dunhinda.com

Monday, October 29, 2012

කිරිවෙහෙර මළුවේ පිරිත් කියූ උපාසක තැන අෂ්ඨඵල බෝධිය අසලදී අතුරුදන්වේ - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36


හිරු බැස ගොස් හෝරා කිහිපයක් වුවද  මාස කිහිපයකින් වැසි නොවැටුණු නිසා පරිසරයේ උණුසුම අඩු නැත. එහෙත් හමායන සුළග දාහය නිවයි. මාස පෝයට දින කිහිපයක් ඇති නිසා පරිසරයේ ඇති අදුර කෘත‍්‍රීම විදුලි පහන් එළියෙන් මැකී ගොසිනි. අහසේ බැබළෙන තරු කැට ගෙනාවේ අමුතුම චමත්කාරයකි.

සුදුවතින් සැරසුණු බැතිමතුන් මල් වට්ටි කිහිපයක් හා හදුන්කූරුද පොල්තෙල්ද අතැතිව සිටියි. පිරිස අතර වැඩිහිටි කාන්තා සහ පිරිමි කිහිප දෙනා අතර තරුණ විය නොඉක්මවූ ළදුන් කිහිප දෙනෙක්ද වූහ. කිරිවෙහෙරෙන් පරාවර්තනය වන විදුලි ආලෝකයෙන් ඔවුන්ගේ මුහුණු වලටද නැවුම් බවක් එක් කළේය.

මේ කතරගම කිරිවෙහෙර පුණ්‍ය භූමියයි. දේවාලයට යන්නට පෙර කිරිවෙහෙර සහ අෂ්ඨඵල බෝධිය වන්දනා කර දෙවියන්ට පින්දීම කළයුතු බව ගමනාරම්භයේම සාකච්ඡාවට ගත් වන්දනා නඩයේ පිරිස දොළොස් දෙනකුට වඩා නැත. කළුතර නගරයට ආසන්න ප‍්‍රදේශයකින් පිටත්වු පිරිස කතරගමට ළගාවන විට හිරු බැස යාමට ළංව තිබුණි.

කතරගම දෙවියන් වැදපුදා ගැනීම නඩයේ මේ ගමනේ පරමාර්ථය විය. කතරගම දෙවියන් යනු මතු බුදුවන දෙවි කෙනකු යැයි නඩයේ සිටි තලතුනා වැඩිහිටියෙක් ගමන අතරමගදී පිරිසට ඒත්තු ගැන්වීය. අදටත් කතරගම දෙවියන් ජීවමානව වැඩ වෙසෙන බවට ඔහු කියවු කතා ගණනාවක්ම පිරිසට පැවසූ නිසා ගමනට එක්වු සියලූ දෙනා තුළම ඇතිවුයේ මහත්වු භක්තියකි.

කතරගම දේවාලයේ විශාල පිරිසක් සිටියත් කිරිවෙහෙර බිමේ එතරම් පිරිසක් නොවූහ. තැනින් තැන වාඩිවී පිරිත් පොත් කියවන, සහ බෝධි වන්දනා ගාථා කියවන බැතිමතුන්ගේ සිහින් හඩ සිත් නිවාලීය. මේ පිරිසද ගෙනා මල් මලසුනේ තැන්පත් කර එහිවු පහන්වලට තෙල් දමද්දී කණ්ඩායමේ තවත් කිහිප දෙනෙක් සුවද දුම් දල්වා ඒවා මලසුනේ වු වැලිපුරවා තිබු බදුන්වල රදවමින් සිටියහ.

ඔවුන් පිටුපස බැලූවේ චෛත්‍ය මළුවේ වලාකුළු බැම්ම අද්දරින් ඇසුනු පිරිත් සඡ්ඡායනාවේ මිහිරි නාදය කන වැටුණු නිසාවෙනි. සුදු ඇතිරිල්ලක් එළා එරමිනිය ගොතා වාඩිවී සිටි මැදිවිය ඉක්මවු උපාසක ඇත්තෙක් ඔවුනගේ නෙත ගැටිණි. ඒ මිහිරි පිරිත් සඡ්ඡුායනා හඩ එසේ දුටු උපාසක තැනගේය.

ඒ උපාසක ඇත්තාගේ උඩුකය නිරුවත්ය. සුදුපැහැති සරමක් ඇද සිටි මේ තැනැත්තා උතුරු සළුවක් කරේ දමාගෙන උකුළ මතවු පිරිත් පොත දෙස බලාගෙන පිරිත් සඡ්ඡායනය කළේ උපැස් යුවළක් හෝ නැතිවය. ඔහුගේ මුහුණ පිරිත් පොත දෙසට නැඹුරුව තිබු නිසා මුහුණ හොදින් පෙනුණේ නැත.

’‘ලස්සනට පිරිත්ටික කියනවා නේද? සිල් සමාදන්වු කෙනෙක් වෙන්නැති.’’ පිරිස අතරින් කෙනෙක් පිරිත් කියන උපාසක ඇත්තා ගැන කීවේය. ඒ වනවිටත් මේ පිරිසද පිරිත් සඡ්ඡුායනයට හිත් යොමුකරවමින් සිටි නිසා ඉබේටම ඔවුන්ගේ දෑත් එක්ව තිබුණේ වදින ස්වරූපයෙනි.

’‘කෝ අපේ කට්ටිය. අරපැත්තේ මල් පුජාකරලා ඉවරනම් මේහාට එන්න කියමු. පිරිත් ටිකකුත් අහලාම බෝධි වන්දනාවට යමු’’ යැයි කියමින් නඩයේ සෙසු පිරිස සෙවීමේ අරමුණු ඇතිව දකුණු පැත්තෙන් චෛත්‍යය වටේ ගියහ. ඒවනවිට දෙතුන් පොළක වෙන වෙනම වන්දනාවේ නිරත තම කණ්ඩායමේ සාමාජිකයන් දුටු මේ පිරිස ඔවුන් වන්දනා කරනතෙක් අදුරත්, විදුලි අලෝකයත් මුසුව හමනා සුළගින් ලෙළදෙන තුරුලතා දෙස නෙත් යොමා සිටියහ.

හමායන මදනළ වියළි වුවත් ගත සිත සිසිල් කළේය. පරිසරයේ චමත්කාරය විදිමින් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් ඔවුන්ට එහි ගතකරන්නට සිදුවුයේ තම කණ්ඩායමේ සෙසු පිරිස එතරම් වේලාවක් වන්දනාවේ යෙදීම නිසාය.

‘‘මොකද ඔයගොල්ලො ඔච්චර ඉක්මනට වන්දනා කළාද?’’ වන්දනා කටයුතු නිමකළ  වැඩිහිටි කාන්තාවක් විමසුවාය. ‘‘ඔව් අපි හදුන්කූරු පත්තුකරලා වැදලා ඉවරවෙනකොට අරපැත්තේ සිල්ගත්ත උපාසක ඇත්තෙක් හරිම මිහිරි හඩින් පිරිත් කියනවා. අපි ටිකක් අහගෙන ඉදලා ආවේ පිරිත් අහන්න ඔයාලත් එතනට එක්ක යන්න.’’ පැනයට පිළිතුර විය.

දැන් පිරිස චෛත්‍ය මළුවේ වමට හැරී යන්නේ උපාසක ඇත්තාගේ පිරිස් සඡ්ඡායනයට සවන් දෙන්නටය. චෛත්‍ය මළුවේ නැගෙනහිර සහ දකුණු දොරටු අතර වලාකුළු බැම්මට ආසන්නව අසුන් ගෙන පිරිත් කියු උපාසක ඇත්තා ඒවනවිටත් පිරිත් කියා අවසන්ව නැගිට ඉදිරියට යන දසුන පිරිසේ නෙත්වලට ගැටුණි.

‘‘අනේ ඒ ඇත්තා පිරිත් කියලා ඉවරවෙලා යන්න යනවා. බෝධිය පැත්තට වෙන්නැති යන්නේ. සමහරවිට බෝධි පූජාව තියන්න යනවද දන්නේ නෑ. පිරිත් කියනකොට අහගෙන ඉන්න හරිම ආසයි.’’ පිරිත් සඡ්ඡායනය ඇසු කෙනෙක් සෙසු පිරිසට කීය. මේ පිරිස දැන් යන්නේ කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අතර ඇති අෂ්ඨඵල බෝධිය වදින්නටය. මුලින් කී උපාසක ඇත්තාද ඔවුන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ශාන්තව ගමන් කරන අයුරු දිස්වූයේ මග දෙපසවු විදුලි පහන් කණුවල දැල්වුණු ආලෝකයෙනි.

‘‘කතරගම දෙවිහාමුදුරුවෝ මේ කිරිවෙහෙරෙ වගේම මහ කැබිලිත්තෙත් වැඩ ඉන්නවාලූ. සමහරු කතරගමට එන්නේ විනෝදයට. එහෙම ආවාට ප‍්‍රතිපලයක් නෑ. කතරගමට ආවාම චෛත්‍යය වගේම බෝධියත් වන්දනා කරලා දෙවියන්ට පින්දීලා තමයි දේවාලෙට යන්න  ඕනෑ. සමහරු කතරගමට එන්නේ දෙවියන්ගෙන් නොයෙක් නොයෙක් පිහිටාරක්‍ෂාව ඉල්ලාගෙන. ලොකු ලොකු පූජාවට්ටි තියනවා. පඩුරුත් එහෙමයි. ඒවායින් වැඩක් නෑ. කතරගම දෙවියන්ට  ඕනෑ පින්. අපි පින් කරලා ඒ පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ඉල්ලනවා නම් කාටවුණත් දෙවියෝ පිහිට වෙනවා. එහෙම පින් දෙන අය හැම වෙලාවෙම දෙවියෝ ආරක්‍ෂා කරනවා.’’ පිරිසේ වු වැඩිහිටියෙක් කතරගම වන්දනාවේ ආයුතු ක‍්‍රමය කාටත් පැහැදිලි කර දුන්නේය.

ඔහුගේ කතාව දෙසට අවධානය යොමුකළ සියලූ දෙනාම හිස සලා එය අනුමත කළේ  කතරගම වන්දනාවේ එන වැඩි පිරිසකගේ හැසිරිම් රටා ගැන සිහිපත් කරමිනි.

-කතාවෙන් කතාවෙන් බොධීන් වහන්සේ ළගටම ආවා. ආ... කෝ අර උපාසක ඇත්තා.’’ තමන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ආ පිරිත් කියු උපාසක ඇත්තා පෙනෙන්නට නොවු නිසා පිරිසේ කෙනෙක් විමසීය.

-පන්සලට හැරෙන තැනත් පහුකරනවා මම දැක්කනේ. කොහාටද ගියෙ. හැරිලා ගියේනම් නෑ. මම දැක්කා මේ තොරණට කිට්ටු කරනකම්. මේක හරිම පුදුමයක්.’’ පිරිත් කියු උපාසක ඇත්තා කොහේ ගියේදැයි විපරම් කරමින් තවත් කෙනෙක් කීය.

අෂ්ඨඵල බෝධිය වටේත් දේවාල බිමේත් මේ උපාසක ඇත්තා සෙව්වද ඔහු සොයාගත හැකි නොවිණි. ඒනිසා බෝමළුවේ බටහිර අන්තයේ වැලිතලාවේ වාඩිවු පිරිස එකට එක්ව බෝධි වන්දනාවේ යෙදුනහ. අඩහෝරාවක පමණවු වන්දනාවකින් පසු පිරිස නැගි සිටියේ දේවාලයට පුජාවට්ටියක් තැබීමට යන පෝලිමට එක්වන්නටය.

ඒවනවිටත් ඔවුන් සුදානම්කරගෙන ආ පුජා වට්ටිය අතැතිව ඔවුන් පැමිණි වැන් රථයේ රියදුරු පත්තිනි දේවාලය, සුනියම් දේවාලය ඇතුළු දේවාල කිහිපය පිහිටා ඇති, බෝධියේ උතුරු පැත්තේවූ ගල් බැම්ම මත වාඩිවී සිටිනු පෙනුනි.

නඩයේ සියල්ලෝම පෝලිමේ දේවාලයට ගොස් පුජාව තබා ආපසු පැමිණ පාගමනින්ම නවාතැන් පොළට ගියේ කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන කතා බහ කරමිනි.

‘‘ඇත්තටම අර පිරිත් කිය කියා ඉදලා අපි එනකොට ඉස්සරහින් ආව උපාසක ඇත්තට මොකද වුණේ? මටනම් හිතාගන්න බෑ. එයා අපට නොපෙනී කොහාටද ගියේ කියලා පුදුම හිතෙනවා.’’ හෝරා කිහිපයකට පෙර කතරගම පින් බිමේදී මුහුණදුන් අත්දැකීම ගැන කතාව ආරම්භ කළේ නවාතැනට පයින් බොහෝ දුරක් යායුතුව තිබු නිසාවෙනි.

‘‘අපි කතරගමට ආවාට දැන් වැඩි දෙනෙක් පුජාවන් තියන්න මහකැබිලිත්ත කියන දිහාලූ යන්නේ. කතරගම දෙවියන් එහේ වැඩ ඉන්නවා කියලනේ මිනිස්සු විශ්වාස කරන්නේ.’’  කතාව වෙනතකට හැරවිනි.

‘‘කතරගම දෙවියන් කොහේ ඉන්නවාද නැද්ද කියන එක අපට වැඩක් නෑ. අපි කොහාට ගියත් හොද පිළිවෙත් ආරක්‍ෂා කරලා යන්න එන්න  ඕනෑ. දැන් පේන්නැද්ද කතරගම දේවාලෙට හරිහමන් විදියට ඇදුමක් ඇඟේ දාගෙන ආවේ කීදෙනාද? අර කාවාඩි නටපු අයගේ විච්ඡුරණ ඇදුම් දැක්කේ නැද්ද? ඒවා දේවාලෙකට තියා කඩපිළකටවත් ඇදගෙන යන්න සුදුසු ඒවාද? සමහර ඒවා දිගකලිසමටත් නෑ කොට කලිසමටත් නෑ. ඉතින් ඒවා ඇදගෙන ඔය යන්නේ එන්නේ තමන්ගේ හිත රවට්ටාගන්න.’’

‘‘කතරගමට හරි මහකැබිලිත්තට හරි වෙන කොහාට හරි වුණත් කමක් නෑ ඔහොම නොහොබිනා අන්දමට ගියොත් නම් දකින දකින මිනිස්සු නින්දා කරනවා මිසක් දෙවියන්ගේ ආශිර්වාද නම් ලබන්න බෑ. අද මිනිස්සු හිතන්නේ හැමදේම සල්ලිවලට ගන්න පුලූවන් කියලා. ඒකනේ ලොකු පලතුරු වට්ටියකට මොනර කොළ දෙකතුනක් තියලා පුජාව තියන්නේ.’’ කතරගම දෙවියන් නැමදීමට සමහරුන්ගේ ක‍්‍රියාකලාපය ඒ ආකාරයටම විග‍්‍රහකළේ පිරිසේ හිටි තලතුනා අයෙකි.

නවාතැනට පැමිණි පිරිස මුහුණ අතපය සෝදා රාත‍්‍රී ආහාර ගනිද්දීත් කතාකළේ අතුරුදන්වු උපාසක ඇත්තා ගැනය. ‘‘කතරගම දෙවියෝ කිරිවෙහෙර චෛත්‍ය භුමියේ දී දැකපු කීදෙනෙක් ඉන්නවාද? පෙරහර අවසන් වෙලා ගිනි පාගනකොට ඉස්සර වෙලාම කතරගම දෙවියන් ගිනි පාගනවා දැක්ක බව අපවත්වුණු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ පොතක තියනවා මම දැක්කා. ඒ හින්දා ඒ අතුරුදන් වු උපාසක ඇත්තා ගැන වැඩි මනත් හිතන්න එපා. අපි නින්දට යන්න පෙර ආයෙත් දෙවියන්ට පින් දිලා නිදා ගනිමුකෝ. නඩයේ සිටි වැඩිහිටියෙක් අවවාද කළේය.

මේ වනවිට කතරගම දෙවියන් වන්දනාවට කතරගමට එන සමහරු කතරගමින් හෝ තිස්සමහාරාමයෙන් කුලියට වාහන රැගෙන මොනරාගල, කොටියාගල හරහා මහකැබිලිත්තට යාම සිරිතක් කරගෙන සිටිති. නමුත් දැන් මහකැබිලිත්තට යන එන මිනිසුන් ඒ අවට වනසා දැමීම නිසා මහකැබිලිත්ත අවට දැඩිලෙස අපිරිසුදු කර ඇත. කතරගමත් මෙසේ වනසා නොදමන්නේ එහි යම් පාලනයක් ඇති නිසාය.

මහකැබිලිත්ත අයත්වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට වුවත් එතැන ඔවුන්ගේ පාලනයක් නැත. ඉදිරියේ එන්නේ අන්තර් මෝසම් සමයයි. ඊසාන දිග මෝසම් වැස්සේ ආරම්භයවු මේ අන්තර් මෝසම් වැස්ස මහකැබිලිත්ත පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයටද ඇද හැළෙයි. දශක තුනකට ඉහතදි මහකැබිලිත්තේ තිබු වනජීවී බීට්ටු කාර්යාලය අතහැර කුමණට යන්නේ වැසි සමයේ ගමන් අපහසුව නිසාය. අලකොළආර, කලූකුඤ්ඤංආර, අලූත්ගංආර පමණක් නොව කුඹුක්කන්ඔයත්, මැණික් ගගත්  මේ මෝසම් කාලයේ පිරී ඉතිරී යන්නේ පෙර දැනුම්දීමක් නැතිවය. ඒනිසා ජිප්රථවලින් පමණක් නොව ට‍්‍රැක්ටර්වලින් පවා මහකැබිලිත්තට යාම ඉදිරි කාලයේ අතිශයින් අවදානම්වනු ඇත. ඒනිසා කතරගම දෙවියන් වැදපුදා ගැනීමට මහකැබිලිත්තට වඩා කතරගමටම යාම සුදුසුවනු ඇත. ඒ ගමන වුවත් ඵලදායි වන්නේ භක්තියකින් ගියොත් පමණි.

අජිත්ලාල් ශාන්තඋදය


2012 ඔක්තෝබර් මස 21 16:01:46 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


 කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණෝ

කතරගම දේවාල බිම

නිසි ඇදුමක් නැතිව රංගනයේ යෙදෙන කාවඩිකරුවන්





මහකැබිලිත්තේදී වන අලි ප‍්‍රහාරයක් - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35


ගස්කොළන් අතරින් වැටී ඇති පාරේ දෙපැත්තේ කාණු හෑරිලාය. මැද පස් කුට්ටියකි. ඒ පස් කුට්ටියේ තැනින් තැන කළු පැහැති තෙල් පැල්ලම්ය. වැස්ස නැති නිසා පස් කුට්ටි වියළි බවක් උසුළයි. ගස් අඩු පිට්ටනි හා සමාන ඇති තැන්වල නම් කාණු හැදුනු පාරවල් අතහැර කුඩා පදුරු කිහිපයක් තලාගෙන අලූතින් පාරක් හදාගෙනය. ටික දවසක් යනවිට එතැනද දෙපැත්තේ කාණු දෙකකි.

මේ කුමණ ජාතික වනෝද්‍යානයේ පිහිටි මහකැබිලිත්තට යන පාරේ අද තත්ත්වයයි. කොටියාගලින් ට‍්‍රැක්ටර් ටේ‍්‍රලරයේ දැමූ මෙට්ටයේ වාඩිවන තැනැත්තා ගැස්සි ගැස්සී එහි ඇන්දක් අල්ලාගෙන පැය කිහිපයක් මෙසේ දුෂ්කර ගමනක් යන්නේ මහකැබිලිත්තේ වැඩ වෙසෙතැයි විශ්වාස කරන කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වන්නය.

එසේත් නැත්නම් මෑතක සිටි මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් කරුණු හෙළිකරන මහ කැබිලිත්තේ ඇතැයි කියන හාස්කම්වලට අභියෝග කරන්නටය. කුමණ කැලෑවට ඇතුළුවන ඇතැම් අය ට‍්‍රැක්ටර් ටේ‍්‍රලරයේ වාසිවී වි`දින අපහසුතාවේ ආරෝව ගන්නේ මාධ්‍යවේදීන් කටගැස්මට ගෙනය. තවත් ජීප් රථයක මිතුරෝ පිරිසක් ඉදිරියට ඇදෙති.

‘‘මාධ්‍යයෙන් තමා කැබිලිත්ත විනාශ කරලා තියෙන්නේ.  ඕනෑවට වඩා ප‍්‍රසිද්ධ කළාම මිනිස්සු එනවා. ඉවක් බවක් නැතුව මිනිස්සු එනකොට මේ තැන් අපිරිසුදු වෙනවා. මාධ්‍යයෙන් මේවා ප‍්‍රසිද්ධ කරන්න ඉස්සර ආවේ කීදෙනාද? දැන් බලන්න සති අන්තයට නිවාඩු දවස්වලට  වාහනයක් නවත්තා ගන්න තැනක් නෑ. ඒතරමට සෙනගයි වාහනයි.’’ ට‍්‍රැක්ටරයේ ගැස්සිලි බව නොතකමින් ගමනේ අපහසුවේ වාඩුව මාධ්‍යයෙන් ගත්තේ එසේය.

මාධ්‍ය මගින් මහකැබිලිත්ත ගැන කතබහ කරන බව සැබෑය. මහකැබිලිත්ත ගැන ඡායාරූප, වීඩියෝ දර්ශන පෙන්වන බවද සැබෑය. එහෙත් කිසිම මාධ්‍යයකින් එතැනට පැමිණ අශෝභන ලෙස හැසිරෙන්නට හෝ පරිසරය විනාශ කරන්නට, සාරධර්ම ගුණධර්ම වැනසෙන පරිදි අශෝභන ලෙස හැසිරෙන්නැයි ජනතාවට නොකියයි. අසංවරව, අවිනීතව, මේ දේව භූමියට නොඑන්නැයි සහ නොහැසිරෙන්නැයි යන ඉල්ලීම මේ හැම මාධ්‍යයක් හරහාම ඉතාමත් අවධාරණයෙන් යුතුව ඉල්ලා ඇතිබව නොදන්නේ උපතින්ම මාධ්‍යය අරහං වු අයය.

මහකැබිලිත්ත දේවාලය පිහිටි බිම අයත් වන්නේ වනජිවි දෙපාර්තමේන්තුවටය. නමුත් එහි පාලනයක් අද එම දෙපාර්තමේන්තුවට නැත. මේ බව මීට පෙර කිහිප වතාවක්ම හෙළිකළ නමුත් අදටත් ඒ බව එම දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානයට යොමු නොවීම බරපතළ අර්බූද සමුහයකට අතවැනීමක් වන බව පෙනෙන්නට ඇත.

කුමණ ජාතික වනෝද්‍යානයට පොතුවිල්, පානම,  ඕකන්දෙන් හෝ යාලෙන් පහසුවෙන් ඇතුළුවිය නොහැක. අවශ්‍ය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තු ගෙවා සුදුසු වාහන ඇති බවට වනජිවී නිලධාරීන් සෑහීමකට පත්වු පසු පමණක් අවශ්‍ය අවසරය ලැබේ. කදවුරු ප‍්‍රදේශයක රාත‍්‍රී ගත කිරිමට ලැබන අවසරය මහකැබිලිත්තට යන්නට උපයෝගී කරගනී. එහෙත් ඒ ගමන අධීක්‍ෂණයට වනජිවී නිලධාරියෙක් පිරිසට එක්වෙයි. එතැන් පටන් කැලේ හැසිරිය යුත්තේ ඔහුගේ උපදෙස් සැලකිල්ලට ගෙනය.

වනාන්තරයේ ගමනේදි වනසිවුපාවුන්, විදෙස් රටවලින් ආ සංක‍්‍රමණික කුරුල්ලන් ඇතුළු වනාන්තරයේ වෙසෙන වනසතුන් නැරඹිය යුත්තේ වනජිවි නිලධාරියාගේ උපදෙස් අනුවය. හිතුමතේට වාහනයෙන් බහින්නට අවසර නොලැබේ. ඒ සදහා වෙන්කර තැන් ඇති අතර ඒතැන්වල බැස විවේක ගත හැකිය. එසේ නැතිව වනයේ ඇතුළට ඇවිද යාමට, ගස්කොළන්වල අතු කැඞීමට, පැල ඉදිරිමට, බීජ ඇහිදීමට අවසර නැත. සතුන්ට බාධාවන අන්දමින් හඩතැලීමට හෝ ශබ්ද නැගීමට  කිසිදු අවසරයක් නැත.

එහෙත් කොටියාගලින් ඇතුළු වන අයට මේ කිසිදු තහංචියක්  නැත. ජාතික වනෝද්‍යානයකට ඇතුලූ වුවත් අවධානයෙන් ඉන්නට වගකිවයුත්තෙක් නැත. ඒනිසා ගමන බිමන හිතූමතේටය. දැන් මහකැබිලිත්තට යන මුවාවෙන් ඒ අවට ප‍්‍රදේශ වල ඇවිදින විවිධ පුද්ගලයන් හමුවෙයි. විශේෂයෙන්ම මහකැබිලිත්තට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි දිවුලානේගොඩ විහාර භූමියටද ඇතුළු වෙන්නට පටන්ගෙන ඇතිබවක් පෙනේ.

‘‘මහකැබිලිත්තේ හාස්කම් තියනවා’’ කිය කියා මාධ්‍යය මිනිස්සු රවට්ටන එක බොරුවක් බව ඔප්පු කරන්නට එක්තරා පිරිසක් මහකැබිලිත්තට ගියේ දෙසතියකට පෙරය. පිරිස අතර දෙතුන් වතාවක්ම එහි ගිය දෙතුන් දෙනෙක් වූහ. මේ අය සති අන්තයේ මහකැබිලිත්තට යන විට එහි වු සෙනගත් වාහනත් නිසා කුඹුක්කන්ඔයට මීටර් හාරසියයක් පන්සියයක් මෙහායින් ඔවුන් පැමිණි ජිප් රථය නවත්වන්නට සිදුවිය.

‘‘පේනවා නේද මාධ්‍යය නිසා මෙතනට එන පිරිස. මෙහෙම ගියොත් මහ කැබිලිත්ත කියලා එකක් නැත්තටම නැතිවෙයි.’’ මාධ්‍ය විරෝධි පුද්ගලයා සිය මතය ප‍්‍රකාශ කළේ දුම්වැටියක් දල්වා ගන්නා අතරය.
‘‘ඉර බහින්නත් තව වෙලා තියන හින්දා අපි ටිකක් එහායින් හැරිලා ගියාම කන්දක් තියනවා. ඒ පැත්තට ගිහින් එමු. පිරිස අතර කිහිප වතාවක් එහි පැමිණ ගිය කෙනෙක් යෝජනා කළේය.

‘‘අපි පූජාව තියලා ගියොත් නේද හොද?’’ දේවියන් කෙරෙහි සහ හාස්කම් කෙරෙහි විශ්වාසය තැබු කෝඩුකාරයකුගේ ඉල්ලීමක් විය.

‘‘අපෝ මෙයා දැනටමත් බයවෙලා. බයවෙන්න එපා. ඔය කියනතාලේ හාස්කම් මෙකේ නෑ. මේ මාධ්‍යකාරයෝ මවපු කතාවක්. යං යං අපි දිවුලානේගොඩ කන්ද බලලා එමු. එතෙනට වටේම පේනවා. හරිම ලස්සනයි. ගල්ගුහා කිහිපයක්ම තියනවා. වලස්සුන්ගේ ගද උහුලන්න බෑ. පාර අයිනේ වාහනේ දාලා අපි උඩට යමු. හරිම ආතල්.... හොද ෆන් එකක් අරගෙන අදුර වැටෙන කොට මේ හරියට එමු.’’ මාධ්‍යය අරහංවු තැනැත්තාගේ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන්නට සමතෙක් ඒ අතර නොවීය.

ජිප් රිය පණගැන්විනි. මහකැබිලිත්්ත කුඹුක්කන්ඔය අසල සිට ආපසු ජිප් රිය පිටත්වූයේ දිවුලානේ ගොඩ බලා යන්නටය.

‘‘මේ අපි ආපු පාරනේ. ආයේ යන්නේ ඇයි’’ කෝඩුකාරයෙක් ඇහුවේ ආපසු යන බව සිතාය.
‘‘නෑ... නෑ... දැන්ම යන්නේ නෑ. ඔයාගේ පූජාවට්ටිය තියලා තමා යන්නේ. බයවෙන්න එපා. බයවෙන්න එපා.’’ ගමන යෝජනා කළ තැනැත්තා කීවේය. කිලෝ මීටරක් පමණ ඉදිරියට ආ ජිප් රථය ඉදිරියෙන්වු තුන්මං හන්දියෙන් දකුණට හරවන්නැයි රියදුරුට උපදෙස් ලැබුණි.

‘‘මේපාර කොහාටද වැටෙන්නේ.’’ රියදුරුගේ පැනයක් විය.

‘‘මේක තමයි කුමණ  ඕකන්‍දට යන පාර. කුඩා කැබිලිත්ත දේවාලයට  ඕකන්‍ද දේවාලයටත් මේ පාරෙන් යන්නේ. යාලින් එන්නෙත් මේ පාරෙන්. අපි තව ටිකක් එහාට ගිහිං නැවතිලා දිවුලානේගොඩ විහාර බලන්න යන්නේ.’’ දැනමුත්තාගේ පැහැදිලි කිරිම හමුවේ සුළු වේලාවක් යනතුරු කිසිවකුත් පැනයක් නොනැගීය.

තුන්මං හන්දියෙන් හැරවු ජිප් රථය කිලෝ මීටර් දෙකක් තුනක් ඉදිරියට එන්නට ඇත. ඒත් ඒ ගමන කිලෝ මීටර් දහයක පහළොවක ගමන් වෙහෙසකි.

’‘ මේ පැත්තේ පාරේ කානු නෑ. රෝද හතරේ වාහන වලට යන්න හරිම ලේසියි. යනකොට මෙහෙන් යමු.’’ රියදුරු පාරගැන පැහැදී යෝජනාවක් කළේය.

’‘ පිස්සුද බං. මෙහෙං යනවානම් වනජීවී එකට ගෙවන්න  ඕනෑ. ඉස්සරහදි පාර අමාරුයි. මේකෙන් කට්ටිය යනවා එනවා අඩුයි.’’ දැනමුත්තාගේ පිළිතුර විය. ඒ සමගම දකුණු පැත්තේ වු කදුගැටයක් වැනි ප‍්‍රදේශයක ආරම්භය සනිටුහන් විය. තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගිය වාහනය නැවැත්වීමට උපදෙස් ලැබිණි. ඒ සමග තරමක ප‍්‍රමාණයෙන් යුත් අලිබෙටි ටිකක් ඈතින් දිස්විය.

’‘අලි අවිල්ලා ගිහිං වගේ’’ අලිබෙටි ටික දෙස බලාගෙනම ජිප් රථයෙන් බැස්ස කෝඩුකාරයාගේ හඩ කාටත් ඇසුණි. නමුත් ඔහුගේ කතාවට කිසිවකුත් පිළිතුරු දුන්නේ හෝ ඌනපුර්ණ එකතු කළේ නැත.
ගෙනා රෙදි බෑග් ජිප් රථයේ තබා පිරිස දිවුලානේගොඩ කන්දට නැග්ගේ වනජිවී නිලධාරියෙකුගේ මග පෙන්වීමක් නැතිවය. කිහිපවතාවක් එහි ආගිය තැනැත්තා මාධ්‍යයෙන් හෙළකළ කරුණු  කියවීමෙන් ලද දැනුම කියාපාන්නට විය.

වනජිවී නිලධාරියකුගේ උපදෙස් නොමැතිව මේ පිරිස කරන්නේ බලවත් නීති විරෝධි කි‍්‍රයාවකි. අවසර නැතිව මහකැබැලිත්තට යන්නට දී ඇති අවසරය මුවාවෙන් දැන් කුමණ ජාතික වනෝද්‍යානයේ හැම තැනකම යන්නට පටන් ගෙනය. පිරිස අතර සිටි කිහිපදෙනෙක් මෙහි දෙතුන් වතාවකට වැඩි වාරයක් ඇවිත් ගොස් ඇතිබව ඔහුගේ පැහැදිලි කිරිම්වලින් තේරුනි.

පැය දෙකකට ආසන්න වෙලාවක් මෙහි ගතකළ බව පිරිසට අවබෝධවුයේ බැසයන හිරුගේ රක්තවර්ණ හිරුරැසින් බටහිර අහස රත් පැහැ ගැන්වී ඇතිබව දුටුවිටදීය.

එකාපස්සේ එකා බැගින් පිරිස පහළට එති. පහළට බැසගෙන ආ මග වෙනස් කර කුඩා ගල් ඇන්දක් දිගේ නැග්ගේ ගමන කෙටියෙන් යන්නටය. එය බැසගෙන මීටර් සියයක් පමණ යනවිට පහළින් වු පාර පෙනේ.  හිරු බැසගියත් අදුර තවමත් පතිතවී නැත. නමුත් ගස් අතරින් මහපොළොවට හැන්දෑ අදුර එන්නට පටන්ගෙනය. පහළින්  තමන් පැමිණි ජිප්රථය අවට කිසියම් වු අමුත්තක් ඒ දෙස බැලූ කෝඩුකාරයාගේ නෙතට මුලින්ම දිස්විය.

‘‘ දෙයියනේ අපේ බෑග් ටික නේද අර ඇදලා බිම දාලා තියෙන්නේ. කවුද දන්නේ නෑ ඇද්දේ?’’ කෝඩුකාරයා කියනවාත් සමග ඉදිරියට තැබු පාදය නොසෙල්වා සියල්ලෝම පහළ බැලූහ. සියලූ දෙනා වෙතින්ම දිග සුසුම් පිටවනු එකිනෙකාට ඇසුණි.

‘‘ මොකක් හරි කරදරයක්. යාල පැත්තෙන් ආ වාහනයක අය අපේ බෑග් සුද්ද කරන්න ඇති.’’ මාධ්‍ය විරෝධියා උස් හඩින් කීවේය. වටපිට බලමින් පිරිස ජිප් රියට ළංවූහ. එහි පිටුපසට ගසා තිබූ රෙද්දෙන් කොටසක් ඉරි ගොසිනි. බෑග් කිහිපයක් බිම තිබු අතර වසා තිබු බෑග් තලා පොඩිකර දාලාය. සමහර ඒවායේ කටඇරී ඇතුලේ තිබු රෙදි සහ වෙනත් දැ සී සි කඩය.

‘‘අනේ මගේ පුජාභාණ්ඩ ගෙනා කවරෙ නෑ. ඒකේ තිබුණ හදුන්කූරු ටික ජිප්එක ඇතුළෙ තියනවා. පලතුරු ටික පෙන්න නෑ.’’ කෝඩුකාරයා කීවේ මහත්වු හිත් වේදනාවකිනි.

‘‘එකත් එකටම අලියා එන්න ඇති. මෙකේ පලතුරු තිබුණනේ. ඒ සුවදට පලතුරු හොයන්න ඇති. දැන් ඉතිං කරන්න දෙයක් නෑ බෑග්වල තිබුණ අනික් දේවල් අඩුනෑ නේ.’’ විසිරී තිබුණි බෑග් එකතුකරමින් පිරිසෙ කෙනෙක් කීය.

‘‘මේ මහ කැලේ පරිස්සමෙන් යන්න එන්න  ඕනෑ. කතාබහ කරන්න  ඕනෑ. හැසිරෙන්න  ඕනෑ කියන එක පහුගිය කාලෙ පුරාවට මහකැබිලිත්ත ගැන කරපු මාධ්‍ය අනාවරණ වල දැක්වුණා. අර  ගල්කන්දෙදි අරක්කු බොනකොට මට නිකමට හිතුනා කරන්නේ හොද දෙයන් නොවෙයි කියලා. අපේ වැරැද්දෙන් මේ දේ වුණේ. දැන් ඉතින් හිස් අතින් තමයි යන්න වෙන්නේ.’’ මහකැබිලිත්ත ගැන මාධ්‍යයයෙන් පළවු දෑ කියවු සහ නැරඹූ තැනැත්තෙක් නොක්කාඩු ස්වරූපයෙන් කියද්දී මාධ්‍යයට දොස්තැබු පුද්ගලයා බිම බලාගෙන ඔහුගේ බෑගයෙන් විසිරි තිබු ඇදුම් පැළදුම් සොයන්නට විය.

බිමට කරුවල වැටෙද්දි කුඹුක්කන්ඔය ඉවුරට එන්නට ආ පිරිසට වාහන නිසා අතරමග නවතින්නට සිදුවිය. කුඹුක්කන්ඔයට මේ නැවතුන තැන සිට මිටර් පන්සියයකට ආසන්නය. දැන් ජීප් රථයේ අයගේ හෑල්ලූ කතා නැත. විදුලි පන්දම් එළියෙන් පයින් ඉදිරියට ගියත් එකවරම ඇසුනු ගෝෂාවකින් හා ඈතින් ඇසුනු වෙඩි හඩකින් පිරිසේ තැතිගන්ම දෙගුණ තෙගුණවිය.

‘‘අලි... අලි ඇවිල්ල. එහෙ මෙහෙ යන්න එපා. පරිස්සමින් ඉන්න’’ කවුදෝ ඈතින් කියනු ඇසුනි. එදින රාත‍්‍රිය නිරාහාරව ගෙවුණි. පසුදා පාන්දර තත්වයද හොද නැතිවිය. එගොඩ ඉවුරේ අලියා කැබිලිත්තට යන්න නොදි මග අවුරාගෙනය. රාත‍්‍රී වෙඩි හඩ ඇසුනේ මහකැබිලිත්ත දේවාලය අසල ඇති හමුදා කදවුරෙනි. අලි ඇවිත් මිනිස්සුන්ට කරදර කරනවිට දැන් අහසට වෙඩි කිහිපයක් තියා තත්ත්වය පාලනය කරන්නේ වනජිවියේ රාජකාරියත් යුද හමුදාවට කරන්නට සිදුවිම නිසාය.

මහකැබිලිත්ත දේවාලයට පුජාවක් තියන්නට ආශාවෙන් පැමිණි විශාල පිරිසක් උදෑසනම හිස් අතින් ආපසු ගියේ ඒවනවිටත් එගොඩ ඉවුරේ සිටින වනඅලි එහි යන්නට නොදෙන නිසාය.

අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 14 13:51:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කතරගම දෙවියන් වැඩසිටින බව විශ්වාස කරන මහකැබිලිත්තේ මහසියඹලාව

ට‍්‍රැක්ටර් යාමෙන් පාරවල්වල දෙපස කානු හැදි ඇති අයුරු

දිවුලානේගොඩ විහාර බිමට යන අඩිපාර

දිවුලානේගොඩ කන්දේ පිහිටි බෝධියක් සහ පොකුණක්



හිතුමතේට කැබිලිත්තට පුජා තියන්න ගිහින් හිස් අතින් අපහු එයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35


අගනුවරට ආසන්න ප‍්‍රදේශයක පදිංචි තරුණ විය ඉක්මවු තුන්හතර දෙනෙක් මීට සති කිහිපයකට පෙර හැන්දෑ වරුවේ එක්තරා ස්ථානයකදි සුහද කතා බහක යෙදුනි. අවන්හලක් වු එම ස්ථානයට එක්වු මේ පිරිසේ අදහස වී තිබුණේ කෙසේ හෝ මහකැබැලිත්ත දේවාලයට ගොස් පූජාවක් පැවැත්වීමයි.

‘‘මහකැබිලිත්තේ අනුහස් තියනවලූ. කොහොමහරි අපි පුජාවක් තියලා ආවොත් ගොඬේගොඩ. දැන් බලපං මේ කරන කියන වැඩ වලින් බේරෙන්න එක එකාට අපි කොච්චරනම් දෙනවාද? දෙන්න දෙන්න උන් අපි පස්සෙමයි. පොඞ්ඩ වැරදුනොත් අපව කොටුකරන්නමයි උත්සාහය. අපිත් ගිහිං ලොකුවට පුජාවක් තියලා එමු.’’ පිරිස අතරින් කෙනකු කීවේ ඔවුන්ගේ ව්‍යාපාරය කුමක්ද යන්න ඉගියෙන් හෙළි කරමිනි.
කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තේ සියඹලා දේවාලයට දැන් විවිධ තරාතිරමේ පුද්ගලයන් යනඑන නිසා මේ පිරිසද සමාජ විරෝධී ක‍්‍රියාවලින් තම ආදායම සරිකරගත්තද ඊට සාධාරණයක් ලබාගැනීිමට දෙවියන් හමුවට යාමට තීරණය කරගත්හ. නමුත් එහි යාමට කලින් මස්මාංශ වලින් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිත නොකිරිම, අපිරිසිදු ස්ථානවල නොගැවසීම වැනිවු ක‍්‍රියාවන්ගෙන් වැළකීමට ඔවුහු ක‍්‍රියා නොකළහ. ඒනිසා වෙනත් භක්තිවන්තයන් මෙන් මේ අය මහකැබිලිත්තේ ගමනට ‘‘පේවීමක්’’ නොවුනේ මුදල් ඇත්නම් ඒවා අනවශ්‍ය බව අගවමිනි.

මහකැබිලිත්තට යන වෙනත් භක්තිවන්තයන් මෙන් මේ අයට ගමන සැලසුම් කරන්නට වැඩි දවසක් ගත නොවීය. යාන වාහන සොයන්නට වුවමනාවක් නොවුනේ දුෂ්කර මාර්ගවල යා හැකි අති නවීන සුඛෝපභෝගී වාහන ඔවුන් සතුවීම නිසාය. දින කිහිපයකට පසු ගමන යාමට මේ කතාබහේදීම තීරණය විය. දෙවියන්ට ආවතේව කිරීමට අවශ්‍ය පුද්ගලයෙකුත් අගනුවර අවටින්ම ඔවුන් නම් කරගත්තේය.
මේ කණ්ඩායම මොණරාගල හරහා කොටියාගලට ගොස් එතැනින් කැලේට ඇතුලූවී කිලෝ මීටර් තිස් අටක් යාමට පිටත්වුයේ කොටියාගලින්ද පුද්ගලයකු නංවාගෙනය. කැලෑවේ ගමන සිදුවුයේ කොටියාගලින් නැගගත් පුද්ගලයාගේ මග පෙන්වීම මතය.

අගනුවර ගෙන්දගම් පොළොව පාගා එහි රගපාන පිරිසකට දැන් මග පෙන්වන්නේ කොටියාගල ගමේ තරුණයෙක්ය. මහකැබිලිත්තට යන්නට එන පිරිස් වලට මාස ගණනක් තිස්සේ මග පෙන්වීමෙන්දෝ ඔහු තුළ තිබු මනුස්සකමද අඩකින් අඩුව ඇති සෙයක් පෙන්වයි. සවස තුනට පමණ පිටත්වු මේ කැලෑ ගමන අවසන් වන්නට හෝරා පහ හයක් ගතවෙයි. ඒ අනුව අදුරු වැටුණු පසුවද කුමණ ජාතික වනෝද්‍යානයේ ගමන් කළ යුතුය. වනජීවීන් ගැවසෙන වනාන්තරයක එසේ ගමන් කිරිම නීතියෙන් තහනම් වුවත් මහකැබිලිත්ත දේවාලයට යන බැතිමතුන්ට මේ තහනම නැත. ඒනිසා විවිධ පුද්ගලයන් දැන් ඉන් ප‍්‍රයෝජන ගනු ලබයි.

පිරිස රැගත් ජීප් රථ දෙක දැන් මහ වනාන්තරය මැද්දේය. දුෂ්කරවූ ගමනකින් පසු පිරිස මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන කුඹුකන්ඔය ඉවුරට ළගාවෙන විට එතැන එකම හිස් ගොඩකි. ට‍්‍රැක්ටර් තිහ හතළිහකට වැඩිය. ජිප් රථ සහ කැබ්රථ ගණන කිව නොහැක්කේ ඇතැම් ඒවා කැලේ ගස් අස්සේ වු නිසාය. කුඹුකන්ඔය ඉවුරට වාහන දෙක ගෙනයාම සිහිනයක්විය. ඒතරමට වාහනය.

‘‘හොද තැනක් බලලා වාහන දෙක නවත්වමු. මේ තියන වාහන තොගේ දැක්කම අපි වාහනේ හරවලම නවත්වමු. අනික ඉක්මනින් ගන්න පුලූවන් විදයට නවත්වමු. මෙතන ඉ`දලා අපට පොඩි දුරක් පයින් යන්න වෙනවා කුඹුක්කන්ඔය ළගට.’’ කොටියාගලින් ගොඩවු උපදේශකයා කීවේය.

‘‘අපි දැන්ම පූජාව තියනවාද?’’ සියඹලා දේවාලයට යන්නට ඉස්පාසුවක් නැතිවූ කෙනෙක් විමසීය.
‘‘එහෙම හදිස්සියට දේවාලයට යන්න බෑ. අපි කුඹුක්කන්ඔයෙන් නාලා පිරිසුදු වෙලා. පූජාවට්ටි සකස්කරගෙන මුරුතැන් බත් උයාගෙන බෝධීන් දෙනමට ඒවා පූජාකරලා තමා යන්න වෙන්නේ. මේක දේව අඩවිය. අපිට  ඕනෑ හැටියට මෙහෙ කරන්න බෑ.’’ කොටියාගල උපදේශකයාගේ කතාවට පිරිස යම් අවනතවීමක් විය.

ජීප් රථ නැවැත්වු තැන සිට ඉදිරියට පයින් ගොස් අදුරේවුවත් වටපිටාව නැරඹීමට පිරිසට සිත්වුයේ අගනුවර නිතර දකින කොන්ක‍්‍රීට් වනාන්තර වලට හාත්පසින් වෙනස් ස්වරූපයක් එහි තිබු නිසාය. වටපිටේ හැම තැනම පාහේ එක්වු පුංචි පුංචි කණ්ඩායම්ය. සමහරු ලන්තෑරුම් එළිවලින් අදුර මකාගත්හ. තවත් සමහරු විදුලි පන්දම් දල්වාගෙන  අඳුරෙන් ගැලවූහ. කොටින්ම කියතොත් වටේ පිටේ හැම තැනම කහ පැහැති සහ සුදු පැහැති ඉතා කුඩා එළි සියගණනකි. ඒ අතරින් තැනින් තැන රත්පැහැති එළිද ඔබමොබ යනු පෙනිනි. ඒ දැල්වු දුම්වැටි බව පසුව අවබෝධවිය.

කූඹුක්න්ඔය ඉවුර අසලට එනවිට එහිවු පිරිස දහස ඉක්මවා ඇතිබව  ඕනෑම කෙනකුට අවබෝධ විය යුතුය.
‘‘බර ලෝඞ් එකක් ඇවිත් ඉන්නවා. ඉස්සරහ ඇ`ගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑ. හෙට පූජාවට ලොකු පෝලිමක් තියෙයි.’’ ජිප් රථයට ආපසු පැමිණ කණ්ඩායමේ සාමාජිකයකුගේ දැනුම්දීම කාගේත් සවනත වැටුනි.

අතරමගදි පිළියෙල කරගෙන ආ ආහාර වලින් පිරිසේ කුසගිනි නිවිනි. අලූයම ලබන්නට තව හෝරා කිහිපයක්ම ඇත. නිදන්නට තැනක් ද නැත. වාහන දෙකේම ඇලවී ඒ හෝරා කිහිපය ගතකර හැකි පමණ අලූයමින් පූජාව තැබීමට පිරිසේ බලාපොරොත්තුව විය.

නගරයට දවාලක් රාත‍්‍රියක් කියා වෙනසක් නැත. නමුත්  මිනිස් වාසයක් නැති මේ මහා වනාන්තරයේ එසේ නොවේ. දිවා කළ වෙසෙන වනසතුන් කොහේ හෝ තැනක ආරක්‍ෂිතව වෙසෙද්දි නිශාචර සත්තු තම චර්යා රටා අනුගමනය කරමින් නිදහසේ එහා මෙහා යති. වෙනදා රාත‍්‍රියේ නොදකින දසුන් නිසා මේ නිශාචර සත්තුද දැන් මහකැබිලිත්තට ගොඩවෙන කුඹුකන්ඔය ඉවුරට නොඑති. ඒ ඔවුන්ට එහි ආරක්‍ෂාවක් නැති නිසා විය යුතුය. එනමුදු ඊට යාබද ගස්කොළන්වල සිට තම සුපුරුදු හඩනැගීම් කළහ. කුඹුක්කන්ඔය ඉවුරට මීටර් හාර පන්සියයක් කැලෑව දෙසට වන්නට ජීප් රථ දෙක නවතා ඇති නිසා එහි සිටි පිරිසට නිශාචර සතුන්ගේ හඩ වැඩිපුර ඇසෙන්නට විය. වාහන දෙක තුළ තිබූ නැවුම් පලතුරු සුවද අවට ද හමාගියේය.රැය පහන් වෙද්දී ඉක්මනින් අවදිවුයේ දේව ආවතේවයට එක්කන් ආ තැනැත්තාය. ඔහුට සහයෝගය ලැබුණේ කොටියාගලින් එක්වු මාර්ගෝපදේශකයාය. දේව ආවතේකාරයාගේ ද මහකැබිලිත්තට ආ පළමු ගමන මෙය විය. නමුත් ඔහු ඒ බව වසන් කිරීමට නොගත් උත්සාහයක් නැත.  අගනුවරින් ගෙනා පලතුරු පෙට්ටි කිහිපයක්ද රැගෙන තවත් කිහිප දෙනෙක් සමග කුඹක්කන් ඔයට ළගාවන විට ඔය එගොඩ ඉවුරේ දිගටම පහන්එළි දැල්වෙමින් තිබුණේ බැතිමතුන් පුජාවන් සකසන්නට ඒවනවිටත් පියවර ගෙන තිබුණ නිසාය. මෙගොඩ ඉවුර දෙසින් කුඹුක්කන්ඔයේ වතුර පාර කුඩාවට පහළට ගලා යයි. මේ පිරිසද ගග මැද්දට ගොස් ඉඩ ඇති තැනක් බලා ගෙනගිය පලතුරු වැල්ලේ තැබීය.

කොටියාගලින් නංවාගත් මාර්ගෝපදේශකයාට ඊට අමතරව තවත් වැඩක් පැවරුනි. ඒ ජිප් රථ දෙකේ ඇති ඉතිරි පූජා භාණ්ඩ ගගට ගෙනඒමයි. ඒ වෙනුවෙන් දෙතුන්වරක් ඔහුට එහි යන්නට එන්නට විය. මුරුතැන් පූජාවක් නොමැතිව පුජාවට්ටි කිහිපයක් මහඉහළින් සැකසුනි. පුජාවට ගත් පලතුරු සේදුවේ ගඟේ  වතුරිනි.
‘‘උඩහින් අපිරිසුදු වෙලා එන වතුරින් පලතුරු හෝදන්නේ නෑ. අපි නම් කරන්නේ වැල්ලෙ වළවල් හාරලා තමයි දේවාලේට තියන පුජා භාණ්ඩ සෝදන්න ගන්නේ.’’ මාර්ගොපදේශකයාගේ හඩ අවදිවිය.

‘‘නෑ. නෑ. ඒකට කමක් නෑ. මෙතන වළවල් හාරන්න තැනක් නෑ නොවැ. පහළට ගලාගෙන යන වතුරෙ අපිරිසුදුකමක් නෑ. සෝදන්නේ නැතිව පූජාවට තිබ්බොත් තමයි නරක.’’ පිරිස සමග පැමිණි කෝඩුකාර දේව ආවතේවකරු උඩුකයට ඇදි බැනියම සකසමින් කීවේය. එම කතාව එතැනින් නැවතිනි. කුඹුක්කන්ඔයේ දිය පාරේ දිය නාන පිරිස නගන ඝෝෂාවෙන් පරිසරයේ වනසතුන්ගේ හඩ යටපත්ව ගොසිනි. අලූයම් කාලය වුවත් දියේ බැස දිය නෑමට වඩා දිය කෙළීිමට වැඩිදෙනෙක් දියට බැස ඇති ආකාරයෙන් පෙනුනි.

මහවනාන්තරය මැදට මෙවන් සෙනගක් මෙතැනට ආවේ ඇයිද? මහකැබිලිත්ත සියඹලා දේවාලය වැදිමට පමණක් නම් මෙවන් පිරිසක් මෙහි නොඑනු ඇත. වැඩි දෙනකුගේ මුහුණු වලින් පිළිබිඹු වුයේ විනෝදයට එහි ආ බවකි. වැඩිහිටි කතුන් සමග දියනෑ තරුණ ලදුන් ඇද සිටියේ එවැනි පුදබිමකට ගැලපෙන ඇදුම් නොවේ. සැබැවින්ම දේව භක්තියෙන් එහි ආ යමකු සිටියේ නම් ඔහු මේ දසුන් දැක  කලකිරිමට පත්වනු නොඅනුමානය.

මේ අතර හිටි හැටියේම එගොඩ ඉවුරේ සියඹලා දේවාලය දෙසින් මර ළතෝනි තබන හඩක් ඇසෙන්නට විය. ඒ එක්කම කැලෑවෙන් මතුවු විශාල පිරිසක් එම ඉවුර දිගේ පහළට කුඹුක්කන්ඔය හරහා දිව එන්නටවුයේ ද විලාප තබමිනි.
‘‘අලි පන්නනනෝ...... දුවලා බේරියල්ලා..... දුවපල්ලා.... ’’ ඒ හ`ඩවල් අතරින් උස්ව ඇසනේනට විය. දියනාමින් සිටි පිරිස් පමණක් නොව කුඹුක්නන්ඔය ඉවුරේ මුරුතැන් බත් සකසමින් සිටි, පුජාවටිටි හදමින් සිටි පිරිස්ද ඒවා එතැනම දමා මෙගොඩ ඉවුරට කුඹුක්කන්ඔය හරහා දිව ආවේ බාධක දිවීමේ තරගයක් සිහි ගන්වමිනි.

ඉදිරියට දිවයන පිරිස පසුපස හඹා ආ වන අලියෙක් කුඹුකන්ඔයට බැස්සවිට එහිවු පලතුරු ආදිය පොඩිකරමින් හැසිරෙන්නටවු අතර කිසිවකුත් කුඹක්කන්ඔයේ දක්නට නොවීය. ඒ සමගම එගොඩ ඉවුරේවු වාහන එකවර පණගැන්වී වනාන්තරය සිසාරා නැගුණු නළා හඩින් දෙකන් බිහිරිවි ගියේය. විනාඩි කිහිපයකට පසු වන අලියා ආපසු සියඹලා දේවාලය දෙසට යන්නට විය.

නමුත් එදින කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීමේ අරමුණින් එහි ගිය පිරිසට මේ නොසිතූ අකරතැබ්බ නිසා හිස් අතින් ආපසු එන්නට විය. අගනුවර සිට ජිප් රථ දෙකකින් ගිය පිරිස ගෙනගිය පලතුරු ද ගගමැද නොවීය. පිරිසට හිස් අතින් ආපසු එන්නට සිදුවිය.

‘‘කවුරුහරි පේ නොවී කිලිඑක්ක එන්න ඇති. ඒකතමයි ඔහොම වුනේ. දැන් ඉස්සරවගේ නෙවෙයි සමහරු මෙතෙන්ට විනෝදෙටත් එනවා. ඒ අය මෙතන හාස්කම් නෑ කියකියා විවිධාකාර නොහොඹිනා වැඩ කරනවා. සමහරු අරක්කු ගෙනත් බොනවා. ගංජා සුරුට්ටු උරනවා. නුසුදුසු කෑම ගෙනත්කනවා. ඒ හින්දා දැන් මෙතන කරදර වැඩියි.’’ කොටියාගලින් නංවාගත් උපදේශකවරයා කීවේය. එවිට පුජාව නොතබා හිස් අතින් ආපසු එන්නට සුදානම්වූ පිරිස එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 07 15:25:33 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

සියඔලා දේවාලය අසල බිම

මහකැබිල්ලත අසල කුඹුකන්ඔයේ දසුනක්

කුඹුක්කන්ඔය ඉවුරේ මුරුතැන් පුජාව සකසමින්

Sunday, October 28, 2012

මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ

Search This Blog