Sunday, January 20, 2013

අලකොළ ආරෙන් එගොඩවූ පසු මහ කැබිලිත්තට යන පාර වරද්දයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 45


ඉදිරියෙන් ආ යතුරු පැදිය එකවරම නැවැත්විනි. ජීප් රථ දෙකේ එන්ජින්ද නැවත්විණි. දැන් මුලූ වනාන්තරයම නිහඩය. ඉදිරි තත්පර කිහිපය කුමක්වේදැයි කාටත් අවිනිශ්චිතය. නැවැත්වු යතුරුපැදිය දෙස එක එල්ලේ බලන්නට ජීප් රථයේ හෝ කැබ්රථයේ සිටි අයට ශක්තියක් නැත.



කුමන වනෝද්‍යානයේ වැවක්
මේ ගෙවෙන්නේ තම ජීවිතයේ අවසන් මොහොත යැයි එහිවු හැමෝටම සිත්විණි. දැන් ඔවුන් මීයට පිම්බා සේ නිහඩය. සිදුවන්නට යන්නේ කුමක්දැයි හෝ අනෙකාගෙන්වත් අසන්නට තරම් ශක්තියක් නොවු පිරිස ම`ගපෙන්වන්නාවු විමල් දෙස ආයාචනාත්මක බැල්මක් හෙලීය.

මේ මිනිස් ජිවිත හය තමා අත බව තේරුම්ගත් විමල් හිතට ධෛර්ය ගත්තේය. ඉදිරියේ ඈතින් නැවතුන යතුරු පැදිය බිම පෙරළා ඇති අයුරු විමල්ට පෙනුනි. එහි නැග පැමිණියවුන් ඉන් බැස සැගවී ඇත. සැගවී සිට යම් ප‍්‍රහාරයක් එල්ලවෙතැයි විමල්ටද සැකයක් ඇතිවිය. යාල වනෝද්‍යානයටද කිහිප වතාවක් ප‍්‍රහාර එල්ලකළ කොටි ත‍්‍රස්තයන් පසු බැස්සේ කුමණ වනාන්තරයට බව විමල්ගේ සිහියටද එන්නට විය.

කෙසේ නමුත් විමල් ඉදිරිය දෙස ඉතා  ඕනෑකමින් හා විපරෙමෙන් යුතුව බැලූවේ ඉදිරියෙන් ආ යතුරු පැදියෙන් තමන් බලාපොරොත්තුවන තරමේ ප‍්‍රතිචාරයක් මෙතෙක් නොලද නිසාය. යතුරු පැදිය බිම දැමු අයුරින්ම ඇති බව ඉදිරියේ ඇති පාරේ වු වැවුණු කුඩා පදුරු පෙනුණි. ඒ අතර කිසියම් පුද්ගලයන් දෙදෙනෙක් කැලේ ඇතුළට සැගව යනු පෙනුනේ දකුණුපස වූ ගස් අතරිනි. විමල් සිය දෑස් ලොකුකර එදෙස තවත්  ඕනෑකමින් බැලූවේය.


විමල් වාහනයෙන් බැස්සේය. ඔහු හෙමින් හෙමින් ඉදිරියට ගියේය. ජිප් රථයේ සිටියවුන්ගේ ඇග හිරිගඩු පිපෙන්නට විය. මහ භයානක අනතුරක් තමන් හමුවේ ඇතිබව තේරුම්ගත් ඔවුහු දැන්  ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්නට හිත හදාගත්හ. පාරේ වු පදුරු ඈත්මෑත් කරමින් විමල් ඉදිරියට යන්නේ කොන්ද නවාගෙනය. යතුරු පැදියේ පැමිණි අය කොහේදැයි ජීප් රථයේ හෝ කැබ්රථයේ සිටියවුන්ට නොපෙනේ. යතුරු පැදියේ ආ දෙදෙනා කැලේ ඇතුළට ගිය බව දැක්කේ විමල් පමණි.

තව සුළු මොහොතකදී තම ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම වනු ඇතැයි මෙනෙහි කරමින් වාහන දෙකේ සිටි අය ඇසිපිය නොහෙළා විමල් දෙස බලා සිටී. විමල්ගේ ගමනද හෙමින්ය. ගොදුරකට ළංවන සතෙකු මෙන් බොහෝම විපරමින් යුතුව විමල් යතුරු පැදිය වෙතට ළංවිය. යතුරු පැදියට ළංවු විමල් කොන්ද නවාගෙනම එය හො`දින් පිරික්සීය. ක්‍ෂණිකව නැගී සිටි විමල් කැලේ දකුණුපැත්ත දෙස හැරී බැලූවේය. යතුරු පැදිය බිමදමා කැලේට ගිය දෙදෙනා විමල් දෙස  ඕනැකමින් බලා සිටින අයුරු විමල්වත් නොදිටීය. විමල්ගේ තද කොළපැහැති කමිසයක් ඇද සිටින පුද්ගලයකු තමන් ආ යතුරු පැදිය අසල සිටිනවා දුටු මෙතෙක් වෙලා කැලේ සැගවි සිටි පුද්ගලයන් දෙදෙනා කැලේ ඈතටම දිවයන්නට විය.

දෙගිඩියාවකින් සිටි විමල්ගේ සිතට දැනුන සැහැල්ලූව මෙපමණකැයි කිව නොහැකි තරම් විය. ඔහු එතැන සිටම තමන් පැමිණි. වාහන දෙකේ සිටි අයට අතින් සන් කළේ එතැනට එන ලෙසය.  විමල්ගේ සංඥාව දුටු වාහන දෙකේ සිටි හය දෙනා විමල් සිටි දෙසට යන්නට පිටත්වූයේද කොන්ද නවාගෙනය. නමුත් දැන් විමල් ඉන්නේ හිටගෙනය.

‘‘බය වෙන්න දෙයක් නෑ. මුන් කොටි නොවෙයි. කැලේ හොරෙන් පතල් කපන්න ආපු උන් වගයක්. ඉල්ලම්කූරු වට්ටි එහෙම දමලා කැලේ ඇතුළට දිව්වා.’’ කියමින් විමල් යතුරුපැදිය අසලවූ ගැරුම් වට්ටිය පොඩිකළේය. එතැන ඉල්ලම්කූරු දෙකක්ද විය.
විමල් එසේ කිව්වද සෙසු හය දෙනා තුළ පැලපදියම්ව තිබු බිය සන්තාසය, අවිනිශ්චිත බව තුරන් කිරිමට ඒ වදන් සමත් නොවු බව විමල්ට අවබෝධ විය. කෙසේ වෙතත් ගමනේ බලාපොරොත්තුව වු මහ කැබිලිත්තට තව බොහෝ දුරක් යායුතුය. ඒ සදහා හොද මානසිකත්වයක් අවශ්‍ය බව විමල් අත්දැකීමෙන් දැන සිටි නිසා මේ හයදෙනාගේ කෙසේ වෙතත් රියදුරන් දෙදෙනාගේ හිත සැහැල්ලූ කළ යුතු බව විමල් හොදින් දැන සිටියේය.

‘‘මේ කැලේට කවුරුත් වැඩිය එන්නේ නැති බව දන්න ළගපාත ගම්වල ඉන්න මිනිස්සු එකා දෙන්නා ඇවිත් හොරෙන් පතල් කපනවා ඇති. කුඹුක්කන් ඔයේ මැණික් ගරන එක ලේසියි නේ. අපි මඩමෙතොට දේවාලෙ පහන් පත්තු කරන කොට කවුරුහරි මෑතක පහන් පත්තුකරපු සලකුණු තිබුණේ මේ ආපු අය වෙන්න ඇති. කවුරු මොනවට මේ කැලේට ආවත් කැලෑවෙදි කරන සිරිත් විරිත් නම් අමතක කරන්නේ නෑ.’’ විමල් පැවසුවේ තමන් සමග පැමිණි අයගේ බිය නැති කිරීමේ අරමුණු පෙරදැරිවය.

අලූත්ගංආර එගොඩවී පිරිස ඉදිරියට ගමන් කරති. මාර්ගයේ වම් පැත්තේ කුඹුක්කන්ඔයයි. දකුණු පැත්තේ ඇත්තේ වනාන්තරයයි. වාහන දෙකේ හ`ඩ වනාන්තරයේ නිහඩ බව නැතිකරයි. කුඹුක්කන්ඔයට ආසන්නව පාර වැටී ඇති තැනකදී කුඹුක්කන්ඔය දෙස සිට පුද්ගලයන් දෙදෙනෙක් වනාන්තරය ඇතුළට දිවයනු විමල් දුටුවේය. ඔහු සෙසු පිරිසටද ඔවුන් දෙදෙනා ප`දුරු උඩින් පැන ගස්වලට මුවා වෙමින් පස්ස නොබලා දිවයන අයුරු පෙන්නුවේය.

‘‘එකත් එකටම මුන් කුඹුක්කන් ඔයේ මැණික් ගරගරා ඉන්න ඇති. වතුර ගලන ශබ්දයට වාහන දෙකේ හ`ඩ ඇහෙන්න නැතුව ඇති. ළගට ආවා විතරයි වාහන දෙක දැක්ක ගමන් බයවුණා. පණ කඩාගෙන දිව්වා.  ඕවා මේ කැලේ එනකොට ඉදලා හිටලා දකින්න ලැබෙනවා.’’ යි කියමින් ඉදිරියට  යමු යැයි විමල් පිරිසට යෝජනා කළේය.

මේ වනවිට පිරිස තුළ තිබු බිය සැක සංකාව ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බව විමල්ට අවබෝධ වෙමින් තිබුණි. එය ඉදිරියට ගමන් කිරිමට අත්‍යවශ්‍ය සාධකයකි. කෙසේ වෙතත් දැන් ඉර අවරට යමින් තිබේ. මහ කැබිලිත්තට යන්නට තව කිලෝමීටර් විස්සක් විසි පහක්වත් යායුතුය. හරිහමන් පාරක් නැති මේ මහ කැලේ එවැනි දුරක් යන්නට තව හෝරා පහ හයක්වත් ගත වනු ඇත. ඒ ගමන මේ යන ආකාරයට ගියොත් මහකැබිලිත්තට යනවිට රෑ අට නවය වනු ඇතැයි විමල්ට සිත්විය. එහෙත් ඔහු සෙසු පිරිසට ඒ බව ඇගනොවීමට වගබලා ගත්තේය.

වාහන දෙක කලූකුඤ්ඤං ආර අසලට ආවේය. මාස ගණනකින් කලූකුඤ්ඤං ආරෙන් වාහනයක් එගොඩ වී ඇති බවට සලකුණක්වත් නැත. කලූකුඤ්ඤං ආරේ ඉවුරද තද බෑවුමකින් යුතුය. වාහන එගොඩ කිරිමට නම් වින්ච් පාවිච්චි කළ යුතුය. බෑවුම අඩුම තැනින් වාහන දෙක කලූකුඤ්ඤං ආරට බස්සවා එගොඩ කරවීමට තීරණය විය. ඒ අනුව කලූකුඤ්ඤං ආරෙන් එගොඩ ගසකට දැමු වින්ච් වල උදව්වෙන් වාහන දෙක එගොඩ කෙරෙනි. රියදුරන් පමණක් වාහන  දෙකේ සිටි අතර සෙසු අය පයින් එගොඩ විය.

ගමනට තව කොච්චර දුරක් ඇද්දැයි දැනගැනීමට පිරිසට වුවමනා බව ඔවුන්ගේ හැසිරීම් අනුව විමල්ට අවබෝධ විය. නමුත් බුතව බංගලාවේදි ‘කට වරද්දා’ නොගන්නා ලෙස දුන් අවවාදය දැන් පිරිස අකුරටම පිළිපදින ආකාරයක් දිස්විය.


කැලෑවේ හේනක්

’‘තව කිලෝමීටර් විස්සක් විතර මහ කැලේ යන්න  ඕනෑ. දෙවියන්ගේ පිහිටෙන් අපි එහෙනම් යන්න බලමු’’ විමල් පැවසුවෙන් සෙස්සෝ ගමනාවසානයට ඇති දුර හිතාගත්හ.

කලූකුඤ්ඤං ආර තරණය කර ඉදිරියට ඇදෙද්දී තවත් මාර්ග බාධකයකි. එය කලූකුඤ්ඤං ආරට වඩා විශාල බාධකයකි. නමුත් කලූකුඤ්ඤංආර මෙන් ඉවුර දෙපස මහ ගස්කොළං අඩුය.

‘‘මේ තමා අලකොළආර. මේකත් කොහොම හරි එගොඩ වෙමු.’’ මග පෙන්වන්නාවු විමල් සිය හඩ අවදි කළේය. වැසි සමයේ ගසාගෙන ආ ලොකු ගස්වල කදන් අලකොළ ආර හරහා වැටී තිබේ. ඒ නිසා වාහන දෙක එගොඩ කිරිමට පෙර සුදුසු තැනක් බලා ගන්නට විමල් සමග රියදුරන් දෙදෙනා අලකොළ ආරට බැස විපරම් කරන්නට විය. අලකොළ ආරේ වතුර දණහිසින් ඉහළට ඇති බව කාටත් අවබෝධ විය.

අලූත්ගං ආරට, කලූකුඤ්ඤං ආරට, අලකොළ ආරට මුලින්ම බහින විට විමල් අත තිබු දිග රිටකින් එහි දියක`දට වැරෙන් පහර එල්ලකරන ආකාරයක් දිස්විය. එසේ කරන්නේ ඇයිදැයි විමසීමට පිරිසේ සෑම කෙනෙකුටම වුවමනා වුවත් එය ඇසීම ද කට වරද්දා ගැනීමක් විය හැකි නිසා ඒ ගැන කෙළ පිඩක් හෝ නොහැළීමට පිරිස වග බලාගත්හ.

අලකොළ ආරට මුලින්ම විමල් බැස්සේ ‘‘මේවායේ කිඹුල්ලූ ඉන්න පුලූවන්. අපිට සමහර වෙලාවට උන් පේන්නේ නෑ. සත්තු වතුර බොන්න බහිනකම් කිඹුල්ලූ මාන බලං ඉන්න වෙලාවල් තියනවා. අපි එහෙම වෙලාවක බැස්සොත් අපිටත් කිඹුල්ලූන්ගෙන් කරදර වෙනවා. දිග රිටක් අරගෙන වතුරට බහින්න ඉස්සර වතුරට ගැහුවම කිඹුලා රැවටෙනවා. එක්කෝ ඌ ශබ්දය ඇහිච්ච පැත්තට පනිනවා. නැත්නම් ඉන්න තැනකින් යනවා. මේවා කැලෑ ගමන් වලදී දැනගෙන ඉන්න  ඕනෑ. නැත්නම් කොයිවෙලේ කරදර වෙනවද දන්නෙ නෑ.’’ විමල් කියද්දී පිරිස සතුටක් දැනුනේ තමන් බලාපොරත්තුව සිටි පැනයකට පිළිතුරක් ලැබීම නිසාය.

අලකොළ ආරෙන් වාහන දෙක එගොඩ කිරීමට තරමක මහන්සියක් ගන්නට සිදුවිය. වාහන දෙක එගොඩ කරගත්තද ඉදිරියට යායුත්තේ, තිබු පාරේ සලකුණු සොයා ගනිමින්ය. මසකට වරක්වත් මෙහි වාහනයක් ආ ගියත් යුද්ධයත් සමග වාහන  නොපැමිණීම නිසා දැන් ඒ ජිප් රථ පාර පවා කැලෑවට වැසි ගොසිනි.  

අලකොළ ආරෙන් වාහනය එගොඩ කිරිමට තරමක වෙහෙසක් ගැනීමට සිදුවුයෙන් පිරිස සිටියේ දැඩි මහන්සියකිනි. විඩා නිවාගැනිමට වෙලාවක් නොවුයෙන් පිරිස යළිි වාහන දෙකේ නැගුනේ මහ කැබිලිත්තට යන අදහසිනි.

ඉදිරියට යද්දී පාරක් ඇත්තේම නැත. කලකට ඉහතදී ජිප් රථ ගමන් කිරිම නිසා හැදුණු පාර දැන් කුඩා පදුරු වලින් වැසි ගොසිනි. මගපෙන්වන්නා වු විමල්ටද පාර හොයාගැනීමට තරම් අපහසු තත්වයකි. කෙසේ වෙතත් ඔහු යන පාරේ තැනින් තැන මං සලකුණු යෙදුවේ පුරුද්දටය. වැහනයෙන් බැස්ස විමල් පාරක ලකුණු විපරම් කරන්නට විය. මහ කැබිලිත්තට යන්නනම් බස්නාහිරට යා යුතුය. කිසිවෙකු අත මාළිමාවක් හෝ නොවීය. නමුත් බැසයන හිරු අහසේ දිස්වු නිසා හිරු අනුගමනය කරමින් බස්නාහිර පැත්තට තිබු කුඩා පාර ඔස්සේ වාහන දෙක ඉදිරියට ඇදෙන්නට විය.


වන අලියෙක්

ඉර බහින පැත්තෙන් වමට බරව ගියවිට මහ කැබිලිත්ත හමුවෙයි. නමුත් මේ වාහන දෙක ඉර බහින පැත්තෙන් දකුණට බරව යන බවක් විමල්ට දැනුණි. ගස් කපා දැමූ දැව කදන් කිහිපයක්ද, තැන තැන විය. අලකොළ ආර එගොඩ වු පසු පාර වැරදුණු බව විමල්ට හොදින් අවබෝධ විය.

‘‘අපිට පාර වැරදුනා. කිසිම දවසක කැලේ ගමනකද සිදු නොවුණු දෙයක්. කතරගම දෙවි හාමුදුරුවො වැඩ ඉන්න මහ කැබිලිත්තට යන්න ආ ගමනකදි මෙහෙම දෙයක් වුණාමයි. ලොකු අඩුපාඩුවක් වෙන්න ඇති ඒකයි මෙහෙම වුණේ.’’ විමල් කියද්දී සෙස්සෝ එකිනෙකාගේ මුහුණු බලාගත්හ.

අජිත්ලාල් ශාන්තඋදය
ලංකාදීප කතෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/87545

No comments:

Search This Blog