dunhinda.com

Sunday, December 23, 2012

බදුල්ල නම හැදුන හැටි

බදුල්ල නම හැදුන හැටි තමයි මේ. බදුල්ල කියන ගස් වර්ගයක් ප්‍රදේශයේ බහුලව තිබුනු හේතුවෙන් බදුල්ල යන නම ලැබී ඇත. තවත් පුරාවෘත්තයක කියවෙන්නේ බදුල්ල කියන ගස් වර්ගය විශාල වශයෙන් ප්‍රදේශය පුරාම පැතිරිලා වදුලක් මෙන් දිස්වීමයි. මෙම වදුල පසුකාලීනව බදුල්ල බවට පරිවර්ථනය වී ඇත. 



Saturday, December 22, 2012

කුමන කැලෑවේ අද්භූත අමුත්තෝ - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 44




මීට වසර දොළහකට පෙර කුමන වනෝද්‍යානය මහජනතාවට විවෘතව තිබුණේ නැත. නැගෙනහිර පළාතේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් කළ කොටි ත‍්‍රස්තයන් එහි ගැවසීම ඊට හේතුවය.



වනජීවි නිලධාරීන්ද අඩුවෙන් ගැවසුන නිසා කොටි ත‍්‍රස්තයන් මෙන්ම කැලෑ කපන්නන්, දඩයම්කරුවන් සහ මැණික් ගරන්නන් වරින්වර කුමන කැළෑවට රිංගා සිටි බවට විවිධ අවස්ථාවල වාර්තා විය.

එවැනි පරිසරයක් පැවති සමයෙක යාල ජාතික වනෝද්‍යානයේ බුතව සංචාරක බංගලාව ඉදිරියේ අලූත්ම කැබ්රියක් සහ ඩිපෙන්ඩර් රථයක් නවත්වනු ලැබිණි. වෙලාව සවස තුනට පමණ ඇත. රථ දෙකේම සිටියේ හයදෙනෙකි. වයස අවුරුදු පනහ ඉක්මවූ මේ පිරිස මෙසේ බුතව බංගලාවට ආවේ කුමණ මහ කැලෑව මැද්දේ ඇති මහකැබිලිත්ත දේවාලයට යන අදහසිනි.
කොළඹ පදිංචිකරුවන් වූ මේ පිරිස මෙම ගමන එන්නට පෙර යාල වනෝද්‍යානයට කතාකර මේ ගමන සැලසුම් කරගනු ලැබීය. තිස්සමහාරාමයේ පදිංචිකරුවෙකු වූ විමල් කොඩිතුවක්කු මහතා එවක වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඔහු වරින්වර මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොස් තිබූ නිසා මේ පිරිසේ මග පෙන්වන්නා වූයේද ඔහුයි.
බුතව බංගලාවේ සිටි පිරිස පසුදින ගමන ගැන කතාබහ කරන්නට වූහ. සංචාරක පිරිසගේ ඉල්ලීම වුයේ පාන්දරින්ම මේ ගමන පිටත්වෙමුය යන්නයි. නමුත් ජාතික වනෝද්‍යානයක ගමන් කිරීමේදී නීති මාලාවක් ඇති බව විමල් පෙන්වා දුන්නේය.
‘‘උදේ හයෙන් පස්සේ තමයි අපි පිටත් වෙන්නෙ. සාමාන්‍යයෙන් වනෝද්‍යානයක යන වාහනයක් විදුලිපහන් දල්වාගෙන යන්නේ නෑ. ඒක වන සතුන්ට කරදරයක්. ඇවිදින්න ගියාම ?වෙන්න ඉස්සරවෙලා බංගලාවට එන්න  ඕනෑ.’’ විමල් සංචාරක පිරිසට කරුණු කියා දුන්නේය.
‘‘අපේ වාහන දෙකම අලූත්. වාහන ගැන නම් කිසි දේකට බයවෙන්න එපා. අපි හෙට උදේම මහකැබිලිත්තට ගිහිං හවසට ආපහු එමු.’’ සංචාරක පිරිසේ කෙනෙක් කීවේය.
‘‘අපි මේ දෙවියන්ගේ අඩවියේ යන එන කොට හරියටම ගමන බිමන යන එන එක නිශ්චිතව කියන්නේ නෑ. විශේෂයෙන්ම මහ කැබිලිත්ත දේවාලයට යනකොට යන එන වෙලාවක් හරියටම කියන්නේ නෑ. මේ දේව අඩවිය. නොපෙනෙන දෙවියන් ගැන විශාල විශ්වාසයක් මේවායේදී තියනවා.’’ විමල් අවවාද දෙමින් සංචාරක පිරිසට කට වරද්දා නොගන්නා ලෙස නොකියා කීවේය.
පසුදා අලූයමින් අවදිවු පිරිස මහ කැබිලිත්තට යන්නට සුදානම් වූහ. බුතව බංගලාවේ භාරකරු විසින් සෝයා මීට් සහ පරිප්පු මාලූවක් සමග දවාලට බත් සාදා දුන්නේය. ඊට අමතරව උදේට සහ හැන්දෑවට කන්නට ජැම් තැවරූ පාන් ද සකසා දෙනු ලැබිනි.
මැණික් ගග අසලට ගොස් මුලින්ම මැණික් ගෙගන් එගොඩවිය යුතුය. මැණික් ගග ළග වාහන දෙක නැවැත්වු පසු මගපෙන්වන්නා වූ විමල් කොළ අත්තක් කඩා ගසක එල්ලූවේ කතරගම දෙවියන්ගේ අඩවියට ඇතුළු වෙද්දී කරන සිරිත අනුගමනය කරමින්ය.
කතරගම දෙවියන් ජීවමානව වැඩවසන්නේ මහ කැබිලිත්තේ සියඹලා දේවාලයේ බවට වු විශ්වාසය නිසා අතීතයේ එහි සුලූ පිරිසක් ආ ගියහ. කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසන නිසා මහකැබිලිත්තට යන්නේනම් දෙවියන්ට බාධාවක් නොවන්නට එම ගමන යා යුතු බව යන එන බැතිමතුන්ගේ විශ්වාසය විය. මේ පිරිසටද එහිදී සහ යන එනවිට හැසිරිය යුතු ආකාරය, කතාබහ කරන ආකාරය ගැන මගපෙන්වන්නාවූ විමල් කරුණු රැසක් කියා දුන්නේය.
මේ කියන කාලයේ අද මෙන් කොටියාගල හරහා මහ කැබිලිත්තට සෙනග නොපැමිණුනි. කැලෑව ගැන දන්නා කොටියාගල ගමේ කිහිප දෙනෙක් ඉද හිට මහකැබිලිත්තට ආවානම් මිසක  මහකැබිලිත්ත ජන ශුන්‍ය තැනක් විය. වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නොමැතිව වනෝද්‍යානයට ඇතුළුවීම වරදක් යන ආකල්පය එදා කොටියාගල ජනතාව අතර මුල්බැස තිබු නිසා ඔවුන් මහ කැබිලිත්තට නොඑන්නට එයද හේතුවක් විය.
කුමණ  ඕකන්දෙන්ද මහජනයාට ඇතුළුවීමට අවසර නොතිබු නිසා මේ කාලයේ මහ කැබිලිත්තට යන්නට උවමනාම කෙනෙක්  ගියානම් ඒ ගියේ යාල හරහාය. ඒ යනවිට යාල ජාතික වනෝද්‍යානයෙන් මග පෙන්වන්නෙක් පිරිසට නායකත්වය දෙනු ලැබීය.
පෙර කිව් සංචාරකයන් හය දෙනාට මග පෙන්වනු ලැබූ විමල්ද මහ කැබිලිත්තට මේ යන්නේ මාස ගණනකට පසුවය. යාල කලාප අංක දෙකට ඇතුළුවු පිරිසට විවිධවු අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු විය. මැණික් ගග සහ කුඹුක්කන් ඔය අතර ප‍්‍රදේශය යාල කලාප අංක වේ.
මාස ගණනකින් වාහනයක් නොගොස් තිබු නිසා පාරේ කැලෑවය. කටුපිල ආර, පල්ලේ පොත්තන, උඩපොත්තන, මහිරාව හරහා වළස්කෙමට එන්නට සෑහෙන වෙලාවක් ගතවිය. වළස්කෙම යනුවෙන් හදුන්වන ප‍්‍රදේශයේ වැඩිපුර වළස්සු ගැවසෙති. එහිවු ගල්කෙම්වල වතුර එකතුවන නිසා වියළි කාලයට වතුර අඩුු නොවන නිසාත් ගල්ලෙන් බහුල නිසාත් වළස්සු මේ ප‍්‍රදේශයේ ගැවසෙති. ඇතැම් අවස්ථාවල පැටවුන් සමග සිටින වැළහින්නියන්ද දැකගත හැකිවේ.
කැලෑවේ ගමන මහපාරේ මෙන් බැරිය. හරිහමන් පාරක් නැති අතර තියන පාරද වල් වැදිලාය. එහි ගල් මුල් ආදිය මග හැර යා යුතුය. ඇතැම් තැන් වැස්සට සේදී ගොසිනි. තවත් සමහර තැනක දිරාගිය ගසක කදක් පාර හරහා වැටී තිබේ. තවත් තැනක පාර අයිනේවු කටු පදුරක් පාර වැසියන අයුරින් වැවිලාය. මේ සියලූ බාධක ඉවත් කරගෙන පිරිස හෙමින් හෙමින් ඉදිරියට ඇදෙති.
වළස්කෙම හරියෙදි වළසුන් දැක ගන්නට ඇත්නම් යන්න කාගෙත් ආශාව විය. ඒනිසා ගමන බොහෝ විපරමෙන් විය. නමුත් අවාසනාවක තරම එක වළහෙක් හෝ මුණ නොගැසිනි. වළස්කෙම පහුකර පහළ ගජබාව, ඉහළ ගජබාව, කිඹුල්එළිය ද පසුකරමින් දැන් පිරිස හාල්පන් ඕඩයට පැමිණ තිබේ. වනගත ගමන්වලදී පානීය වතුර ලබාගන්නා තැනක් ලෙස හාල්පන් ඕඩය හැඳින්විය හැකිය. මෙතැන සිට කුඹුක්කන් ඔයෙන් එගොඩවන ඇදකුඹුකට ඇත්තේ කෙටි දුරකි. පිරිස තවමත් සිටින්නේ යාල කලාප අංක දෙකේය.
බුතව බංගලාවෙන් පිළියෙල කරගත් බත් දහවල් අනුභව කලේ යාල කලාප අංක දෙක තුළදීමය. ඇදකුඹුකේ හරහා කැබ්රියත් ඩිෆෙන්ඩරයත් එගොඩ කර දකුණට හැරී කුඩා කැබිලිත්ත දේවාලය හෙවත් මඩමෙතොට දේවාලයට පිරිස ගියේ කැලෑ ගමන්වලදී අනුගමනය කරන චාරිත‍්‍රයක් ඉටුකරන්නටය.
එහි ගොස් කපුරු දල්වා පහනක්ද පත්තු කරනු ලැබීය. කවුරුන් හෝ කපුරු පත්තුකර පහනක් දැල්වු සලකුණු දේවාලයෙන් දිස් වුවත් වාහනයක් නම් ආ ලකුණු නොවීය. කොටි ත‍්‍රස්තයන් මේ කැලෑවේ ඇවිද්දද මඩමෙතොට දේවාලය හරහා යන්නේ නම් කපුරු දැල්වීමටත් පහනක් පත්තු කිරිමටත් අමතක නොකළහ.
දැන් ඉර අවරට යන්නට පටන්ගෙනය. මඩමෙතොට දේවාලයෙන් පිටත්වූ පිරිස යළි ඇද කුඹුක දෙසට ආවේ කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර අද්දරිනි. මහකැබිලිත්තට යන ගමනේදී මග වැටි ඇත්තේ බොහෝ තැන්වල කුඹුක්කන් ඔය අද්දරිනි. ඇතැම් තැනකදී පමණක් කූඹුක්කන් ඔයෙන් පාර ඈත්වෙයි.
කුඹුක්කන් ඔයෙන් එගොඩවූ ඇදකුඹුකේ දී වාහන දෙක වමට හරවන්නේ නැතිව දැන් කෙලින්ම ඔය ඉහළ දෙසට ගමන් කරයි. යාල කලාප අංක දෙක හෙවත් කුඹුක්කන් ඔයෙන් ගොඩ ආ මග මෙන් මේ කුමණ පැත්තේ ගමන ලෙහෙසිම නැත. ඇදකුඹුක පසුකර ඉදිරියට යනවිට ගල්අමුණ හමුවෙයි. කුඹුක්කන් ඔය හරහා ගලින් අමුණක් බැදි ස්ථානයක් බවට මෙතැන ගැන විශ්වාසයක් තිබේ. වර්ථමානයේ කුමණ සංචාරයට එන සංචාරකයන් වෙනුවෙන් කදවුරු බිමක් ලෙස මෙතැන නම්කර ඇත.
කුඹුක්කන්ඔයේ වැල්ලේ කදවුරු බැදීම කරනු ලබයි. ගල්අමුණෙදි කුඹුක්කන් ඔයද පළලය. ඉවුරේ ඇති අලූත් සහ පැරණි කුඹුක් ගස් නිසා ගල්අමුණේ ඇත්තේ අමුතුම සීතලකි. කුඹුක්කන් ඔයේ වතුර අඩු කාලයට ගල්අමුණ කදවුරු බිම දෙපැත්තේ කුඹුක්කන් ඔය හරහා කුමණ සිට යාලටත් යාල සිට කුමණටත් ගමන් කරන වනඅලි මෙතැනදි දැක ගතහැකිය. රංචුවෙන් පන්නන ලද භද්‍ර යෞවනයේ පසුවන වනඅලි මේ ප‍්‍රදේශයේ නිතර ගැවසෙති.
ගල් අමුණ පසුකර වාහන දෙක ඉදිරියට ඇදෙයි. පාරක් පෙනෙන්ට නැත. නමුත් කිහිප වතාවක් මේ මග ඔස්සේ මහ කැබැලිත්තට ගිය පුරුද්දට මග පෙන්වන්නා වූ විමල්ගේ උපදෙස් අනුව වාහන දෙක පාර හදාගෙනම ඉදිරියට ඇදෙයි.
එකවරම කැබ්රියේ බද දෙසින් ‘‘දඩාස්’’ ගාන ශබ්දයක් ආවේය. පාරට මුහුණලා තිබු දැවැන්ත කොටයක් කැබ්රියේ පිටුපස වැදුනු ශබ්දය එසේ ඇසිනි. කැබ්රියට හොදටම අලාභ වී තිබුනි. එහි දකුණු පැත්තේ පිටිපස්ස මුල්ල ඇඹරී ගොසිනි. ‘‘දඩාස්’’ ගාන ශබ්දයත් එක්කම එහි අයිතිකරුට ‘‘වාහනේ වැදුනා’’ යැයි ඉබේටම කියවිනි.
වාහන දෙක නවත්වා කැබ්රියට වු හානිය ගැන සංචාරකයෝ සිතන්නට වූහ. බුතව බංගලාවේදි පෙරදින පැවසු වාහන අලූත් බවත්  ඕනෑම තැනක යන්නට ඒවා ඔට්ටු බවත් යන කතා විමල්ට සිහිවිය. ඔහු වචනයකුදු දෙඩුවේ නැත.
‘‘දෙවියන්ගේ පිහිටෙන් මහ කැබිලිත්තට යන්න බලමු’’ මග පෙන්වන්නා වූ විමල් පැවසුවේ මෙතැන සිටද කිලෝ මීටර් තිස් පහක් පමණ තව ඉදිරියට යායුතු බැවිනි.
පිරිස වාහන දෙකට ගොඩ වෙත්ම මහ කැලෑව මැද්දෙන් වාහනයක ශබ්දයක් කණ වැටුනි. වාහනයක් ගිය සලකුණක් නොතිබුණු මේ කැලෑවෙන් ඇහෙන වාහන ශබ්දය කුමක්ද? කාටත් ප‍්‍රහේළිකාවක් විය. දැන් ඒ හඩ ළගින්ම ඇසෙයි. වරෙක එය යතුරු පැදියකින් නික්මෙන හඩක් යැයිද කාටත් සිතිනි. කොටි ත‍්‍රස්තයන්ද මේ ප‍්‍රදේශයේ කරක් ගසන නිසා වාහන දෙකේ ආ අය දැඩි සේ බියවු බවක් පෙනෙන්නට විය.
හො`දට තිබු වාහනයක් කොටයක් වැදී පැත්තක්ම නැතිවී ගොස් සුලූ මොහොතකට පසු වනාන්තරයට නුහුරු නුපුරුදු ශබ්ද ගෙන දෙමින් තමන් බියට පත්වන්නේ ඇයිද යන්න සැමටම ප‍්‍රශ්නයක් විය. මීට මොහොතකට පෙර තමන්ට ඇසුනේ වාහන හඩ යතුරු පැදියක බව ප‍්‍රත්‍යක්‍ෂ වුයේ එය තමන් යන පැත්තෙන් තමන් දෙසට එන හඩක් වු නිසාය. නුසුදුසු කාලයක නුසුදුසු ගමනක් පැමිණීමෙන් මහ අවදානමක් ගත් බව යතුරු පැදියේ හඩ වැඩිවෙත්ම සංචාරකයන්ගේ හදවත්වල හඩද වැඩිවන්නට විය. වාහන දෙකේ ගමන බාලවිය. කැලේ පීරාගෙන ඉදිරියට එන යතුරු පැදියක් පිරිසට අඩි දෙසියක් පමණ ඉදිරියෙන් නැවැත්විනි. වාහන දෙකේ සිටි හයදෙනා හොදටම බියවිනි.
‘‘කොටි ද කොහේ ද? අපි දැන් මොකද කරන්නේ. අනේ දෙයියනේ අපිට කරදරයක්නම් වෙන්න එපා.’’ සංචාරකයෙකුගේ මුවින් කියැවිනි.


2012 දෙසැම්බර් මස 16 14:26:22 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



(ඉතිරි කොටස ලබන සතියට)



මඩමෙතොට දේවාලය

මැණික් ගග


Sunday, December 16, 2012

මේ සතුන් මිය යන්නේ කාගේ වරදින්ද?

කතරගම - කේ. ඩී. දේවප්‍රිය




9 වැනි දින බර වාහනයක 
හැපී මියගිය අලි පැටවා.....


අනාරක්‍ෂක දුම්රිය ගේට්‌ටු නොමැති ස්‌ථාන පසු කර ගිය දරුවන්, වැඩිහිටියන් අවාසනාවන්ත ලෙස මියගිය අවස්‌ථා රැසක්‌ පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. මිනිසා ද සතාද සිය පණ නල රැක ගැනීමට අපමණ වෙහෙසක්‌ දරනු ලබයි.

මේ කියන කතාව සතකුගේ වුවත් මෙය අප රටට සම්පතකි. අලි - මිනිස්‌ ගැටුමෙන් දිනපතා මියයන අලි ඇතුන් සංඛ්‍යාවට තවත් ගණනක්‌ එක්‌ කරමින් පාපතර රියෑදුරකු විසින් රටට අහිමි කළේ උතුම් අලි පැටවකු ය.

යාල ජාතික වන උද්‍යානය අයිතිය වන සතුන්ටයි. කතරගම - බුත්තල මාර්ගය ද වැටී ඇත්තේ යාල ජාතික වන උද්‍යානයේ අංක 3 කලාපයට අයත් බිම් කඩකටයි.


දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නොමිලයේ අලි ඇතුන් නැරඹීමට හැකි නිසා නිතර මෙම ප්‍රදේශයට යන සංචාරකයන්ට නිතර අලි රංචු දැකිය හැකිය. බුත්තල - කතරගම මාර්ගයේ සුන්දරත්වය ඔපනංවමින් සිටි පුංචි අලි බබෙක්‌ (අලි පැටවකු) පසුගිය 9 වැනි දින උන්ගේ ම නිජබිම තුළදී පාපතර රියෑදුරකුගේ නොසැලකිල්ල මත යාල වනයට අහිමි කරනු ලැබීය.

වසර 3 ක්‌ තරම් වයසින් යුතු මෙම අලි පැටියා මව් ඇතින්න සමඟ මාර්ගය අසල සිටියදී බර වාහනයක වැදී බරපතළ තුවාල ලබා මියගොස්‌ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි.

වන සතුන්ට අයත් මෙම ප්‍රදේශයේ මිනිසුන්ට අවසරය දී ඇත්තේ මාර්ගයේ ගමන් කිරීමට පමණකි. එහෙත් කිසිදු මාර්ග නීතියක්‌ නොදන්න රියෑදුරන් අධිවේගී මාර්ගයක මෙන් බුත්තල - කතරගම මාර්ගයේ ද ගමන් කරනු ලබයි.

යුද හමුදාව මෙම ප්‍රදේශයේ රැකවල් කළ කාලයේදී වන සතුනට අභය දානය ලැබුණු අතර සිවිල් ආරක්‍ෂක බළකාය හැර ආරක්‍ෂක අංශ ඉවත් වීමත් සමඟ යළි අසරණ වන සතුන්ට අපල කාලයක්‌ උදාවිය. දිවා - රාත්‍රි අලි ඇතුන් මෙම ප්‍රදේශයේ සැරිසරන අතර වන සතුන් විශාල ලෙස මෙම මාර්ගයේදී මිය යමින් පවතී.

පසුගිය මාස කීපයේදී පැටවුන් 3 දෙනකු කුසයේ සිටියදී දිවි දෙනකු ද රථයක ගැටී මියගොස්‌ තිබිණි. මෙයට අමතරව නිතර මාර්ගයේ සිටි වැළහින්නක ද රථයක ගැටී මියගොස්‌ තිබිණි. මෙයට අමතරව ඌරන්, හාවන්, මී හරකුන්, තලගොයින්, මුවන් ඇතුළු වන සතුන් මිය යැම දිනෙන් දින වැඩි වී ඇත.

වනජීවී කාර්යාල ද පොලිස්‌ මාර්ග බාධක රැසක්‌ ද මෙහි පිහිටා ඇත. මේ තරම් වන සතුන් රථ වාහනවල ගැටී මිය ගියත් එක්‌ රථයක්‌වත් අල්ලා ගැනීමට කිසිවකු තවමත් සමත් වී නොමැත.

මෙම මාර්ගයේ රාත්‍රි කාලයේ දී ගමන් ගන්නා රථ වාහන පරීක්‍ෂා කර අංක ලියා ගැනීමක්‌ සිදුකර රථ වාහන සඳහා වේග සීමාවක්‌ කිරීම අත්‍යවශ්‍ය වේ. දඩයක්‌කරුවන්ට නවීන තාක්‍ෂණ උපකරණ මේ වන විට පවතින අතර වනජීවී නිලධාරීන්ට නිසි අයුරින් ආලෝකය එල්ල කළ හැකි විදුලි ලාම්පුවක්‌ වත් නොමැති අතර වනජීවී නිලධාරීන්ට අවශ්‍ය පහසුකම්, උපදෙස්‌ ලබා දීමට වගකිවයුතු අංශ ක්‍රියා නොකළහොත් අපට අලි ඇතුන් නැරඹීමට අප්‍රිකාවට යැමට සිදු වේ.


මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා


මීගහකිවුල ඇතුරු ඇළ ගෙවත්තකට කිලෝවක් පමණ බරැති දිලිසෙන ආකාශ වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියා කියයි.

සෙනසුරාදා ඔහු මෙම පාෂානය වැනි වස්තුව දැක ඇත.
කලු සහ දුඹුරු පැහැයට හුරු එම වස්තුව ඉබ්බකුගේ පිට වැනි යැයි ගෙහිමියා පවසයි.

2012 දෙසැම්බර් මස 16 10:04:50 | නිෂාන්ත කුමාර
http://www.lankadeepa.lk/index.php/articles/85245





Sunday, December 9, 2012

රාවණා ඇල්ල අසල පොළොව යට ජල තටාකයක්


”ඔය ගලට කකුල තියන්න එපා’’, ‘‘ගල බුරුල්වෙලා තියෙන්නේ. මෙතනින් අල්ලගන්න. එහා පැත්ත බලන්න එපා, අඩි තුන්සීයක් විතර වළක් පේනවා’’ අන්ධකාරය කපාගෙන ගුහාව පුරා දෝංකාරය දෙන්නේ මෙත්තානන්දගේ කටහඩයි. එහි දැඩි ආවේගශීලි බවක් දැනුනේ තරුණ පිරිස ගේ නොසැලකිලි බව නිසාවෙන් ගල්කිහිපයක් පහතට වැටීමෙනි. අප පොළොව මට්ටමේ සිට පහතට අවම වශයෙන් කිලෝමීටර් එකක්වත් පැමිණ ඇත.

රාවණා ඇල්ලට මෑත කාලයේ ප‍්‍රසිද්ධියක් ලැබුණේ උමාඔය ව්‍යාපෘති භූමියේ දක්නට ලැබුණු අබිරහස් උමං කටක් නිසාය. අයෙක් එය රාවණා ගුහාව යයි අනුමාන කරති. තවත් අයෙක් පවසන්නේ එහි තුළ නිධන් හා දඩුමොණර යන්ත‍්‍රය ඇති බවකි. උමා ඔය යෝජනාක‍්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක අතුකෝරල මහතා පවසන්නේ ව්‍යාපෘති භූමියේ එසේ උමගක් හමුවී නොමැති බවයි. කෙසේවෙතත් දැඩි ආරක්ෂාවක් යටතේ වර්තමානයේ එම ප‍්‍රදේශය ජනමාධ්‍යයට තහනම් කලාපයකි. තත්ත්වය එසේතිබියදී ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරදගොල්ල ගම්මානයේ තරුණයන් දෙදෙනකුට කැලෑබදකින් හමුවන්නේ තවත් උමං කටකි. කලාන්තරයක් මුළුල්ලේ සමාජයට වහන්වී පැවතුනු මෙම උමගය තුළ ඇතැයි කියන ජලතටාකය සොයා පසුගිය දිනක අනතුරුදායක ගමනකට අපි මුල පිරුවෙමු.

අප පිරිස 25කි, ගමනේ නඬේගුරා කරදගොල්ලේ මෙත්තානන්දය. ඔහුගේ තීරණය අවසන් තීරණ වන්නේ වතාවක් දෙකක් ඔහු තනිව මෙම උමං කටට බැස තිබූ නිසාය.

ප‍්‍රදේශයට මසක කාලයක් තිස්සේ ඇද හැළුනු වැස්ස තුරන්වූවා පමණි, රාවනා දිය ඇල්ලේ සිට කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මෙම උමගය තුළට පිවිස එහි ඇතැයි සැලකෙන ජල තටාකාංගණය නැරඹීමේ කුුතුහලයක් මා තුළ පතිතවිය. එය සැබැවින්ම දැඩි අනතුරුදායක ගමනකි. එය කංසා වගා කරුවන් මුණගැසීමට ගිය ගමනටත් වඩා අනතුරුදායකය. එහෙත් මෙය රටට හෙළිකළ යුතුයි. එහි ප‍්‍රථිඵලයක් වශයෙන් මෙම වනවිට අප උමග තුළට කිලෝමීටර් එකකට අධික දුරක් පැමිණ ඇත.

උමගය තුළට යාමට අවශ්‍ය ආලෝකය අප සපයා ගත්තේ බෝතල් කිහිපයකට ලාම්පුතෙල් පුරවා පොල්මුඩු ගසා සාදාගත් පන්දම් කිහිපයකිනි. ඊට අමතරව මා මිත‍්‍ර කපිල ගෙනවිත් තිබූ අධි ආලෝක විදුලි පන්දම් අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. උමං කට ගල් දේබොක්කාවකින් සෑදී ඇති අතර එහි තුළට මීටර් 20ක් පමණ ගමන් කළවිට පහතට බැසියයුතු තැන් කිහිපයක් හමුවෙයි. ඇතැම් තැන් බෙහෙවින්ම අනතුරුදායකය.

කඹ යොදා සීරුවෙන් කුඩා විවරයෙන් අපි පහළට බැස ගතිමු. පැය තුනකට ආසන්න ගමනකින් පසු සිය දෙනෙකුට පමණ පහසුවෙන් නැවතී සිටිය හැකි ආකාරයේ විශාල කුටියක් අපට හමුවිය. පොළොවේ සිට එහි පියස්ස මීටර් 20 ක් තරම් උසකින් යුක්තය. අප එහිතුළට වී මඳක් ගිමන් හැරියෙමු. වෙනත් උමං තුළට ගමන් කරන විට වාතාශ‍්‍රය අඩුවුවත් මෙම උමගය තුළ වාතාශ‍්‍රයේ වෙනසක් නොවීම විශේෂ බව කිව යුතුයි.
‘‘දැං හරි අප යං’’ මෙත්තානන්ද පවසයි. ‘‘එක එක්කෙනා එන්න’’ යයි පවසා, ගල් බිත්තියේ වූ සිදුරකින් රිංගු ඔහුගේ විධානයෙන් අපි එකිනෙකා ගමන් කළෙමු. කුහරය අඩි දෙකකි, නළයක්මෙන් පහතට විහිදී ඇත. මුලින්ම කකුල් දෙක කුහරයට ඇතුළුකොට උඩුබැලි අතට ගමන් කිරීමට සිදුවිය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. මුහුණත් ගල් රැුන්දත් අතර පරතරය අඟල් හයකි. තට්ටම් ප‍්‍රදේශය උපයෝගිකොටගෙන අඩි විසි පහක් ගමන් කිරීම ශරීරයට දැඩි වේදනාවක් ගෙන දෙන්නක් විය.

එම ගමනින් පසු පහසුවෙන් සිටගෙන ගමන් කිරීමට හැකිවන පරිදි උමග නිම වී ඇති තැනින් පහතට තවත් කිලෝමීටර් කිහිපයක් අවදානම් ගමනකින් පසු එක්තරා ස්ථානයක නැවතුනු මෙත්තානන්ද ගලක් පහතට දැමීය. ගල වැටුණේ වතුර වළකට බව අපට අවබෝධ විය.

එදෙසට විදුලි පන්දම් අලෝකය යොමුකළ අපට දිස්වූයේ දර්ශනීය ජල තටාකයකි. විදුලි පන්දම් ආලෝකයට එම ජලය නිල්පාටට  දිස්වන්නට විය. සියලූදෙනා කළේ විල අසලට බැස අතපය සේදීමයි ජලය දැඩි සීතලය.

මෙත්තානන්ද සිය කටහඬ අවදිකරයි. ‘‘අපි පුංචිකාලේ තාත්තලා සීයලා කියා තියෙනවා කැලේ ඇති උමං ගැන, ඒවාට ගලක් දැම්මම ටිකවේලාවකින් තමයි ශබ්දය එන්නේ කියලත් කියා තියෙනවා. නමුත් තියෙන තැන් කාටවත් ඔවුන් පෙන්වූයේ නෑ. නමුත් මට මේ උමගක් තුළට යන්නට සිතුණා. පසුගිය දිනක තවත් මල්ලී කෙනෙක් එක්ක මං උමග තුළට පිවිසුනා. පාර සොයාගෙන තමයි ගියේ. පැය ගණනාවක් ගමන් කිරීමෙන් පසු තමයි දැක්කේ වතුරවළක්, ළඟටම ගියාම පුදුම හිතුනා. එය ජලයෙන් පිරුණු විශාල පොකුණක්, එයට එහායින් තවත් විශාල කාමරයක් තියෙනවා. 500කට 600 කට ඉන්න පුලූවන්. මේ ආකාරයට උමග තුළට ගමන් කරන්න පුලූවන්. නොදන්න කෙනෙක් ගියොත් ආපසු එනවා බොරු, ඇතැම් වළවල්වලට ගලක් දැම්මාම විනාඩි කිහිපයකට පස්සේ තමයි ශබ්දය ඇසෙන්නේ. එතරම් ගැඹුරුයි’’ යයි මෙත්තානන්ද පවසයි.

උමගය සැබවින්ම විශ්මය ජනකය. ජලතටාංකාංගණය වෙත යාමට අවම වශයෙන් කිලෝමීටර් දෙකක් කන්ද තුළට යා යුතුය. එය බෙහෙවින් අවදානම් ගමනකි. යම් හෙයකින් උමගය තුළ පාර වැරදුණොත් නැවත ආපසු සොයාගැනීම හීනයක් බදුය. නිසල දියෙන් දිය දෝතක් පානය කළ මා ප‍්‍රශ්න කන්දරාවක් මෙනෙහි කරමින් ආපසු ගමන් ඇරඹිමි.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම ආන්දෝලනාත්මක උමග හමුවූයේ 1997 වර්ෂයේදීය. එය පිහිටා තිබුණේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යටින්ය. එදා ගමනේ නඬේගුරා වූයේ මා හිතවත් පාලිත ආරියවංශයන්ය. ඇල්ල යනු ඌවේ ප‍්‍රධාන විදෙස් සංචාරක කේන්ද්‍රස්ථානය වශයෙන් පිළිගනී. මෙම උමං තුළ පුරාවිද්‍යා වටිනාකමක් ඇද්දැයි සොයා බැලීම අදාළ බළධාරීන්ගේ යුතුකමකි. එය උමංකට දෙස බලා නොව එහි අභ්‍යන්තරයට ගමන් කරමින් පරීක්ෂාකර බැලීම මගින්ය. රජය සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දැඩි වෙහෙසක් දරන සමයේ මෙම උමං කිහිපය අනාගතයේ යම් දිනක විදෙස් සංචාරකයන්ට විවෘත වුවහොත් ප‍්‍රදේශයට සංචාරකයන්  තව තවත් ගෙන්වා ගැනීමට එය වඩා මහෝපකාරීවනු ඇත.

සටහන හා ඡායාරූප - නයන තෙන්නකෝන්
2012 දෙසැම්බර් මස 09 14:18:49 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

අවදානම් අවස්ථාවක්

උමං කටට පිවිසුන පිරිසෙන් කොටසක්


 උමග තුළ නිල්දිය පොකුණ

මැදියම් රැයේ හේන වැනසූ අමුත්තා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 43


ඌවට, නැගෙනහිරට සහ දකුණට මායිම්ව පිහිටි මහ වනාන්තර වලින් හෙබි භූමිභාගයේ අනවසරයෙන් කැලෑ කපන්නෝද, දඩයම් කරන්නෝද, හේන් ගොවියෝද සිටිති. මේ පිරිස් අතරින් තමන්ට ඉඩම් කෑල්ලක අයිතියක් ඇති නැති පිරිස් කණ්ඩායම් වශයෙන් එක්ව කැලේ ඇතුළට ගොස් හේන් කොටා වගා කරති.

ඔක්කම්පිටිය පැත්තේ ගොවීන් පිරිසක් යුද්ධය පැවති සමයේ යාල කැලෑවේ කොටසකට එසේ හේන් කපන්නට ගියහ. කැලෑව වුවත් කොටන්නේ කිසියම් වූ ක‍්‍රමවේදයකටය. මීට වසර දෙක තුනකට පෙර හේනක් කළ බිමක් කොටනවා හැරෙන්නට මහ කැලෑව කෙටීමට මේ සාම්ප‍්‍රදායික හේන් ගොවියෝ කටයුතු නොකරති.

කුඹුක්කන් ඔයෙන් එගොඩ සීමාව දේව අඩවිය ලෙස සැලකීම මේ ගොවියන්ගේ සිරිතය. විශේෂයෙන් කතරගම දෙවියන්ගේ අඩවිය බව ඔවුහු විශ්වාස කරති. ඒනිසා මේ මහ කැලෑවේදී තමන්ගේ ආරක්‍ෂාවට සිටින්නේ නොපෙනෙන දෙවියන් පමණක් බවට වූ විශ්වාසය එදා ගොවීන් තුළ මුල් බැස තිබුණි.

හේන් කොටන කාලයට ගොවීන් එක්ව මුලින් එක් වාඩියක සිට වෙන වෙනම හේන් කෙටීම සිරිතය. පසුව ඒ හේන්වල වෙන වෙනම වාඩි තනා ගනිති. හේනක් කෙටීමේදී දෙවියන්ගෙන් අවසර ගැනීමේ ක‍්‍රමයක් අතීතයේ විය. වර්තමානයේ නම් එවැනි සිරිත් දක්නට ඇතිනම් ඉතා අල්පවය.

ගල්ගේ කොටසට අයත් වනාන්තරයේ හේන් කොටන්නට ගිය පිරිසකි. හේන කොටා ගිනි තබා ඇට වැපීරිමට උවමනා කටයුතු පිළියෙල කළේ ඉතා සමගි සම්පන්නවය. හේන කොටන්නට පෙර මේ පිරිසට නායකත්වය දුන් මැදිවියේ  තැනැත්තා හේනේ පැළේ පඩුරක් බැද මුල්ම අස්වැන්නෙන් කතරගම දෙවියන්ට මුරුතැන් පූජාවක් තැබීමට බාරයක් විය.

හේන්වල බීජ පැල පැලවේගෙන එද්දි හේන්වල සිටින අයගේ ගණනද අඩුවෙයි. ළග ළග හේන් පිහිටා ඇතිවිට ඒවායේ සිටින පිරිස රෑ සීපද කියමින් වනසතුන් එළවා දැමීම කරති. ඇතැම්විට ගස් මුදුනේ වු පැලේ සිට වටපිටාව ගැන නිතරම විපරමින් වනඅලි, වල් ඌරු රෑන් වගාවට රිංගන්නේ දැයි විපරමේ සිටිති. ඇතැම්විට හේන වටේටම පිරිත් නූල් ඇදීමද කරති. ඊට අමතරව කෙම් ක‍්‍රමද භාවිත කරති.

දිනක් හේනේ ගසක් මත තනා තිබු පැළක සිටි පිරිස අතරින් එක් තරුණයෙකු එහි නවත්වා සෙසු පිරිස ගමට ගියේ අල්ලපු පැළේ සිටි අය ගමේ ගිය අවස්ථාවේ දැනගත් පණිවිඩයක් අනුවය. ඒ පිරිසේ වැඩි දෙනෙකුගේ ළගම ඥාතියෙකුගේ අවමගුලකට සාභාගි වන්නටය.

අමාවක ළංව තිබු දිනයක් නිසා අහසේ හද ද නැත. තරු එළිය තුළින් හේනෙන් විවිධාකාර රූප පැළේ හුදකළාවේ සිටි තරුණයාට මැවෙන්නට විය. පැළ තැනු ගසට නුදුරුව හවස් ජාමේ දැල්වූ ගිනි මැළයද නිවි යන්නට පටන් ගෙනය. වෙනදාට මේ ගිනිමැලය නිවෙන්නට නොදී එය අවුලූවන්න්ට කිහිපදෙනකුම බිමට බැසීම සිරිතය. නමුත් අද මේ තරුණයා පමණක් නිසාත් අවට ඇති දැඩි අදුර නිසාත් ඔහුට පැළෙන් බිමට බැසීමට හිත නොදුන්නේය.

මේ නිසා මැදියම් රැය වනවිට ගිනිමැලය සම්පුර්ණයෙන්ම නිවී ගියේය. හේන හරහා හමා එන සීතල සුළග තරුණයාගේ ගත දැවටෙන්නට විය. පාලූව කාන්සිය නිසාම ඔහුට නින්ද ගියේය.

රාත‍්‍රියේ ඔහු නින්දෙන් කිහිපවරක්ම අවදි වුයේය. අතැති විදුලි පන්දම ගෙන වටේටම දල්වමින් විපරම් කළේය. වෙනදාට මේ අකාරයට විදුලි පන්දම් එළිය දල්වන විට ඈතින් පිහිටි වෙනත් පැලකින්ද විදුලි පන්දම් එළිය දල්වා වටපිට පිරික්සයි. ඒ ඔවුන්ද අවදියෙන් ඉන්නා බවට ලැබෙන සංඥාවකි. නමුත් මෙදින වෙනත් කිසිම පැලකින් විදුලි පන්දම් එළියක් නිකුත් නොවීය.

පසුවදා බිමට පහන් වැටුණු පසු ගස උඩ වු හේනේ පැළේ සිට දුටු දසුනින් තරුණයා තුෂ්නිම්භූත විය. වනඅලි හේනට පෙරදින වැදුනු සලකුණු විය. යාබද හේනෙන් අලි ආ බවට ලකුණු ගස උඩ පැළටම දිස් විණි. මෙය සුබ ලකුණක් නම් නොවීය. හේන්කට වනඅලියා එන්නට පුරුදු වුණොත් බේරන්නට බැරිය. විශාල දඩුවැටක් නැතත් හේන් වටා ඇති වැට අලි ඇතුළු නොවන්නට ප‍්‍රමාණවත්ය.

දහවල් කාලය එළඹෙත්ම පැලෙන් බැස වනඅලි වැනසු වගාව දෙසට තරුණයා පියමං කළේය. වැඩිදුර විපරම් කරනවිට පෙනුනේ වගාව වැනසු වනඅලියා හේනට ඇතුළුවු තැනක් හෝ හේනෙන් පිටවු තැනක් දැක ගත නොහැකි වීමයි. මෙය විය නොහැකි සිදුවීමකි. ඉරිගු පැල, වට්ටක්කා වැල්, මඤ්ඤොක්කා පදුරු, අක්කර කාලක පමණවූ කොටසක වනසා ඇතිබව පෙනුනි. යාබද හේනේද වූයේ එක් තරුණයකු පමණි. ඔහුගේ හේනට මෙතරම් හානියක් නැත.

තරුණයන් දෙදෙනාම එක්ව වනඅලි හේනට ඇතුළුවූ තැන සෙව්ව නමුත් හමු නොවීය. මාසේ පෝයට ඇත්තේ දින තුනකි. ඒ නිසා මේ දිනවල රාත‍්‍රිය අදුරුය. හවසම තම තමන්ගේ හේන්වල ලොකු ගිනිමැල ගසන්නට තරුණයන් දෙදෙනාම කතිකා කර ගත්හ. ඒ අනුව එදින හිරු අවරට යද්දීම ගිනිමැල දැල්විණි. හේන් කපද්දි ලොකු ගස් තිබු තැන් නොකැපු නිසා ගිනි මැළයක් පැය ගණන් දල්වා තබාගත හැකි මහ කොටන් මෙහි නැත. නමුත් වට අඩියකට ආසන්න ප‍්‍රමාණයේ ලී කොට එකතු කර හේන් දෙකේ ගිනිමැළ දෙක දැල්වෙයි.

රාත‍්‍රී එකොළහ පමණ පසුවෙද්දී හේනේ එක් පැත්තකින් දිරාගිය අතු කැබළි පාගා පොඩි කරන ශබ්දයක් ඇසෙන්නට විය. පෙර දිනයේ විනාශයට පත් හේනේ තරුණයාට ඇසුණු මේ ශබ්දය නිසා ඔහු වහාම ගස මුදුනේ වු  පැලේ සිටම විදුලි පන්දම දල්වා වටේට විපරම් කරන්නට විය. නමුත් පෙර දිනයේ මෙන් යාබද හේනෙන් විදුලි පන්දම දැල් නොවිණි.  හේනේ වන සතුන් ඇවිත් ඇති බවක් විදුලි පන්දම් එළියෙන්ද නොපෙනුනි. පෙර දිනට වඩා දර කොටන් වැඩිදුර දැමු නිසා ගිනි මැලයේ එළියද අවට පුරාවට පැතිරිණි.
පැයක්  පමණ වේලාවක් අවදියෙන් සිටි තරුණයාට ඉබේම නින්ද ගියේ කාංසියත් සමගය. නැවතත් හේනට වන සතුන් ඇතුළුවු ශබ්දයක් ඇසී ඔහු තිගැස්සි අවදිවිය. ගස මුදුනේ වු  පැල්පතේ සිටම විදුලි පන්දම දල්වා හේන වටේම පිරික්සීය. නමුත් පෙනෙන්නට අමුත්තක් නොවීය.

පසුදින එළිය වැටුණු පසු පැලෙන් බිමට බැස හේනේ ඇවිද ගිය මේ තරුණයාට දිස් වුයේ පෙර දිනයේ මෙන්ම මෙදිනත් හේනේ වගාව වනසා ඇති ආකාරයකි. යාබද කිසිම හේනකට හෝ දඩුවැටකට හෝ හානි නොකර වන සතුන් ඇතුළුවී  ඇතිබව පෙනිණි. දඩු වැටෙන් පිටත පිරික්සිමේදී ද වන සතෙක් හේනට ආ තැනක් හෝ පිටව ගිය තැනක් පෙනෙන්නට නොවිණි. සැබැවින්ම මෙය පුදුමයකි. යාබද පැලේ තරුණයාද උදෙන්ම අවදිව මේ පුදුමය බලන්නට පැමිණියේය. පෙර දින ඔහුගේ හේනේ ද කුඩා කොටසක්  මෙලෙස වනසා තිබුණ ද මෙදින එවැනි හානියක් නොවීය. ඔහු පැවසුවේ පෙර දින රාත‍්‍රියේද තමන්ට ඉක්මනින් නින්ද ගිය බවකි.

අක්කර දෙකකට තරමක් වැඩි හෙනෙන් දැන් දින දෙකට අක්කර බාගයක පමණ වගාව වනසා තිබේ. හේනේ සෙසු පිරිස ආපසු එන්නේ තවත් දින දෙක තුනකින් විය හැකිය. ඒ දින දෙක තුනත් මෙසේ රාත‍්‍රියට නොදකින නොපෙනෙන බලවේගය නිසා මුලූ හේනම වැනසී යා හැකි බව ඔහුට සිතුණි.

හේනේ ඇට වැපිරීමට පෙර පඩුරක් බැද කතරගම දෙවියන්ගෙන් ආරක්‍ෂාව ප‍්‍රාර්ථානා කළද මෙවැනි විපතක් වුයේ ඇයිද යන්න විශාල ගැටලූවක් විය. තවත් දින දෙකක් හේනට මේ විපත ගෙනාවේය. ගමේ ගිය තිදෙනෙක් තුන්වන දිනයේ පැමිණියේය. එදින රාත‍්‍රීයේ ද නොපෙනෙන බලවේගය හේනෙන් කොටසක් වනසා තිබුණ බව කාටත් පෙනුණේ එළිය වැටුණු පසුවය. දැන් හේනේ වගාව ඉතිරිව ඇත්තේ අක්කර කාලක් පමණි. පසුදා එළිය වැටෙනවිට හේනම විනාශවී අවසානය.

යාබද කිසිම හේනකට මෙවැනි විපතක් නොවී තමන්ගේ හේන පමණක් මේ ආකාරයෙන් විනාශ වුයේ ඇයිද යන්න මේ හේනේ අයිතිකරුවන්ට විශාල ගැටලූවක් විය. මුලින්ම ආරක්‍ෂාව ඉල්ලා බැන්ද පඩුර මේ හේනේ වැඩකරන තැනැත්තෙක් නොදැනුවත්කම නිසා ගලවා විසිකළ බව පසුව හෙළිවිය. ඒ නිසා තමන්ට හේන අතහැර එන්නට විනැයි විශ්වාසයක් ඒ හේනේට සම්බන්‍ධවු අය තුළ පැලපදියම් විණි.
අජිත්ලාල් ශාන්තඋදය

 මහ වනාන්තරය
 ඔකද දේවාලය
මහකැබිලිත්තේ අෂ්ඨඵල බෝධිය



Tuesday, December 4, 2012

Rambutan in Badulla


A 16-acre Rambutan plantation was captured on film at Koslanda in Badulla. Rambutan plants usually bear fruit during June and August in the Western Province including in the rambutan growing area of Malwana. But this plantation is seen with the plants bearing fruit even during the off season.  Pix by Rathnam Kogulan

Dailly Mirror | MONDAY, 03 DECEMBER 2012 13:53






Sunday, December 2, 2012

ඉක්මනින් එන්න ආ ගමන කරත්ත රෝදය ගැලවී දින තුනකින් පමාවෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 42


”ගම්බාරෙ” නම් වූ චරිතය දකුණු පළාතේ සහ ඌව පළාතේ කොටසක බොහෝ ප‍්‍රසිද්ධ චරිතයකි. ගොඩමඩ ඉඩම්, හරකාබාන, දැසි දස්සන්ගෙන් හෙබි ගමේ වෙසෙන ප‍්‍රභූවරයෙක් මෙනමින් හැදින්වීය. අදටද මේ ‘‘ගම්බාරෙ’’ නම හිමි වැඩිහිටියන් ජීවත්වුවද ඇතැම්විට එය නමට පමණක් සීිමාවී ඇද්දැයි සැකසිතිය හැකි වාතාවරණයක් පවතී. වෙනත් ප‍්‍රදේශවල ‘‘ආරච්චිලට’’, ‘‘ලොකු ඉස්කෝලෙ මහත්තයට’’, ‘‘වෙද මහත්තයට’’ හිමිවූ තැන ‘‘ගම්බාරෙ’’ටද එදා හිමිවිය.

සමහර ගම්බාරෙලගේ මී ගව පට්ටිවල ගවයන් ගණන දහස ඉක්මවයි. කුඹුරු වැඩ කාලයට ගමට ගෙනෙන මී ගවයන් කුඹුරු වැඩ අවසන්වූ පසු නැවත ඈත වනාන්නතරේට ගෙනගොස් ගවපට්ටි ආසන්නයේ නිදහසේ සිටීමට සලස්වයි. මේ ගවයන් නිදැල්ලේ සිටියත් උන් බලාගන්නට ගොපල්ලෙක් සිටී. ගව පට්ටියේ සිටින සතුන් ගණන අනුව එය බලාගන්නා, ආවතේව කරන සේවක ගණනද වැඩිවෙයි.

කතරගමට නුදුරුව මීට දශක හය හතකට පමණ පෙර විසූ මෙවැනි ‘‘ගම්බාරෙ’’ කෙනෙකු ලෙස ‘‘වලවේ’’ ගම්බාරෙ කා අතරත් ජනප‍්‍රිය පුද්ගලයෙක් විය. ආගම දහමට ලැදි ඔහු නිර්මාංශ ආහාරයට ගන්නා කෙනෙක් විය. තිරික්කලෙන් වැඩිපුර යනඑන ඔහු බරබාග දෙකකටම හිමිකම් කීවේය.

මේනිසා ගමෙන් සිදාදියට බර ගෙනයන්නත් සිදාදියෙන් ගමට බර ගෙන එන්නත් ‘‘වලවේ’’ ගම්බාරෙගෙ බරබාගේ නැතුවම බැරිවිය. මේ එක් බරබාගෙක කරත්තකරු වූයේ සේතං නැමැත්තෙකි. සේතං යෞවනවිය ඉක්මවා මැදිවියට පා තබන වයස් සීමාවේ පසුවුවත් අවිවාහකයෙක් විය. නමුත් ඔහු ගැන ගමේ වැඩි දෙනෙක් කතා කළේ හොද චරිතයක් ඇති තැනැත්තෙක් ලෙස නම් නොවේ. විවාහක තරුණ කාන්තාවන්ට බැල්ම හෙලන්නෙකුවූ සේතං ‘‘මනමාල සේතං’’ ලෙසද ගමේ සමහරු විසින් හැදින්වීය. ගම්බාරේද සේතං ගැන දන්නා නමුත් තම දාසයන් අතරින් ජව සම්පන්නම දාසයා ඔහු බැවින් ගම්බාරෙගෙ ද හිත් දිනා ගෙන සිටියේය.
මත්තල පැත්තේ ගෙදරකට නිතර සේතං යන එන බවට කසුකුසුවක් පැතිරෙන්නට වූයේ මේ අතරය. මෙය ගම්බාරෙගෙ කණටද වැටුණි. සේතංගේ මේ නොමනා ක‍්‍රියාව ගැන දවසින් දවස නරක ආරංචි ගලා එන්නට විය. එම තමන්ගේ නමට මහා කැළලක් වනු ඇතැයි ගම්බාරෙගේ අදහස විණි. ඒ නිසා මේ සිද්ධිය වැඩිදුර යන්නට පෙර වළක්වාගත යුතුයැයි ගම්බාරෙට සිත්විය. මේ සදහා තනිවම උපායක් කල්පනා කළද ඔහුට එවැන්නක්  නොආයේ සේතං නිසා ගම්බාරෙගෙ සිතද දැඩි සේ අවුල් වී තිබූ නිසාවෙන් විය යුතුය.

‘වලවේ ගම්බාරේ’ මහ සංඝරත්නය සමගද සමීප ඇසුරක් තිබූ තැනැත්තෙක් විය. දුර ගමනක් යන විට දෙවියන් බුදුන් සිහිකර පිටත්වීම ඔහුගේ සිරිතය. දිනක් පාන්දරින්ම තිරික්කලයේ නැගුණු ගම්බාරේ නිවසින් පිටවූයේ යන තැන කිසිවෙකුටත් නොදන්වාය. ගම්බාරේ නැවතුනේ ගව් කිහිපයක් දුරින් පිහිටි ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේ නමකගේ ආවාසයේය. සේතං නම් වූ දාසයා නිසා තමන් මුහුණ පා සිටින සිත්තැවුල හිතවත් භික්‍ෂුවගේ කණේ තැබුවේ අඩුවක් නැතුවය. ඊට සාවධානව ඇහුන්කම් දුන් වියපත් ඒ හිමිනම දුන් අවවාදයෙන් ගම්බාරෙගෙ සතුට නිම්හිම් නැතිවිය.

අදුර වැටෙන්න ඔන්න මෙන්න කියා ආපසු ගමට ආ ගම්බාරේ තම දාසියන් අමතා මහබැද්දේ  ගවපට්ටිවලට යවන්නට හාල්, තුනපහ, ලූනු, හුණු දුංකල, පොල් ආදිය සුදානම් කරන්නැයි දැන්වීය. එදා අදමෙන් වී පාහින්නට මෝල් නොවීය. ගමේ කාන්තාවන් පිරිස් එකතුවී බිම එළන ගෝනි පඩංගුවකට වී දමා මෝලගස් වලින් කොටා සහල් සාදා ගනු ලබයි. ඒ අනුව ගම්බාරෙගෙ අණ ලද පසු දාසියෝ එකතුව වී මලූ තුක්ම සහල් කරන්නට පටන් ගත්හ. ඒ අනුව දින දෙකක් ඇතුළත එකසිය පනහකට පමණ සෑහෙන අඩුම කුඩුම පිළියෙල කෙරිණි.
මේ අතරවාරේ සේතං ඇමතූ ගම්බාරේ, මහබැද්දේ ගවපට්ටිය ළග ඇති හේන කොටන්නට පිරිසක් රැුගෙන එහි ගොස් හේන කොටා කොටසක කුරහන් ද තව කොටසක තලද වපුරන ලෙස දැනුම් දුන්නේ පිරිස කැටුව කරත්තයකින් යන ලෙස දන්වමිනි.

සේතං මහබැද්දේ ගවපට්ටියට කිහිප වතාවක් ගියද ඒ කරත්තයකින් නම් නොවේ. ගම්බාරේ මේ මහකැලේ කරත්තයකින් යන්න කියන්නේ ඇයි දැයි සේතංට ගැටලූවක් විය. ගම්බාරේ දැනුම්දීම අනුව නම් මෙය සතිතුනක පමණ කාලයක් ගතවන ගමනකි. එතරම් කාලයක් එහි ගෙවන්නේ කෙසේදැයි සේතංට සිත්විය.

‘‘කබරොස්සාට ලාඩං  ගහන්න කම්මලේ උන්දෑ තව දින හතරක් පහකිං එන්න කිව්වා.’’ ගමනට අදිමදි නොකියා සේතං පිළිතුරු දුන්නේය. කබරොස්සා යනු ගම්බාරෙගෙ කරත්තවල බදින නාඹර ගොනෙකි.

‘‘ආ ඒකත් එහෙමද? එහෙනම් ඌ තියලා. වෙන ගොන්නු දෙන්නෙක් බැදගන පලයං’’ ගම්බාරෙ පිළිතුර සේතං බලාපොරොත්තුවූ එකක් නොවීය.

‘‘කැලේට ඇතුළු වෙනකොට කොළ අත්තක් එල්ලලා ඇතුලූ වෙයං. බැද්ද කොටන්න ඉස්සර පානක් පත්තුකරලා මිසක් වැඩ පටන් ගන්නවා එහෙම නෙවෙයි. ඇට වපුරන කොටත් පානක් පත්තු කරලා මිසක් වැඬේ පටන් ගන්නවා නෙවෙයි.  මේවා දෙවියන්ගේ අඩවි. අපි ඒවායේ වැඩපළ කරන කොට දෙවියෝ බුදුන් සිහිකරලා කරන්න  ඕනෑ. අපේ මුතුන්මිත්තොත් එහෙමයි කළේ.’’ ගම්බාරෙ නොනවත්වාම කියාගෙන ගියේ පිරිස අතර සිටි දැනමුතුකම් දන්නා ගොවියෙකු ද වූ බැවිනි.

එදින රාත‍්‍රියේ ගමනට අවශ්‍ය අඩුම කුඩුම කරත්තයට පැටවිණි. ඒ අතර පොල් ගෝනියක් දෙකක් ද විය. මෙච්චර පොල් මොකටදැයි සේතංට ප‍්‍රශ්නයක් විය. පසුදා පාන්දර දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේතං සමග ගමනට පිටත්විය.

මේ ගමන ගැන සේතං සිටියේ පැහැදීමකින් නොවේ. සේතං දෙවියන් බුදුන් ගැන විශ්වාස කළ තැනැත්තෙක් නොවීය. මහවනයට ඇතුළුවන තැනදී කොළ අත්තක් එල්ලන්නැයි ඉල්ලීමක් කළද සේතං එය පිළිපැද්දේ නැත. එහෙත් ගමනට එක්වූ සෙසු සියලූ දෙනාම කුඩා කොළ අත්ත බැගින් එල්ලූවේ සිරිතට ගරු කරමිනි.

හැන්දෑ වෙනකොට මහබැද්දේ ගව පට්ටියට පිරිස ළගා විය. එහි වූ හත් දෙනෙකුගෙන් යුතු පිරිස සේතංගේ ගමනින් පුදුමයට පත්ව සිටියහ. සේතංගේ මත්තල පළහිලව්ව ඔවුන්ද දැන සිටියේ ගම්බාරෙගෙ දැසි දස්සන්ට එය රහසක් නොවූ නිසාය.

‘‘සේතං මත්තල ගියේ නැතෑ’’ ගව පට්ටියේ කටකාර ගොපල්ලාගේ කතාවෙන් සේතංගේ සිත පිනා ගියේය.

‘‘බලපං මම එහේ යනවටදෝ කොහෙද ගම්බාරේ මාව මෙහාට එව්වා. එයා දන්නේ නෑ මේ සේතං කවුද කියලා. ගම්බාරෙට නෙවෙයි දෙයියන්ටවත් මේ සේතංගේ ගමන නවත්වන්න බෑ. ඒක දැන ගනිල්ලා’’ උද්දාමයට පත් සේතං කීවේය.

පසුදා පාන්දරම කැලෑවෙන් කෝටු කිහිපයක් කපාගෙන හේන කොටන ඉස්ව්වේ නැගෙනහිර පැත්ත බලා පහන් පැලක් හදා ඒ වෙනුවෙන්ම ගෙනා පොල්තෙල් වලින් පහනක් දැල්වූයේ සේතං සමග පැමිණි දහදෙනා එකමුතුවය. නමුත් සේතං මේ කිසිම වැඩක උදව්වට නොආයේය.

ගවපට්ටියේ ලොකු පැලට වී ඔහු දවස ගෙවයි. කරත්තයේ ගොනුන්  දෙදෙනා දිගේලි කරන්නේ ගව පට්ටියේ වැඩකරන්නෙකි. දින කිහිපයක් මෙසේ ගෙවෙද්දී හේනේ වැඩ අඩකින් පමණ නිමවීම කාගේත් සතුටට කරුණක් විය. සවස හේනේ වැඩ නිමාකර පැලට එන පිරිසට පැල තුළින් බැදුමක සුව`දක් ඈත  තියාම දැනෙන්ට විය.

’‘අපි ඇට වපුරන්න ඉස්සර කතරගම දෙවියන්ට බාරයක් වෙමු. කොහොමත් තව සතියක් යනකොට ඇට ඉහින්න පුලූවන් වෙයි. ඇට ඉහලා කණු කැපිලා පැල මතුවෙනකම් ගමරට යන්න හිතාගන්නවා එහෙම නෙවෙයි.’’ ගොවි කණ්ඩායමේ නායකයා සෙසු නවදෙනාට උපදෙස් දෙමින් කීවේ හේනට නුදුරු ආරේ දිය නාද්දිය.

දියනාගෙන පැලට ආ පිරිස කෑම කන්න සුදානම් වෙද්දි දෙවියන්ට පහන් පත්තු කරන්නට ගෙනා තෙල් බෝතලය ලිප අද්දර තිබෙනු දුටු ගොවි කණ්ඩායමේ නායකයා, බැදුම් බැද්දේ දෙවියන්ට වෙන්කළ තෙල් වලින්දැයි එහි සිටි සේතංගෙන් විමසුවේ තැතිගැන්මෙන් යුතුවය.

’‘මම දන්න දෙයියෙක් නෑ බං. ඔන්න ඔය අතට අහුවුණ තෙල් බෝතලේක තිබුණ තෙල් දාලා බැද්දේ. ඔය බෝතලේ තව තෙල් තියෙන්නේ සේරම ගත්තයැ.’’ නොරිස්සුමෙන් යුතුව සේතං පිළිතුරු දුන්නේය.
’‘දෙවියන්ට වෙන්කළ තෙල්වලින් පිහාපු බැදුම් එහෙම උඹලා කනවා නෙවෙයි. ලේ බඩ යන වැඩනේ මේ සේතං උන්නැහැ කරන්නේ.’’ ගොවි කණ්ඩායමේ නායකයාගේ පිළිතුර විය. සේතං පිසූ බැදුමේ සුවද ආඝ‍්‍රාණය කරමින් රතුහාලේ බතුයි මුංඇට මාලූවයි පමණක් අනුභව කරන්නට පිරිස වගබලා ගත්තේය.

’‘මේ කල්වාරි හොද්දයි බතුයි ගිලලා එපා වෙලා බං තියෙන්නේ. දඩමස් කෑල්ලක් එක්ක බත් ඩිංගක් කන්න තියනවනම් කොච්චර අගේද  රෑ ’’ දිනක් හේන ආසන්නට ආ සේතං කීවේය.

’‘අවකැපෙන කතා කියන්න එපා සේතං උන්නැහැ. මේ වනාන්තරේ දෙවියන්ගේ අඩවිය. අපි කට වරද්දා ගන්න හො`ද නෑ.’’ හේනේ වැඩ කරන්නෙකුගේ පිළිතුරෙන් සේතංට තරමක් කේන්ති ගිය බවක් පෙනිනි.
‘‘උඹලත් ‘ගම්බාරය’ වගේමයි. කොහේදෝ ඉන්න නොපෙනෙන දෙයියෙක් මොන වැඬේ කරන්නත් කලින් ඉස්සර කරගන්නවා. කෙහෙල් මලක්. නිකම් මනස්ගාත ඔලූවේ දාගන්නේ නැතුව හිටපල්ලා. ඉන්නකංනේ මේ සේරම. බලාගෙන ගියාම මුං ඔක්කොම පිස්සෝ’’ කියමින් සේතං හේනෙන් පිටත්විය.

ඇට වැපිරීම ස`දහා සුදානම් කළ හේන  වල් ඌරන් විසින් කනපිට පෙරළා ඇති බවක් දිනක් හේනට ගිය පිරිසට අවබෝධ විය. වටේට තල වපුරා මැද කොටසේ කුරහන් වැපිරීම සැලසුම විය. තලවලට වනසතුන්ගෙන් හානියක්් නැතැයි යන විශ්වාසය ගැමියන් තුළ පැලපදියම්වී තිබේ. මැද කොටසේ කුරහන් වපුරන්නේ තලනිසා කුරහන් වලාවට ආරක්‍ෂාවක් සැපයෙන හෙයිනි. මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙයි.

කෙසේ වෙතත් හේනට මේ ආකාරයෙන් වල් ඌරන් පැමිණීම සුබ ලකුණක් නොවන බව ගොවි පිරිසට අවබෝධ විය.

‘‘සේතං ගොයියාගේ වැඩ හින්දා හේනට බාධාවෙන්න ඇති’’ පිරිස එසේ සිතීය. හේනේ හතර කොනේ සහ මැද පහන් වැටවල් සාදා එහි පහන් තුන්වරුවක් යන තුරු නිවෙන්නට නොහැරීමට වග බලාගත් ගොවි පිරිස ඒ තුන්වරුව තුළ හේනේ කිසිදු වැඩක් නොකළහ. මෙය කෙමක් යැයි පසුව දැනගන්නට ලැබුණි. පහන් දල්වා අවසන්වූ දිනට පසුදා ඇට වර්ග වැපිරීය.

ඇට වපුරා අවසන්වූ වහාම සේතං තමන් කැටුව ආ  පිරිසට ආපසු යන්නට කතා කළේ මහබැද්දෙන් පිටත්වන්නේ දැයි ඇගලි ගනිමින් සිටි නිසාය. කරත්තය දක්කාගෙන තනිව යා හැකිවී නම් සේතං ආපසු ගිහිංය.  නමුත් මේ ගමන තනිව යන එන්නෙක් නම් තවමත් නැත්තේය. ගමන ඒ තරම් අවදානම්ය.

පැමිණි පිරිස කීවේ වැපිරූ ඇට පැලවූ පසු යා යුතු බවය. එයට තවත් සතියක් හමාරක් ගතවනු ඇත. ඒ දින කිහිපය ඉවසනවා හැරෙන්නට සේතංටද වෙන කරන්නට දෙයක් නොවීය.

තවත් දින දහයකින් පිරිස ආපසු ගමේ යන්නට පිටත්වූහ. හේන කතරගම දෙවියන්ටත් ගම්බාර දෙවියන්ටත් බාරකළ පිරිස සේතංද පෙරටු කරගෙන කරත්තයෙන් ආපසු එන්නට පිටත්විය. හේන දෙවියන්ට බාර කිරීම ගැන සේතං කතා කළේ උපහාසයෙන් යුතුවය.

‘‘ඔච්චර හරියක් කරන්න මහන්සි නොවී ඒ වැඩ ටිකත් දෙවියන්ටම බාරදෙන්න තිබුණනේ’’ සේතං ඔච්චම් කරමින් කීවේය. කිසිවෙකුත් සේතංට පිළිතුරු දෙන්නට ඉදිරිපත් නොවීය. හිරු හොදින් පායා නිල්වන් අහසින් යුතුව තිබු නිසා ගමනට බාධා නොවීය. නමුත් මහවනයේ සීමාවට ළංවෙද්දී අහස කලූකර ඇති අයුරු කාටත් අවබෝධ විණි. කාලගුණය අයහපත් වන බව පෙනෙන්නට වූ නිසා පිරිස ගමන ඉක්මන් කලේය. වැස්ස ඇද නොවැටිණි. නමුත් කරත්තයේ රෝදයක පට්ටමක් ගැලවී ගියේ ඉන් තවදුරටක් යා නොහැකි ලෙසිනි.

කරත්තයේ රෝදය හදාගන්නට ගත් උත්සාහය සඵල නොවීය. සතුටට කරුණක් වූයේ මේ අකරතැබ්බය වී තිබුණේ ගමක් ආසන්නයේ වීමයි. එදින රාත‍්‍රිය ගමේ ගතකර පසුදා කම්මල් කරුවෙකු ගෙන්වාගෙන කරත්තයේ රෝදය හදාගෙන ගම්බාරෙගෙ නිවසට එනවිට දින දෙකක් ගතවිය. සේතං ගොයියා කැලෑවෙදි කටවරද්දා ගැනීමත් දෙවියන් හෑල්ලූවට ලක්කිරීමත් මේ විපතට හේතුව වන්නට ඇති බව සැමදෙනාම සිතූහ. සේතං ද එදායින් පසු දෙවියන් විහිළුවකට නොගත්තේය.

අජිත්ලාල් ශාන්තඋදය
2012 දෙසැම්බර් මස 02 13:57:38 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


හේනක රටකජු වගාවක්

හේනක මුං ඇට වගාවක්

හේනක ඉරිගු වගාවක්

ලේ උරාබොන යකින්න


මොනරාගල ප‍්‍රදේශයේ සුන්දර ගම්මානයකි. මෙහි උක් වගාව ජීවනෝපාය කරගත් එක්තරා පවුලක් වාසය කරයි. ජේමිස් මහත්මයාත් ඔහුගේ බිරිඳත් ළමයින් 7 දෙනාත් එම පවුලේ සාමාජිකයෝ වෙති. කෙසේ හෝ නොවිඳිනා දුක් විඳිමින් ළමයින් ටික උස් මහත් කළෝය. කිසිම දරුවකු හරිහැටි අධ්‍යාපනය නොලැබූ අතර නිසි වයස වන විට විවිධ වෘත්තීන් ඉගෙන ගෙන ඔවුහු විවාහ වූහ. අවිවාහකව සිටින්නේ බාලම දරුවා වන සෝමලතා පමණි. ඇය බැලීමට මනමාලයන් කොතරම් පැමිණියද කිසිම එකක් හරියන්නේ නැත. මේනිසා ජේමිසුත් බිරිඳත් හිටියේ තරමක් සිත් තැවුලිනි.

දැන් සෝමලතාගේ වයස අවුරුදු 39කි. ඇයට ද ඇගේ ජීවිතේ එපා වී ගොසින්ය. සෑම වෙලේම කලකිරීමෙන්, දුකෙන්, එපා වීමෙන් කල් ගෙවන්නීය. හිතට කිසිම සතුටක් නොදැනෙයි. මේ ප‍්‍රශ්නය ගැන සිතමින් සෝමලතාගේ මවද විඳවයි. මේ කාලයේම සෝමලතාගේ මවද රෝගාතුර වූවාය. කාලයක් තිස්සේම තිබෙන ඇදුම රෝගය දැන් උත්සන්න වී ඇත. රෝගය අඩු පැත්තට නොයන නිසා ඇය රෝහල් ගත කෙරිණි.

දරුවන් සියලූ දෙනා මව බැලීමට පැමිණියෝය. නමුත් සෝමලතාට ඒමට ලැබුනේ නැත. මන්ද ළඟම ඥාතියකුගේ මංගල උත්සවයකට තම නිවස නියෝජනය කිරීමට යාමට සිදු වූයේ මැයට වීමයි. දවල් දවසේ මඟුල් ගෙදර ගිහින් හැන්දෑවට අම්මා බැලීමට රෝහලට යාමේ අදහසිනි. නමුත් හවස 2.30ට පමණ අම්මා මෙලොවින් සදහටම සමුගත්තාය. මේ පුවත ඇසූ සෝමලතා එක්වරම සිහිසුන් වූවාය. අවසාන මොහොතේ තමාට ළඟ සිටීමට නොහැකි වීම ගැන ඇය මහත් සේ කම්පා වූවාය.

සියලූ දෙනාගේ මැදිහත් වීමෙන් මළ ගම අවසන් කළේය. මව නැති ශෝකයත් මත සෝමලතා තව තවත් මනසින් ඇද වැටුණි. පාලූව හුදෙකලාව තව තවත් වැඩි වන්නට විය. මෙලෙස කලක් ගත වන විට සෝමලතාට මනමාලයකු හරියාගෙන එන ලකුණු පෙනෙන්නට විය. ඔහු වෘත්තියෙන් කම්කරුවෙකි. නමුත් එය සෝමලතාට ප‍්‍රශ්නයක් නැත. තමාගේ කරුම කාලය ඉවරයි ලෙස සිතමින් සිත සතුටු කර ගත්තාය. මාස කීපයකට පසු සෝමලතා එම පුද්ගලයා සමග විවාහ වූවාය.

මෙලෙස විවාහයෙන් පසු සෝමලතා සැමියා සමග මහ ගෙදරම පදිංචි වූහ. ඔවුන්ට ළමයින් 3 දෙනෙකි. දරුවන් හදා වඩාගෙන ඉන්නට හැකි වූයේ වසර කීපයක් පමණි. සෝමලතාගේ ස්වාමියා සෝමලතා සමග විරසක වී නිවසින් යන්නට ගියේය. සෝමලතා දරුවනුත් සමග නැවතත් තනිවූවාය. කෙසේ හෝ දරුවන් රැකබලා ගතයුතු නිසා සෝමලතා නිවසක වැඩ කරන්නට ගියාය. ඇයගේ සැමියා සෝමලතාට තියා දරුවන්ටවත් කිසිම උදව්වක් කරන බවක් නැත. කෙසේ හෝ වෙර දරා ළමයින් ලොකු මහත් කිරීමට සෝමලතාට හැකි විය. දැන්  ඉතින් ළමයින්ට තනි තනිවම වුවත් ජීවත් විය හැකියි සිතූ සෝමලතා දෙවතාවක්ම ජීවිතය නැති කරගන්නට උත්සාහ දැරුවාය. දරුවන්ගේ මැදිහත් වීමෙන් ඒවා මඟහරවා ගැනුණි.

මෙලෙස ගත වූයේද ටික දිනකි. සෝමලතා එක්වරම සිහිනැතිව ඇදන් වැටුණි. නිවසේ සිට දරුවකු මැදිහත් වී පවන් ගසා මූනේ වතුර ගා ටික වේලාවකින් සිහිය ආවේය. සෝමලතා පවසන්නේ සිදුවූ කිසිවක් ඇය නොදන්නා බවයි. දින කිහිපයකට පසු යළිත් ඇයට සිහිය නැතිවිය. දැන් මේ ආකාරයට දවසට කිහිපවරක්ම සිහි නැතිවේ. වහාම ඇය වෛද්‍යවරයකු කරා ගෙන යාමට දරුවෝ කටයුතු කළෝය. පසුව ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත සෝමලතා යොමු කරන ලෙස වෛද්‍යවරයා සෝමලතාගේ දරුවන්ට කියා සිටියේය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ අතර වෛද්‍යවරයා විසින් සියලූ පරීක්ෂණ කර කියා සිටියේ එවැනි රෝගී තත්ත්වයක් සෝමලතාට නැති බවත් එය මානසික තත්ත්වයක් විය හැකි බවයි. නමුත් එය පිළිගැනීමට පෙර ගුප්ත පැත්තෙන් යම් පිහිටක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පේනයක් ඇසීමට තීරණය කෙරිණි. ඒ අනුව අඳුන බලා ශාස්ත‍්‍ර කියන අයකු ළඟට සෝමලතා ගෙන ගියේය. බුලත් තබා පැමිණි පිළිවෙළට තමාගේ වාරය එන තෙක් මොවුහු බලා සිටියහ. මොවුන්ගේ වාරය පැමිණිනි. අඳුන බැලීම ආරම්භවිය.

වීදුරුවකට වතුර දමා සුදු මල් කිහිපයක් ද එයට දමා ඒ ඉදිරියේ කපු මහතා වාඩි වී සිටී. පසෙක පහනකි. ඔහු වතුර වීදුරුව දෙස බලාගෙනම දැනගන්න අවශ්‍ය කාරණය කුමක්ද යැයි, සෝමලතාගෙන් ඇසීය. අපේ අම්මා මාස කිහිපයක ඉඳන් ලෙඩ වෙනවා. හිටපු ගමන් සිහි නැතිවෙනවා. දොස්තර මහත්තුරු කියනවා ලෙඩක් නෑ කියලා.

‘‘හොඳයි අපි බලමුකෝ’’ කියමින් ගාථාවක් වැනි දෙයක් කියමින් දෙවියන්ට ඔහු කන්නලව් කළේය. ඉන්පසු වතුර වීදුරුව දෙස බලාගෙන මෙලෙස කියන්නට විය. ‘‘අපි මුලින්ම යමුකො ගෙදරට, ප‍්‍රධාන පාරෙන් හැරිලා ඔන්න දැන් ඉන්නේ ගේ ඉදිරිපස, මියගිය ඥාති ස්ත‍්‍රියක් පෙන්නුම් කරනවා. කවුද ඒ යනුවෙන් කපුවා ඇසීය. අපේ ආච්චි වෙන්න ඇති. සෝමලතාගේ දරුවකු පැන්න ගමන් කීවාය. ඇය මේ තැනැත්තියට බන්දලා තියෙන්නේ. ඒ ආත්මය දැන් යක්ෂණියක්. ඇෙඟ් ලේ උරා බොනවා. ඇඟ වැහැරෙනවා. ඒකනම් හරි ඇති, අපේ අම්මා මේ දවස් වෙනකොට හිටපු මහතෙන් බාගෙකුත් නෑ. සෝමලතාගේ දරුවකු පුදුම වූ ලෙසින් කීවාය.

”ඒක අයින් කරන්නේ කොහොමද?’’ යනුවෙන් ඔවුහු ඉවසිල්ලක් නැතිව කපු මහතාගෙන් ඇසූහ. වින කැපිල්ලක් කළයුතු යැයි යනුවෙන් තීරණය කළ කපුවා එය හරියට වෙනවාද යන්න අඳුනෙන් බලාම කළයුතු බවත් කියා සිටියේය.

කෙසේ හෝ මෙය කළයුතු නිසා දරුවන් එකතු වී මුදල් සොයාගෙන පූජාව ආරම්භ කෙරිණි. වින කපා අවසානයේ කපුවා කපා ගැලවූ නූලක් ගෙන දුම්මල අල්ලමින් ගැටයක් සාදා තම සහායකයාට දුන්නේය. කපු මහතා අඳුනෙන් බලා ‘‘හරි’’ කිවූ සැණින්ම ගැටය තද කෙරිණි. දැන් යක්ෂ ආත්මය ගැටයට හසුවී ඇත. පසුව මෙම නූල බෝතලයකට දමා සිර කළේය. පසුව මෙය නිදහස් කිරීමට දිනයක් තීරණය කරගෙන කපු මහතා ඇතුළු පිරිස පිටව ගියහ.

මහා පුදුමයකි. සෝමලතාට සිහි නැතිවීම සිදුවන්නේ නැත. වෙනදාට වඩා ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබුණි. පොරොන්දු වූ පරිදි පින් දී හිර කළ ආත්මය නිදහස් කිරීමේ දිනය උදා විය. කපු මහතා ප‍්‍රමුඛ පිරිස සමග සෝමලතා එවැනිම ප‍්‍රශ්න තිබූ පවුල් කිහිපයක් බස් රථයක් කුලියට ගෙන කතරගම ගියේය. කිරිවෙහෙර සමීපය බෝතල් කිහිපයක් බැඳ ගෙන ආ කපු මහතා ඒ ඒ පවුල් වල අය ලවා බෝතල් විවෘත කර නූලේ ගැටය ලිහා යක්ෂ ආත්මය සුගතියකට පැමිණෙන්න යැයි කියමින් ඔවුන් නිදහස් කළෝය. සියලූ දෙනාම සතුටින් නිවෙස් කරා පැමිණියෝය. දැන් සෝමලතට සම්පූර්ණයෙන්ම සුව පාටය.

ඔවුන් මෙලෙස ගත වූයේ දින කිහිපයකි. එක්වරම හිස වේගයෙන් සොලවන්නට ගත් සෝමලතා උඹලාට පුලූවන්ද මාව එළවන්න යයි කියමින් තම මවගේ යක්ෂ ආත්මය ලෙස කතා කරන්නට වූවාය. උඹලා ඉගෙන ගත්තා මදි මාව එළවන්න. මම එකෙක් අරගෙනම තමයි යන්නේ කියමින් මහ හයියෙන් කෑ ගසන්නට වූවාය. කුමක් හෝ කළයුතු නිසා නැවත පළමු දේවාලයටත් ඉන්පසු මිනිසුන් හොඳයි කියන දේවාල බොහොමයකටත් ගොස් නොයෙකුත් දේවල් කළ අතර ලේ බොන යකින්න, සෝමලතා හැර ගියේ නැත.

පසුව ගමේ අයකුගේ ආධාරයෙන් සෝමලතාගේ ප‍්‍රශ්නය විදුල අධිමනෝවිද්‍යා පර්යේෂණ සංගමයට යොමු කරන ලදී. එහිදී සියලූ විස්තර සලකා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් ස්වාපනය යටතේ සෝමලතාගේ එම තත්ත්වය සාදා විස්තර ඇසීය.

සෝමලතාගේ සිරුරට ඇවිත් ඉන්නේ මියගිය මව බවත් ඇය දැන් යක්ෂණියක් වී සිටින බවත් ඇය ලේ උරා බීමෙන් සෝමලතා ලෙඩ කරන බව හා කෙට්ටු කරන බවත් ඇගේ කටින් කියවීය. මොනම විදියකින්වත් ඇය නොයන බවත් පැවසීය. කුලපති මහතා මියගිය තැනැත්තා මියගිය දිනය, උපන් දිනය, විවාහ වූ දිනය ආදී ප‍්‍රශ්න කිහිපයක් ඇසීය. යකින්න ගොළු වූවාය. ඔබ සෝමලතාගේ මියගිය මව නම් ඔබේ උපන්දිනවත් මැරිච්ච දිනවත් දන්නේ නැති දැයි ඇසීය. යක්ෂණීට කටඋත්තර නැතිවිය.

ඔබ මිය ගිය ආත්මයක් නොවෙයි. සෝමලතාගේ යටි සිතේ ස්වභාවයක් යැයි පවසා ඇය ස්වාපනයෙන් අවදි කළේය. අම්මා මිය යන මොහොතේ තමාට සැලකීමට බැරි වුණු වේදනාව හා පැමිණි මානසික පීඩාත් මත මැයට අම්මා ආවේශ වුනු බව හැඟුනා.  නමුත් මෙය මුලින්ම ඔළුවට රඳා තිබුනේ කපුවායි. ඒ අනුව එතැන් සිට මවගේ ආත්මය ලෙස හැසිරුණා.
මෙම සිදුවීම සිදු වී අද වන විට වසර 2කි. ඉන්පසු කිසිම දිනෙක ලේ බොන යකින්න සෝමලතා සොයා ආවේ නැත. මේවාට කිසිදු යකෙකු, භූතයකු, පේ‍්‍රතයකු දායක වන්නේ නැති බවත් ඒ සියල්ලට හේතුව තමාගේ සිත බවත් වෛද්‍යවරයා පවසයි.

පී. එන්. විද්‍යාකුලපතිගේ මෝහන ප්‍රතිකාර
හබරාදුව - නිමල් අල්ගෙවත්ත
2012 දෙසැම්බර් මස 02 14:14:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



Tuesday, November 27, 2012

ඌව පළාත

ඌව පළාත ශ්‍රී ලංකාවේ සුන්දරම පළාතක් වන ඌව පළාත වෙල්ලස්ස යන නමින් හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ ‍වේ. නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය යන දිස්තික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හි‍ද ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික වන උද්‍යානය හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්රධාන තැනක් ගනියි. මහවැලි ගග මැණික් ගග, සේනානායක සමුද්රය හා මාදුරු ඔය ජලාශය ප්රධාන ජල මූලාශ්ර වේ.



පිහිටීම

ඌව පළාත යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට යාබදව පිහිටි සුන්දර භූම් භාගයකි. උතුරු දෙසින් ගත් කල ගිරාදුරුකොට්ටේ, මහියංගනය, මීගහකිවුල ආදී ප්‍රදේශයන් ද නැගෙනහිර දෙසින් ගත් කල මොනරාගල, වැල්ලවාය ආදී සහල් නිශ්පාදනාගාරයන්ද, දකුණු දෙසින් බණ්ඩාරවෙල, හපුතලේ ආදී සීතල කදුකයද බටහිර දෙසින් කලුපහන, හක්කල, ඕහිය ආදි ප්‍රදේශයන්ද ඌව පළාතේ මායිම් වේ. ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නම්වූ ලක්ෂ ගණනකින් සමන්විත ප්‍රදේශයන් ද, උක් සහ ඉරිගු වගා ප්‍රදේශයන් ද, මධ්‍යම කදුකරයට අයත් බණ්ඩාරවෙල හපුතලේ ආදී ප්‍රදේශයන් ගෙන්ද, අර්තාපල් සහ වෙනත් එළවලු වගා කරන වැලිමඩ ප්‍රදේශයෙන් ද සමන්විත පලාතකි. රටේ ප්‍රධාන දිය ඇලි රැසකින්ද, ජලාධාර මූලයන් රැසක්, ස්වාභාවික වනෝද්‍යාන රැසක් පිහිටි හොද භූවිද්‍යාත්මක පිහීටීමක් ඌව පළාත තුල පවතී.

Statistics
Capitalබදුල්ල
Largest cityබදුල්ල
Largest metroබදුල්ල
Official languagesSinhalaTamil
Government
Provincial GovernorNanda Mathew
Chief MinisterShasheendra Kumara Rajapaksa
Created
Provincial council

Abolished
1886
14 November 1987
(=1st with 8 others)
Area
 - Total
 - Percentage
Ranked 4th
8,488 km²
12.92 %
Population
 - Total (2001)
 - Percentage
 - Change (10 years)
 - Density
Ranked 7th
1,177,358
6.3 %
 %
138.7/km²
Time zoneSri Lanka Standard Time Zone
FlowerGurulu raaja (Rhynchostylis retusa)
Tree
Bird



සංස්කෘතිය

ඌව පළාත තුල වූ බොහෝ ප්‍රදේශ අදටත් ගැමි සංස්කෘතිකාංග වලින් සපිරිය. බුදුන් වැඩමකල මහියංගන පුදබිම, මුතියංගන පුදබිම, කතරගම පුදබිම, ආදිවාසීන් ජීවත් වන දඹාන, කතරගම දේවාලය, බණ්ඩාරවෙල පස්සර හපුතලේ ආදී වතුකරයන්හි පිහිටි කෝවිල් ආදිය ඌව පළාතේ සංස්කෘතිය වඩවන නිමැවුම් වේ.


ඉතිහාසය

ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවනා කතා වස්තුවලට සම්බන්ධ රාවනා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.

රාවනා කාලයෙන් පසු බුදුරජානන් වහන්සේගේ ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. මහාවංශය ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. සොලොස්මස්ථාන ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16න් 3ක් ම (මහියංගනය, මුතියංගනය, කතරගම) පවතින්නේ ඌව පළාත තුලයි. ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කිරීම වස් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජමහා විහාරය, බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.

1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ වෙල්ලස්ස කැරැල්ල ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොල නායකත්වය ගනු ලැබීය.

සොබා සෞන්දර්ය

ඌව පළාත යනු සොබා දහම ඉතා ඉහලින් ඇති ප්‍රදේශයකි. හක්ගල දැඩිස්වභාව රක්ෂිතය, ඕහිය රක්ෂිතය, නිල්ගල අභය භූමිය ආදී වනෝද්‍යාන දුන්හිද, දියලුම, රාවනා ඇල්ල, බොඹුරු ඇල්ල, සුරතලී ඇල්ල, මානා ඇල්ල, රවන් ඇල්ල සහ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල නමුණුකුල, නාය බැද්ද රහංගල ආදී කදුවැටි ඌව සොබාදහමේ අපූර්වතම නිර්මාණයන් වේ. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ආදී සංචාරක පුරවරයන්ද ඌව පළාත සතු වේ.






බදුල්ල දිස්ත‍්‍රික්කය - ආර්ථික සංවර්ධනය




භූමි ප‍්‍රමාණය:ව.කි.මි.2,861
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව:15
ග‍්‍රා.නි.වසම් සංඛ්‍යාව:567
ගම්මාන සංඛ්‍යාව:1,410
ජනගහනය:874,006
පවුල් සංඛ්‍යාව:233,902
සමෘද්ධි ලාභී පවුල් සංඛ්‍යාව:63,268

ගරු ඇමතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් රු.මි.1,978ක ආයෝජනයක් සිදු කරනු ලබයි.
ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය

පළාත් මාර්ග
දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9ක් ආවරණය වන සේ පළාත් සභා මාර්ග 18ක් කි.මී.70.176ක් කාපට් කිරීම සඳහා රු.මි.720ක් වෙන් කර තිබේ. මෙම ව්‍යාපෘතියෙන් 33,802කට සෙත සැලසෙනු ඇත.

ග‍්‍රාමීය මාර්ග
දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය මාර්ග 1,000ක් (කි.මී 195ක්) කොන්ක‍්‍රීට් කිරීම සඳහා රු.මි.596.85ක් වෙන් කර ඇති අතර මාර්ග 388ක් නිමකර ඇත.

වාරි මාර්ග
වාරි මාර්ග යෝජනා ක‍්‍රම 99ක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රු.මි.61.38ක් වෙන් කර ඇත. ඉන් යෝජනා ක‍්‍රම 3ක් අවසන් කර ඇති අතර රු.මි.0.99ක් වැය කර තිබේ.

ජල සම්පාදනය
ජල යෝජනා ක‍්‍රම 83ක් ක‍්‍රියාත්මක කිරීම සඳහා රු.මි.19.2ක් වෙන් කර ඇත. ඉන් යෝජනා ක‍්‍රම 36ක් නිමකර ඇති අතර රු.මි. 2.15ක් වැයකර තිබේ.

ජීවනෝපාය සංවර්ධනය
දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ගම්වාසීන් 2,094දෙනෙකුගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා විවිධ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම පිණිස රු.මි.217ක් වෙන්කර ඇති අතර මේ වන විට ගම්වාසීන් 1,290දෙනෙක් සඳහා වැඩ සටහන් නිමකර ඇත. මෙතෙක් වැයකර ඇති මුළු මුදල රු.මි.177.07කි.

උපුටා ගැනීම
http://med.gov.lk/sinhala/?page_id=1671

Sunday, November 25, 2012

හාලිඇල හොල්මන් බංගලාව


ජනතා වතු සංවර්ධන මණ්ඩලය අපේ රටේ තේ වතු පාලනය කළ සමයේ බදුල්ල කාර්යාලය යටතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ තේ වතු 52ක් තිබුණි.
හාලිඇල දික්වැල්ල වත්ත ඉන් එකකි. හාලිඇල සිට ඇටම්පිටිය දක්වා විහිදුන එම තේ වත්තේ ඞීන්ස්ලන්ඞ් කොටස පිහිටා ඇත්තේ ඇටම්පිටිය නගරයට නුදුරිනි.
මා ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ කාලේ දික්වැල්ල වත්තට ගිය නමුත් ”ඞීන්ස්ලන්ඞ්” බංගලාව ගැන දැන ගන්නට ලැබුණේ වතු පාලකයෙකු වන ඇටම්පිටියේ නන්දන විජේවර්ධන මහතාගෙනි.
ඔහු පැවසූ අන්දමට දුරාතීතයේ ඞීන්ස්ලන්ඞ් වත්ත ඞීන් නමැති මහත්මයෙකුට අයත්ව තිබූ පුද්ගලික තේ වත්තකි. පාවහන් පිටරටින් ආනයනය කළ සමයේ එහි නියෝජිතයෙකු ද වූ ඞීන් මහතා ධනවතෙකි.
ඔහු ජීවත්වූ බංගලාව තේ වත්ත මධ්‍යයේ පිහිටි අතර එහි නම වූයේ ”ඞීන්ස්ලන්ඞ්” බංගලාවයි.
මෙය එදවස විවිධ මල් වර්ග මෙන්ම සරුසාර එළවළු වගාවකින් ද සමන්විත විය.
මල් බලන්නට දුර ප‍්‍රදේශවලින් පවා පැමිණ ඇත්තේ මෙම බංගලාවටය.
සිංහ කටින් වතුර වැටෙන නාන තටාකය බංගලාවට පහළින් නිර්මාණය කර තිබිණ. සෙල්මුවා පියගැට පෙළකින් නාන තටාකයට යන පාරේ දෙපස මල් වැල්ය. පළතුරුය. පෙයාස් වගාව ද සරුය. බංගලාවට නුදුරින් තේ කම්හල පිහිටියේය.
ඉඩම් රජයට පවරා ගැනීමේ වැඩ සටහන යටතේ ඞීන් මහතාගේ තේ වත්ත පමණක් නොව මේ බංගලාව ද රජයට පවරාගෙන පාලනය ජනවසමට ලබා දුන්නේ දික්වැල්ල වත්තේ කොටසක් ලෙසට යා කරමිනි. ඒ වන විට ඞීන් මහතා වයෝවෘද්ධව සිටියේය. දරුවන් ද නොවීය.
ජනවසමට ගැනීමෙන් පසු මෙම බංගලාවේ සහකාර වතු අධිකාරිවරු මෙන්ම ජනවසම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වරින් වර මෙය නිල නිවාසය කර ගෙන විසූහ.
මෙසේ තිබිය දී දේශපේ‍්‍රමී භීෂණ සමය උදා වූයේ ඌව පළාතට ද භීතිය කැඳවමිනි. තේ කම්හල් 8ක් ද ගිනිබත් විය. මා සේවය කළ බදුල්ල හිඟුරුගමුව පිහිටි ජනවසම බදුල්ල ප‍්‍රධාන කාර්යාලය ද උදෑසන අප සේවයට යන විට අළුවී තිබිණ. එය සිවු මහල් තේ කම්හල් ගොඩනැගිල්ලක ස්ථාපනය කර තිබිණ.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා 11 නමක් ඇතුළු ප‍්‍රදේශයේ විශාල පිරිසක් ඝාතනයට ලක් වූහ.
දිවයිනේ කීර්තිමත් දේශපාලනඥයකු වූ එවකට ඌව පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා වූ පර්සි සමරවීර මහතාගේ නුගතලාව නිවසට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූයේ ද මේ කාලයේදීය. ජනේලයකින් එල්ල කළ මේ බෝම්බ ප‍්‍රහාරයෙන් පර්සි සමරවීර මහතාගේ කකුලකට තුවාල සිදුවූ අතර කාන්තාවන් දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ.
ඉන් පසු වැඩි ආරක්ෂාව සඳහා පර්සි සමරවීර මහතා දැඩි රැුකවල් මැද ඞීන්ස්ලන්ඞ් බංගලාව් ජීවත් විය.
පර්සි සමරවීර මහතා ළඟ වසර 15ක් රියදුරෙකු ලෙස සේවය කළ ඞී.ඒ. සේරසිංහ පැවසුවේ, බෝම්බ ප‍්‍රහාරය මෙහෙයවා තිබුණේ ඊට පෙරදා මහ ඇමැතිවරයා සමඟ සුහදව කතා කරමින් සිට ගිය පුද්ගලයෙකු බවයි.
ලැබුණු තොරතුරක් මත එයා අත්අඩංගුවට ගත්තා. මහ ඇමැතිතුමා ළඟට ගෙනාවට පස්සේ මහ ඇමැතිතුමා එයාගෙන් විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා, එයා මුදා හරින්න කියලා.
එයා දැන් වැලිමඩ පැත්තේ හොඳට ජීවත් වෙනවා. මහ ඇමැතිතුමා නම් කාගෙන්වත් පළි ගත්තේ නැහැ,” යැයි ද සේරසිංහ කීවේය.
පර්සි සමරවීර මහතා පසු කලෙක අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙම බංගලාවේ සුළු කාලයක් ඌව පළාත් සභා පුහුණු ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ.
පස්සර සැල්ගහතැන්නේ පුහුණු කළමනාකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු මෙම බංගලාව විනාශ වන්න පටන්ගෙන තිබේ. දොර ජනෙල් බිත්තිවල ගල් පමණක් නොව වැසිකිළි උපකරණ ද ගලවා ගෙන යාමට කම්කරුවන් කටයුතු කර ඇත්තේ පාළු ගෙයි වළං බිඳින්නට අවසර නොගත යුතු නිසාය.
මෙසේ පාළුවට ගිය බංගලාවේ හොල්මන් ඇතැයි රාවයක් පැතිර ගියේය.
කෙසේ නමුත් මෙය දිගුකාලීන කුලී පදනමක් යටතේ දැන් ලබාගෙන ඇත්තේ ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වන සෙන්දිල් තොණ්ඩමන් මහතාය.
එම ගිවිසුම වන්නේ අලූත්වැඩියා කටයුතු ඔහු විසින් කරන අතර මාසික කුලියෙන් අලූත්වැඩියා වියදම මාසිකව අඩු කිරීමටය.
කරන ලද වියදම බැලූවාම ඒක අඩු කරගන්න අවුරුදු තිහ හතළිහක් ඉන්න වේ යැයි තොණ්ඩමන් මහතා කීවේ ජයග‍්‍රාහි සිනාවක් පාමිනි.
බිත්ති පවා කඩා වැටිලා, දොර ජනෙල් හොරු අරන් ගිහින්. මේක පාළුවට ගිහින් තිබුණේ. හොල්මන් බංගලාවක් කියලයි ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ.
මම කුලී පදනමක් යටතේ වතු සමාගමෙන් ලබා ගත්තා. ගිවිසුම අනුව මම බංගලාව ඇතුළත මුළුමනින්ම නවීකරණය කළා. ආරුමුගම් තොණ්ඩමන් ඇමතිතුමත් මෙහේ ඇවිත් ඉන්නවා. හිතවත් දේශපාලනඥයන් කීප දෙනෙකුත් නිවාඩුව ගත කරලා තියෙනවා. හැබැයි එතකොට ආරක්ෂකයන් ඇතුළු විශාල පිරිසක් ඉන්න නිසා බයක් නැහැ. හොල්මන් නැහැ. නමුත් තනිවම කවුරුවත් මේකේ ඉන්නෙ නැහැ.
බංගලාව බලා ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ ගොල්ලත් ඉන්නෙ බංගලාව පිටින් තියෙන ගොඩනැගිල්ලේ. ඒකේ හිටියත් හොල්මන් වෙනවා කියල ඒ දෙන්නා කියනවා, යැයි සෙල්දිල් තොණ්ඩමන් කීවේ තවත් කොටසක් සඟවා ගෙනය.
ඒ තොරතුරු දැන ගැනීමට ඇතිවූ ආශාව නිසා අපි රජීව් හා සසිකුමාර් නමැති එම සේවකයන් හමු වුනෙමු.
රජීව් මෙසේ කීවේය.
ඔව්, මමයි මූර්තියි තමයි බංගලාව බලා ගන්නේ. දවල් කාලෙට නම් අපි බංගලාවට යන්න බය නැහැ. හැබැයි රෑට නම් බයයි. අපි දෙන්නා ඉන්නෙ බංගලාවට පිටින් තියෙන කාමරයක. එහෙම හිටියත් සමහර දවසට හීනෙන් අපි බය වෙනවා. ශබ්ද ඇහෙනවා. කෑගහන ශබ්ද, හයියෙන් හඬා වැටෙන ශබ්ද, කෙඳිරිගාන ශබ්ද, මේ වගේ ශබ්ද ඇහුනම අපි දෙන්නා බදාගෙන එළි වෙනකම් අවදියෙන් ඉන්නවා. සිකුරාදා හා අඟහරුවාදා දිනවල මේ වගේ සිද්ධි වැඩියි.
සමහර දවසට හෝන් ශබ්ද ඇහෙනවා. ඇමැතිතුමාවත් ඇවිල්ලද කියල බලන්න අපි එළියට බැහැල බැලූවම කවුරුවත් නැහැ.
සවස 6න් පසු පිටින් කිසි කෙනෙක් එන්නෙ නැහැ. මහ තොණ්ඩමන් ඇමැතිතුමා එන කොට නම් තිහ හතළිහක් විතර ආරක්ෂාවට එනවා. ඒ සමහරු එළි වෙනකම් මුර කරන නිසා එදාට නම් බය නැහැ.
සෙන්දිල් ඇමැතිතුමා ආවත් ඉන්නේ ලොකු පිරිසක් එක්ක. එතකොටත් බය නැහැ. තනියම නම් කවුරුවත් ඉන්නේ නැහැ.
අපිටත් වඩා හොල්මන් ගැන දන්නේ සින්නයියා, යැයි රජීව් කිව් නිසා අපි සින්නයියා පිල්ලේ රංජිත් හමු උනෙමු.
ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.
”මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”
ඔහු තවත් බිහිසුණු අත්දැකීම් රැසක් අපට කීවේය. මෙම හොල්මන් බංගලාවේ දේශපාලකයන් කිහිප දෙනකු නිවාඩුව ගත කර ඇති නමුත් ඔවුන් ද පැමිණ ඇත්තේ ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙනය. එනිසා ඔවුන් ද හොල්මන් දැක නැති බව කියති.
බංගලාවේ ඇතුළත සියලූ සුඛෝපභෝගී අංගයන්ගෙන් සන්නද්ධව අලූත්වැඩියා කර ඇති නමුත් ජරාවාස වී පාළුවට ගිය නාන තටාකය හා බංගලාව ඉදිරියේ ඇති පොකුණ මෙන්ම නාගයන් සහිත හුඹස් දෙක මවා පාන්නේ අද්භූත සිතුවිලිය.
හුඹස් තුනක් තිබුණා. අපි එකක් කඩල දැම්මා. ඉතිරි දෙක කඩන්න බයයි. විශාල නාගයන් ඉන්නවා. සමහර දාට බංගලාව ළඟටම නාගයා එනවා. එතකොට අපිට දෙවියන් සිහි වෙනවා, යැයි ද සේවකයෝ කියති.
විද්‍යාත්මක මතය වන්නේ හොල්මන යනු මනසෙහි ඇති වන චංචලභාවයයි. කෙසේ නමුත් මෙහි සිදුවූ බව කියන බිහිසුණු සිද්ධි ගැන ඇසුන විට මනස පමණක් නොව පපුව ද නොගැස්සී තබා ගත නොහැකි තරම්ය.

සටහන, ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ
2012 නොවැම්බර් මස 25 14:54:41 | ලංකාදීප කර්තෘ මණ්ඩලය




ඞීන්ස්ලන්ඞ් බංගලාව

තුඹස


සින්නයියා


සෙන්දිල් තොණ්ඩමන්

ශෂි කුමාර්

රාජු

පොකුණ

නන්දන


නාන තටාකය



බංගලාවට පිවිසෙන ගේට්ටුව


Search This Blog