dunhinda.com

Saturday, October 31, 2015

ඌවේ අප මුතුන්මිත්තන් කළ නිදහස් සටන

ඌව වෙල්ලස්ස කවදත් ජාතිය වෙනුවෙන් සටන් වැදුනු රණවිරුවන් සිටි රන් පොළොව විය. මෙම නිදහසේ පිය සටහන් මත ජාතියේ ලේ තැවරී ඇත. එම කතන්දරය හැම හෙළයෙක්ම කියවිය යුතු ජාතියේ කතන්දරයයි. ඒ අප මුතුන් මිත්තන් ගෙන ගිය සටන් වල ප්‍රතිඵලය ලෙස 1948 පෙබරවාරි 4 අපට දේශපාලන නිදහස ලැබුණි. එම අසිරිමත් කරුණ අද අපි සාඩම්බරයෙන් සැමරිය යුතුව ඇත.
වීර කැප්පෙටිපොල ඇතුළු අප මුතුන් මිත්තන් කළ සටන ඌව දනව්ව පමණක් සීමා වූ ප්‍රාන්තීය සටනක් නොව මුළු හෙළයම අධිරාජ්‍ය පාලනයෙන් හා කෘෘර ඒකාධිපති පාලකයින්ගෙන් නිදහස් කර ගැනීමේ ජාතික සටනක. මෙම ජාතික නිදහස් සටන සඳහා උපදෙස් දී ආශිර්වාද කර යුධ පිටියට පවා ගොස් ඇත්තේ අප බෞද්ධ භික්ෂූන් වහන්සේ බව ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ඌව මහ කැරැල්ල පර්යේෂණ ග්‍රන්ථ වෙළුම් වලින් පෙන්වා දී ඇත.

1815 උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට පෙර සුද්දන්ගේ කතිර ධජය එසවීම ගැන ප්‍රකෝප වූ අපේ වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කළ සිංහ නාදය ජාතිය පවත්නා තෙක් හැම හෙළයෙක්ම අමතක නොකළ යුතු සිද්ධියකි.



නිදහස් සටනට උරදුන් සංඝරත්නය

ඌව මහ හටන මෙහෙයවූ අපේ මුතුන් මිත්තන් තම සටන් පෙරමුණේ රජු ලෙස තෝරාගත්තේ භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිටි අයෙකි. විල්බාවේ හාමුදුරුවෝ සිවුරු හරවාගෙන සිංහළයේ රජු ලෙස අභිෂේක කළේ අප ඌවේ නිදහස් සටන ගෙන ගිය කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු පිරිසයි.
එදා සටන් මෙහෙය වන විට ජනතාව පිළිගන්නා රජෙක් සිටිය යුතුව තිබුනි. ඌවේ සටන මෙහෙයවීමට රජකු අවශ්‍ය විය. රජෙකුගේ තේජසය රාජ උදාර පෞරුෂය ඇති අයෙකු කිවුලේ ගෙදර මොහොට්ටාලට සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා තෝරාගත්තේ විල්බාවේ හාමුදුරුවොයි. මෙම හිමිනම අස්ගිරි විහාරයේ උපසපන් හිමි නමක්ව සිටි බව විල්බාවේට විරුද්ධව පසුව අසන ලද නඩු විභාගයේදී ඔප්පු වී ඇත. එහිදී සාක්ෂි දුන් සාක්ෂිකරුවෙක් විල්බාවේ හදුන්වා දී ඇත්තේ මෙසේය.
විල්බාවේ වෙදරාල්ලෑගෙදර හෙවත් ලේකම් ලෑ ගෙදර හෙවත් කපුරාල්ලෑගෙදර මුදියන්සේ නැමැති තැනැත්තා කැරැල්ලට පෙර විල්බාවේ උන්නාන්සේ නමින් මා දැන සිටියා වූද අස්ගිරි විහාරයේ දී ඔහුගේ උපසම්පදාව සිදුකරන අවස්ථාවේ මට දක්නට ලැබුණු පුද්ගලයාද මොහුම යයි යනුවෙන් සාක්ෂී දී ඇත.
එසේම එම සාක්සීකරු මෙසේද සඳහන් කර ඇත. මොණරාගල සිට ආපසු එන ගමනේදී බුත්තල විහාරය තුල සිරකර සිටි භික්ෂූන් සමුහයක් දිටිමි. එසේම මෙම සටන් සමයේදී භික්ෂූන් වහන්සේ ඉතා දුෂ්කර ගමනක යෙදී සිටි බැව් පෙනේ. මහනුවර සිට මහියංගනය, හේවාහැට, දියතලාවල. හගුරන්කෙත, කතරගම වැනි ප්‍රදේශවලට ඉතා දුෂ්කර ගමනක සතුරන්ට අසුනොවී නිදහස් සටන මෙහෙයවීමට සංඝයා වහන්සේ ගිය ගමන ගැන තෙන්නකෝන් විමලානන්දගේ ඌව මහ කැරැල්ල පොතේ විස්තර කර ඇත.
මෙම ව්‍යාජ රජුගේ අණ පරිදි වියළුව සහ වලපනේ දිසාව තනතුරට පත්කරන ලද කිවුලේගෙදර මොහොට්ටාල විසින් එවන ලද පණිවුඩයක් මගින් මා ව්‍යාජ රජු වෙත යවන ලදී.
“මෙම භික්ෂූන් වනවාස ගණයට ඇතුලත් බවද ඔවුන්ගෙන් කෙනෙකු රජ යයි කියන පුද්ගලයා බවද මට අසන්නට ලැබුණි“ යැයි සාක්ෂිකරු තැනක කියා ඇත.

විනිශ්චයකාර හෙන්රි රයිට් ඉදිරිපිට විල්බාවේ තම නිදහසට කී කරුණු -

විල්බාවේ තම නිදහස සඳහා කළ පාපොච්චාරණය තුල ඉතා වැදගත් කරුණු රැසක් ගැබ්ව ඇත. (1. උඩරට මහා කැරැල්ල තුන්වන වෙළුම - 3 සිට තෙන්නකෝන් විමලානන්ද 2 එම - 6 වැනි පිටුව).

“කුරුණෑගලට නුදුරු විල්බාවේ ගමේ සිට තවත් භික්ෂූන් සත් දෙනෙකු සමග වන්දනා ගමනක් සඳහා පිටත්වීමි. මා සමග ගිය සදෙනා අතරින් අල්ගම උන්නාන්සේ තත්ත්වයෙන් මට සමානය. අනෙක් පස්දෙනා මගේ ශිෂ්‍යයෝය. සිංහළයේ නොයෙක් පළාත් මැදින් ගමන් කල අපි තුන් කෝරළය සතර කෝරළය සබරගමුව ඌව සහ බින්තැන්න හරහා කතරගම සිද්ධස්ථානය කරා ගොස් දඹුලු විහාරයට යන අදහසින් මහියංගනය ඉදිරිපස ගමන් කරමින් සිටියෙමු. එකල බින්තැන්නේ වැදි රටේදී දුනු හී ගත් වැදි පිරිසක් සමග පැමිණි කිවුලේ ගෙදර මොහොට්ටාල අපට යන්ට ඉඩ නොදී නැවැත්වීය. ඔවුහු මගේ සිවුර ඉවත් කරන ලෙස මගෙන් ඉල්ලීය. මක් නිසාදැයි මම ඔහුගෙන් ඇසිමි. කැරැල්ලට මා සම්බන්ධ කරගනීමට ඔවුනට උවමනා බව ඔවුහූ කීහ. මා වනවාසී භික්ෂූවක් බැවින් ඔවුන්ගේ ඉල්ලීමට එකගවිය නොහැකි බැව් කීමි. මට එසේ කිරීමට බලකළ ඔහු අනිකුත් භික්ෂූන් පිටත් කර හැරීමට කැමති වූහ. මම දින දහයක් හා පහලොවක් එම ගුහාවේ රැදී සිටියෙමි. වෙන භික්ෂූන් පිරිසක් අසල ගුහාවක සිටි බව මේ කාලයේ මට අසන්නට ලැබුණේය. මේ අතර කිවුලේ ගෙදර එහි පැමිණ යුද්ධය ආරම්භ වූ බවත්, තවදුරටත් එහි රැදීම නුසුදුසු බවත් කීය. අපි පළමුවෙන් හේවාහැටට පැමිණියෙමු. මින් දින පහක් ගත කලාට පසු කැප්පෙටිපොල කොත්මලේ සිට දන්ත ධාතූණ් වහන්සේ රැගෙන පැමිණියේය. සම්භාවණීය දර්ශනයක් මා කෙරෙන් විද්‍යාමාන වූ බැවින්ද හොඳට බණ කීමෙහි සමර්ථ හෙයින්ද කිවුලේගෙදර මොහොට්ටාල මා මේ සඳහා ඉදිරිපත් කළේය. (3 උඩරට මහා කැරැල්ල තුන්වන කාණ්ඩය 16-19 පිටු).

විල්බාවේගේ මෙම ප්‍රකාශය තුල ඌව මහ සටනේ ප්‍රධාන ලක්ෂණ හා පරමාර්ථ සියල්ල ගැබ්ව ඇත. මෙම සටන ජාතික සටනකි. සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ගෙන ගිය ජාතික සටනකින් සිංහළයා මුදුන්මල්කඩ ලෙස සැලකූ දළදා හාමුදුරුවෝ පෙරටුවේ තබා රට දැය ආගම සඳහා නිදහස් සටනකින් මහනුවර දළදා මාළිගාවෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේ රහසේම ලබාගෙන ඌව කැරළි නායක කිවුලේගෙදර මොහොට්ටාල අතට පත්කළ වාරියපොල සුමංගල හිමියන්ගේ අභීත ක්‍රියාව ආචාර්්‍ය තෙන්නකෝන් විමලානන්ද පෙන්වා දී ඇත. මෙසේ ගෙන ආ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අභියස තබාගෙන සිංහළේ ජන සම්මත රජු වූ විල්බාවේට අභිෂේක මංගල්‍යයක් හගුරන්කෙතදී සිදුකළ අන්දම ඌව මහ සටනේ විස්තර කර ඇත. විල්බාවේට විරුද්ධව විමසු නඩුවේ පළමුවන සාක්ෂිකරු කළ කරුණුද අප නිදහස් සටන පිළිබඳව වූ වැදගත් තොරතුරු රැසක් මෙසේ සඳහන්ව ඇත.



“ඌව උඩුකිඳ දී පළමුවෙන්ම කැරැල්ලට සම්බන්ධ වූ මම ව්‍යාජ රජු හා කැප්පෙටිපොල සමග හේවාහැට ප්‍රදේශයේ දිය බෙත්මට ගියෙමි. එහි තනා තිබූ මාලිගාවට පැමිණි ව්‍යාජ රජු විදේශිකයන් පළවා හැර රාජ්‍ය සෞභාග්‍යයට පැමිණවීම සඳහා කතරගම දෙවියන් විසින් ඔහු පත්කරන ලදැයි ශබ්ද නගා ප්‍රකාශ කළේය. පසු දින අපි ඌවේ කන්ද පල්ලේ කෝරළේ ලේමස් තොටට ගියෙමි. රාජ ලීලාවෙන් ඇඳ පැළඳ සිටි ව්‍යාජ රජු එහි ගෙනගියේ රාජකීය දෝළාවකිනි. මේ කාලය තුල ව්‍යාජ රජු වශයෙන් පෙනී සිටි සිරකරුවා පදවි රාශියක් ඇති කර ඒ ඒ අයට පවරා දෙන ලදී. ඔහුගේ මහ අදිකාරම් වශයෙන් ක්‍රියාකලේ කැප්පෙටිපොලය“.

සාක්ෂිකරු මෙසේද කීවේය.

“කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා සෝවර්ස් මහතා විසින් ඌවට යවනු ලැබූ කැප්පෙටිපොල පහත ඌවේ කරෙව්ලදී හමු වූ දූතයෙක් කැරළි කරුවන්ගේ රජු එවූ ලිපියක් බාර දුන්නේය. ඒ ලියුම කියවනු මට ඇසුනේය. (එය ලැබෙන විට හෙතෙම දිසාව සමඟ සිටියේය.) ලියුමෙහි සඳහන් වුයේ කැරළි කරුවන්ගේ රජු විසින් මහනුවරට අයත් සියළු උසස් තනතුරු ඔහුට පවරා ඇති බැවින් වහාම රජු ඉදිරිපිට පෙනී සිටිය යුතු බවය. මේ තල්පත කියවීමෙන් පසු මා ඇතුළු ඔහු පිරිවරා සිටි වෙනත් මුලාදෑනිවරුන්ට ඉවත්ව යන ලෙස අවසර දුන්නේය. පසු දින උදේ දිසාව දක්නට නොමැති විය. වෙල්ලස්සේ සිට රජු කරා කැඳවාගෙන යාම පිණිස එවන ලද ආරක්ෂක පිරිස සමග පිටත්ව ගිය බවත්ය ඔහුගේ සියලු පිරිවර ජනයා නවත්වා ඔවුන් අතරින් සුළු මුලාදෑනි දෙදෙනෙකු පමණක් කැටුව රාත්‍රියේම පිටත්ව ගිය බවත් අපට අසන්නට ලැබුණේය.“
“කැප්පෙටිපොල මෙම ව්‍යාපාරය සිය කැමැත්තෙන්ම කරන එකක් හැටියට මෙම සිදුවීම අනුව අවබෝධ කරගතිමි. මීට මාස 3කට පමණ පසුව උඩුකිඳ දී මට කැප්පෙටිපොල හමුවිය. පළමුවෙන්ම කැප්පෙටිපොල කැටිව නොපැමිණීම ගැන මට චෝදනා කොට ඔහුගේ අණ පරිදි මාව දින 15ක් සිරභාරයේ තබන ලදී“. (උඩරට කැරැල්ල තුන්වන වෙළුම 10 – 20 පිටු ).

ඌව කැරැල්ල මෙල්ල කිරීමට කැප්පෙටිපොල ඌවට පැමිණි පුවත ආචාර්යය පුංචි බණ්ඩාර සන්නස්ගල පවසන්නේ මෙසේය. “එදා කැරැල්ලේ නායකත්වය දැරූ කොහුකුඹුරේ රාළ කැප්පෙටිපොල අමතා මෙසේ කීය. පස්වාන් දහසකට බුදුවන්ට හාමුදුරුවනේ අපි මේ කරන්නේ නැති වී ගිය සිංහල රාජ්‍ය ඇති කරගැනීමේ සටනක් එයට ඔබ වහන්සේගේ නායකත්වය දෙනු මැන.“
මේ අනුව කැප්පෙටිපොල තබා සමග එවූ සෙබල හමුදාවත් අවි ආයුධත් සියල්ලම ඉංග්‍රීසීන්ට බාරදී ඌව ජනතාව හමුවේ දිවුරාල රට ජාතිය බේරාගැනීමේ සටනේ පුරෝගාමීත්වය භාරගත් බවට එදා කැප්පෙටිපොල ප්‍රසිද්ධියේ පොරොන්දු විය. මෙම පොරොන්දුව අණබෙර මගින් ප්‍රචාරය කළ විගස සුළං රැල්ලක් සේ උඩරට රාජ්‍යය තුලම වැසියන් බොහෝ දෙනෙකුට දැනගැනීමට ලැබුණේය. (පූජිත ජීවිත පළමු වෙළුම - පිට 6).

ඌව දනව්ව

Sunday, October 18, 2015

ඌවේ පෞරාණික විහාරස්ථාන

මොණරාගල දිස්ත්‍රික්කය තුළ දැනට නටබුන් බවට පත්ව තිබෙන පෞරාණික විහාරස්ථාන පිළිබඳව පූර්ණ ගවේෂණයක් හො පර්යේෂණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තවම සිදුකර නොතිබීම පාඩුවකි. සමහර පූජනීය ස්ථාන වලට භාවිතා කළ නම් පවා ජනවහරින් ඉවත්ව තිබේ. එබදු විහාරස්තාන ගැමියන් හදුන්වනු ලබන්නේ නෂ්ඨාවශේෂ අනුව තබා ගත් නම් වලිනි. ටැම්ගල්මණ්ඩිය, ටැම්ගල්ලන්ද, වෙහෙර පුදාම, වෙහෙරගල, පන්සල් වත්ත වැනි නම් වලින් කියැවෙන තැන පැරණි විහාරස්ථාන බව නිසැකය. එබදු අප්‍රකට පූජනීය ස්ථාන හදුනාගෙන ආරක්ෂා කළ යුතුව ඇත. මේ රටට නිදහස ලැබීමට වසර කිහිපයකට පෙර ඌව පළාතේ පෞරාණික සිද්ධස්ථාන ගවේෂණයක යෙදුණු පණ්ඩිත, නාඋල්ලේ ධම්මානන්ද නාහිමියෝ තමන් වහන්සේ සියැසින් දුටු විහාරස්ථාන ලුහුඩු සටහන් මගින් ඌව ඉතිහාසයට එකතු කළහ. උන් වහන්සේ ස්වකීය කෘතියෙන් පෙන්වා දුන් විහාරස්ථාන මෙසේයි.

1. වැලිගම් වෙහෙර
2. ලුණුගල් වෙහෙර
3. උණවටුන සෑය
4. යුදගණා සැය
5. අඤ්ජලි පබ්බත විහාරය
6. උඩගම විහාරය
7. ගැරඩිබතිත විහාරය
8. වගුරුවෙල විහාරය
9. දෙමටමල් විහාරය
10. මාලිගාවිල
11. ගල්ටැම්මණ්ඩිය විහාරය
12. හැබැස්ස
13. යටිල්ලාතොට විහාරය
14. විහාරමුල්ලේ විහාරය
15. මොණරාගල විහාරය හා දළදා මැදුර
16. කොළොන්වින්න විහාරය
17. කොටියාගොඩ විහාරය
18. මණ්ඩාගල විහාරය
19. තලතුරු විහාරය
20. තුඹල්තිස් පවු වෙහෙර
21. දොවේ රජමහා විහාරය
22. යාලමඩිත්තේ පුරාණ විහාරය
23. ගල්ගේ පිටියේ ලෙන් විහාරය
24. මුතියංගණ රාජමහා විහාරය
25. බෝගොඩ විහාරය
26. උළුගල වෙහෙර
27. ගනේතැන්නේ විහාරය
28. දිවුරුම්වෙල විහාරය
29. කලබුලුලන්දේ පුරාණ විහාරය
30. දඹවින්නේ පුරාණ විහාරය
31. මල්පොත පුරාණ විහාරය
32. සොරගුනේ විහාරය
33. බෝගන්දන වෙහෙර
34. මිණිනාපවු වෙහෙර
35. කොටවෙර විහාරය
36. හම්බේගමු වෙහෙර
37. අරඹේකෙම් වෙහෙර
38. සීමා පවුවෙහෙර
39. පණ්ඩිත් කුලම් වෙහෙර
40. ගෝටපබ්බතාරාමය
41. කිංකිණි වෙහෙර
42. බුදුරුවගල
43. කොටවෙහෙරගල
44. මල්ලත්තාවෙල පුරාණ විහාරය
45. පස්සර රජමහා විහාරය
46. දුම්මලේතැන්නේ විහාරය
47. වෙහෙරවත්තේ වෙහෙර
48. ටැම්ගොඩ රජමහා විහාරය
49. නාගල විහාරය
50. විල්ගම් වෙහෙර
51. පොතු බන්දන විහාරය
52. ගිරිතිම්බ විහාරය
53. කොටසර පියංගලු වෙහෙර හා දළදා මැදුර
54. නාගදීප විහාරය
55. ආරණ්‍ය පර්වත විහාරය
56. මහියංගණ රාජමහා විහාරය
57. බුදුගේ කන්ද ලෙන් විහාරය
58. කදුරුගොඩ විහාරය
59. කිරෝනාගම විහාරය
60. කතරගම කිරිවෙහෙර
61. කොස්ලන්ද විහාරය
62. අතරුගිරි විහාරය
63. ලෙන් වෙහෙර
යන විහාරස්ථාන ඌව පළාතේ පැරණි විහාරස්ථාන වශයෙන් ඌව ඉතිහාසය පෙන්වා දී ඇත.

මහියංගණ රාජමහා විහාරය

මේ රට නිදහස ලබා වසර 15ක් ගිය තැන රුහුණු දනව්ව තුළ සැඟවුණු වෙහෙර විහාර සොයා සංචාරයක යෙදුණු පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා “රුහුණේ අප්‍රකට පුරා වස්තු‘‘ නමින් ග්‍රන්ථයක් ලියා පළ කලේය. එහි බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලදී තමන්ට දකින්නට ලැබුණු පැරණි විහාරස්ථාන නම් වශයෙන් මෙසේ හදුන්වාදී ඇත.

1. පිළමකෙම
2. හිඟුරේගල
3. කෝන්කැටිය
4. කෝමාරිකා ගල
5. බුදුරුවගල
6. තලගුරු වෙහෙර
7. දිවුල්බාල විහාරය
8. සීමාපහු කන්ද විහාරය
9. ඇතිලිවැව
10. මාලිගාවිල හා දඹේගොඩ
11. දෙමටමල් වෙහෙර
12. හබැස්ස
13. ලේදෝරුගල
14. මොණරාගල විහාරය
15. වැලියාය
16. මඩුල්ලගස්මුල්ල
17. ගලබැද්ද
18. කිඹුලාවෙල
19. වැලඵල්ලුගොඩ කන්ද
20. මණ්ඩාගල
21. ගල්කොටුව
22. කිරිවැල්ගොඩ
23. නයින්නේවෙල විහාරය
24. බුද්දම

මුතියංගණ රාජමහා විහාරය


බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි පැරණි විහාරස්ථාන වශයෙන් ගුණපාල සේනාධීර මහතා නම් සදහන් කර තිබෙන තැන්

1. මහියංගණය
2. ඔලගංගල
3. බෝගොඩ
4. මැටිගහතැන්න
5. කහටඅතුහෙල
6. මාපාකඩවැව
7. මාවරගල

බෝගොඩ රාජමහා විහාරය


මේවාද ආගමික හා පූරාවිද්‍යාත්මක අතින් වැදගත් තැන් බව නොකිවමනාය.

ඌව දනව්ව - වි.වා.මු. තිලකසිරි බණ්ඩාර මහතා.

Monday, October 12, 2015

ෆේස්බුක් අවදානමට පෙර සූදානමක්

මෑත භාගයේ ෆේස්බුක් භාවිතා කරන බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ෆේස්බුක් ගිණුම සදහා නොදන්නා මිතුරු මිතුරියන් අධික ලෙස එක්කරගැනීම හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දී සිටිති. ඔබ නොදන්නවා වුනාට තමන් නොදන්නා අය තමන්ගේ ඡායාරූප භාවිතා කොට ව්‍යාජ ගිණුම් සකස් කර ලිංගිකත්වය සම්බන්ධ තොරතුරු එම ගිණුම් ඔස්සේ ප්‍රචාරය කොට තම ප්‍රතිරූපයට කැලලක් ඇති කරන්නට උත්සාහ කල හැකියි. එවැනි සිදුවීම් මෑත කාලයේ මා හට දැකගන්නට ලැබුණි.

ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමේ පහත සදහන් දෑ නොකරන්නට වගබලාගන්න

1.ඔබේ හෝ ඔබේ පවුලේ සාමජිකයන්ගේ සම්පූර්ණ උපන්දින පලනොකරන්න. ඔබ යම්කිසි හෙයකින් එය පලකල හොත් එය අන්කෙනෙකුගේ සමාජ විරෝධී ක්‍රියාවකට භාවිතා කල හැකිය.
2. ඔබ මේ මොහොතේ සිටිනා ස්ථානය පලකිරීමෙන් වලකින්න. මෙය ඉතා වැදගත්ය ඔබ දැන් සිටිනා ස්ථානය ෆේස්බුක් පිටුවේ පලකිරීම මගින් ඔබට යම් කෙනෙකුට අනතුරක් සිදුකරන්නට අවශ්‍ය නම් එයට ඉඩප්‍රස්ථාව ඔබ විසින්ම සැලසුවා වැනිය.
3. ඔබේ පෞද්ගලික තොරතුරු. ඔබේ විවාහක/අවිවාහක භාවය.  ඔබ ජීවත් වන්නේ තනියමද, ඔබේ නිවසේ තොරතුරු මෙවැනි දෑ පලකිරීම මගින් පහසුවෙන් වෙනකෙනෙකුගේ ගොදුරක් බවට ඔබ පත්වන්නට තිබෙන අවධානම වැඩිය.
4. ඔබ ඔබේ රැකියාව සම්බන්ධව ඇති ගැටලු හා අතෘප්තිය  පලකිරීමෙන් වලකින්න. යම්හෙයකින් ඔබේ රැකියාව සම්බන්ධව විවේඡනයක් පලකල විට එමගින් ඔබේ ආයතන ප්‍රධානියා ඔබ සමඟ උරන වන්නට පුළුවන එමෙන්ම ඔබ ඒ ආයතනයෙන් වෙනත් අයතනයක රැකියාවකට ගියත් මේ තොරතුරු දැනගැනීමෙන් ඔබ අයදුම්කරනු ලබන ආයතනයේ ප්‍රධානියා ඔබ ගැන අප්‍රසාදයක් ඇතිකරගැනීමට පුළුවන් අතර, ඔබට ලැබෙන්නට ඇති වටිනා අවස්ථාවක් එමගින් ඔබට නොලැබී යන්නට පුළුවන.
5. ඔබගේ දරුවන්ගේ ඡායාරූප පලකිරීමෙන් වැලකෙන්න. ඔබ නිවසේ නැති මොහොතක ඔවුනට පිටස්තරයෙකුගේ කරදරයකට මුහුණ පෑමට ඇති අවදානම වැඩිය.
6. දරුණු දේශපාලනික හා ආගම සම්බන්ධ අදහස් පලකිරීමෙන් වැලකෙන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකිය. සමාජ ජාල වෙබ් අඩවිතුල ඔබ දන්නා පුද්ගලයන් මෙන්ම ඔබ නොදන්නා පුද්ගලයන්ද සිටින බැවින් යම් විරුද්ධ දේශපාලන හෝ අගමික මතයක් දරන කෙනෙකු ඔබට අනතුරක් හෝ පලිගැනීමක් සිදුකිරීමට ඇති අවධානම ඉහලය.
7. අසභ්‍ය වචන භාවිතය තොරවන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදුවනවා මෙන්ම කියවන කෙනාද අපහසුතාවයට ලක්විය හැකිය. එමෙන්ම අසභ්‍ය වචන භාවිතයෙන් ඔබකෙරෙන් ඔබේ මිතුරන් පවා ඉවත්වන්නට ඇති ප්‍රවණාවතාවය ඉහලය.
8. ඔබේ නිවාඩුව ගැන විස්තර පලකිරීමෙන් වැලකෙන්න. ඔබ විවේකීව සිටිනා ස්ථානය සදහන් කිරීම තුලින් අන් අයගේ දුරකතන ඇමතුම්, ඔබ මුණගැසීමට පැමිණීම තුලින් ඔබේ විවේකය ඔබට අහිමිවන්නට ඇති ඉඩකඩ වැඩිය.
9. ඔබ පිලිබද සියළු විස්තර පලකිරීමෙන් වැලකී සිටින්න. එමගින් සියළුදෙනා ඔබගැන සියළු තතු දැනගනී. එමගින් ඔබේ පෞද්ගලිකත්වයට හානිවිය හැකියි.
10. අධික ලෙස ඡායාරූප පලකිරීමෙන් වලකින්න. විශේෂයෙන් ඔබ කාන්තාවක් නම් අධික ලෙස ඡායාරූප පලකිරීමෙන් වලකින්න. ඔබේ ඡායාරූප විකෘතිකර වෙනත් ගිණුම් සකස් කිරීමේ ඇති හැකියාව වැඩිය.
ඔබට සිදුවන ෆේස්බුක් හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පහත ලින්ක් එක භාවිත කරන්න.
https://www.facebook.com/help/contact/274459462613911

අවුරුදු 13ට අඩු දරුවෙකුගේ ඡායාරූප ඇතුලත් කල ෆේස්බුක් ගිණුමක් ඇත්නම් පහත සදහන් ලින්ක් එක ඔස්සේ ඔබට එය ෆේස්බුක් ආයතනය වෙත දැන්විය හැකිය.
https://www.facebook.com/help/contact/209046679279097

ඔබේ ගිණුමේ ආරක්ෂාව සලසාගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/settings?tab=security

ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමට පහත ලින්කය ඔස්සේ ගොස් එහි ලබාදී ඇති විදිවිදාන භාවිතා කරන්න.
https://www.facebook.com/settings?tab=privacy

සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් තුල ඔබගේ ඡායාරූප එක්කිරීමේදී ඒ සදහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පිලිපැදීම මගින් ඔබගේ ආරක්ෂාව සලසා ගත හැකිය. එමෙන්ම ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය අළුත් වැඩියා කිරීමට ගෙන යෑමේදි සියලුම ඡායාරූප එයින් ඉවත් කිරීමට වගබලා ගන්න. ඉතා විශ්වාසදායක තැනකට එය අළුත්වැඩියා කිරීමට භාරදෙන්න. ඔබගේ මුර පදය සදහා (#$%@#) සංකේත භාවිතා කරන්න. එමෙන්ම ඔබගේ ෆේස්බුක් ගිණුමේ අන් අයට ඔබේ අනුදැනුමකින් තොරව දැන්වීම් පලකිරීමට ඇති අවස්තාව අවහිර කරන්න. එමගින් ඔබට අන්අය ඔබේ ගිණුමතුල ලිංගිකත්වය හා සම්බන්ධ තොරතුරු පලකිරීමෙන් වලක්වා ගැනීම මෙන්ම ඔබේ ගිණුමට ආරක්ෂාව සැලසෙනු ඇති.
ඔබ සැලකිලිමත්වුව හොත් ඔබට වෙන්නට ඇති අනතුරකින් ඔබට ගැලවිය හැකිය. සමාජ ජාල වෙබ් අඩවි තුලින් ඔබබේ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙන අතර එමගින් සිදුවිය හැකි අකටයුතුකම් ගැනද ඔබ දැනුවත් වී සිටීම තුලින් ඔබේද ඔබේ සමීපතමයන්ගේද ආරක්ෂාව සැලසෙනු ඇත.
වැඩිදුරටත් දැනුවත්වීම සදහා පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.
www.facebook.com/CSSriLanka

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු


12-10-2015 ‘රිවිර‘ පුවත්පතේ, සයිබර් යෞවනය කොටසේ පලවු ලිපියකි.



Friday, October 2, 2015

ඌවේ නිදහස් සටන

උඩරට රදල ප්‍රධානීන් 1815 උඩරට ගිවිසුම අත්සන් කළේ පලුදුවී ගිය තම ස්වාධීනත්වය හා රාජ්‍ය පාක්ෂික භාවය නැවත තහවුරු කර ගැනීමේ උදාර අදහස මතය ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සිහසුනෙන් පහකොට ඔහු අල්ලා ගැනීමෙන් පසු ස්වදේශය රදල පෙලැන්තිය බලාපොරොත්තු වූයේ සිංහලේ ප්‍රධාන අදිකාරම් වූ ඇහැලේපොල රජ බවට පත්කරන බවට ඉංග්‍රීසීන් විසින් දෙන ලද ඉඟියක් අනුවය. එහෙත් අවාසනාවකට මෙන් සිදුවූයේ අනෙකකි. ගිවිසුමේ කොන්දේසි ඉංග්‍රීසීන්ට දැන් අමතකය. අනුක්‍රමයෙන් ඒවා ගිලිහෙමින් පැවැතුණි. බුද්ධාගම හා භික්ෂූන් වහන්සේ පිළිබඳව ඉටුකරන බවට දුන් පොරොන්දු ජාතිකයෙකුට පැවරීම කිසිසේත්ම සතුටට හේතුවක් නොවීය.



මේ අතර නායක්කාර් වංශයට නෑකම් කියන රජකමට හිමිකම් ඇති විල්බාවේ හෙවත් දොරේසාමි නම් අමුත්තෙකු වෙල්ලස්සේ සැරිසරන බව දැනගත් ඌව දිසාවේ නතරවී සිටි විල්සන්, උඩරට ප්‍රදේශවල පරිපාලන කටයුතු භාරව සිටි ජෝන් ඩයිල් වෙත දැනුම් දුන්නේය. විල්සන් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වෙල්ලස්සට ගිය අතර, එහි සිංහලේ නායකත්වය දැරූ බූටාවේ රටේ රාළ සමඟ සාකච්ඡා කළ නමුත් එය අසාර්ථකවී ආපසු වෙනත් පාරකින් පොල්වත්ත හා තල්දෙන හරහා බදුල්ල බලා පිටත්වීමට සිටි විල්සන්ව බිබිලේ උණගොල්ල ඊතණවත්ත දේවාලයේ අසලදී සිංහළ සොල්දාදුවකු වූ තිසාහාමි නැමැත්තෙකු විසින් විදින ලද ඊතළ පහරකින් මරුමුවට පත්විය. තවත් කෙනෙකුගේ මතය වුයේ තිසාහාමි වැදිහමුදාවේ සොල්දාදුවකු බවය. කෙසේ වෙතත් වෙල්ලස්සේ බූටාවේ රටේ රාළගේ සිංහලේ හමුදාව කවදත් විදේශීය ආධිපත්‍යයට විරුද්ධව සටන් ආරම්භ කිරීමේ අභයභූමිය වශයෙන් සළකන ඌවෙන්ම ඉංග්‍රීසීන්ට විරුද්ධව සටනේ මූලිකත්වය වෙල්ලස්සෙන් ඇරඹූ බවය.

හජ්ජියේ සහ විල්සන්ගේ මරණයෙන් කලබලයට පත් ඉංග්‍රීසීන්, විල්සන් දැරූ තනතුරට ආදායම් කොමසාරිස් වශයෙන් සේවය කළ සොයර්ස් පත් කළ අතර. මේ වනවිට වෙල්ලස්ස දිසාව මිල්ලෑවටද, වලපනේ දිසාව කොබ්බෑකඩුවටද, ඌව දිසාව කැප්පෙටිපොලටද පවරන ලදී. මේ අතර පහළ ඌවේ වනගතව සිටි විල්බාවේ හෙවත් දොරේසාමි වෙල්ලස්ස, ඌව සහ බිම්තැන්න ප්‍රදේශවල සිටි සිංහළයන්ව ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් වදින ලෙස නියෝග කළේය. විල්සන්ගෙන් පසුව ඉංග්‍රීසි හමුදාව භාරව කටයුතු කලේ මැක්ඩොනල්ඩ්ය. ඔහු භාෂා පරිවර්ථකයාද විල්සන් මැරූතැන මරා එල්ලා තිබුනි. බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල වෙල්ලස්ස හා වලපනේ සටන් මෙහෙයවූහ. මේ අතර කැරැල්ලේ තරම දැනගත් ඉංග්‍රීසීන් ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව ආදී ප්‍රදේශවලින්ද හමුදා ගෙන්වා, හමුදා මෙහෙයවීම සඳහා කර්නල් කේලී සහ මේජර් ස්පෙන්සර්ද කැරලි ප්‍රදේශවලට යවන ලදී. යුධ නීතිය ප්‍රකාශයට පත්කොට මොහොට්ටාලවරුන් කිපදෙනෙකු සමඟ මොණරවිල කැප්පෙටිපොලද කැරලි මර්ධනයට යැවූ බව කියනු ලැබේ.

බුටාවේ රටේරාළ
කොහුකුඹුරේ රටේරාළ
කිවුලේ ගෙදර මොහොට්ටාල
ආදාවල මොහොට්ටාල

යන අය එකතුව ඉදිරියට එන මොණරවිල කැප්පෙටිපොල අභිමානවත් ජාතික සිංහළයෙකු වශයෙන් ඉංග්‍රීසීන්ට කත් නොඇද සිංහලේ හමුදාවට එක්වන්නයැයි කියා පණිවිඩයක් ලියා යැව් බව කියනු ලැබේ. මේ පණිවිඩය රැගෙන ගියේ ඌවපරණගම බෝඹූරේ වැසි කැරලි නායකයකුව සිටි සුද්දනා දූරයා විසින් යැයි කියනු ලැබේ.



කෙසේ හෝ කැප්පෙටිපොලට මේ වනවිට සිංහලේ හමුදාවට එක් නොවී බැරීවිය. අලුපොතදී සිංහලේ හමුදාවට කැප්පෙටිපොල එක්වූ බව ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබුනේ යුද නීතිය පැනවූ 1818 නොවැම්බර් 7 දිනයේ විය. කැප්පෙටිපොල ඇහැලේපොලගේ බෑනා කෙනෙකි. සියළුම රදලවරුන් කැප්පෙටිපොලට පක්ෂයහ. කැප්පෙටිපොලගේ තනතුරට ඉංග්‍රීසීන් විසින් මොල්ලිගොඩ නිළමේ පත් කරන ලදී. මෙයින් පසු ඌව කැරල්ලේ නායකයන්වූ 17 දෙනෙකු සටන් මෙහෙයවීම ආරම්භ කිරීමෙත් සමඟ සටන උග්‍ර අතට හැරුනු බව කියනු ලැබේ.

කැප්පෙටිපොල ඌවේ නිදහස් සටනට එක්වීම ඉංග්‍රීසීන්ගේ බියට හේතුවක් විය. 1818 පෙබරවාරී වන විට මඩුගල්ලේ සටනේ දුම්බරද, හේවාහැට, සබරගමුව කොටසක් හා හත්කෝරලේ, හාරිස්පත්තුව, මාතලේ සහ නුවර කලාවියද සටනට එක්විය. උඩුනුවර, යටිනුවර තුන් කෝරළේ හතර කෝරලේ ආදී උඩරට සියළු ප්‍රදේශවල සටන ව්‍යාප්ත විය. මේ නිසා 1818 පෙබරවාරී 21 වන දින මුලු උඩරටම යුධ නීතිය පැනවිය. කැරල්ලේ නායකයන් අල්ලා දෙන අයට තෑගි පිරිනෑමීමද කරනු ලබන බව ප්‍රසිද්ධ කළේය. ඉන්දියානු හමුදාවක ආධාරද ලබාගත්තේය. කැරලි නායකයන් දළදාවද පැහැර ගත්තේය. දළදාව හිමි තැනැත්තා සිංහල රාජ්‍ය උරුමය හිමි තැනැත්තාය. සිංහලේ රාජ්‍ය සම්ප්‍රදායය එයයි. මේ අනුව විලිබාවේ හෙවත් දොරේසාමි හඟුරන්කෙතදී විශාල පිරිසක් මධ්‍යයේ ‘වීරවික්‍රම ශ්‍රී කීර්ති‘ නමින් උඩරට රජ වශයෙන් ඔටුනු පැළැදීය.

එසේ නමුත් මොණරවිල කැප්පෙටිපොල, මඩුගල්ලේ සහ විල්බාවේ අතර ඇතිවූ මතභේද ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට හේතුවිය. ස්වකීය පෞරාණික උරුමය ආරක්ෂා කර ගැනීමට සටන් කරන විට ඉංග්‍රීසීන් ඉතා කෘෘර ලෙස ගම්බිම් හරකාබාන විනාශ කරමින් දකින දකින අයට වෙඩි තබමින් ගෙනගිය නිවට නියාලු ප්‍රතිපත්තිවල සාධාරණත්වයක් නැතැයි ඉංග්‍රීසි ජාතික හෙන්රි මාෂල් සහ ආනන්ද කුමාරස්සාමි යන අය සදහන් කරයි. එපමණක්ද නොව 1815 උඩරට ගිවිසුමේ වගන්ති දෙකක් 1818 ඌව කැරැල්ලෙන් පසු වෙනස් කරන ලදී බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ වගන්තියත්, රදල ප්‍රධානීන්ගේ වරප්‍රසාද පිළිබඳ වගන්තියත්, වෙනස්කොට සියළු ආගම්වලට පොදුවේ සැළිකීමටත්, රදළවරුන්ට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවටත් එකසේ සැලකිය යුතුබවවත්, ඉංග්‍රීසීන් අදහස් කළේය. සටන් ප්‍රදේශ වශයෙන් සලකන බුත්තල, බිම්තැන්න, වියළුව, වෙල්ලස්ස ආදී ප්‍රදේශවලට බරපතල හානි සිදුකරන ලදී. තවදුරටත් සටන් පැන නගීය යන අදහස උඩ ඌවපරණගම, ඇටැම්පිටිය, පස්සර, අළුපොත, බදුල්ල, කොටබෝව වැනි ස්ථාන 1845 පමණ වනතුරු ඉංග්‍රීසි සේනාංක සමඟ යුධ කඳවුරු වශයෙන් තබාගත් බව පෙනේ. මේ සටන නිසා ඌවේ සංවර්ධනය වර්ෂ ගණනක් ගතවන තෙක්ම නොනැගිටින සේ විනාශ කර දමන ලදී. 1816 සර් බ්‍රවුන්රිග් ලංකාවේ උයන හැටියට සැලකූ ඌව මේ වන විට පාළු සොහොන් බිමක් බවට පත් කරන ලදී.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කැරලිකරුවන් සහ රාජද්‍රෝහීන් ලෙස නම්කළ 1818 උඩරට නිදහස් සටනේ පුරෝගාමීයෝ



කැප්පෙටිපොල දිසාව               - ඌව
ගොඩගෙදර අදිකාරම්               - ඌව
කැටකැලේ මොහොට්ටාල        - ඌව
මහබෙත්මෙරාල කතරගම        - ඌව
කුඩාබෙත්මෙරාල කතරගම      - ඌව
පළුගොල්ලේ මොහොට්ටාල    - ඌව
වටකැලේ මොහොට්ටාල         - ඌව
පොල්ගහගෙදර රෙහෙනරාල   - ඌව
පොස්සරවත්තේ විදානේ          - ඌව
කිව්ලේගෙදර මොහොට්ටාල    - වලපනේ
යාලගම මොහොට්ටාල            - වලපනේ
උඩමැදුරේ මොහොට්ටාල        - වලපනේ
කොහුකුඹුරේ රටේ රාළ           - වෙල්ලස්ස
බූටාවේ  රටේරාළ                    - වෙල්ලස්ස
බගිනිගහවෙල රටේ රාළ          - වෙල්ලස්ස
මහබදුල්ලේ ගම්මන රටේ රාළ - වෙල්ලස්ස
බුදුපිටිය මොහොට්ටාල            - වෙල්ලස්ස
පළුමල්හේන ගම්ඇතිරාල         - වෙල්ලස්ස


Search This Blog