Saturday, August 18, 2012

එස්.ටී.එෆ්. ප‍්‍රධානියා ඉදිරියට කඩාපැන්න කුළුමීමා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24

ඔකද දේවාලය දෙසින් නැගී ආ හිරුගේ රත්පැහැති ආලෝක කදම්බය කුමණ ජාතික වනෝද්‍යානය පුරාවට ද පැතිර ගොසිනි. රාත‍්‍රිය පුරා එහෙ මෙහෙ යමින් අහර සොයා ගිය සතා සිවුපාවෝ ද යන්තම් සැගවීමට තැන සොයා කඩිනම් ගමනේ යති. ඒ අතර සිවුපා සතකුට බියවූ කිරළෙක් අහසට නැගී නැගූ හඩ වනාන්තරයේ නිහැඩියාව බින්දේය.

යුද්ධය නිමාවී නොතිබු වකවානුවේ කුමණ ජාතික වනෝද්‍යානයද කොටි ත‍්‍රස්තයන් සැරිසැරූ පමණක් නොව කදවුරු බැදගෙන සිටි ප‍්‍රදේශ නිසා ආරක්‍ෂක අංශවල අවධානයට යොමුව තිබූ ප‍්‍රදේශයකි. 2001 වර්ෂයේ ජුනි මස 19 දින ඔකද දේවාලය අසල පිහිටි ගල් තලාවේදී එවකට කොටි සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන්ව සිටි පවන් සහ වලලූවන් යන දෙදෙනා ආරක්‍ෂක අංශ වෙඩි ප‍්‍රහාරයකට ලක්වීම වනෝද්‍යානයේ සතා සිවුපාවුන් රැසකගේ ජිවත්වීමේ අයිතිය තහවුරුවීමට හේතුවක් විය.
කතරගම දෙවියන් ලක්දිවට ගොඩ බැස්ස තැන බවට විශ්වාස කරන මේ ඔකද දේවාලය අසලදී එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූයේ ඊට සති කිහිපයකට ඉහතදී යාල ජාතික වනෝද්‍යානයේ තල්ගස්මංකඩ යුද හමුදා අනුඛණ්ඩයට දරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප‍්‍රතිඵලයකැයි විශ්වාසයක් තිබිණි.
නැගෙනහිර පළාතේ ක‍්‍රියාත්මක කොටි ත‍්‍රස්තයන් කුමණ ජාතික වනෝද්‍යානය තෝරාගෙන තිබුණේ එතැනින් දකුණු පළාතට සහ මොණරාගල හා අම්පාර දිස්ත‍්‍රික්කයන්ට සංක‍්‍රමණය වන්නට පහසුවන ලෙසය. ඔක`දට ධීවර වෙස්ගෙන මුහුදින් එන මේ ත‍්‍රස්තයන් පසුව කැලෑවට ඇතුළුවීම සාමාන්‍ය ක‍්‍රියා පිළිවෙත විය.
පවන් සහ වලලූවන්ගේ මරණින් පසුව කොටි සංවිධානයේ ප‍්‍රබලයකුවු රාම්, නගුලන් සහ පරමානන්‍ද මාස්ටර් ඇතුළු කණ්ඩායම් කිහිපයක් කුමණ කැලෑවේ කදවුරු බැන්ද බව ආරක්‍ෂක අංශවලට සැලවිණි. 2007 ඔක්තෝබර් 15 වැනි දින සිදු වු කොටි ක‍්‍රියාකාරකමක් සමගම ඔක්තෝම්බර් 20 දිනම ඔකදට රජයේ ආරක්‍ෂක අංශ පැමිණියේය. ඒවනවිටත් ඔකදට වී වනසතුන් රකිමින් කොටි ත‍්‍රස්තයන්ගෙන් බේරී මස්වැද්දන් වු දඩයක්කරුවන්ගෙන් වන සතුන් බේරාගන්නට වනජීවී දෙපාර්තමේන්තුවේ එම්.ආර්. මොහොමඞ්, ඞී.පී. සියාසිංහ, බී. ගුණසිංහ යන මහත්වරු කුමණට වී හුදකලා සටනක නිරතව සිටියහ.
මේ කාලයේ නැගෙනහිර පළාතේ ආරක්‍ෂාවට සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායයි. පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඔකද වනජිවී කාර්යාලය අසල කදවුරු බැදගත්තේය. ෆොන්සේකා මහතා වනසතුන්ට ආදරය කළ නිලධාරියකු බව පැමිණ දින කිහිපයකින්ම වනජීවී නිලධාරීන්ටද අවබෝධ විණි. ඒ නිසා ඔහුගේ පිහිට වනජීවී නිලධාරීන්ටද අත්‍යවශ්‍ය විය.
කුමණ ජාතික වනෝද්‍යානයේ පිහිටි ‘‘ඉත්තෑගල’’ තරමක් උස්වු ස්ථානයක් විය. එය පිහිටියේ කුමණ ජාතික වනෝද්‍යානයේ හරි මැදට වන්නටය. මේ නිසා භෞතික අතින් ඉතා වටිනාකමක් එතැනට ලැබිණි. ලාහුගල, කොටියාගල, යාල හා පානම යන සතර පැත්තම නිරීක්‍ෂණය කරන්නට ඉත්තෑගල කදිම තැනකි. මේ බව දැනගත් කුමණ කැලේ හිටි ත‍්‍රස්තවාදි නායක රාම්, කුමණ වැව සහ බෝවත්තේ ගල්ගේ පැත්තේ සිට ඉත්තෑගලට සිය කදවුරු වෙනස් කරගෙන තිබිණි. කුමණ වනෝද්‍යානයේ ඉටිකල කළපුව පැත්තෙන් අඩිපාරක් ඉත්තෑගලට ඇතිනිසා අවිආයුධ සහ වෙනත් අවශ්‍ය දෑ සදහා සැපයීම් මාර්ගයක් ද විය. මේනිසා පහළොවකට වැඩි ත‍්‍රස්තයෝ පිරිසක් සමග රාම් මේ ප‍්‍රදේශයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටියහ.
දෙදහස් අට වසරේ එක්තරා දිනක උදැසන ඔකද එස්ටීඑෆ් කදවුරේ සියලූ දෙනාටම කලබලකාරී දවසක් විය. සහකාර පොලිස් අධිකාරීවරුන් වන කැලූම් කුලතුංග, හජ්ජි යන මහත්වරු එහි පැමිණ සිටියේ පෙරදින සවසය. කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාට මද හෝ අස්වැසිල්ලක් නොවුණි. ඔහුගේ උපදෙස් පරිදි භට කණ්ඩායමක් දින දහයකට ආසන්න කාලයක සිට නිර්මාංශව පේවී සිටියේ මේ දිනය උදාවෙන තෙක්ය.
මේ එස්ටීඑෆ් කණ්ඩායම සුදානම් වන්නේ කුමණ වනෝද්‍යානය මැද්දෙන් මහකැබිලිත්ත දේවාලය පැත්තට මෙහෙයුමක් යන්නටය. ඒ යන අතරේ කොටි ත‍්‍රස්තයන්ගේ කදවුරු ඇත්නම් ඒවාද නිරීක්‍ෂණය කරමින් තොරතුරු සොයන්නට යන මේ ගමන ඒ කාලේ හැටියට ඉතාමත් භයානක කැලෑ ගමනක් විය. සිතියම් නිරීක්‍ෂණය කරමින් ගමන සැලසුම් කෙරිණි. සිතියමේ ඇති ආකාරයට බාධාවක් නැතිව රාත‍්‍රීයේම ආපසු පැමිණිය හැකිය. තද ඉඩෝරය පවතින නිසා වනෝද්‍යානය තුළ ගමනද අපහසු නැත. දිනකට අවශ්‍ය ආහාර සුදානම් කරගෙන යුද උපකරණත් රැගෙන පිරිස පිටත්වුයේ උදෑසනින්මය. මේ ගමන කැලෑව අතරින් ප‍්‍රධාන පාරට සමාන්තරව යෙදි තිබුණි. සැබැවින්ම මෙය මෙහෙයුමකි. කුමණ කැලෑවේ වෙසෙන කොටි ත‍්‍රස්තයන් සොයා කෙරෙන මෙහෙයුමකි. ඒනිසා කැලෑවේ ගමන ඉතා අවධානයෙනි. කිලෝමීටර් හැත්තෑවකට ආසන්න  දුරක් යායුතුය. හදිසි ප‍්‍රහාරයකට වුවද සුදානමින් පිරිස ඉදිරියටම යති.
පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා ඉදිරියෙන්ම ය. සහකාර පොලිස් අධිකාරීවරුන් වන කැලූම් කුලතුංග, හජ්ජි යන මහත්වරු ද පිරිස අතරය. ගමනින් අඩක් පමණ පැමිණි තැන එකවරම පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා ඉදිරියට තනි කුලෙක් (කුලූ හරකෙක්) එනු දුටුවේය. කැලේදි හමුවන තනිකුලා භායානක බව පිරිසේ වැඩි දෙනෙක් දැන සිටියහ. ෆොන්සේකා මහතාගේ ගිනි අවියෙන් අහසට වෙඩි දෙකක් නිකුත් වූයේ වනාන්තරයේ නිහඩ බවට තිත තබමිනි. නමුත් කුලා ඉන් මෙල්ලවු බවක් නොපෙනිණි. වෙඩි හඩට ගමන බාල කළද උගේ ඉලක්කයවී තිබුණේ ෆොන්සේකා මහතාය.
මේ මෙහෙයුම ආරම්භ කරන්නට පෙර දින ගණනක් පේවී සිටිමින් චාරිත‍්‍ර ගරුකරමින් පැමිණි පිරිසට දැන් භයානක අනතුරක් අත ළගය. කුලා බය කිරිමට අහසට තැබු වෙඩි දෙක කැලේ දෙවනක් කරමින් දෝංකාර දුන්නේය.  කුලාගේ ඉලක්කය පොලිස් පරීක්‍ෂක ෆොන්සේකා මහතා බව දැන් පැහැදිලිය. සියලූ දෙනා තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. ත‍්‍රස්වාදියකු මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ නම් ගතයුතු පියවර කුමක්දැයි සැවොම දනිති. එහෙත් මේ එන්නේ කැලේ නිදහසේ වෙසෙන කුලූ මීමෙකි.
පොලිස් පරීක්‍ෂක ෆොන්සේකා මහතා තමන් ඉදිරියට එන කුලූමීමා රැවටීමට එකවරම උපායක් යෙදුවේය. ඒ සමගම තවත් වෙඩි දෙකක් අහසට තිබ්බේ මුලූ වනාන්තරය ම යළිත් වතාවක් දෝංකාර දෙමිනි. ඉන් බියට පත් කුලූමීමා ආපසු හැරී නොපෙනි ගියේය.කුමණ කැලෑවේ ඇසුණු වෙඩිහඩ නිසා මේ වෙනකොටත් එහි තැන තැන කදවුරු ලා සිටින කොටි ත‍්‍රස්තයන් ප‍්‍රහාරයකට සුදානම් බව මේ එස්ටීඑෆ් කණ්ඩායමට හො`දින් වැටහිනි. ඒ නිසා ඉදිරියට යන ගමන මෙතෙක් ආ ගමනට වඩා අවධානයෙන් යායුතුය. කුමණ වනෝද්‍යානයේ වෙසෙන කොටි ත‍්‍රස්තයන් වරින්වර කුමණ වනෝද්‍යානය තුළ විවිධ කොටි ක‍්‍රියාකාරකම් සිදුකර තිබුණි.
පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා වරක් ඔකද සිට යතුරු පැදියෙන් කුමණ විල්ලූව දෙසට එද්දී හැලව කළපුවට නුදුරු බෝක්කුව අසලදි බිම් බෝම්බයක් පුපුරා ගියේය. එහෙත් ඉන් කිසිදු තුවාලයක් නොවී දිවි ගලවා ගැනීමට ඔහුට හැකිවිය. තවත් වරෙක යෝධ ලිපට ආසන්න තැනකදීද බිම් බෝම්බයක් පුපුරා ගියේය. ත‍්‍රස්තවාදි නායකයෙකුවු පරමානන්‍ද මාස්ටර්ගේ නායකත්වයෙන් යුතු ත‍්‍රස්තයන් පිරිසක් ඔක`දදී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළහ. කුමණ කැලේ ඇතුළේ පාමුර සංචාරයේ නිතර සෙබළුන් ඉලක්ක කර වෙඩි ප‍්‍රහාරයන් එල්ල කැරිණි. මේ සියලූ සිදුවීම් එකිනෙක මෙහෙයුමට එක්ව සිටි එස්ටීඑෆ් කණ්ඩායමේ හැමදෙනා තුළම සිහිවන්නට විය.
එනිසා කොටි ත‍්‍රස්තයන්ගේ බිම් බෝම්බ, පැති බෝම්බ, සැගවි සිට එල්ලකරන ප‍්‍රහාරයක් මෙ ගමනේ ඉදිරියේ දී සිදුවිය නොහැකි යැයි කාටවත් කිව නොහැක. මහකැබිලිත්තට ගොස් කතරගම දෙවියන්ටද පුජාවක් තබා පින් අනුමෝදන් කිරිම මෙහෙයුමේ ම කොටසක් කරගත්තේ මේ කැලෑවේ අධිපති දෙවියන් කතරගම දෙවියන් වු බැවිනි.
කුලූමීමාගේ සිදුවීමෙන් පසු ගමන තරමක් හෙමින් වු නිසා සිතියමේ ඇති ඉලක්කයට වඩා වැඩිදුරක් ගමනට ඇතිදැයි හැමදෙනා තුළම විචිකිච්ඡාවක් මතුවිණි. එහෙත් ඒ ගැන කිසිවකුත් වචනයකුදු කතා නොකළේය.
‘‘අපි හිතුවට  වඩා ගමන දුරයි වගේ.’’ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා පිරිසේ නිහඩ බව දුරලමින් සිය කටහ`ඩ අවදි කළේය.
‘‘ඔව් සර්. දැන්නම් ඉර බහින්නත් ළගයි. අපේ ගමනේ අවසානයට යනකොට අදුරු වැටෙයි.’’ පිරිසෙන් පිළිතුරු ලැබුණි. මහකැබිලිත්තට තවත් කිලෝමීටර් අටක්වත් යා යුතුය. අවරට යන හිරුගේ රත්පැහැ ගැන්වු රශ්මි ධාරා ගස් අතරින් අමුතු චමත්කාරයක් මැවීය.
‘‘අපි මෙතන කදවුරු බදිමු. උදේම අපි මෙතනින් පිටත්වෙමු. රාත‍්‍රීයට ගෙනා කෑම උදේටත් එක්ක පිරිමහගෙන පිළියෙල කරමු.’’ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා පිරිසට අණදෙමින් කීවේය.
පිරිසක් අවට නිරීක්‍ෂණයේ සිටිති. තව පිරිසක් කූඩාරම් ගහන්නට සූදානමින් බිම සැකසීහ. මෙතෙක් වෙලා තිබු පැහැදිලි අහස වෙනස් විය. කොහේදෝ සිට ආ වැහි වලාවක් නිසා හිරුද සැගවිණි. මාසගාණක් තිබු නිය`ගය හමාරකරමින් එකවරම මහ වැස්සක් ඇද හැළිණි. ඒ වනවිටත් කූඩාරම් තනා නිම කරගැනීමටවත් ඉඩක් ඒ වැස්සෙන් නොලැබිණි. කූඩාරම් රෙදි ඉහළාගෙන සිටියද හැම දෙනාම පාහේ වැස්ස නිසා තෙත බරිතය. අඩ හෝරාවකට වැඩි කාලයක් එකදිගට ඇදහැලූණු වැස්ස මුරුගසන් වරුසාවට සමාන යැයි සමහරුන්ට සිතුනි. ඉතා අමාරුවෙන් රැුය පහන් කර පසුදාම ගමන් අරඹා මහතැබිලිත්තට පිරිස ළං වූහ. ඒ එන අතරමගදී පෙනුනේ පෙරදින රාත‍්‍රීයේ ඇදහැලූනු වැස්ස ඉතා කුඩා ප‍්‍රදේශයකට පමණක් ලැබුණු එකක් පමණක් බවය.
‘‘ඊයේ වැස්සනම් පුදුම එකක්. මේ හරියට වැහැලා නෑ.’’ ඉදිරියට යන මාර්ගයේ වු වියළී ගිය මඩවළවල් දුටු අයෙක් හෙමින් මුමුණමින් කියනු ඇසිනි.
කුඹුකන් ඔයෙන් එගොඩ වී මුරුතැන් පූජාවක් සකසා බෝධීන් දෙනම වැද සියඹලා දේවාලයට පූජාව තබා කතරගම දෙවියන්ට පින්දී පිරිස යළි ඔකද බලා ගමන් ඇරඹූහ. එදා මහකැබිලිත්ත අවට අද මෙන් ජනාකීර්ණ නොවීය. තනිකරම කැලෑවෙන් වැසී මිනිස් පා සලකුණූ නොතිබූ සැබෑම වු වනබිමක් විය.
කොටි ත‍්‍රස්තයන් නිසා එදා මහකැබිලිත්තට මිනිසුන් ආවේ නැත. ඒ ජීවිත ආශාව නිසාය. නමුත් අද කොටියාගල පැත්තෙන් එහි යන්නට කාටවත් බාධාවක් නැත. මේ නිසා අද විනෝදයට එහි යන්නෝද සිටිති. එහි යන්නට ආශාවක් දක්වන පිරිස් එක්ක යමින් ව්‍යාපාරයක් කරගත් පිරිස්ද සිටිති. ඒ බොහෝ දෙනෙක් පරිසරයට ආදරය නොකරති. මේ යන පිරිස පාලනය කිරීමේ වගකීම ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවටය. මහකැබිලිත්ත අයත් වන්නේ ජාතික වනෝද්‍යානයකට නිසාය. කොටියාගල දෙසින් වනජීවි මුරපොළක් වහා පිහිටුවා වනෝද්‍යානයට ඇතුළුවන්නන්ට සහ එහි අපද්‍රව්‍ය දැමීමට සීමා පැනවිය යුතුය.
මේ වනවිට විවිධ කණ්ඩායම් මහකැබිලිත්ත දේවාල පුදබිමට අයිතිවාසිකම් කීමට සන්ධාන ගතවන බවට තොරතුරු ඇතැයි එහි යන්නෝ කියති. එසේ වුවහොත් ජාතික වනෝද්‍යානයක අනවශ්‍ය ක‍්‍රියාකාරම් වලට උඩගෙඩිදීමක් වනු ඇත. මහකැබිලිත්ත ගැන ලියන පුවත්පත්වලට දොස් නොතබා අපද්‍රව්‍ය එහි ගොඩ නොගසා එන්නේ නම් හෝ එහි ඇති නිහඩ බවට හානි නොකරන්නේ නම් මේ තහංචි පැනවීම ඇවැසි නොවේ. නමුත් අසංවර නොමිනිස් ක‍්‍රියා නිසා මේ පුදබිමේ ගෞරවය නැති කෙරෙන ක‍්‍රියා වහා මැඩළිය යුතුය. එය වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීමක්ය.
එදා කොටි ත‍්‍රස්තයන් කුමණට එන්නට පෙරත්, කොටි ත‍්‍රස්තයන් හිටි කාලයේත් මහ කැබිලිත්ත රැකුණේය. අද එහියන අශිෂ්ට සම්පන්න මමත්වයෙන් යුතු අතලොස්සක් නිසා සැබෑ බැතිමතුන්ටද පීඩා ඇතිවෙයි.

අජිත්ලාල් ශාන්තඋදය'
2012 ජූලි මස 22 12:57:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මහකැබිලිත්තෙ එගොඩ බෝධිය

 ඔකද දේවාලය
බැතිමතුන්ගේ මුවාවෙන් එහි යන අශීලාචාර මිනිසුන් කැළිකසළ දමා මේ පුදබිම වනසා ඇති අයුරු

No comments:

Search This Blog