හිරු බැස ගොස් හෝරා කිහිපයක් වුවද මාස කිහිපයකින් වැසි නොවැටුණු නිසා පරිසරයේ උණුසුම අඩු නැත. එහෙත් හමායන සුළග දාහය නිවයි. මාස පෝයට දින කිහිපයක් ඇති නිසා පරිසරයේ ඇති අදුර කෘත‍්‍රීම විදුලි පහන් එළියෙන් මැකී ගොසිනි. අහසේ බැබළෙන තරු කැට ගෙනාවේ අමුතුම චමත්කාරයකි.
සුදුවතින් සැරසුණු බැතිමතුන් මල් වට්ටි කිහිපයක් හා හදුන්කූරුද පොල්තෙල්ද අතැතිව සිටියි. පිරිස අතර වැඩිහිටි කාන්තා සහ පිරිමි කිහිප දෙනා අතර තරුණ විය නොඉක්මවූ ළදුන් කිහිප දෙනෙක්ද වූහ. කිරිවෙහෙරෙන් පරාවර්තනය වන විදුලි ආලෝකයෙන් ඔවුන්ගේ මුහුණු වලටද නැවුම් බවක් එක් කළේය.
මේ කතරගම කිරිවෙහෙර පුණ්‍ය භූමියයි. දේවාලයට යන්නට පෙර කිරිවෙහෙර සහ අෂ්ඨඵල බෝධිය වන්දනා කර දෙවියන්ට පින්දීම කළයුතු බව ගමනාරම්භයේම සාකච්ඡාවට ගත් වන්දනා නඩයේ පිරිස දොළොස් දෙනකුට වඩා නැත. කළුතර නගරයට ආසන්න ප‍්‍රදේශයකින් පිටත්වු පිරිස කතරගමට ළගාවන විට හිරු බැස යාමට ළංව තිබුණි.
කතරගම දෙවියන් වැදපුදා ගැනීම නඩයේ මේ ගමනේ පරමාර්ථය විය. කතරගම දෙවියන් යනු මතු බුදුවන දෙවි කෙනකු යැයි නඩයේ සිටි තලතුනා වැඩිහිටියෙක් ගමන අතරමගදී පිරිසට ඒත්තු ගැන්වීය. අදටත් කතරගම දෙවියන් ජීවමානව වැඩ වෙසෙන බවට ඔහු කියවු කතා ගණනාවක්ම පිරිසට පැවසූ නිසා ගමනට එක්වු සියලූ දෙනා තුළම ඇතිවුයේ මහත්වු භක්තියකි.
කතරගම දේවාලයේ විශාල පිරිසක් සිටියත් කිරිවෙහෙර බිමේ එතරම් පිරිසක් නොවූහ. තැනින් තැන වාඩිවී පිරිත් පොත් කියවන, සහ බෝධි වන්දනා ගාථා කියවන බැතිමතුන්ගේ සිහින් හඩ සිත් නිවාලීය. මේ පිරිසද ගෙනා මල් මලසුනේ තැන්පත් කර එහිවු පහන්වලට තෙල් දමද්දී කණ්ඩායමේ තවත් කිහිප දෙනෙක් සුවද දුම් දල්වා ඒවා මලසුනේ වු වැලිපුරවා තිබු බදුන්වල රදවමින් සිටියහ.
ඔවුන් පිටුපස බැලූවේ චෛත්‍ය මළුවේ වලාකුළු බැම්ම අද්දරින් ඇසුනු පිරිත් සඡ්ඡායනාවේ මිහිරි නාදය කන වැටුණු නිසාවෙනි. සුදු ඇතිරිල්ලක් එළා එරමිනිය ගොතා වාඩිවී සිටි මැදිවිය ඉක්මවු උපාසක ඇත්තෙක් ඔවුනගේ නෙත ගැටිණි. ඒ මිහිරි පිරිත් සඡ්ඡුායනා හඩ එසේ දුටු උපාසක තැනගේය.
ඒ උපාසක ඇත්තාගේ උඩුකය නිරුවත්ය. සුදුපැහැති සරමක් ඇද සිටි මේ තැනැත්තා උතුරු සළුවක් කරේ දමාගෙන උකුළ මතවු පිරිත් පොත දෙස බලාගෙන පිරිත් සඡ්ඡායනය කළේ උපැස් යුවළක් හෝ නැතිවය. ඔහුගේ මුහුණ පිරිත් පොත දෙසට නැඹුරුව තිබු නිසා මුහුණ හොදින් පෙනුණේ නැත.
’‘ලස්සනට පිරිත්ටික කියනවා නේද? සිල් සමාදන්වු කෙනෙක් වෙන්නැති.’’ පිරිස අතරින් කෙනෙක් පිරිත් කියන උපාසක ඇත්තා ගැන කීවේය. ඒ වනවිටත් මේ පිරිසද පිරිත් සඡ්ඡුායනයට හිත් යොමුකරවමින් සිටි නිසා ඉබේටම ඔවුන්ගේ දෑත් එක්ව තිබුණේ වදින ස්වරූපයෙනි.
’‘කෝ අපේ කට්ටිය. අරපැත්තේ මල් පුජාකරලා ඉවරනම් මේහාට එන්න කියමු. පිරිත් ටිකකුත් අහලාම බෝධි වන්දනාවට යමු’’ යැයි කියමින් නඩයේ සෙසු පිරිස සෙවීමේ අරමුණු ඇතිව දකුණු පැත්තෙන් චෛත්‍යය වටේ ගියහ. ඒවනවිට දෙතුන් පොළක වෙන වෙනම වන්දනාවේ නිරත තම කණ්ඩායමේ සාමාජිකයන් දුටු මේ පිරිස ඔවුන් වන්දනා කරනතෙක් අදුරත්, විදුලි අලෝකයත් මුසුව හමනා සුළගින් ලෙළදෙන තුරුලතා දෙස නෙත් යොමා සිටියහ.
හමායන මදනළ වියළි වුවත් ගත සිත සිසිල් කළේය. පරිසරයේ චමත්කාරය විදිමින් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් ඔවුන්ට එහි ගතකරන්නට සිදුවුයේ තම කණ්ඩායමේ සෙසු පිරිස එතරම් වේලාවක් වන්දනාවේ යෙදීම නිසාය.
‘‘මොකද ඔයගොල්ලො ඔච්චර ඉක්මනට වන්දනා කළාද?’’ වන්දනා කටයුතු නිමකළ වැඩිහිටි කාන්තාවක් විමසුවාය. ‘‘ඔව් අපි හදුන්කූරු පත්තුකරලා වැදලා ඉවරවෙනකොට අරපැත්තේ සිල්ගත්ත උපාසක ඇත්තෙක් හරිම මිහිරි හඩින් පිරිත් කියනවා. අපි ටිකක් අහගෙන ඉදලා ආවේ පිරිත් අහන්න ඔයාලත් එතනට එක්ක යන්න.’’ පැනයට පිළිතුර විය.
දැන් පිරිස චෛත්‍ය මළුවේ වමට හැරී යන්නේ උපාසක ඇත්තාගේ පිරිස් සඡ්ඡායනයට සවන් දෙන්නටය. චෛත්‍ය මළුවේ නැගෙනහිර සහ දකුණු දොරටු අතර වලාකුළු බැම්මට ආසන්නව අසුන් ගෙන පිරිත් කියු උපාසක ඇත්තා ඒවනවිටත් පිරිත් කියා අවසන්ව නැගිට ඉදිරියට යන දසුන පිරිසේ නෙත්වලට ගැටුණි.
‘‘අනේ ඒ ඇත්තා පිරිත් කියලා ඉවරවෙලා යන්න යනවා. බෝධිය පැත්තට වෙන්නැති යන්නේ. සමහරවිට බෝධි පූජාව තියන්න යනවද දන්නේ නෑ. පිරිත් කියනකොට අහගෙන ඉන්න හරිම ආසයි.’’ පිරිත් සඡ්ඡායනය ඇසු කෙනෙක් සෙසු පිරිසට කීය. මේ පිරිස දැන් යන්නේ කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අතර ඇති අෂ්ඨඵල බෝධිය වදින්නටය. මුලින් කී උපාසක ඇත්තාද ඔවුන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ශාන්තව ගමන් කරන අයුරු දිස්වූයේ මග දෙපසවු විදුලි පහන් කණුවල දැල්වුණු ආලෝකයෙනි.
‘‘කතරගම දෙවිහාමුදුරුවෝ මේ කිරිවෙහෙරෙ වගේම මහ කැබිලිත්තෙත් වැඩ ඉන්නවාලූ. සමහරු කතරගමට එන්නේ විනෝදයට. එහෙම ආවාට ප‍්‍රතිපලයක් නෑ. කතරගමට ආවාම චෛත්‍යය වගේම බෝධියත් වන්දනා කරලා දෙවියන්ට පින්දීලා තමයි දේවාලෙට යන්න ඕනෑ. සමහරු කතරගමට එන්නේ දෙවියන්ගෙන් නොයෙක් නොයෙක් පිහිටාරක්‍ෂාව ඉල්ලාගෙන. ලොකු ලොකු පූජාවට්ටි තියනවා. පඩුරුත් එහෙමයි. ඒවායින් වැඩක් නෑ. කතරගම දෙවියන්ට ඕනෑ පින්. අපි පින් කරලා ඒ පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව ඉල්ලනවා නම් කාටවුණත් දෙවියෝ පිහිට වෙනවා. එහෙම පින් දෙන අය හැම වෙලාවෙම දෙවියෝ ආරක්‍ෂා කරනවා.’’ පිරිසේ වු වැඩිහිටියෙක් කතරගම වන්දනාවේ ආයුතු ක‍්‍රමය කාටත් පැහැදිලි කර දුන්නේය.
ඔහුගේ කතාව දෙසට අවධානය යොමුකළ සියලූ දෙනාම හිස සලා එය අනුමත කළේ කතරගම වන්දනාවේ එන වැඩි පිරිසකගේ හැසිරිම් රටා ගැන සිහිපත් කරමිනි.
-කතාවෙන් කතාවෙන් බොධීන් වහන්සේ ළගටම ආවා. ආ... කෝ අර උපාසක ඇත්තා.’’ තමන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ආ පිරිත් කියු උපාසක ඇත්තා පෙනෙන්නට නොවු නිසා පිරිසේ කෙනෙක් විමසීය.
-පන්සලට හැරෙන තැනත් පහුකරනවා මම දැක්කනේ. කොහාටද ගියෙ. හැරිලා ගියේනම් නෑ. මම දැක්කා මේ තොරණට කිට්ටු කරනකම්. මේක හරිම පුදුමයක්.’’ පිරිත් කියු උපාසක ඇත්තා කොහේ ගියේදැයි විපරම් කරමින් තවත් කෙනෙක් කීය.
අෂ්ඨඵල බෝධිය වටේත් දේවාල බිමේත් මේ උපාසක ඇත්තා සෙව්වද ඔහු සොයාගත හැකි නොවිණි. ඒනිසා බෝමළුවේ බටහිර අන්තයේ වැලිතලාවේ වාඩිවු පිරිස එකට එක්ව බෝධි වන්දනාවේ යෙදුනහ. අඩහෝරාවක පමණවු වන්දනාවකින් පසු පිරිස නැගි සිටියේ දේවාලයට පුජාවට්ටියක් තැබීමට යන පෝලිමට එක්වන්නටය.
ඒවනවිටත් ඔවුන් සුදානම්කරගෙන ආ පුජා වට්ටිය අතැතිව ඔවුන් පැමිණි වැන් රථයේ රියදුරු පත්තිනි දේවාලය, සුනියම් දේවාලය ඇතුළු දේවාල කිහිපය පිහිටා ඇති, බෝධියේ උතුරු පැත්තේවූ ගල් බැම්ම මත වාඩිවී සිටිනු පෙනුනි.
නඩයේ සියල්ලෝම පෝලිමේ දේවාලයට ගොස් පුජාව තබා ආපසු පැමිණ පාගමනින්ම නවාතැන් පොළට ගියේ කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන කතා බහ කරමිනි.
‘‘ඇත්තටම අර පිරිත් කිය කියා ඉදලා අපි එනකොට ඉස්සරහින් ආව උපාසක ඇත්තට මොකද වුණේ? මටනම් හිතාගන්න බෑ. එයා අපට නොපෙනී කොහාටද ගියේ කියලා පුදුම හිතෙනවා.’’ හෝරා කිහිපයකට පෙර කතරගම පින් බිමේදී මුහුණදුන් අත්දැකීම ගැන කතාව ආරම්භ කළේ නවාතැනට පයින් බොහෝ දුරක් යායුතුව තිබු නිසාවෙනි.
‘‘අපි කතරගමට ආවාට දැන් වැඩි දෙනෙක් පුජාවන් තියන්න මහකැබිලිත්ත කියන දිහාලූ යන්නේ. කතරගම දෙවියන් එහේ වැඩ ඉන්නවා කියලනේ මිනිස්සු විශ්වාස කරන්නේ.’’ කතාව වෙනතකට හැරවිනි.
‘‘කතරගම දෙවියන් කොහේ ඉන්නවාද නැද්ද කියන එක අපට වැඩක් නෑ. අපි කොහාට ගියත් හොද පිළිවෙත් ආරක්‍ෂා කරලා යන්න එන්න ඕනෑ. දැන් පේන්නැද්ද කතරගම දේවාලෙට හරිහමන් විදියට ඇදුමක් ඇඟේ දාගෙන ආවේ කීදෙනාද? අර කාවාඩි නටපු අයගේ විච්ඡුරණ ඇදුම් දැක්කේ නැද්ද? ඒවා දේවාලෙකට තියා කඩපිළකටවත් ඇදගෙන යන්න සුදුසු ඒවාද? සමහර ඒවා දිගකලිසමටත් නෑ කොට කලිසමටත් නෑ. ඉතින් ඒවා ඇදගෙන ඔය යන්නේ එන්නේ තමන්ගේ හිත රවට්ටාගන්න.’’
‘‘කතරගමට හරි මහකැබිලිත්තට හරි වෙන කොහාට හරි වුණත් කමක් නෑ ඔහොම නොහොබිනා අන්දමට ගියොත් නම් දකින දකින මිනිස්සු නින්දා කරනවා මිසක් දෙවියන්ගේ ආශිර්වාද නම් ලබන්න බෑ. අද මිනිස්සු හිතන්නේ හැමදේම සල්ලිවලට ගන්න පුලූවන් කියලා. ඒකනේ ලොකු පලතුරු වට්ටියකට මොනර කොළ දෙකතුනක් තියලා පුජාව තියන්නේ.’’ කතරගම දෙවියන් නැමදීමට සමහරුන්ගේ ක‍්‍රියාකලාපය ඒ ආකාරයටම විග‍්‍රහකළේ පිරිසේ හිටි තලතුනා අයෙකි.
නවාතැනට පැමිණි පිරිස මුහුණ අතපය සෝදා රාත‍්‍රී ආහාර ගනිද්දීත් කතාකළේ අතුරුදන්වු උපාසක ඇත්තා ගැනය. ‘‘කතරගම දෙවියෝ කිරිවෙහෙර චෛත්‍ය භුමියේ දී දැකපු කීදෙනෙක් ඉන්නවාද? පෙරහර අවසන් වෙලා ගිනි පාගනකොට ඉස්සර වෙලාම කතරගම දෙවියන් ගිනි පාගනවා දැක්ක බව අපවත්වුණු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ගේ පොතක තියනවා මම දැක්කා. ඒ හින්දා ඒ අතුරුදන් වු උපාසක ඇත්තා ගැන වැඩි මනත් හිතන්න එපා. අපි නින්දට යන්න පෙර ආයෙත් දෙවියන්ට පින් දිලා නිදා ගනිමුකෝ. නඩයේ සිටි වැඩිහිටියෙක් අවවාද කළේය.
මේ වනවිට කතරගම දෙවියන් වන්දනාවට කතරගමට එන සමහරු කතරගමින් හෝ තිස්සමහාරාමයෙන් කුලියට වාහන රැගෙන මොනරාගල, කොටියාගල හරහා මහකැබිලිත්තට යාම සිරිතක් කරගෙන සිටිති. නමුත් දැන් මහකැබිලිත්තට යන එන මිනිසුන් ඒ අවට වනසා දැමීම නිසා මහකැබිලිත්ත අවට දැඩිලෙස අපිරිසුදු කර ඇත. කතරගමත් මෙසේ වනසා නොදමන්නේ එහි යම් පාලනයක් ඇති නිසාය.
මහකැබිලිත්ත අයත්වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට වුවත් එතැන ඔවුන්ගේ පාලනයක් නැත. ඉදිරියේ එන්නේ අන්තර් මෝසම් සමයයි. ඊසාන දිග මෝසම් වැස්සේ ආරම්භයවු මේ අන්තර් මෝසම් වැස්ස මහකැබිලිත්ත පිහිටි කුමණ ජාතික වනෝද්‍යානයටද ඇද හැළෙයි. දශක තුනකට ඉහතදි මහකැබිලිත්තේ තිබු වනජීවී බීට්ටු කාර්යාලය අතහැර කුමණට යන්නේ වැසි සමයේ ගමන් අපහසුව නිසාය. අලකොළආර, කලූකුඤ්ඤංආර, අලූත්ගංආර පමණක් නොව කුඹුක්කන්ඔයත්, මැණික් ගගත් මේ මෝසම් කාලයේ පිරී ඉතිරී යන්නේ පෙර දැනුම්දීමක් නැතිවය. ඒනිසා ජිප්රථවලින් පමණක් නොව ට‍්‍රැක්ටර්වලින් පවා මහකැබිලිත්තට යාම ඉදිරි කාලයේ අතිශයින් අවදානම්වනු ඇත. ඒනිසා කතරගම දෙවියන් වැදපුදා ගැනීමට මහකැබිලිත්තට වඩා කතරගමටම යාම සුදුසුවනු ඇත. ඒ ගමන වුවත් ඵලදායි වන්නේ භක්තියකින් ගියොත් පමණි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 21 16:01:46 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණෝ
කතරගම දේවාල බිම
නිසි ඇදුමක් නැතිව රංගනයේ යෙදෙන කාවඩිකරුවන්