dunhinda.com

Wednesday, April 23, 2014

බදුල්ලෙන් හමුවූ දහම් දෙසන බුදුරුව

ක්‍රි. ව. 6 වැනි සියවසට අයත් බවට විශ්වාස කෙරෙන 'දහම් දෙසන බුදුරුව' බදුල්ල දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ. සෙ. මී. 54.5ක් උසැති මෙම බුදු රුව වීරාසන ඉරියව්වෙන් නිර්මාණය කොට ඇත. දකුණු අතින් විතර්ක මුද්‍රාවත්, වම් අතින් කටක මුද්‍රාවත් දක්වන 'දහම් දෙසන බුදුරුව' සිවුරු කොන් දරා, වැඩ සිටින ඉරියව්වෙන් නිමවා තිබේ.



දක්ෂිණාවර්ථ කෙස් පිඬු සහිත හිස මුදුනේ උෂ්ණීෂය මඳක් ඉහළින් නිමවා ඇති මෙම බුදුරුවේ තථාගතයන් වහන්සේ දහම් දෙසන ඉරියව්ව මැනවින් මතු කර තිබේ. දක්ෂිණ උරය විවෘත ආකාරයෙන් පවතින මෙම දහම් දෙසන බුදුරුවේ ඇති විශේෂත්වයක් වන්නේ සිරුර විනිවිද පෙනෙන ආකාරයට පොරවන ලද චීවරයේ තනි රැලි උඩට විහිදී තිබීමයි. ශරීරය ඍජුව පිහිටන පරිදි මහා පුරුෂ ලක්ෂණයන්හි පෙනුමට නිතැතින්ම උසස් තැනක් හිමි කර දෙමින් නිමවා ඇති මෙම දම් දෙසන බුදු රුවේ නෙත් විවෘතව පවතී.

පූර්ව අවධානයෙන් යුතුව දහම් දෙසන ඉරියව්වෙන් නිමවා ඇති මෙම බුදුරුව ශුෂිර වාත්තු ක්‍රමයට නිමවා ඇත. වෙනත් බුදු රුව මෙන් නොවූ මෙම සම්ප්‍රදායට අයත් බුදු රුව ඇත්තේ ඉතා දුලබ වශයෙනි.

ක්‍රි. ව. 6 වැනි සියවස තෙක් අතීතයට දිවෙන මෙම ඉපැරැණි දහම් දෙසන බුදුරුව ජාතියට උරුම වූ කෞතුක වස්තුවක් වන අතර මේ වනවිට එය කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ප්‍රදර්ශනය පිණිස තැන්පත්කොට තිබේ.

සටහන/ඡායාරූප - සමිත් මධුරංග
http://www.mawbima.lk/95-55904-news-detail.html

Tuesday, April 15, 2014

ඌව පළාතේ සුන්දරත්වය මනාව දැකිය හැකි පුංචි ලෝකාන්තය - Mini Worlds End

ඌව පළාත පාරිසරික සුන්දරත්වයෙන් හෙබි අලංකාර ස්වාභාව දහමේ නිර්මාණයන්ගෙන් පෝෂණය වූ පළාතෙකි. බදුල්ල පස්සර පිහිටි පුංචි ලෝකාන්තයත් එවැනි අපූරු නිර්මාණයකි. බදුල්ලේ සිට කිලෝ මීටර් 61 ගමන් කල විට පුංචි ලෝකාන්තය දැකගන්නට හැකි වෙයි. බදුල්ලෙන් ගමන් ආරම්භ කරන්නෙකුට පස්සර නගරය දක්වා ගමන් කොට පස්සර නගරය පසු කරනවාත් සමඟ ඇති පස්සර මඩොල්සිම මාර්ගයට පිවිස එහි සිට කිලෝමීටර් 42 ගමන්ගත් කල මෙම මනස්කාන්ත පරිසරයට ඔබට පිවිසිය හැකිය. මෙය හරියටම ඌව පළාත් මායිමක පිහිටා ඇති අතර මෙහි සිට නැගෙනහිර පළාතේ සුන්දර දසුන් දැකගත හැකි  එක් ස්ථානයක් ලෙස සැලකිය හැකිය.




ගමන යන අතර වාරයේ සුන්දර තේ වතු අලංකාර කුඩා දියඇලිද ඔබට දැක ගත හැකිය. එමෙන්ම ඉතා රමණීය කදු පන්ති අතරින් වට වූ සුන්දර ගම්මානද දැකගත හැකිය. ගමන් ගන්නා මාර්ගයේදී ඔබට ජෛව විවිධත්වය කෙසේ දැයි හොදින් පැහැදිලි පැහැදිලිව විදිය හැකිය. වනසතුන්, කුරුල්ලන්ද ගහණ ප්‍රදේශයකි. බදුල්ලේ දුෂ්කරම දිස්ත්‍රික් මායිම් ගම්මාන වන පිටමාරුව හා  ඇකිරිය ගම්මානද මෙම ප්‍රදේශයට කිට්ටුව පිහිටා ඇත. කොකාගල වතුයාය පසු කරනවාත් සමඟ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ අනුරුවක් ලෙස සැලකෙන ඩී එස් ගල ඔබට ඈතීන් දැකගත හැකි වේ. කොකාගල වතුයායේ තේ කර්මාන්ත ශාලව පසු කර මද දුරක් යන විට අඩි 1250ක් ඇති පුංචි ලෝකාන්තයට ඔබට පිවිසිය හැකිවේ. එහි පිවිසෙන විට ඔබේ මනසට දිව්‍ය ලෝකයකට පිවිසියා යැයි සිතෙනනට පුළුවන. එතරම් එම පරිසරය සුන්දරය. 

පුංචි ලෝකාන්තයට පිවිසි ඔබට දෙන විශේෂ අවවාදය නම් එම ස්ථානයේ සිට පහල බැලීමෙදී අයිනට නොයන ලෙසයි. එහි සමහර අවස්ථාවල සුළඟ ඉතා දැඩිව හමන හෙයින් ඔබව ඇදගෙන යාමට ඇති ඉඩකඩ වැඩිය ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වී පාරිසරික සුන්දරත්වය විදගන්න.

මෙම ගමනට මාත් සමඟ එක්වූ ධමින්ද හේරත් මගේ ගුරුතුමාටත්, නුවන් මල්ලීටත් මගේ විශේෂ ස්තූතිය පුද කරමි.
පුලස්ති වන්නිආරච්චි.







































කතරගම කිරිවෙහෙරෙන් කිරි ඉතිරෙයි


Sunday, April 13, 2014

බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් එක් මනස්කාන්ත සුන්දර ස්ථානයක් වූ ලිප්ටන් සීට් - (Lipton Seat)

මනස්කාන්ත සුන්දරත්වයෙන් හෙබි ඌව පළාතේ තවත් එක් සුන්දර ස්ථානයක් වන ලිපටන් සීට් උෟව පළාත් වාසීන් මෙන්ම ලංකාවාසීන් ජීවිතයේ කිනම් වූ අවදියක අනිවාර්යෙන් නැරඹිය යුතු ස්ථානයකි. එය එතරම් සුන්දරය. 



බදුල්ල කොළඹ මහා මාර්ගයේ හපුතලෙන් හැරී කිලෝ මීටර් 12 ගමන්කල පසු දඹේතැන්න වතුයායට පිවිසෙයි අක්කර 925ක් වූ වතුයායේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇත විශාලතම තේ කම්හල පිහිටා ඇත්තේ මෙම වතුයායේ වීමයි. එම වතුයායේ කිලෝ මීටර් 6ක් ගමන් කල පසු ඉහල මායිමේ මෙම සුන්දර ස්ථානය පිහිටා ඇත. එමෙන්ම ඔබට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලින් වැටී ඇති පූනාගල පාරේ කිලෝමීටර් 6ක් පමණ ගොස් නායබැද්ද පාරෙන් දඹේතැන්න වතුයායට පිවිසිය හැකි අනික් මාර්ගයයි. 




මෙහි ඔබ යන්නේ නම් උදෑසන කාලයේ යා යුතුය. එවිට ඔබට අවට පරිසරය මීදුමෙන් තොරව දැක බලාගත හැකිය. එහි ඇති සමරු පලකයට අනුව 1890 ශ්‍රීමත් තෝමස් ලිප්ටන් මහතා විසින් දඹේතැන්න වතුයාය මිලදී ගෙන ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කොට ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක  ඉහළින් පිහිටි මෙම ස්ථානයේ වැවෙන තේ සඳහා ඉතා ඉහල ඉල්ලුමක් පවතින බවත් සදහන් කර ඇත. මෙහි වසරක නිෂ්පාදනය තේ කිලෝ ග්‍රෑම් මිලියන 12 පමණ වේ. 













මෙම ස්ථානයේ සිට හම්බන්තොට, ත්‍රිකුණාමලය, ශ්‍රී පාදය, වැඩ සිටි කන්ද, මඩකලපුව, මොණරාගල, රත්නපුරය සහ දෙවුන්දර ස්ථානයන් දැක ගත හැකිය. දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප‍්‍රදීපාගාර යන්හි එළියද දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති. නමුත් ඔබ මීදුමෙන් තොර වූ දවසක එහි යෑමට වග බලා ගත යුතුය. එමෙන්ම එම ස්ථානයේ සිට ඉතා පහලින් ඇති රක්ෂිතයන්හි ගැවසෙන අලි ඇතුන්ද කලාතුරකින්‍ෙ දැකගත හැකි වේ. ජෛව විවිධත්වයෙන් සපිරි ඌව පළාතේ තවත් එක් සංදිස්ථානයක් වන ලිප්ටන් සීට් අවට පරිසරයේද ඔබට විවිධ සතුන්, ශාක එමෙන්ම අලංකාර මල් දැක ගත හැකි වේ. මෙහි එන දේශීය විදේශී්‍ය සංචාරකයන් පිරිස් අති මහත්ය. මෙහි පැමිණෙන්නෙකු හෝරා කිහිපයක් එහි රැදී සිටීමට අනිවාර්යේන් වග බලාගන්නේ එහි ඇති සුන්දරත්වය නිසාමය.

ශ්‍රී ලංකාවේ පළමු වැනි කඳු මුදුනක එලිමහනේ පෝරු මස්තක වූ ප්‍රථම මංගල යුවල ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික මනාලිය වූ ෂූ දේශීය උඩරට සම්ප්‍රදායේ මනාලියක් සේ මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්ස් ජාතික ඇදුමෙන්  හැඩවී සිට තම සරණ මංගල්‍ය උත්සවය ගනිමින් 2011 වසරේ ජනවාරි මස ඉතිහාසයට එක් විය. 



වැහි කාලගුණයන් ඇති කාලවලදී මෙහි නොයන තරමට හොද යැයි පැවසිය හැකිය මන්ද අකුණු ඇදීමේ අවධානමක් මෙම ස්ථානයේ ඇත. 2012 වසරේ කොරියානු ජාතිුක තරුණයෙක් හා තරුණියක් අකුණක් වැදී මිය ගියෝය. මෙහි ප්‍රදේශවාසීන් පවසන් ආකාරයට ඔහු කිහිප විටක් එම ප්‍රදේශයට පැමිණ ඇත. අවසන් වරට ඔහු දින 15 ලිප්ටන් සීට් ප්‍රදේශ වාසින් සමඟ නැවතී සිට ඇත. සිද්ධිය වූ දිනයේ මෙම අක්කා සහ මලෝ දෙදෙනා ඡායා රූපයක් රැගෙන ලිප්ටන් සීට් කුඩා කූඩාරමේ සිට අන්තර් ජාලය හා සම්බන්ධ වී ඡායාරූපය තම මිතුරන් සමඟ බෙදාගනිමින් සිට ඇත. අපේ පාලිත ආරියවංශ මහතා එම සිදුවීම ලංකාදීප පුවත්පතට වාර්ථා කරන ලදී. ලංකාදීප පුවත්පතේ පලවූ ඒ අවාසනාවන්ත පුවතට පිවිසෙන්න http://lankadeepa.lk/index.php/articles/70526

මෙම ගමනට මාත් සමඟ එක්වූ ධමින්ද හේරත් මගේ ගුරුතුමාටත්, නුවන් මල්ලීටත් මගේ විශේෂ ස්තූතිය පුද කරමි.
- පුලස්ති වන්නිආරච්චි.

Thursday, April 10, 2014

යාල මහ වනයේ අලි ඇතුන් සමඟ

යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යානවල භාරකරු හැටියට මා රාජකාරි කළ වකවානුවේදී එම උද්‍යානවලට නිතර ආ ගිය අමුත්තන් සහ මගේ මිත‍්‍රයන් මගෙන් නිරන්තරයෙන් ඇසූ ප‍්‍රශ්න ගණනාවක් විය. ඉන් මා වැඩිම සිත්ගත් පැනය වූයේ ”විල්සන් මහත්මයා කොහොමද මේ වනසතුන් ගහණ වනාන්තරවල අනතුරක් නොවී රාජකාරි කරන්නේ.... අපි අහලා තියෙනවා ඔයා කැලේ අලින් ළඟටම යනවා කියලා.” මුලින්ම, එනම් 1968 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු මා වසරක් පමණ ගතවන තුරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මා ඇසූ පැනයද එයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට මියගොස්ය. නැතහොත් වියපත්ය. ඔවුන් මට දුන් පිළිතුරු, මග පෙන්වීම්, උපදෙස් සහ වසර 40 කට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ලත් පළපුරුද්දෙන් එම පැනයන්ට පිළිතුරු දීමට අද මම පිරිපුන්ව සිටිමි.



මා මුහුණ දුන් ඉතා අවදානම් වූ අවස්ථා සහ පළපුරුද්දෙන් මා උගත් කරුණුවලින් බිඳක් ඔබ හමුවේ තැබීම අද මගේ ප‍්‍රයත්නයයි.

හඹා එන වන අලි නතර කරලීම:
යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු වශයෙන් මා සේවය කළ 1990 වසරේ දෙසැම්බර් මාසයේ දිනක උද්‍යානයේ විසූ දැවැන්ත දළ ඇතකුගේ හිසේ නළල (forehead) මතවූ තුවාලයකින් සැරව ගලන බව සේවකයන්ගෙන් මට දැනගැනීමට ලැබිණ. ක්ෂණයකින් මා කාර්ය මණ්ඩලය කැඳවා තුවාල වූ ඇතා ගැන කරුණු විමසීමේදී අසන්නට ලැබුණේ ”සර් ඔය ඇතා අද උදේ ගෝනගල පිටියේදී අපට දකින්නට ලැබුණා.” යන්නයි.
උද්‍යානයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුවේ සිට කි.මී.  නමයක් දුරින් යාල උද්‍යානයේ 1 කොටස තුළ ගෝනගල පිටිය පිහිටා ඇත. ගෝනගල වනාහි කාවන්තිස්ස රජ වකවානුවේ පුරාණ චෛත්‍යයකි.

නොපමාව මා ඇතාගේ තුවාලය පරීක්ෂා කළ යුතුය. එවන් රාජකාරියක් යටත් සේවකයකු වෙත පැවරීම මා කිසිම දිනක නොකළ දෙයකි. නළල් තලයේ පවතින තුවාලයක් බැවින් එය පරීක්ෂා කිරීමට මුහුණට මුහුණ දෙමින් ඇතා ඉදිරියට මා යා යුතුය. යාල උද්‍යානයේ 1 කොටස තුළ උදේ සිට සවස්වන තුරුම දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහන ශබ්ද ඝෝෂාව මධ්‍යයේ ඔවුන් බලා සිටියදී එය කිරීමද නුවණට හුරු නොවේ.

එබැවින් සවස 6.00 පමණ සියලූ වාහන උද්‍යාන ගේට්ටුවෙන් පිටමං වී ඇති බව තහවුරු කරගෙන මගේ නිල ජීප් රථයෙන් රියැදුරු සමග ගෝනගල පිටියට ළඟා වීමු. අතරමගදී අලි රංචු හමුවුවත් කළුවර වැටීමට පෙර මගේ අරමුණ ඉටුකර ගත යුතුව තිබේ. ප‍්‍රමාද නොවී ගෝනගල පිටිය මැදට රථය ධාවනය කළ රියැදුරු ”අන්න සර් ඇතා ඉන්නවා” රථයේ සිට මීටර් පනහක් පමණ ඈතින් වනරොදෙන් පිටතට නිසොල්මනේ ගමන් කරන ඇතා මට පෙන්වීය. රථයෙන් පිටතට බැස ගෙන දුරදක්නයෙන් ඇතාගේ නලල් තලය පරීක්ෂා කළ මට පෙනී ගියේ එය අලූත් තුවාලයක් බවය. කෙසේ වෙතත් ඇතා සමීපයටම ගොස් තුවාලය පරීක්ෂා කළ යුතුය.

ආපස්සට හැරුණු මා රියැදුරු අමතමින් බැරිවෙලාවත් ඇතා මට පහරදීගන්න බැරි වුණොත් ජීප් රථයට ගහයි. ඒ නිසා ඈතට ගිහින් පාර අයිනේ නතර කරන්න” මම උපදෙස් දුනිමි. සවස හය පසුවී ඇති බැවින් එම මාර්ගයේ වෙනත් වාහන කිසිවක් නැත. මම විනාඩි පහක් පමණ ඇතාගේ ඉරියව් අධ්‍යයනය කළෙමි. ජීප් රථයේ එන්ජිමෙන් නික්ම ගිය ශබ්දයට අවධානය යොමු කරගෙන සිටි ඇතා යළි ස්වභාවික හැසිරීමට එළඹිනි.

ඡායාරූපයක් ගැනීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා වනසතකු හෝ පක්ෂියකු සමීපයට යන අයකු තම ඇඳුමේ වර්ණය ගැන සැලකිලිමත් විය යුතුය. වඩාත් සුදුසු වර්ණය කොළ (Jungle green) පැහැයයි. සියලූ ශබ්ද වලින් තොරව එම සතා දෙසට පියවර නැගිය යුත්තේ ඔහු තමා ගැන අනවධානයෙන් සිටින විටදීය. උදාහරණයකට සතා ආහාර බුදින විට එය ප‍්‍රයෝජනයට ගෙන පියවර කීපයක් ඉදිරියට ගොස් සතාගේ අවධානය තමා වෙත එල්ලවන විටම නිසොල්මන් වියයුතුය. එවිට ඔහු ස්වල්ප වේලාවක් ආගන්තුකයා දෙස බලා සිට නැවත ආහාර බුදීම ආරම්භ කරනු ඇත. මේ අන්දමින් සතා සමීපයටම යා හැකි වුවත් අලියකු සමීපයට යාමේදී හමන සුළෙඟ් දිසාව තමාගේ මරණය කැඳවන්නක් විය හැකිය.



සුළඟ තමා පසුකොට අලියා දෙසට හමා ගිය කෙණෙහිම මිනිස් ගඳ (Human odour) ඉව වැටී කෝපාවිෂ්ඨ වන අලියා ආගන්තුකයා සිටින්නේ ඈතින් නම් ඌ පළා යන්නේය. ඇතා සමීපයට සහ ඉදිරියට පියවර නගන මම මේ සියල්ල දැන සිටියෙමි. සුළඟ ඇතා දෙසින් මා වෙතය. මේ අවස්ථාවේ දුර දක්නයකින් බැලීම අන්තරාදායක වන්නේ එය තුළින් අලියාගේ ඉරියව් හරිහැටි නොපෙනෙන බැවිනි. අලියාගේ නළලේ තුවාලය පියවි ඇසින් හොඳ හැටි මම දැක ගතිමි. එය වෙඩිකරුවකුගේ වෙඩි පහරක් වුවත් මොළයට (Brain) හානියක් සිදුවී නොමැති සැටියක් පෙනේ.

දැන් මා සහ ඇතා අතර දුර යාර 30 ක් පමණය. මම ඉදිරියට යාම නතර කළෙමි. ඇතාගේ ඉරියව් වෙනස් වන ආකාරය මට පෙනේ. ඔහු කන් පෙති දෙක කෙළින් කරගෙන හොඬවැල අග කොටස මුව තුළට ගති. ඇතාගේ අවධානය හා දෙඇස් මා වෙත යොමුවී ඇති අතර මගේ දෙඇස් කෙළින්ම ඔහු වෙතය. තව මොහොතකින් ඔහු මා වෙත හඹා එන බව මම හොඳින්ම දැන සිටිමි. මේ සුන්දර වනපෙතේ අධිපති මමයි. ඉන් නැගෙන අභිමානයෙන් මගේ සිත තුළ දැඩි චිත්ත ශක්තියක් ජනිතව තිබේ. මම තවත් පියවරක් ඉදිරියට ගත් තැන ඇතා විශාල ඝෝරනාඩු ශබ්දයක් මුවින් පිටකරමින් හොඬවැල නමාගෙනම මා වෙත හඹා එන්නට විය.

මම එකදු අඩියක් පස්සට නොගෙන නොබියව මුහුණ දෙමින් මගේ පාදයේ ඇඟිලි තුඩුවලින් ශරීරය එක්වරම උඩට උස්සා අත්දෙක දෙපසට විහිදුවා ඉතා අධික උස්හඬින් කෑගසමින් ”දහ අලියා ඒයි කොහෙද බොල එන්න හදන්නේ” නොනවත්වා කියාගෙන ගියෙමි. මගේ කටහඬ දැඩිය. එයද ඝෝරනාඩු ශබ්දයකි.
එම ශබ්දය නිසොල්මන් වනාන්තරයේ දෝංකාරය විය. 1973 වසරේදී ගල්ඔය ජාතික වන උයනේදී ඉතාමත් අනපේක්ෂිත අන්දමින් මුහුණට මුහුණ ලා හමුවූ දැවැන්ත කුළු මීහරක් මදයකු කෝපාවිෂ්ට වී ඊයක් ලෙසින් අප වෙත හඹා ආ අවස්ථාවේදී පවා ඔහු පලවා හැරියේ අපගේ දැඩි කට හඬ ශබ්දයෙන් බව මට සිහිපත් විය.

අනතුරුව තව තවත් උස්හඬින් ඇතාගේ මුහුණ දෙස බලාගෙනම බැණවැදුණි. එකෙණෙහිම නතරවූ ඇතා ආපසු නොහැරී ආපස්සට යන්නට විය. මමද ආපසු නොහැරී ඇතා දෙස බලාගෙනම යාර 15-20 පමණ ආපස්සට වුත් මගේ නිල රථය නතර කොට තිබූ මාර්ගය දෙස බැලූවෙමි.

මගේ රථයට අමතරව තවත් වාහනයක් මාර්ගයේ නතර කරගෙන ඒ තුළ සිටි අමුත්තෝ මා දෙස බලා සිටිති. මේ අවේලාවේ මෙතැනට ආ පිරිස කවුද යන්න සිතමින් මගේ රථය ගෙන එන ලෙස රියදුරුට සංඥාවක් කොට මම මාර්ගය දෙසට පිය නැගුවෙමි.

මොහොතකට පසුව ආගන්තුක රථයේ සිට එළියට පැමිණියේ මගේම කාර්යාලයේ සේවය කරන වන ජීවී අඩවි සහකාර ආර්.පී. කරුණාසේන මහතාය (දැනට විශ‍්‍රාමික). කරුණාසේන මා අසලට පැමිණ ”සර් මම එක්ක ආ කණ්ඩායම නතර වෙලා ඉන්නෙ උද්‍යානයේ බුතව බංගලාවේ. ජීප් රථයේ ඉන්න දොස්තර මහත්තයා සර්ට පොඞ්ඩක් කතා කරන්න පුළුවන්ද අහනවා”


කවුරුන් වුනත් මට පහරදීමට හඹා ආ ඇතා නතර කළ ජවනිකාව දුටුවෙන් ඉන් ජනිත වූ කුතුහලය නිසා මට කතා කිරීමට අවශ්‍ය වූ අයකු විය යුතුයැයි මට සිතුනි. එය මගේ රාජකාරියේ අංගයක් බව කල්පනා කළ මා එම රථය අසලට ගියෙමි.

රියැදුරු අසුනේ වාඩිවී සිටි අය මට කතා කරමින් ”විල්සන් මහත්මයා මම මාතර මහ රෝහලේ ප‍්‍රසව නාරි වෛද්‍ය හේමන්ත පෙරේරා. අපි දැනගන්න කැමතියි ඔයා අර ඇතා නතර කළේ කොහොමද කියලා”

මද සිනහවක් පෑ මම පොඩි විජ්ජාවක් කළා. ඔයාලා ලබන වතාවේ යාල ආවම විස්තරේ කියන්නම් කළුවර වැටීගෙන එන නිසා දැන් බංගලාවට යන්න” යයි මම කීවෙමි. යාබද අසුනේ වාඩිවී සිටි හේමන්ත පෙරේරා මහත්මිය හේමන්ත මහතාගේ කණට කොඳුරා යමක් කීය. ඇයද වෛද්‍යවරියක් බව මම පසුව දැනගතිමි.

”එහෙනම් අද රාත‍්‍රී අප ඉන්න බංගලාවට එන්න. අපිත් එක්ක කෑම ටිකක් කාලා යන්න” වෛද්‍ය හේමන්ත මට ආරාධනා කළෙන් මම මගේ නිවහනට ගොස් රාත‍්‍රී ඔවුන් පදිංචිව සිටි බංගලාවට පැමිණියෙමි.

එහෙත් ඇතා නතර කළ ආකාරය එදින හෙළි කළේ දැයි මතක නැත. මේ වන විට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව නාරි වෛද්‍ය විශේෂඥ වරුන්ගෙන් කෙනෙකු වන වෛද්‍ය හේමන්ත පෙරේරා සහ එම මහත්මිය එදින සිට මගේ හොඳ මිත‍්‍රයෝ වූහ.

http://www.lankadeepa.lk/index.php/articles/222590

Tuesday, April 8, 2014

හපුතලේ කන්දෙන් කන්දට කෝච්චි එළිය වැටෙන විට හරිම ලස්සනයි

සද්ධන්ත ප්‍රේමය සුන්දරයි, මහවන මැදට රකුසන් ඇවිත්, රන් පොළොව සාගින්න හා මරණය වැනි සොබා දහමත් ගොවිතැනත් එක් කොටගත් පොතපත ඇසුරු කරන විට ප්‍රවීණ පරිසර මාධ්‍යවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා කෙතරම් පරිසරය හා බැදුනෙකු දැයි අපට පැහැදිලි වෙයි. උපන්ගම රත්නපුර වූ නිසාම කිරිඇල්ල සමූහ වාර්තාකරු ලෙස 1989 දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ ඔහුගේ සේවය සිළුමිණට ද ලැබිණි. 1991 දී බදාදා ලංකාදීපයේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කළ ඔහු 1994 ඇරැඹුණු ඉරිදා ලක්බිම පුවත්පතේ ආරම්භක සාමාජිකයකු විය. හොඳම පාරිසරික මාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් ප්‍රථම වරට 1998 දී පිදුම් ලද ඔහු ඉන් වසර දෙකකට පසු ඇරැඹි දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රාදේශීය කර්තෘවරයා ලෙස දහතුන් වසරක් සේවය කළේය. මේ වන විට සහාකර කතුවරයකු ලෙස ඔහුගේ සේවය සපයන්නේ ඉරුදින පුවත්පතටයි.




පරිසර මාධ්‍යවේදියකු ලෙස රට පුරා බොහෝ තැන්වල ඇවිද ඇති ඔහුගේ දෙනෙතට නිරීක්ෂණය වූ බොහෝ ලස්සන තැන් තිබිය යුතුය. එහෙත් පරිසරලෝලියකු දුටු ලස්සනම තැන විය යුත්තේ පරිසර සුන්දරත්වය මෙන් ම දැනුමක් ලැබිය හැකි ස්ථානයක් බව ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතාගේ අදහසයි. ඔහු එය විස්තර කරන්නේ මෙසේය.



“පරිසරය ගැන උනන්දුවන කවුරුන් හෝ වේවා. ජීවිතේ එක වතාවක්වත් ඇවිද තිබෙන්න එන ප්‍රදේශයක් තමයි මේ.”



තමන් විඳි සොබා සොඳුරු චමත්කාරය කෙතරම් ද යන්න කීමට මුල පුරමින් කී ඔහු පළමුව එහි යන ගමන් මාර්ගය දීර්ඝ වශයෙන් දැක්වූයේය.



“කොළඹ බදුල්ල පාරේ බෙලිහුල් ඔය පහුකරගෙන උඩට යනකොට හපුතලේ ආශ්‍රිතව සංචාරයේ යෙදෙන්න මම කැමති, ඉතා කෙටි දුරකදී විවිධ දේශගුණික වෙනස්කම් අත්විඳින්න පුළුවන් නිසයි.”



“මේ පාර කළුපහන, බෙරයක් වගේ ගල් පර්වත හමුවන බෙරගල හරහා ගමන් කරන්නේ. වම් පැත්තේ උසට පේන්නේ මධ්‍යම කඳුකරය. එහි උඩින් ම හෝර්ටන්තැන්න දකුණු පැත්තේ වළවේ ගං නිම්නය. ඊට මෙපිටින් කිරිඳි ඔය නිම්නය. ඒ කිරිඳි ඔය ලෙස පහළ දී හඳුන්වන්නේ දියලුම ඇල්ලනේ. ඒ වගේ දිය ඇලි, ගංගා ගැන කතා කළොත් බණ්ඩාරවෙලට එහා කුඹල්වල හන්දියෙන් මාවනැල්ල පාරේ එද්දි රාවණා ඇල්ල හමුවෙනවා. ඒ දිය පහර කුඩා ඔය නමින් පහළ දී හමුවෙනවා.”



ඉන්පසු ඔහු බෙරගල පාර පිළිබඳ එක් එක් අය දුටු අයුරු ද විස්තර කළේය.



“බෙරගල ඉඳන් බලද්දි අපට පේන්නේ දැඩි බෑවුමක්නේ. භූගෝලියව සැලකුවොත් එය මධ්‍යම කඳුකරයේ පර්වත වේදිකාව කියන්න පුළුවන්. ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහත්මයා වරක් ලියා තිබුණා මට මතකයි මේ වේදිකාවේ සිට බලන විට පිදුරුතලාගල පාමුල වැතිරුණු පුංචි දරුවන් වගේ පොඩි පොඩි කඳු පේනවා කියලා. ඇත්තෙන් ම කොත් ආකාර කඳු රැසක් තැනින් තැන නැඟී සිටින හැටි බලන්න හරිම අපූරුයි.”



“ඒ වගේම බදුලු කෝච්චිය පට්ටිපොළ ඉඳන් හපුතලේ පැත්තට මහ පාන්දර ජාමෙට යනකොට කන්දෙන් කන්දට කෝච්චියේ පහන් එළිය වදින හැටි බලන්න ලස්සනයි. ඒත් එය බොහොම අහම්බෙන් තමයි දකින්න වෙන්නේ. මොකද කෝච්චිය යන වෙලාවට ඒ පාර අයිනේ ඉඳන් බලා ඉන්න කවුරුවත් නිදිවරන්නේ නැති නිසා.”



සිනාසී එසේ කියූ ඔහු හපුතලේ පාරේ ඉතිහාසය ද සිහි කිරීමට අමතක කළේ නැත.



“බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, කෝපි ආදිය ගෙනියන්න හැදුව පාර තමයි ඒ. කිලෝමීටර දොළහක් පමණ දුර මේ කරත්ත පාර අතිශයින් ම දුෂ්කර එකක්. ඒකනේ අපේ ජනශ්‍රැතිවල එන කරත්ත කවිවල හපුතලේ... කන්ද දැකලා බඩ දනවා... කියලා කීවේ.”



“තනිකර තේවතු තිබුණු පළාතක් වුණාට දැන් නම් එළවළු එහෙමත් තිබෙනවා. ඇඩිසන් බංගලාවත් මේ පාරේ තිබෙන අපූරු ස්ථානයක්. ඒ වගේ ම නොයෙක් නොයෙක් පරිසර පද්ධති මේ පාර දෙපස දකින්න පුළුවන්.”




“කඳු පන්තියක ඉහළ දිගේ යද්දි ඒවායේ නිම්න පෙනෙන්නේ හරිම චමත්කාරජනක විදිහකට. ඒ කඳු නාරටිය දිගේ හැන්දෑවට ඇවිදින කොට කොත් වගේ පෙනෙන කඳු ගැටි අතර මීදුම රැඳිලා, හරියට වලාකුළු ගංගාවකින් මතු වුණු දූපත් වගේ පෙනෙද්දි මැවෙන්නේ අමුතුම සුන්දරත්වයක්.”



“අද ඊයේ නෙවෙයි මේ දර්ශනය එදා සිට දකින්න ලැබුණු බවට හොඳ සාක්ෂියක් තමයි ඊ. කොළොන්නගේ විසින් පරිවර්තනය කළ “අලිපාර” නවකතාවේ මේ මඟ දෙපස ලස්සන ගැන කෙරෙන විස්තරය.”



තමන් විසින් දකින ලද ඒ චමත්කාරය දෙස ඔහු මනසින් මොහොතක් බලා සිටියා වැන්න. ඉන්පසු ඒ පාර දිග බොහෝ දුරක් ඔහු ගමන් කළා සේ යළිත් විස්තර කියන්නට ගත්තේය.



“හපුතලෙන් තවත් ටිකක් ඉහළට ගියාම ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානය තිබෙනවා. ඒ හරියෙන් බලද්දි වළවේ නිම්නය වගේ ම මහවැලියේ පරිවාර නිම්නය දිලිසෙන රිදී කඳක් වගේ දිය දහර පළාවන් පැහැය මතුවන පරිදි තැනින්තැන ගුරු පැහැය මිශ්‍රවුණු කඳු යාය අතරින් රටාවකට ගලා බසින්නේ දර්ශනීය භූමි දර්ශන මවමින්.”




ඉන්පසු ඔහු ඇඟට දැනෙන සොබා දහමේ වෙනස ගැනද කීවේය.



හපුතලේ හරිය ශීත දේශගුණය නිසා එහි වැඩෙන ගස්වැල්, සතුන් වගේ ම පරිසර පද්ධතියේ සංයුතිය දියලුම හරියෙදි දැඩි රස්නයට මාරු වෙනවා. ඇත්තෙන්ම පිච්චෙන අව්වක් තිබෙන්නේ. විශේෂයෙන් රාවණ ඇල්ල ප්‍රදේශයේ කට්ට අව්ව.”



ඇත්තෙන්ම ලංකාවේ දේශගුණික කලාප කීපයක වෙනස මේ ම‍ඟේ ගමන් කරන කෙටි දුරකදි විඳින්න පුළුවන්. හෝර්ටන් වගේම ශ්‍රිපාද මහ රක්ෂිතය ගංගා දියසීරාව සහිත ජලපෝෂක ප්‍රදේශ සහිත ප්‍රධාන තෙත් කලාපීය වනයත් ඉන් පහළට කිරිඳි ඔයේ ඉහත්තෑවේ සිට කැලෑ කුට්ටියත් දියලුම ඇල්ල දෙසට හා කොස්ලන්ද පැත්තට අතරමැදි දේශගුණය සහිත වනාන්තරත්, උඩවලවේ, ලුණුගම්වෙහෙර, ගම්පහ පෙදෙසට වියළි කලාපීය ලක්ෂණත් හොඳීන් දැනෙනවා.”



ඉන්පසු ඔහු කීවේ තමන් බොහෝ සෙයින් ප්‍රිය කරන අලි ඇතුන් වසන පෙදෙස ගැනය.



“බණ්ඩාරවෙල නගරයේ පොළ තිබෙන හරියෙන් දකුණට දියලුම හරහා කොස්ලන්දට යද්දී දර්ශනය හරිම විචිත්‍රයි. කඳු නාරටියෙන් නාරටියට පාර තිබෙන තැන්වල එහෙම තමයි. ඒ පාර වැටෙන්නේ දියලුම ඇල්ලේ මුදුනතටයි. ඒ ප්‍රදේශයේ විශේෂත්වය තමයි වළවේ හා ලුණුගම්වෙහෙර අලින් මේ හරියට පැමිණීම. යම් අවදානමක් තිබුණත් අලින් දකින්න අපි කැමැතිනේ.”



දිගින් දිගට තමන් දුටු ලස්සනම තැන වූ හපුතලේ කඳු නාරටි මාර්ගය පිළිබඳ විස්තර කළ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා. එහි වටිනාකම අප කෙතරම් අවබෝධ කරගෙන ඇත්ද යන්න පිළිබඳ මෙසේ විමසුවේය.



“මේ කලාපයට මම දැන් අවුරුදු තුනකින් පමණ ගියේ නෑ. හැබැයි එහි ගොල්ෆ් පිටියක් හදන්න යන බවට ආන්දෝලනාත්මක ආරංචියක් ලැබුණා. එය ඇත්තක් නම් පරිසරයට එයින් සිදුවන්නේ විශාල හානියක්.”



ඒ වගේම මෙහි ප්‍රධානතම පරිසර ගැටලුව තමයි වනාන්තර ඇතුළට එළවලු භෝග වගාව ව්‍යාප්ත වීම. එහි හානිය වන්නේ කෘෂි රසායන භාවිතය නිසා ජල පෝෂක හා ජල උල්පත්වලට ඒ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් ඒ වතුරෙන් යැපෙන පහළ කලාපයේ වැව් ටිකත් දූෂණය වීමයි. අනෙක හුදෙකලා ඉඩම්වල ගස් කපනවා. අනවශ්‍ය ඉදිකිරීම් නිසා විනාශයට පත් වෙනවා. විශේෂයෙන් නාකැටිය වැනි විශාලම නාය ගිය ප්‍රදේශය පවා ඇති මේ භූමි ප්‍රදේශයේ නීතිය නීතිය හැටියට ක්‍රියාත්මක වෙනවා නම් මේ පරිසර පද්ධති රැකෙයි. බණ්ඩාරවෙලටත් අලි එන තරමට අලි මිනිස් ගැටුමත් ප්‍රදේශයට ප්‍රශ්නයක් වන්නේ මෙහි පරිසර ස්වභාවය පිළිබඳ නිසි අවබෝධයකින් සුරැකීමේ කටයුතු නොකෙරෙන නිසා ද කියන පැනය අපට මතු වෙනවා.”



“අපි දුටු ලස්සන අපට ම වුණත් අනාගතේදි දකින්න නම් මේ දේවල් තුලනාත්මකව කළමනාකරණය විය යුතුයි.



‘සිළුමිණ’අන්තර්ජාල සංස්කරණය: ලේක්හවුස් - ශී‍්‍ර ලංකා

http://www.silumina.lk/2014/04/06/_art.asp?fn=ay1404061

Sunday, April 6, 2014

Sam's Story - සැමිගේ කතාව


2013 නිව්යෝක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද...
ප්‍රියංකර විතානාච්චි සිනමා සිත්තම... ඔබටත් රසවිදීමට දැන් දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශණය කරනු ලබයි...

රීගල් - කොළඹ | රීගල් - මීගමුව | රීගල් - නුවර | ලීඩෝ - බොරැල්ල | නයෝමී - ගම්පහ | මිලානෝ - කෑගල්ල | ප්‍රින්සස් - ගාල්ල | ඕඩියන් - ගල්කිස්ස | කන්ට්‍රාස්ට් - දළුගම | ඉම්පීරියල් - කුරුණෑගල | ඉම්පීරියල් - රත්නපුර | විජේන්ද්‍ර - අනුරාධපුර | දුල්මිණි - හොරණ | චිත්‍රා - කළුතර | නව සිනමා - මාතර | ඇමිටි ලයිට් - මහරගම | ජයලත් - කටුනායක | ඉම්පීරියල් - අවිස්සාවේල්ල

Web Site : http://www.samigekathawa.com
Facebook Fan Page: https://www.facebook.com/SamsStorythemovie
Facebook Group: https://www.facebook.com/groups/SamsStory
Google Plus Page : google.com/+SamigekathawaFilm


අතිශය සුන්දර වූ, සාමාජයේ වීශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන වැඩි වැඩියෙන් හිතන්නට යමක් ඇති කරන්නාවූ , සාර්ථක නිර්මාණයක පෙළහර අද දිනයේ මා මසැසින් දුටුවෙමි... එවැනි අය ගැන යමක් අනාගතයේදී වැඩි වැඩියෙන් කරන්නට මනසින් සිතුවෙමි... ජගත් චමිලයන්ගේ අග්‍රගනයේ ප්‍රතිභාපූර්ණ රංගනය ඉතා ප්‍රියකරුයැයි කටපුරා කිවහැකිය.. ප්‍රියංකර අයියේ ඔබ නම් ඉතා සුන්දර දක්ෂ අග්‍රගනයේ නිර්මාණකරුවෙකි... තව තවත් මෙවැනි ගුණාත්මයෙන් ඉහල නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ධෛර්්‍යය ලැබේවා!... ඔබට තෙරුවන් සරණයි!... - පුලස්ති වන්නිආරච්චි

Search This Blog