dunhinda.com

Saturday, January 26, 2013

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිකරවන පින්බර දුරුතු පොහොය



මහානාග නම් වනෝද්‍යානයට රැස්වූ යක්ෂ පිරිස එකිනෙකා සමඟ යුද වැදීමට සැරැසී සිටි අවස්ථාවේ බුදුරදහු වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. අව්ව, වැස්ස, සුළං සහ කුනාටු මවා පළමුව ඔවුන් බිය ගැන්වූහ. දමනය වූ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් ද පිළිගැන්වූහ. අනතුරුව උන්වහන්සේ අග්නි චක්‍රයක් මවා ඔවුන් එක තැනකට රොක් කොට කරුණාවෙන්, දයාවෙන් හා මෛත්‍රියෙන් ඔවුනට සුපිරිසුදු ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.

නව වසරක පළමුවෙන්ම උදාවන පසළොස්වක පොහොය වන්නේ දුරුතු පොහොයයි. එය අපට අංශ කිහිපයකින්ම වැදගත් වෙයි. නව චින්තනයක් ඔස්සේ වසරක් ආරම්භ කිරීමට උත්සුක වන අප සැම දෙනකුම දුරුතු පුන් පොහෝ දිනය වඩාත් අර්ථවත්ව ගත කිරීම අපගේ ජීවන ගමනට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. අපගේ අසමසම ශාස්තෘවරයාණන් වන බුදු හිමි දේශනා කළ දහම් මඟ ඔස්සේ ගමන් කොට ජීවිත සකස් කර ගැනීමට මෙම උතුම් දුරුතු පොහොය අපට ඉතා වැදගත් වන්නේය.

ක්‍රි.පූ. 6 වැනි සියවසේ ලොව පහළ වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමකර මෙරට උන්වහන්සේගේ සිරි පා පහස ලද උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කළ සේක. මහාවංශ තොරතුරුවලට අනුව, බුදුරදුන් ලංකාවට තෙවතාවක් වැඩම කොට ඇත. එයින් පළමුවැන්න සිදු වූයේ බුදුබවට පත්වී නව වැනි මාසයේ එළැඹි දුරුතු පුර පසළොස්වක පොහොය දිනයෙහිදීය. උරුවෙල් දනව්වෙහි තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුව බුදුරදහු ලංකාද්වීපයට වැඩම කළහ.

එවකට ලක්දිව නොදියුණු යක්ෂ ගෝත්‍රිකයෝ ජීවත් වූහ. එවැනි යුගයක බුදුරදුන් වැඩම කළේ ඔවුන් දමනය කිරීම උදෙසාය. එම යක්ෂ සේනාව එවකට ජීවත් වූයේ මහියංගණ මහවැලි ගංතෙර අසලය. මහානාග නම් වනෝද්‍යානයට රැස්වූ යක්ෂ පිරිස එකිනෙකා සමඟ යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදුහිමියෝ වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. අව්ව, වැස්ස, සුළං සහ කුනාටු මවා පළමුව ඔවුන් බිය ගැන්වූහ. දමනය වූ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් ද පිළිගැන්වූහ.අනතුරුව උන්වහන්සේ අග්නි චක්‍රයක් මවා ඔවුන් එක තැනකට රොක් කොට කරුණාවෙන්, දයාවෙන් හා මෛත්‍රියෙන් ඔවුනට සුපිරිසුදු ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. මෙම සුවිශේෂී සිදුවීම ඓතිහාසික වශයෙන් ලක්දිව ආන්දෝලනයකට තුඩු දුන්නාට කිසිදු සැකයක් නැත. එවැන්නක් සිදුවීම ලංකාවේ පසු කාලීනව ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත වීමට ද සාධකයක් විය.

බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. එහිද සුමන සමන් දෙවිඳුන්ද දහම් අසා සෝවාන් වූ බව වැඩි දුරටත් සඳහන් වේ . එපමණකුදු නොව වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබාදෙන ලෙස සුමන සමන් දෙවිඳුන් කළ ඉල්ලීමට අනුව තම ශීර්ෂය පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුන් සේක. පසුව සුමන සමන් දෙවිඳුන් එය රන් කරඬුවක බහා බුදුහිමිගේ ශ්‍රී‍්‍ර පාදස්පර්ශය ලද එම බිමෙහි සත් රියන් උස ඉඳුනිල් මිණිසෑයක් තනවා පුද පූජා පැවැත් වූ බවද වැඩිදුරටත් සඳහන් වේ.

මේ ආදී කරුණු පරීක්‍ෂා කර බැලීමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය ලක්වැසි සියලු දෙනාටම බෙහෙවින් වැදගත් පුන් පොහෝ දිනයක් වශයෙන් හැඳින්වීමට පුළුවන. බුදු සිරිපා පහස ලත් මේ පින්බර ලක් දෙරණෙහි ඉපදීමටද අප පින් කර තිබිය යුතුය. ශ්‍රී දළදා වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින මෙම උතුම් පූජනීය භූ®මිය, තුනුරුවනට පූජා කරන ලද, තුනුරුවන්ගේ තෙද ගුණ නිරන්තරයෙන් පැතිර පවත්නා භූ®මියකි. එක් එක් යුගවල නොයෙක් පර සතුරු උවදුරු පැමිණියද කිසිම බලවේගයකට හසු කර ගැනීමට නොහැකි වූයේද, ඉදිරියට වුවද හසුකර ගැනීමට නොහැකි වන්නේ ද තුනුරුවන්ගේ ශක්තිය බලය තිබෙන නිසාය.

මෙවැනි පින්බිමක උපන් අප සැම දෙනෙකුම රටද රටේ පූජනීය උතුම් වස්තුන්ද ආරක්ෂා කර ගන්නා අතරතුර බුදුහිමි පෙන්වා දුන් දහම් මඟෙහි ගමන් කිරීමට අප්‍රමාදි විය යුතුය. පහත්, ලාමක, පාපකාරි සිතුවිලි ඉවතලෑමත් පටු පරමාර්ථ ඉටුකර ගැනීමෙහි ලා ගැනෙන ආත්මාර්ථකාමී සිතුවිලි ඉවත් කිරීමත් කළ යුතුය. තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරමින් යහපත් ක්‍රියා කලාපයක් ඇති කර ගැනීම මේ උතුම් පොහෝ දිනයේදී කළ යුතු වන්නේය.

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

බුදුසරණ අන්තර්ජාල කලාපය

http://www.lakehouse.lk/budusarana/2013/01/26/

Sunday, January 20, 2013

කුමන මහ වන මැදදී අවිගත් පිරිසකට කොටුවෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 46


මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැද්දේ හොදින් එළිපෙහෙළි වු සලකුණු ඉදිරියේ ඇතිබවට ඒත්තු ගියේ ගස්කොළන් වලින් අඩු බිම් කඩක මායාවක් පෙන්නුම් කළ නිසාය.


මහ කැබිලිත්තේ කුඩා සියඹලා දේවාලය

‘‘හේනක්. අර... අර.... ඈත දෙන්නෙක් වැඩ කරනවා පේනවා. අපි ගිහිං පාර අහගම්මු.’’ ඩිෆෙන්ඩර් රථයේ සිටි තැනැත්තෙක්ගේ මුවින් පිටවිනි. එය ඔහු හිතාමතා කීවා නොව බයටම කියවුනු බව සෙසු අයටද ඒත්තු ගැනිනි.

‘‘ඔව්.. ඇත්ත නේන්නම්. දෙන්නෙක් වැඩ. වැඩිය කලබල වෙන්න එපා. බයවු බවක්වත් පාර වැරදුනු බවක්වත් ඒ අයට පෙන්වන්න එපා.’’ මග පෙන්වන්නා වු විමල් කීවේය.

ජීප් රථය සහ කැබ් රථය නවත්වනවාත් සමගම ඈත හේනේ වැඩකරමින් සිටි දෙදෙනා හිටගෙන මේ වාහන දෙක දෙස විමසිල්ලෙන් බලනු පෙනිනි. එක් අයෙක් අත පිහියක් වැනි යමක් ඇති අතර උදැල්ලක් වැනි දෙයක මිටක් අනෙකා අතවිය. ඩිෆෙන්ඩර් රථයේ ඉදිරි අසුනේ වාඩිවී සිටි විමල් ඉන් බිමට බැස්සේය. ජිප් රථයට ඉදිරියෙන් ගොස් ජීප් රථයේ දකුණු පැත්තට යද්දී ඈත හේනේ සිටි මිනිසුන් දෙදෙනා නොසොල්මන්ව හිටගත් අයුරින්ම සිටිනවා විමල් දුටුවේය. ඔවුන් දෙදෙනා අසල තරමක් විශාල පලූ හෝ වීර ගස් කිහිපයක් බිම වැටී අවසන්ගමන් ගොස් ඇති අයුරු ඈතටම පෙනුනි. ඒවා නිසි වයස එළඹෙන්නට පෙර කපා බිම හෙළා ඇතිබව ඊට තරමක් නුදුරින් තිබූ ඒ ගස්වල මුල කොටස හිස් අහස් කුස අයාගෙන සිටින  හෙළන කදුළු වලින් මනාව පසක් විනි.

හේනේ සිටි දෙදෙනා  තරුණවියේ පසුවන්නන් බව විමල්ට අවබෝධ විය. මීටර් දෙසීයක් පමණ දුරින් සිටි මේ දෙදෙනාගෙන් තමන් සිටින ඉසව්ව දැනගත හැකිවේ යැයි විමල් සිතුවේය. මහ කැබිලිත්තේ යන්නට මග පෙන්වන්නට ආ තමන්ටද දැන් මග වැරදි ඇත්තේ ඇයිද යන්න සිත සිතා සිටි විමල් තරුණයන් දෙසට යන්නට ඉදිරියට පය තැබුවේය.

විමල් සහ වාහන දෙක දෙස බලාසිටි තරුණයන් දෙදෙනා දුටුවිට සිහිපත් වන්නේ වනෝද්‍යානයක යද්දී ඈතින් තණඋලා කන මුව පොව්වන් දෙදෙනකුගේ අභිනයයි. මේ තරුණයන් දෙදෙනාද විමල්ගේ ගමන දෙස බලා සිට එක්වරම පිටුපස හැරී දුවන්නට විය.
අනවසරයෙන් කැලේට ඇතුළුවීම වරදක් බව දැනගෙන තමන් කැලෑ දෙපාර්තමේන්තුවෙන් නැත්නම් හමුදාවේ අය බවට සැක සිතී කැලෑවට ගොස් මේ තරුණයන් දෙදෙනා සැගවෙන්නට ඇතැයි කාටත් සිතුනි. නමුත් විමල් ඔවුන් හමුවන්නට ගිය කාරණාව ඔවුන් දැන නොසිටින්නට ඇත.

ටිකදුරක් හේන පැත්තට ගිය විමල් ආපසු හැරී ආවේය.

‘‘උන් බයවෙලා දිව්වා. මේ කැලේ අනවසර හේන්. මේවා වැඩිහරියක් කරන්නේ ඔය අපි ආපු පැත්තේ මිනිස්සු නොවෙයි. මේ හරියේ හේන් කරන්නේ මොණරාගල පැත්තේ මිනිස්සු. දිව්ව අය හේන්වල වැඩකරන්නේ කුලියට වෙන්නැති. හේන අයිති මුදලාලිලා වෙනම ඉන්නවා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ අපි හරවාගෙන ආපහු යමු.’’ විමල් පිරිසට යෝජනා කලේය.


කුඹුක්කන්ඔය ඉවුරෙන් සියඹලා දේවාලයට ගොඩවන තැන
ඩිෆෙන්ඩර් රථයත්, කැබ් රථයත් ආපසු හරවද්දී විමල් අසලවූ කුඩා ගසක අත්තක් කඩා වෙනත් ගසක අත්තක් මත තබා වැ`දගෙන යමක් කියනු වාහනවල සිටි අය දුටුවේය.

‘‘මම අනන්තවත් මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ඇවිත් තියනවා. මේවාගේ පාර වැරදුණු පළමු වතාව මේක. මම මහ කැබිලිත්තට යන්න ඔය මහත්තයලා එනවයි කියපු දවසේ ඉදලා මස් මාංශ වලින් වැළකිලා, පේවෙලා හිටියේ. මහත්තයලටත් එහෙම කරන්න කියලා උපදෙස් දුන්නෙත් ඒකයි. ඒ වුණාට අපිට ලොකු වැරැද්දක් වෙලා තියනවා. කතරගම දෙවිහාමුදුරුවෝ වැඩ ඉන්න මහ කැබිලිත්ත දේවාලයට යන්න අපි පිරිසිදු නෑ කියන එකයි මේ පාර වරද්දලා පෙන්නුවේ.’’ විමල් කියූ කතාව වාහන දෙකේ හය දෙනා දෑස් අයාගෙන අසා සිටියේය.

‘‘මට හිතෙන්නේ මේ තත්ත්වය උඩ අපි ආපහු යන එකතමයි වඩාත් සුදුසු. අලකොළ ආර ළගට ගිහිං පාර හොයාගෙන මහ කැබැලිත්තට යන්න ගියත් තව තවත් කරදර එන්න පුලූවන්. කවුරුහරි කෙනෙක් අතින් පිළිවෙත් කැඩුනනම් හිතින් දෙවියන්ගෙන් සමාව ඉල්ලලා, අපිට ආපහු අතුරු ආන්තරාවකින් තොරව යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා අපි ආපහු යමු.’’ විමල් කළ යෝජනාවට සියල්ලෝම එකග වුහ.
ආපු පාර ඔස්සේ වාහන දෙක ආපසු එයි. අලකොළ ආර, කලූකුඤ්ඤං ආර සහ අලූත්ගං ආර එගොඩවන විට හොදටම හවස්වෙලාය. තව ටික වෙලාවකින් දවස නිමාවී රාත‍්‍රිය උදාවනු ඇත. වනෝද්‍යානයක රාත‍්‍රියේ ගමන තහනම්ය. ඊටත් වඩා භයානකය. සමහර සතුන් වාහනවල විදුලි පහන් එළිය දෙසට හඹාගෙන එයි. හරිහමන් පාරක් තොටක් නැති, දිසාව සොයා ගැනීමට මාලිමාවක්වත් නැතිව යාමද සුදුසු නැත. එය එසේ වුවත් දෙපා කොටි ත‍්‍රස්තයන් ගැවසෙන මේ මහ කැලේ රැයක් ගත කිරීම ඊටත් වඩා අවදානම්ය. ගමන පිටත් වෙද්දි පිරිස තුළ තිබූ උද්යෝගීබව අහලකවත් නැත. විඩාවටත් වඩා හදවත් තුළ ඇති බය නිසා ඔවුහු දැඩි සේ මහත් පීඩාවකින් පෙළෙන ආකාරයක් දිස් විය.


කුමන කැලේ දිවුලානේ ගොඩ විහාර භූමියට යන්නේ මෙතැනින්ය

ගල් අමුණ පසුකර ඇදකුඹුක දෙසට වාහන දෙක එද්දී එකවරම කැලේ ගස් අතරින් හමුදාවේ කැලෑ ඇදුමින් සැරසුණු දෙදෙනෙක් ගිනි අවි වාහන දෙක දෙසට එල්ල කරගෙන ගස් දෙකකට මුවාවී වාහන නවත්වන ලෙස සංඥා කරනු කවුරුත් හොදින් දුටුවේය. එය දුටු රියදුරන් දෙදෙනා වාහන දෙක නැවැත්තුවා නොව බයට ඉබේම ඒවා නැවතුනි. ඇන්ජිම්ද ක‍්‍රියා විරහිතය. ඔවුන් දෙදෙනා සහ වාහන දෙක අතර දුර අඩි පනහක් හැටක් නැති තරම්ය.

කුමණ කැලයේ දෙපා කොටි ත‍්‍රස්තයන් ගැන හිත හිතා සිටි සැම දෙනාටම දැන් තමන්ගේ ජිවිතයේ අවසන් මිනිත්තු කිහිපය එළැඹ ඇති බව සිහිවිනි.

‘‘අනේ දෙයියනේ’’ යැයි කාටත් කියවුනේ මේ මහ කැලේ දෙවියන් හැර වෙනත් කිසිවෙකුගේවත් පිහිටක් නැති බව හො`දින්ම දන්නා නිසාය. ජිප් රථ දෙක ඉදිරියේ අවි අමෝරා සිටින දෙදෙනා ඒ අයුරින් සිටියදී වාහන දෙක දෙපැත්තෙන් සිවු දෙනෙක් වාහන වෙත ළංවූයේ ‘‘හෑන්ඞ්ස් අප්.....’’ යැයි කියමිනි.

වාහන දෙකේ සිටි සියලූ දෙනාම දැන් බිමට බැස අත් ඉහළට ඔසවා අවිගත් පිරිසට යටත්වූ බව පෙන්වමින් හිටගෙන සිටී. අවිගත් කණ්ඩායමෙන් ‘‘හෑන්ඞ්ස් අප්.....’’ යන වචන කිහිපය හැර වෙනත් කිසිදු කතාවක් නැත. අවටින් කොළඅතු බිඳෙන හඩ තව තවත් ඇසෙන්නට විය.

‘‘දැන්නම් ගැලවීමක් නෑ අපිව වටකරලා.’’ හැමෝටම සිත්විය. අදුර ද එන්න එන්නම අවට ගිල ගනී. හැම දෙනාම තමන්ට රැකවරණ දෙන්නැයි හිතින් කතරගම දෙවියන්ගෙන්  ආයාචනා කළහ. එහෙත් එය කිසිවෙකුටත් නෑසිනි. දෑත් ඔසවාගෙන සිටියවුන් දැන් බලාපොරොත්තුව ඉන්නේ ගිනි අවියක හ`ඩකි.

‘‘හ්ම්.. උඹලා කවුද? කොහේ ඉදලද එන්නේ. කොහාටද යන්නේ.’’ ගිනි අවි අමෝරාගෙන සිටි අය අතරින් එක් අයෙකු සිංහලෙන් ඇසුවේය.

‘‘අ......අ.....අපි..... මහ කැබිලිත්ත දේවාලේ වදින්න ගියා.’’ තැති ගැන්මෙන් යුතු කෙනෙක් පිළිතුරු දුන්නේය.
‘‘මේ කැලේ යන්න තහනම්. කෝ වනජීවී එකේ පර්මිෂන් තියනවාද?’’  තමන් කවුරුන් දැයි නොකීවත් මේ තමන්ව වටකරගෙන සිටින්නේ සිංහල ආරක්‍ෂක හමුදාවක් බව කාටත් වැටහිනි.

‘‘ඔව්.....ඔව්..... පර්මිට් තියනවා...... කොළඹින් බුක් කරලා තියෙන්නේ......මම..... වනජීවී එකේ......’’ විමල් පිළිතුරු දුන්නේය. ඒ අනුව වාහනයක් තුළ තිබූ අවසර පත‍්‍ර අවිගත් කණ්ඩායමට පෙන්වනු ලැබිණි. එහෙත් ඉන් සෑහිමකට පත්නොවු අවිගත් කණ්ඩායම පුද්ගලයන්ට අමතරව වාහන දෙස දැඩි සෝදිසියකට ලක් කළෙය. එම සෝදිසිය අවසන් වනවිට හිරු අහසේ සැ`ගවි ගොස් ඇතිබව කාටත් අවබෝධ වුයේ ප‍්‍රදේශයට වෙලාගත් අදුර නිසාය.


වනාන්තර කපා හැදු හේන්

මේ අවස්ථාව වනවිට තමන්ව සෝදිසියකට ලක් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය බව දැනගන්නට මේ පිරිසට හැකිවිය. මේ අවදානම් කාලයක කුමන කැලෑවට පැමිණිම ගැන මේ ආරක්‍ෂක නිලධාරීන් තුළ තිබුණේ දැඩි සැකයකි. කුමණ කැලේ සැ`ගව සිටින කොටි ත‍්‍රස්තයන්ට ආහාරපාන හෝ අවි ආයුධ රැගෙන ගියේද යන්න මේ ආරක්‍ෂක නිලධාරින්ගේ සැකය විය.  අවසර පත‍්‍රයත් විමල්ගේ සේවා හැදනුම්පතත් නිසා ආරක්‍ෂක නිලධාරින්ගේ යම් පැහැදීමක් විශ්වාසයක් ඇතිවිනි. නමුත් ඔවුන් ඒබවක් පෙන්නුවේ නැත. හෝරාවකට වැඩි කාලයක් පුද්ගලයන්, ගෙනා ගමන් මලූ, වාහන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු යන්නට අවසර ලැබුනි. කුමණ කැලෑවේ සැගවි සිටින කොටි ත‍්‍රස්තයන් සොයා මේ පොලිස් විශේෂ කාර්ය බලකාය කුමණ කැලේ මෙහෙයුමක නිරතවෙද්දී මේ හමුවීම වු බව කාටත් වැටහිනි.
ඉන්පසු ඇදකුඹුකෙන් කුඹුක්කන් ඔය තරණය කර යාල කලාප දෙකට ඇතුළුවී හාල්පන් ඕඩය අසලට ආවේය. දැන් පිරිසේ හැමෝටම ඇත්තේ ඉවසිය නොහැකි කුස ගින්දරකි. උදේ එනවිට බුතව බංගලාවේදී සකස් කරගෙන ආ ඉතිරිව තිබූ ජෑම් ගෑ පාන් පෙති කිහිපයකින් බඩගින්න තරමක් නිවී ගියේය. එක දිගට පැය ගණනාවක් ක‍්‍රියාත්මකව තිබු වාහන දෙකේ ඇන්ජින් නිවෙන තෙක් පිරිස ද සුලූ විවේකයක් ගත්තේය.

දැන් පිරිස එන්නේ බුතව බංගලාවට එන්නටය. වාහන දෙක විදුලි පහන් දල්වාගෙන ඉදිරියට ඇදෙද්දී වළස්කෙම පහුකළා පමණි, කැලෑවෙන් අතු බිඳෙන හඩක් ඇසිනි. ඒ එක්කම සද්දන්ත වනඅලි දෙදෙනෙක් ඉදිරියෙන් යන වාහනයට පහරදෙන්නට සුදානමින් හො`ඩයද ඔසවාගෙන අඩි පනහක් පමණ ඉදිරියේ නැවතී කුංචනාද කරති.

‘‘වාහන නවත්වලා ලයිට්  ඕෆ් කරන්න.....’’ විමල් විධාන කලේය. එකී විධානය අකුරටම පිළිපැදිනි. වෙනදා නැති අදුරක් අද ඇතැයි කාටත් සිත්විනි. හඳ නොව අහසේ තරුද පෙනෙන්නට නැත. ඒ නිසා මේ යන්නේ උදේ ගමන් කළ මං සලකුණු සිහියේ තබාගෙනය. විනාඩි දහයක් පමණ ගිය පසු ඩිෆෙන්ඩරයේ විදුහල් පහන් දැල්වූයේ ඉදිරියට ආ වන අලි දෙදෙනා තවමත් ඇද්ද යන්න විපරම් කරන්නටය. උන් පෙනෙන්නට නැත. වාහන දෙක පණගැන්විනි. වනඅලි පෙනෙන්නට නොසිටියේ උන් ඈතට ගිය නිසාවෙන් යැයි සිතූ පිරිස ඉදිරියටම ගමන් කළහ.

යාල කලාප අංක දෙකේ සීමාව නිමා කරමින් ඒ රාත‍්‍රියේම මැණික් ගග අසලට පැමිණ ඇති බව දුටු පිරිසේ සිටි සැම දෙනාටම දැනුනේ සැහැල්ලූවකි. මැණික් ගෙ`ගන් එගොඩවී යළි බුතව සංචාරක බංගලාවට එනවිට අලූයම හතර පසුවී ඇතිබව එහි වූ හෝරා යන්ත‍්‍රයේ සටහන්ව තිබුණි.

‘‘අපි හැමෝම අතින් ලොකු වරදක් වුණා. ඇත්තටම අපි මේ හාස්කම් කියන ඒවා විශ්වාස කලේ නෑ. අපි දවස් විසි එකක් පේවුණා කිව්වේ බොරු. ඊයේ අපි මේ බංගලවාටත් මස් ගෙනැල්ලා කෑවා. අපෙ අප්පච්චියේ ආයනම් කිසිම දවසක පේ නොවීනම් මේ කැලේට එන්නේ නෑ.....’’ නඩයේ සිටි වැඩිහිටියා කීවේ සිදුවු වරදට සාමවන්නැයි ආයාචනා කරන විලසිනි.

‘‘ කතරගම දෙවියන්ගේ අඩවියේ ජීවත්වන අපි මේවා හරියට විශ්වාස කරනවා. ඇත්තටම ඒ වත්පිළිවෙත් කරලා කැලේ යන එනකොට අපිට කවදාවත් වැරදිලා නෑ. අතුරු ආන්තරාවක් වෙලාත් නෑ. සෝවාන් ඵලයට පැමිණි බවට විශ්වාස කරන කතරගම දෙවියන්ට හැමෝම නමස්කාර කරනවා. මේ පාරවල් වරද්දන ඒවා වෙනත් ද`ඩුවම් දෙන ඒවා කතරගම දෙවියන් කරන දේවල් නෙවෙයි. කලූකම්බිලි දෙවියෝ, ගම්බාර දෙවිවරු, හුනියම් දෙවියෝ, කාලි අම්මා වැනි දෙවි දේවතාවුන්  කතරගම දෙවියන්ගේ ආරක්‍ෂාවට ඉන්න දෙවිවරු බවට විශ්වාසයක් තියනවා.’’ නොදන්නා දෙයක් විමල් පැහැදිලි කලේය.

ධන බලයට, නිල බලයට කළ නොහැකි දේවල් ඇතැයි යන්න මේ අයට අවබෝධවී තිබුනේ ගමනේ ලද අත් දැකිම්වලිනි. අලූත් යැයි කී කැබ් රථය පැය විසිහතරක් යන්නට මත්තෙන් අබලන් වාහනයක් බවට පත්ව තිබුනේ කාගේත් දෑස් ඉදිරියේය.
කතරගම දේව අඩවියේ හාස්කම් ගැන අත්දැකීම් ඇති අයගේ කතා බොහෝය. පුරා සති හතළිස් හයක් තිස්සේ දිග හැරුණු මේ කතා පෙළ අදින් අවසන් වේ.

අජිත්ලාල් ශාන්තඋදය
ලංකාදීප කතෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/89088

අලි මැරූ සුද්දාගේ සොහොනට හෙණ


වල් අලි දඩයමේ ගොස් වල් අලියෙකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රිසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ ඇත.

කතරගම වනජීවී අඩවිය භාර නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් මෙසේ කියයි. ජේ.පී.ඉරේෂන් නමැති මෙම සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයා වශයෙන් කටයුතු කර  තියෙනවා. ඔහු දක්ෂ දඩයක්කාරයෙක්.  අලි ඇතුන් දඩයම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මෙසේ ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩිකා මිය ගොස් තිබෙනවා. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියගෙන්ම මැරුම් කාලා.

ඉන්පසු ඔහුගේ මිත්‍රයන් යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ සොහොන් කොත ඉදි කළා. එහි මෙසේ සදහන් වෙනවා. ගල්ගේ ප්‍රදේශයේ නිර්මාතෘ හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කරුවකුවූ  ජේ.පී.ඉරේෂන්  මහතා සිහිවීම පිණිසයි. උපත 1877 අප්‍රියෙල් 03 දා  විපත 1923 නොවැම්බර් 12 දා. ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිටනය ඉදි කරන ලදී. ඔහු සාමදානයේ සැතපේවා.

මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට තිබුනා. නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩි යන්නට පටන් ගත්තා. මෙම සොහොන ගැන නිතර වාර්තා කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුවට දන්වල තියෙනවා.ඒ අනුව මම මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් සොහොන කැඩී ගිය කිප අවස්ථාවකම එම කාර්යාලයට දන්වා සිටියා.ඒ හැම වාරෙම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් මෙම සොහොන් කොත අලුත්වැඩිය කරනවා. හෙණ වදින් බැවින් දැනට ඔවුන මෙම සොහෙන් කොතේ උස අඩි 20 කට විතර අඩු කර තියෙනවා. මේ පළාතේ ගම්වල මිනිසුන් කියන්නේ සුද්ද අලි මරපු නිසා එම අලින්ගෙ ආත්මයන් මෙම සොහොනෙනුත් පලි ගන්නවා කියලයි.

ලංකාදීප කතෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/92764



අලකොළ ආරෙන් එගොඩවූ පසු මහ කැබිලිත්තට යන පාර වරද්දයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 45


ඉදිරියෙන් ආ යතුරු පැදිය එකවරම නැවැත්විනි. ජීප් රථ දෙකේ එන්ජින්ද නැවත්විණි. දැන් මුලූ වනාන්තරයම නිහඩය. ඉදිරි තත්පර කිහිපය කුමක්වේදැයි කාටත් අවිනිශ්චිතය. නැවැත්වු යතුරුපැදිය දෙස එක එල්ලේ බලන්නට ජීප් රථයේ හෝ කැබ්රථයේ සිටි අයට ශක්තියක් නැත.



කුමන වනෝද්‍යානයේ වැවක්
මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අවසන් මොහොත යැයි එහිවු හැමෝටම සිත්විණි. දැන් ඔවුන් මීයට පිම්බා සේ නිහඩය. සිදුවන්නට යන්නේ කුමක්දැයි හෝ අනෙකාගෙන්වත් අසන්නට තරම් ශක්තියක් නොවු පිරිස ම`ගපෙන්වන්නාවු විමල් දෙස ආයාචනාත්මක බැල්මක් හෙලීය.

මේ මිනිස් ජිවිත හය තමා අත බව තේරුම්ගත් විමල් හිතට ධෛර්ය ගත්තේය. ඉදිරියේ ඈතින් නැවතුන යතුරු පැදිය බිම පෙරළා ඇති අයුරු විමල්ට පෙනුනි. එහි නැග පැමිණියවුන් ඉන් බැස සැගවී ඇත. සැගවී සිට යම් ප‍්‍රහාරයක් එල්ලවෙතැයි විමල්ටද සැකයක් ඇතිවිය. යාල වනෝද්‍යානයටද කිහිප වතාවක් ප‍්‍රහාර එල්ලකළ කොටි ත‍්‍රස්තයන් පසු බැස්සේ කුමණ වනාන්තරයට බව විමල්ගේ සිහියටද එන්නට විය.

කෙසේ නමුත් විමල් ඉදිරිය දෙස ඉතා  ඕනෑකමින් හා විපරෙමෙන් යුතුව බැලූවේ ඉදිරියෙන් ආ යතුරු පැදියෙන් තමන් බලාපොරොත්තුවන තරමේ ප‍්‍රතිචාරයක් මෙතෙක් නොලද නිසාය. යතුරු පැදිය බිම දැමු අයුරින්ම ඇති බව ඉදිරියේ ඇති පාරේ වු වැවුණු කුඩා පදුරු පෙනුණි. ඒ අතර කිසියම් පුද්ගලයන් දෙදෙනෙක් කැලේ ඇතුළට සැගව යනු පෙනුනේ දකුණුපස වූ ගස් අතරිනි. විමල් සිය දෑස් ලොකුකර එදෙස තවත්  ඕනෑකමින් බැලූවේය.


විමල් වාහනයෙන් බැස්සේය. ඔහු හෙමින් හෙමින් ඉදිරියට ගියේය. ජිප් රථයේ සිටියවුන්ගේ ඇග හිරිගඩු පිපෙන්නට විය. මහ භයානක අනතුරක් තමන් හමුවේ ඇතිබව තේරුම්ගත් ඔවුහු දැන්  ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට හිත හදාගත්හ. පාරේ වු පදුරු ඈත්මෑත් කරමින් විමල් ඉදිරියට යන්නේ කොන්ද නවාගෙනය. යතුරු පැදියේ පැමිණි අය කොහේදැයි ජීප් රථයේ හෝ කැබ්රථයේ සිටියවුන්ට නොපෙනේ. යතුරු පැදියේ ආ දෙදෙනා කැලේ ඇතුළට ගිය බව දැක්කේ විමල් පමණි.

තව සුළු මොහොතකදී තම ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම වනු ඇතැයි මෙනෙහි කරමින් වාහන දෙකේ සිටි අය ඇසිපිය නොහෙළා විමල් දෙස බලා සිටී. විමල්ගේ ගමනද හෙමින්ය. ගොදුරකට ළංවන සතෙකු මෙන් බොහෝම විපරමින් යුතුව විමල් යතුරු පැදිය වෙතට ළංවිය. යතුරු පැදියට ළංවු විමල් කොන්ද නවාගෙනම එය හො`දින් පිරික්සීය. ක්‍ෂණිකව නැගී සිටි විමල් කැලේ දකුණුපැත්ත දෙස හැරී බැලූවේය. යතුරු පැදිය බිමදමා කැලේට ගිය දෙදෙනා විමල් දෙස  ඕනැකමින් බලා සිටින අයුරු විමල්වත් නොදිටීය. විමල්ගේ තද කොළපැහැති කමිසයක් ඇද සිටින පුද්ගලයකු තමන් ආ යතුරු පැදිය අසල සිටිනවා දුටු මෙතෙක් වෙලා කැලේ සැගවි සිටි පුද්ගලයන් දෙදෙනා කැලේ ඈතටම දිවයන්නට විය.

දෙගිඩියාවකින් සිටි විමල්ගේ සිතට දැනුන සැහැල්ලූව මෙපමණකැයි කිව නොහැකි තරම් විය. ඔහු එතැන සිටම තමන් පැමිණි. වාහන දෙකේ සිටි අයට අතින් සන් කළේ එතැනට එන ලෙසය.  විමල්ගේ සංඥාව දුටු වාහන දෙකේ සිටි හය දෙනා විමල් සිටි දෙසට යන්නට පිටත්වූයේද කොන්ද නවාගෙනය. නමුත් දැන් විමල් ඉන්නේ හිටගෙනය.

‘‘බය වෙන්න දෙයක් නෑ. මුන් කොටි නොවෙයි. කැලේ හොරෙන් පතල් කපන්න ආපු උන් වගයක්. ඉල්ලම්කූරු වට්ටි එහෙම දමලා කැලේ ඇතුළට දිව්වා.’’ කියමින් විමල් යතුරුපැදිය අසලවූ ගැරුම් වට්ටිය පොඩිකළේය. එතැන ඉල්ලම්කූරු දෙකක්ද විය.
විමල් එසේ කිව්වද සෙසු හය දෙනා තුළ පැලපදියම්ව තිබු බිය සන්තාසය, අවිනිශ්චිත බව තුරන් කිරිමට ඒ වදන් සමත් නොවු බව විමල්ට අවබෝධ විය. කෙසේ වෙතත් ගමනේ බලාපොරොත්තුව වු මහ කැබිලිත්තට තව බොහෝ දුරක් යායුතුය. ඒ සදහා හොද මානසිකත්වයක් අවශ්‍ය බව විමල් අත්දැකීමෙන් දැන සිටි නිසා මේ හයදෙනාගේ කෙසේ වෙතත් රියදුරන් දෙදෙනාගේ හිත සැහැල්ලූ කළ යුතු බව විමල් හොදින් දැන සිටියේය.

‘‘මේ කැලේට කවුරුත් වැඩිය එන්නේ නැති බව දන්න ළගපාත ගම්වල ඉන්න මිනිස්සු එකා දෙන්නා ඇවිත් හොරෙන් පතල් කපනවා ඇති. කුඹුක්කන් ඔයේ මැණික් ගරන එක ලේසියි නේ. අපි මඩමෙතොට දේවාලෙ පහන් පත්තු කරන කොට කවුරුහරි මෑතක පහන් පත්තුකරපු සලකුණු තිබුණේ මේ ආපු අය වෙන්න ඇති. කවුරු මොනවට මේ කැලේට ආවත් කැලෑවෙදි කරන සිරිත් විරිත් නම් අමතක කරන්නේ නෑ.’’ විමල් පැවසුවේ තමන් සමග පැමිණි අයගේ බිය නැති කිරීමේ අරමුණු පෙරදැරිවය.

අලූත්ගංආර එගොඩවී පිරිස ඉදිරියට ගමන් කරති. මාර්ගයේ වම් පැත්තේ කුඹුක්කන්ඔයයි. දකුණු පැත්තේ ඇත්තේ වනාන්තරයයි. වාහන දෙකේ හ`ඩ වනාන්තරයේ නිහඩ බව නැතිකරයි. කුඹුක්කන්ඔයට ආසන්නව පාර වැටී ඇති තැනකදී කුඹුක්කන්ඔය දෙස සිට පුද්ගලයන් දෙදෙනෙක් වනාන්තරය ඇතුළට දිවයනු විමල් දුටුවේය. ඔහු සෙසු පිරිසටද ඔවුන් දෙදෙනා ප`දුරු උඩින් පැන ගස්වලට මුවා වෙමින් පස්ස නොබලා දිවයන අයුරු පෙන්නුවේය.

‘‘එකත් එකටම මුන් කුඹුක්කන් ඔයේ මැණික් ගරගරා ඉන්න ඇති. වතුර ගලන ශබ්දයට වාහන දෙකේ හ`ඩ ඇහෙන්න නැතුව ඇති. ළගට ආවා විතරයි වාහන දෙක දැක්ක ගමන් බයවුණා. පණ කඩාගෙන දිව්වා.  ඕවා මේ කැලේ එනකොට ඉදලා හිටලා දකින්න ලැබෙනවා.’’ යි කියමින් ඉදිරියට  යමු යැයි විමල් පිරිසට යෝජනා කළේය.

මේ වනවිට පිරිස තුළ තිබු බිය සැක සංකාව ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව විමල්ට අවබෝධ වෙමින් තිබුණි. එය ඉදිරියට ගමන් කිරිමට අත්‍යවශ්‍ය සාධකයකි. කෙසේ වෙතත් දැන් ඉර අවරට යමින් තිබේ. මහ කැබිලිත්තට යන්නට තව කිලෝමීටර් විස්සක් විසි පහක්වත් යායුතුය. හරිහමන් පාරක් නැති මේ මහ කැලේ එවැනි දුරක් යන්නට තව හෝරා පහ හයක්වත් ගත වනු ඇත. ඒ ගමන මේ යන ආකාරයට ගියොත් මහකැබිලිත්තට යනවිට රෑ අට නවය වනු ඇතැයි විමල්ට සිත්විය. එහෙත් ඔහු සෙසු පිරිසට ඒ බව ඇගනොවීමට වගබලා ගත්තේය.

වාහන දෙක කලූකුඤ්ඤං ආර අසලට ආවේය. මාස ගණනකින් කලූකුඤ්ඤං ආරෙන් වාහනයක් එගොඩ වී ඇති බවට සලකුණක්වත් නැත. කලූකුඤ්ඤං ආරේ ඉවුරද තද බෑවුමකින් යුතුය. වාහන එගොඩ කිරිමට නම් වින්ච් පාවිච්චි කළ යුතුය. බෑවුම අඩුම තැනින් වාහන දෙක කලූකුඤ්ඤං ආරට බස්සවා එගොඩ කරවීමට තීරණය විය. ඒ අනුව කලූකුඤ්ඤං ආරෙන් එගොඩ ගසකට දැමු වින්ච් වල උදව්වෙන් වාහන දෙක එගොඩ කෙරෙනි. රියදුරන් පමණක් වාහන  දෙකේ සිටි අතර සෙසු අය පයින් එගොඩ විය.

ගමනට තව කොච්චර දුරක් ඇද්දැයි දැනගැනීමට පිරිසට වුවමනා බව ඔවුන්ගේ හැසිරීම් අනුව විමල්ට අවබෝධ විය. නමුත් බුතව බංගලාවේදි ‘කට වරද්දා’ නොගන්නා ලෙස දුන් අවවාදය දැන් පිරිස අකුරටම පිළිපදින ආකාරයක් දිස්විය.


කැලෑවේ හේනක්

’‘තව කිලෝමීටර් විස්සක් විතර මහ කැලේ යන්න  ඕනෑ. දෙවියන්ගේ පිහිටෙන් අපි එහෙනම් යන්න බලමු’’ විමල් පැවසුවෙන් සෙස්සෝ ගමනාවසානයට ඇති දුර හිතාගත්හ.

කලූකුඤ්ඤං ආර තරණය කර ඉදිරියට ඇදෙද්දී තවත් මාර්ග බාධකයකි. එය කලූකුඤ්ඤං ආරට වඩා විශාල බාධකයකි. නමුත් කලූකුඤ්ඤංආර මෙන් ඉවුර දෙපස මහ ගස්කොළං අඩුය.

‘‘මේ තමා අලකොළආර. මේකත් කොහොම හරි එගොඩ වෙමු.’’ මග පෙන්වන්නාවු විමල් සිය හඩ අවදි කළේය. වැසි සමයේ ගසාගෙන ආ ලොකු ගස්වල කදන් අලකොළ ආර හරහා වැටී තිබේ. ඒ නිසා වාහන දෙක එගොඩ කිරිමට පෙර සුදුසු තැනක් බලා ගන්නට විමල් සමග රියදුරන් දෙදෙනා අලකොළ ආරට බැස විපරම් කරන්නට විය. අලකොළ ආරේ වතුර දණහිසින් ඉහළට ඇති බව කාටත් අවබෝධ විය.

අලූත්ගං ආරට, කලූකුඤ්ඤං ආරට, අලකොළ ආරට මුලින්ම බහින විට විමල් අත තිබු දිග රිටකින් එහි දියක`දට වැරෙන් පහර එල්ලකරන ආකාරයක් දිස්විය. එසේ කරන්නේ ඇයිදැයි විමසීමට පිරිසේ සෑම කෙනෙකුටම වුවමනා වුවත් එය ඇසීම ද කට වරද්දා ගැනීමක් විය හැකි නිසා ඒ ගැන කෙළ පිඩක් හෝ නොහැළීමට පිරිස වග බලාගත්හ.

අලකොළ ආරට මුලින්ම විමල් බැස්සේ ‘‘මේවායේ කිඹුල්ලූ ඉන්න පුලූවන්. අපිට සමහර වෙලාවට උන් පේන්නේ නෑ. සත්තු වතුර බොන්න බහිනකම් කිඹුල්ලූ මාන බලං ඉන්න වෙලාවල් තියනවා. අපි එහෙම වෙලාවක බැස්සොත් අපිටත් කිඹුල්ලූන්ගෙන් කරදර වෙනවා. දිග රිටක් අරගෙන වතුරට බහින්න ඉස්සර වතුරට ගැහුවම කිඹුලා රැවටෙනවා. එක්කෝ ඌ ශබ්දය ඇහිච්ච පැත්තට පනිනවා. නැත්නම් ඉන්න තැනකින් යනවා. මේවා කැලෑ ගමන් වලදී දැනගෙන ඉන්න  ඕනෑ. නැත්නම් කොයිවෙලේ කරදර වෙනවද දන්නෙ නෑ.’’ විමල් කියද්දී පිරිස සතුටක් දැනුනේ තමන් බලාපොරත්තුව සිටි පැනයකට පිළිතුරක් ලැබීම නිසාය.

අලකොළ ආරෙන් වාහන දෙක එගොඩ කිරීමට තරමක මහන්සියක් ගන්නට සිදුවිය. වාහන දෙක එගොඩ කරගත්තද ඉදිරියට යායුත්තේ, තිබු පාරේ සලකුණු සොයා ගනිමින්ය. මසකට වරක්වත් මෙහි වාහනයක් ආ ගියත් යුද්ධයත් සමග වාහන  නොපැමිණීම නිසා දැන් ඒ ජිප් රථ පාර පවා කැලෑවට වැසි ගොසිනි.  

අලකොළ ආරෙන් වාහනය එගොඩ කිරිමට තරමක වෙහෙසක් ගැනීමට සිදුවුයෙන් පිරිස සිටියේ දැඩි මහන්සියකිනි. විඩා නිවාගැනිමට වෙලාවක් නොවුයෙන් පිරිස යළිි වාහන දෙකේ නැගුනේ මහ කැබිලිත්තට යන අදහසිනි.

ඉදිරියට යද්දී පාරක් ඇත්තේම නැත. කලකට ඉහතදී ජිප් රථ ගමන් කිරිම නිසා හැදුණු පාර දැන් කුඩා පදුරු වලින් වැසි ගොසිනි. මගපෙන්වන්නා වු විමල්ටද පාර හොයාගැනීමට තරම් අපහසු තත්වයකි. කෙසේ වෙතත් ඔහු යන පාරේ තැනින් තැන මං සලකුණු යෙදුවේ පුරුද්දටය. වැහනයෙන් බැස්ස විමල් පාරක ලකුණු විපරම් කරන්නට විය. මහ කැබිලිත්තට යන්නනම් බස්නාහිරට යා යුතුය. කිසිවෙකු අත මාළිමාවක් හෝ නොවීය. නමුත් බැසයන හිරු අහසේ දිස්වු නිසා හිරු අනුගමනය කරමින් බස්නාහිර පැත්තට තිබු කුඩා පාර ඔස්සේ වාහන දෙක ඉදිරියට ඇදෙන්නට විය.


වන අලියෙක්

ඉර බහින පැත්තෙන් වමට බරව ගියවිට මහ කැබිලිත්ත හමුවෙයි. නමුත් මේ වාහන දෙක ඉර බහින පැත්තෙන් දකුණට බරව යන බවක් විමල්ට දැනුණි. ගස් කපා දැමූ දැව කදන් කිහිපයක්ද, තැන තැන විය. අලකොළ ආර එගොඩ වු පසු පාර වැරදුණු බව විමල්ට හොදින් අවබෝධ විය.

‘‘අපිට පාර වැරදුනා. කිසිම දවසක කැලේ ගමනකද සිදු නොවුණු දෙයක්. කතරගම දෙවි හාමුදුරුවො වැඩ ඉන්න මහ කැබිලිත්තට යන්න ආ ගමනකදි මෙහෙම දෙයක් වුණාමයි. ලොකු අඩුපාඩුවක් වෙන්න ඇති ඒකයි මෙහෙම වුණේ.’’ විමල් කියද්දී සෙස්සෝ එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

අජිත්ලාල් ශාන්තඋදය
ලංකාදීප කතෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/87545

Search This Blog