පස්‌සර දෙහිකිඳවෙල රටේ රාළ මෙන්ම නාවල මොහොට්‌ටාල සහ නෙලුදණ්‌ඩේ මොහොට්‌ටාල, මැදිකිඳින් බිහිවූ දේශ විමුක්‌තිකාමීන්ය. වැල්ලවායෙන් බිහිවූ පොල්ගහවෙල කෝරාළ හා පොල්ගහගෙදර පියෙනරාළද, බදුල්ලේ බද්දේකුඹුරේ විදානේද විමුක්‌ති අරගලයට දායක වූහ.

පහත සඳහන් වීරවරයෝද අධිරාජ්‍ය විරෝධි සටනට උරදී මිය ගියහ. මඩුගස්‌තලාවේ බස්‌නායක රාළ, වියළුව මහන්තේ මොහොට්‌ටාල, වෙල්ලස්‌සේ බදුල්ලගම්මන රටේරාළ, වියලුවේ මාලියද්දේ මැණික්‌රාළ, වියලුවේ මාලියද්දේ මොහොට්‌ටාල, වෙල්ලස්‌සේ මැදගම රටේ රාළ, බූටෑවේ රටේ රාළගේ පියා, මැදිකිඳ මැදපේරුවේ රටේ රාළ, වෙල්ලස්‌සේ මීගහඅරාවේ මොහොට්‌ටාල, බුත්තල මීදෙණියේ මුදියන්සේ, ඌවේ මීවතුරේ හිටපු ලේකම් උඩුකිඳ මුලතවෙල පිහනරාළ දේශය ගලවා ගැනීම සඳහා ඉංග්‍රීසීන් සමඟ සටන් වැදී මිය ගියහ. උඩුකිඳ මුල්ගම, ඌවේ යක්‌කුරාවේරාළ, යටිකිඳ ඉඩමේරාළ, වැල්ලවායේ යාපා අප්පුහාමි, ඌවේ රකුම්ගහවෙල මුදියන්සේ මෙන්ම රත්නායක ගෙදර පුංචිරාළද, කන්දපල්ලේ කෝරළේ රලු වෑවල, කොටල් බද්දේරාළ, රලු වෑවල කෝරාළ, මැදිකිඳ රහුබැද්දේ විදානේ, රහුපල අලුත්පන්නේ මොහොට්‌ටාල සහ පුත්‍රයා එවැනි වීර පුත්‍රයන් ලෙසින් ඉතිහාස කතාවේ ස්‌වර්ණාක්‌ෂර සනිටුහන් ලෙසින් දැක්‌වීමට පුළුවන.

ඉංග්‍රීසි සේනාවේ අඛණ්‌ඩ ප්‍රහාරය එල්ලවන විට එයට ප්‍රතිචාර දැක්‌වූ ඌව නිජබිම කොටගත් පුද්ගලයන් අතර කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වක්‌කුඹුරේ සට්‌ටම්බි දෙපළද, සොරණාතොට වත්තෙකැලේ මුහන්දිරම් හා මොහොට්‌ටාලද වෙල් අරාවේ රටේ රාළද, වෙල්ලිඅරාවේ කුඩා බැත්මෙරාළද, වේවැල්හින්නේ රටේ රාළද, උඩුකිඳ හදිල්ලේ පිහනරාලද, හමනාවේ රටේරාළද, කොටබෝවේ රටේරාළද, හල්පේ මොහොට්‌ටාලද හාපත්ගමුවේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්‌ටාලවරුන්ද, හික්‌ගහලන්දේ විදානේ හා හිඟුරුකඩුවේ හිටපු බැත්මේ රාළද, හිඳගොඩ මොහොට්‌ටාලද, මහපිටියේ බෝගහගෙදර රාළ ද ජාතිය හා දේශය වෙනුවෙන් දිවිහරණ කළ අයවෙති.

උක්‌ත ජාතික වීරවරයන් ගැනද ”වීරවරයන්ගේ නාමාවලිය” නමැති කෘතියේදී බණ්‌ඩාර මනතුංග පඬිවරයාණන් පෙන්වා දෙයි. උඩුකිඳ දෙකිඳ ආරච්චි, අලුතැල්ගල කලුනයිදේ, තුප්පිටියේ බඩල් විදානේ යන අයද මේ වන විට ඌව පළාතේ සමාජ සම්භාවනාවට පත් සිංහල නායකයන් වූ අතර මහනුවර රජවාසල හා සබඳතා ගොඩනැඟුවෝ විය. ජාතියේ පරාධීනභාවයට එරෙහිවූ මෙම වීරවරයන්ද ඉංග්‍රීසීන්ගේ වධබන්ධනයට නතුව ජීවිත හරණය කළ බව දැක්‌වීමට පුළුවන.

1818 කැරැල්ල ආරම්භයේ සිට එහි අවසානය දක්‌වාම එඩිතරවත්ව නිර්භීතවත්ව සටන් කළ කිවුලේගෙදර මොහොට්‌ටාල දිසාපතිවරයාට සහය දැක්‌වූ ප්‍රාදේශීය කැරළි නායකයන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වේ. හාපත්ගමුවේ මොහොට්‌ටාල, ආ¹වෙල මොහොට්‌ටාල, අඹන්වැල්ලේ මොහොට්‌ටාල කොටඹේරාළ ආදීන්ය. මීට අමතරව හිඟුරේවෙල මොහොට්‌ටාල, රාසිංගොල්ලේ මොහොට්‌ටාල, යටිමාදුරේ මොහොට්‌ටාල, නිට්‌ටඹුගොඩ මොහොට්‌ටාල යනාදීන්ගේ නම්ද ජනප්‍රවාදයේ එයි. (වලපනේ ඉතිහාසය 46, 47 පිටු සිරිසේන දේවප්‍රිය)

ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල තෙරවරු

ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදීම සඳහා ක්‍රියාකළ තෙරවරු රාශියකි. ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල නමින් ප්‍රකට ගම්වල තෙරවරු ජාතියේ පරාධීනත්වයට එරෙහිව ක්‍රියා කළහ.

”ඉංග්‍රීසීන් විසින් ව්‍යාජ රජු යෑයි හංවඩු ගැසූ සිංහලේ කැරැල්ලේදී නාම මාත්‍ර නායකයාට උදව්කළ සිංහල භික්‍ෂූන් වහන්සේලා අතරින් කීප නමකි. උන්වහන්සේලා මහියංගනයේත්, බදුල්ලේත්, මොනරාගලත් පාද යාත්‍රාවේ යෙදෙමින් ඉංග්‍රීසීන් පළවා හැරීමේ කටයුත්තෙහිලා සිංහලයන් මෙහෙය වූහ. ඉංග්‍රීසීන් කසාය වස්‌ත්‍රයෙන් මේ උගත් තෙරවරුන්ට තරම් වෙනත් කිසි කෙනෙකුට බියක්‌ නොදැක්‌වූහ. (ඌව වංශකථාව II, 364 පිටුව) යනුවෙන් හැඳින්වූයේ ඉහත කී තෙරවරුන්ය.

හාමාපොල රංකිරි

හාමාපොල දුරයා ඌවේ කැරළි නායකයෙකි. බිබිලේ සිට නිල්ගලට යන මාවතේ පිහිටි හාමාපොලගේ මව හාමාපොල රන්කිරි නමින් පසිඳුවූද, ඉතිහාසයේ යටපත්වූද, අභීත නායිකාවකි. ඉංග්‍රීසිහු ගම් ගිනි තබමින් පෙරට ආහ. සුද්දන් හාමාපොලට පැමිණි විට ගම්මු කැලෑ වැදුනහ. ඇය පැදුරක සැඟවී සිටියාය. ඇය සතුරන්ට අසුවිය. ඉංග්‍රීසින්ට එරෙහි වූ සතුරන් ගැන විමසන විට ඇය පැවසුවේ තමන් දන්නා බවත් කියන්නේ නැති බවත්ය.

”කිපුණු සෙන්පතියා ඇගේ කනක්‌ කැපීමට අණ කළේය. ගලන ලෙයින් සිරුර නැහැවෙන්නට විය. ඇගේ මුවෙන් පරුෂ වචන පිට වන්නට විය. ඇගේ දෙවන කණද කැපී ගියේය. සුද්දන් අමතා පරුෂ වචන කීවා විනා කැරලිකරුවන්ගේ නම් පිටවීමක්‌ ඇගෙන් සිදුවූයේ නැත. අවසානයේ නාසයද කැපිණ. ඈට සිහිය නැතිවිය. සිහිය ලද විගස නැවතත් සුද්සන්ට සාප කළා විනා කිසිඳු පිsළිතුරක්‌ නම් දැනගන්නට නොහැකි විය. ඇගේ වීරත්වය සුද්දන්ගේ මිලේච්ඡත්වයෙන් සුන් නොවීය. ඔවුහු ඇගේ ගෙළ කපා දැමූහ. (ඌව වංශ කථාව II 366 පිටුව)

ඩිංගිරි අප්පු හා බාලප්පු

බදුල්ල වීදිය ගුණේ, දඬුඅරාවේ විසූ ඩිංගිරි අප්පු හා බාලප්පු යන දෙදෙනා ගොවියන් දෙදෙනකු වුවද ඉංග්‍රීසින්ට එරෙහිව අවි පුහුණුව ලදහ. යුද්ධයට සම්බන්ධ නැති බවද ඇඟවූහ. සතුරන් තතු සොයමින් එනබව ආරංචි වූ අතර එකොළොස්‌ දෙනෙකුගෙන් යුක්‌ත ඉංග්‍රිසි හේවායන් බාලප්පුගෙන් බදුල්ලට යන පාර ඇසීය. හෙතෙම කෙටි පාරක්‌ යෑයි දුර්ග මාර්ගයක්‌ පෙන්වා අඹකොලේ කඳුර දක්‌වා එක්‌කරගෙන ගොස්‌ කන්දෙන් කඳුරට පැන ඉංග්‍රීසින්ට එම මග පෙන්වා කන්දක සිට එකොළොස්‌ දෙනා මැරුවේ උපායශීලීවයි.

අඹගොල්ලේරාළ

අඹගොල්ලේ රාළ වී අටුවක සැඟවී සිටින විට ඉංග්‍රීසීන් වටලා බූටෑවේ රටේ රාල මෙහි සිටිදැයි ඇසීය. ඒ ”අය ඉන්න තැනක්‌, ගිය තැනක්‌ මා දන්නවා. නමුත් මගෙන් ඒක දැනගන්න නම් හම්බවෙන්නේ නෑ. මගේ නෑයන් පාවාදීලා නිවට දොaහියෙක්‌ වෙන්න මට බෑ.”

කෝපයට පත් ඉංග්‍රීසීහු ප්‍රථමයෙන් ඔහුට තැලීය. ඒත් පිළිතුරක්‌ ලබා ගත නොහැකිවූ කල අසල බුළු ගසක දෙපයින් එල්ලා ගිනි හුළුවකින් සිරුර දවන්නට විය. එහෙත් කිසිදු පිළිතුරක්‌ දැනගත නොහැකි කළ අඹගොල්ලේ රාළගේ බෙල්ලට තොණ්‌ඩුව දැමූ සුද්දොa එම නිර්භීත සිංහලයා එල්ලා මරා දැමීය. (ඌව වංශ කථාව, දෙවන කාණ්‌ඩය, 365 පිටුව)

අලුත්ගෙදර සුද්දනා

අලුත්ගෙදර සුද්දනා ඌව උඩුකිඳ බෝඹුරුගම ගලහදෙර විසීය. ඔහු වීරවරයෙකි. එය පිහිටියේ වත්මන් ගලහගමය. සුද්දනා දුරයාට ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඒජන්ත විසින් වෙල්දුරයා නමින් සන්නසක්‌ දුන් බව ඌව වංශකථාව කියයි. මොහු සිංහල හමුදාවට ඉංග්‍රිසි විරෝධීව ජාතිය ගලවා ගැනීමට තොරතුරු ලබාදුන් ජාතික වීරවරයෙකි.

මැක්‌ඩොනල්ඩ්

”මහබදුලු ගමරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල, බූටෑවේ රටේරාළ ආදීහු ඉංග්‍රීසි විරෝධී සටන මෙහෙයවමින් වෙල්ලස්‌ස වලපනේ ප්‍රදේශවල බලය අල්ලාගෙන කටයුතු කරන්නට වූහ. එහෙයින් වහාම කැරැල්ලේ මූලස්‌ථානය වූ වෙල්ලස්‌සටම පහර දීමට පැමිණි බදුල්ලේ අණදෙන නිලධාරි මැක්‌ඩොනල්ඩ් කැළඹිලාකාරයන් උපන්ගෙහිදීම බියවද්දා අධෛර්යයට පත් කිරීමේ අදහසින් දරුණු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් සරුසාර වෙල්ලස්‌ස තැන්න වටලා එකී සෑම ගමකම ගෙවල් දොරවල් කෙත්වතු සියල්ලක්‌ පුලුස්‌සා කාබාසිනියා කර දමන්න විය. මේ දරුණු ක්‍රියාවලින් ගම්වැසියන් භ්‍රාන්තව වනගතව බලා සිටියදී කැරලිකාර තත්ත්වය මැඩ ප්‍රදේශ සන්සුන් වෙතැයි ඉංග්‍රීසි විරෝධය දසතින්ම නැග එමින් කැරැල්ල ලියලා ගියේය. නොවැම්බර් 01 දින බ්‍රවුන්රිග් ඌව වලපනේ, වෙල්ලස්‌ස, බින්තැන්න කැරලි පවතින ප්‍රදේශ හැටියට සලකා එපෙදෙස්‌වල යුද නීතිය පැනවීය. රාජ්‍යත්වය පවරාගත් දොරේ සාමි අල්ලා දෙතොත් රික්‌ස්‌ ඩොලර් 2000 ක ත්‍යාගයක්‌ද කිවුලේගෙදර මොහොට්‌ටාල හා බූටෑවේ රටේ රාළ වෙනුවෙන් රික්‌ස්‌ ඩොලර් 500 බැගින් දෙන බවද ප්‍රකාශ කරවීය. (සිංහල විශ්ව කෝෂය IV පිටුව 397 මාලනී පී. ගමගේ මහත්මි)

1818 දේශ විමුක්‌ති අරගලයේදී ඉංග්‍රීසින්ගේ පාර්ශ්වයේ සටන් මෙහෙය වූ මැක්‌ඩොනල්ඩ් නමැත්තා මේජර් විල්සන්ගේ මරණින් පසු ඌවේ ජනතාව මහත් පීඩනයට පත් කරමින් ඔවුන්ගේ නිවාස, දේපළ, වතුපිටි, කුඹුරු ආදී සියල්ලක්‌ම විනාශ කරමින් සාහසික ලෙස බිම්පාළු පිළිවෙතක්‌ අනුගමනය කළේය. එමෙන්ම ජීවිත රාශියක්‌ විනාශ කළ අයෙකි. එදා ඌවේ කැරැල්ල මෙහෙය වූ සිංහල කැරැලිකරුවන්ට අමානුෂික ලෙස වද දුන් මැක්‌ඩොනල්ඩ් ඌව පරණගම මූදනාව ප්‍රදේශයේ බලකොටුවක්‌ ඉදිකර එහි සිට සටන් මෙහෙයවීය. ගරාවැටෙමින් නටඹුන්ව ඇති මෙම කොටුව පිහිටි ස්‌ථානයේ වර්තමාන ඌවපරණගම මහ විදුහල ඉදිකර ඇත. එහි මිදුලේ ඇති අති විශාල සියඹලා ගස එවකට සිංහල කැරැලිකරුවන් එල්ලා මැරීමට යොදාගෙන ඇත.

”එදා කැරලිකරුවන් වධ බන්ධනයට ලක්‌ කිරීම සඳහාත් මරණීය දඬුවම් ලැබූ වැරදිකරුවන් එල්ලා මැරීම සඳහාත් මේ යෝධ සියඹලා ගස යොදාගෙන ඇත. එම සියඹලා ගස වසර 200 කට වඩා පැරණිය.

(දිණමිණ 2010 ජුනි මස 12 සෙනසුරාදා, 12 පිට එස්‌. එම්. ෆාරුක්‌)

සටනට සම්බන්ධ ඓතිහාසික ග්‍රාම නාම කීපයක්‌

1818 දේශවිමුක්‌ති අරගලයට ඌව පළාතේ බොහෝ ගම් සම්බන්ධ විය. ඒවා මෙහිදී දැක්‌වීම දුෂ්කර වුවත් ග්‍රාම නාම කීපයක්‌ පමණක්‌ සඳහන් කරමි. ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව වෙල්ලස්‌සේ ජනතාව තාවකාලික ආණ්‌ඩුවක්‌ බිහිකළ ප්‍රදේශයක්‌ විය. ”සිය බල ආණ්‌ඩුව” සියඹලාආණ්‌ඩුව නමින් ප්‍රචලිත වූයේ එලෙසිනි. ඌවේ ගම් දනව්වලට සම්බන්ධ නම් කීපයක්‌ ”කොඩිය” නමින් හැඳින්වේ. ”සතුරු සේනාවන් එන විට සිංහල සේනාවන්ට දැන ගැනීමට කොඩියක්‌ එසවූ බැවින් එවැනි තැන් ”කොඩිය” නමින් හැඳින්විණි. මධ්‍යම පළාතෙන් වෙන්වී හග්ගල සිට කපොල්ලෙන් ඌව පළාතට පැමිණෙත්ම ගවරම්මාන කන්ද පිහිටා ඇත. එම කන්ද මුදුනේද කොඩිය නමින් තැනක්‌ ඇත. ඌව පරණගම මල්වත්තේ ගමට යාබදව පිහිටි බැලුම්ගල කන්ද අඩි 450 ක්‌ උසය. මෙය ඊතල මගින් පණිවිඩ හුවමාරු කරගත් තැනක්‌ බව මහාචාර්ය සන්නස්‌ගල පඩිතුමා සඳහන් කරයි. කැප්පෙටිපොල සිට නුවරඑළිය පෙදෙසට යන විට පිහිටි බැලුම්ගල පිහිටි ගම්මානය ඉංග්‍රීසීන්ගේ සේනාව එනවිට තතු විමසූ ගම්මානයකි. ඇලි සහිත බිමින් බලාගෙන යන අදහස ඇති බලඇල්ල යන්න බල්ඇල්ල නමින් ප්‍රසිද්ධ විය. ඌවේ ගම්බිම් ඉංග්‍රීසීන් වැනසූ අතර එයින් එක්‌ ගමක්‌ පාළුගම නමින් පසිඳු විය.

”ආලා පාළු වුණ

පාළුගම නමින් බිහි වුණ”

යන ජනකවි දෙපදයෙන් පැහැදිළි වේ.

ඉංග්‍රීසි විරෝධි සටන් මෙහෙය වූ සටන් පිටිය ඇටම්පිටිය නමින් ප්‍රචත විය. ඌව යුද ගිනි දැලින් රත්වන ලෙසින් සටන් ඇවිලුණු අදහසින් හෝ යුද බලයෙන් රත් වන්නට අවි සැපයු අදහස නිසාදොa රත්කර + උව = රත්කරව්ව නමින් ප්‍රචලිත වූවා විය හැකියි. බණ්‌ඩාරවෙල බිඳුණුවැවද 1818 සටනේදී ඉංග්‍රීසීන් විසින් බිඳවා හරින ලද වැවකි.

”කම්මානංකඩ බදුල්ල - බණ්‌ඩාරවෙල පාරේ පිහිටා ඇත. බදුලු පුරවරය මුරකළ හේවා පිරිස සිටි තැනලු”

(ඌව වංශ කථාවII පිටු 134 මහාචාර්ය පී. බී. සන්නස්‌ගල මහතා)

බදුලු ප්‍රදේශයේ රිල්පොල ඌව සටනට සම්බන්ධ ගොඩේගෙදර අදිකාරම් සිටි තැනයි. ඔහු සමඟ 18 දෙනකු මුරුසියට ඉංග්‍රිසීන් විසින් පිටුවහල් කළ බව කියෑවේ. හපුතලේ හාල්අටුතැන්න සිංහල සේනාවලට ප්‍රයෝජනය ගැනීමට හාල් පිරවූ ගබඩා තිබූ තැනක්‌ ලෙසින් ජනප්‍රවාදයේ එයි. මේ අනුව ජාතික විමුක්‌ති අරගලයට සම්බන්ධ වූ සාධක රැසක්‌ ග්‍රාම නාමයන්ගෙන්ද ගොඩනැගේ.

විමර්ශනය

වෙල්ලස්‌සේ පැනනැගි පෙරළිය අමනාපයට කැරළි ගැසීමට තරම් කලකිරි සිටි මුළුරටේම ජනතාව විෂයෙහි වෙඩි බෙහෙත් පීප්පයකට විසිවුණු ගිනිකූරක්‌ මෙන් ක්‍රියා කළේ යයි එවක නමුදු ශල්‍ය වෛද්‍යව සිටි හෙන්රි මාෂල් ලංකාව හා එහි පුර වැසියන් ගැන තමා ලිවූ කෘතියෙහි සඳහන් කරය.s

1818 ක්‍රියාත්මක වූයේ කැරැල්ලක්‌ නොව සැබවින්ම දේශ විමුක්‌ති අරගලයකි. එය උතුරුමැද, මධ්‍යම සබරගමු පළාත්වලටද ව්‍යාප්තව පැවතිණි. මේ සඳහා ඌවේ සිටි ජාත්‍යාලයෙන් ඔදවැඩුණු සෙන්පතියෝ සිය ජාතිය වෙනුවෙන් වීරත්වයෙන් දිවි පිදූහ. එහෙත් එවකට පැවති යුද මානසිකත්වය හේතුකොට ගෙන එකල කුඩා දරුවන්ගේ සිත්තුළ ත්‍රාසය, භීතිය වැනි නිශේධාත්මක සිතුවිලි කි¹ බසින්නට ඇත. තරුණයන් සහ වැඩිහිටියන් ඝාතනය කිරීම නිසා සමාජය තුළ දැඩි ව්‍යාකූලතාවක්‌ ඇතිවිය. සමාජ හා ආර්ථික ව්‍යසනය නිසා රජ දරුවන් දවස පැවති ඌව පළාත අදවන විටද ප්‍රතිෂ්ඨාපනය වී නොමැති බව සඳහන් කරනුයේ දැඩි නිර්වේදයකිනි.

දේශ විමුක්‌ති සටනේ වීරවරයන් පිළිබඳව ”ඉහළ ඌවේ අප්‍රකට ජනකවි” නමැති කෘතියේ ජන කවි පෙළක මෙසේ දැක්‌වේ.

පර දෙසුන් ගෙ පාලනේ
එරෙහිවසවි ළමයිනේ
අසිපත මැද පෙරමුණේ
යුදගිනි දැල් දැල්වුනේ

බූටෑවේ රටේ රාළ
කිවුලෙගෙදර මොහොට්‌ටාල
බින්තැන්නේ වෙල් විදානේ
සටනකි පෙරමුණේ රාල

හැඩි දැඩි බව පෙන්නාලා
වීරවිකුම් හඬ පාලා
ඉංගිරිසි බලය බිඳු
ඌවේ රණ හඬ පාලා

මුප්පනෙ රාළද බුත්තල
කොහුකුඹුරේ රටේ රාල
පල්ලෙකිරුමෙ මොහොට්‌ටාල
නිදහස්‌ දිය හල්ලෙ රාල

ගමින් ගමට උවේ දනෝ
අසිපතකට ගෙල දුන්නෝ
සටන් තියපු කැප්පෙටිපොල
නිදහසටයි ගෙල දුන්නෝ

නුවරඑළියේ චන්දජෝති හිමි - 
දිවයින – 2011 සැප්තැම්බර් 14

Search This Blog