Saturday, June 7, 2014

ආරුක්කු නවයේ පාලමට පයින් ගිහින්

ඇල්ල දුම්රිය ස්ථානයත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතර ඇති ආරුක්කු නවයේ පාලම මා මීට පෙර දැක තිබුණේ දුම්රියෙන් යන එන විට පමණි. එහෙත් මෙවර අපගේ අලිමංකඩ සංචාරයේදී එය නැරැඹීමට යෑමට අප තීරණය කළේ ආරුක්කු නවයේ පාලම සිංහලයකුගේ විශ්වකර්ම නිර්මාණයක් නිසාය. ඇල්ලට පැමිණෙන බොහෝ විදේශිකයන් මේ ආරුක්කු නවයේ පාලම බලන්න එන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ ඔස්සේ පා ගමනින්ය. පයින් යන්න අකැමැති අයට කාර් එකකින් හෝ වෑන් එකකින් ආරුක්කු නවය පාලම ආසන්නයටම පැමිණිය හැකිය.



මාර්ගය මඳක් අබලන් වුවත් රථය ධාවනය එතරම්ම අපහසු නැත. පාලමට මීටර් 200ක් පමණ නුදුරින් රථය නැවැත්වූ අපි පාගමනින් පාලම දෙසට ගියෙමු. පාලම සමීපයේම බිං ගෙයක් දක්නට ඇත. බිංගෙයක් තුළින් පාගමනින් මා ගිය පළමු අවස්ථාව එය විය. බිංගෙය ඇතුළතදී අප පවසන දෑ දෝංකාර දෙමින් නැවත නැවත ඇසීම අමුතුම අත්දැකීමකි. බිංගෙවල් තුළින් දුම්රිය යද්දී හූ කියන පුද්ගලයන් දෙස එතෙක් කල් අප්‍රසාදයෙන් බැලූ මා දැන් අප්‍රසාදය දුරු කරගත්තේ එහි ඇති ආස්වාදය මවිසින්ම අත්විඳිනු ලැබීමෙන් අනතුරුවය.

මේ අරුම පුදුම පාලම තනිකරම ගල්වලින් ඉදිකර ඇති අතර එහි උස අඩි 80කි. පාලමේ පළල අඩි 25කි. පාලමේ දිග අඩි 300කි. කඳු දෙකක් යා කරමින් ඉදිකර ඇති මේ ආරුක්කු නවයේ පාලම බලන්න ඔබ පැමිණිය යුත්තේ ඒ මතින් දුම්රියක් යන වේලාව හරියටම දැන ගැනීමෙන් පසුවය. ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබට ඒ වේලාව දැනගත හැකිය. අපගේ වාසනාවට අප ආරුක්කු නවයේ පාලම නරඹන්න ගිය අවස්ථාවේ දුම්රියක් ඒ මතින් ගමන් කරන සුන්දර දසුනද දැකබලා ගන්න හැකිවිය. ඔබ හෙවන්ස් එජ් හෝටලයේ නවාතැන් ගත්විට මේ සුන්දර තැන් හැම එකකටම යන ආකාරය ඔබට එහි කාර්ය මණ්ඩලයෙන් දැනගත හැකිවනු ඇත. ඒ නිසා හෙවන්ස් එජ්හි සුන්දරත්වයද අත්විඳිමින් තවත් ලස්සන තැන් රැසක සංචාරය කරන්න නොවැරැදීම ඔබත් ඇල්ලට එන්න.

සඳුන් - මව්බිම
http://mawbima.lk/40-53156-news-detail.html

No comments:

Search This Blog