Wednesday, October 16, 2013

ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද

කොළඹ නගරයෙන් හිමිදිරියේ පිටත්වූ අප රත්නපුර බලංගොඩ හරහා කළුපහනට පැමිණෙන විට මධ්‍යාහ්නය ළඟා වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි. කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුර කි. මී. 5 යි’ යන්න සඳහන් කර තිබුණි.



අප රැගත් ඩබල් කැබ් රථය දියඇල්ල වෙත ඇදෙන පටු මාර්ගයේ වංගු ගැසෙමින් කඳු තරණය කරන්නට විය. මාර්ගයේ සමහර තැනක වළවල් හෑරී අබලන් වී තිබු නිසා වාහනය පැදවීම පරිස්සමෙන් කළ යුතු විය. අපි වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ඇදුණෙමු.

මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය. වාහනයේ කවුළු අතරින් හමා එන වේගවත් සුළඟ අව් රැල්ල පරදවමින් ගත සුවපත් කරයි. ඉහළ පහළ නැගෙමින් විවිධ උස් මට්ටම්වලින් නැගී සිටිනා පර්වත කූටයන් ද පහළ නිම්නයේ සිරි සිරියාවෙන් ගලා බසිනා දොළ පහරවල් ද අප නෙත පිනවයි. කඳු හිස් බොහොමයක් හිස් මුඩු කළ මිනිසුන් මෙන් වනයෙන් තොරව මුඩු බිම් බවට පත්ව තිබුණේ යටත් විජිත යුගයේ වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒවා තණ තලාවෙන් ද තැන තැන දැකගත හැකි බැදි කුට්ටිවලින් ද යුක්ත විය. පහත නිම්නයේ පැතිර ඇත්තේ දුෂ්කරතා ජය ගනිමින් ජීවිතය හා පොරබදන ගැමියන්ගේ මහන්සිය කියාපාන හෙල්මළු කුඹුරු ය. ජලය ගලා යන නාදයත් සුළඟේ “හෝ... හෝ...” වත් හැරෙන්නට පරිසරය නිසල ය.

මේ පාළු නිසංසලත්වයත් වටපිටාවේ මහා අවකාශයත් අප සිත් සමාධි ගත කරවන්නට සමත් වේ. කඳු මුදුන්වල උස වැඩි කරනා පයිනස් ගස්වලට ඉහළින් අහසේ කරකැවෙනා සර්ප රාජාලියකු ගොදුරකට ඉව අල්ලයි. වැහිලිහිණියෝ රංචුවක් සුළං පහර කපාගෙන වක්‍රාකාරව අහසේ පාවෙති.

ටික වේලාවකින් අප ඉදිරියේ ඉහළ නැග සිටියේ අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කඳු මුහුණතකි. බඹරකන්ද දියඇල්ල මේ පර්වත කූටය මධ්‍යයෙන් නිසංසලේ පහළට කඩා හැලෙන්නේ දිය සුදු පැහැති දිය සේලයක් මවා පාමිනි. සැබවින්ම එය මහා ජල ප්‍රවාහයක් නොවේ. උසට නොසරිලන තරම් කුඩා ජල ප්‍රමාණයකි, මේ දියඇල්ලේ අඩංගුව ඇත්තේ.

එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවට වනාන්තර එළි පෙහෙළි වී ඇති නිසා දියඇල්ලට එකතු වන ජල ප්‍රමාණය අඩුවීමයි. දියඇල්ල ඇරැඹෙන හෝටන් තැනිතලාවේ බෑවුම් ප්‍රදේශවල ද තේ වගාව නිසා වනය සමුගෙන ඇත.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්) වූ බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.

දියඇල්ල පෙනෙනා දුරින් වාහනයෙන් බැස ගත් අපි ඇල්ල පාමුලට ගමන් කරන්නට වූයෙමු. මේ අවට සිසිල් දේශගුණය සුවදායක හැඟීමක් අප තුළ ජනිත කරයි. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.

දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. සුළං පහරට හසු වී දිය කෙඳි ඒ මේ අතර පැතිරෙන අතර අවට ප්‍රදේශයම මේ ජල වාෂ්පයෙන් පිරී ගොසිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ. එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.

ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය. ඒ අවට ජලය පි‍්‍රය කරන ශාක වැවී අපූරු වන ගොමුවක් නිර්මාණය වී ඇත. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි ශාක අවට පැතිරී වටපිටාව සෙවණ කරයි.

දියඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ උඩුමේරිය තේ වතු යායයි. ඇල්ල අසලින් කඳු තරණය කරනා කුඩා මාවත උඩවේරිය හරහා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා අඩි පාරක් සේ ඇදී යයි. හෝටන් තැනිතලාවට දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණෙන සොබා රසිකයන්ගේ මාර්ගයක් බවට බඹරකන්ද පාර ද පත් ව තිබේ.

එමෙන්ම දියඇල්ල ඉහළට ගමන් කර අවට වටපිටාව වඩාත් සුන්දරව දැක ගැනීමට ද ඔබට පුළුවන. ඒ සඳහා අඩි පාර ඔස්සේ මීටර 200 ක පමණ නැගීමක් කළ යුතු ය. ඉතා දුෂ්කර මඟක පැය එකහමාරක් පමණ එහිදී ගමන් කිරීමට සිදු වේ. එය තවත් අපූරු පරිසර අත්දැකීමක් වනු ඇත.



දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම ඔබට දැක බලා ගත හැකි ය.

එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි. බඹරකන්ද දියඇල්ලේ පාර්ශ්වික දසුනකින් සිත් පිනවා ගැනීමට ද මෙහි දී ඉඩ ලැබේ.

අප කඳු යායක අතරමං වී ඇත. ඈතින් කඳු කපොලු අතරින් දිස්වන මහා අවකාශය පහළ ඌවේ කඳුවැටි හා නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇදී යයි. කඳු තරණය කරමින් විඳි වෙහෙස මෙම මනරම් දසුන නිසා අහෝසි වී ගොසිනි. සොබාදහම කෙතරම් සුන්දර ද? මේ කඳු අතර සිටින අප සිත් තුළ රැව් දෙන්නට වූයේ එම අදහසයි. එහෙත් ඒ සුන්දරත්වය පසක් කර ගැනීමට නම් අපගේ හදවත ද පිවිතුරු විය යුතු වේ.

කේ. එස්. විජේවර්ධන

http://www.silumina.lk/2010/08/29/_art.asp?fn=av10082918

Photo Credit goes to Dr. Athula Padmasiri.

Tuesday, October 1, 2013

යාල වන මැද කුළු හරක් රාජධානිය

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මා සේවය කළ වසර හතළිහට අධික කාලය තුළ වන සතුන්ගේ ප‍්‍රහාරයන් හමුවේ මා මිය නොගොස් බේරුණු අවස්ථා එමටය. නිදැල්ලේ වෙසෙන අලියා, වලසා, දිවියා කෝපයට පත්වී තමා වෙත හඹා එන විටදී ඔවුන් ගෙන්

එඞ්මන් විල්සන්

බේරී සිටීම පළපුරුදු වනජීවී නිලධාරියකුට ගැටලූවක් නොවේ. පා ගමනින් වනාන්තරයේ යනවිටදී හදිසියේම කෝපයට පත්ව තමාට පහර දීමට හඹා එන පිරිමි කුළු මීහරකා හෙවත් කුළු මදයා ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වෙසෙන අති භයංකරම සත්වයා බව මම ප‍්‍රකාශ කරමි. එළිපෙහෙළි වූ වනාන්තර ප‍්‍රදේශ ආශ‍්‍රිතව වෙසෙන ඇතැම් පිරිමි අලින් මිනීමරු අලින් බවට පරිවර්තනය වී මිනිසුන් දුටු තැන හඹාවිත් පහරදී මරා දමනු ලැබේ.
මගේ සේවා කාලය තුළ දී එකී සියලූ අවස්ථාවන් මා ජයගත්තා පමණක් නොව. එම අවස්ථාවලදී මා සමග එකට සිටි පහළ ශේ‍්‍රණිවල සේවකයින්ගේ දිවි ගලවා ගැනීමට මා සමත් වූ බවට දැනට ජීවතුන් අතර සිටින සේවකයින් සාක්‍ෂි දරති. මගේ කල්පනාවේ හැටියට වනජීවී නිලධාරියකු පිරිපුන් වන්නේ කාලාන්තරයක් තිස්සේ වනගතව රාජකාරි ඉටුකරමින් එම හැකියාව ප‍්‍රගුණ කරගැනීමෙන් පසුවය. පොතපතට පරිගණකයට සීමාවීමෙන් එම හැකියාවන් ලබා ගත නොහැකිය.
ඒ කොතරම් ප‍්‍රගුණ කළත් පෙර ආත්මවල දී සිදු කළ අකුසල කර්මයන් හේතුවෙන් ඒවා පලදෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි එක සිද්ධියක් පමණක් මෙහි සඳහන් කරමි.
රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය මැදින් ගලා බසිනා කුඹුක්කන් ඔය මහා සාගරයට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ අග්නි දිග වෙරළේදීය.
එම ගංගාව (ඔය) මීටර් 2036ක් උසැති ‘නමුනුකුල’ කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙන් ආරම්භවී පස්සර කඳු නිම්න ඔස්සේ නාරිලතාවක් ආකාරයෙන් ගලා බසිමින් යාල නැගෙනහිර සහ යාල දකුණ ජාතික උද්‍යාන දකුණු සීමාවේදී මහා සාගරයට එක්වෙයි.
කුඹුක්කන් ඔයට නුදුරුව කුමණ පුරාණ ගම්මානය සහ ‘කුමන’ කුරුලූ පාරාදීසය වනජීවීලෝලීන් හට අමුතුවෙන් කිව යුතු නොවේ. ‘කුමන’ ගම්මානයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු කම්කරු, වනසත්ව නියාමක, අඩවි සහකාර ආදී සේවකයින් අති දක්‍ෂ ක්‍ෂේත‍්‍ර සේවකයින්ය. ඔවුන් වනයට වන සතුනට බිය නැත. සමහර අය අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම්කාරයින් ය. ඔවුන් අතරින් දැනට ජීවතුන් අතර සිටින කේ. ඬේවිඞ් මියගොස් සිටින කිරිනේරිස්, සුමතිපාල, සාමෙල් අප්පු, හුදංචි අප්පු ආදීන් මා ඉහත ළඟින් ඇසුරු කළ සේවකයින්ය.

1993 වසරේ මා සේවය කළේ මහවැලි කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ලෙසය. එම වකවානුවේදී දිනක් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටින විටදී මගේ සේවකයකු හදිසියේ දිව අවුත් මා හමු වී ‘‘සර් අද උදේ යාල වැඩකරන වනසත්ව නියාමක සුමතිපාලට... කුමන ගමේ කුමන විල්ලූව අසලදී කුළු මීහරක් මදයෙක් ඇනලා... බරපතළ ලෙස තුවාල වෙලා..... ස්පිරිතාලයට අරං ගියා කියලා ආරංචියි... මෙලහකටත් මැරිල ද දන්නේ නැහැ...’’ යයි කීය.


යාල වනෝද්‍යානයේ බුතව පැරැණි බංගලාවේදී 1968 දී ගත් ඡායාරූපයකි. වම් පසින් සිටින්නේ විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ්ය. දකුණු පසින් සිටින්නේ රුක්මන් සේනානායක මහතාය. (පසු කාලයේදී ඔහු වනජීවී දෙපාර්තමේන්තුව බාර පරිසර හා වන සම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය)

වන මැදවූ ‘කුමන’ ගමේ හැදී වැඩුණු සුමතිපාල අලි, කුළු හරක්, වලසුන් ආදී වන සතුනට කිසිම බියක් දැක්වූ අයකු නොවේ. 1969 වසරේ නවක නිලධාරියකු හැටියට මා යාල උද්‍යානයට ස්ථාන මාරුවී පුහුණුව ලබන වකවානුවේදී යාල නියෝජ්‍ය උද්‍යාන භාරකරු වූ ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ උපදෙස් පරිදි නියාමකවරුන් වූ ඬේවිඞ් සහ සුමතිපාල විසින් පාගමනින් මා කැටුව සවස්වරුවේ මැණික් ගෙඟන් එගොඩ වී ‘ගෙඟ් මෝය කට’ වූ පිළින්නාවට ගියහ. ගමනේ අරමුණ වූයේ රාත‍්‍රි කාලයේ (ආහාරය සඳහා) මාළු ඇල්ලීමය.
එසේ ගිය ගමනේ දී අප වෙත හඹා ආ අලින් සහ කුළු හරකුන් සුමතිපාල විසින් මෙල්ල කළ ආකාරය නවකයකු වූ මම බලා සිටියෙමි. නියාමක සුමතිපාලගේ සේවා ස්ථානය වූ මැණික් ගඟ අසබඩ බීට්ටු කාර්යාලයේ සිට කුමණ ගමේ ඔහුගේ නිවසට දුර සැතැපුම් තිස් දෙකකි. වනසතුන්ගේ නිජබිම හරහා නිවසට යන්නේ පාපැදියෙනි. හඹා එන අලින් කුළු හරකුන් නතර කරලීමේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිිළිබඳව මට ඉතා ආදරයෙන් කියා දුන්නේ දැනට කතරගම පදිංචි ව සිටින විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ් සහ ඉහත කී හිටපු නියාමක සුමතිපාලයි.
* වන සත්ව දෙපාර්තමේන්තුව 1950 දී ආරම්භ කළ තැන් සිට සේවකයින්ගේ ආහාරය සඳහා ජලාශ, කලපු, සහ මුහුදෙන් මාලූ ඇල්ලීමට අධ්‍යක්‍ෂවරයා විසින් ලියා නොදුන් සහනයක් (Unwritten Concession)  තිබිණ. ආහාරය සඳහා විවෘත සමයේ දී තිත්මුවන් වලිකුකුළන් වෙඩි තබා මරා ගැනීමට ද අධ්‍යක්‍ෂවරයා අප වෙත බලය දුනි.
එසේ නම් මේ සිදු වූ ඛේදවාචකය කුමක්ද? මට අදහාගත නොහැකිය. ආරංචිය ලැබුණු සැනින් මම කුමන විල්ලූවට නුදුරින් වූ සුමතිපාලගේ නිවසට ගියෙමි. එම නිවසට එක් රොක්ව සිටි අය මා සමග පැවසූයේ ‘‘සර්... කුමන විල්ලූව ආසන්න ප‍්‍රදේශයේ අරක්ගෙන සිටින කුළුමදයා (පිරිමි කුළු හරකා) අප්පුසිංඤෝ ගේ මීවැස්සියක් එක්ක පට්ටි වැටිල හිටියෙ. සුමතිපාලගේ ගෙදර කිට්ටුවමයි..... ඉතින් සුමතිපාල අහුලාගත් ගල් කීපයක් විසිකරලා... කුළා එලවන්න කියලා ඌට ගහලා තිබෙනවා.. ඒ.... කේන්තියට කුළා පිඹගෙන හඹා ඇවිත් අංවලින් සුමතිපාලට පහර දුන්නා.... තුවාල වෙච්ච සුමතිපාල කුළාගේ අං දෙකේ පැටලිලා... ඈතට දුවගෙන යනකොටයි සුමතිපාල බිමට වැටුනේ.... තුවාලකාරයගේ බඩවැල් එළියට හැලෙනවා.... ඒවා... ඔක්කොම ආයෙ බඩ ඇතුළට රිංගවලා

මියගිය සුමතිපාලට පහර දුන්නේ මෙවැනි කුලූ මී හරක් මදයෙකි

ඉටිකොළයකින් ඔතලා.. ඉස්පිරිතාලෙට අරන් ගියා...’’ ඔවුන් මා දැනුවත් කළහ. ‘‘දැන් ඉන්නේ මොන ඉස්පිරිතාලෙද?’’ මම විමසුවෙමි.
‘‘අපිට ආරංචි වුණා... පොතුවිල ඉස්පිරිතාලෙන් මඩකළපුවට යැව්වා කියලා.’’ සුමතිපාලගේ බිරිඳ මා සමග පවසමින් හඬන්නට වූවාය. සුමතිපාලගේ නරක වේලාවක් වෙන්න ඇති. මම සිතුවෙමි. ඇරත් පෙර ආත්මයක සිදු කළ අකුසල පළදීම මන්ත‍්‍ර බලය ඇතුළු සියලූ ප‍්‍රතිකර්ම අබිබවා සිදුවේ.
දින තුනකට පසු මට ආරංචි වූයේ සුමතිපාලට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුවත් රාත‍්‍රියේ මඩකළපුව රෝහල් වාට්ටුවේ දී අළුයම 2.00 පමණ මඳක් සිහි එළඹීමෙන් පසුව ඇඳමත දැඟලීමේදී ඔහු ඇඳෙන් බිමට වැටී ශල්‍යකර්ම මැහුම් පුපුරා යාමෙන් සුමතිපාල අවසන් හුස්ම හෙලූ බවය.

සුමතිපාල එසේ මියයම අහඹු සිදුවීමකි.
එකල ඉඟිණියාගල ගල්ඔය ජාතික වනෝද්‍යානය වාසභූමි කරගෙන සිටි වල් කුළු මීහරක් සංඛ්‍යාව 15,000ට අධික විය. එම වකවානුවේ සේනානායක සමුද්‍ර පිටියේ තණ බුදින මීහරක් සුලභ දර්ශනයක් විය. වැව් පිටියේ තැන තැන අණසක ප‍්‍රදේශ වෙන් කර ගෙන සිටින්නේ කුළු මීහරක් (පිරිමි) මදයින්ය. දිනක් උද්‍යානයේ ‘හත් පණ’ පිටියේ දී මමත් මා සමග පාගමනින් ඇවිද ගිය වනසත්ව නියාමක ගෝමිස් අප්පු සාමෙල් අප්පු විශ්ව කුලරත්න අප වෙත හඹා ආ කුළු හරක් මදයා සහ ගැහැනු සතා පලවා හැරියේ දැඩි චිත්ත ශක්තිය මුසු වූ උස් ගොරෝසු කට හඬිනි. එදින ද අප සතුව ගිනි අවියක් තිබුණේ නැත.

කාමයෙන් මත්වී සිටින කුළු මදයා සංවාස කාලයට (Heat period) එළඹ සිටින කුළු මී වැස්සියක් ගැහැනු රංචුවෙන් වෙන් කරගත් පසු ඇයට ඔහුගෙන් ගැලවීමක් නැත. රංචුවේ අනිකුත් ගැහැනු සතුන් ඇය ගැන සෙවීමකින් තොරව ආහාර බුදිමින් තැනින් තැනට යති. එසේ යන විටදී එවැනිම තවත් කුළු මදයකුගේ අණසක ප‍්‍රදේශයට ගිය විට රංචුවේ වෙසෙන සංවාස කාලයට එළඹ ඇති වැස්සියකට සිදුවන්නේ කුළු මදයාගේ ‘රති’ කෙලියට යටත් වීමටය. ඇයට ද ඔහුගෙන් ගැලවීමක් නැත. මෙසේ රඳවා ගන්නා ‘මීහරක් වැස්සියන්’ අවම වශයෙන් දින තුනක්වත් කුළු මදයා විසින් රඳවාගෙන ඔහුගේ රතියේ මනදොල සපුරා ගනී. එවැනි අවස්ථාවක ඒ අසලට තුවක්කු ගිනි අවි නොමැතිව මිනිසකු යන්නේ නම් ඒ මරණය සොයාගෙනය. රතියේ සිටින කුළු මදයා ඒ තරම්ම අවදානම්ය.

ගල්ඔය උද්‍යානයේ හත්පත දී එදින අප අහම්බෙන් මුහුණට මුහුණ හමුවූයේ එවැනිම යුවලකි. රති කෙලියට සූදානම් වෙමින් සිටි ඔහුත් ඇයත් අප දුටු කෙනෙහිම මාරාවේශයෙන් ගොරවමින් අපට පහර දීමට හඹා එන්නට වූහ. මගේ ගොරෝසු උස් කටහඬ මා පියාගෙන් සහ උපතින් ලැබූ දායාදයකි. එම ශබ්දය සමග අනිකුත් සේවකයින් තිදෙනාගේ මුවින් පිට වූ කෑගැසීම් ශබ්දය වනය දෙවනත් කරගෙන යයි. අප ආසන්නයට හඹා ආ කුළු හරක් දෙදෙනා බිය වී ආපසු හැරී පලා යන්නට වූහ.

මට ඇති වූයේ අස්වැසිල්ලකි එහෙත් වනය තුළට දිවගිය මදයා සහ වැස්සිය නැවතත් ආපසු හැරී අප වෙත හඹා එන්නට විය. රයිපලයක් හෝ පතරොම් තුවක්කුවක් අත තිබුණේ නම් ඔවුන්ගේ හිස් කබල් සුනුවිසුනු කිරීමට තරම් භීතියක් මට ඇති විය. නැවතත් මගේ මුවින් පිට වූ ගෝරනාඩුව හත්පොත ප‍්‍රදේශයේ දෝංකාරය දෙන්නට විය... ඉන් බියපත් වූ කුළු හරක් දෙදෙනා අධික වේගයෙන් වනය තුළට පලා ගියේ අප හතර දෙනාහට තවත් කලක් ජීවත් වීමට ඉඩ දෙමිනි.

අප කණ්ඩායමේ සිටි වනසත්ව නියාමක විශ්ව කුලරත්න කතා කරමින් ‘‘සර්.... සර්ගේ ගෝරනාඩුවට කුළු මදයො විතරක් නොවේ... අමනුස්ස ලෝකෙ ඉන්න යක්කුත් භය වෙනව ඇති.’’ යැයි පැවසීය.
කෙසේ වෙතත් මගේ මෙම වදන් ගැන විශ්වාසය තබාගෙන සුදුසු ගිනිඅවියක් අත නොමැතිව රුදුරු වන සතුන් ඉදිරියට නොයා යුතු බව සඳහන් කළ යුතුය.

(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්
විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු
ඊමේල් edmund.wilson09@gmail.com
ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා
www.lankadeepa.lk

Search This Blog