මීට දින කිහිපයකට පෙර කතරගම නගරයට පැමිණි පිරිසක් සිටියේ දැඩි තැතිගැන්මකින් යුතුවය. කතරගම දෙවියන් වැදපුදා ගැනීම පරමාර්ථය බව වචනයෙන් කීවද, ඔවුන් කිසියම් බියකින් හා සැලූනු ස්වභාවයකින් පසුවිය. කෙනෙකුගේ දෙන්නෙකුගේ ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නට බලාපොරොත්තුව පිරිසක් සිටිනායුරු දිස්විය. එක පුද්ගලයාට ජංගම දුරකතන දෙක තුන තිබෙන යුගයක මෙය තරමක් පුදුම දනවන දසුනක්ය.
මේ දිනවල කතරගම දෙවියන් පුදන්නට කතරගමට නොපැමිණ මහකැබිලිත්ත සියඹලා දේවාලයට දුෂ්කර මගක් ගෙවා යන්නට මිනිස්සු පුරුදුව සිටිති. මහකැබිලිත්තේ හාස්කම් ගැන මාධ්‍ය මගින් තොරතුරු ලියවෙන නිසා මෙලෙස මිනිස්සු වැඩිපුර මහකැබිලිත්තට යන බව මහජනයාම චෝදනා කරති. මේ තැතිගත් ස්වරූපයෙන් සිටි පිරිසද මහකැබිලිත්තට ගොස් කිසියම් අකරතැබ්බකට ලක්වුවෝයැයි ඔවුන් දෙස බලාසිටි කිහිප දෙනෙක්ම කිහ.
පහුගිය දිනවල මහකැබිලිත්තට ඉවක් බවක් නොමැතිව විවිධ උවමනා එපාකම්මත පැමිණි කිහිප දෙනෙක්ම ගැටලූ වලට මුහුණ පෑවේය. එක් අවස්ථාවකදී දැරියක් සර්පයෙකුගේ සපා කෑමට ලක්විනි. අවස්ථා කිහිපයකදීම පුද්ගලයන් වනඅලින්ගේ ප‍්‍රහාර වලට ද ලක්විනි. මේ පිරිසද එවැනි අකරතැබ්බකට ලක්වූ පිරිසක් බව දැගන්නට ලැබිනි.
මහකැබිලිත්තේ සියඹලා දේවාලය වැදගන්නට ගිය අවස්ථාවේ වන අලියෙකු මේ පිරිස පසුපස පන්නා ඇතිබවත් පිරිස කැලෑවේ දිවගොස් උගෙන් බේරී මහකැබිලිත්තට ගිය වාහනයෙන්ම කොටියාගල, ඇතිමලේ මොණරාගල, බුත්තල හරහා ආපසු කගරගමට පැමිණ ඇති බවත් හෙළිවිය. ඔවුන් එසේ කතරගමට පැමිණ තිබුණේ ගමන ගිය වාහනය කතරගමින් කුලියට ගත් එකක් නිසාය.
අගනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන් මහ වනාන්තරය මැදදී මේ අනපේක්‍ෂිත කරදරයට මුහුණ දුන් අවස්ථාවේ කැලෑවේ දිව යද්දී ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් පසුම්බි සහ වෙනත් ලියවිලි අතුරුදන්වීම ඔවුන් මුහුණදී තිබූ ප‍්‍රධානම ගැටලූව විය. මේ නිසා කතරගමට පැමිණ හිතවත් කිහිප දෙනෙකුගේ දුරකතන හරහා සිය නිවෙස්වලට කතා කර වෙනත් කෙනෙකුගේ බැංකු ගිණුමකට මුදල් බැංකුගතකර ඔහු හරහා එම මුදල් ලබාගැනීමට මෙම පිරිස කටයුතු කිරිම මෙසේ දිස්වූ බව පසුව තහවුරු විය.
දැන් දැන් මහකැබිලිත්තේ වනසතුන් යම් කිපිමකට ලක්ව ඇතිබව පසුගිය දිනවල මේ ලිපිපෙළින්ම දැනුවත් කළෙමි. මහකැබිලිත්ත යනු හාස්කම් ඇති ස්ථානයකැයි ලියූ විට හාස්කම් කියන්නේ මොනවාදැයි බලන්නම යන පිරිස් දැන් එන්න එන්නම වැඩිවෙමින් පවතී. සමහරු මේ පින් බිමට එන්නේ මස්මාලූ මිශ‍්‍ර ආහාරය. මත්වතුර, ගංජාවැනි මත්වෙන දේවල් ද රැගෙනය. ‘‘අපිත් මහකැබිලිත්තේ ගියා. අපි ඔය එපා කියන හැම දෙයක්ම ගෙනගියා. අනේ අපිටනම් කිසිම දෙයක් වුණේ නෑ. අපි ඔය යස අගේට ආවේ. මාධ්‍යයෙන් තමයි මේ බොරුවට ‘‘හාස්කම්’’ කියලා උලූප්පන්නේ.’’ නිරුපද්‍රිතව මහකැබිලිත්තේ ගොස් ඇවිත් කියන අතලොස්සක්ද නැත්තේ නොවේ.
එහෙත් දැනට මාස එක හමාරක පමණ සිටනම් මහකැබිලිත්තේ සියඹලා දේවාලයට යනගමන බොහෝ සෙයින් අවදානම්ය. වනසතුන් දැන් එහි යනඑන්නන්ට බාධාකරති. අවස්ථා කිහිපයකදීම වනඅලි විසින් බැතිමතුන්ට සියඹලා දේවාලයට යන්නට නොදී පන්නා ගන්නාලද බව එහි නිතර යන එන්නෝ කීහ. මෙතැන ජනප‍්‍රිය වන්නට පෙර නිකමුන් මෙහි නොපැමිණියේය. දේවභක්තිය ඇත්තෝ පමණක් පැමිණියහ. ඔවුන්ද මෙහි පැමිණ විනෝද නොවුහ. කුඹුකන්ඔයේ ඉවුරුදෙකේ බෝධින් දෙනම අභියස සිට බෝධිපුජා පවත්වා භාවනාකර සියඹලා දේවාලයට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සිදුකළේය. මිනිසුන් මෙහි වැඩිපුර නොඑන කාලයේ මෙතැන භාවනාවට කදිම තැනක් විය. සුදුවැලි ඇතිරීවූ බෝ මලූත්, රූස්ස ගස් හෙවනත් භාවනාවට හිත ඉබේම යොමුකරවීය.
හිත්පිත් නැති කොටි ත‍්‍රස්තයන් ගැවසුණු යුගයේ මෙතැනට වරින්වර කිහිප දෙනෙක් පැමිණ ගියේය. ඔවුන්ට කොටි ත‍්‍රස්තයන්ගෙන් හෝ සතා සර්පයන්ගෙන් හෝ හානියකුදු නොවිනි. නමුත් දැනට මාස තුනක හතරක සිට මෙහි විවිධාකාර පුද්ගලයන්, කාන්තාවන් සහ කුඩා ළමයින් විනෝදය පිනිස රැගෙන එමින් දේවභක්තියෙන් එන අයට පවා බාධාකිරීම නිසා එය මැඩලන්නට වනසතුන් පෙරමුණ ගෙන තිබේ. ජාතික වනෝද්‍යානයක ගහක කොළයක් කඩන්නට තහනම්ය. වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උකුසු ඇස්වලට මුවාවී මිස එවැන්නක් කළ නොහැක. නමුත් කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මේ මහකැබිලිත්තේ කුඹුකන්ඔයේ ඉවුරේ මෙන්ම සියඹලා දේවාල බිමේද අද එහි යනඑන්නන් කරන තරමක් කරන්නේ වනඅපරාධය. ඒවා සොයාබලන්නට වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමැතිවීම මේ මෙවැන්නන්ට උඩගෙඩිදීමක් වැනිය.
මහකැබිලිත්තට නුදුරුව පිහිටි දිවුලානේගොඩ ප‍්‍රදේශය වසර පන්සියයකට එහා භික්‍ෂූන් වහන්සේලා වැඩවිසූ විහාර ආරාම තිබූ බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් වලින් හෙබි පින් බිමකි. ඊට නුදුරුව මහකැබිලිත්තේ සියඹලාව කතරගම දෙවියන් වැඩවසන්නට තෝරාගත්තේ දිවුලානේගොඩ වැඩවිසූ භික්‍ෂූන් වහන්සේලාගේ පින් ලබන්නට යැයි යන විශ්වාසය බැහැර කළ හැක්කක් නොවේ. බුදුදහම අනුව ඕනැම පුන්‍ය කටයුත්තකට පසු දෙවියන්ටද පින් අනුමෝදන් කරයි. පින් බලාපොරොත්තුව සිටින දෙවියන් ඒ පින් අනුමෝදන් කරගෙන පින්දෙන කුසල්කරන අයට නිති රැකවරණ ලබාගෙන බවට වු විශ්වාසය මහකැබිලිත්තේදී නොඅඩුව තේරෙයි.
මහකැබිලිත්තේදී අකරතැබ්බට මුහුණ පා කතරගමට ආ නඬේ අය අතින් සිදුවු අඩුපාඩුව දන්නේ ඒ අයමය. එහි සිටි කෙනෙකු දෙන්නෙකුගේ ක‍්‍රියාවකට නඩයේ සියලූ දෙනාම පීඩා වි`දින්නට ඇති බව පසුව හෙළිවනු ඇත.
මීට සති දෙක තුනකට පෙරදී කුමණ මහ කැලේ කතරගම දේව අඩවියේදි එවැනි අකරතැබ්බකට පත්වු තරුණ වෙළදුන් කිහිප දෙනෙකු ගැන අපට හෙළි කළේ පානම ගමේ ව්‍යාපාරිකයෙකුවු දිනේෂ් චින්තක මහතාය.
මේ අත්දැකීිමට මුහුණ දුන්නේ ගාල්ල ඉමදුව ප‍්‍රදේශයේ තරුණයන් තිදෙනෙකි. ඔවුන් රෙදි වෙළදාමේ නියුතු වුවෝ වෙති. සති හතරකට පමණ පෙරදී ඔවුන් නැගෙනහිර පළාතේ, ලාහුගල, හුලංනුගේ ආදී කුඩා නගරවල වෙළදාම්කර පොතුවිල් ආරුගම්බේ හරහා පානමට ගියේ නව වෙළදපොලක් සොයාගෙනය.
ඒ ගිය අවස්ථාවේ පානම සුලූ ව්‍යාපාරිකයෙකුවු දිනේෂ් චන්‍ද්‍රපාල සමග හිතවත් කමක් ඇති කරගත්තේය. ඔකද දේවාලය ගැනද තොරතුරු දැනගත් ඔවුන් පානමින් ගියේ ඔකද දේවාලයේ වාර්ෂික මංගල්‍යයට වෙළදාමේ එන බව පවසමිනි. ඒවනවිටත් ඔකද දේවාලයේ වාර්ෂික පෙරහරට සුදානම් වෙමින් තිබිනි. ඔවුන් ආපසු ගියේ දේවාල බිමේ තාවකාලික කඩබිමක්ද මිලදි ගැනීමෙන් පසුවය.
ඉන්පසු පසුගිය මාසයේ (ජුලිමාසයේ) 28දා ඔවුන් යළි ඔකදට ආවේ නවීන වෑන් රථයක රෙදි පටවාගෙනය. එදින සිට ඔකද දේවාලබිමේ වෙන්කරගත් කඩබිමේ එම වෑන් රථය නවත්වා පිරිස රෙදි වෙළදාමේ නිරතවුහ. දේවාලයේ දිය කැපීම එළැඹ තිබුණේ අගොස්තු 02 දාටය. දිය කැපීමේ උත්සවයෙන් පසු මේ තරුණ වෙළද ව්‍යාපාරිකයන් ආපසු ගම්බිම් බලා යාමට ඉතිරිවු බඩු වෑන් රථයේ අසුරා ගත්තේය.
කතරගම දෙවිදුන් ලක්දිවට ගොඩබැස්සේ මේ ඔකද දේවාල බිමට නුදුරු වෙරළින් බව ජන විශ්වාසයයි. මේ නිසා ඔකද දේවාලය කදසුරිදුන්ගේ හෙවත් කතරගම දෙවිදුන් වෙනුවෙන් වෙන්වු දේවාලයකි. කතරගම දෙවිදුන් ජිවමානව වැඩවෙසෙතැයි විශ්වාසයක් පවතින මහකැබිලිත්ත සියඹලා දේවාලයට ඔකද දේවාලයේ සිට කිලෝමීටර් හැටකට වැඩිදුරක් ඇත. ඔකද සහ මහකැබිලිත්ත දේවාල දෙකම පිහිටා ඇත්තේ කුමණ ජාතික වනෝද්‍යානයේය. ඒ නිසා මේ ප‍්‍රදේශයේ කතරගම දෙවි`දුන්ගේ හාස්කම් ඇතැයි යන විශ්වාසය ජනතාව අතර මුල්බැස තිබේ.
එබැවින් ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී කට ඉස්සර කර නොගන්නා ලෙසත්, දේවි පිහිටෙන් ‘‘කරන්න බලමු’’ මිසක් හරියටම කරන්නේ යැයි නොකීමටත් ජනයා වගබලා ගනිති. එමෙන්ම ඔකද දේවාලයට මස් මාංශ කෑමෙන් හෝ අපිරිසිදුව ගොඩ නොවීමට කතරගම දෙවිදුන් අදහන භක්තිවන්තයෝ වගබලා ගනිති.
දින හහතරක් තිස්සේ රෙදි වෙළදාම්කළ දිනේෂ් සහ චන්ද්‍රපාල එතැන නවතා තිබු වෑන් රථය පණ ගන්වාගෙන 02 දා හැන්දෑවේ ඔකදින් පිටත්වූයේ සියඹලාණ්ඩුවේ සිටින මිතුරෙකුගේ නිවෙසට ගොස් එදින රාත‍්‍රිය එහි ගත කර පසුදා ගාල්ල බලා පිටත්වීමේ අදහසිනි.
නමුත් මේ පිරිසට ඔකද සිට ටිකදුරක් එනවිට වාහනයේ කිසියම් දෝෂයක් ඇතිබව දැනෙන්නට විය. අලූත්ම වාහනයක්වු එහි යාන්ත‍්‍රික දෝෂයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩු බවට පිරිස තර්ක විතර්ක ගෙන එමින් කතා කරන්නට වූහ.
අක්කරපත්තුව ප‍්‍රදේශයේ සිටින හිතවත් කාර්මිකයෙකුට දිනේෂ් දුරකතනයෙන් කතා කළේය. වාහනයේ වර්ගයත් සිදුව ඇති කාර්මික දෝෂයේ ස්වභාවයත් දුරකතනය මගින් දන්වනු ලැබිනි. ‘‘කියන විදියටනම් ගෑස්කට් ගිහිං වගෙයි. අක්කරපත්තුවට වෑන් එක ඇදගෙන එන්න’’ කාර්මිකයාගේ පිළිතුර විය. අක්කරපත්තුවට පානම සිට කිලෝමීටර් හතළිහක් පමණ ඇත. රෑබෝවී ඇති නිසා ඒ අවස්ථාවේ එහි යාම අසීරුය.
‘‘මේ වෙලාවේ ඔයාලට වෑන් එක අරං අක්කරපත්තු හරි සියඹලාණ්ඩුවට හරි යනඑක අවදානම්. අද රාත‍්‍රිය අපේ ගෙදර ඉදලා, උදේට පොතුවිල් වලින්වත් බාස් කෙනෙක් ගෙන්නාගෙන වාහනේ පෙන්නලා බලමු.’’ දිනේෂ් මේ වෙළද මිතුරන්ට යෝජනා කළේ පානම ජනතාවගේ ඇති ආගන්තුක සත්කාරය ඉස්මතු කරමිනි.
දිනේෂ් සිය නිවෙසට කැන්දන් ආ වෙළද මිතුරන් මුහුණ දුන් සිද්ධිය ඔහුගේ බිරිදවූ ඉරේෂා අයිෂානිට පැහැදිලි කර දුන්නේය. පානම වැසියෝ පත්තිනි මෑණියන්, කතරගම දෙවියන් මෙන්ම අලූත් බණ්ඩාර දෙවියන් ගැන විශ්වාසය තබන්නෝ වෙති. ඉරේෂා මේ කතාව ඇසු පසු පැවසුවේ ‘මේ අයගෙන් මොකක් හරි අඩුපාඩුවක් වෙන්න ඇති. නැත්නම් මෙච්චර අලූත් වාහනයකට මෙහෙම දෙයක් වෙන්න විදියක් නෑ’ යනුවෙනි.
‘‘අයියා ඔයගොල්ලෝ ඔය වාහනය සෝදලා කහදියර ටිකක් වාහනය ඇතුළට පිටට ඉහින්න. දෙයියන්නේ අඩවියේ කටවැරදීමක්වත් වුනාද දන්නේ නෑ කාට හරි. වාහනේ පිරිසිදුකරලා දෙවියන්ට පඩුරක් ගැටගහලා සමාව ඉල්ලමු. මේ අඩවියේ අපි සිදාදියේ ඔයාලට වැඩියෙන් දෙවියන් විශ්වාස කරනවා’ යැයි ඉරේෂා කීවාය.
ඇගේ උපදෙස් පිළිපදිමින් පිරිස වෑන් රථය පිරිසිදුකර කහ දියර ඉස හදුන්කූරු පත්තු කළහ. වෙළද මිතුරන්ට මේ සිද්ධිය නිසා එදින රාත‍්‍රිය නින්දක් ද නොවීය.
පසුදාට පහන්විය. දිනේෂ් විසින් ඒවනවිට පොතුවිල් නගරයෙන් කාර්මිකයෙකු ගෙන්වාගෙන තිබුණේය. ඔහු ඇවිත් වාහනය පිරික්සීය. වතුර බටයක් පුපුරා තිබුනි. ඇන්ජිමේ තෙල් අඩුවී තිබුණි. පුපුරාගිය වතුර බටය සකසා ඇංජිමට තෙල් දැමීය.
‘‘ස්ටාර්ට් කරන එක තමයි බාසුන්නැහැ ප‍්‍රශ්නේ. ඊයේ ස්ටාර්ට් කරගත්තේ බොහෝම අමාරුවෙන්’’ වෙළද මිත‍්‍රයෙක් කීවේය.
පොතුවිල් වලින් ආ කාර්මිකයා වෑන් රථයේ යතුර ගෙන එය පණගැන්වුයේය. පුදුමයකි. කිසිදු කරදරයකින් තොරව එකවරම එය පණ ගැන්විනි. පෙර දිනයේ මෙන් ඇංජිමෙන් තෙල් කාන්දුවීම පිරික්සන්නට විය. පුදුමයකි. අද එවැන්නක් නැත. ඇංජිමේ වේගයද වැඩිකර බැලීය. තෙල් කාන්දුවන තැනක් පෙනෙන්නේම නැත.
‘‘පේන විදියටනම් ලෙඩක් නෑ. කෝ තෙල් කාන්දුවෙන තැනක් පේන්න නෑ නොවැ. පුපුරලා ගිය වතුර බටෙන් දැන් වතුර පිටතට යන්නේ නෑ. ඒ හින්දා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. දෙයියනේ කියලා ඔයාලාට ආපහු යන්න පුලූවන්. මෙකේ හෙඞ්එක ගිහිං නෑ’’ පොතුවිල්වලින් ආ කාර්මිකයා කීවේය.
‘‘කොයිකටත් ඔයාලා ආපහු ඔකදට ගිහිං පඩුරුදාලා යන්න. ඔයාලගේ චවනයකින් හරි වරදක් වෙන්න ඇති. ඒකට දෙවියන්ගෙන් සමාව අරගෙන ආපහු යන්න. දේව අඩවියේ යනඑනකොට එහෙම කරන එක හොදා.’’ දිනේෂ්ගේ බිරි`ද ඉරේෂා කීවාය.
‘‘ඇත්තටම අපි පානම පැත්තට ආවේ ලංකාදීප පත්තරේ යන මහකැබිලිත්ත දේවාලයේ හාස්කම් ලිපිය කියවලා. නමුත් අපේ එක්කෙනෙක් එද්දි දිගටම ඒකේ තියන හාස්කම් ගැන සැකයක් ඇති කරගෙන ආවේ. එහෙම දේවල් වෙන්නේ කොහොමද? ඒවා වෙන්න බෑ. පත්තරේ තියෙන්නේ බොරු කියලයි එයාගේ අදහස වුනේ. දැන්නම් අපිට අත්දැකීිමෙන්ම තේරුනා මේ දේව අඩවියේ හාස්කම් තියනවා කියන එක.’’ වෙළද මිතුරෙක් මෙතෙක් සගවාගෙන සිටි රහසක් හෙළි කළේය.
‘‘අපේ කෙනක් තවත් වරදක් කරලා තියනවා. ඔක`ද දේවාල භූමියෙදී වෑන් එක ඇතුළට ගෙනත් මාලූ කාලා තියනවා.’’ දෙවැනි රහසද හෙළි කළේය.
‘‘දැන් ඉතිං වුණ දේවුණා. ඔයාලා යනගමන් ආපහු ඔකදට ගිහිං දේවාලය වැදලා පඩුරුදාල දෙවියන්ගෙන් සමාව අයැදලා ආපහු යන්න. කරදරයක් නැතිව යන්න ලැබෙයි.’’ දිනේෂ් සහ ඉරේෂා වෙළද මිතුරන්ට අවවාද දෙමින් කීහ.
චමින්ද, ජයවර්ධන සහ නීල්කුමාර යන වෙළද මිතුරෝ ආපසු ආවේ දිනේෂ් දුන් උපදෙස් අනුව පානම සිට කිලෝ මීටර් දාහතක් ගෙවා ආපසු ඔකද දේවාලයට ගොස් ප`ඩුරු දැමීමෙන් පසුවය. එදින සියඹලාණ්ඩුවේ මිතුරාගේ නිවෙසේ නැවතී ඊට පසුදින ගාල්ලට ආ මිතුරන්ට වාහනයේ කිසිදු ඇබැද්දියක් සිදු නොවීය. ඔවුන් අදටත් විශ්වාස කරන්නේ මේ සිදුවීම නම් ‘‘හාස්කමක්’’ බවයි.
සටහන හා ඡායාරූප අජිත්ලාල් ශාන්තඋදය
http://lankadeepa.lk/index.php/articles/59666
2012 අගෝස්තු මස 19 14:17:55 | ලංකාදීප කර්තෘ මණ්ඩල