dunhinda.com

Saturday, March 5, 2016

මාලිගාවිල

නිදහස ලැබීමට පෙර ඔක්කම්පිටිය ප්‍රදේශය වනාන්තරතයක්ව පැවතිණි. එය ජනපදයක් වශයෙන් දියුණු වූයේ මෙරටට නිදහස ලැබීමෙන් පසුවය. පැරණි රාජධානියක්ව පැවිති ඔක්කම්පිටියේ මාලිගාවිල බුදුපිළිමය ඇඳවැටී කැබැලි වලට කැඩී තිබිණි. පුරා විද්‍යා දෙපාර්තුමෙන්තුව දැනට එය නගා සිටුවා ඇත. හුණුගලින් නෙලන ලද මාලිගාවිල බුදුපිළිම වහන්සේගේ උස අඩි 35.8‘‘ කි. දඹේගොඩ මෙත් බෝසත් පිළිමය ඒ අසල පිහිටියේය. එයද බිම වැටී කැබැලි වලට පත්ව තිබිණි. දැනට එය පුරා විද්‍යා දේපාර්තුමේන්තුව මගින් නගා සිටුවා ප්‍රකෘතිමත් කර තිබේ. මේ බෝසත් පිළිමයේ උස අඩි 20ක් පමණවේ. දැනට මාලිගාවිල ජනාකීර්ණ ප්‍රදේශයක්ව ඇත.




Thursday, March 3, 2016

දෙමටමල් විහාරය

ඔක්කම්පිටියේ දෙටමල් විහාරය ඉපැණි පූජනීය ස්ථානයකි. දුටුගැමුණු රජු සමඟ සටන් වැඳුනු සදෑතිස් කුමරු පැරද පලා ගොස් සැඟවුණේ දෙමටමල් වෙහෙර බව ඉතිහාසය කියයි. මෙහි නටබුන්ව පැවැති චෛත්‍යය දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බැඳ තහවුරු කර ඇත. එහි තුළ පැරණි ශිලාමය යූපස්ථම්භයක් තිබේ. පැරණි සෙල් බුදු පිළිමයක්ද මෙහි තිබේ. එය තැන්පත් කොට දැනට විහාර මන්දිරයක් ඉදිකර ඇත. දෙමටමල් වෙහෙර පඤ්චාවාසයකින් සමන්විත පැවති බව කුඹුර මැද පලින් පළ පිහිටි ගල් කණු පවසයි. දෙමටමල් වෙහෙර වන්දනාකරුවන් බෙහෙවින් පැමිණෙන පුන්‍ය භූමියකි.

Photo Source : www.picture.lk

රුහුණු වෙල්ලස්‌සේ අතීත උරුමයේ කැඩපත

"මෙසේ වී යෑයි" අර්ථකථනය කෙරෙන අපේ ඉතිහාසය නොඑසේ නම් අපේ යටගියාව සහ එහි උරුමයන් විමසා බලන්නට පෞරාණික නෂ්ටාවශේෂයන් වෙතින් ලැබෙන පිටුබලය අතිමහත්ය. පුරාවිද්‍යාත්මක සංස්‌කෘතික හා ආගමික අතින් වැදගත් පොළව මතුපිට දකින්නට ඇති නෂ්ටාවශේෂ බොහොමයකි.


එමෙන්ම වැළලුනු අතීතයක නිහඬ උරුමයන් බඳු පොළවෙන් තවමත් මතුපිටට නොගත්, තවමත් කැණීම් තුළින් මතුකර නොගත් ඉතිහාසය අතිවිශාල පරාසයක්‌ පුරා පැතිර යන්නකි.

මේ සියල්ල අපේ අතීතයයි. නොඑසේ නම් උරුමයයි. තවත් ලෙසකින් පවසතොත් අපේ සැබෑ ඉතිහාසයයි.

වසර සිය දහස්‌ ගණනක්‌ ඉපැරණි පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මතුකරගත් මෙවන් නෂ්ටාවශේෂ ඉපැරණි රජ රට සේම රුහුණු වෙල්ලස්‌සේද ඕනෑ තරම් දකින්නට තිබේ. පහළ ඌවේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ආඩම්බරයෙන් නොඑසේ නම් හෘදයාංගමව කතා කරන්නට උදව් දෙන මෙම පුරාවස්‌තු රැස්‌කොට සංරක්‌ෂණය කරන කෞතුකාගාර ජාතිය හා මතු පරපුර වෙනුවෙන් ඉටුකරනු ලබන කාර්යභාරය සුළු පටු නැත.

යාපනේ විනෝද සවාරි යන්නන් නල්ලූර් කෝවිලට ගොස්‌ තිලක තබා නාගදීපයේ බෝට්‌ටු සවාරියක්‌ ගොස්‌ තල් හකුරු සහ මිදි රැගෙන ආවත් යාපනයේ උරුමය වන නල්ලුර්හි ආරුමුග නාවලර්තුමන්ගේ උපන්ගමට කීර්තියක්‌ අත්කරදුන් කෞතුකාගාරය දැක එදා උරුමය අත්විඳින කිසිවෙකු නැතැයි කිසියම් ලේඛකයකු විසින් පවසා තිබුණා අපට මතකය.

එම වදන්වල සැබෑව යළිත් වරක්‌ අපට පසක්‌ වූයේ "දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් පහළ ඌවේ ඓතිහාසික උරුමය ගබඩා කරගත් කෞතුකාගාරය දැක්‌මට යැමෙන් ඉක්‌බිතිවය.

පහළ ඌව පුරුවිද්‍යා කෞතුකාගාරයේ රාජකාරියෙහි නිරතව සිටින ජානක නාමල් වීරසේකර මහතා අප හා පැවැසුවේ බුදුරුවගල සෙල්පිළිම නරඹන්නට යන පිරිස්‌ කෞතුකාගාරය අසලින් යනවා මිස එය නැරඹීමට නොඑන බවය.

පාසල් දරුවන්ට රුහුණු වෙල්ලස්‌සේ උරුමය මෙන්ම අපේ අදීන වූ ඉතිහාසය ඉගෙන ගන්නට මෙතන ඉතාම කදිම තෝතැන්නක්‌. ඒත් ගුරුවරුන් දරුවන් මේ කෙරෙහි යොමුවන බවක්‌ නැහැ. මෙයින් ප්‍රයෝජන නොගැනීම බරපලතළ පාඩුවක්‌. ඔහු පවසා සිටියේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ඌව පළාතේ එවකට ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ගාමිණී විජිත් විජයමුනි සොයිසා සහ එවකට ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන අමාත්‍යවරයාව සිටි ඒ. පී. ජගත් පුෂ්පකුමාර යන මහතුන්ගේ ආරාධනයෙන් එවකට සංස්‌කෘතික අමාත්‍යවරයාව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2006 වසරේ ජුලි මස 23 වැනි දින මෙම කෞතුකාගාරය පිහිටුවා ජනතා අයිතියට පැවරීම සත්‍ය වශයෙන්ම ඉතිහාසය හදාරන්නන්ට දැක්‌වූ ගෞරවයක්‌ යෑයි අපට සිතෙනුයේ එම කෞතුකාගාරය තුළ තැම්පත් කර ඇති අවශේෂයන් මැනවින් විමසා බලන කලය.

වැල්ලවාය තිස්‌ස මාර්ගයේ කිලෝමීටර් 4 ක්‌ පමණ ගිය කළ බුදුරුවගල විදුහල අසලින් දකුණුපසට හැරීගොස්‌ එපමණම දුරක්‌ ගෙවූ කළ හමුවන බුදුරුවගල සෙල්පිළිම මෙන්ම එම ග්‍රාම නාමය කේන්ද්‍රකොටගෙන පිහිටුවා ඇති පහළ ඌව පුරාවිද්‍යා කෞතුකාගාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළාවූ වගකීම් සපුරාලීමකැයි අපට සිතේ. ඒ වගකීම නියත වශයෙන්ම ජාතික වගකීමක්‌ද වේ.

දුටුගැමුණු සද්ධාතිස්‌ස දෙසෝයුරන් අතර සටන් ඇවිලුනේ යෑයි පැවසෙන ඓතිහාසික ගුන්ථහාල හෙවත් වත්මන් බුත්තලට නුදුරින් පිහිටි යුදගනා චෛත්‍යය අසල පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ අවශේෂ රැසක්‌ මෙහිදී දැකගන්නට හැකිය. ඒවා අතර ලෝකඩ කොත්. ලෝකඩ බුදුපිළිම, මෙන්ම යුදගනා සෑයට නුදුරු චූලාංගනී පුරාවිද්‍යා ස්‌ථානයෙන් හමුවූ මැටියෙන් නිර්මිත කොතක්‌ද මෙහි තබා ඇත.

මෙහිදී දක්‌නට ලැබෙන එකල පැළඳුවේ යෑයි සැලකෙන ආභරණවල අවශේෂ සේ සැළකෙන පබලු, බුත්තල පටානගර කැණිම්වලින් හමුවී යෑයි විශ්වාස කෙරේ. මෙහිදී දක්‌නට ඇති බ්‍රහ්ම දේවරූපය මෙන්ම ශාන්තිකර්ම සඳහා භාවිතා කළ පූජා භාණ්‌ඩ හමුවී ඇත්තේ 1978 වර්ෂයේදී මාලිගාවිල පුරාවිද්‍යා ස්‌ථානයේ සිදුකළ කැණීම්වලිනි.

තිස්‌ස කුමරුන් සිය සහෝදරයාට බියෙන් පලාවිත් භික්‌ෂූන්ගේ ඇඳක්‌ යට සැඟවුණේ යෑයි ඉතිහාසය කියන දෙමටමල් විහාරය ආශ්‍රිතව 1983 වසරේදී සිදු කළ කැණීම්වලින් හමුවූ ත්‍රීශූලයක්‌ දරාගත් දේව ප්‍රතිමාව, ලෝකඩ ප්‍රතිමාව, ලෝකඩ පහන්, හක්‌ගෙඩිය ආදිය සෙසු අවශේෂ අතර වෙසෙස්‌ තැනක්‌ උසුලයි. එසේම 1987 වසරේදී දෙමට මල් වෙහෙරේ බෝධි මාලකයේ කැණිම්වලින් හමුවූ පුරාවස්‌තු, බ්‍රහ්ම සංකල්පය නිරූපිත ඉබ්බාගේ මූර්තිය, පහන් දෙක සහ ලෝකඩ තහඩු මෙන්ම බුත්තල යටියල්ලාතොට පඨානගරයේ කැණිම්වලින්ද යකඩ ඇණ, යඩක වළලු, යකඩ නළ සේම මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත් පිත්තල බුද්ධ ප්‍රතිමාව සුවිශේෂී අගයකින් යුක්‌තය.



මෙහි දක්‌නට ලැබෙන කුඩා ප්‍රමාණයේ ලෝකඩ බුද්ධ ප්‍රතිමා 30 ක්‌ හමුවී ඇත්තේ ඇඹිලිපිටියේ කොළොන්නට නුදුරු හෙළ උඩකන්ද ප්‍රදේශයෙනි.

එසේම මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා සහිත රාමුවක්‌ මෙහි දක්‌නට ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනුවේ විකාශය සේම කාසි භාවිතය පිළිබඳ තතු සේම අවශේෂ අඩංගු අපශයක්‌ තුළින් කාසි පිළිබඳ උනන්දුවන පිරිසගේ දැනුම වඩවන්නේ යෑයි කීවොත් එය නිබොරුය. මුදල් ලෙස අතීතයේ පබලු, බෙල්ලන්, සිප්පිකටු, ආභරණ, ලෝහ කැබලි, ලෝහ පතුරු, රන් රිදී සේම තඹ මෙන්ම විවිධ සංකේත සටහන් කළ ක්‍රිස්‌තු පූර්ව 3- 1 ශත වර්ෂවලට අයත් අවශේෂයන් පිළිබඳ මෙහිදී අවබෝධයක්‌ ලද හැකිවෙයි. එසේම කාසිවලට වෙන්වූ කොටසෙහි ප්‍රදර්ශනයට තබා ඇති ස්‌වස්‌තික කාසි, ලක්‍ෂමී කාසි 3 - 4 වැනි සියවස්‌වලට අයත් සිංහ, වෘෂභ කාසි. කහවනුව, අඩකහවනුව, දෙඅත, අක, අඩමස්‌ස, සේතුකාසි, (ක්‍රි. ව. 5 - 14) පෘතුගීසි කාසි,

17 වැනි සියවසට අයත්) දහහත්වැනි සියවසට අයත් ලංදේසි කාසි සහ නෝට්‌ටු දහඅට වැනි සියවසේ ඉංග්‍රීසි කාසි 3 - 1 සියවස්‌වලට අයත් හස්‌එබූ කාසි ලංදේසි හා ඉංග්‍රීසි කාසි වර්ග, සත බාගය, ලීලාවති රැජණිගේ කාසි තුට්‌ටු එකේ කාසිය, තුට්‌ටු බාගය, පාර්දින් බාගය, සහස්‌සමල්ල රජුගේ කාසිය, තුට්‌ටු කාල, බ්‍රිවැනියාර් එකේ කාසිය, පාර්දීන් කාල සහ සත දෙකේ කාසිය, දෝඩහංග දේවරජුගේ කාසි අතර සුවිශේෂී වෙයි.



මිශ්‍ර ලෝහයෙන් තැණුනු ද්විභංග පාර්වතී ප්‍රතිමාව කදිමය. කලාත්මයකය.

මෙහි කතරගම පූජා භූමියෙන් ලැබුණු පිත්තලෙන් නිම කළ පොල් තෙල් පහනක්‌ද වේ. එසේම මිශ්‍ර ලෝහයෙන් තනා ඇති ඉලත්තට්‌ටුවක්‌ද මෙහි දක්‌නා ලැබේ.

සෙසු අවශේෂයන් අතරින් කැපී පෙනෙන ශිවභක්‌තික කාන්තාව, සරස්‌වතී ප්‍රතිමාව, බුත්තල චූලාංගනීසෑය අසලින් ලැබුණු ගඩොල් ලීස්‌තර, වා කවුලු සඳහා යොදාගත් ගඩොල්, කලාත්මක ගඩොල්, බොරදම් සහිත ගඩොල්, විවිධ සටහන් සහිත ගඩොල්, පෙති උළු, මුදුන් උළු කැට, අක්‌ෂර සහිත ගඩොල්, උළු ඇණ, මැටි ජල නල මේවා හමු වී ඇත්තේ මොණරාගල ගලබැද්ද බිසෝකොටුව අසළිනි. මේවා එහි පාවිච්චියට ගන්නා ලද්දේ යෑයි සැලකේ. චීන හා මැටි බඳුන්, මාතොට පැරැණි වරාය කැණීමෙන් හමුවූ හංසරූප සහිත මැටි පුවරු ඌව පළාතේ ඉපැරණි පුණ්‍ය භූමියක්‌වූ මාලිගාවිලින් සොයා ගත් මුරගල් නරඹන දකින විමසන සැමගේ ඥානය පුළුල් කරන සුළුය.




මෙම අනාගත උරුමයෙන් දැනුම් ගබඩාවෙන් දැනුම පෙරා ගැනීම ජනතා වගේ මෙන්ම සිසු පරපුරේ අපේක්‌ෂාවන් විය යුතුය.

වැල්ලවාය-දඹේගොඩ ජිනදාස

Search This Blog