dunhinda.com

Sunday, September 30, 2012

සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 33


කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත  ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි. වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය.  නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන  ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ  නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක්  එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට  පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු  ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන  මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග  ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස  ඕකන්‍දට ආපසු එනවිට හවස්විය.  ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා  රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි  ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද  ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු  ඕකන්‍දට ආ පළමු අවස්ථාව  පෙන්නුම් කළේය. අදුර  වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත්  ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස  ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට  ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක්  ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය.  ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.

අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 30 14:20:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 මුහුදට යාබද කැලෑවේ සහ වෙරළේ දසුනක්
ඕකන්‍ද දේවාලය අසල ගල මුදුනේ පිහිටා ඇති පත්තිනි දේවාලය


සුනාමියෙන් පසු ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර තිබු අයුරු

මහ කැබිලිත්ත සියඹලා දේවාලය

මිනිසුන්ට ආදරය කරන උගතෙකු වන්න


ඇමරිකා එක්සත් ජනපදයේ 16වන ජනාධිපති එබ්‍රහම් ලින්කන් විසින් තම පුත්‍රයාගේ පාසැල් ගුරුතුමා
වෙත යැවු ලිපියක සිංහල අනුවාදයක් මතු පරපුරේ උන්තිය උදෙසා සටහන් කරමු.

ඔහු උගතෙක් විය යුතු බව මම දනිමි.
සියලු මිනිසුන් සාධාරණ නැත.
සත්‍යවාදීද නැත.
නමුත්,
සෑම නොමිනිසෙකුටම වීරයෙක්ද,
ආත්මාර්ථකාමී දේශපාලකයෙකුටම
කැපවුණු නායකයෙක්ද,
සෑම සතුරෙකුටම සහෘදයෙක්ද,
සිටින බවත්
ඔහුට උගන්වනු මැනවි.

ඊර්ෂයාවෙන් ඉවතට ඔහු මෙහෙයවා
සන්සුන්ව සතුටේ රසය විඳගැනීමටත්,
ඔහුට උගන්වනු මැනවි.

දුර්වලයා තලා පෙලන්නා,
වැඩිකල් නොගොස් එ සඳහා
පසුතැවෙන බව
ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු මැනවි.

පොත්පත් වල සැඟවුනු ආශ්චර්යය
ඔහුට උගන්වන ගමන්ම
අහසේ පියා සලන කුරුල්ලාගේ
සදාතනික මුණු මුණු වේද,
හරිත කඳු වැටි අසබඩ
විල්ගොමුවල විහඟ, මී මැසි නාදයේද,
අසිරිය විඳ ගැනීමට
නිදහස ඔහු හට ලබා දුන මැනවි.


දයාබර ගුරුතුමනි,
අසමත්වීම, රැවටීමට වඩා
ගෞරවනීය බව පාසලේදී
ඔහුට උගන්වනු මැනවි.

ලෝකයාගෙන් ගැරහුමට ලක් වූවද,
තම අදහස් මත විශ්වාසය ගොඩනගා
ගැනීමට ඔහුව පුරුදු පුහුණු කල මැනවි.

සුමුදු හදවත් අතර සුමුදුවීමටත්,
රළු පරිසරයකදී රළු වීමටත්,
අවශ්‍ය ශක්තිය ඔහුට ලබා
දෙනු මැනවි.

වැඩි දෙනෙකු අනුගමනය
කල පමණින්, යමක් අනුගමනය
නොකිරීමට අවශ්‍ය ශක්තිය ඔහුට 
ලබාදීමට උත්සහ කල මැනවි.

සියලු දෙනාටම හොඳින් 
සවන්දීමට මෙන්ම,
යහපත් දේ පමණක්
තෝරා බේරා ගැනීමටත්
ඔහුට උගන්වනු මැනිවි.

ගෞරවනීය ගුරුතුමනි,
කඳුළු අතරින් සිනා සීමටත්,
කඳුළු බිඳුවක ලැජ්ජාව නොදැනීමටත්,
විවේචනයට බිය නොවීමටත්,
පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන්
ප්‍රවේශම් වීමට ඔහුට කියා දෙනු මැනවි.

ශක්තිය සහ මොළය
උපරිම මිලකට අගය කිරීමටත්,
එහෙත්, හදවත මෙන්ම ආත්මයද
මිළ නොකරන ලෙසටත්,
ඔහුට උගන්වනු මැනවි.

නුවමනා කලබලයකදී
දෙසවන් වසා ගැනීමටත්,
තමා නිවැරදිය යැයි සිතේ නම්,
එවෙනුවෙන් සටන් කිරීමටත්,
ඔහුට උගන්වනු මැනවි.

දයාබර ගුරුතුමනි,
අනවශ්‍ය හුරතලයට ලක් නොකර,
ඔහුට මෘදු ලෙස සලකනු මැනවි.
මන්ද යත්, හොඳ වානේ පන්නරයක්
ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.

නොඉවසිලිමත්වීමට ශක්තියත්,
නිර්භීත වීමට ඉවසීමත්,
නිරන්තරයෙන් තමා කෙරෙහි
අපරමිත විශ්වාසයක් තැබීමට 
ඔහුට උගන්වනු මැනවි.

එවිට පමණක් ඔහු 
සමස්ත මානව වර්ගයා කෙරෙහි
අනන්ත වූ විශ්වාසයක්
දක්වන්නේය.

ගෞරවනීය ගුරුතුමනි,
මෙය විශාල ඇනවුමකි.
එහෙත්, කළහැකි දේ
කුමක්දැයි බලනු මැනවි.

මේ අපුර්වතම කුඩා පැටියා,
මගේ ආදරණීය පුතුමය!...

Sunday, September 23, 2012

ඇදකුඹුකේදී දෙවැනි වරටත් මරණෙන් ගැළවෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 32


ගල්අමුණ පසුකරන විට ගොම්මන් කළුවර වනාන්තරයේ ගස් අතරින් මහපොළොව සිපගෙන හමාරය. ජිප් රථයට ඉදිරියෙන් යන ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියේ හඩ වනයේ නිහඩ බවට බාධා කළේය. එහෙත් ඒ හ`ඩ වනසතුන්ගෙන් ආරක්‍ෂාවීමට මහත් පිටිහවලක් බව ජීප් රථයේ සිටි හැමදෙනාටම පසක්විය.
දැන් පිරිස සිටින්නේ කුඹුක්කන්ඔය ආසන්නයේය. මීටර් කිහිපයක් ඉදිරියට ගියවිට හමුවන්නේ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයයි. කුමන සිට යාලටත් යාල සිට කුමනටත් යනෙන විට හමුවන කුඹුක්කන්ඔය එගොඩවන්නේ මේ ඇදකූඹුකේ නම් ස්ථානයෙනි.
වාහන පවා එගොඩ මෙගොඩකරන මෙතැන රාත‍්‍රීය ගතකරන්නට වඩාත් සුදුසු බව පිරිස කල් ඇතිවම තීරණය කර තිබිණි. වියළි කාලය වු නිසා කුඹුක්කන්ඔයේ වතුර පාර ද අඩුය. ඒ නිසා කූඔුක්කන්ඔය ඉවුරේ වැල්ලේ කූඩාරමක් තැනුවේ රාත‍්‍රිය එහි ගතකරන්නටය.
පෙරදින රාත‍්‍රී අඩනින්දේ පසුවීමත් එදින උදේ මහකැබිලිත්තේදී අමුත්තන් පිරිසක් නෙතගැටීමත් නිසා ගමනට එක්ව සිටි පිරිස සිටියේ නොසන්සුන් සිත් ඇතිවය. රාත‍්‍රීය මෙතැන නොනැවතී  ඕකන්‍දට යන්නට ඇත්නම් කෙතරම් අගේද යන්න හැමදෙනාගෙම හදවත් තුළ නලියන්නට විය. එහෙත් ඒ ගැන කිසිවකුගෙන් වචනයකුදු පිටවුයේ නැත.
වැල්ලේ තැනු කූඩාරමට නුදුරින් ගිනිමැළයක් ඇවුලූවේ දියබොන්නට එන වනඅලි කූඩාරම දෙසට ඒම වළක්වන්නටය. කුසගිනි නිවන්නට පිළියෙල වු නිර්මාංශ ආහාරය විඩාබර ගතට රස බොජුනක් විය. රාත‍්‍රී ආහාරය ගෙන කූඩාරම තුළ වැතිරී සිටියදී සියලූදෙනාම තෙහෙට්ටුව නිසාම ඉතා ඉක්මනින් නින්දට වන්හ.
රාත‍්‍රීය ගෙවන ඇදකුඹුක නම් වු මෙතැන ආරක්‍ෂාව අතින් නම් ගැටලූ සහගත තැනකි. නැගෙනහිර පළාතෙන් බෝට්ටු මගින් කුමණ වනෝද්‍යානයට මුහුදෙන් එන කොටි ත‍්‍රස්තයන් යාල ජාතික වනෝද්‍යානයට පිවිසෙන්නේ මේ මග ඔස්සේය. පොලිස් විශේෂ කාර්ය බළකායද කුමණ රැකවල්ලා සිටින නිසා ත‍්‍රස්තවාදීන් කැලෑවේ ඇති මාර්ගවලට සමාන්තරව කැලෑවෙන් ගමන් කරන නිසා ඇදකුඔකෙන්ද එසේ ගොඩවීම යම් අස්වැසිල්ලකට හේතුවක් විය.
කුඹුකන්ඔයේ වැල්ලේ සීතලත්, ගංඉවුරේ කුඹුක් ගස්වල මද සුළගත් නිසා රැයේ කූඩාරම තුළටද ගලා ආවේ තද සීතලකි. අඩවන් නින්දේ පසුවු කූඩාරමේ සිටි අයගේ හිත් දහවල් කාලයේ මහකැබිලිත්තේදී දුටු ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දසුන් ප‍්‍රතිරූපනය වීමෙන් වඩවඩාත් අවුල් කළේය. එහෙත් ඒ කිසිවකු වචනයක් හෝ ඒ ගැන පිට නොකළේය. පෙරදින තරම් රැය දිගු නොවු බව කූඩාරමේ සිටි හැමෝටම අවබෝධවුයේ එතෙක් වෙලාගෙන තිබු අදුර කෙමෙන් කෙමෙන් පහවී යනු දැකීමෙනි.
කැදැලිවල රැයගත කළ කුරුල්ලන් පාන්දරම ඉන් පිටව පියාඹා යන අයුරු මනස්කාන්ත දසුන් මවයි. කුරුල්ලන්ගේ විවිධාකාර හඩවල් දෙකන්වලට ගෙනාවේ අමුතුම ආශ්වාදයකි. ඉතාමත් ඉක්මනින්  ඕකන්‍දට යන්නට පිරිසට වුවමනා විය. ඒ වෙනකකට නොව තවදුරටත් මෙහි රැදී සිටීම ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි නිසාවෙනි.
කූඩාරම අකුලාගෙන ගෙනා බඩුමුට්ටු පොදි බැද ජිප් රථයට පටවා ගැනීමට අඩ හෝරාවක් වත් ගත නොවීය. වනසත්ව සහකාර අඩවි ආරක්‍ෂක බී. ගුණසිංහ සෙස්සන් ගමනට සුදානම් වනතුරු පෙරදින රාත‍්‍රිය ගතකළ ස්ථානයට තරමක් නුදුරු ප‍්‍රදේශයේ කුඹුකන්ඔය ඉවුරේ එහා මෙහා සක්මන් කළේ වතුර බොන්නට ඔයට ආ වන සතුන්ගේ පා සලකුණු මොනවාදැයි නිශ්චය කර ගැනීමටය.
ඒ පා සලකුණු අතර කුඹුක් ගසක් අතර වැටී තිබු නුහුරු දෙයක් දැක ගුණසිංහගේ දෙනෙත් නලියන්නට විය.  මෙතෙක් සන්සුන්ව තිබු ඔහුගේ හිත කලබලයට පත්විය. බිමවැටී තිබු දෙය අතට ගැනීම සියලූ දෙනාම කලබලයට පත්වන්නට ඉඩඇතිබව ගුණසිංහට අවබෝධ විය.
කූඩාරම අකුලන ස්ථානයට ගිය ඔහු ගමන ඉක්මන් කිරිමට සංඥාවක් කළේය. ඒවන විට පිරිස ජිප්රියට බඩු පටවා අවසන්වීමට ආසන්නව සිටියේය. තමන්ගේ අඩුමකුඩුම බෑගය අතටගත් ගුණසිංහ යළි කුඹුකන්ඔය ඉවුරට පැමිණ මොහොතකට පෙර තමන් තැතිගැන්මකට පත්කළ භාණ්ඩය සියතට ගෙන කාටත් නොපෙනෙන සේ ගමන්මල්ලෙන් ආවරණය කරගෙන යතුරු පැදියෙන් පෙර ගමන් කළේය.
ඒ එන අතරවාරයේ මඩමෙතොට හෙවත් කුඩා කැබිලිත්ත දේවාලයට ගොඩවී කපුරු සහ පහනක් දල්වා මහ වනාන්තරයේදී අතුරු ආන්තරාවක් නැතිව යන්නට එන්නට හැකිවීම ගැන කතරගම දෙවියන් ප‍්‍රමුඛ දෙවි දේවතාවුන්ට පින් දෙන්නට ගුණසිංහ මහතා අමතක නොකළේය.
දෙපැයකට ආසන්න වෙත්ම පිරිස  ඕකන්‍දට ළගා වූහ. ඒවනවිටත්  ඕකන්‍ද වනජිවි කාර්යාල භූමියට, අසල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී පිරිසක් ද පැමිණ සිටියහ.  ඕකන්‍ද වනජිවී කාර්යාලයේ රැදි සිටි පිරිස් කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තුව සිටින සෙයක් පෙන්නුම් කළහ. ඔවුන් වැඩි දෙනෙකුගෙන් දිස්වූයේ අවිඅනිශ්චිත බවකි. සෙස්සන්ට වඩා මේ වෙනස ගුණසිංහට හොදින්ම අවබෝධ විය. නමුත් ඔහු ඒබව කිසිවකුටවත් ඇගවුයේ නැත.
‘‘ඊයේ රෑ කොහේද හිටියේ’’ හැමෝගෙම මුවින් පිටවුයේ එකම පැනයකි.
‘‘ඇදකුඹුකේ’’ ගුණසිංහ කාටත් පෙර පිළිතුරු දුන්නේය.
‘‘ඉක්මනට ආ එක හොදයි. කොහොමද ඊයේ රෑ.” පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
‘‘අවුලක් නෑ හොදට නින්දගියා. පෙරේද නම් හොදට නින්දගියේ නෑ. ඒකටත් එක්ක ඊයේ දන්නෙම නැතුව නින්දගියා. උදේ බලනකොට ගිනිමැලෙත් නිවිලා.’’ පිළිතුර ගුණසිංහගෙනි. මේවනවිට ගමනට ගිය පිරිස ජිප් රථයෙන් බැස  ඕකන්‍ද වනජීවී කාර්යාල බිමේ තැන තැන ඇවිදිමින් සිටියේ එහි සිරි නරඹමිනි.
කුඹුක්කන්ඔය ඉවුරෙ තිබී හමුවු දෙය ගුණසිංහ පොලිස් විශේෂ කාර්ය බළකායේ  ඕකන්‍ද ප‍්‍රධානියාට පෙන්වන්නට ගුණසිංහට වුවමනාවක් ඇතිවුයේ මේ දෙබස් අතරය.
‘‘ඔයාලගේ ටීම් එකේ මොනවාහරි නැතිවුණාද?’’ ගුණසිංහ මහතා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගෙන් ප‍්‍රශ්නයක් ඇසීය.
‘‘ඇයි එහෙම ඇහැව්වේ’’ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියා තරමක කලබලයෙන් යුතුව විමසුවේය.
‘‘නෑ මොකවත් නෑ. මම අද උදේ කුඹුක්කන් ඔය ඉවුරේ තිබිලා මේ පිහිය ඇහුලූවා. ඔපරේෂන් එකකට ගිය ඔයාලගේ වෙන්න ඇති. සී.  ඕ. ට දෙමු. ’’ ගුණසිංහ කීවේ පිහිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියා අතට එය පත්කරමින්ය.
පිහිය අතටගත් නිලධාරියා එය හොදින් විපරම් කළේය. එය පොලිස් විශේෂ කාර්ය බළකායේ එකක් විය නොහැකි බවට ඔහුට වැටහිනි.
‘‘මේකනම් අපේ වෙන්න බෑ.’’ යි කියූ ඔහු එම පිහිය  ඕකන්‍ද වනජිවි කාර්යාලයට යාබදව තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරට රැගෙන ගියේ එහි ප‍්‍රධානියාට පෙන්වන්නටය.
මේ අතර  ඕකන්‍ද වනජිවී කාර්යාලයේ සිටි පිරිසගේ වෙනස ගැන ගුණසිංහට දැන ගන්නා තුරු ඉස්පාසුවක් නොවීය. ‘‘ ඇත්තටම ඔයගොල්ල ඇයි නිකම් පුදුමවෙලා වගේ ’’ ගුණසිංහ එහි සිටියවුවෙකුගේ කණට ළං කර පැනයක් ඇසීය.
‘‘ඊයේ යාල තල්ගස්මංකඩට කොටි ගහලා. උන් ගිහිං තියෙන්නේ කුමණ පැත්තෙන්ලූ. ප‍්‍රහාරයෙන් පස්සේ පසු බැහැලා තියෙන්නෙත් කුමණටලූ. දහයක පහළොවක පොඩි ටීම් එකක් ගේමට බැහැල තියෙන්නේ. රෑ දෙකට විතර ගහන්න පටන් අරං තියෙන්නේ උදේ තුන හතර වෙනකම් දෙපැත්ත ෆයර් කරගෙන තියනවා. ’’ උත්තරයෙන් ගුණසිංහගේ ඇගේ හිරිගඩු පිපෙන්නට විය.
මේ ආරංචිය ගමනට එක්වු සෙසු පිරිසට තවමත් දැනගන්නට නොලැබුණේ ඔවුන් එළියේ ඔබමොබ ඇවිදින නිසාය. එහෙත් ඒ තොරතුරෙන් ගුණසිංහ අතීතාවර්ජනයකට ඉබේම යොමුවිය. මහකැබිලිත්තේදී අලූයම් කාලයේදි සහ දහවල් කාලයේදී දුටු අමුත්තන් මේ ප‍්‍රහාරකයන් විය නොහැකිද? දිව්ලානෙගොඩ ප‍්‍රදේශයේ සැගවී සිටිමින් තල්ගස්මංකඩ ප‍්‍රහාරය සැලසුම් කර එහි පිටත්වෙද්දී තමන් නෙත ගැටුනාද? නමුත් එතැන සිට පයින් මහ කැලෑව මැද්දෙන්  තල්ගස්මංකඩට යන්නට හැකියාවක් නැත. එසේනම් තල්ගස්මංකඩ ප‍්‍රහාරයට සම්බන්‍ධවී ඇත්තේ වෙනත් පිරිසක් විය යුතුය. ඉන් හැගෙන්නේ කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායම් කිහිපයක්ම දැන් කුමණට රිංගා ඇතිබවය. මේ කරුණු ගුණසිංහගේ සිත අවුල කරන්නට හේතුවක් විය.
‘‘මහකැබිලිත්තේදී දුටු කොටි ත‍්‍රස්තවාදීන් ඇයි අපට කරදරයක් නොකළේ?’’ ගුණසිංහගේ හිතට වදදෙන ප‍්‍රශ්නයක් බවට ඒ සිදුවීම පත්විය. ‘‘අපි කාටවත් කරදරයක් කරන්න ගිය ගමනක් නොවෙයි. මහකැබිලිත්තේ සියඹලා දේවාලය වැද පුදාගෙන කතරගම දෙයි හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරන්නනේ අපි ගියේ. ඒ හින්දා අපට කරදරයක් නොවෙන්න ඇති.’’ ගුණසිංහ ආකූල ව්‍යාකූල වු සිත තමන් විසින්ම සනසා ගන්නට කියා ගත්තේය.
මේ අතර යාබද පොලිස් විශේෂ බළකා කදවුරේ ප‍්‍රධානියාගේ පණිවිඩයක් අනුව ගුණසිංහ මහතා ඔහු සමග කතාවට වැටුණේය.
‘‘ගුණේ මේ පිහිය කොහේද තිබුණේ.’’ පොලිස් විශේෂ කාර්ය බලකා ප‍්‍රධානියා පැනයක් නැගීය.
‘‘ඇදකුඹුකේ කුඹුක්කන්ඔය ඉවුර ළග. ඔයෙන් එගොඩ මෙගොඩ වෙන තැනට ටිකක් එහායින්. ඇයි මේක ඔබතුමාලගේ එකක් නෙවෙයිද? ’’ තරමක් වික්‍ෂිප්තව ගුණසිංහ පිළිතුරත් සමග පැනයක් ඇසීය.
‘‘නෑ. මේ පිහිය අපි පාවිච්චි කරන එකක් නොවෙයි. මේ වගේ පිහියා පාවිච්චි කරන්නේ කොටි ත‍්‍රස්තවාදීන්. උන් ගම්වලට වැදිලා, හමුදා කදවුරුවලට කඩාපැනලා මිනිස්සු කපා කොටා දමන්න මේ වර්ගයේ පිහියා තමයි පාවිච්චියට ගන්නේ. ඒත් මේක අතරමග දාලා ගියේ ඇයි කියන එකයි ගැටලූව.’’ පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියාගේ පැහැදිලි කිරීම හමුවේ ගූණසිංහ මහතාගේ ඇඟේ හිරිගඩු පිපෙන්නට විය.
‘‘ඇදකුඹුකේ නැවතී සිටි තම කණ්ඩායමට අනතුරක් කරන්නට පැමිණි කොටි ත‍්‍රස්තයන් යම් හේතුවක් මත එය නොකර ආපසු යද්දී මේ පිහිය අතරමග වැටුණාද? නැත්නම් තල්ගස්මංකඩ කදවුරට ප‍්‍රහාරය එල්ල කරන්නට යනවිට ගෙනයද්දී වැටුණාද? පිළිතුරක් නැති පැනයෙන් ගුණසිංහ මොහොතක් කල්පනාවේ පසුවිය.
‘‘ඊයේ රෑ තල්ගස්මංකඩ කෑම්ප් එකට කොටි ගහලා. උන් ගිහිං තියෙන්නේ කුමණ ඉදලා යාලෙ බ්ලොක් ටූ වල පොත්තන පිළින්නාව හරහා කියලයි සැකකරන්නේ. හැබැයි ප‍්‍රහාරයට ගිය ත‍්‍රස්තයෝ තවම කුමණට ආපහු ඇවිත් නෑ. මොකද ප‍්‍රහාරය වු වෙලාවයි, කුමණ ඉදලා තියන දුරයි බැලූවම උන්ට ආපහු එන්න වෙලාවක් නෑ. අනික උන් ප‍්‍රහාරයට යන්න ඇත්තේ දවස් කිහිපයකට ඉස්සර වෙන්න  ඕනෑ. සමහරවිට ඒ යද්දී මේ පිහිය වැටෙන්න ඇති’’ හො`දින් මුවහත්ව ඇති පරණ නොවු පිහිය අතේ තබාගෙනම පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියා කීවේය.
‘‘මේ පිහියෙන් කී දෙනෙක් කපලා මරන්න ඇද්ද?’’ පොලිස් විශේෂ කාර්ය බළකා ප‍්‍රධානියා සිය කතාවට තවත් අරුතක් ගෙනාවේය.
මේවනවිට  ඕකන්‍ද වනජිවී කාර්යාල බිමේ තැන තැන ඇවිදිමින් සිටි පිරිසට පෙරදිනයේ තමන් භයානක අත්දැකීමකට මුහුණදුන් බව සෙසු පිරිසගේ කතාබහ සහ හැසිරීම් වලින් ඉව වැටී තිබුණි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 23 15:56:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
මඩමෙතොට කුඩා කැබිලිත්ත දේවාලය

කුමණ වනෝද්‍යානයේ බාගුරා ඔයේ පාලම

මහකැබිලිත්තේදී දුටු අද්භූත රූප - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31

හිරු අවරට යන්නට සුදානම්ය. බටහිර දෙසින් අහස රත්පැහැ ගැන්වී තිබේ. අතරින් පතරවු සුදුවළා කැටි දැන් රතු සහ අලූ පැහැයෙන් යුතුබව හමායන සුළ`ග නිසා  වරින්වර ඈත්වන තුරු මුදුනින් පෙනේ. කැදළිකරා යන කුරුල්ලන්ගේ හඩට අමතරව කුඹුකන් ඔයේ වතුර ගලනා හ`ඩ යන්තමින් ඇසේ. පරිසරය ඒතරම් නිහඩය.
කුඹුක්කන්ඔය ඉවුරේ මහ ගස් අතර ඇති කුඩා පදුරු  නැති තැනක අදුරු වැටෙන්නට පෙර කිහිප දෙනෙක් කූඩාරමක් තනන්නේ රාත‍්‍රිය එහි ගත කරන්නය. වනඅලි, දිවියන්, වලසුන් පමණක් නොව නයි පොළොගුන් වැනි විෂඝෝර සර්පයන්ද අඩුනැති මේ බිම ‘‘කුමණ’’ ජාතික වනෝද්‍යානයට අයත්ය.
මීට සිව් වසරකට පෙර එනම් 2008 වර්ෂයේ මේ කියන රාත‍්‍රිය එළඹෙන මොහොතේ පෙරකී වන මෘගයන්ට අමතරව ත‍්‍රස්තවාදීහු වූ දෙපා කොටිද මේ වනාන්තරයේ තැනින් තැන ලැගුම්ගෙන සිටියහ. අද විවිධාකාර සහ විවිධ පන්නයේ මිනිසුන් මෙහි ආගියත් එදා මේකියන බිම එනම් මහකැබිලිත්තේ සියඹලා දේවාලයට එගොඩවෙන කුඹුකන්ඔය ඉවුර පාළුය. හුදකලාය.
අදුර වැටී අවසන්ය. නිශාචර සතුන්ගේ  හඩ කෙමෙන් කෙමෙන් වැඩිවෙයි. වනඅලියෙක්, දිවියෙක් හෝ වලසෙක් පැමිණෙතැයි සිතූ පිරිස කූඩාරමට ටිකක් ඈතින් ගිනිමැලයක් දැල්වූයේ වැඩි ආරක්‍ෂාවටය. දින ගණනාවකින් මිනිස් පා සලකුණක් එහි තබා නැතිබව පැහැදිලිව පෙනුනද කැලෑවේ තැනින් තැන තිබු කලිසම් සහ කමිස කාගේදැයි බොහෝ දෙනකුට ගැටලූවක් විය.
‘‘අපි දැන් ඉන්නේ කතරගම දෙයිහාමුදුරුවන් භාවනානුයෝගිව වැඩඉන්න සියඹලා දේවාලයට ගොඩවෙන කුඹුකන්ඔය ඉවුරේ.’’ පිරිසේ කෙනෙක් තව කෙනකුට රහසේ කීවද තිබු නියැඩියාව නිසා එය කාටත් ඇසුනි.
මේ කාලය වනවිට මහකැබිලිත්තේ සියඹලා දේවාලයට ඉදහිට හෝ එන බැතිමතුන් දහවල් දොළහෙන් පසු එහි නොයයි. උදේ හයත් දොළහත් අතර වන්දනාමාන කටයුතු කිරිමට වග බලාගන්නා පිරිස් එතෙක් මොගොඩ ඉවුරේ තනාගත් කූඩාරමක රැය පහන් කරති. මේ පිරිසද ඒ සිරිත එලෙසම අනුගමනය කළහ. වනසතුන්ට ආදරය කරන අනුර වීරක්කොඩි මහතාත්, කැස්බෑවේ සුනිල් ශාන්ත මහතාත් ඇතුලූ පිරිස මේ කණ්ඩායමට අයත්ය. ඔවුන් පැමිණියේ ජිප් රථයකිනි. වනජිවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුවු බී. ගුණසිංහ මහතා ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියෙන් ජිප් රිය පෙරටු කරගෙන පැමිණ සිටියේය.
ජීප් රියත් යතුරු පැදියත් පසෙකය. රාත‍්‍රියේ ගිනිමැලයේ දැල්ල කෙමෙන් අඩුවී ඇතිබව කූඩාරමේ නින්දත් නොනින්දත් අතර සිටි පිරිසට පසක් විය. කැලෑව හුරු ගුණසිංහ කූඩාරමෙන් එළියට ආවේ නිවීයන ගිනිමැලය අවුලූවන්නටය. ගුණසිංහ කූඩාරමෙන් එළියට එනවිට තමන් අවදියෙන් ඉන්නා බව ඇගවීමට කූඩාරම ඇතුළේ වැතිර සිටි කෙනෙක් ‘‘ ගිනිමැලේ නිවෙන්න වගේ යන්නේ ’’ යැයි හීන් හඩින් කීවේය.
ගුණසිංහ පසුපස සුනිල් ශාන්තත් ආවේය. එය ගුණසිංහටද තරමක ජවයක් ගෙනදුන්නේය. දෙදෙනාම එක්ව ගිනි මැලය ඇවිලූවේය. දැන් එහි රත්පැහැවු  එළියෙන් වටපිටව යන්තම් පෙනේ. ඇතැම් අවස්ථාවල වළහ හෝ දිවියා මෙවැනි ගිනිමැල සමීපයට එන්නේ එළිවෙන ජාමෙටය. ඒ ගිනි තපින්නටය. වටපිට ඉව අල්ලමින් මාන බලමින් මිස දිවියා හෝ වලහා එකවර නම් ගිනිමැලය අසලට නොඑන බව කුඩාකළ සිටම වනසතුන්ගේ චර්යා ගැන හොද අවබෝධයක් ඇති ගුණසිංහ දන්නේය. ඒ නිසා ඔහුද ගිනිමැලයට ළංවූයේ වටපිට හො`දින් විපරම් කරමිනි.
කූඩාරම තුළවූ ලන්තෑරුම එහි අදුර මැකුවේය. ලන්තෑරුම් එළියෙන් ඔරලෝසුවක වෙලාව බලාගත් සුනිල් ශාන්ත ‘‘ එකට කිට්ටුයි’’ කීවේ කාටත් ඇසෙන ලෙසය. ගිනිමැලයේ එළිය දැන් ප‍්‍රාණවත්ය. වරින්වර ගිනිපුළිගු අහස දෙසට ඇදී ගියත් එය අඩි තුනකට වඩා ඉහළ නොගියේය. වරින්වර ගිනිමැලය තුළින් ‘‘ පට .... පට ’’ ගානා හඩක්ද ඇසුනි.
ගුණසිංහත් සුනිල් ශාන්තත් යළි කූඩාරමට රිංගා ගත්හ. ගස්වල සිසිලසත්, කුඹුක්කන් ඔයේ වතුරේ සීතලත් කිසිදා හිරු නොදුටු මහපොළොවේ තෙත් බවත් ඇගට ගෙනාවේ කිතිකවන සීතලකි. කූඩාරම තුළ ගුලිවී සිටින නිසා කූඩාරම ඇතුළේ  එළියට වඩා තරමක් සීතල අඩුය. කූඩාරම ඇතුළේ බිම දිගාවී සිටියත් එහි සිටයවුන් හැමෝම වාගේ අඩ නින්දේ පසුවූහ. දිරාගිය අතුකැබැල්ලක් සුළගට බිම වැටෙන හඩ පවා මේ නිසසල රාත‍්‍රියේ ඇග හිරිගඩු පිප්පීමට සමත්විය.
හෝරා දෙකක් දෙකහමාරක් ඉක්ම ගියතැන යළිත් ගිනිමැලය හීන්වී ඇතිබව ගුණසිංහ දුටුවේය. අඩනින්දේ පසුවු ඔහු නැගිට කූඩාරමෙන් එළියට ආවේ ගිනිමැලයට දරකැබැල්ලක් දෙකක් දමන්නටය. වටපිට විපරමෙන් බැලූ ඔහු ගිනිමැලිය දෙසට ගියේ දෙඅත් දෙවුර මත තබාගෙනය. ඒ එළියේ තිබු සීතල නිසාය. අසලවු දිරාගිය ලී කැබැල්ලක් දරමැලයට ලංකළ පසු ගිනිමැලය යළි ප‍්‍රාණවත් විය. එහි වු රස්නය මෙන්ම එළියද වැඩිවිය.
ගිනිමැලයේ රස්නය නිසා ගිනිතැපීමට ඒ අසලින් ගුණසිංහ ඇණතබා වාඩිවුයේය. ඒ සමගම  ගිනිමැලයේ නොපැහැදිලි ආලෝකය අතරින් තරමක් දුරින් මිනිස් රුව කිහිපයක් ගුණසිංහගේ උකුසු ඇසට දර්ශනය විය. ගුණසිංහගේ ඇස ඒ දෙස හොදින් යොමුවිය. වරෙක පෙනී තවත් වරෙක නොපෙනී යන මේ මිනිස් රූප හොල්මන් හෝ අවතාර විය නොහැකිද? ගුණසිංහ හිත හදාගත්තේ තමන්ටම කියාගනිමින්ය.
’‘කතරගම දෙයි හාමුදුරුවන්ගේ අඩවියට ආපු අපට අතුරු ආන්තරාවක් කරන්න ඉඩ තියන්න එපා දෙයි හාමුදුරුවනේ. උදේ හවස බුදුන් වැදලා අපි ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා. ’’ ගුණසිංහ තමාටම කියා ගනිමින් වාඩිවූ ආකාරයටම සිටියේය. මෙසේ තමන්ටම කියා ගත් ගුණසිංහ තවටිකක්  ඕනෑ කමින් එහෙත් හොර රහසේම ඒ දෙස බැලූවේය. තැන තැන ගස් අතරේ සැගවී තුන්හතර දෙනෙක් සිටින බව ඔහුට පසක් විය. කරන්නට දෙක් නැත. නොදැක්ක තාලෙට තවත් එහාට මෙහාට හරිබරි ගැහී ගිනි මැලය ඇවිලූවේ වුමනාවට නොව වටපිට විපරම් කිරිමට සිතාගෙනය.
අඩුම තරමින් පහළොස් දෙනෙක් වත් ගස් අතර සිටින බව ගූණසිංහට අවබෝධ විය. එකත් එකටම කුමණට පැන ඇති කොටි ත‍්‍රස්තයන් මෙසේ තමන් වටකොට ඇතිබව ගුණසිංහට සැකයක් විය. කූඩාරමේ නිදා සිටින අය අවදිකරවීම හොදක් වගේම නරකක් විය හැකිය.  ‘‘ වෙනදෙයක් වුණාවේ මම මෙහෙමම ඉන්නවා ’’ තමන්ටම කියාගත් ගුණසිංහ ගිනිමැලය තපිමින් වාඩිවු ආකාරයටම සිටියේය. සැගවි සිටින පිරිස ක‍්‍රමයෙන් ඈත්වන බව ඔහුට අවබෝධ විය. හෝරා කිහිපයක් යත්ම තවත් දවසක උදාව පෙන්නුම් කළේ නැගෙනහිර අහසේය.
අලූයම් කාලෙයේ තමන්දුටු දසුන රහසක්ව තබා ගැනීමට ගුණසිංහ වග බලා ගත්තේය. පිරිස නැගිට කුඹුක්කන්ඔයට බැස මුහුණ සෝදා මුරුතැන් පූජාව සැකසීමට ඔය ඉවුරට ගියේය. ඒ අතර කූඩාරම ගලවා ඉවත් කරද්දී දුටු දසුන්නින් සියල්ලෝම තුෂ්නිම්භූත වූහ. කූඩාරම යට විශාල වැලි පොළගාය. රස්නයට එහි ආ වැලි පොළගා කූඩාරම තුළම නිසොල්මනේ සිටියි. කිසිවකුටත් කරදරයක් නොකළ වැලි පොළගා කූඩාරම ගලවද්දී හෙමිහිට කැලෑවට ඇදි ගියේය. ‘‘ඊයේ රෑ අපි කාට හරි මේ පොළගා යට වෙන්න ඇති. දෙයියෝ තමයි අපි බේරුවේ ’’ කෙනෙක් කීවේය.
‘‘කොහොමද මූ ඇතුළට රිංගුවේ’’ තවත් කෙනෙක් විමසුවේය.
‘‘ඔය ගොල්ලේ රෑ ගිනිමැලේ අවුලන්න එළියට ගියානේ. ටික වෙලාවක් ඔයාලා එළියේ හිටියා. ඒවෙලාවේ ඇතුළට රිංගන්න ඇති.’’ තවත් කෙනෙක් කීවේය. පොළගා කූඩාරමට රිංගුවේ කොයි වෙලේද කියන්නටනම් කවුරුවත් දන්නේ නැත. සමහර විට ගුණසිංහ ගිනි තපින වෙලේ වන්නටද බැරිය. ඒ කතාව දිග හැරියොත් රාත‍්‍රියේ සිදුවු දේවල් තවත් බොහෝ බව දැන සිටි ගුණසිංහ සුපුරුදු පරිදි පුජාව සුදානම්කර මෙගොඩ බෝධියට බුද්ධපුජාවද තබා පහන් දල්වා පන්සිල් ගෙන පුජාකර දෙවියන්ටද පින්දී කුඹුක්කන් ඔයෙන් එගොඩ වී එගොඩ බෝධියද වැද සියඹලා දේවාලයට ගොස් දෙවියන් පුදා පැමිණියේ ආපසු පිටත්වන්නටය.
පෙර දිනයේ සවස එනවිට නොතිබු සලකුණු කිහිපයක් එහි දක්නට ඇතිබව සුනිල් ශාන්ත කීවේය. ඒ සමගම ඈතින් පහළොස් දෙනෙක් පමණ වු පිරිසක් සිටිනු දුටු සුනිල් ශාන්ත ඇතුලූ පිරිස තැතිගත්හ. සමහරු කොටකලිසම් ඇදගෙනය. සමහරු දිග කලිසම් ඇදගෙන. සමහරු කැන්වස් සපත්තු පැළද සිටිද්දි තවත් සමහරු රබර් සෙරෙප්පු පැළඳගෙනය. තමන් මේ සිටින්නේ කොටි ත‍්‍රස්තයන් පිරිසක් අසල බව කාටත් අවබෝධවිය. අලූයම් කාලයේ කූඩාරම අවට රැකගෙන සිටියේ මේ පිරිස බව ගුණසිංහට අවබෝධවිය.  ඈතින් සිටින මේ පිරිසගෙන් කිසිදු සංඥාවක් නැත. ඔවුන් නොදුටුවාසේ ගුණසිංහ සහ සුනිල් ශාන්ත ඇතුලූ පිරිස පිටත්වන්නට සුදානම් වූහ. වාහනයට නැග බලද්දී ඈත සිටි පිරිස අතුරුදන්ය. ඒත් කිසිම කෙනෙක් ඒ කවුදැයි කාගෙන්වත් විමසුවේ නැත.
මහකැබිලිත්තෙන් පිටත්වු ජිප් රිය හරිහමන් පාරක් නැති කුමන මහ කැලෑවේ ඉදිරියට ඇදෙන්නේ  ඕකන්ද බලා එන්නටය. අලකොළආර, කළුකඤ්ඤංආර, යන ආරවල් එගොඩවී අලූත්ගංආරද පසුකර ඉදිරියට ඇදෙද්දී හිරු බැසයමින් ගමනට බාධාකරන බව කාටත් අවබෝධ විය.
‘‘රෑට නම් ගමන හොද නෑ. අපි ගල්අමුණේ නතර වෙමු.’’ පිරිසෙන් යෝජනාවක් ආවේය.  ගල්අමුණ යනු කුමණ වනෝද්‍යානයේ එළිමහන් කදවුරු බිමකි.‘‘ යෝජනාව නම් හොදා. ඒත් අපේ ආරක්‍ෂාවට එතන  හො`දද? ’’ යෝජනාවට අතුරු ප‍්‍රශ්නයක් මතු කළේද පිරිස අතරින් කෙනෙක්මය.
‘‘කොහොම වුණත් රෑ ගමන හොද නෑ. සතා සිවුපාවාට වඩා දවල් දැක්ක අනික් අය කොතන ඉදි ද දන්නේ නෑ. කොයි එකටත් අපි ගල්අමුණ පහුකරලා ගිහිං ඇදකුඹුකේම නතර වෙමු. ’’ ගුණසිංහගේ යෝජනාව කවුරුත් අනුමත කළහ.
‘‘ඇදකුඹුකේ’’ ලෙස හදුන්වන්නේ යාල දෙසින් එන පිරිස් කුමණට සහ කුමණ දෙසින් යාලට යන පිරිස් කුඹුක්කන් ඔය එගොඩවන ස්ථානයයි. එදින අලූයමත් දහවල් කාලයේත් දුටු ත‍්‍රස්තවාදින්ගේ රුව ගුණසිංහගේ හිතෙන් නොමැකි යයි. හිත්පිත් නැති ත‍්‍රස්තයන්ගෙන් අවස්ථා දෙකකදී දිවි ගලවාගත් තමන්  ඕකන්දට යන්නේ කොයි මොහෙත් දැයි ගුණසිංහට ඉස්පාසුවක් නැත. තමන් පැමිණි යතුරුපැදියෙන් රාත‍්‍රියේ වුවත් ඇදකුඹුකේ සිට  ඕකන්දට යන්නට ගුණසිංහට හැකියාවක් ඇතත් ජිප් රියේ පැමිණි අනික් පිරිස එහි තනිකර යාමට ඔහුට කළ නොහැකිය. ඇදකුඹුකේ නැවතීමද අනතුරුදායක එකක් වන්නට ඉඩ තිබේ. රාත‍්‍රියේ ජීප් රියකින් ගමන ඊට වැඩි අනතුරක් වන්නට ඉඩ තිබේ. අදුර වැටෙන්නට පෙර මේ දෙකෙන් එකක් තෝරා ගත යුතුය. ඒ අනුව පිරිස ඇදකුඹුකේ නැවතීමට තීරණය කළහ.
අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 16 13:57:00 | ලංකාදීප කර්තෘ මණ්ඩලය





Sunday, September 9, 2012

කී දේ නොඇසූ එස්.ටී.එෆ්. සැරයන්ට කුමනේදී කොටි ප‍්‍රහාරයක් - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 30


නැගෙනහිර පළාතේ පානම ගම්මානයට යන මාර්ගය  මෑතදී සංවර්ධනය වුවත් මීට පස් වසරකට පෙරදී කටුකොහොළින් පිරි මගක් විය. පානමටම ආවේනිකවු චාරිත‍්‍රවාරිත‍්‍ර වලින් සුසැදි මේ ගමේ මිනිස්සු ඉතා කාරුණික මෙන්ම ආගන්තුක සත්කාරය නොඅඩුව කරන පිරිසක් විය. පොතුවිල්, ආරුගම්බේ, උල්ලෙ, ශාස්ත‍්‍රවෙල පහුකර පානමට එන මාර්ගයේ  දෙපස ඇත්තේ මහ වනාන්තරයයි.
එදා ඒ අබලන් මාර්ගය ඔස්සේ දිවාකල මිස අදුරු වැටුනු පසු එහා මෙහා නොයාමට පානම වැසියෝ වග බලාගත්හ. ඊට හේතු කිහිපයක් විය. ඉන් එකක් අදුර වැටෙත්ම වනාන්තරයේ වෙසෙන වනඅලි මාර්ගයට පැමිණීමයි. දෙවැන්න වනාන්තරයේ වෙසෙන දෙපාකොටි මාර්ගය අවට සැරි සැරීමයි. පානම වැසියන්ට පත්තිනි සහ අලූත්බණ්ඩාර දෙවිවරුන්ගේ පිහිටාරක්‍ෂාවට අමතරව කතරගම දෙවියන්ගේ නිරතුරු ආරක්‍ෂාව නොවන්නට කොටි ත‍්‍රස්තයන්ගේ ඝාතන නිසා අමුසොහොන් බවට පානම පත්වන්නට ඉඩතිබු බව පානම වැඩිහිටියෝ අදටත් සිහිපත් කරති.
එවකට පැවති රජය කොටි ත‍්‍රස්තයන් සමග 2002 දී ඇති කරගත් සටන් විරාම ගිවිසුම අහෝසිවීමත් සමග කොටි ත‍්‍රස්තයන් සොයා නැගෙනහිර මෙහෙයුම් වැඩිවන්නට විය. සටන්විරාම ගිවිසුම කාලයේ නැගෙනහිර ප‍්‍රදේශයේ ගම් සහ නගරවල නිදහසේ සැරිසැරූ කොටි ක‍්‍රියාකාරීහූ හොදින් තොරතුරු රැස්කළ නිසා මේ කොටි ත‍්‍රස්තයන්ගෙන් ඒ ගම් සහ නගර පමණක් නොව සාමාන්‍ය වැසියන්ද ආරක්‍ෂා කිරීමට ආරක්‍ෂක නිලධාරින්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවු වකවානුවක් විය.
දෙදහස් හත වර්ෂයේදී නැගෙනහිර මෙහෙයුම් හමුවේ කොටි ත‍්‍රස්තයෝ මුහුදු සහ ගොඩබිම් මාර්ග වලින් කුමන වනාන්තරයට රිංගන්නට පටන් ගත්හ. ඇතැමුන්  ඕකන්ද දේවාලය අසලින් ගොඩබිමට එන්නේ ධීවර වෙස් ගෙනය. එසේ නැත්නම් ගිරිකුල කළපුව අසලින් ගොඩබිමට එති. එසේත් නැත්නම් කුමන ගම්මානයට නුදුරින් ගොඩබිමට එති. මේ වනවිට කුමන වනජිවී කාර්යාලයද වසා දමා තිබුණි. එහි සේවකයෝ පානම ගමට පැමිණි අතර වරින්වර කිහිප දෙනෙක් දිවා කළ එහි ගොස් රාත‍්‍රීයේ ආපසු පානමට එති.
කොටි ත‍්‍රස්ත මෙහෙයුම් නැගෙනහිර ක‍්‍රියාත්මක වුණද  ඕකන්‍ද දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය සුපුරුදු පරිදි සිදුකිරිමෙන් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ලබාගත හැකියැයි විශ්්වාසයක් පැවතුනි. මේ වනවිට මේ ප‍්‍රදේශයේ ආරක්‍ෂාව භාරව සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතාය. ඔහු  ඕකන්‍ද දේවාලයේ පෙරහර පැවැත්වීමට විශේෂ දායකත්වයක් දුන් ආරක්‍ෂක නිලධාරියෙක් විය.
පෙරහර කාලයට  ඕකන්‍දට කොටි ත‍්‍රස්තයන් වෙස්වලාගෙන පැමිණෙන බව නොරහසකි. ඇතැම් අවස්ථාවල ඔත්තු බැලීමට කොටි ත‍්‍රස්තයන් පෙරහර සමය යොදාගනී. දේවාලයේ පෙරහරට පැමිණි බැතිමතුන්ගේ වෙස්ගෙන දින ගණන් එහි ගතකිරීම මේ කොටි ඔත්තුකරුවන්ගේ සහ ඔත්තුකාරියන්ගේ රාජකාරිය විය. එහි එන ආරක්‍ෂක නිලධාරින්, ඔවුන් යන එන ගමන් එහිදී වැඩිපුර කොටි ත‍්‍රස්තයන්ගේ විපරම් කිරිම්වලට ලක්වෙන බව වසන්ත කුමාර මහතා හොදන් දැන සිටියේය.
කතරගම දෙවියන් වෙනුවෙන් පේවී එන බැතිමතුන්ට සහ  ඕකන්‍ද දේවාලයටත්, පෙරහරටත් ආරක්‍ෂාව දීම වසන්තකුමාර මහතාගේ ප‍්‍රධානම වුවමනාව විය. ඒවනවිට ඔවුන් සිටියේ පානම කේන්‍ද්‍රගත කරගෙනය. පානම සිට  ඕකන්දට කිලෝමීටර් දාසයක් ආගියේ පාගමනිනි. පෙරහර සමය නිසා  ඕකන්දේ ආරක්‍ෂාව තර කරන්නට  ඕකන්ද ප‍්‍රදේශයේ තාවකාලිකව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරු කිහිපයක් ස්ථානගත කළ යුතු බව ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්තකුමාර මහතාගේ අදහස විය. මේ බව ඔහු තමන්ට ඉහළින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාට (පසුගිය වසරේ සැප්තැම්බර් 27 දින අම්පාර මහඔය හන්දියේ පිහිටි පොලිස් විශේෂ බළකා කදවුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේම ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතා මියගියේය.) දැනුම් දුන්නේය.
ඒ අනුව ජංගම කදවුරු බැදීම සිදුවිය. රාත‍්‍රී කාලයේ සැරිසරණ කොටි ත‍්‍රස්තයන්ගෙන් ආරක්‍ෂා වී  ඕකන්දට එන ජනතාවට ආරක්‍ෂාව සැපයිය යුතුය. වෙහෙරකෙම ගණදෙවි කෝවිලට නුදුරුව කැලෑව ඇතුළට වන්නට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම කදවුරු බැන්දේය. අමාවක ආසන්න නිසා රාත‍්‍රී දැඩි අදුරක් ගෙනාවේය. වියළි කාලගුණය නිසා එළිමහනේ රාත‍්‍රිය ගත කිරීම අවදානම් නැත. නමුත් වනසතුන්ගෙන් මෙන්ම සර්පයන්ගෙන් ආරක්‍ෂාවීම වැදගත්ය. කුඩා හෝ එළියක් දැල්වීම මරණයට අතවැනිමක් වැනිය. මැදියම් රැයවන විට හමායන සීතල සුළගට ඇෙඟ් හිරිගඩු පිපෙයි. ඒ සිතල සුළගත් සමග එන පින්නෙන් ඇද සිටින ඇදුම් තෙත් වෙයි. එහෙත් මේ පින්නෙන් සුළගින් බේරෙන්නට කියා තාවකාලික හෝ කූඩාරමක් තැනීම කොටි ත‍්‍රස්තයන් ගැවසෙන අඩවියේ සුදුසු නැත. මේ පීඩා විද දරාගනිමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් කණ්ඩායම් කුමන කැලෑවේ තැන තැන රැය පහන් කළේය.
ජංගම කදවුරුවල විශේෂත්වය වූයේ දිනෙන් දින කදවුරු වෙනස්වීමයි. මෙය සතුරාට ද ඉමහත් අභියෝගයක් විය. කදවුරු ගැන තොරතුරු සොයා ප‍්‍රහාරයක් සැලසුම්කරනවිට කදවුර එතැන නොවීමෙන් සතුරා නොමග යයි. මේ ආකාරයට 2007, 2008  වසරවල කුමන වනෝද්‍යානයේ ජංගම කදවුරු තැනින් තැන ඇතිවිනි.
කුමන කැලැවේ කොටි ත‍්‍රස්තයන් පහලොවේ විස්සේ කුඩා කණ්ඩායම් විය.  ඕකන්‍ද වනජිවී පිවිසුම් කාර්යාලය වසා තිබුණද වනජිවී අඩවි සහකාර බී. ගුණසිංහ මහතා වරින්වර එහි පැමිණ දිවාකාලයේ කුමන වනෝද්‍යානයේ වන සතුන් ගැන සොයා බලන්නේ පොලිස් විශේෂකාර්ය බළකායේ පුර්ණ සහාය ඇතිවය. කුමන කැලෑව ගැන ඔහුගේ තොරතුරු කැලෑවට යන්නට හොද උපදෙස් මාලාවක් විය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතා (වත්මන් පොතුවිල් පොලිස්ථානාධිපතිවරයා) කුමන වනෝද්‍යානය ඇතුළට ගමන් කිරිමේදී ආරක්‍ෂක උපක‍්‍රම භාවිත කරන ලෙස තම කණ්ඩායමට නිතරම උපදෙස්දුන් නිලධාරියෙක් විය. එසේම ඔහු අඩුම තරමින් දින කිහිපයකට හෝ වරක්  ඕකන්‍දට පැමිණ මුරුගන් කෝවිලේදි කතරගම දෙවියන් වෙනුවෙන් කපුරු දැල්වීමක් හෝ කිරීමට අමතක නොකළේය.
ඕකන්‍ද දේ්වාලයේ 2007 පෙරහර මංගල්‍යය පැවැත්වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පූර්ණ ආරක්‍ෂාව යටතේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි සැරයන් අනුර හොද හැඩිදැඩි පුද්ගලයකු විය. එකවර කිහිප දෙනකු බිම දමන්නට තරම් ශක්තියක් ඔහුට විය. පෙරහර අවසන්වීමෙන් පසු කොටි ත‍්‍රස්තයන් කුමන කැලෑවට රිංගා ඇතිබවට තොරතුරු ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතාට ඒවනවිට ලැබී තිබුණි. ඒ නිසා කුමන වනෝද්‍යානය ඇතුළේ ගමන් කිරිමේදී අටදෙනාගේ කණ්ඩායමෙන් පරිබාහිරව නොයන ලෙස වසන්ත කුමාර මහතා සෙසු නිලධාරින්ට උපදෙස් දී තිබුණි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කුමන වනෝද්‍යානයේ ඇතුළේ ගමන් කරද්දී දැනට ඇති පාරට සමාන්තරව කැලෑවෙන් එක් කණ්ඩායමකුත් වෙරළ දෙසින් තවත් කණ්ඩායමකුත් ලෙස කණ්ඩායම් දෙකක් ගමන් කිරීම කුමන සැගවී සිටි කොටි ත‍්‍රස්තයන්ට පවා ගැටලූ ඇතිකරන්නක් විය. දිනක්  ඕකන්‍ද දේවාලයට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් පඩුරුදමා කපුරු දල්වා කුමන කැලෑවේ ඇතුළට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් පිටත්විය. එහෙත් ඔවුන්ට උඩහැලව වැවට යන ඇතුලූ පාරේදි කොටි ත‍්‍රස්තයන්ගේ ප‍්‍රහාරයක් එල්ලවිය.
අටදෙනාගෙන් නොඅඩුව නොයන්නැයි වසන්තකුමාර මහතාගේ උපදෙස නිසා ප‍්‍රතිවාදින්ට එල්ලකළ ප‍්‍රති ප‍්‍රහාරය හමුවේ සතුරන් පසු බැස්සේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ කිසිවකුටත් හානියක් නොවීය. නමුත් එක් අවාසනාවන්ත සිදුවීමකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් අතර දැඩි කම්පනයක් ඇතිවිය. මුලින් ස`දහන් අටදෙනාගෙන් බැහැරව නොයන්නැයි වසන්තකුමාර මහතාගේ උපදෙස නොතකා පැමිණි පොලිස් විශේෂකාර්ය බළකායේ සැරයන්වරයෙක් නිවාඩු සිටින අතරේදී පිටව යන බව දන්වා තවත් කොස්තාපල්වරයෙක් සමග බයිසිකලයෙන් යද්දී උඩහැලව වැව ආසන්නයේදි ප‍්‍රහාරයකට ලක්ව දිවි පිදුහ.
කුමන වනෝද්‍යානය පුරාවට වියළි කාලගුණය දැඩි බලපැම් ඇති කළේය. වනෝද්‍යානයේ වැව් පොකුණු දියපාරවල් හිදි ගියේය. දියපොදක් සොයා වනසතුන් හැම තැනම රැුයක් දවාලක් නැතිව සැරිසරයි. කුමනට රිංගාගත් කොටි ත‍්‍රස්තයන්ටත් මේ වියළි කාලගුණය ඇතිවූ ජල හිගය දැඩි ලෙස බලපාන්නට ඇතැයි ආරක්‍ෂක නිලධාරිහූ ද විශ්වාස කළහ. දියපොදක් ඉතුරුව තිබූ ජලමුලාශ‍්‍ර අසල පොලිස් විශේෂ කාර්ය බලකායේ අටේ කණ්ඩායම් රැකවල් ලා සිටියහ. නමුත් පොලිස් විශේෂ කාර්ය බලකායට තිබු බිය නිසාම කොටි ත‍්‍රස්තයෝ පිපාසිතව සැගවීසිටීමට උත්සාහ ගත්තා මිස වතුර සොයා කැලෑවේ නො ඇවිද්දහ.
කුමන කැලෑවේ කොටි ත‍්‍රස්තයන් සොයා ගිය එක් මෙහෙයුමක් අතරෙදි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්තකුමාර මහතා ඇතුලූ කණ්ඩායමක් මහකැබිලිත්තට ගියහ. පිරිසුදුවී කුඹුක්කන්ඔයෙන් එගොඩවී මහසියඹලාවටත්, සියඹලා දේවාලයත් ගොස් වැ`දපුදාගෙන බෝධියද වැද යළි කුඹුක්කන් ඔයෙන් එගොඩවී මෙගොඩ බෝධියට පැමිණියේය. මේ කාලය මහකැබිලිත්ත අදමෙන් නොව මිනිස් වාසයෙන් තොර ජනශුන්‍ය තැනක් විය. වනසතුන් සිත්සේ ආගිය තැනක්වු අතර කොටි ත‍්‍රස්තයන්ට තිබු බිය නිසාම කිසිම පිටස්තර කෙනෙක් එහි නොපැමිණියේය. අඩුම තරමේ වනජිවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෝ නොපැමිණියේය. නමුත් අද කැබිලිත්තට කිහිප වතාවක් පැමිණි සමහරු මේ අතීතය අමතක කර තමන් වසර පහ හයක සිට නොකඩවා මහකැබිලිත්තට ආගිය බවට කටමැත දොඩවති.
කුඹුක්කන්ඔයෙන් එගොඩවු ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා පැන් කළයක්ද රැගෙන මෙගොඩ බෝධියට ගියේ බෝධිය නහවන්නටය. මාස ගණනාවකින් වැස්සක් නොලැබු මේ මහවනාන්තරයේ සමහර ගස් ඉඩෝරයට කේඩෑරීවි ගොස් තිබුණි. පැන් කළයත් රැගෙන බෝධිය වටේ ගමන් කරද්දී ඉහළ අහසෙන් වතුර බින්දු කිහිපයක් ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතාගේ ඇගට වැටුණේය. ඔහු එක්වරම උඩබැලූවේය. පෙනෙන්නට කිසිවෙක් නැත. අඩුම තරමින් සතෙකු හෝ කුරුල්ලෙකුවත් නොවීය. සතුරන් සොයා කැලෑවේ මෙහෙයුමක් කළත් දේව අඩවියේ දෙවියන් වෙනුවෙන් කරන පුජා පැවැත්වීම නිසා සිදුවු ආශ්චර්යයක් යැයි වසන්තකුමාර මහතා මේ සිදුවීම ගැන අදටත් සිහිපත් කරයි.
කෙසේ වෙතත් මේ මෙහෙයුමේදි තම කණ්ඩායමේ කිසිවකුටත් කිසිදු අනතුරක් සිදු නොවුනා පමණක් නොව එක`දු කොටි ත‍්‍රස්තයකු හෝ සොයා ගැනීමට නොහැකිවු බවද එදා ඒ ගමනට එක්වු පොලිස් විශේෂ කාර්ය බළකා භටයෝ කියති
සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 09 14:00:42 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ඕකන්‍ද දේවාලය අසළ වෙරළ

මහකැබිලිත්තේ මෙගොඩ බෝධිය

ඕකන්‍ද දේවාලය ඇතුළත

සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර

මැදියම් රැයේ ආ කොටි ත‍්‍රස්තයන්ගෙන් අනූ නවයෙන් දිවි ගලවා ගනී - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29

වෙරළට නුදුරින් පොළොවෙන් ඉහළට නැගුන මහා ගල්කුල පහළ පිහිටියේ ඔකද දේවාලයයි. මෙතැන් සිට මිනිස් වාසයකට කිලෝ මීටර් පහළොවක්වත් යායුතුය. සෙල්ල කතරගම ප‍්‍රදේශයේ සිටි වල්ලි අම්මා නම් සුන්දර යුවතිය සොයාගෙන ස්කන්ධකුමාර, වේලූපිල්ලේ, මුරුගන්, වේලන්,  සුබ‍්‍රමනියයම්, කන්දසාමි, කදිරදේව, කතිරවේල්, කාර්නික, තාරකාජින්,  යන නම් වලින් හින්දු භක්තිකයන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස්සේ මේ වෙරළිනි.
එතැන සිහිකිරීමට තැනූ ඔකද දේවාලය අද ඒ ගමන සිහිපත් කරමින් වසරක් පාසා පෙරහර මංගල්‍යය පවත්වමින් චාරිත‍්‍රවාරිත‍්‍ර ඉටුකරනු ලබයි. පෙරහර මංගල්‍ය කාලයට උතුරු නැගෙනහිර පළාත්වලින් එන බැතිමතුන්ගෙන් මේ බිම පිරී ඉතිරී යයි. වසරේ දින පහළොවකට විස්සකට සීමාවන මේ පෙරහර මංගල්‍ය සමයෙන් පසු වරින් වර ඔකද දේවාලයට එන බැතිමතුන්ට අමතරව සතා සිවුපාවෝ මේ බිම අවට නිතර සැරිසරති. අලි ඇතුන් පමණක් නොව මුව පැටවුන් සමග එන මුවැත්තියන්ද, හැඩිදැඩි ගෝනුන්ද, ගෝන දෙනුන්ද, පිල් විදහා රගන මොනරුන් ද, වෙනත් සිවුපාවුන්ද, විවිධවූ කුරුල්ලන්ද මේ දේවාලය අසලට පැමිණේ. ඒත් සමහර සතුන් මිනිස් ඇස ගැටෙන මානය නොඑන්නේ සමහර මිනිසුන් තිරිසනුන්ටත් අන්ත බව දැනගෙනදෝයි සැක සිතේ.
කතරගම දෙවියන්ගේ අඩවියවූ මේ ප‍්‍රදේශයෙන් තවත් කිලෝමීටර් පහළොවක් දාසයක් උතුරු දෙසට ගියවිට හමුවන පානම ගම්මානයේ ද කතරගම දෙවියන් මෙන්ම පත්තිනි සහ අලූත් බණ්ඩාර දෙවිවරුන් පිළිබද දැඩි විශ්වාසයක් ඇති වැසියන් වෙසෙන ගම්මානයකි. එසේම ගණදෙවියන් පිළිබදවද ඔවුන් අතර ඇත්තේ අතිමහත්වූ භක්තියකි. ගමනක් බිමනක් යනවිට ගණදෙවි කෝවිලකට ගොස් කපුරු දල්වා බාධාවකින් තොරව ඒ ගමන ගොස් ආපසු එන්නට ආශිර්වාද පතති. එසේත් නැත්නම් නිරුපද්‍රිතව ගමන යන්නට ගණදෙවියන්ගේ පිහිට පතති. ඒ ගණදෙවියන් ‘මගපෙන්වන’ දෙවියන් යැයි ඇති විශ්වාසය නිසාය.
පානමින් ඔකදට එනවිට පානම හන්දියේ සහ වෙහෙරකෙම ඇති ගණදෙවි කොවිල් දෙකේ අනිවාර්යයෙන්ම කපුරු දල්වන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ වුවත් මග නොවරද්දා ගමන යන්නට ගණ දෙවියන්ගේ පිහිට පතමිනි. කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයට උතුරු නැගෙනහිරින් පාද යාත‍්‍රාවේ එන බැතිමතුන් පානම ඔකද හරහා වනදුර්ග ඔස්සේ කතරගමට එයි. කතරගම පෙරහර මංගල්‍යය අවසන්වීමෙන් පසු ඔකද දේවාලයේ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි. කතරගම දෙවිදුන් ඔකදින් ගොඩ බැස්සද, දැන් වැඩවසන්නේ කතරගම බවට ඇති විශ්වාසය නිසා කතරගම මහ දේවාලයේ පෙරහර අවසන් වනතුරු ඔකද දේවාලයේ පෙරහර ආරම්භ නොවේ.
ඔකද දේවාලයේ පෙරහරද අවසන්වීමෙන් පසු පානම අලූත්බණ්ඩාර සහ පත්තිනි දේවාලවල පෙරහර මංගල්‍යය හෙවත් අංකෙළි මංගල්‍යය ආරම්භවේ. එය එසේ ප‍්‍රමාදවන්නේ කතරගම දෙවියන්ට ඇති භක්තිය නිසා යැයිද විශ්වාසයක් පවතී. පානම පත්තිනි සහ අලූත්බණ්ඩාර දේවාල දෙකේ අංකෙළි මංගල්‍යය සහ දේව පූජා දියකපා අවසන්වුයේ පසුගිය 31දාය.
ඔකද දේවාලයේ පෙරහර මංගල්‍යය වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ආවේය. රටේ කොටි ත‍්‍රස්තවාදය හිස ඔසවා තිබියදීත් පෙරහර මංගල්‍යය පැවැත්වූයේ තරමක් භීතියකිනි. ත‍්‍රස්තවාදය නැගෙනහිරද ව්‍යාප්තවූ පසු කොටි ත‍්‍රස්තයන් ඔකද මායිමේ පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයට රිංගුවේ සැගවීමේ පහසුව තකා පමණක් නොව එහි සිට දකුණු සහ ඌව පළාත් වලට පහසුවෙන් ළගාවිය හැකි නිසාය.
කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ගිවිසුම 2002දි අත්සන් කළ පසු සැගවී සිටි කොටි ත‍්‍රස්තයෝ එළිපිටම දර්ශනය වන්නට වූහ. ඇතැම් කොටි කෙල්ලන් පොතුවිල් වැනි නගරවලත් ප‍්‍රසිද්ධියේ සැරි සැරූ අතර වෙස්වලාගෙන පානම ගමටද කොටි ත‍්‍රස්තයෝ ආයෝට, ගියෝය. විශේෂයෙන් වෙනදා ආරක්‍ෂක අංශවලට ඇස නොගැටුණු කොටි ත‍්‍රස්තයන් ඔකද වනගත ප‍්‍රදේශවල සිට දේවාල භූමියට ප‍්‍රසිද්ධියේ ආගියහ. එදා ගිවිසගත් සටන් විරාමය වෙනම රාජ්‍යයකින් අවසන් වේය යන සිතිවිල්ලෙන් මේ කොටි ත‍්‍රස්තයන් එදා කතරගම දෙවියන් ගොඩබට ඔකද හැසුරුනු ආකාරය එදා එහි සිටි ආරක්‍ෂක නිලධාරීන් අදටත් සිහිපත් කරන්නේ හිත්තුළ ඇති සියුම් වේදනාවක්ද සමගිනි.
මේ සාමගිවිසුම අත්සන් කර මාස කිහිපයකින් පසුව කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් සමග වනජිවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාරවරයකුවූ බි.ගුණසිංහ මහතා ඇතුළු පානම වැසියන් පිරිසක් පොලිස් විශේෂකාර්ය බළකායේ එදා සිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතා (ඔහු අද පොතුවිල පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාය) ඇතුළු උසස් නිලධාරීන් හමුවන්නේ ඔකද වනජිවී කාර්යාලය යළි ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරන්නටය.
සටන් ගිවිසුමට මුවාවී දඩයම්කරුවන්  කුමණ වනෝද්‍යානයේ වනසතුන්ට කරන ජිවිත විනාශය නවත්වන්නට නම් වනජිවී කාර්යාලය ඔකද යළි ස්ථාපිත කළ යුතු බව ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර මහතාගේ ද අදහස විය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ගේ සහ පානම වැසියන්ගේ ශ‍්‍රමයෙන් ඔකද වනජිවි කාර්යාලය යළි ඉදිවිණි. ඉන්පසු එහි තවත් අත්‍යවශ්‍ය ගොඩනැගිලි පරිසරවේදී ලලිත් සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම් ඉදිකරන්නට වූහ.
මේ කාලයේ ඔකද දේවාලය අසලත් වෙහෙරකෙමත් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජංගම කදවුරු ඉදිකර ආරක්‍ෂාව සැපයිනි. සටන්විරාම ගිවිසුම අහෝසිවීමෙන් පසු ඔකද වනජිවී කාර්යාලයද වැසුණි. කොටි ක‍්‍රියාකාරකම් කුමණ වනෝද්‍යානය තුළ වැඩිවෙන්නට විය. එහෙත් අඩවි සහකාර බී. ගුණසිංහ මහතා වරින්වර වසාදැමුනු ඔකද වනජිවී කාර්යාලයට ඇවිත් ගියේය.
ඒ 2006 වර්ෂයයි. මේ වනවිට කොටි ත‍්‍රස්තයන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණ ඔකද සහ කුමණ කැලෑවේ සැරිසරන්නට විය. පාරිසරික ඡායාරූප ශිල්පියෙකුවු බෙනරගම මහතා වනජීවී දෙපොර්තමේන්තුවේ අවසරයක් මත ඔකද පැත්තට ආවේ වදවී යන වනසතුන් ඡායාරූපයට නගන්නටය. ඔහු පැමිණි අදහස සුබවාදී එකක් වුවත් අවදානම නම් මෙතෙකැයි කිව නොහැකිවිය. මේ වනවිට කුමණ ජාතික වනෝද්‍යානය වසා තිබූ කාලයයි.
බෙනරගම මහතා සමග වනජීවි දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර බී.ගුණසිංහ මහතාද කුමණ වනෝද්‍යානයට ගියහ. මේ කාලයේ කොටි ත‍්‍රස්තයන් කුමණට ඇතුළු වන දොරටුවක් වූයේ ගිරිකුළ කළපුවයි. බෝට්ටුවලින් එතැනට එන කොටි ත‍්‍රස්තයෝ බෝට්ටු ගොඩට ගෙන කැලේ සගවා කුමණ කැලෑවට වදිති. මෙවැනි අවදානම් කාලයක කුමණ වනොද්‍යානයට ඇතුළුවූ බෙනරගම මහතා සිවුපා කොටින්ගේ ඡායාරූප රැසක් ගත්තේය. එදින නොසිතූ ලෙස රෑ බෝවූ නිසා ආපසු පානමට පැමිණීම අවදානම්විය. නමුත් නවතින්නට තැනක්ද නොවීය. බෙනරගම මහතාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවූ නිසා වසාදමා තිබු ඔකද වනජීවී කාර්යාල ගොඩනැගිල්ලේ රාත‍්‍රිය ගතකිරීමට ගුණසිංහ මහතාත්, බෙනරගම මහතාත් තීරණය කළේය. ඊට පෙර ඔකද දේවාලයට ගොඩවී දෙවියන්ට පඩුරු දැමීමටද ඔවුහු අමතක නොකළහ.
රාත‍්‍රිය බෙහෙවින් අදුරුවිය. අදුර මකන්නට ආලෝකයක් ඔවුන් සතු නොවීය. තිබුණද එය දැල්වීම ආරක්‍ෂාවට ඉමහත් බාධාවකි. පාළුවට ගිය ඔකද වනජීවි කාර්යාල ගොඩනැගිල්ලේ බිම වැතිරී සිටින ගුණසිංහ මහතාත් බෙනරගම මහතාත්  තවමත් නොනිද්දේය. එහෙත් එකිනෙකා අතර වචනයකුදු හුවමාරු නොවේ. මෙසේ නිදිවර්ජිතව හෝරා කිහිපයක් ගතවෙද්දි එළියේ කවුරුන් හෝ ඇවිදින ශබ්දයක් ඇසෙන්නට විය. කතාබහක් නොමැති ඒ අඩි ශබ්ද වනසතෙකුගේ විය නොහැකි බව වනසතුන්ගේ ගමන් විලාශ ගැන මනා දැනීමක් ඇති ගුණසිංහ මහතාට වැටහිණි. නමුත් ඔහු ඒ පිළිබදව විපරම් කරන්නට තබා ඇඟේ මයිලක්වත් හොළවන තරමෙ හඩක් පිට නොවන තැනට වග බලාගත්තේය.
නිශාචරයන්ගේ බියකරු හඩවල් වරින්වර ළංව ඇසී යළි ඒ හඩවල් ඈත්වෙයි. කිරළකු අහසට නැගී නගන හඩ කිසිවකුගේ ගමනක් කියා පායි. ඒත් හිස එසවීම ජිවිත අවදානම්ය. ‘‘එළියේ අඩි ශබ්දයන් කාගේද යන්න ස්ථිරවම දැන ගන්නට ඇත්නම්.’’ නිදිවර්ජිත ගුණසිංහගේ යටිසිත කියයි. ‘‘ඒත් ඒ එස්ටීඑෆ් අය නොවුණොත්. එහෙම වුණොත් වන්දි ගෙවන්නට වන්නේ ජිවිතයෙනි. එක ජිවිතයක් නොව දෙකකිනි. ඒනිසා මෙහෙමම ඉන්නවා’’ තමාටම කියාගත් ගුණසිංහ මහතා හිත හදාගත්තේය.
උලමකුගේ හඩක් ඈතින් ඇසේ. ඒ හඩ තුළ ඇති මුසල බව හදගැස්මද වැඩිකරයි. එළියේ එහාමෙහා යන හඩ කෙමෙන් නැතිවී ගියේය. රාත‍්‍රියේ හඩලන බකමුණන්ගේ, උළමුන්ගේ හ`ඩනම් ගුණසිංහ බියගන්වන්නට කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. ඒ ඔහුගේ ජිවිතයෙන් වැඩිකලක් වනෝද්‍යාන තුළ ගෙවුණු නිසාය. කුමණ ගම්මානයේ ඉපදුන නිසා කුඩාකල පටන් ඒ හඩවල් ඔහුට හුරුය. උලමා හැඩලීම අසුබ ලකුණක් බව පැරැුණියන්ගේ විශ්වාසයයි. උලමා තුන්වරක් හඩලන්නට පෙර උගේ හඩ ගොළු කළ හැකිබවට ජන විශ්වාසයක් ඇතැම් වැඩිහිටියන් තුළ අදටත් පවතී. ඒ කෙම් ශාස්ත‍්‍රය අනුවය. ගුණසිංහද ඒවා නොදන්නවා නොවේ. නමුත් මේ සුන්දරවූ අදුරු රාත‍්‍රිය එවැනි ‘‘කෙමක්’’ කරන්නට යාම නිසා මූසල රාත‍්‍රියක් වන්නට ඉඩ තිබේ යැයි ගුණසිංහගේ හිත කියන්නට විය. ඒ නිසාම උලමා සිත්සේ හඩලන්නට විය. බෙනරගම ඡුායාරූප ශිල්පියා ඒවනවිටත් සුව නින්දේය.
හෝරා කිහිපයක්ම නිදිවර්ජිතව සිටි ගුණසිංහට ඉබේටම නින්දගියේ දිවා කාලයේ වු ගමන් වෙහෙස නිසාය. කුරුල්ලන්ගේ හඩින් අවදිවූ ගුණසිංහ බිමට එළිය වැටෙනතුරු නොනැගිට්ටේය. ඒවනවිටත් බෙනරගම ඡායාරූප ශිල්පියා සුව නින්දේය. දැන් හොදටම එළිය වැටිලාය. අවදානමක සේයාවක් පෙනෙන්නට නැත. ගුණසිංහ නැගිට්ටේ බෙනරගම මහතාද අවදිකරවමිනි.
ගොඩනැගිල්ලෙන් එළියට එනවිට නැගෙනහිර දෙසවු මහා ගල්කුලට පහළින් ඔකද දේවාලයේ පිටුපැත්තේ සිට මිනිස් රුවක් ඈතින් මතුවනු ගුණසිංහගේ දෙනෙත්වල සටහන් විය. ඇසිපිය නොහෙළා ඔහු ඒදෙසට නෙත් මෑනීය. තරමක් කළබල ගතියකින් වනජිවි කාර්යාල ගොඩනැගිල්ල දෙසට ඒ එන්නේ ඔකද දේවාලයේ සාමි බව ගුණසිංහ සැකහැර දැනගත්තේය.
‘‘හත් දෙයියනේ දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ. ගුණසිංහ මහත්තයෝ ඔහෙලා ඊයේ රෑ හිටියේ කොහේද?’’ ගුණසිංහ දුටු සාමිගේ පළමු ප‍්‍රශ්නය විය.
කලබලයක් නැතිව පිළිතුරුදුන් ගුණසිංහ ‘‘ඇයි සාමි අපි මේ ගොඩනැගිල්ල ඇතුළෙ හිටියේ. අපි සාමිට ඊයේ දේවාලෙට ගිය වෙලාවෙ කිව්වේ රෑ බෝවුණ හින්දයි, ගමන් මහන්සිය හින්දයි මෙතන රෑ පහන් කරනවා කියලා’’ ගුණසිංහ සාමිගේ ප‍්‍රශ්නයට උත්තර බැන්දේය.
‘‘ඇයි සාමි මේ කලබලෙන් වගේ මේ පැත්තට ආවේ. ඊයේ රෑ මොනවත් කරදරයක්වත් වුණාද?’’ සාමිගේ දෙවැනි ප‍්‍රශ්නයට පෙර ගුණසිංහ තමන්ගේ පළමු ප‍්‍රශ්නය සාමිට ඉදිරිපත් කළේය.‘‘ඊයේ කොටි ත‍්‍රස්තයෝ ටීම් එකක් රෑ මෙහාට ආවා. උන් රදැල්ලේ ගමේ මිනිස්සු කිප දෙනෙක්ම මරලාලාලූ. මම බයේ මේ ආවේ මහත්තයලටත් උන් කරදරයක් කළාද කියලා බලන්න.’’ සාමිගේ පිළිතුර විය. ඒ පිළිතුරෙන් ගුණසිංහගේ තවත් ප‍්‍රශ්නයකට විසදුම් ලැබිණි. ඒ පෙරදින රාත‍්‍රියේ ඔවුන් නැවති සිටි ගොඩනැගිල්ල අවට සැරිසැරුවේ කවුරුන්ද යන්න පිළිබදවු පැනයටයි.
‘‘මහත්තයලා ඊයේ රෑ දේවාලෙට ඇවිත් කතරගම දෙයි හාමුදුරුවන් සිහිපත් කරලා ආශිර්වාද ගත්ත හින්දා අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ කියලා මගේ හිත කිව්වා. ඒත් මම මහත්තයලා බලන්න ආවේ සැකයක් නොතිබුණාටම නොවෙයි.’’ සාමි කියනවිට ‘‘අපි ඊයේ රෑ මාර බේරිල්ලක් නෙ බේරිලා තියෙන්නේ නේද? ගුණසිංහ මහත්තයා.’’ යැයි බෙනගරම ඡායාරූප ශිල්පියා කියද්දී ගුණසිංහ කිසිත් නොකියා මුණිවත රැක්කේය.
සටහන හා ඡායාරූප - අජිත්ලාල් ශාන්තඋදය
2012 සැප්තැම්බර් මස 02 13:12:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

බී ගුණසිංහ

කලකට පෙරදී ඔකද පිහිටි කුමන වනජීවී කාර්යාලය



මේ ගල් පර්වතය පාමුල ඔකද දේවාලය පිහිටා ඇත

ජීවමාන කතරගම දෙවියන් වැඩවසන්නේ මහ සියඹලාවේද? - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28


කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් සිටිති. ඒ අතර පිරිමින් වගේම කාන්තාවෝ හා ළමයිද වෙති. ඉන් සමහර දෙනෙක් ඉතා භක්තිවන්තව පුජා බිමක හැසිරෙන ආකාරයට සංයමයකින් යුතුව හැසිරෙනු පෙනේ.
ඒ අතර අසංවර ඇදුමින් සැරසුණු කාන්තාවෝ සෙස්සන්ගේද විළිබිය සිදලමින් වනාන්තරය දෙවනක් කරමින් උස්හඩින් විවිධ උජාරු කතා කියති. ආගමික ස්ථානයක හැසිරෙන්නට නොදත් දරුවෝ කුඹුක්න්ඔයේ වැල්ලේ කෑකෝගසමින් එහා මෙහා දිවයති. වැලිවලින් හෝ ගල්කැටවලින් එකිනෙකාට ගසා ගනිති. උස් හඩින් හිනා වෙති. ගිරිය පුප්පා කෑ ගසති. මේ ළමයින්ගේ නොමනා හැසිරීම දෙස ඔවුන්ගේ මාපියෝ උජාරුවෙන් ඔය ඉවුරේ සිට බලා හිදිති.
සිත් නිවාගන්නට දුරකතරගෙවා කිහිපදෙනෙකු පමණක් ආගිය මහකැබිලිත්තේ සියඹලා දේවාලය අසල කුඹුකන්ඔයේ වර්තමාන තත්ත්වය එයයි. මුහුදට ගලන කුඹුකන්ඔයේ වම්ඉවුරේ හැම තැනකම මහ ට‍්‍රැක්ටර්ය. සුදු සරමක් ඇද රතු රෙදිකඩක් ඉන බැදගෙන තවත් රතු රෙදි කඩක් කරේ දමාගත් එක රැයින් දේව ආවතේවකරුවන් වු කපුවන්ගේ වෙස් ගත් ජාවාරම්කාරයෝ ද මේ නොහොබිනාකම් කරන පිරිස් සමග පැමිණ ඒදෙස නිහඩව බලා සිටිති.
කොටියාගල දෙසින් කුමණ වනෝද්‍යානයට එන්නට කිසිවකුගේවත් අවසරයක් වුවමනා නැත. ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන පෙදෙසක් නිසා කොටියාගල පැත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ  පාලනයක් නැතැයි උදම් අනන්නේ ට‍්‍රැක්ටර් හිමියන් සහ කපුවෙස්ගත් ජාවාරම්කරුවන්ය. ඇතැම් කපුවන් මහකැබිලිත්තේ බාරකරුවන්සේ පෙනී සිටින අවස්ථාද අද ඇත.
මහකැබිලිත්ත පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයට  ඕකන්දෙන් හෝ යාලින් ට‍්‍රැක්ටර් වලට ඇතුලූවීමට අවසර නොදෙයි. ඇතුලූවන සෑම කෙනෙක්ම ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගත යුතුය. වාහනවලටද වලංගු ප‍්‍රවේශපත‍්‍ර ගත යුතුය. නමුත් කොටියාගලින් කුමණ ජාතික වනෝද්‍යානයට ඇතුලූවන්නේ නම් මේ කිසිවක් වුවමනා නැත. ට‍්‍රැක්ටර් හිමියන්, ට‍්‍රැක්ටර් රියදුරන් සහ කපුවෙස් ගත් ජාවාරම්කාරයන් ඒ පිවිසුමේ බලධාරීන්ය.
මහකැබිලිත්තට යන මුවාවෙන් කොටියාගලින් කුමණ ජාතික වනොද්‍යානයට ඇතුලූවී වන අපරාධ කළ හැකිය. හොයන්නට කෙනෙක් නැත. කොටියාගල පැත්තේ වනජිවි මුරපොළක් හැකි ඉක්මනින් ස්ථාපිතකර වනෝද්‍යානයට ඇතුලූවන්නන් සීිමාකිරීම  අප‍්‍රමාදව නොකළ හොත් ජිවිත කිහිපයක් වනසතුන් විසින් විනාශකර දමන දිනය අතළග බව මහකැබිලිත්ත ආසන්නයේ වනසතුන්ගේ හැසිරීම් රටා අනුව පෙනේ.
වනජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මරනින්දේ පසුවෙද්දී මහකැබිලිත්ත අවට වනඅලි දැන් එතැනට එන පිරිස් අවම කිරීමට පෙරමුණ ගෙන සිටී. මහකැබිලිත්ත සියඹලා දේවාලයේ  ජිවමාන කතරගම දෙවියන් භාවනානුයෝගිව සිටිතැයි දැඩි විශ්වාසයක් පවතී. කතරගම දෙවියන් බවුන් වඩන මේ පරිසරයට එදා කාන්තාවන් ගියේ නැත. නමුත් අද මරදුවරුන්ගේ වෙස්ගත් චාරයක් නැති, ගෑනුකමටත් නිගාදෙන්නියන් එහි යන්නේ ‘‘කාන්තාව’’ යන උතුම් වචනයත් එපා කරවමිනි.
මේ තත්ත්වය හමුවේ කැබිලිත්තේ සියඹලා දේවාලයේ කතරගම දෙවියන්ට තවදුරටත් බවුන් වැඩිය හැකිදැයි  ඕනෑම කෙනකුට ප‍්‍රශ්නයක් ඇතිවිය හැකිය. මේ පුණ්‍යභූමිය නොමිනිසුන් මෙසේ වනසද්දී, වනජීවී දෙපාර්තමේන්තුවේ බලධාරීනුත් මුණිවත රකිද්දී වනසත්තු දැන් එවැනි මිනිස්කම නැති ගැහැණු පිරිමි පමණක් නොව ළමා ලපටින්ද පලවා හරින්ට පසුබට නොවෙති.
මීට දින කිහිපයකට පෙරදි අගනුවර පැත්තෙන් මහකැබිලිත්තට එවැනි අවිචාර ගෑනු පිරිමි සහ ළමයින් සහිත නඩයක් පැමිණියෝය. ඔවුන් පැමිණි වෑන් රථය කොටියාගල දමා ට‍්‍රැක්ටරයක් සහ කපුවෙස්ගත් ජාවාරම්කාරයෙක් කුලියට ගෙන මහවනය තරණය කරමින් මහකැබිලිත්තට පැමිණෙන විට රෑ බෝවී තිබුණි. ට‍්‍රැක්ටරයේ සයිලන්සර් හඩට වනසතුන් දිවගොස් සැගවෙන නිසා වනසතුන් බිය ගන්වා කැලේ යන්නට හොදම වාහනය ට‍්‍රැක්ටරය බව ඒවායේ අයිතිකරුවන් මෙන්ම කපුවෙස්ගත් ජාවාරම්කාරයෝ හොදින්  දනිති. මේ දිනවල මහකැබිලිත්තේ වනසතුන් උදහස්වී  ඇති බව දැනීමෙන් ඇතැම් ට‍්‍රැක්ටර්කරුවන් ඔවුන්ගේ ට‍්‍රැක්ටර්වල හඩ වැඩිකිරීමට සයිලන්සර් කොටකර ඇතැයි කොටියාගල පැත්තේ මිනිස්සුම කියති.
මේ පැමිණි නඩයේ ගෑනු පිරිමින් මෙන් විය. ගෑනුකමක් ඔවුන් වෙතින් දිස්වූයේ ශරීර අවයව වලින් පමණි. මත්වතුර බිව් පුද්ගලයන් මෙන් මේ නඩයේ කාන්තාවන්ගේ කැකිරිපළන හඩින් වනාන්තරය දෙදරා ගියේය. වසතුන්ගේ නිදහසටද අභියෝග එල්ලවිණි. මහකැබිලිත්තේ වනඅලියෙක් එක් කාන්තාවකට අපූරු පාඩමක් කියා දුන්නේය.
මහාහාස්කම් ඇති දේවාලය කොහේදැයි කියමින් එක් කාන්තාවක් සියඹලා දේවාලය පැත්තට ගොඩවුයේ කුඹුකන්ඔය හරහා ගමන් කරමිනි. ඈ අනුගමනය කරමින් තවත් කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඇය පසුපස ආහ. නමුත් මේ කාන්තාවට යන්නට හැකිවුයේ අඩි කිහිපයක් පමණි. කැලෑව මැද්දෙන් ඉදිරියට ආ දැවැන්ත වනඅලියෙක් ඉදිරියෙන් සිටි කාන්තාව හොඩයෙන් ගෙන ඇය ලන්දකට විසිකළේ  ඇදසිටි රෙදිවල මළමුත‍්‍රා පවා පිටකරවමිනි. අනික් කාන්තාවෝ සිටි පැත්තට වනඅලියා හැරෙනවිටත් ඒ කාන්තාවෝ කුඹුකන්ඔය මැදත් පසුකර එගොට ඉවුරට ළගාවෙමින් සිටියහ.
අලියා විසිකිරීමට ලක්වු කාන්තාවට බරපතල හානියක් සිදුවි නොතිබුණි. ඇයත් දනපනිගා නැගිට කුඹුකන්ඔයෙන් එගොඩට දිව ඇවිත් තිබුණේ ජිවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. මේ සිද්ධියෙන් පසු ඇතැම් අවස්ථාවල ඉතා පිරිසුදුව වත්පිළිවෙත් රකිමින් එන කාන්තාවන්ට පවා සියඹලා දේවාලයට යන්නට වනඅලි ඉඩනොදුන් අවස්ථා කිහිපයක් ගැන මහකැබිලිත්තට නිතර යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සිහිපත්කර දුන්නේය.
වෙනදා සියඹලා දේවාලයට එන බැතිමතුන් පැමිණ නවතින එගොඩ ඉවුර පැත්තට නොඑන වනසතුන් අතරින් වනඅලි කිහිප දෙනෙක් දැන්  ඒ ආසන්නයේ වරන්වර සැරි සරන්නට පටන්ගෙන ඇතැයිද විමල් කොඩිතුවක්කු මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ නරක චේතනාවෙන් කුමන වැඩක් කළ ද එහි නොසිතූ විපාක ඇති බව බව කලක් කුමණ ජාතික වනෝද්‍යානයේ ඔකද දෙසින් ආරක්‍ෂාව සැපයු පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියාව සිටි ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා හෙළි කළේය. දැන් ඔහු පොතුවිල් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස සේවය කරයි.
මේ සිදුවීම 2007 සහ 2008 අතර වූ සිදුවීමකි. මේ කාලය වනවිට සාම ක‍්‍රියාවලිය බිදී නැගෙනහිර කොටි මෙහෙයුම් පටන්ගත් වකවානුවයි. තොප්පිගල කැලයේ කොටි ත‍්‍රස්තයන් දරුණු ලෙස පසු බසිද්දී කොටි නායක රාම් ඇතුලූ කුඩා කුඩා කොටි කණ්ඩායම් නැගෙනහිර වෙරළින් කුමණ ජාතික වනෝද්‍යානයට රිංගා ගත්හ.
කුමණ කැලේ කොටි ත‍්‍රස්තයන් සිටීම නීතිවිරෝධි කටයුතුවල නිරතවූ ඇතැමුන්ට සිය ජාවාරම්වලට පහසුවක්ද විය. පානමත් කොටියාගලත් අතර පානමට කිලෝමීටර් පහළොවක් විස්සක් පමණ කැලේ මැදට වන්නට කංසා හේනක් පවත්වාගෙන ගිය පිරිස් අතර සිටි තිදෙනකු අවිගත් කණ්ඩායමක් පැහැරගෙන ඝාතනය කළ බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ එම කංසා හේනේම සිට දිවි බේරාගෙන ආ පුද්ගලයකු විසිනි. කොටියාගල පැත්තෙන් පොලිස් විශේෂකාර්ය බළකා කණ්ඩායමක් එම පුද්ගලයා සමග මහවනාන්තරය මැද්දෙන් එකී ඉසව්වට ආවත් ඝාතනය කළවුන් ගේ සිරුර හොයාගත නොහැකිවිය.
මේ වකවානුවේ පානම, කුමණ, ප‍්‍රදේශ බාරව සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාය. (පසුගිය වසරේ සැප්තැම්බර් 27 දින අම්පාර මහඔය හන්දියේ පිහිටි පොලිස් විශේෂ බළකා කදවුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළදී  පොලිස් විශේෂ කාර්ය බළකායේම ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතා මියගියේය.) ඔහු වසන්ත කුමාර මහතාට උපදෙස් දුන්නේ කුමණ කැලෑවේ සිදුවු බව කියන මේ ත‍්‍රිත්ව මිනිස් ඝාතන ගැන විමර්ශනයක් කරන ලෙසය.
ඒ අනුව සිද්ධියේදි දිවිබේරාගෙන පැමිණි තැනැත්තා සමග කුමණ වනෝද්‍යානය තුළ කිලෝමීටර් පහළොවක් විස්සක් දුර කොටියාගල පැත්තට සෙබළ කණ්ඩායමක් සමග වසන්ත කුමාර මහතා පැමිණියේය. කංසා හේන හමුවිණි. නමුත් ඝාතනය කළා යැයි කියු පුද්ගලයන්ගේ සිරුර කංසා හේනේ නොවීය. තවදුරටත් විපරම් කරද්දි ඊට තරමක් නුදුරින් එකම ස්ථානයක පුද්ගලයන් දෙදෙනකු පුලූස්සා දමා හිස් කබල් දෙකක සහ සිරුරුවල කොටස් කිහිපයක් ඉතිරිව තිබෙනු දැකගත හැකිවිනි. පෝර කවරයක බහා ඒවා රැගෙන ආවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කංසා වැවූ අයට අත්ව තිබු ඉරණම එයයි. ඒනිසා දේවියන්ගේ අඩවියේ නුසුදුසු ක‍්‍රියා කරන්නන්ට ඇතැම් අවස්ථාවල වන්දි ගෙවන්නට සිදුවන්නේ ජිවිත වලිනි. හාස්කම් නැතැයි පුරසාරම් දොඩමින් දෙවියන් බුදුන් අවඥාවට ලක්කරන සමහරුන්ට ද මේ කැලේදීම එහි විපාක විදින්නට සිදුවු අවස්ථා දැන් දිනෙන් දින ඉහළ යමින් පවති.
කුමණ ජාතික වනෝද්‍යානයේ ඔක්කම්පිටිය දෙසින් ඇතුලූවන පැත්තේද එවැනි සිදුවීමක් වනෝද්‍යානය තුළදී සිදුවු බව අසන්නට ලැබුණේ 2007 වසරේදීය. කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් කැලෑව තුළදී තරුණයකු වෙඩිතබා මරාදමා තිබුණි. ගවපට්ටි හිමියා වූ මේ තරුණයා ගවයින් මස් පිණිස විකුණු තැනැත්තකු ද විය. මොහෝ අවස්ථාවල මස්කඩවලට ගවයන් මිලදී ගන්නා වෙළෙන්දන් සමග ගනුදෙනුව කරන්නේ දේව අඩවිය තුළය. මේ කියන තරුණයා ඝාතනය වු අවස්ථාවේ ඔහුගේ යට ඇදුමක  රුපියල් ලක්‍ෂයක මුදලක් තිබු බවද මරණ පරීක්‍ෂණයේදී හෙළි විය. එය දේව අඩවිය තුළදී මස් පිණිස ගවයන් විකිණූ ගනුදෙනුවකින් ගත් මුදලක් බවද පසුව කියවිණි.
ඒනිසා වතුර රත්වනතුරු නටන කකුළුවන්ට අත්වන ඉරණම මෙන් දේව අඩවියේ ද අවිචාරවත්ව හැසිරෙන පුද්ගලයන් විපත් තමා ළගට ගෙන්වා ගන්නා බව කියන්නේ මහකැබිලිත්තේ සහ කතරගම දේව අඩවියේ හැටි දන්නා අයයි.

අජිත්ලාල් ශාන්තඋදය
2012 අගෝස්තු මස 26 15:01:35 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සියඹලා දේවාලයේදී දෙවියන් යදින පිරිසක්

කුමණ මහා වනාන්තරය

කුමණ වන අලියෙක්

Search This Blog