dunhinda.com

Friday, August 28, 2015

යාල ගිහින් පුල්ලි මල්ලිත් බලන් එන්න

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ දෙවැනි විශාල වනෝද්‍යානයයි. සංචාරකයන් වැඩි පිරිසක් ඇදී යනුයේ ද යාලටයි. යාල අලියා,කොටියා, වලසා, පමණක් නොව උකුස්සා හා මුවා , ගෝනා , කිඹුලා වැනි සතුන් ද මෙහි වාසය කරති. අලියන් පස්සේ යන මුවන් ද පලු  ගස් වල නැග සිටින දිවියන් ද මී පැණි කෑමට ගස් නගින වලසුන් ද එහිදී දැකිය හැකිය. වර්ග කිලෝමීටර 980 ක් වන භුමි භාගයක යාල පැතිරි තිබේ. මැණික් ගඟ මුහුද සොයා යන්නේ ද යාලෙනි. සිතුල්පව්ව හා මඟුල් වෙහෙර වැනි පුරාණ ශිෂ්ටාචාරයේ නටබුන් ද යාල වනයේ දි දැකිය හැකිය. මෝසම් වනාන්තර මෙන්ම මිරිදිය හා මුහුදු තෙත් බිම් එහි  පිහිටියේය. ශ්‍රි ලංකාවටම ආවේණික වු කුරුල්ලන් වර්ග කිහිපයක් ද දෙසීයකට  වැඩි වෙනත් කුරුලු වර්ග එහිදී  දැකිය හැකියි.

ලංකාදීප විශේෂාංග




































Thursday, August 20, 2015

‘දියුණුවේ’ විපාක විඳින්න වුණේ අපිට


ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ

මගේ වයස අවුරුදු 62යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7 – 8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝ‍කෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙමෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ.

අවුරුදු 60ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලුගෙඩි නරක් වීම. අපි ඉස්සර කැලේට ඇතුල් වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නෑයන්ට වැඳලා. බිම හෑවේ වැඳල අවසර අරගෙන. පොළවේ ඇට හිටවන්නේ අවසර අරගෙන‍.

ඒ කාලේ අපි ඉරට කිව්වෙ ඉර දෙයියෝ කියලා. හඳට කිව්වෙ හඳ දෙයියෝ කියලා. වැස්ස, පොළොව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු, ඇළ දොළ වල අරක් ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, නෙපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින් පුදමින් ගරු කරන කොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට වුවමනා කෑම බීම, ආරක්ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුණක් කොටලා සීමාවක් හදාගෙන එක) ඇතුළෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ, අල හෑරුවේ. ඒ ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුණේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපිි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙමෙයි. අපි කඳු මුදුන්, කඳු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ළඟ, අඩි පාරවල් ළඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ‍ෙගාඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊළඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් එහායින් අලුත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ.

අපි දඩයම කළෙත් ක්‍රමයකට. කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාවත් රැලේ යන දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක් ලොකු සතෙක් මරන එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරන එක තමයි අපේ හොඳම දඩයම‍.

අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සතුන්ට, පරිසරයට, අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා.

ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හැදෙනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දමනවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්. අපේ නෑ අත්තෝ විතරක් නෙමෙයි, මේ රෙටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා.

ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන් කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළඟින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදාගත්තා.

සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතුව හූ දෙක තුනේ දුරට ගොස් කොළෙන් පිරුණු කැලෑව කපලා දැම්මා. එක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාවට මිනිස්සු කියන්නේ “දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇහෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙමෙයි අපිවත් නැති කළ හතුරා තමයි “දියුණුව” මේක කරේ තියාගෙන ඉන්න අය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵලවලින් මිදෙන්න ක්‍රමයත් හොයා ගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

“දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුණේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපට ලැබුණ දේ. මේ විකාරවලින් මිනිස්සුන්ගේ ඔළුව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පෑව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා.

ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලේට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමොම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරො වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුළු ඇඟම රෙදිවලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන ගස් කපලා දාලා ගෙවල් ඇතුළේ බොරුමල් (ප්ලාස්ටික් ගස්) ගෙනත් තියා ගන්නවා. පොළොවට පොහොර කියලා වස විස ඉහලා එක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතුව සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් මරනවා.

මං හීනෙකින්වත් හිතුවෙ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්ෂාව ඉල්ලුවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිව විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහලු වුණාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ?

මං මේ කැලේ ඉපදුණ නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ දැනෙන දේ හිතෙන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊළඟට මිනිස්සු! දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුද ගොඩ ගලනවා. ගංගා ඇළ දොළ උතුරනවා. දන්නෙවත් නැති අලුත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මිනිස්සු ලෝකෙට කරපු, කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දොස් දෙවොල් තියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්වමු. අපි ආපහු ආත්තලාගේ මුත්තලාගේ ලොකේට යමු. නැත්නම් මේ ලොකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝකවල අය කියයි. මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩැක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියො වුණාට මේ ලෝකේ ඉපදුණ ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන් කවුද කියලා තෝරාගෙන, තමන්ට සැහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතැනක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැළයක් හිටවලා, ඇටයක් හිටවලා. ඒ හැදෙන ගහට තමන්ගේ යහළුවෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට හඳට තරු වලට, ගහට, කොළයට, මල්වලට, ගඟට, ඇළට, විලට, වැවට විතරක් නෙමෙයි, හීතලට , උණුසුමට, සුළඟට, පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු.


www.dinamina.lk
(ලෝක දේශගුණක විපර්යාස පිළිබඳ සදමුළුවේදී කළ දේශනය ඇසුරිනි)

Search This Blog