Wednesday, October 16, 2013

ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද

කොළඹ නගරයෙන් හිමිදිරියේ පිටත්වූ අප රත්නපුර බලංගොඩ හරහා කළුපහනට පැමිණෙන විට මධ්‍යාහ්නය ළඟා වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි. කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුර කි. මී. 5 යි’ යන්න සඳහන් කර තිබුණි.



අප රැගත් ඩබල් කැබ් රථය දියඇල්ල වෙත ඇදෙන පටු මාර්ගයේ වංගු ගැසෙමින් කඳු තරණය කරන්නට විය. මාර්ගයේ සමහර තැනක වළවල් හෑරී අබලන් වී තිබු නිසා වාහනය පැදවීම පරිස්සමෙන් කළ යුතු විය. අපි වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ඇදුණෙමු.

මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය. වාහනයේ කවුළු අතරින් හමා එන වේගවත් සුළඟ අව් රැල්ල පරදවමින් ගත සුවපත් කරයි. ඉහළ පහළ නැගෙමින් විවිධ උස් මට්ටම්වලින් නැගී සිටිනා පර්වත කූටයන් ද පහළ නිම්නයේ සිරි සිරියාවෙන් ගලා බසිනා දොළ පහරවල් ද අප නෙත පිනවයි. කඳු හිස් බොහොමයක් හිස් මුඩු කළ මිනිසුන් මෙන් වනයෙන් තොරව මුඩු බිම් බවට පත්ව තිබුණේ යටත් විජිත යුගයේ වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒවා තණ තලාවෙන් ද තැන තැන දැකගත හැකි බැදි කුට්ටිවලින් ද යුක්ත විය. පහත නිම්නයේ පැතිර ඇත්තේ දුෂ්කරතා ජය ගනිමින් ජීවිතය හා පොරබදන ගැමියන්ගේ මහන්සිය කියාපාන හෙල්මළු කුඹුරු ය. ජලය ගලා යන නාදයත් සුළඟේ “හෝ... හෝ...” වත් හැරෙන්නට පරිසරය නිසල ය.

මේ පාළු නිසංසලත්වයත් වටපිටාවේ මහා අවකාශයත් අප සිත් සමාධි ගත කරවන්නට සමත් වේ. කඳු මුදුන්වල උස වැඩි කරනා පයිනස් ගස්වලට ඉහළින් අහසේ කරකැවෙනා සර්ප රාජාලියකු ගොදුරකට ඉව අල්ලයි. වැහිලිහිණියෝ රංචුවක් සුළං පහර කපාගෙන වක්‍රාකාරව අහසේ පාවෙති.

ටික වේලාවකින් අප ඉදිරියේ ඉහළ නැග සිටියේ අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කඳු මුහුණතකි. බඹරකන්ද දියඇල්ල මේ පර්වත කූටය මධ්‍යයෙන් නිසංසලේ පහළට කඩා හැලෙන්නේ දිය සුදු පැහැති දිය සේලයක් මවා පාමිනි. සැබවින්ම එය මහා ජල ප්‍රවාහයක් නොවේ. උසට නොසරිලන තරම් කුඩා ජල ප්‍රමාණයකි, මේ දියඇල්ලේ අඩංගුව ඇත්තේ.

එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවට වනාන්තර එළි පෙහෙළි වී ඇති නිසා දියඇල්ලට එකතු වන ජල ප්‍රමාණය අඩුවීමයි. දියඇල්ල ඇරැඹෙන හෝටන් තැනිතලාවේ බෑවුම් ප්‍රදේශවල ද තේ වගාව නිසා වනය සමුගෙන ඇත.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්) වූ බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.

දියඇල්ල පෙනෙනා දුරින් වාහනයෙන් බැස ගත් අපි ඇල්ල පාමුලට ගමන් කරන්නට වූයෙමු. මේ අවට සිසිල් දේශගුණය සුවදායක හැඟීමක් අප තුළ ජනිත කරයි. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.

දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. සුළං පහරට හසු වී දිය කෙඳි ඒ මේ අතර පැතිරෙන අතර අවට ප්‍රදේශයම මේ ජල වාෂ්පයෙන් පිරී ගොසිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ. එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.

ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය. ඒ අවට ජලය පි‍්‍රය කරන ශාක වැවී අපූරු වන ගොමුවක් නිර්මාණය වී ඇත. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි ශාක අවට පැතිරී වටපිටාව සෙවණ කරයි.

දියඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ උඩුමේරිය තේ වතු යායයි. ඇල්ල අසලින් කඳු තරණය කරනා කුඩා මාවත උඩවේරිය හරහා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා අඩි පාරක් සේ ඇදී යයි. හෝටන් තැනිතලාවට දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණෙන සොබා රසිකයන්ගේ මාර්ගයක් බවට බඹරකන්ද පාර ද පත් ව තිබේ.

එමෙන්ම දියඇල්ල ඉහළට ගමන් කර අවට වටපිටාව වඩාත් සුන්දරව දැක ගැනීමට ද ඔබට පුළුවන. ඒ සඳහා අඩි පාර ඔස්සේ මීටර 200 ක පමණ නැගීමක් කළ යුතු ය. ඉතා දුෂ්කර මඟක පැය එකහමාරක් පමණ එහිදී ගමන් කිරීමට සිදු වේ. එය තවත් අපූරු පරිසර අත්දැකීමක් වනු ඇත.



දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම ඔබට දැක බලා ගත හැකි ය.

එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි. බඹරකන්ද දියඇල්ලේ පාර්ශ්වික දසුනකින් සිත් පිනවා ගැනීමට ද මෙහි දී ඉඩ ලැබේ.

අප කඳු යායක අතරමං වී ඇත. ඈතින් කඳු කපොලු අතරින් දිස්වන මහා අවකාශය පහළ ඌවේ කඳුවැටි හා නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇදී යයි. කඳු තරණය කරමින් විඳි වෙහෙස මෙම මනරම් දසුන නිසා අහෝසි වී ගොසිනි. සොබාදහම කෙතරම් සුන්දර ද? මේ කඳු අතර සිටින අප සිත් තුළ රැව් දෙන්නට වූයේ එම අදහසයි. එහෙත් ඒ සුන්දරත්වය පසක් කර ගැනීමට නම් අපගේ හදවත ද පිවිතුරු විය යුතු වේ.

කේ. එස්. විජේවර්ධන

http://www.silumina.lk/2010/08/29/_art.asp?fn=av10082918

Photo Credit goes to Dr. Athula Padmasiri.

Tuesday, October 1, 2013

යාල වන මැද කුළු හරක් රාජධානිය

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මා සේවය කළ වසර හතළිහට අධික කාලය තුළ වන සතුන්ගේ ප‍්‍රහාරයන් හමුවේ මා මිය නොගොස් බේරුණු අවස්ථා එමටය. නිදැල්ලේ වෙසෙන අලියා, වලසා, දිවියා කෝපයට පත්වී තමා වෙත හඹා එන විටදී ඔවුන් ගෙන්

එඞ්මන් විල්සන්

බේරී සිටීම පළපුරුදු වනජීවී නිලධාරියකුට ගැටලූවක් නොවේ. පා ගමනින් වනාන්තරයේ යනවිටදී හදිසියේම කෝපයට පත්ව තමාට පහර දීමට හඹා එන පිරිමි කුළු මීහරකා හෙවත් කුළු මදයා ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වෙසෙන අති භයංකරම සත්වයා බව මම ප‍්‍රකාශ කරමි. එළිපෙහෙළි වූ වනාන්තර ප‍්‍රදේශ ආශ‍්‍රිතව වෙසෙන ඇතැම් පිරිමි අලින් මිනීමරු අලින් බවට පරිවර්තනය වී මිනිසුන් දුටු තැන හඹාවිත් පහරදී මරා දමනු ලැබේ.
මගේ සේවා කාලය තුළ දී එකී සියලූ අවස්ථාවන් මා ජයගත්තා පමණක් නොව. එම අවස්ථාවලදී මා සමග එකට සිටි පහළ ශේ‍්‍රණිවල සේවකයින්ගේ දිවි ගලවා ගැනීමට මා සමත් වූ බවට දැනට ජීවතුන් අතර සිටින සේවකයින් සාක්‍ෂි දරති. මගේ කල්පනාවේ හැටියට වනජීවී නිලධාරියකු පිරිපුන් වන්නේ කාලාන්තරයක් තිස්සේ වනගතව රාජකාරි ඉටුකරමින් එම හැකියාව ප‍්‍රගුණ කරගැනීමෙන් පසුවය. පොතපතට පරිගණකයට සීමාවීමෙන් එම හැකියාවන් ලබා ගත නොහැකිය.
ඒ කොතරම් ප‍්‍රගුණ කළත් පෙර ආත්මවල දී සිදු කළ අකුසල කර්මයන් හේතුවෙන් ඒවා පලදෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි එක සිද්ධියක් පමණක් මෙහි සඳහන් කරමි.
රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය මැදින් ගලා බසිනා කුඹුක්කන් ඔය මහා සාගරයට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ අග්නි දිග වෙරළේදීය.
එම ගංගාව (ඔය) මීටර් 2036ක් උසැති ‘නමුනුකුල’ කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙන් ආරම්භවී පස්සර කඳු නිම්න ඔස්සේ නාරිලතාවක් ආකාරයෙන් ගලා බසිමින් යාල නැගෙනහිර සහ යාල දකුණ ජාතික උද්‍යාන දකුණු සීමාවේදී මහා සාගරයට එක්වෙයි.
කුඹුක්කන් ඔයට නුදුරුව කුමණ පුරාණ ගම්මානය සහ ‘කුමන’ කුරුලූ පාරාදීසය වනජීවීලෝලීන් හට අමුතුවෙන් කිව යුතු නොවේ. ‘කුමන’ ගම්මානයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු කම්කරු, වනසත්ව නියාමක, අඩවි සහකාර ආදී සේවකයින් අති දක්‍ෂ ක්‍ෂේත‍්‍ර සේවකයින්ය. ඔවුන් වනයට වන සතුනට බිය නැත. සමහර අය අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම්කාරයින් ය. ඔවුන් අතරින් දැනට ජීවතුන් අතර සිටින කේ. ඬේවිඞ් මියගොස් සිටින කිරිනේරිස්, සුමතිපාල, සාමෙල් අප්පු, හුදංචි අප්පු ආදීන් මා ඉහත ළඟින් ඇසුරු කළ සේවකයින්ය.

1993 වසරේ මා සේවය කළේ මහවැලි කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ලෙසය. එම වකවානුවේදී දිනක් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටින විටදී මගේ සේවකයකු හදිසියේ දිව අවුත් මා හමු වී ‘‘සර් අද උදේ යාල වැඩකරන වනසත්ව නියාමක සුමතිපාලට... කුමන ගමේ කුමන විල්ලූව අසලදී කුළු මීහරක් මදයෙක් ඇනලා... බරපතළ ලෙස තුවාල වෙලා..... ස්පිරිතාලයට අරං ගියා කියලා ආරංචියි... මෙලහකටත් මැරිල ද දන්නේ නැහැ...’’ යයි කීය.


යාල වනෝද්‍යානයේ බුතව පැරැණි බංගලාවේදී 1968 දී ගත් ඡායාරූපයකි. වම් පසින් සිටින්නේ විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ්ය. දකුණු පසින් සිටින්නේ රුක්මන් සේනානායක මහතාය. (පසු කාලයේදී ඔහු වනජීවී දෙපාර්තමේන්තුව බාර පරිසර හා වන සම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය)

වන මැදවූ ‘කුමන’ ගමේ හැදී වැඩුණු සුමතිපාල අලි, කුළු හරක්, වලසුන් ආදී වන සතුනට කිසිම බියක් දැක්වූ අයකු නොවේ. 1969 වසරේ නවක නිලධාරියකු හැටියට මා යාල උද්‍යානයට ස්ථාන මාරුවී පුහුණුව ලබන වකවානුවේදී යාල නියෝජ්‍ය උද්‍යාන භාරකරු වූ ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ උපදෙස් පරිදි නියාමකවරුන් වූ ඬේවිඞ් සහ සුමතිපාල විසින් පාගමනින් මා කැටුව සවස්වරුවේ මැණික් ගෙඟන් එගොඩ වී ‘ගෙඟ් මෝය කට’ වූ පිළින්නාවට ගියහ. ගමනේ අරමුණ වූයේ රාත‍්‍රි කාලයේ (ආහාරය සඳහා) මාළු ඇල්ලීමය.
එසේ ගිය ගමනේ දී අප වෙත හඹා ආ අලින් සහ කුළු හරකුන් සුමතිපාල විසින් මෙල්ල කළ ආකාරය නවකයකු වූ මම බලා සිටියෙමි. නියාමක සුමතිපාලගේ සේවා ස්ථානය වූ මැණික් ගඟ අසබඩ බීට්ටු කාර්යාලයේ සිට කුමණ ගමේ ඔහුගේ නිවසට දුර සැතැපුම් තිස් දෙකකි. වනසතුන්ගේ නිජබිම හරහා නිවසට යන්නේ පාපැදියෙනි. හඹා එන අලින් කුළු හරකුන් නතර කරලීමේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිිළිබඳව මට ඉතා ආදරයෙන් කියා දුන්නේ දැනට කතරගම පදිංචි ව සිටින විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ් සහ ඉහත කී හිටපු නියාමක සුමතිපාලයි.
* වන සත්ව දෙපාර්තමේන්තුව 1950 දී ආරම්භ කළ තැන් සිට සේවකයින්ගේ ආහාරය සඳහා ජලාශ, කලපු, සහ මුහුදෙන් මාලූ ඇල්ලීමට අධ්‍යක්‍ෂවරයා විසින් ලියා නොදුන් සහනයක් (Unwritten Concession)  තිබිණ. ආහාරය සඳහා විවෘත සමයේ දී තිත්මුවන් වලිකුකුළන් වෙඩි තබා මරා ගැනීමට ද අධ්‍යක්‍ෂවරයා අප වෙත බලය දුනි.
එසේ නම් මේ සිදු වූ ඛේදවාචකය කුමක්ද? මට අදහාගත නොහැකිය. ආරංචිය ලැබුණු සැනින් මම කුමන විල්ලූවට නුදුරින් වූ සුමතිපාලගේ නිවසට ගියෙමි. එම නිවසට එක් රොක්ව සිටි අය මා සමග පැවසූයේ ‘‘සර්... කුමන විල්ලූව ආසන්න ප‍්‍රදේශයේ අරක්ගෙන සිටින කුළුමදයා (පිරිමි කුළු හරකා) අප්පුසිංඤෝ ගේ මීවැස්සියක් එක්ක පට්ටි වැටිල හිටියෙ. සුමතිපාලගේ ගෙදර කිට්ටුවමයි..... ඉතින් සුමතිපාල අහුලාගත් ගල් කීපයක් විසිකරලා... කුළා එලවන්න කියලා ඌට ගහලා තිබෙනවා.. ඒ.... කේන්තියට කුළා පිඹගෙන හඹා ඇවිත් අංවලින් සුමතිපාලට පහර දුන්නා.... තුවාල වෙච්ච සුමතිපාල කුළාගේ අං දෙකේ පැටලිලා... ඈතට දුවගෙන යනකොටයි සුමතිපාල බිමට වැටුනේ.... තුවාලකාරයගේ බඩවැල් එළියට හැලෙනවා.... ඒවා... ඔක්කොම ආයෙ බඩ ඇතුළට රිංගවලා

මියගිය සුමතිපාලට පහර දුන්නේ මෙවැනි කුලූ මී හරක් මදයෙකි

ඉටිකොළයකින් ඔතලා.. ඉස්පිරිතාලෙට අරන් ගියා...’’ ඔවුන් මා දැනුවත් කළහ. ‘‘දැන් ඉන්නේ මොන ඉස්පිරිතාලෙද?’’ මම විමසුවෙමි.
‘‘අපිට ආරංචි වුණා... පොතුවිල ඉස්පිරිතාලෙන් මඩකළපුවට යැව්වා කියලා.’’ සුමතිපාලගේ බිරිඳ මා සමග පවසමින් හඬන්නට වූවාය. සුමතිපාලගේ නරක වේලාවක් වෙන්න ඇති. මම සිතුවෙමි. ඇරත් පෙර ආත්මයක සිදු කළ අකුසල පළදීම මන්ත‍්‍ර බලය ඇතුළු සියලූ ප‍්‍රතිකර්ම අබිබවා සිදුවේ.
දින තුනකට පසු මට ආරංචි වූයේ සුමතිපාලට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුවත් රාත‍්‍රියේ මඩකළපුව රෝහල් වාට්ටුවේ දී අළුයම 2.00 පමණ මඳක් සිහි එළඹීමෙන් පසුව ඇඳමත දැඟලීමේදී ඔහු ඇඳෙන් බිමට වැටී ශල්‍යකර්ම මැහුම් පුපුරා යාමෙන් සුමතිපාල අවසන් හුස්ම හෙලූ බවය.

සුමතිපාල එසේ මියයම අහඹු සිදුවීමකි.
එකල ඉඟිණියාගල ගල්ඔය ජාතික වනෝද්‍යානය වාසභූමි කරගෙන සිටි වල් කුළු මීහරක් සංඛ්‍යාව 15,000ට අධික විය. එම වකවානුවේ සේනානායක සමුද්‍ර පිටියේ තණ බුදින මීහරක් සුලභ දර්ශනයක් විය. වැව් පිටියේ තැන තැන අණසක ප‍්‍රදේශ වෙන් කර ගෙන සිටින්නේ කුළු මීහරක් (පිරිමි) මදයින්ය. දිනක් උද්‍යානයේ ‘හත් පණ’ පිටියේ දී මමත් මා සමග පාගමනින් ඇවිද ගිය වනසත්ව නියාමක ගෝමිස් අප්පු සාමෙල් අප්පු විශ්ව කුලරත්න අප වෙත හඹා ආ කුළු හරක් මදයා සහ ගැහැනු සතා පලවා හැරියේ දැඩි චිත්ත ශක්තිය මුසු වූ උස් ගොරෝසු කට හඬිනි. එදින ද අප සතුව ගිනි අවියක් තිබුණේ නැත.

කාමයෙන් මත්වී සිටින කුළු මදයා සංවාස කාලයට (Heat period) එළඹ සිටින කුළු මී වැස්සියක් ගැහැනු රංචුවෙන් වෙන් කරගත් පසු ඇයට ඔහුගෙන් ගැලවීමක් නැත. රංචුවේ අනිකුත් ගැහැනු සතුන් ඇය ගැන සෙවීමකින් තොරව ආහාර බුදිමින් තැනින් තැනට යති. එසේ යන විටදී එවැනිම තවත් කුළු මදයකුගේ අණසක ප‍්‍රදේශයට ගිය විට රංචුවේ වෙසෙන සංවාස කාලයට එළඹ ඇති වැස්සියකට සිදුවන්නේ කුළු මදයාගේ ‘රති’ කෙලියට යටත් වීමටය. ඇයට ද ඔහුගෙන් ගැලවීමක් නැත. මෙසේ රඳවා ගන්නා ‘මීහරක් වැස්සියන්’ අවම වශයෙන් දින තුනක්වත් කුළු මදයා විසින් රඳවාගෙන ඔහුගේ රතියේ මනදොල සපුරා ගනී. එවැනි අවස්ථාවක ඒ අසලට තුවක්කු ගිනි අවි නොමැතිව මිනිසකු යන්නේ නම් ඒ මරණය සොයාගෙනය. රතියේ සිටින කුළු මදයා ඒ තරම්ම අවදානම්ය.

ගල්ඔය උද්‍යානයේ හත්පත දී එදින අප අහම්බෙන් මුහුණට මුහුණ හමුවූයේ එවැනිම යුවලකි. රති කෙලියට සූදානම් වෙමින් සිටි ඔහුත් ඇයත් අප දුටු කෙනෙහිම මාරාවේශයෙන් ගොරවමින් අපට පහර දීමට හඹා එන්නට වූහ. මගේ ගොරෝසු උස් කටහඬ මා පියාගෙන් සහ උපතින් ලැබූ දායාදයකි. එම ශබ්දය සමග අනිකුත් සේවකයින් තිදෙනාගේ මුවින් පිට වූ කෑගැසීම් ශබ්දය වනය දෙවනත් කරගෙන යයි. අප ආසන්නයට හඹා ආ කුළු හරක් දෙදෙනා බිය වී ආපසු හැරී පලා යන්නට වූහ.

මට ඇති වූයේ අස්වැසිල්ලකි එහෙත් වනය තුළට දිවගිය මදයා සහ වැස්සිය නැවතත් ආපසු හැරී අප වෙත හඹා එන්නට විය. රයිපලයක් හෝ පතරොම් තුවක්කුවක් අත තිබුණේ නම් ඔවුන්ගේ හිස් කබල් සුනුවිසුනු කිරීමට තරම් භීතියක් මට ඇති විය. නැවතත් මගේ මුවින් පිට වූ ගෝරනාඩුව හත්පොත ප‍්‍රදේශයේ දෝංකාරය දෙන්නට විය... ඉන් බියපත් වූ කුළු හරක් දෙදෙනා අධික වේගයෙන් වනය තුළට පලා ගියේ අප හතර දෙනාහට තවත් කලක් ජීවත් වීමට ඉඩ දෙමිනි.

අප කණ්ඩායමේ සිටි වනසත්ව නියාමක විශ්ව කුලරත්න කතා කරමින් ‘‘සර්.... සර්ගේ ගෝරනාඩුවට කුළු මදයො විතරක් නොවේ... අමනුස්ස ලෝකෙ ඉන්න යක්කුත් භය වෙනව ඇති.’’ යැයි පැවසීය.
කෙසේ වෙතත් මගේ මෙම වදන් ගැන විශ්වාසය තබාගෙන සුදුසු ගිනිඅවියක් අත නොමැතිව රුදුරු වන සතුන් ඉදිරියට නොයා යුතු බව සඳහන් කළ යුතුය.

(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්
විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු
ඊමේල් edmund.wilson09@gmail.com
ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා
www.lankadeepa.lk

Tuesday, September 3, 2013

පුලතිසි



රාවණට භූවනත්‍රය ජය ගැනීමට හැකියැයි යන මතයේ සිටි පුලතිසි නිතොර ඔහුට උපදෙස් දීමට පසුබට වූයේ නැත.රාවණ වෛද්‍ය ශාස්ත්‍රය ඇතුලු බොහෝ ශාස්ත්‍ර උගත්තේ පුලතිසිගේ ඇසුරේය.එතුමා ලොව යම් ප්‍රාණියෙකුට දැඩිව ආදරය කලේනම් ඒ අන් කවරෙකුවත් නොව 'ලංකේෂ්වර රාවණට' විය.රාවණ විසින් ඉන්ද්‍ර සිර කොට සිටියදී ඔහු බේරා ගැනීමට පැමිණි නාරද ඍෂිවරයාට හා මහා ඍෂිට උපකාර කලේ පුලතිසිය.රාවණට භූවනත්‍රයෙන් එහාට යන්නටත් අවශ්‍ය ගුරුහරුකම් දීමට සිටි තැනැත්තා පුලතිසි විය.

ලෝකයේ නිත්‍යය පදාර්ථය පරමාණුවකටත් එහා ගිය කිසිවකුට කිසිවිට ඇසින් දැකිය නොහැකි 'ශක්තිය' යැයි පුලතිසි සොයා ගෙන සිටියේය.ඒ දැවැන්ත ශක්තියෙන් කල නොහැකි දෙයක් නැතැයි ඔහුගේ නිගමනයද විය.මුලු විශ්වයම මොහොතකින් එක් පවුලක් සේ ළං කරගැනීමට ශක්තියේ බලය යොදා ගත හැකි යැයි පුලතිසි තීරණය කර තිබිණි.මුලු විශ්වයම එක පවුලක් කර ගැනීමද ඔහුගේ අරමුණ විය.
එහෙත් මේ අදහස් අනුව පරීක්ෂණයකට යෙදෙන්නටත් පෙර රාම රාවණ යුද්ධය ඇවිලී ගොස් ලංකාව මෙතෙක් ළඟා කරගත් ශිෂ්ඨාචාරයද වැළලී ගියේය.ඒ සන්තාපය පුලතිසිටද විය.එහෙත් එතුමා පරමායුෂය ගෙවා ධාන්‍යකට සමවැදී සිට දයෙන් සමුගත්තේය...

මහේන්ද්‍ර ජයකොඩි

රාවණ පරපුර


මහේන්ද්‍ර ජයකොඩි


Sunday, August 25, 2013

ගණින්නාන්සේලා රැකගත් බෝගන්දෙන විහාරය



කුඩා කතරගම සොරගුණේ දෙවොල් බිම ආශි‍්‍රතව සිදුවූ නාහිමි ඝාතනය පිළිබඳ දුක්බර මතකය සිහිපත්කළ සොරගුණේ රජ මහා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සොරගුණේ පඥානන්ද හිමියන්ගෙන් සහ හල්දුම්මුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී සොරගුණේ  පඥාවාස හිමියන් නමැද සමුගත් අපි මෙම විහාරස්ථානයට පෙර පැවැති ප‍්‍රදේශයේ ප‍්‍රධානතම බෞද්ධ ආගමික මූලස්ථානය සොයා ගමන ආරම්භ කළෙමු.
බෝගන්දෙන විහාරය 16, 17, 18 යන සියවස්වල ඉතිහාස දත්ත විහිද යන්නකි. මෙයද යාපා රජතුමා සොරගුණේ පුංචි කතරගම දෙවොල ඉදිකළ කාලයටම අයත් බව කියති.

ගුණසේකර

දෙවොල කරවූ රජු එහි පිරිත් නිලය සඳහා මාගන්දන විහාරයේ ගණින්නාසේලාට පැවරූ බව බෝගන්දන සන්නස හා සොරගුණේ ගම්පත සාක්කි දෙන්නේය.
ගණින්නාන්සේලා මේ පින්බිම ආරක්‍ෂාකරගෙන දියුණු කළ බව ද සඳහන් වේ.
අද කාපට් යොදා සංවර්ධනය කර ඇති එදා රජ මාවතේ ගමන් කරමින් සිටිය දී ගණින්නාන්සේලා යනු කවරෙක්දැයි මෙනෙහි කළෙමි. ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වූයේ එකල්හි වෙහෙර විහාරස්ථාන භාරකාරත්වය දරන ලද උපසම්පදා නොවූ සාමණේර පිරිසකට බව කියති.
තම පියාණන් මරා රජකම ලබාගත් 1 වැනි රාජසිංහ රජතුමා ඒ පව නිවාරණය කරන්නට මගක් නැති බව බුදු දහමේ සඳහන්ව ඇති බව අසා කෝපයට පත්ව බුදුසසුන වැනසූ කාලයක් ගැන අසන්නට ලැබේ. එකල රජුගේ අණින් වෙහෙර විහාර, බණ පොත් ගිනිබත් කළ අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද ඝාතනය කෙරිණ.
මේ නිසා බොහෝ භික්‍ෂුන් වහන්සේලා සිවුරු හැරදමා ගිහියන් මෙන් ගත කළ බවත් කියති. කෙසේ නමුත් මොවුන් ඇතමෙක් අඳනය උඩින් ගිහි ඇඳුමක් ඇඳගෙන සිටි බවත් ආගමික වතාවත් වලදී ගිහි ඇඳුම ඉවත් කර එය අවසන්ව නැවත පොරවා ගත් බවටත් තොරතුරු ඇතැයි ඌව බින්තැන්න දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නාපටවෙල ධම්මානන්ද  හිමියෝ පැවසූ අයුරුද මට සිහිවිය.
කෙසේ වෙතත් ගණින්නාන්සේලා දිවි පරදුවට තබා ශාසනික මෙහෙයක් සිදුකළ පිරිසක් බව නම් පැහැදිලිය.
කිලෝ මීටර් 5 ක පමණ දුර ගමන් කළ පසු අප ළඟා වූයේ වෑඑළිය ගම්මානයටය. මෙහි ඇති වැව නිසා ගම එළිය වූ බැවින් මෙම ගමට වෑඑලිය නම ලැබී ඇති බවට ජනප‍්‍රවාදයකි.
එහෙත් තවත් ජනප‍්‍රවාදයකින් කියවෙන්නේ මෙම වැව පතුලේ රන් වෑයක් සඟවා ඇති නිසා වෑඑළිය නම ලැබී ඇති බවය.
දිගු ඉතිහාසයක් ඇති මෙම වැව පිළිබඳව ඉපැරැණි මැදගම සන්නසෙහි ද සඳහන්ව තිබේ.
එහි සඳහන්ව ඇත්තේ යාපා රජ දවසටත් පෙර සිටම මෙම වැව පැවති බවයි. යාපා මහ රජුගේ තාවකාලික ගමන් මාලිගාවක් මෙම වැව අසළ තිබූ බවත් රජතුමා විසින් වැව පිළිසකර කරනු ලැබූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
කලක් මැණික් ගරන්නන් විසින් විනාශ කරනු ලැබීම නිසා වැව ආශ‍්‍රිත බිම පතහක් වී ඇති අතර දුරාතීතයේ අක්කර 36 ක් පමණ වූ මේ වැව අද අක්කරයකට පමණක් සීමා වූ වැවක් බවට පත්ව ඇත.
මෙම වැව මැණික් ගැරීම සඳහා රුපියල් කෝටි ගණනකට ව්‍යාපාරිකයන්ට පැවරීමට සූදානම්ව සිටියදී ගම්වැසියන් හා ගොවි සංවිධාන පාරට බැස දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ හැටි මට ද මතකය. එදා එය අපි මාධ්‍යයට වාර්තා කළෙමු.


වල්අලි වැනසූ නිවසක්

මහජන විරෝධය නිසාම තම අදහස ඉවත් කර ඉතිරි වූ වැව කොටස හෝ සංවර්ධන කර දීමට බලධාරින්ට සිදුවිය.
කෙසේ නමුත් වැව කුඩා වීම නිසා වෑඑළිය ගම්මානයේ රජ දවස සිට පැවත එන වෙල්යායේ වැඩ කරන්නේ එක් කන්නයකට පමණක් බව දැනගන්නට ලැබිණ.
මේ අතර මෙහි ඉඩම්වල අයිතිය ඇතැයි පවසමින් යළිත් වරක් වැව් තාවල්ල ආසන්නටයම අත්පත් කර ගැනීමට යන පිරිසක් පිළිබඳව ගොවි සංවිධාන හා ගම්වැසියෝ අනතුරු හඟවති.
මෙම වැව ආසන්නයේ තිබූ බව කියන යාපා රජුගේ ගමන් මාලිගය සොයා අප වෙහෙසුනද එම මාලිගාවේ පාදමේ ගල්ද ගලවාගෙන ගොස් ඇති අයුරු දක්නට ලැබිණ.
නිධන් හොරු මෙහි තැන් තැන් කැණීම් කර තිබෙන අයුරු ඛේදජනකය.
රන් ආයුධ ගල්ගේ නම් වූ ගල් ගුහාවක් මේ ආසන්නයේ තිබූ බවත් සොරගුණේ දේවාලයට සතුරු ප‍්‍රහාර එල්ල වන විට එහි තිබූ රන් ආභරණ හෙවත් රන් ආයුධ මෙහි තැන්පත් කර තිබූ බවත් සතුරු සේනා ගිය පසු යළි දේවොලට රැගෙන ගිය බවත් කියති. එනිසා මෙය රන් ආයුධ ගල්ගේ නම ලබා ඇත.
මේ ප‍්‍රදේශයේ යාපා රජතුමාගේ පලතුරු උයනක් තිබූ බවටද ඉතිහාසයේ සඳහනක් ඇතත් පලතුරු උයන පමණක් නොව ප‍්‍රදේශයේ අක්කර දහස් ගණනක වන පෙතද විනාශ කර තිබේ.
ස්වභාවික වනයෙන් පිරුනු දෙවොලේ ඉඩම් අක්කර දහස් ගණනක් පිට පළාත්වල ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් අත්පත් කරගෙන සිටින බව දැනගන්නට ලැබුණි.


ඓතිහාසික බෝධීන් වහන්සේ

අක්කර සියය, දෙසීය වශයෙන් කම්බි ගසා වෙන්කරගෙන ඇති මෙම ඉඩම් ලබාගෙන ඇත්තේ රබර් වැවීමට යැයි හඟවමිනි.
එහෙත් සිදුවී ඇත්තේ බුරුත, කරුවල, මහෝගනී, මැදිරිය, ගම්මාලූ වැනි රූස්ස ගස් ඇති ස්වභාවික වනය මුළුමනින්ම කපා බිම හෙළා රැගෙන යාමය. තවදුරටත් යන්ත‍්‍ර සූත‍්‍ර යොදා මේ විනාශය සිදුකරන අතර වගකිවයුතු අය දෑස වසාගෙන ඇතැයි ගම්වැසියෝ කියති.
ගස් කැපීම, වන සතුන් දඩයම පමණක් නොව තවත් නීති විරෝධී කටයුතු සිදුකරන බවත් කොළඹ මෙන්ම යාපනේ අනන්‍යතාව ඇති අයද සංක‍්‍රමණය වී ඇති බවත් දැනගන්න ලැබිණ.
ඒ පරිසර විනාශය අපටද දැකගත හැකි විය.
අපි වෑඑළිය හන්දියට පැමිණි පසු වෑඑළිය වල්මීතලාවේ ඇති පුරාවිද්‍යා ගවේෂණ කැනීමකට යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප‍්‍රමුඛ කණ්ඩායම හමුවිය.
මේ ප‍්‍රදේශයේ වසර 5500 ක පමණ වූ ඉතිහාසයක් මතුකරන සාධක කැණීම් වලදී හමුවූ බව පැවසූ රාජ් සෝමදේව මහතා මේ ඉතිහාසය මතුකරගෙන ආරක්‍ෂා කිරීම අනිවාර්යයෙන්ම කළයුතු කාර්යයක් බව කීවේය.
අප සොයා යන්නේ බෝගන්දෙන විහාරය බව පැවසූ විට මහාචාර්යවරයා එම ඉතිහාසයේ තවත් හෝඩුවාවක් අපට දුන්නේ මෙසේය.
‘‘අප දැනට කැණීම සිදුකරන වල්මීතලාවට යාව තිබෙන බෝගන්දෙන ප‍්‍රදේශයේ තිබී කි‍්‍ර.ව. 9 වැනි ශතවර්ෂයේ රචනා කරන ලද සෙල්ලිපියක කොටසක් අප ඊයේ දැක්කා. මං හිතනවා ඒක 4 වැනි උදය රජු විසින් කරවන ලද ලිපියක් කියල.
එතුමා මේ ප‍්‍රදේශයේ රාජකාරි චාරිකාවකදී බෝගන්දෙන විහාරයට දීමනාවක් දෙන්න ඇති. ලංකාවේ ඓතිහාසික වර්ධනය අධ්‍යයනය කිරීමේ මේ සාධක ඉතා වැදගත්. ඒ සඳහා ක‍්‍රමවත් පර්යේෂණ වැඩ පිළිවෙළක් අවශ්‍ය යැයිද මහාචාර්යවරයා කීවේය.
සබරගමුව පහළ ඌව මාර්ගයේ කොස්ගම හා වෑඑළිය අතර පිහිටි බෝපිටිය ගමට කිලෝ මීටර් 7 ක් අප යායුතුය.
ඒ සඳහා මාර්ගෝපදේශකයා වූයේ ඊ.එම්. ගුණසේකර (65) මහතාය. අතීතයේ වූ කැලෑ මාර්ගය වෙනුවට වේලිඔය ආශ‍්‍රිතව ඉදිකළ පෞද්ගලික විදුලි බලාගාරයක් වෙත යන්ත‍්‍ර සූත‍්‍ර හා ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාම සඳහා කැලෑව දෙපළුකර කපන ලද මාර්ගයේ ටික දුරක් අපහසුවෙන් තොරව ගමන් කළහැකිය.
ඉන්පසු බරවාහන වල  ටයර් තීරු ප‍්‍රමාණයක් පමණක් සිමෙන්ති දමා තිබුණත් මේ හේතුව නිසා තී‍්‍රවිලරයක් වත් ගමන්කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත.
ගමේ කීප දෙනෙකුට ත‍්‍රීවිලර් තිබුණත් ඒවා වෑඑළියේ නතර කර පයින් ගමට යාමට සිදුව තිබෙන බව ගුණසේකර කීවේය.
මේ දුක්ගැහැට විඳිමින් ඉදිරියට යන විටද අපට දක්නට ලැබුණේ මහා පරිමාණ පරිසර විනාශයකි.
බෝපිටිය ගම්මානය රජ දවස සිට පැවැත එන පාරම්පරික ගම්මානයක් වන නමුදු මාර්ග අපහසුතාව හා වල් අලි කරදරය නිසා අද පවුල් 11 ක් පමණක් මෙහි ජීවත් වෙති. සෙසු පවුල් ගම හැර ගොස් ඇති බව ගුණසේකර මහතා කීවේය. තවලම පිට තම කෘෂි අස්වැන්න වෑඑළියට රැගෙන ගිය සෙනෙවිරත්න හැර වෙනත් කිසිදු ගැමියෙක් මේ මාර්ගයේදී හමු නොවීය.


වල් වැදුණු රජමාවත

අඩි සිය ගණනක් වූ වෑයමක වෙහසකර ගමනකින් පසු අප බෝපිටිය ගම්මානයට පිවිසුනෙමු. ගම්මානය මැද පිහිටි බෝගන්දෙන විහාරයේ අද ඉතිරිව ඇත්තේ ගරා වැටුණු චෛත්‍යයේ කොටසක් පමණි. වරෙක සතුරු සේනා විසින්ද පසුකලෙක නිධන් හොරුන් විසින්ද මේ සෑය වනසා ඇති අයුරු හද කම්පාකරවනසුළුය.
පැරැණි ගල් කනු කීපයක්ද දැකිය හැකි විය. ඉපැරැණි බෝධීන් වහන්සේ තවමත් විරාජමාන වෙයි.
පුරාවිද්‍යා සංරක්‍ෂණයට හා ගවේෂණයකට ලක්විය යුතු වුවත් ඒ කිසිවක් නැතිව විනාශ මුඛයට යන බෝගන්දෙන විහාරයේ නටඹුන් වෙනුවෙන් ගම්වැසි පවුල් කරන පුදසත්කාර නම් ගෞරවනීය වෙයි.
අපි පවුල් එකොළහ සතියේ දින බෙදාගෙන මේ ස්ථානයට සියලූ පුද සත්කාර කරනවා. ස්ථානය පිරිසිදු කිරීම, උදේ හවස මල් පහන් පූජාව, ගිලන් පස පූජාව හා උදෑසන කිරි ආහාර පූජාව නොකඩවාම කරනවා යැයි ගම්වැසියන් පැවසුවේ මෙම පුදබිමේ ඉතිහාසය මෙන්ම හාස්කම් ගැනද විස්තර කරමිනි.

ස්තුතිය - හල්දුම්මුල්ලේ සුමනපාල තෙන්නකෝන් මහතාට හා චන්ද්‍රා ලක්මාලි  රණසිංහ මහත්මියට
ඊළඟ සතියේ රන්වන් ගුහාවට යමු.


බදුල්ලේ පාලිත ආරියවංශ
2013 අගෝස්තු මස 24 00:00:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Wednesday, August 21, 2013

යුදගනා ඇසළ පෙරහර

ඌව - වෙල්ලස්සේ බුත්තල ඓතිහාසික යුදගනා රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 23, 24 යන දිනයන්හි දී පැවැත්වේ. විහාරාධිපති ගල්ටැම්වත්තේ ශ්‍රී චන්ද්‍රජෝත්‍යාභිධාන මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ හා විහාරාධිකාරී හා භාරකාර ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි යුදගන රාජමහා විහාර දායක සභාව, යුදගනා, සහයෝගිතා බෞද්ධ පදනම, යුදගනා පෙරහර කමිටුව, යුදගනා තරුණ බෞද්ධ සංගමය හා යුදගනා දහම් පාසලේ මෙහෙයීමෙන් පෙරහර මංගල්‍යය සංවිධානය වේ.

“සිත නිවන දහම් සිසිල” යන මැයෙන් ධර්ම දේශනයක් 2013 අගෝසතු මස 24 වැනි දා සවස 4.30 මොරකැටිආරේ ධම්මික හිමියන් විසින් වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. වාද්දුව ධම්මගවේෂි පදනම මෙය සංවිධානය කරයි.



Sunday, August 18, 2013

පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය - Pelwatte Milk Foods

පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය, පැල්වත්ත කිරි ආයතනයට අනුබද්ද ආයතනයකි. 2006 දී "ගමට කර්මන්ත" වැඩසටහන යටතේ ආරම්භ කරන ලදී. අයෝජන මන්ඩලය මගින් BOI තත්වයද පිරිනමා ඇත. මෙය ඌව පළාතේ,මොණරාගල දිස්‌ත්‍රිකයේ, බුත්තල පැල්වත්ත සීනී කර්මාන්තායතනයට අසල පිහිටා ඇත.


Pelwatte milk foods to enter the market shortly

Pelwatte Dairy Industries Ltd (PDIL), a subsidiary of Pelwatte Sugar Industries PLC (PSIPLC), plans to launch its milk powder production soon. Machinery imported from Denmark has been installed at the milk powder plant for this purpose. “We are in the process of completing the milk powder plant”, Chairman of the company Ariyaseela Wickremanayake told the Business Times, adding that Pelwatte milk foods will enter the local market shortly.
Pelwatte Dairy Industries Ltd. has invested Rs.1.8 billion on the state-of-the-art dairy processing plant and animal feed production factory in the Monaragala District. Liquid milk for this factory is being collected from the districts of Monaragala and Ampara amounting to 150,000 litres per day. The factory currently produces yoghurt and ice cream. "Around 25,000 farmers work directly at the dairy factory in Pelawatte while 40,000 persons indirectly benefited by the project," he added.
Mr. Wickremanayake revealed that the company will launch an Rs.450 million Initial Public Offer (IPO) at the end of this month or in the first week of February. He said that 20% of the company stock would be offered to the public.
Meanwhile production at Pelwatte Sugar Factory, the largest sugar factory in Sri Lanka, has come down from 42,000 tons in 2009 to 29,000 tons in 2010 due to bad weather conditions. However the factory is functioning smoothly under Pelwatte Sugar Industries PLC (PSIPLC) without any industrial disputes or worker unrest, said Mr. Wickremanayake. He denied allegations from the Inter Company Employees Union which claimed that the wages of the employees and the vehicle owners who supplied transport facilities as well as the farmers who supplied sugar cane to the factory were not paid properly. All the payments were made and there was no worker dispute at the factory, he said.
The company cultivates sugarcane under rain-fed conditions, and produces sugar and other byproducts from the raw cane. PSIPLC's subsidiary, Pelwatte Sugar Distilleries (Pvt) Limited, produces potable and technical alcohol utilizing molasses, a byproduct of the sugar factory.


Sunday Times,


























Monday, July 22, 2013

ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහර වෙනුවෙන් පේ වෙන කතරගම පුදබිමේ අසිරි සිරිය ඔබට ලියන්නට අපි ඉකුත්දා එහි ගියෙමු.
පරිසරය නිහඬය. ශාන්ත බවින් පිරුණේ වෙයි. දෙවියන් පිළිබඳ බැතිබර හැඟීමෙන් යුතු ජනයා සුදු වතින් සැරසී සිටිති. ඈතින් කාවාඩි නැටුමක් එනු පෙනෙයි. වේග රිද්මයෙන් සංගීතය නිකුත් වුවද දැහැන්ගත සිත බිඳ දැමීමට එය සමත් නොවේ. එය ඒ පුදබිමේම අනන්‍ය ලක්ෂණයකි. ආගමික විවිධත්වයත් සංස්කෘතික විවිධත්වයත් මුසුවීමෙන් නැගෙන විචිත‍්‍රවත්වය එහි උරුමය බවට පත් වී තිබේ.


අපි ඔබ මොබ ගියෙමු.
මාසයක් පුරා අලි හා වන සතුන් පිරි ගිරි දුර්ග හා ජල දුර්ගවලින් ගහන මහ වන මැදින් පැමිණි බැතිමත්හු දොවොල් බිමේ තුරු සෙවණේ ගිමන් හරිති. ඔවුන්ගේ ගමන සුපුරුදු පරිදි ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් පසුවය. කප් සිටුවා දින 45ක් තුළ ඇසළ මංගල්‍යය ඇරැඹෙන බැවින් ඒ දින බලා ඔවුහු පිටත්වෙති. මඩකළපුව, අක්කරෙයිපත්තුව, අම්පාර, තිරුක්කෝවිල්, සංගමන් කන්ද, තෙරමාරි, ඌරණී, පොතුවිල්, ආරුගම්බේ, පානම, ඔකඳ, කුමන හරහා රඹුක්කන් ඔයෙන් එතෙර වන ඔහු යාල අංක 2 කලාපයට පැමිණ මැණික් ගඟ තරණය කර කටගමුව, වල්ලිමාතාගම පසු කර ඔවුහු කතරගම පුද බිමට පැමිණෙති.


කපුගම සරණ තිස්ස හිමි


සොමිපාල ටී. රත්නායක ප‍්‍රධාන කපු මහතා


ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පත්මසිරි රාජපක්ෂ

ගමනට මාසයක් කල් ගෙවී යයි. මහ වන මැදින් එන ගමන අනතුරදායකය, බිහිසුණුය. කටුකය. කර්කෂය. අව් වැසි හා පින්නෙන් ලබන පීඩා එමටය. වන සතුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රවද බහුලය. මහ වන මැද ආහාරය සියතින්ම සාදාගත යුතුය.
”දෙවියන්ට තියෙන භක්තිය නිසා අපි එහෙම එන්නේ. දෙවියන් වෙනුවෙන් කැප වුණාම දෙවියන් අප වෙනුවෙන් කැප වෙනවා.” බැතිමතෙක් කීවේය. එහෙත් ඔවුහු මාධ්‍යයට කතා කිරීමට කැමැත්තක් නොදක්වති. ඒ ඔවුන්ගේ අරමුණ දෙවියන් පිදීම පමණක් වන හෙයිනි.
”මේ ගමනට එන්න පෙර මාස 5ක්වත් අපි පේ වෙනවා. මස් මාළු කිසිවක් කන්නේ නෑ. කිල්ලට අහුවෙන්නේ නෑ. එහෙම වුණොත් දෙවියන් වැඩ ඉන්න බිම අපිරිසුදු වෙනවා.” ඒ බැතිමතා කීවේය. පාද යාත‍්‍රාවේ අතීතය 1830 දක්වා තරම් ඈතට දිව යන අතර ඉන්දීය බැතිමතුන් පවා මෙම ගමනට එක් වන බව පැවසේ. ඔවුහු එකල ති‍්‍රකුණාමලය වරායට පැමිණ එතැන් සිට පාද යාත‍්‍රාවට එක් වන බවද කියැවිණි.
මාසයක් පුරා දුෂ්කර මගක් ගෙවා පැමිණි බැතිමතුන් අතර ගැබිනි මවක්ද සිටියාය.
”මගේ බාරය පිරිමි දරුවෙක් ලැබෙන්නයි. ඒ නිසා මට මේ ගමන අසීරු වුණේ නෑ.” ඇය කීවාය.
පාද යාත‍්‍රාවේ එන පිරිස් විවිධ තරාතිරම්වලට අයත් බැතිමත්හු සිටිති. ඒ අතර මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, විධායක ශ්‍රේණියේ නිලධාරීහු, පරිපාලන ක්ෂේත‍්‍රයේ නිලධාරීහු, වෛද්‍යවරු, විදුහල්පතිවරු, මෙන්ම ගොවි හා ධීවරයෝද වෙති. එහෙත් ඒ සියල්ලෝම එක සමාන වෙති. ජීවිතයේ වරක් හෝ මෙම පාද යාත‍්‍රාවේ යෙදීම දෙවියන් වෙනුවෙන් කරන ඉහළම පූාජව යැයි ඔවුහු සිතති.
එහෙත් ඔවුන්ට මෙවර කීමට අවනඩුවක් තිබිණි.
”ජූලි මාසයේ පැවැත්වෙන පෙරහර මේ පාර අගෝස්තු මාසයට කල් ගිහිල්ලා. ඒක අපි දන්නේ නෑ.” ඔවුහු කීහ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය තුනක් පවත්වනු ලැබේ. පළමුවැන්න අවුරුදු මංගල්‍යය වේ. කතරගම දෙවිඳුන් වල්ලි අම්මා මාතාව බැලීමට යාම ස්මරණය කිරීම සඳහා මෙම අවුරුදු මංගල්‍ය පෙරහර පවත්වනු ලැබේ. දෙවැන්න ඇසළ මංගල්‍ය පෙරහර වේ. කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා මාතාව අතර සිදු වූ විවාහය ස්මරණය කිරීම සඳහා මෙම ඇසළ මංගල්‍ය පෙරහර පැවැත්වේ. කප් සිටුවා දින 45කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍ය සඳහා දින 15ක් හෝ 16ක් ගත වේ. මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවිඳුන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත‍්‍රයකි.
තුන්වැනි වාර්ෂික පෙරහර මංගල්‍ය වනුයේ ඉල්මහ කාර්තික මංගල්‍ය වේ. කතරගම දෙවිඳුන්ට වල්ලි අම්මා මාතාව හමුවීම සිහිපත් වීම සඳහා මෙම පෙරහර මංගල්‍ය සිදුකෙරේ. එළැඹෙන නව වසර සඳහා රුහුණු මහා දේවාලයේ නිලධාරීන් පත් කරන ලද පසු සිදු කරන පළමු උත්සවය ලෙස මෙය හැඳින්වේ.
පුරා මසක් කල් මහ වන මැදින් පාද චාරිකාවේ යෙදුණ බැතිමතුන්ට පෙරහර මාසය මෙවර වැරැදුණේ ඇයි? ජූලි මාසයේ සිිරිත් පරිදි පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍ය මෙවර අගෝස්තු මාසයට කල් ගියේ ඇයි? ඒ සම්බන්ධයෙන් විමසීමට නිවැරැදිම සුදුස්සා රුහුණ මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතාය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘මේ අවුරුද්දේ වෙසක් පොහොය ගෙවී ගියේ උදේ 9.58ටයි. කප් සිටුවීම කළ යුත්තේ බ‍්‍රහ්ම මූර්තියට. ඒ කියන්නේ උදේ හයට විතර තමයි කප් සිටුවිය යුත්තේ. පොසොන් පොහොයත් මාසයේ අන්තිමට ගියා. පෞරාණික චාරිත‍්‍රවලට අනුව කප් සිටුවා දින 45කට පසුවයි පෙරහර මංගල්‍ය පැවැත්විය යුත්තේ. ඒ අනුවයි මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු මාසයට කල් ගියේ. එහෙම නැතිව වෙන කිසිම හේතුවක් නෑ. මේ තත්ත්වයන් ජනමාධ්‍ය මගින් දැනුම්වත් කළා. අද සන්නිවේදන පහසුකම් බහුලයි.  ඕනෑම කෙනකුට යමක් පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවා නම් ”දන්නේ නෑ” කියලා ඒක පිළිගන්න බෑ’’.
ඉකුත් ජූනි 24 වැනිදා කප් සිටුවීය. නම සඳහන් නොකරන ගස් විශේෂයක් පොහෝ දිනයකදී කපා මැණික් ගෙඟන් නාවා වල්ලි අම්මා දේවාලයේ පූජාව අවසන් වූ පසු සළුවකින් වසා තැන්පත් කරනු ලබයි. එතැන් සිට කපු මහතුන් විසින් දේවාලය දක්වා පෙරහරෙන් ගෙන ගොස් නැකැතට අනුව දේවාලයේ ඇතුළත සිටවනු ලබයි. එම ගස කැපීමට පෙර රාජකාරි මණ්ඩලයේ ගොටු මසන කපු මහතුන් විසින් කැලෑ වැදී තෝරා ගැනීමෙන් පසුව කහ රෙදිවලින් වසා රැුගෙන එනු ලබයි. එම ගස් දෙක සමාන අතු රිකිලි තුනකින් සමන්විත වීම විශේෂ ලක්ෂණයකි. ඌලියන් පංගුකරු විසින් ගස සොයා කැලෑවැදීමේදී මඟ එළි කර දෙයි. කපු මහතුන් දෙදෙනෙක්ද ඔවුන් කැටිව යති. කනු රැගෙන එක් වරක් පැදකුණු කර කනු නානුමුර හෙවත් නහවා කරට ගනු ලබයි. නානුමුර කිරීමේදී පළමුව කප් කනු දෙක දෙහි ගා පිරිසුදු කර පැන්වලින් නහවා සඳුන් ගල්වා අනතුරුව සුවඳ දුම් අල්ලා පොල්තෙල් පහන් දැල්ලෙන් උණුසුම් කෙරේ. ඒ වෙනුවෙන් වූ ආලත්ති පූජාවක්ද වෙයි. ඒ කප් සිටුවීම හා නානුමුර මංගල්‍යය ඉකුත් ජූනි 24 වැනිදා පැවැත්විණි.
අගෝස්තු 7 වැනිදා ආරම්භක පෙරහරෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන අතර අවසන් මහ පෙරහර අගෝස්තු 26 වැනිදා පැවැත්වේ.  අගෝස්තු 21 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ.
පෙරහර මංගල්‍ය සඳහා සූදානම කෙබඳුද? එය විමසීම සඳහා අප හමුවූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ඇසළ පෙරහර මංගල්‍යයේ ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සභාපති පද්මසිරි රාජපක්ෂ මහතාය. ”ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු පවත්වන 8 වැනි පෙරහර මංගල්‍යයයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. එය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ විධිවිධාන සලසා තිබෙනවා. මෙම පෙරහර මංගල්‍යයට ලක්ෂ සියයක් පමණ බැතිමතුන් සහභාගි වෙනවා කියලා අප බලාපොරොත්තුවෙන් සිටිනවා. 26 වැනිදා පැවත්වෙන අවසන් පෙරහරට පමණක් බැතිමතුන් ලක්ෂ 25කට ආසන්න පිරිසක් සහභාගි වෙනවා කියලා අපි විශ්වාස කරනවා.”
පත්මසිරි රාජපක්ෂ මහතාට අනුව සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දිනවලදී ලක්ෂයකට වැඩි බැතිමතුන්ගෙන් පූජා භූමිය පිරී ඉතිරී යයි.
”ගිය අවුරුද්දේ පෙරහර මංගල්‍යයට පාද යාත‍්‍රාවෙන් පැමිණි බැතිමතුන්ගේ ගණන තිස්පන් දහසක් පමණ වුණා. අපි හිතනවා මෙවර පනස්දහසකට අධික ජනතාවක් සහභාගි වෙයි කියලා.”
පද්මසිරි රාජපක්ෂ මහතා කළ මෙම ප‍්‍රකාශය ඓතිහාසික කතරගම පුදබිමේ හාස්කම් කියාපාන්නකි.
”නළලේ මොට්ටු තියන තින්නූන් ගෙනෙන්නේ කොහෙන්ද කියලා ඔබ දන්නවද? මේ කිට්ටුවම තියෙනවා කොච්චිපොතාන කියලා ගමක්. ඒ ගමේ විශේෂ පාෂාණ වර්ගයක් තියෙනවා. පෙනුමෙන් ඒක සුදුපාට ගලක් වගෙයි. හැබැයි පෙරහර කාලෙට ඒ ගල් වර්ගය පිටි බවට පත් වෙනවා. ඒවා තමයි තින්නූර් වශයෙන් යොදා ගන්නේ. පෙරහර සමය ගෙවී ගිය පසු ඒ පිටි යළිත් සුදු පැහැති ගල් බවට පත් වෙනවා.”
කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ මෙවර පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවට ඉඟි පළ වී ඇති බවය.
”මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින් බිමක්. ඒ අනුහස් මේ පින් බිමේ තියෙනවා.” උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
 කතරගම දොවොල් බිමේ අභිනවාරාමය ඉදිවුණේ කොහොමද? අපේ ප‍්‍රශ්නයට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

මේ පන්සල හදලා තියෙන්නේ 1924දි. ඒ කාලේ මේ පළාත් දියුණු නෑ. මහා වනාන්තරයක්. කිරි වෙහෙරත් තනිකරම පස් ගොඩක් බවට පත්වෙලා තිබිල තියෙන්නේ. බැතිමතුන් එන්නේ කරත්තවලින්. හරිහමන් පාරක් තොටක් නෑ. හාමුදුරුවරු වැඩියට දින ගණන් ගස් ගල් යට තමයි ඉන්නේ. මේ තත්ත්වය දැකපු කතරගම දේවාලයේ ඒ කාලයේ හිටපු ප‍්‍රධාන කපු මහත්තයා ටී.ආර්. බාරිස් මහත්තයා මේ පන්සල හදලා කතරගම ආයුපාල නායක හාමුදුරුවන්ට පූජා කළා. ඇත්තටම මේ පළාත් පුදබිම දියුණු වෙන්න පටන් ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පූජා භූමි සංකල්පයත් සමගයි’’.
කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කරන පරිදි එකල කිිරිවෙහෙර පස් ගොඩකි. මම කිරිවෙහෙර  දෙස බැලූවෙමි. එය සුදෝ සුදට බබළයි. අලූත තීන්ත ආලේප කර ඇති සෑ රදුන් දෙස බලන  ඕනෑම සැදැහැතියකුගේ සිත් නිවී සැනසීම් බවට පත් වෙයි. සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිරී යයි.
”පසුගිය දවස් ටිකේම කොළඹ මහත්වරු වගයක් අලූතෙන් සෑ රදුන් තීන්ත ආලේප කළා. ඒ මහත්වරු පුදුම විදියට මහන්සි වුණා. මේ පිනම ඇති මහත්වරුන්ට පවුලේ අයට බුදුන් දැක නිවන් දකින්න.” සලපතල මළුවේ වැතිර බුදුන් වඳිමින් සිටි සැදැහැතියෙක් කීවේය.
ආබාධිත අයකුට වුවද සෑ මළුවට ඇතුළු වී බුදුන් වැඳීමට පහසු වන පිණිස රෝද පුටු ගමන් කළ හැකි නව මාවතක්ද කිරිවෙහෙරේ ඉදි වී තිබේ.
”ඒක නම් පින් ඇති වැඩක්” උපාසක අම්මා කෙනෙක් කීවාය.
රුහුණු මහා කතරගම පෙරහර මංගල්‍යයට සූදානම එපරිදිය.

කතරගම පුදබිමේ හාස්කම් හා චාරිත‍්‍ර ලබන සතියේ.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
2013 ජූලි මස 21 12:57:25 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

http://www.lankadeepa.lk/index.php/articles/153790


සද්දන්තයා ආධාර ඉල්ලයි


යාල වනෝද්‍යානයේ කටගමුව කිලෝමීටර් 40ක් ඈතින් උඩපොත්තනපිටියේ පාදයක් තුවාල වූ අලියකු අසීරුවෙන් එහා මෙයා යන බව එහි ගිය සංචාරකයෝ පිරිසක් කියති.

http://www.lankadeepa.lk/index.php/articles/153770

Sunday, July 21, 2013

සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා

ලකේගල..
පුලස්තිගේ ආකාශ පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස සැලකේ...පෘතුවියේ සිට විශ්වයට දුර අඩුම හා වැඩිම තාරකා ප්‍රමාණයක් දිස්වන ස්ථානය ලෙස මෙය සැලකේ..

පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල


දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයි


සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා)වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය  නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව -නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගසඅදටත් ඇත.

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.

හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

සප්ත යෝගය - ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
උමා ජ්යො‍තිෂය
හෝරා වග
සුදර්ශන වක්ර ය
සෙත් වග
වාස්තු වග
උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.








Sunday, July 14, 2013

කදු මුදුනක තනිවු වූ පුංචි වැලිමඩ ගොවියෝ

තැපැල් එන්නේ නෑ
ග්‍රාම නිලධාරි නෑ
පන්සලක් නෑ

වේලාව පෙරවරු එකොළහට පමණ ඇත. අපි බිබිලෙන් බදුලු පාරට පිටත් වනවිට ගිනිගහන රස්නේ?නයෙන් බොහෝ පීඩාවට පත්ව සිටියෙමු. බදුලු පාරේ මද දුරක් විත් තිස් දෙකේ කණුව ළඟින් හැරී අලවත්තාගොඩ පාර දිගේ කෙටිදුරක් පැමිණියෙමු. දැන් පෙර මෙන් නොව පරිසරයේ ඇත්තේ මද සිසිල් බවකි.

“හපුගහපතනට කොහෙන්ද යන්නේ” මග අයිනේ වූ කඩයකින් විමසුවෙමු.

“ඕන් ඔය පාරේ උඩහට යන්න.”

පාර කොන්ක්‍රිට් කර ඇත. වාහනයකට ද ගමන් කිරීමට පුළුවන. සිතට පිවිසියේ සතුටකි. මඳ බෑවුමේ වාහනය ඉදිරියට ඇදෙයි. දෙපස ගහකොළවලින් පිරුණු මඟ දැන් පෙරටත් වඩා සිසිල් ය.




“ඔතනින් එහාට නම් යන්න බැහැ. මේ කොහෙන් හරි වාහනය දාලා යමු.”

මඟ පෙන්වන්නට පැමිණි රුවන් අණදෙයි.

අපි ඔහුගේ අණට කීකරු වීමු. අතරමඟ නිවෙසක මිදුලේ වාහනය නතරකොට ගමන පිටත් වීමු.

බිබිලත් හපුගහපතන ගමත් අතර කොතරම් නම් වෙනසක් ඇත්දැයි සිතෙන්නේ එහි ගිය අයෙකුට පමණි. හපුගහ පතනට සහ මඟ දැන් බෙහෙවින් තෙත බරිතය ඉර මුදුන් වී තිබුණ ද මඟට හිරු එළිය වැටෙන්නේ ගස් අතරින් පතර පෙරී ඒමෙනි.

ඒ නිසා ම පරිසරය බෙහෙවින් සිසිලස ය. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික දේශගුණික ලක්ෂණවලින් හෙබි හපුගහපතන ගම්මානය මිනිසුන් හඳුන්වන්නේ පුංචි වැලිමඩ යනුවෙනි. තවෙකෙක් සපුගහපතනද කියති. ආරම්භයේදී මෙන් නොව ගම තුළට යන්නට යන්නට මාර්ගය දුෂ්කර ය.

“මේ ගමේ හැමෝම ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. මේ පාර නම් හැමෝම වගේ වගා කෙරුවේ බෝංචි. උඩරට වැවෙන හැම එළවළු වර්ගයක්ම වවනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ එළවළු නගරයට ගෙන යෑම. වාහනයක් යන්න බැහැ. පාර දුෂ්කරයි. කරේ තියාගෙන තමයි ගේන්නේ. එළවළු විතරක් නම් කමක් නැහැ. ගමේ කවුරු හරි ගෙයක් හැදුවොත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගම මුදුනට ගේන්නේ කරෙන්. එක්කෙනෙක් ගෙයක් හදන්න පටන් ගත්තම ගමේ හැමෝම වගේ ඒකට උදව් කරනවා. දරුවෝ පාසල් යන්නේ එක්කෝ බදුල්ලට එහෙම නැත්නම් ඊට මෙහා තියෙන පාසලට.”

ගමන යන අතරමගදී මඟපෙන්වීමට පැමිණි රුවන් ගමෙහි දුෂ්කර බව පැවැසුවේ එසේ ය. රුවන් සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරන්නේ ය. ඔහු ලබන වැටුපින් ගමේ ඇතැමෙකුට ගොවිතැන් කිරීම සඳහා මුදලින් ආධාර කරනු ලබයි.



“මං ටවුමේ ඉඳලා ඇට වර්ග පොහොර ආදිය ගෙනැත් දෙනවා. ඒ වගේ ම ගොවිතැන නඩත්තු කරන්න වියදම් ලබාදෙනවා. අවසානයේදී වියදම් කපා නොහැර ආදායමෙන් කොටසක් ගන්නවා. එහෙම කළා කියලා කාගෙවත් හිත් රිදෙන්නේ නැහැ. පැය දෙක තුනක දුෂ්කර ගමනින් පසුව අප ගම පෙනෙන තෙක් මානයට ආවෙමු. හපුගහ පතනට යන ගමන බෙහෙවින් දුෂ්කර ය. ඒ මඟ මතුව ඇති උස් ගල් නිසා කඳුකර මගෙහි ගමන් ගැනීමට අපහසු ය. නගරයේ සිට ගමට පළමු වර යන අපට එම ගමන බොහෝ දුෂ්කරකාරි බවක් හැඟුණ ද සපුගහ පතන ගැමියෝ දිනපතාම හෝ දින දෙක තුනකට දවසක් හෝ එහෙමත් නැත්නම් සතියකට වතාවක් හෝ නගරයට පැමිණෙති. ඔවුහු මැසිවිලි නොනගන්නාහ. ගමන දුෂ්කර වුවද තම දෛනික වැඩ කටයුතු කෙසේ හෝ සිදුකර ගන්නාහ.


බිබිලේ දී දැනුන දැඩි හිරු රස්නය කඳුමුදුනේ ගම්මානයේදී අපට නොදැනිනි. හමන සුළඟ දැඩි සීතලය. ඒත් ඇතැම් ගැමියෝ හේනට ගොස් සිටිති. තවකෙක් ටවුමට ගොස් ඇත. කොතරම් දුෂ්කර වුවද ඔවුහු සතුටින් ජීවිතගෙන යති. සෑම ගෙවත්තකට නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවළු කිහිපයක් හෝ වවා ඇත. ගම්මිරිස් ඔවුන්ගේ තවත් ආර්ථික බෝගයකි.

අපි මෙදා පාර වගා කෙරුවේ බෝංචි. බෝංචි අස්වැන්න නම් හොඳයි. ගමන දුෂ්කර නිසා අස්වැන්න ගෙනියන්න ගමට වෙළෙන්දෝ එනවා අඩුයි. එක්කෝ අපි අලවත්තාගොඩට අරගෙන යනවා. එහෙම නැත්නම් බිබිලට අරගෙන යනවා.

අප්පුහාමි හැට එක් හැවිරිදි ය. ඔහු තම දරුවන් රකින්නේ ගොවිතැන් කටයුතු කිරීමෙනි.

ගමට ජල පහසුකම් නැත. ඇත්තේ ඔයෙන් ලබාගන්නා වතුර ය. ඇතැම් තැනෙක කිතුල් කදක්, පුවක් කදන් මැදින් ඔවුහු වතුර පීලි සාදාගෙන ඇත. ගමට විදුලිය තිබුණ ද විදුලිය ගැනීමට තරම් ඇතැමෙකුට වත්කමක් නැත.

සුදුමැණිකා හේනට ඇවිත් ඇත්තේ තම මුනුපුරා සමඟ ය. “අපි ලෙඩක් දුකක් හැදුණොත් එක්කෝ ලුනුගලට යන්න ඕන. එහෙම නැත්නම් බිබිලට යන්න ඕන. මේ කොහොම ගියත් යන ගමන නම් දුෂ්කරයි. ගමට එන්න පාර හදලා දෙන්න කියලා හැමෝටම කියනවා. ඒත් මේ වනතුරු නම් වැඩක් වුණේ නැහැ. ගමට එන්න තියෙන ළඟම පාර තමයි අලවත්තාගොඩ පාර.

සුදු මැණිකේ පවසන්නේ කනස්සල්ලෙනි.




ඔවුන් කඳුමුදුනේ තනිවූ හැඩ ය. තැපැල්කරු හෝ ග්‍රාම නිලධාරීන් ගමට එන්නේ නැත. ඒ මාර්ගයේ ඇති දුෂ්කර බව නිසා ය. තැපැල්කරු අලවත්තාගොඩ හන්දියේ කඩයෙන් ගමට ඇති ලිපි තබා යයි. ඔවුහු එහි ගොස් සතියකට හෝ දින දෙකතුනකට වරක් ලිපි රැගෙන එති. ඔවුන් අයත් වන්නේ මුදියල වසමට ය. අවශ්‍ය විටෙක ගැමියෝ දුෂ්කර මඟ ගෙවා ග්‍රාම නිලධාරි මහතා සොයාගෙන යති.

සාමාන්‍යයෙන් ගමකට පන්සලක් තිබිය යුතු ය. ඒ අප දන්නා පරිදි ය. එහෙත් හපුගහපතන ගමට පන්සලක් නැත. ගමේ මරණයක් වූ විට පාංශු කූලය දීම සඳහා බොහෝ දුර සිට හාමුදුරුවෝ වඩිති. (ඒ ටැªංගොඩ රජමහා විහාරයේ සිට ය.)

“ගම දුෂ්කරයි තමයි. ඒත් මේ ගම අපේ අම්මලා තාත්තලා ජීවත් වෙච්ච ගම. අපි මේවා දාලා කොහේ කියලා යන්නද? ගමේ පවුල් විස්සක් විතර ජීවත් වෙනවා. අපිට කිසිම බාහිර කරදරයක් නැහැ. හේන් වැඩකරන අතරතුර අපත් සමඟ පිළිසඳරේ යෙදුණු ගුණපාල පැවැසීය.

කොතරම් දුෂ්කරතා තිබුණ ද ඔවුන් තමා උපන් ගමට ආදරේ ය. හැන්දෑ කළුවර අවටින් ඒමත් සමඟ අපි ගමෙන් එන්නට පිටත් වීමු.

ඈතින් ඇසෙන්නේ මාතරම්මුල්ල ඔය ගලන හඬයි. එහෙත් ඔය පැහැදිලිව දැක ගැනීමට නොහැක්කේ රූස්ස ගස් ගන තුරු වදුලු වලින් වැසී ඇති බැවිනි.

අපි යළිත් නගරයට එන්නට පිටත්වීමු. කන්ද නැග්ගට වඩා එය බැසීමට අසීරු ය. දෙපස ගස් මුල්, අල්ලා ගනිමින් හති අරිමින් අපි බොහෝ දුරක් ආවෙමු?. වංගු වෙන් වංගුව හැරුණ ද පාර නොපෙනෙයි. එහෙත් කුඩා දරු දැරියන්ගේ සිනා හඬ ඈතින් ඇසෙයි. ඒ හඬට කන්දී අපි අතර මඟ නතර වීමු. වේලාව සවස හතරහමාරත් පසු වී ඇත. දරුවෝ අමාරුවෙන් කන්ද නගිති.

“හැමදාම අපි ගෙදර එනකොට මේ වේලාව තමයි. උදේට අපි පහ මාරට විතර ගෙදරින් පිටත් වෙනවා. ඉස්කෝලෙට යනකොට වෙලාව අටට කිට්ටුයි. කොහොමත් අපේ ඉස්කෝලේ පටන් ගන්නේ උදේ අටට. අපි ඉගෙන ගන්නේ මුදියල ආදර්ශ පාසලේ. උදේට කොටගම හන්දියට පයින් ඇවිත් ඉතිරි ටික බස් එකේ යනවා. කිලෝ මීටර් තුනක් හතරක් පයින් එනවා.”

දරු දැරියෝ හති අරින ගමන් පවසති. මග දෙපස ඉලිප්පි ඇති ගල් උඩ වාඩි වී ඔවුහු ගිමන් හරිති.

“වැස්ස දවස්වලට අපිට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. ඒ වගේ ම තමයි ඇඳුම් වේලගන්නත් බැහැ. අපිට මහා ගොඩක් සුදු ඇඳුම් නැහැ. අම්මලට තාත්තලට ඒවා අරන් දෙන්න වත්කමකුත් නැහැ. දරුවන් කියන්නේ කනගාටුවෙනි. ඇතැමෙකුගේ සපත්තුවල ඉදිරිපස කොටස කැඩී බිඳී ගොස් ය. මේ පාරේ යනකොට සපත්තු දාන්න බැහැ. පාරේ ගල් මුල් වැඩි නිසා ඉක්මනටම සපත්තු කැඩෙනවා. අපේ ගමට යන්න පහුගිය කාලේ අලුතෙන් පාරක් කැපුවා. ඒත් ඒ පාරේ කවුරුවත් යන්නේ නැහැ. ඒ පාර හරි දුරයි. මේක තමයි අපේ ගමට තියෙන ළඟම පාර. අම්මා කියලා තියෙන්නේ ඒ පාරේ එන්න එපා කියලා. කැලෑව වැඩියි. දැරියක හුරතල් හඬින් පවසන්නීය. ගමන දුෂ්කර වුව ද මේ පුංචි ඔවුන්ගේ ලෝකය සුන්දර ය. ඔවුන්ට ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා මෙන් ම බලාපොරොත්තු ද ඇත.

“මං කවදා හරි ගුරුවරියක් වෙනවා.”

“මං දොස්තර කෙනෙක් වෙනවා.”

“මං විද්‍යාඥයෙක් වෙනවා.”

“මමත් ගුරුවරියක් වෙනවා.”

ඈත දුෂ්කර ගමක වෙසෙන මේ දරු දැරියෝ අනාගතය ගැන අපමණ සිනහ දකිති. ඒ සිහින සැබෑකර ගන්නට ඔවුහු දිනපතා දුෂ්කර ගමනක යෙදෙති.

බිබිලේ සිට කිලෝමීටර් දහයක් පමණ ඈතින් පිහිටි හපුගහපතන ගම්මානය සුන්දරය. ඒ සුන්දර බව වඩාත් ස්මතු වන්නේ එහි වෙසෙන ගැමියන් නිසා ය. අතිශය දුෂ්කර වුව ද කිසිවෙක් ගම හැරදා යන්නට සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය එම ගමේ ම ජීවත් වෙමින් තම දරුවන්ගේ ජීවිත සොඳුරු කිරීමට ය?.

දරුවෝ රිසිසේ ගමින් ඈත කඳු මුදුනට දිවයති. ගස් කොළන් අතර වැදෙමින් ඔවුන්ගේ සිනා හඬ ඇසෙනවා මිස දැන් ඔවුහු රුව නොපෙනේ.

විශේෂ ස්තුතිය
බිබිල හෑපොළ ඒ.ඇම්. ගුණපාල මහතාට
ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - විමල් කරුණාතිලක 
http://www.silumina.lk/2013/07/14/_art.asp?fn=as1307141

Search This Blog