ඌව වෙල්ලස්ස කවදත් ජාතිය වෙනුවෙන් සටන් වැදුනු රණවිරුවන් සිටි රන් පොළොව විය. මෙම නිදහසේ පිය සටහන් මත ජාතියේ ලේ තැවරී ඇත. එම කතන්දරය හැම හෙළයෙක්ම කියවිය යුතු ජාතියේ කතන්දරයයි. ඒ අප මුතුන් මිත්තන් ගෙන ගිය සටන් වල ප්‍රතිඵලය ලෙස 1948 පෙබරවාරි 4 අපට දේශපාලන නිදහස ලැබුණි. එම අසිරිමත් කරුණ අද අපි සාඩම්බරයෙන් සැමරිය යුතුව ඇත.
වීර කැප්පෙටිපොල ඇතුළු අප මුතුන් මිත්තන් කළ සටන ඌව දනව්ව පමණක් සීමා වූ ප්‍රාන්තීය සටනක් නොව මුළු හෙළයම අධිරාජ්‍ය පාලනයෙන් හා කෘෘර ඒකාධිපති පාලකයින්ගෙන් නිදහස් කර ගැනීමේ ජාතික සටනක. මෙම ජාතික නිදහස් සටන සඳහා උපදෙස් දී ආශිර්වාද කර යුධ පිටියට පවා ගොස් ඇත්තේ අප බෞද්ධ භික්ෂූන් වහන්සේ බව ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ඌව මහ කැරැල්ල පර්යේෂණ ග්‍රන්ථ වෙළුම් වලින් පෙන්වා දී ඇත.
1815 උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට පෙර සුද්දන්ගේ කතිර ධජය එසවීම ගැන ප්‍රකෝප වූ අපේ වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කළ සිංහ නාදය ජාතිය පවත්නා තෙක් හැම හෙළයෙක්ම අමතක නොකළ යුතු සිද්ධියකි.
නිදහස් සටනට උරදුන් සංඝරත්නය
ඌව මහ හටන මෙහෙයවූ අපේ මුතුන් මිත්තන් තම සටන් පෙරමුණේ රජු ලෙස තෝරාගත්තේ භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිටි අයෙකි. විල්බාවේ හාමුදුරුවෝ සිවුරු හරවාගෙන සිංහළයේ රජු ලෙස අභිෂේක කළේ අප ඌවේ නිදහස් සටන ගෙන ගිය කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු පිරිසයි.
එදා සටන් මෙහෙය වන විට ජනතාව පිළිගන්නා රජෙක් සිටිය යුතුව තිබුනි. ඌවේ සටන මෙහෙයවීමට රජකු අවශ්‍ය විය. රජෙකුගේ තේජසය රාජ උදාර පෞරුෂය ඇති අයෙකු කිවුලේ ගෙදර මොහොට්ටාලට සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා තෝරාගත්තේ විල්බාවේ හාමුදුරුවොයි. මෙම හිමිනම අස්ගිරි විහාරයේ උපසපන් හිමි නමක්ව සිටි බව විල්බාවේට විරුද්ධව පසුව අසන ලද නඩු විභාගයේදී ඔප්පු වී ඇත. එහිදී සාක්ෂි දුන් සාක්ෂිකරුවෙක් විල්බාවේ හදුන්වා දී ඇත්තේ මෙසේය.
විල්බාවේ වෙදරාල්ලෑගෙදර හෙවත් ලේකම් ලෑ ගෙදර හෙවත් කපුරාල්ලෑගෙදර මුදියන්සේ නැමැති තැනැත්තා කැරැල්ලට පෙර විල්බාවේ උන්නාන්සේ නමින් මා දැන සිටියා වූද අස්ගිරි විහාරයේ දී ඔහුගේ උපසම්පදාව සිදුකරන අවස්ථාවේ මට දක්නට ලැබුණු පුද්ගලයාද මොහුම යයි යනුවෙන් සාක්ෂී දී ඇත.
එසේම එම සාක්සීකරු මෙසේද සඳහන් කර ඇත. මොණරාගල සිට ආපසු එන ගමනේදී බුත්තල විහාරය තුල සිරකර සිටි භික්ෂූන් සමුහයක් දිටිමි. එසේම මෙම සටන් සමයේදී භික්ෂූන් වහන්සේ ඉතා දුෂ්කර ගමනක යෙදී සිටි බැව් පෙනේ. මහනුවර සිට මහියංගනය, හේවාහැට, දියතලාවල. හගුරන්කෙත, කතරගම වැනි ප්‍රදේශවලට ඉතා දුෂ්කර ගමනක සතුරන්ට අසුනොවී නිදහස් සටන මෙහෙයවීමට සංඝයා වහන්සේ ගිය ගමන ගැන තෙන්නකෝන් විමලානන්දගේ ඌව මහ කැරැල්ල පොතේ විස්තර කර ඇත.
මෙම ව්‍යාජ රජුගේ අණ පරිදි වියළුව සහ වලපනේ දිසාව තනතුරට පත්කරන ලද කිවුලේගෙදර මොහොට්ටාල විසින් එවන ලද පණිවුඩයක් මගින් මා ව්‍යාජ රජු වෙත යවන ලදී.
“මෙම භික්ෂූන් වනවාස ගණයට ඇතුලත් බවද ඔවුන්ගෙන් කෙනෙකු රජ යයි කියන පුද්ගලයා බවද මට අසන්නට ලැබුණි“ යැයි සාක්ෂිකරු තැනක කියා ඇත.
විනිශ්චයකාර හෙන්රි රයිට් ඉදිරිපිට විල්බාවේ තම නිදහසට කී කරුණු -
විල්බාවේ තම නිදහස සඳහා කළ පාපොච්චාරණය තුල ඉතා වැදගත් කරුණු රැසක් ගැබ්ව ඇත. (1. උඩරට මහා කැරැල්ල තුන්වන වෙළුම - 3 සිට තෙන්නකෝන් විමලානන්ද 2 එම - 6 වැනි පිටුව).
“කුරුණෑගලට නුදුරු විල්බාවේ ගමේ සිට තවත් භික්ෂූන් සත් දෙනෙකු සමග වන්දනා ගමනක් සඳහා පිටත්වීමි. මා සමග ගිය සදෙනා අතරින් අල්ගම උන්නාන්සේ තත්ත්වයෙන් මට සමානය. අනෙක් පස්දෙනා මගේ ශිෂ්‍යයෝය. සිංහළයේ නොයෙක් පළාත් මැදින් ගමන් කල අපි තුන් කෝරළය සතර කෝරළය සබරගමුව ඌව සහ බින්තැන්න හරහා කතරගම සිද්ධස්ථානය කරා ගොස් දඹුලු විහාරයට යන අදහසින් මහියංගනය ඉදිරිපස ගමන් කරමින් සිටියෙමු. එකල බින්තැන්නේ වැදි රටේදී දුනු හී ගත් වැදි පිරිසක් සමග පැමිණි කිවුලේ ගෙදර මොහොට්ටාල අපට යන්ට ඉඩ නොදී නැවැත්වීය. ඔවුහු මගේ සිවුර ඉවත් කරන ලෙස මගෙන් ඉල්ලීය. මක් නිසාදැයි මම ඔහුගෙන් ඇසිමි. කැරැල්ලට මා සම්බන්ධ කරගනීමට ඔවුනට උවමනා බව ඔවුහූ කීහ. මා වනවාසී භික්ෂූවක් බැවින් ඔවුන්ගේ ඉල්ලීමට එකගවිය නොහැකි බැව් කීමි. මට එසේ කිරීමට බලකළ ඔහු අනිකුත් භික්ෂූන් පිටත් කර හැරීමට කැමති වූහ. මම දින දහයක් හා පහලොවක් එම ගුහාවේ රැදී සිටියෙමි. වෙන භික්ෂූන් පිරිසක් අසල ගුහාවක සිටි බව මේ කාලයේ මට අසන්නට ලැබුණේය. මේ අතර කිවුලේ ගෙදර එහි පැමිණ යුද්ධය ආරම්භ වූ බවත්, තවදුරටත් එහි රැදීම නුසුදුසු බවත් කීය. අපි පළමුවෙන් හේවාහැටට පැමිණියෙමු. මින් දින පහක් ගත කලාට පසු කැප්පෙටිපොල කොත්මලේ සිට දන්ත ධාතූණ් වහන්සේ රැගෙන පැමිණියේය. සම්භාවණීය දර්ශනයක් මා කෙරෙන් විද්‍යාමාන වූ බැවින්ද හොඳට බණ කීමෙහි සමර්ථ හෙයින්ද කිවුලේගෙදර මොහොට්ටාල මා මේ සඳහා ඉදිරිපත් කළේය. (3 උඩරට මහා කැරැල්ල තුන්වන කාණ්ඩය 16-19 පිටු).
විල්බාවේගේ මෙම ප්‍රකාශය තුල ඌව මහ සටනේ ප්‍රධාන ලක්ෂණ හා පරමාර්ථ සියල්ල ගැබ්ව ඇත. මෙම සටන ජාතික සටනකි. සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ගෙන ගිය ජාතික සටනකින් සිංහළයා මුදුන්මල්කඩ ලෙස සැලකූ දළදා හාමුදුරුවෝ පෙරටුවේ තබා රට දැය ආගම සඳහා නිදහස් සටනකින් මහනුවර දළදා මාළිගාවෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේ රහසේම ලබාගෙන ඌව කැරළි නායක කිවුලේගෙදර මොහොට්ටාල අතට පත්කළ වාරියපොල සුමංගල හිමියන්ගේ අභීත ක්‍රියාව ආචාර්්‍ය තෙන්නකෝන් විමලානන්ද පෙන්වා දී ඇත. මෙසේ ගෙන ආ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අභියස තබාගෙන සිංහළේ ජන සම්මත රජු වූ විල්බාවේට අභිෂේක මංගල්‍යයක් හගුරන්කෙතදී සිදුකළ අන්දම ඌව මහ සටනේ විස්තර කර ඇත. විල්බාවේට විරුද්ධව විමසු නඩුවේ පළමුවන සාක්ෂිකරු කළ කරුණුද අප නිදහස් සටන පිළිබඳව වූ වැදගත් තොරතුරු රැසක් මෙසේ සඳහන්ව ඇත.
“ඌව උඩුකිඳ දී පළමුවෙන්ම කැරැල්ලට සම්බන්ධ වූ මම ව්‍යාජ රජු හා කැප්පෙටිපොල සමග හේවාහැට ප්‍රදේශයේ දිය බෙත්මට ගියෙමි. එහි තනා තිබූ මාලිගාවට පැමිණි ව්‍යාජ රජු විදේශිකයන් පළවා හැර රාජ්‍ය සෞභාග්‍යයට පැමිණවීම සඳහා කතරගම දෙවියන් විසින් ඔහු පත්කරන ලදැයි ශබ්ද නගා ප්‍රකාශ කළේය. පසු දින අපි ඌවේ කන්ද පල්ලේ කෝරළේ ලේමස් තොටට ගියෙමි. රාජ ලීලාවෙන් ඇඳ පැළඳ සිටි ව්‍යාජ රජු එහි ගෙනගියේ රාජකීය දෝළාවකිනි. මේ කාලය තුල ව්‍යාජ රජු වශයෙන් පෙනී සිටි සිරකරුවා පදවි රාශියක් ඇති කර ඒ ඒ අයට පවරා දෙන ලදී. ඔහුගේ මහ අදිකාරම් වශයෙන් ක්‍රියාකලේ කැප්පෙටිපොලය“.
සාක්ෂිකරු මෙසේද කීවේය.
“කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා සෝවර්ස් මහතා විසින් ඌවට යවනු ලැබූ කැප්පෙටිපොල පහත ඌවේ කරෙව්ලදී හමු වූ දූතයෙක් කැරළි කරුවන්ගේ රජු එවූ ලිපියක් බාර දුන්නේය. ඒ ලියුම කියවනු මට ඇසුනේය. (එය ලැබෙන විට හෙතෙම දිසාව සමඟ සිටියේය.) ලියුමෙහි සඳහන් වුයේ කැරළි කරුවන්ගේ රජු විසින් මහනුවරට අයත් සියළු උසස් තනතුරු ඔහුට පවරා ඇති බැවින් වහාම රජු ඉදිරිපිට පෙනී සිටිය යුතු බවය. මේ තල්පත කියවීමෙන් පසු මා ඇතුළු ඔහු පිරිවරා සිටි වෙනත් මුලාදෑනිවරුන්ට ඉවත්ව යන ලෙස අවසර දුන්නේය. පසු දින උදේ දිසාව දක්නට නොමැති විය. වෙල්ලස්සේ සිට රජු කරා කැඳවාගෙන යාම පිණිස එවන ලද ආරක්ෂක පිරිස සමග පිටත්ව ගිය බවත්ය ඔහුගේ සියලු පිරිවර ජනයා නවත්වා ඔවුන් අතරින් සුළු මුලාදෑනි දෙදෙනෙකු පමණක් කැටුව රාත්‍රියේම පිටත්ව ගිය බවත් අපට අසන්නට ලැබුණේය.“
“කැප්පෙටිපොල මෙම ව්‍යාපාරය සිය කැමැත්තෙන්ම කරන එකක් හැටියට මෙම සිදුවීම අනුව අවබෝධ කරගතිමි. මීට මාස 3කට පමණ පසුව උඩුකිඳ දී මට කැප්පෙටිපොල හමුවිය. පළමුවෙන්ම කැප්පෙටිපොල කැටිව නොපැමිණීම ගැන මට චෝදනා කොට ඔහුගේ අණ පරිදි මාව දින 15ක් සිරභාරයේ තබන ලදී“. (උඩරට කැරැල්ල තුන්වන වෙළුම 10 – 20 පිටු ).
ඌව කැරැල්ල මෙල්ල කිරීමට කැප්පෙටිපොල ඌවට පැමිණි පුවත ආචාර්යය පුංචි බණ්ඩාර සන්නස්ගල පවසන්නේ මෙසේය. “එදා කැරැල්ලේ නායකත්වය දැරූ කොහුකුඹුරේ රාළ කැප්පෙටිපොල අමතා මෙසේ කීය. පස්වාන් දහසකට බුදුවන්ට හාමුදුරුවනේ අපි මේ කරන්නේ නැති වී ගිය සිංහල රාජ්‍ය ඇති කරගැනීමේ සටනක් එයට ඔබ වහන්සේගේ නායකත්වය දෙනු මැන.“
මේ අනුව කැප්පෙටිපොල තබා සමග එවූ සෙබල හමුදාවත් අවි ආයුධත් සියල්ලම ඉංග්‍රීසීන්ට බාරදී ඌව ජනතාව හමුවේ දිවුරාල රට ජාතිය බේරාගැනීමේ සටනේ පුරෝගාමීත්වය භාරගත් බවට එදා කැප්පෙටිපොල ප්‍රසිද්ධියේ පොරොන්දු විය. මෙම පොරොන්දුව අණබෙර මගින් ප්‍රචාරය කළ විගස සුළං රැල්ලක් සේ උඩරට රාජ්‍යය තුලම වැසියන් බොහෝ දෙනෙකුට දැනගැනීමට ලැබුණේය. (පූජිත ජීවිත පළමු වෙළුම - පිට 6).
ඌව දනව්ව