Wednesday, October 16, 2013

ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද

කොළඹ නගරයෙන් හිමිදිරියේ පිටත්වූ අප රත්නපුර බලංගොඩ හරහා කළුපහනට පැමිණෙන විට මධ්‍යාහ්නය ළඟා වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි. කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුර කි. මී. 5 යි’ යන්න සඳහන් කර තිබුණි.



අප රැගත් ඩබල් කැබ් රථය දියඇල්ල වෙත ඇදෙන පටු මාර්ගයේ වංගු ගැසෙමින් කඳු තරණය කරන්නට විය. මාර්ගයේ සමහර තැනක වළවල් හෑරී අබලන් වී තිබු නිසා වාහනය පැදවීම පරිස්සමෙන් කළ යුතු විය. අපි වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ඇදුණෙමු.

මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය. වාහනයේ කවුළු අතරින් හමා එන වේගවත් සුළඟ අව් රැල්ල පරදවමින් ගත සුවපත් කරයි. ඉහළ පහළ නැගෙමින් විවිධ උස් මට්ටම්වලින් නැගී සිටිනා පර්වත කූටයන් ද පහළ නිම්නයේ සිරි සිරියාවෙන් ගලා බසිනා දොළ පහරවල් ද අප නෙත පිනවයි. කඳු හිස් බොහොමයක් හිස් මුඩු කළ මිනිසුන් මෙන් වනයෙන් තොරව මුඩු බිම් බවට පත්ව තිබුණේ යටත් විජිත යුගයේ වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒවා තණ තලාවෙන් ද තැන තැන දැකගත හැකි බැදි කුට්ටිවලින් ද යුක්ත විය. පහත නිම්නයේ පැතිර ඇත්තේ දුෂ්කරතා ජය ගනිමින් ජීවිතය හා පොරබදන ගැමියන්ගේ මහන්සිය කියාපාන හෙල්මළු කුඹුරු ය. ජලය ගලා යන නාදයත් සුළඟේ “හෝ... හෝ...” වත් හැරෙන්නට පරිසරය නිසල ය.

මේ පාළු නිසංසලත්වයත් වටපිටාවේ මහා අවකාශයත් අප සිත් සමාධි ගත කරවන්නට සමත් වේ. කඳු මුදුන්වල උස වැඩි කරනා පයිනස් ගස්වලට ඉහළින් අහසේ කරකැවෙනා සර්ප රාජාලියකු ගොදුරකට ඉව අල්ලයි. වැහිලිහිණියෝ රංචුවක් සුළං පහර කපාගෙන වක්‍රාකාරව අහසේ පාවෙති.

ටික වේලාවකින් අප ඉදිරියේ ඉහළ නැග සිටියේ අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කඳු මුහුණතකි. බඹරකන්ද දියඇල්ල මේ පර්වත කූටය මධ්‍යයෙන් නිසංසලේ පහළට කඩා හැලෙන්නේ දිය සුදු පැහැති දිය සේලයක් මවා පාමිනි. සැබවින්ම එය මහා ජල ප්‍රවාහයක් නොවේ. උසට නොසරිලන තරම් කුඩා ජල ප්‍රමාණයකි, මේ දියඇල්ලේ අඩංගුව ඇත්තේ.

එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවට වනාන්තර එළි පෙහෙළි වී ඇති නිසා දියඇල්ලට එකතු වන ජල ප්‍රමාණය අඩුවීමයි. දියඇල්ල ඇරැඹෙන හෝටන් තැනිතලාවේ බෑවුම් ප්‍රදේශවල ද තේ වගාව නිසා වනය සමුගෙන ඇත.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්) වූ බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.

දියඇල්ල පෙනෙනා දුරින් වාහනයෙන් බැස ගත් අපි ඇල්ල පාමුලට ගමන් කරන්නට වූයෙමු. මේ අවට සිසිල් දේශගුණය සුවදායක හැඟීමක් අප තුළ ජනිත කරයි. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.

දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. සුළං පහරට හසු වී දිය කෙඳි ඒ මේ අතර පැතිරෙන අතර අවට ප්‍රදේශයම මේ ජල වාෂ්පයෙන් පිරී ගොසිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ. එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.

ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය. ඒ අවට ජලය පි‍්‍රය කරන ශාක වැවී අපූරු වන ගොමුවක් නිර්මාණය වී ඇත. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි ශාක අවට පැතිරී වටපිටාව සෙවණ කරයි.

දියඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ උඩුමේරිය තේ වතු යායයි. ඇල්ල අසලින් කඳු තරණය කරනා කුඩා මාවත උඩවේරිය හරහා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා අඩි පාරක් සේ ඇදී යයි. හෝටන් තැනිතලාවට දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණෙන සොබා රසිකයන්ගේ මාර්ගයක් බවට බඹරකන්ද පාර ද පත් ව තිබේ.

එමෙන්ම දියඇල්ල ඉහළට ගමන් කර අවට වටපිටාව වඩාත් සුන්දරව දැක ගැනීමට ද ඔබට පුළුවන. ඒ සඳහා අඩි පාර ඔස්සේ මීටර 200 ක පමණ නැගීමක් කළ යුතු ය. ඉතා දුෂ්කර මඟක පැය එකහමාරක් පමණ එහිදී ගමන් කිරීමට සිදු වේ. එය තවත් අපූරු පරිසර අත්දැකීමක් වනු ඇත.



දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම ඔබට දැක බලා ගත හැකි ය.

එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි. බඹරකන්ද දියඇල්ලේ පාර්ශ්වික දසුනකින් සිත් පිනවා ගැනීමට ද මෙහි දී ඉඩ ලැබේ.

අප කඳු යායක අතරමං වී ඇත. ඈතින් කඳු කපොලු අතරින් දිස්වන මහා අවකාශය පහළ ඌවේ කඳුවැටි හා නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇදී යයි. කඳු තරණය කරමින් විඳි වෙහෙස මෙම මනරම් දසුන නිසා අහෝසි වී ගොසිනි. සොබාදහම කෙතරම් සුන්දර ද? මේ කඳු අතර සිටින අප සිත් තුළ රැව් දෙන්නට වූයේ එම අදහසයි. එහෙත් ඒ සුන්දරත්වය පසක් කර ගැනීමට නම් අපගේ හදවත ද පිවිතුරු විය යුතු වේ.

කේ. එස්. විජේවර්ධන

http://www.silumina.lk/2010/08/29/_art.asp?fn=av10082918

Photo Credit goes to Dr. Athula Padmasiri.

No comments:

Search This Blog