dunhinda.com

Tuesday, December 6, 2016

ඌවේ සැඟවුණු ඉතිහාසය

අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද ප්‍රෙෘඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක්‌ වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු සොයා යන ගමනක්‌ වීමත්, මෙම ලිපියේ පරමාර්ථය සේ හුවා දක්‌වමි.



සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී “හූ” යන හඬ ජනිතවීම නිසා “හූව” නොහොත් “ඌව” යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.

දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.

“කිඳ” යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස “උඩුකිඳ” ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස “යටිකිඳ” ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.

පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර “උඩුකිඳ” කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර “යටිකිඳ” කොටසත් අයත් වේ.

ලෝකාන්තය(- “ඔහිය” නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක්‌ පාසාම “ආගමික භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස්‌ ක්‍රීඩකයන්ට පාරාදීසයක්‌ බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි “දියතලාව” නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන “දිව්රුම්වෙල” විහාරස්‌ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ.

අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත “දුන්හිඳ” දිය ඇල්ලත් “මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක්‌ යටින් සකස්‌ වූ දුම්රිය මාර්ගයක්‌ පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ “දෝවේ” රජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, “සෙන්ට්‌ ඡේමිස්‌ නැග්මත්” පිහිටි “හාලිඇල” නගරයත්, නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.

බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක්‌ (බත් ශාලාවක්‌), බත් හලක්‌ ඉදිකර තිබූ ස්‌ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.

බිබිල – බුත්තල, මොනරාගල යන නගර ආශ්‍රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්‌ත්‍රික්‌කය පුරාවටම බුරුත, තේක්‌ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්‌කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක්‌ වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්‌ථානයන්ගෙන් ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දීප්තියක්‌ වැටී ඇත.

ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.

පෙර රජදවස රහතන් වහන්සේ දහස්‌ ගණනින් වැඩවිසූ ඓතිහාසික කූරගල ශ්‍රීපාද දිවාගුහා විහාරස්‌ථානය දක්‌වා වසර දස දහසකට එපිට කාල පරාසයකදී මුහුද තිබූ බවට වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙන්නේ කූරගල අවට “වැලිපතයාය” ප්‍රදේශයේ අදටත් මුහුදු බෙල්ලන්, මුහුදු වෙරළාසන්න වැවෙන පන් වර්ග, මූදුවැලි පවතින බවට නිදසුන් ගෙනහැර පාමිනි. එකල විශාල වැලි වරායක්‌ව තිබූ පෙදෙස වැලි+වරාය – වැල්ලවාය වී පසුකලෙක භාවිතයට යෙදී ඇති බව ද වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙති.

අතීතයේදී ගොවියන්ට තම මඩ ඉඩම් වලින් සරුසාර අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවූත්, දැනට මුව, ගෝන, අලි ඇතුන්ටත්, සේරුන් නමැති පක්‍ෂීන්ටත්, ජලය සපයනු ලබන තණමල්විල වැව ගැන ද සඳහන් කළ යුතුව ඇත. බළන්ගොඩ මැතිවරණ කොට්‌ඨාසයේ “වේලිඔය” හරස්‌කර මහනෙටුල, කුඩානෙටුල, කංඩියපිට, බෝගස්‌වැව, අළුත්වැව, අරඹේකෙම, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්‌ස, හම්බේගමුව වැව දක්‌වා කිලෝ මීටර් 25 ක ඇළක්‌ මගින් ජලය සැපයෙමින් කුඩාවැව් 20 කට වැඩි ප්‍රමාණයකින් ගොඩ, මඩ අක්‌කර 5000 කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන වාරි කර්මාන්තයක්‌ද පසුගිය වර්ෂයේදී ජනතා අයිතියට පැවරිණි.

කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක්‌ වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක්‌ නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක්‌ නිසා වෙල්ලස්‌ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්‍රදේශයකි.

බිංතැන්න – බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්‍ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්‌ථාවේ බිංතැන්නේ සිටි යක්‍ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්‌දිව) දැක්‌වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක්‌ පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්‌ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක්‌ පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් “රිදීකොටලිය” නම් ඇළක්‌ තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්‌ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්‌ වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්‌ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්‌වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක්‌ ඇති වී තිබේ.

වියලුව – වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක්‌ ගනු ලබන තවත් ප්‍රදේශයකි. “වේලු” යනු “උණගස්‌” වලට ව්‍යවහාර කරන නමකි. “වේලු” නොහොත් වියලු නොහොත් උණ ගස්‌ රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.

දුටුගැමුණු මහරජතුමා අමුණක්‌ බඳවද්දී ඔහුගේ පුත් සාලිය කුමරා රොඩී කෙල්ලක්‌ සමග ප්‍රේමයෙන් වෙලී සිටිනා බව සැලවීමත් සමගම සාලිය කුමරා සමග සිටි සේනාව සාලිය කුමරාට ඔටුන්න අහිමි වීමේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා එම සේනාව සතු දිවා ආහාරය (පිසින ලද බත් මුල්) මැඩිල්ලකට විසිකරනු ලැබූහ. එදා සිට එම ප්‍රදේශයට බත්මැඩිල්ල යන නාමය ව්‍යවහාර වී තිබේ.

ඌව පළාතේ විස්‌තරත් එහි පැරැණි කොට්‌ඨාස ක්‍රමයත් මෙසේ සනිටුහන් වෙද්දී පුරාණ කාලයේ දකුණේ මාගම් පත්තුවේ කතරගම සිට අනුරාධපුරයට පැමිණෙන ගම් පියසි දිගේ පැමිණිය හැකි ඉසුරුමත් මහා මාර්ගයේදී හමුවෙන සමහර නගරයන්ට සහ ග්‍රාමයන්ට අදටත් ව්‍යවහාර කරනු ලබන නාමයන් සෑදී ඇත්තේ මෙසේය.

කදිරදේවගම, කදිර+ගම, කදිරාගම යනුවෙන් ද ඉන්පසු කාලීන කන්ද+ස්‌වාමි+ග්‍රාමම් කදි+දේව+ගම, ශුෂ්ක දේශ ගුණයකින් හෙබි ගම කතරේ+ ගම = කතරගම යනුවෙන් මුඛ පරම්පරාගතව ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද සඳහන් වේ. කන්ද ස්‌වාමි පැමිණ නැවතුම්ගත් ශුෂ්ක වූ ගම යනුවෙන් පවතින මතයක්‌ද වේ.

දිගාමඩුල්ල – දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු – අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්‌වැද්දවීමට තිබූ “දිගාමඩුල්ල” සීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.

ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්‌ථව පිහිටියත් බලකොටු දෙකක්‌ පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් “දෙහිවින්නේ” බලකොටුවේ “පදනිතිය” යෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක්‌ වන වේරගම බණ්‌ඩාර පුදුමාකාර දිවිපෙවෙතක්‌ ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස්‌ ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක්‌ ලෙස පෙනී තිබේ.

පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්‌ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්‌ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්‌ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්‌ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මරණයට පත් කරනු ලැබූ විදේශීය හමුදා සෙබළු සියලු දෙනාම පල්ලමකට (ඇළකට) දමන ලදී. එම ඇල්ල පරංගි ඇල්ල යනුවෙන් හඳුන්වනු ලැබේ. පරංගි ඇල්ල නමින් ව්‍යවහාර වන ග්‍රාමයක්‌ අදටත් මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

හපුතලේ – හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක්‌ තිබූ ප්‍රදේශය බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක්‌ වෙලක්‌ (කුඹුරක්‌) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+ දෙවි+රු+කුඹුර) “දෙවිරුව” යන වචන බිඳී ගොස්‌ කුඹුර යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද තවත් මතයක්‌ පවතී.

වැලිමඩ – පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක්‌ පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්‌වී ඇතැයි ද තවත් මතයකි.

ඌවගැමි වහර( ඌව පළාතටම ආවේණික වූ ගැමි වහරක්‌ අතීතයේදී භාවිත වී තිබූ බවට වෙල්ලස්‌සේ ඇතැම් ගැමි කතාබස්‌ වලදී අදත් අපට දැකගත හැකි වේ.

ඌවේ ඉපැරණි ගැමි වහර

ඇනබාගන්නවා – වාඩිවෙනවා

කොක්‌කාවෙන් යනවා – කරපිටින් යනවා

මිනිපන්දමේ යනවා – දඩයමේ යනවා

හිරිම්බනවා – කෑම කනවා

කුදාගත්තා – නිදාගත්තා

නවුවනවා – දිය නාවනවා

බැදිඅඹවනවා – කැලේ සතුන් එලවනවා.

ඕගානවා – අඬනවා

කොහා යනවා – කොහේ යනවාද?

කුදාලනවා – බඳිනවා

උකාලනවා – වැටෙනවා

දීගන්නවා – ගහගන්නවා

පුණුවනවා – නිදිකරවනවා

කාවටිනවා – දබර කරනවා

පුහුටුලානවා – ප්‍රමාද වෙනවා

ලුහුටනවා – ලෙස්‌සනවා

හෙයියන් කරනවා – කරදර කරනවා

කුස්‌ කුස්‌ ගානවා – අඬමින් ඉන්නවා

උඩන් ගහනවා – නොන්ඩිගහනවා (කොරගහනවා)

රොක්‌වුණා – අමාරුවෙන් ගියා

තව්ගහනවා – බාගෙට පුළුස්‌සනවා

මෝපකරනවා – වරිච්චි බඳිනවා

බොටා – යහළුවා

මකරට හිරිම්බනවා – බඩට කනවා

බැන්නට කුඹුලන්නෙවත් නෑ-බැන්නට කතා කළේ නෑ

හත් ගහනවා – ලියනවා

ගොන් ගනවා – කෙලින් කරනවා

වල්විලංගුවෙලාගියා – කඩාකප්පල්වෙලා ගියා

තකෝනැතිවුණා – අමතක වුණා

මතගානවා – හැඳිගානවා

කෙළිපානවා – එබී බලනවා.

වෙනිගානවා – ගෙයක්‌ගානේ යනවා

හිපගෙන – උස්‌සාගෙන

හෑගා වැටුනා – හතිදාගෙන වැටුනා

හෑගතලනවා – හති අරිනවා.

පුක්‌කවෙලා – වෙරිවෙලා

බොටතලනවා – මරනවා

කැටුව වැඩුවා – පස්‌සෙන් එලෙව්වා

ගසෙන් බැහියන් – ගහෙන් බැහැපත්

කස්‌කරේ – ඉක්‌මනට

මෝල්කනා – කුණුවෙලා

බුන්නා – බිව්වා, බීවා

ලබ්බගන්නවා – කිට්‌ටුකරගන්නවා

ටොන්බ – වලිගය

සීනිගඳ – පිළීගඳ

ඕකට නැගිල ගියාවෙ – ඕනෑ තැනක ගියාවෙ

කිවුල – උල්පත

හංකෝඩවුණා – බාගෙට ඇකුලුනා

කටනැගුනා – ගියා

කම්බුස්‌සාවෙන්න – ඇස්‌රතුවෙන්න

ලබ්බලා – කිට්‌ටුකරලා

පනන්වෙනවා – යනවා

හෝටුපුරුල්ලන් ගැහිලා – හොඳටම තෙමිලා

මොටා – ලොකුඑකා

කනත්ත ඉවලා – බාගෙට කැලේ වැවිලා

හාකොයි – පුළුවනි

ගහම්මනවා – අහක දමනවා

රහුගෙඩි – මිණිගෙඩි

අකවනවා – හරස්‌කරනවා

අලිමන්තලේ – අලියන පාර

දිව්වම දිව්වා – නොනැවතී ගියා

හුළංවැස්‌ස – හිරිකඩ

ඔපරස්‌වුණා – ලීයඇදවුණා

කොළොම්බ – කුඩා බංකුව

කයද – කාගේද?

ගහම් මවුවා – වීසිකළා

අස්‌කඩය – රෙදිපටිය

කළඟ-ලෙලිහරින ලද පුවක්‌ කොළපත

පලසෙලව් – සිල්ලර

ඉඩොල්පරවෙලා – කුරුවල්වෙලා

ගිනිපූගානවා – ගිනිමොලවනවා

නිදිකලන්ගාතෙ – නිදිමතේ

මෙරිවෙනවා – එබෙනවා

මාකුරුමල් – පුවක්‌මල්

පිඩිගහනවා – ගුලිකරනවා

අටවනවා – දිගහරිනවා

ඇස්‌බැලුම්කරණවා – සොයා බලනවා

උදව ගන්න එපා – කේන්ති අවුස්‌සවන්න එපා

කකරනවා – හැඳිගානවා

රුකුල – හිල

කුඩුම්බරයා කොල්ලා

බුඩා, බුඩී – මහල්ලා, මැහැල්ලී

කැරැල්ලන්ගහනවා – පිනුම්ගහනවා

මාකඳයා – මාවවුලා

දෙගුනගතිය – පිස්‌සුව

දඹුව – ගිනිදැල්ල

ඩිම්බා – දිමියා

මට්‌ටේ – හිසබූගෑම

හපුකඳයා – සැලළිහිනියා

උකුණුගහ – දැතිගොයියාව

රොටියට දම්මා – වී බිත්තරට දැම්මා

පෝපොත – පුවක්‌ කොළය

බිරන් – වැසිවලාකුළු

මුස්‌නෙ – කුරුමානම

දරහැව්ව – ගෙදර බඩුමුට්‌ටු

මාපත – උළුවස්‌සේ උඩ පඩිය

පොලොත්ත – පොල්කටුව

අස්‌කනත්ත කෙටුවා – කුඹුරවටේ සුද්ධකළා

අතබෑ, කකුල බෑ, අතේ තුවාලයක්‌, කකුලේ තුවාලයක්‌,

ගෝහාලය – දඬුමැස්‌ස

අරේයියා, මේයියා – අර, මේ

කියලා පරාදයි – කීමෙන් ඵලක්‌ නෑ.

බණවනවා – කතාකරනවා

හෙවන්බැස්‌සා – ඉරබැස අව්ව අඩුවීම

නෑවෙයි – එහෙම නොවෙයි

එහෙවෙයි – එහෙම තමයි

වනුව – බාගෙට වැවුන කැලේ

කනත්ත – අත්හැරුන හේන (පරණ හේන)

හෙල – කන්ද

හොටිඅම්මා – මැහැලී (ආච්චී)

ඇලිවැද්දලා – හැංගිලා

කාවල්කාරයා – මුරකරුවා

ඇටතඩියවෙලා – දරදඬුවෙලා

ඔද්දිහක්‌වන්නෑ – මෙලෝ සිහියක්‌ නෑ

ගොඩ උඩ සලාවෙන් ඉන්නවා – ගෙම්බා වගේ ඉන්නවා

දඟර – කොරවීම

කුඩිත්ත, පෙත, – ටික, ටික

ගදල් – කොස්‌ කටු

ගදාලේ – රොඩු කුණු

කොකිස්‌ – කිරිඇල

පිල්ල – හබරල අත්ත

ඇහැපිලි මෙරු

ගෝටය – කූඩුව

හොබිරියා – කම්මැලියා

ඇලිබිහිරිකම – ල-ජාව (සබකෝලය)

අටිනෙ – සබකෝලය

ඇන්නැවර – අරගෙන වරෙන්

කුරු අඩිය – බත්පත තබාගෙන කන එක

බාපත – උඩතල්ල

පැපිලිය – වියන්තට්‌ටුව

පබිලියම – වියන් ඇඳ

ගොයිය – යාලුවා (මස්‌සිනා)

අකවනවා – හරවනවා

කොළ ගෙඩිය – කමත ගොඩගසන ලද ගොයම

මූලප්පල්ය – ඇතිළිය

සුමක්‌ ගත්තරේ – වැඩකරදර

පොල්කුරුප්පිය – පොල්ගෙඩියේ තැරිය

ලෙසවලා – වේගයෙන් ගිහිල්ලා

ඒක එටැයි – පුදුමයි

වරාව – පෙරැත්ත

කෝඩුවාව – ගේ අයින

ඒක එමැයි – පුදුමයි

බොහෝ ඈත අතීතයේ ඌව පළාතටම පමණක්‌ ආවේනික වූ බස්‌ වහරක්‌ තිබුණු බවට ඉහතින් දැක්‌වෙන සමහර වදන් දෙස බැලීමේදී පැහැදිලි වේ. මෙම බස්‌ වහරද එයට නිදසුන් වුවක්‌, වත්මන් සමාජයේ මෙම යෙදුම් ක්‍රමයෙන් අය වෙමින් පවතී.

(1) හොටි අම්මා බණවනවා – ආච්චී කතාකරනවා.

(2) කාවල්කාරයා ඇලිවද්දලා – මුරකාරයා හැංගිලා

(3) පබිලියම ඇන්නැවර – වියන් ඇඳ අරගෙන වරෙන්

(4) කුඩුම්බරයා හොබිරියා – කොල්ලා කම්මැලියා

(5)කස්‌කරේ ගසෙන් බැහියන්-ඉක්‌මනට ගහෙන් බැහැපන්

ඌව පළාතේ අදටත් භාවිත වන ගමින් ගම ගැමි කවි කීපයක්‌ මෙසේ දක්‌වමි. එහිදී මෙම ගැමි කවි දෙකෙහි පුරාවෘතයද සැකෙවින් දක්‌වනු කැමැත්තෙමි.

එදා මෙදාතුර ඌව පළාත හේන් ගොවිතැනට ද ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. හේනක පැල් රකිමින් සිටි ගොවි මහතෙක්‌ වෙත පැමිණි යක්‍ෂණියක්‌ ගොවියා අමතා මෙම කවිය කියා ඇති බව මුඛ පරම්පරාගතව පවතී.

ඈත එපිට පස්‌සර වත්තේද බුලත්

ඊට ඉණක්‌ කන් මඩලාපු පල් පුවක්‌

කස්‌තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්‌

බුලත් විටක්‌ දෙනවද රාල දැන් මටත්

රූමත් කාන්තා වෙසක්‌ ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක්‌ බව අවබෝධ කරගත් ගොවියා යක්‍ෂණියගේ කවියට මෙම පිළිතුරු කවිය කියා තිබේ.

ආතා බූතයෙන් ආවද තෝ අ ඩී

ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී

තිගේ පියා දැවු සොහොනත් මම දනි මී

අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී

තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්‍ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.

ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කය උඩරට එළවළු, පලතුරු ඇතුළු ශීත දේශගුණික වගාවන්ට හිතකර මෙන්ම, එහි හාත්පස වියළි දේශගුණයක්‌ ඇති මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙහි වියළි දේශගුණ තත්ත්වයක්‌ යටතේ හැදෙන වැඩෙන පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලට ප්‍රචලිතය. මොනරාගල දිස්‌ත්‍රික්‌කය බහුල ලෙස කුරහන් වගාවට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබයි.

ඌව පළාතේ කාන්තාවන් සමූහයක්‌ වශයෙන් එක්‌වී කුරහන් කැපීමේදී ගායනා කරණු ලබන කුරහන් කවි වසර සිය ගණනක්‌ පැරැණි වුවද ඒවායෙහි අදටත් නවනළු රසයම ගැබ්වී ඇතැයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

රන්තානා කැල නවයක කාලා ඇවිදින් හේනට වැට බිඳ ලා

දෙපෙති කුරක්‌කන් නමා හෙලාලා කන්නේ ලොකු ගෙඩි තෝරා ලා

ගෝනෙක්‌ දැකලා දැක විමසාලා වෙඩි තිබ්බයි නිල තෝරා ලා

මොරහැල මැතිඳුට හොඳක්‌ ලැබුණි කිව් තුවක්‌කුවේ රන් බන්දා ලා

වලුත් කොටා වල් ගිනිලා වැට බැඳ බක්‌ මාසේදී වපුරන්නේ

ලබුත් පුහුල් ඇට සැමදේ එක්‌කර මන්ඩි මන්ඩිවල සිටුවන්නේ

පලුත් පළල ඇති ගලුත් ගණින ලෙස ආපු කුරක්‌කන් ගොඩ වෙන්නේ

සලුත් සලා එන රූසිරි අඟනෝ කුරක්‌කමේමයි වැනසෙන්නේ

රලුත් ඇතිව කැති මුවත් තනා කටුවළුත් කොටා වපුලයි සොඳනේ

නිලුත් වරළ බැඳ මලුත් ගවසමින් ඇවිත් සිටිති සුරඟන ලෙසිනේ

ගෙඩිත් ලොකුව ඇති රෑන කුරක්‌කන් දිරාවැටී බිම වැන සෙන්නේ

අලුත් නුවර ළඳ ලියොත් ඇවිත් කවි කියත් බඹරු නද දෙන ලෙසිනේ

අන්නර නාගසෙදොa අන්නර නාගසදෝ අන්නර නාමලදෝ අන්නර සුද පෙනෙනා

අන්නර සපුගසදෝ අන්නර සපුගසදෝ අන්නර සපුමලදෝ අන්නර රත පෙනෙනා

අන්නර උණගසදෝ අන්නර උණගසදෝ අන්නර උණමලදෝ අන්නර රුව දිලෙනා

අන්නර කොණලියදෝ අන්නර කොණලියදෝ අන්නර කොණේ සිටින ලියනම් සොඳිනා

දිග්ගේ දොරකඩ උළුවහු කනුවට ඇත් දත් වලිනුත් වැඩදා ලා

ඒත් මැදින් මැද රුව දිලිසෙන්නට පළිඟු මැණික්‌ගල් ඔබ්බා ලා

දිග්ගේ දෙපිටම පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳ ලා

දිග්ගේ නැටුමට හොඳට ඉනන්ගුයි උඩුවියනුත් වට තර ඇද ලා

කලිඟු රටේ නරනිඳුගේ නුවරට සාය වැදුණි එක වරුසෙක දී

පළිඟු මැණික්‌ ගල් බොර සොරකමකට ලොව දිව්රෙව්වයි සොඳ වැර දී

දිළිඳු වෙලා අලි ඇතු දන්දෙන්නට සඳ මහනුවරට වැඩි තැන දී

පොළොව නැටුවෙ වෙස්‌සන්තර නරනිඳු කුමරුන් දන්දුන් කාලේ දී

පුරාතනේ කප උපතට පළමුව වැසි වැස බඹතල උසට පිරූ

වරා රූපමෙන් බඹා පුරුදුලිය මහා පොළොව ගල අගින් දැරූ

විරාජිතව එහි දෙරණ සිදුරුකර නෙළුම් මලක්‌ පසෙකින් සිව් රූ

පුරාදිපති තුන් ලෝක ස්‌වාමිනී ඔබගෙ වඳිමි සිරිපා තඹු රූ

පන්කැටියේදී මරුණු ඇතින්නී අව්වට ගෝඹර වේලෙන වා

වෙඩිතුන කාලා ගිය පිම්මේදී රත්රන් මේ මුතු දිලිසෙන වා

තිස්‌පැය ගිය තැන මැරුණ තැනේදී පැටියා ඇවිදින් කිරි බොන වා

විෂ්ණු සමන් දෙවි නඩු ඇති කාලේ පැටියගෙමෝ දැන් නැඟිටින වා

නමින් පැවත එන රජකාලේ සිට මගෙ ගුරුවරු පද කර කිය නා

වෙමින් පිහිට මට දැනෙනා පමණට සින්දු හයක්‌ පදකර කිය නා

රටින් රටට පාරට්‌ටු කියන්නට ගණ දෙවිඳුන් මට නුවණ දෙ නා

දෙමින් මෙ පත්ත්‍රය අස්‌නෙන් වැඩ සිට වෙල්ලස්‌සේ උතුමන් අතිනා

එතෙර එදේසෙන් මෙතෙර මෙදේසෙන් පිනිදිය දේ සෙට ගෙනා ගො නා

රිදී ද රත්‍රන් පටි බැඳලාගන කලියුගේට සරසාපු ගො නා

මොල්ලිය මුදුනෙන් අත්දෙක තබලා යන එන සෙනඟට වැඳපි ගො නා

නුදුටු කෙනෙක්‌වත් බලන්ට යනවද විෂ්ණු සමන් දෙවියන්ගෙ ගො නා

“මනහර ඌව පළාතේ සැඟවුණ ඓතිහාසික තතු බිඳක්‌” ලිපිය සැකසීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමේදී විශේෂ සහායක්‌ ලබාදුන් පැපිලියවල – වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරාධිපති මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන්ට ප්‍රණාමය පුදමු.

එස්‌. අත්තනගොඩ, පැපිලියවල.

No comments:

Search This Blog